Colombo Telegraph

වැලිවේරිය: ආණ්ඩුකරණය, සුජාත භාවය සහ හිංසනයේ සදාචාරය

දයාන් ජයතිලක

ආචාර්ය දයාන් ජයතිලක

පුරාතනයේ විසූ චීන ජාතිකයන්, විශේෂයෙන් කොන්ෆියුසියස් එය හැඳින්නුවේ, ‘ස්වර්ගයේ වරම’ යනුවෙනි. පාලකයන්ට සාර්ථකව රටක් පාලනය කළ හැකි වන්නේ, මේ ‘ස්වර්ගයේ වරම’ ඔවුන් භුක්ති විඳින තාක් කල් සහ ඊට ඔවුන් ගරු කරන තාක් කල් පමණි.

මාවිල්ආරු සොරොව්වෙන් සිංහල ජනයාට ජලය බෙදා හැරීම කොටි ත‍්‍රස්තවාදීන් විසින් වළක්වනු ලැබීමත් සමග අවසාන යුද්ධය ඇරැඹිණ. ඒ මාවිල්ආරුව නිදහස් කරගත් හමුදාවම, සිය දෛනික පරිභෝජනය සඳහා වතුර ඉල්ලා සිටි නිරායුධ සිංහල විරෝධතාකරුවන්ට එරෙහිව තිරිසන් සහ තකතිරු අන්දමින් පාලකයන් විසින් යොදාගනු ලැබීමත් සමග, දකුණටත් ආවේය.

එයාකාරයෙන් පවතින පාලකයන් කර ඇත්තේ, ඉහතින් කී සමාජ සම්මුතියට (‘ස්වර්ගයේ වරමට’), පිළියම් කළ නොහැකි ආකාරයෙන් තුවාල කිරීමයි. පාලකයන්ට කෙරෙහි තිබූ විශ්වසනීයත්වය සහ සුජාත භාවය, ඒ තුවාලයෙන් අද පිටතට වෑහෙයි.

ඊටත් වඩා සංවේගයට කාරණය වන්නේ, වැලිවේරිය සහ බැලූම්මහර පෙදෙස්වල සේවයට යෙදැවූ හමුදා ඛණ්ඩවල මුරුග හැසිරීම හරහා, ශ‍්‍රී ලංකා හමුදාව සතුව මෙතෙක් පැවති සමාජ නම්බුව නැති නාස්ති වීමයි. හමුදාවක සැබෑ ආරක්ෂාව පවතින්නේ, එය සතු බෆල් පන්නයේ සන්නද්ධ රථ පෙළපාලිය සහ ඔවුන් හඳින සන්නාහ කට්ටලය තුළ නොව, පුරවැසියන්ගෙන් ඔවුන් ලබන ආදරය, ගෞරවය සහ සහයෝගය තුළයි. ඒ සමාජ සහයෝගීතාව ඔවුන්ට අහිමි වන විට, ‘යුද අපරාධවලට’ සහ ‘මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට’ එරෙහිව ඔවුන්ව කුදලාගෙන යාමට මානබලමින් සිටින බාහිර බලවේගවලට ඔවුන් බිලි වන්නේය. සමාජ සහයෝගීතාව සළසන, ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයක් ජය ගැනීමෙන් අත්වන සදාතන කීර්තියක් කියා දෙයක් නැත. එය, දෛනිකව උපයාගත යුතු සහයෝගීතාවකි. වැලිවේරියේ දී යම් සිංහල ජන කොටසකගේ හදවත් හමුදාව බිඳලූයේය. ඊට වඩා අති විශාල සිංහලයන් පිරිසකගේ සිත්සතන් තුළ විමතියේ දෙගිඩියාවක බීජ රෝපණය කෙළේය.

අතුරු ප‍්‍රශ්නයක් වශයෙන් කෙනෙකුගේ සිතට මෙවැනි කල්පනාවක් පහළ වන්නේ නිතැතිනි: හමුදාවේ නම්බුවට වඩාත් හානිකර වන්නේ, ප‍්‍රංශ සිනමා උළෙලක ‘ඉගිලෙන මාළුවෝ’ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීමෙන් ද, එසේ නැතහොත්, හමුදාවේ තුවක්කු බටයෙන් ඉගිලෙන වෙඩි උණ්ඩයකින් සහ කන්‍යා සොහොයුරියන් දෙසට එල්ල කෙරෙන තුවක්කු කටකින් ද?

බෆල් පන්නයේ සන්නද්ධ රථ පෙලපාලියක් සිංහල නුවරක වීදි කොණේ නතර කොට, මාරාන්තික උකුස්සන් සේ හමුදාව උසිගැන්වීමෙන් රටේ පාලකයන් නැති කරගත්තේ, සකල බලයේ උත්තම ජීවයයි: ආචාරවත්=සදාචාරයේ හයියයි. බලයේ පොල්මක්කාරයන් මහජනයාගෙන් ප‍්‍රසිද්ධ සමාවක් නොගතහොත්, සාධාරණ, ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් හරහා යුක්තිගරුක ප‍්‍රතිඵලයක් සමාජයට අත්කර දෙමින්, අර කී ‘සදාචාරයේ ප‍්‍රාග්ධනය’ මහතැන් විසින් යළි උපයා නොගතහොත්, සමාජයීය වශයෙනුත්, අවසාන විග‍්‍රහයේ දී දේශපාලනික වශයෙනුත්, මේ සිද්ධිය පාලක රෙජීමයට මාරාන්තික වනු ඇත.

තවද, වැලිවේරිය යට ගැසුවොත්, ආණ්ඩුව ගෙන ගිය උතුරේ යුද්ධය ගැන ආණ්ඩුව කියන කතා, ඒවා සහසුද්දෙන් සැබෑ වුවත්, ලෝකයේ කවුරු නම් විශ්වාස කරත් ද? 2013 දී ගම්පහ දී කරුණු පෙළගැසුණේ මෙලෙස නම්, 1989=90 දී මාතලේ කුමක් නම් සිදුවන්නට ඇත් ද?

මර්දනීය බලයේ අධිතර්පණයෙන් මත්ව, ආචාරධාර්මික සහ සදාචාරමය මනෝ බලය වෑරීමෙන් ශ‍්‍රී ලංකා රජය අද මියැදෙමින් සිටී. කෙසේ වෙතත්, අළුත් විපක්ෂයක්, එනම්, මේ අගාධයෙන් ශ‍්‍රී ලංකාව ගොඩගත හැකි පෙනුමක් සහ ව්‍යාපෘතියක් සහිත, විශ්වාස කටහැකි අළුත් විපක්ෂයක්, තවම බිහි වී නැත. තේරීම තිබෙන්නේ, මහින්ද රාජපක්ෂ සහ රනිල් වික‍්‍රමසිංහ අතර වන තාක් කල් ජනාධිපතිවරණ ජය ගැනීම වර්තමාන රෙජිමයට ප‍්‍රශ්නයක් නොවෙතත්, දැන් එම රෙජිමය සිය කීර්ති කූටය පසුකොට පා තබමින් සිටින්නේ බහින කලාවටයි. ඒ බහින කලාව, නාට්‍යාකාර වෙනවාට වඩා උපමා කතාවක් බඳු විය හැකිය. යටිකුරු සර්පිිලයකට වඩා, චාපයක් බඳු විය හැකිය. කෙසේ වෙතත්, ආණ්ඩුවේ හැසිරීම හේතුවෙන්, එම බහින කලාව, කස්කුරුප්පු හැඩයක් ද ගත හැකිය. වැලිවේරිය එහි සන්ධිස්ථානයයි. තමන් නියෝජනය කරති යි කියන සහ තමන් විසින් ආරක්ෂා කරනු ලැබෙති යි සිතන ජනතාව කෙරෙහිම මාරක මුරුගකම් පෑමෙන් සහ නිර්දය සේ අසංවේදී වීමෙන්, රෙජිමයේ ආධිපත්‍යය සෝදාපාළු වෙමින් තිබේ.

ශ‍්‍රී ලංකාවේ ගැටළුව වන්නේ මහින්ද රාජපක්ෂවත්, ඔහුගේ ජනාධිපති ධුරයවත් නොව, ඔහුගේ විස්තෘත පවුලයි. ඔහුගේ වරිගය සහ ගෝත‍්‍රයයි. ඔවුන් අභ්‍යාස කරන බලය සහ බලපුලූවන්කාරකමයි. 1970-77 කාලයේ පැවති සිරිමා බණ්ඩාරනායක පාලනයත් එබඳු විය. එදා සිරිමාවෝ බණ්ඩාරනායකට වඩා ගැටළුව වුණේ, රත්වත්ත-බණ්ඩාරනායක පවුල් ගස යි. රත්වත්ත-බණ්ඩාරනායක ගෝත‍්‍රයේ ‘දාමරික පවුල් කොල්ලය’ යි. මේ නිසා, මහින්ද රාජපක්ෂගේ ජනප‍්‍රියත්වය තර්ජනයට ලක්වන්නේ රනිල් වික‍්‍රමසිංහගෙන් නොව, ඔහුගේම වරිගයා තුළ ඒකරාශී වන ආර්ථික හා දේශපාලනික බලයේ අනුහසින් බිහි කෙරෙනු ලැබෙන ඔවුන්ගේ හැසිරීමෙනි. සම්භාව්‍ය රෝමානුවාගේ ගැටළුවේ වලංගු භාවය, හමුදාවේ හැසිරීමෙන් දැන් සනාථ කෙරිණ: රැකවලාව රැකවල් කරන්නේ කවුද? එයින් ඔවුන් අදහස් කෙළේ, රැකවලාගෙන් අපව ආරක්ෂා කරන්නේ කවුද යන්නයි. අපේ සන්දර්භය තුළ එය නවතමයෙන් අර්ථගැන්විය හැකිය: ආරක්ෂක අමාත්‍යාංශ බලධාරීන්ගෙන් අපව ආරක්ෂා කරන්නේ කවුද?

දෙවැනි ලෝක යුද්ධයේ හැරැවුම් ලක්ෂ්‍යයේ දී, එය ආරම්භයේ ආරම්භයවත්, අවසානයේ අවසානයවත් නොව, අවසානයේ ආරම්භය වන බව වින්ස්ටන් චර්චිල් කීවේය. ලංකාවේ අනාගත දේශපාලන ඉතිහාසය තුළ වැලිවේරිය ලියැවෙනු ඇත්තේ ද, අවසානයේ ආරම්භය වශයෙනි.

අවසාන ක‍්‍රීඩාව, එහි හැඩරුවෙන් හෝ කාල පරාසයෙන්, අසුවල් ආකාරයක් ගනිති යි කල්තියා කිව හැකි බවක් මෙයින් නොඇඟවෙයි. එහි ප‍්‍රතිඵල නිරායාසයෙන් විපක්ෂයට හිමි වෙති යි ද ඉන් නොඇඟවෙයි. ආණ්ඩුව පල්ලම් බසින්නේ පරාවලයකින් වන අතර රනිල් වික‍්‍රමසිංහ කඩාවැටෙන්නේ ලම්බකවයි.

ශූන්‍ය-ඓක්‍ය කී‍්‍රඩා සහ ජය-පරාජ ක‍්‍රීඩා පමණකින් නොව, ඒ තරමටම, පරාජ-පරාජ ක‍්‍රීඩාවන්ගෙන් ද ඉතිහාසය සමන්විතයි. ආපසු හැරී බලන විට, ඊජිප්තුවේ අද ජයගෙන ඇත්තේ කවුද? මොන පැත්තද? තරගකාරී පන්තීන්වල අන්‍යොන්‍ය විනාශයේ අසාමාන්‍ය ඵලවිපාක ගැන, කාල් මාක්ස් ‘කොමියුනිස්ට් ප‍්‍රකාශනයේ’ ලියා තැබීය. ‘පැරැන්නා මියයයි, එහෙත් නවකයාට තවම බිහි විය නොහැකි’ තත්වයක් ගැන අන්තෝනියෝ ග‍්‍රාම්ෂි ලියා තැබීය. ‘විවිධාකාර දුර්ජන නිමිතිවල විවිධත්වයක් (සිසැක්ගේ පරිවර්තනය තුළ පැනෙන පරිදි), බිහිසුණු ‘අපරූපීන්’ පවා බිහිවන්නේ, හරියටම, මෙවැනි අරාජකත්වයක් තුළයි’’ යනුවෙන් ග‍්‍රාම්ෂි තවදුරටත් ලියා තැබීය. වැලිවේරියේ පාරවල් ගානේ සහ ගම්පහ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ප‍්‍රාදුර්භූත වූවෝ එවැන්නෝ ය.

*2013 අගොස්තු 2 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවු Governance, Legitimacy And The Ethics Of Violence ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’

Back to Home page