Colombo Telegraph

‘‘ඉගිලෙන මාළුවෝ’’ සහ කලා ශාස්ත‍්‍ර අඩස්සිගත කිරීම

දයාන් ජයතිලක –

ආචාර්ය දයාන් ජයතිලක

පැරිසියේ සුප‍්‍රකට ‘ෂොම්ප්සෙලිසේ’ වීදියේ කුඩා කලාත්මක සිනමා ශාලාවක ගිය වසරේ අශෝක හඳගමගේ ‘ඉනි අවන්’ චිත‍්‍රපටය තිරගත කෙරුණු අවස්ථාවේ මට සංජීව පුෂ්පකුමාර මුණගැසුණි. ඔහු ශිෂ්‍යයෙකු වශයෙන් හෝ මාධ්‍යවේදියෙකු වශයෙන් සිටියදී මාව හැඳින සිටි බවක් ඔහුගේ කතාබහෙන් පෙනුණි. හඳගම තරම් අල්පභාෂී නොවන, ප‍්‍රසන්න, ව්‍යක්ත, එහෙත් අඩු තක්සේරුවක සිටින තරුණයෙකු වන ඔහු, මා සමග ‘ඉනි අවන්’ ගැන වාද කෙළේය. කෑන් චිත‍්‍රපට උළෙලේ ජුරි සභිකයෙකු වන ඔහුගේ මහාචාර්යවරයාව මට හඳුන්වා දුන්නේය. ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවැත්වූ සාදයකට ද ඔහු සහභාගී විය. දැන් සංජීව ශ‍්‍රී ලංකා රජයේ නිලධාරීන්ට බෙහෙවින් ණයගැති ය. මන්ද යත්, ඔහුට සහ ඔහුගේ චිත‍්‍රපටයට එම නිලධාරීන් ඉමහත් ප‍්‍රසිද්ධියක් සපයා දී ඇති බැවිනි. ඉතිං, ඊළඟට ඔහු නතර වන්නේ කෑන් චිත‍්‍රපට උළෙලේ සහ අනතුරුව හොලිවුඞ් උළෙලක විය නොහැකි ද?

‘ඉගිලෙන මාළුවෝ’ චිත‍්‍රපටයටත්, ප‍්‍රංශ චිත‍්‍රපට උළෙලටත් රජයේ සහ අසංස්කෘතික සමාජයේ ඇතැම් කොටස් දැක්වූ විකාර ප‍්‍රතිචාරය මගින් මතුකෙරෙන ප‍්‍රශ්න බොහොමයකි. ඒ සියල්ලම, හිත් කළඹන සුළු යි. මා මේ චිත‍්‍රපටය නරඹා නැත. එහෙත්, ඊට එරෙහිව නැගී සිටින්නවුන් ද එය නරඹා නැත. චිත‍්‍රපටය වර්ණනා කිරීමට හෝ හෙළාදැකීමට මට හැකියාවක් නැතත්, මේ චිත‍්‍රපයට බොහෝ ජාත්‍යන්තර සම්මාන ලැබී ඇති බව සටහන් කළ යුතුය. වැඩියත්ම, ඒ, ආසියාවෙන් සහ රුසියාවෙනි. ලෝකයේ විවිධ තැන්වල චිත‍්‍රපට විචාරකයන්ගේ ප‍්‍රශංසාවට ලක්ව ඇති චිත‍්‍රපටයක් ලංකාවේ රාජ්‍ය යන්ත‍්‍රයෙන් පට්ට ගසනු ලැබේ නම්, ලෝකයේ පවතින සෞන්දර්යාත්මක සහ විචාරාත්මක ප‍්‍රමිතීන්ට යා නොදෙන හුටපටයක් ලංකාවේ ඇති බව පැහැදිළි වෙයි. වෙනත් වචනවලින් කිවහොත්, චිත‍්‍රපටයට වඩා බරපතල ප‍්‍රශ්නයක් ඇත්තේ මෙම ස්ථානයේ බව පෙනේ.

කෙසේ වෙතත්, චිත‍්‍රපටය හෙළාදකින්නන් කියන කතා සැබෑවක්ම යැයි මොහොතකට උපකල්පනය කරමු. එසේ නම් කෙනෙකු කළ යුත්තේ, ඒ ගැන ප‍්‍රබල සංවාදයක් මතුකොට, චිත‍්‍රපට විචාරය පිළිබඳ පිළිගත් නියාමයන් හරහා එය විවේචනය කිරීම මිස එය මර්දනය කිරීම නොවේ. ඊටත් වඩා, පාරවල් ගානේ නොසැබි විරෝධතා පාමින්, විසම්මුතික කලාකරුවන්, ලේඛකයන්, පරිවර්තකයන් සහ විචාරකයන්ව රාජ්‍ය මාධ්‍ය තුළ හම ගැසීම නම් නොවේ.

තව ද, ‘ඉගිලෙන මාළුවෝ’ චිත‍්‍රපටයෙන් ඉටු කළ යුතුව තිබුණත් එසේ කොට නැතැ යි රජය අද චෝදනා කරන දෑ අන්තර්ගත වන පරිද්දෙන්, ජාත්‍යන්තර මට්ටමේ චිත‍්‍රපට තැනීම සඳහා අවශ්‍ය පහසුකම් සපයමින් චිත‍්‍රපටකරුවන්ව දිරිමත් කිරීම ද, බලධාරීන්ට කළ හැකි තවත් කටයුත්තකි.

තරුණ සිනමාකරුවන්ට සහ කලාකරුවන්ට, අප ගත කළ ඛේදවාචකය මත පදනම් වෙමින්, සකල පාත‍්‍ර වර්ගයාගේ පොදු මිනිසත් බව, ඊට අනුයුක්ත දුර්වලතා ද සහිතව භාරගෙන, අපේ අන්ධකාර සැහැසි අතීතය පිරික්සිය නොහැකි නම්, සහජීවනයක් කෙසේ නම් ඇති වන්න ද?

පසු ගිය අවුරුද්දක හෝ දෙකක කාලය තුළ ලාංකීය සිනමාව (ප‍්‍රධාන වශයෙන් සිංහල සිනමාව) තුළ සෑහෙන ප‍්‍රභාවක් දක්නට ලැබුණි. ජාත්‍යන්තර සිනමා උළෙලවල දී සම්මාන දිනා ගත් චිත‍්‍රපට කොපමණ දැ යි ගණන් කර බලන්න. පශ්චාත් ශ‍්‍රී ලාංකීය සිනමාවේ නව රැුල්ලක් පෙනෙන්ට තිබේ. තරුණ ශ‍්‍රී ලාංකීය ලේඛකයන් (බොහෝ කොට ඉංග‍්‍රීසි භාෂාවෙන්) දිනා ගත් සම්මානත් ඊට එක් කරන්න. කලා ශිල්පාදියේ මේ නව රැල්ල, කුමන විෂයයන් පූජණීය විය යුතු දැයි, කුමන විෂයයන්ට තහංචි පැනවිය යුතු දැ යි තීන්දු කරන නිලධාරීන්ගේ සිතැඟියාවන් මගින් මැඩපැවැත්විය යුතු ද?

පටු සිතැති ප‍්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය විසින්ම යම් සිනමා පටයක් අනුමත කොට ඇත්නම්, එම අනුමැතිය උදුරා ගැනීමට බලය ඇති වෙනත් බලාධිකාරිය කුමක් ද? ඒ කුමන ආඥාවක්, නීතියක් හෝ ව්‍යවස්ථාවේ කුමන වගන්තියක් යටතේ ද? ආණ්ඩුවේ ‘ඬේලි නිව්ස්’ පුවත්පත සුළු නිලධාරියෙකු උපුටා දක්වමින්, ‘‘කලාව, කලාව සඳහා ය’’ යන මතයට ඉඩ දිය නොහැකි බව කියයි. හැබෑටම? ඒත්, ඒ කවදා සිට ද? එසේ කියන්නේ කවුරුන් ද? සකල කලාත්මක නිර්මාණ සහ නිෂ්පාදන පාලනය කෙරෙන නිල කලා ප‍්‍රතිපත්තියක් ශ‍්‍රී ලංකාවට තිබේ ද?

‘ඉගිලෙන මාළුවෝ’ චිත‍්‍රපටය, රටේ සංස්කෘතියට නොගැලපෙන බව ද රාජ්‍ය ප‍්‍රචාරණය තුළ කියැවේ. ඒ සංස්කෘතිය සංගෘහිත කොට ඇත්තේ කොහේ ද? රටේ සංස්කෘතිය විය යුත්තේ හෝ නොවිය යුත්තේ කුමක් දැ යි තීන්දු කරන්නේ කවුද? එසේ තීන්දු කිරීමට ඔවුන්ට බලය දුන්නෝ කවරහු ද? කලාශිල්ප මර්දනය කෙරෙන සංස්කෘතිය මොන විදිහක සංස්කෘතියක් ද? කලා ශිල්පවලින් තොර සංස්කෘතියක් සහ නිර්මාණ කිරීමට කලාකරුවන්ට නිදහස නැති කලාවක්, කෙනෙකු කෙසේ නම් සිතාගන්නද? මෙවැනි තලිබාන් වර්ගයේ සංස්කෘතික පොලීසියක් පුරාතනේ ද තිබුණේ නම්, සීගිරියේ අප්සරාවන්ට සහ ඉසුරුමුණියේ පෙම් යුවලට අත්විය හැකිව තිබු ඉරණම සිතාගත හැක.

ලංකාවේ කලාව තුළ ‘යුද්ධ නීතිය’ ප‍්‍රකාශයට පත්කොට ඇතිවාවත් ද? ‘ආරක්ෂක බලධාරීන්’ (එයින් කුමක් අදහස් වෙතත්) කලාව කෙරෙහිත් නිෂේධ බලය පාවිච්චි කරයි නම්, සිවිල් ජීවිතයේ කුමක් සම්බන්ධයෙන් නම් ඔවුන් ඒ නිෂේධ බලය පාවිච්චි නොකර සිටීවි ද? එසේ කිරීමට ඔවුන්ට ව්‍යවස්ථාමය සහ නෛතික අයිතිය පැවරෙන්නේ කොහෙන්ද? එවැනි තත්වාකාර නිෂේධ බලයක් පවතින සමාජයක්, කුමන සමාජයකැ යි වර්ග අපි කරමු ද? එන්න එන්නම හැකිලෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් සමග අප මේ යන්නේ, 70 දශකයේ ‘ජාතික ආරක්ෂක රාජ්‍යය’ වශයෙන් ලතින් ඇමරිකාවේ හැඳින්වූ ‘මිශ‍්‍ර තන්ත‍්‍ර’ පාලන මාදිලියක් හෝ ‘සිවිල්-හමුදා ජුන්ටාවක්’ වෙතට ද? එවැනි සිවිල්-මිලිටරි ජුන්ටාවක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යය පසෙකින් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යය තුළ දැනටමත් ක‍්‍රියාන්විත වන්නේද? වැඩියත්ම, රටේ කලින් පැවති ගැටුම් කලාපයේත්, සමස්තයක් වශයෙන්, ටිකෙන් ටික මුළු රටේමත්?

රාජ්‍ය නිලධාරීන් සහ අන්තේවාසික සැහැසි පිරිස් ප‍්‍රංශ චිත‍්‍රපට උළෙල දඩමීමා කර ගනිද්දී, ලෝක ජන මතය තුළ නරක නාමයක් ගෑවෙන්නේ, ප‍්‍රංශ ජාතිකයන්ට ද, ශ‍්‍රී ලාංකිකයන්ට ද? එසේ නම්, බෙදුම්වාදී, කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවට සේවය කරන්නේ, සංජීව පුෂ්පකුමාර ද, නැතහොත් ශ‍්‍රී ලංකා රාජ්‍යයේ සහ සිංහල සමාජයේ වෙසෙන විදේශ-භීතිකයන් ද? මාස කිහිපයකට පෙර මොවුන්ගේ ඉලක්කය වුණේ ‘ඇමරිකන් කෝන(ර්)’ ය. අනතුරුව, ජරමානු පදනම් ආයතනයන් ය. (එයින් එකක්, 1965 දී ආර්. පේ‍්‍රමදාස පළාත් ආණ්ඩු අමාත්‍යවරයා වශයෙන් සිටිය දී ඔහුගේ ආරාධනයෙන් මෙහි පැමිණි එකකි). දැන්, ප‍්‍රංශ චිත‍්‍රපට උළෙල සහ ප‍්‍රංශ තානාපති කාර්යාලය ය. මෙවැනි ක‍්‍රියා නිසා, එම සමාජවල ජනතා මතය අපට එරෙහි වෙතැ යි ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන්, ප‍්‍රචාරකවාදීන් සහ දෘෂ්ටිවාදීන්ට නොසිතෙන්නේ ද? අප කෙරෙහි වන සාධනීය ආකල්පයක් එම රටවල රාජ්‍යයන් සහ ආණ්ඩු ව්‍යුහයන් තුළ වර්ධනය වෙතැ යි ඔවුන් සිතන්නේ ද?

එසේ නම්, ලෝකයාගේ පරීක්ෂාවට ලක්ව සිටින, ඊටත් වඩා, සුපිරි බලවතුන්ගේ හෝ මහ බලවතුන්ගේ වටලෑමකට හසුව සිටින තුන්වැනි ලෝකයේ බුද්ධිමත් රටක්, විවේචනාත්මක සහ විසම්මුතික කලාවන් සහ කලාකරුවන් කෙරෙහි හැසිරිය යුත්තේ කෙසේද? ලියනාර්දෝ පදූරා, අද ඉමහත් සම්භාවනාවට පත්ව සිටින නවකතාකරුවෙකි. බ‍්‍රසීලයේ තානාපති වශයෙන් කලක් සේවය කොට ඇති, 1974 පෘතුගාල විප්ලවයේ ක‍්‍රියාකාරිකයෙකුව සිටි, මගේ මිත‍්‍රයෙකු වන ප‍්‍රංශයේ පෘතුගාල තානාපතිවරයා විසින් ලියනාර්දෝ පදූරාගේ ‘කළු අභිරහස්’ ප‍්‍රබන්ධ සාහිත්‍යට හඳුන්වා දෙනු ලැබ, මම එහි ලෝලියෙකු වීමි. ලියනාර්දෝගේ නවකතා, කියුබාවේ සමකාලීන සමාජයීය, ආයතනික සහ දේශපාලනික ආදී සෑම අංශයක්ම තදබල විවේචනයට හසුකර ගනී. ඔහුගේ පොත් ඉංග‍්‍රීසියට පරිවර්තනය කරනු ලැබ ඇමරිකාවේ ප‍්‍රකාශයට පත්කොට තිබේ. උත්තම අරමුණක් වෙනුවෙන් ඇංගෝලාවේ දොළොස් වසරක් තිස්සේ දිගෑදුණු, 300,000 ක හමුදාවක් යොදාගැනුණු කියුබානු යුද්ධය ගැන අපවාදාත්මක නරුම ප‍්‍රත්‍යාවේක්ෂාවන් ඔහුගේ නවකතාවල බහුල යි. එහෙත්, ඔහු ඇමරිකාවේ මියාමි නුවරට පැන ගොස් සිටී ද? නැතහොත් කියුබානු සන්නද්ධ හමුදාවන් විසින් හෝ යුද පැරැුන්නන් විසින් ඔහුව හෙලාදැක තිබේ ද? කියුබාවේ හිරගෙවල්වල ඔහු ලැග තිබේ ද? කියුබානු පොලීසිය ඔහු ගැන පරීක්ෂණ ආරම්භ කොට තිබේ ද? කියුබානු රාජ්‍ය මාධ්‍යයෙන් ඔහුට මඩ ගසා තිබේ ද?

‘බටහිර සිටින වඩාත් භයානක දාර්ශනිකයා’ වශයෙන් ගැනෙන ස්ලොවැජ් සිසැක් ඒ ගැන කියන්නේ මෙවැන්නකි:

‘‘ලියනාර්දෝ පදූරාගේ පොලිස් ක‍්‍රියාපරිපාටි තුළ කියුබානු සමාජ තත්වය (දරිද්‍රතාව, දූෂණය සහ නරුම සැකය) මොන තරම් විවේචනයට ලක්කෙරෙන්නේ ද යත්, ඔහු හවානා නුවර (කියුබාවේ) ජීවත් වෙනවා පමණක් නොව, ප‍්‍රධාන රාජ්‍ය සම්මානයෙන් පවා පිදුම්ලත් සාහිත්‍යකරුවෙකු වශයෙන් සම්භාව්‍ය ආයතනික චරිතයක් බවට ද පත්ව තිබීම, කෙනෙකු මවිත කරවයි.’’

ලංකා ආණ්ඩුවට වඩා කියුබානු ආණ්ඩුවේ දේශපේ‍්‍රමය හෝ අධිරාජ්‍ය විරෝධය අඩු බවක් මෙයින් නොකියැවෙයි. ඇත්තෙන්ම, ලංකාව මෙන් නොව, කියුබාව අධිරාජ්‍යවාදීන්ට එරෙහිව හැබවින්ම සටන් කළ ජාතියකි. එසේම, ජාතික සහ රාජ්‍ය ස්වෛරීත්වයේ ආරක්ෂාව වෙනුවෙන් කියුබාව ලංකාවට වඩා අඩු උනන්දුවකින් පේ‍්‍රරණය වෙනවා ද නොවේ. කියුබානු සන්නද්ධ හමුදා නිර්භීත භාවයෙන් සහ සමාජ සම්භාවනාවෙන් ලංකාවේ හමුදාවන්ට වඩා අඩු ලංසුවකට හිමිකම් කියනවා ද නොවේ. (එය, විප්ලවයක් ජය ගත්, ප‍්‍රතිවිප්ලවීය ආක‍්‍රමණ පරාජය කළ, අප‍්‍රිකාවේ සටන් කළ සහ ගෝලාන් කඳුකරේ දී සිරියාවේ ආරක්ෂාව වෙනුවෙන් පේවී සිටි හමුදාවකි). නැත, එවැනි කිසිවක් නොව, ඒ වූ කලී, කලා ශිල්පාදියේ නිර්මාණශීලීත්වය සාදරයෙන් ප‍්‍රවර්ධනය කරන, සංගීතය, සාහිත්‍යය සහ සිනමාවේ නිර්මාණශීලී ප‍්‍රකාශන මගින් රටේ ස්ථාවරත්වය තර්ජනයට පමුණුවනවාට වඩා රටේ කීර්තිය ළෙලවෙන බව වටහාගත හැකි, අව්‍යාජ දිරියෙන් සහ යෝනිසෝ බුද්ධියෙන් සජ්ජිත රටක් වීම, ඊට හේතුවයි.

*2013 ජුලි 20 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ ‘Flying Fish’ And The Constriction Of The Arts ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Back to Home page