Colombo Telegraph

ජනතාව වන අපි: ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුකරණය සහ ප‍්‍රජා නියුක්තිය පිළිබඳ ආවර්ජනා

දීපිකා උඩුගම

ආචාර්ය දීපිකා උඩුගම

ප‍්‍රජා නියුක්තිය පිළිබඳ යොමු වීමක් ඇයි?

මගේ අද අරමුණ වෙන්නේ, ශ‍්‍රී ලංකාවේ ජීවත් වෙන අපි, පුරවැසියන් විදිහට අපිට පැවරෙන කාර්ය භාරය දිහා බලන්නේ කොහොමද කියන එක ඔබ සමග සංවාදයට භාජනය කිරීමයි. ඒ කියන්නේ, අපේ ප‍්‍රජා අයිතිවාසිකම් සහ වගකීම් දිහා අපි බලන්නේ කොහොමද කියන එකත්, අපි කාටත් බලපාන තීරණ කෙරෙහි අපි ප‍්‍රමාණවත් පරිද්දෙන් සම්මාදම් වෙනවද කියන එකත්, සළකා බැලීම. ප‍්‍රමාණවත් පරිද්දෙන් අපි ඊට සම්මාදම් වෙනවා නම්, ඒ සඳහා අපිව උනන්දු කරවන්නේ මොන සාධකද, එහෙම නෙවෙයි නම්, ප‍්‍රජා කටයුතුවලින් බැහැරව ඉඳීමට සහ උදාසීනව ඉඳීමට බලපාන හේතු මොනවද කියන එක බලන්න ඕනේ.

ඔක්කොම වැදගත් දේශපාලන තීරණ ගන්නේ සහ හැම දේශපාලන තක්කඩිකමක්ම කෙරෙන්නේ රාජ්‍ය බලය හසුරුවන කේන්ද්‍රයේ ඉන්න පිරිස් විසින් කියලා පේන්න තියෙද්දී, ලංකාවේ පුරවැසියා ගැනයි, ඒ පුරවැසියා ආණ්ඩුකරණයට මැදිහත් වෙන්නේ කොහොමද කියන එකයි බලන්නේ මොකටද කියලා කෙනෙක් අහන්න පුලූවන්. ඒක නිසා, දේශපාලඥයන් කරන්නේ මොනවද කියලා බලලා, ඔවුන් එහෙම කරන්නේ ඇයි කියලා බලන එක නෙවෙයිද කරන්න තියෙන්නේ කියලා එහෙම කෙනෙක් අහන්න පුලූවන්. ඒ විදිහට ප‍්‍රශ්නේ දිහා බලන එකම තමයි, මට පේන විදිහට, අපේ දේශපාලනයේ වගේම අපේ දේශපාලන සංස්කෘතියෙත් අද තියෙන ප‍්‍රශ්නය.

දේශපාලනික ප‍්‍රභූ පැලැන්තිය කරන කියන දේවල් ගැන, ඔවුන්ගේ විකාර වැඩ ගැන හොයන්න, විග‍්‍රහ කරන්න අනන්තවත් කාලයක් අපි ගත කරලා තියෙනවා. ඔවුන්ගේ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශන, ඔවුන්ගේ ස්වයං-චරිතාපදාන (එහෙම දේවල් නං ලංකාවේ වැඩිය ඇත්තෙත් නැහැ), ජීවිත කතා වගේ දේවල් අපි ආසාවෙන් හාරාවුස්සනවා.

ඉතිහාසය ලියවෙන්නේ සහ දකින්නේ ප‍්‍රභූන්ගේ ඇහැකින් කියන එක අපි දන්න දෙයක්. ඒ වගේම, සමකාලීන දේශපාලනය සම්බන්ධයෙන් ගත්තත්, අපි මුලූමණින්ම වගේ බලන්නේ, දේශපාලනය හසුරුවන පුද්ගලයෝ දිහා. අහවල් දේශපාලඥයා අහවල් දේශපාලඥයා එක්ක තරහා වෙයිද? එහෙම වුණොත් ආණ්ඩුවට මොකක් වෙයිද? අහවල් ප‍්‍රතිපත්තියට මොකක් වෙයිද? අපේ දේශපාලන සංවාදය යන්නේ අන්න ඒ විදිහට. ඒ හැම කෙනෙක්ම, අපිම හදාගත්ත දේශපාලන සත්තු මිසක් වෙන පිරිසක් නොවන බව අපිට තේරුණොත්, ඒ අහම්බෙන් වගේ. අපි ඒගොල්ලන්ට ඡුන්දේ දීලා තියෙනවා. සමහර වෙලාවට ඒගොල්ලන්ව සිංහයෝ කරලා තියෙනවා. අපට ඉදිරි මාර්ගය පෙන්නලා දෙන්න ඉන්න පිරිසක් විදිහට අපි ඒගොල්ලන්ව, යම් යම් මට්ටම්වලින්, බාර අරගෙන තියෙනවා. ඒගොල්ලෝ අපේ උවමනාවල් ඉෂ්ට කරන්න එතන ඉන්න නියෝජිතයෝ විතරයි කියන එක අපිට හිතෙන්නේ කලාතුරකින්.

මේ කියන හැම කාරණාවකින්ම පේන්නේ, අපේ දේශපාලන අයිතිය ගැන අපිට තියෙන හැඟීම ඉතා අවමයි කියන එකයි. අපි මේ කරන විග‍්‍රහය පදනම් වෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණය මත නිසා, ඒ වගේම, අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ස්වෛරීත්වය තියෙන්නේ ජනතාවක් විදිහට අපේ අතේ නිසා, අපි දිහාවටම පිරික්සුම් එළි දල්වාගන්න එක, ඒ තරමටවත්, සමහර විට ඊටත් වඩා වැදගත් වෙන්න බැරිද? ප‍්‍රතිපත්ති කියන දේවල්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහභාගීත්වයක් තුළින් සකස් කරගන්නට අපි කොච්චර දුරට යොමු වෙනවද කියන එක අපෙන්ම අහගන්න එක වැදගත් ප‍්‍රශ්නයක් නෙවෙයිද? ජනතාවක් විදිහට අපි සතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී හිමිකම් සහ බලතල ගැන විස්වාසයක් අපිට තියෙනවද? ඒ බලතල පාවිච්චි කරලා, අපිට බලපාන ප‍්‍රතිපත්ති සහ ක‍්‍රියාකාරකම් සාධනීය ආකාරයකින් වෙනස් කරගන්න අපිට පුලූවන් කියන විස්වාසයක් අපිට තියෙනවද? ඒ වගේ දේවල්වලට ඕනේ කරන දැනුම සහ නිපුණත්වය අපිට තියෙනවද? එහෙම නැත්නම්, තමන්ගේ දේශපාලනික මනදොළ පුරවාගන්න බලන පිරිස්වල පැත්තක් ගන්න, ඉඳලාහිටලා මැතිවරණ කාලෙකදී ඔවුන්ගේ බහට රැුවටෙන හුදෙක් දේශපාලන මෙවලම් විදිහට ඉන්න එකෙන් අපි සෑහීමකට පත්වෙනවද?

ආමන්ත‍්‍රණය

ශ‍්‍රී ලංකාව සඳහා අර්ථවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අනාගතයක් ගැන සළකා බැලීමට නම් මේ ප‍්‍රශ්නවලට ආමන්ත‍්‍රණය කළ යුතුව තියානවා. ඒ වගේම, මේ කාරණය වරදවා වටහා නොගැනීම සඳහා, මුලින්ම කිව යුතු දෙයක් තියෙනවා. ඒ තමයි, මේ විදිහට වගකීම පුරවැසියන්ටත්, පුරවැසි සාරධර්ම සහ පුරවැසි බැඳියාවන් වෙතටත් පැවරිය යුතුයි කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ, මහජන නියෝජිතයෝ බලය අපහරණය කිරීම ගැන වගකීමෙන් එම නියෝජිතයන්ව නිදහස් කෙරෙන බවක් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ශිෂ්ට සම්පන්න ආකාරයකින් රට පාලනය කිරීමේ ශුද්ධ වූ රාජකාරියෙන් සහ වගකීමෙන් ඔවුන්ව නිදහස් කෙරෙන බවක්. යම් විදිහකින් කිසියම් දේශපාලඥයෙක් කියනවා නම් මේ විදිහෙ බලය අපහරණය කිරීමක් සහ අවපාලනයක් සිද්ධ වෙන්නේ පුරවැසියන්ගේ දුර්වල කමක් නිසා කියලා, ඒක පිස්සු කතාවක් විදිහට අපි බැහැර කරන්න ඕනේ.

ගැලවීමක් වශයෙන් අධ්‍යාපනය?

අපේ දේශපාලන සංස්කෘතියේ බරපතල වරදක් තියෙන බවට, මං හිතන්නේ, පොදු පිළිගැනීමක් තියෙනවා. සමහරු ඒකට කියන්නේ, දේශපාලනය කුණු වෙලා කියලා. ඒත්, මං මුලදිත් කිව්වා වගේ, එහිදිත් අපි වැඩියෙන් අවධාරණය කරන්න බලන්නේ, දේශපාලන සංස්ථාවේ තියෙන දූෂිත භාවයත්, අවුලත් විතරයි. පුරවැසියෝ පැත්තකට වෙලා ඉන්න එකයි, රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තියෙන අර්බුදයයි අතර සම්බන්ධයක් තියෙන බව, මං හිතන්නේ, තේරුම් ගන්නේ අපි ටික දෙනයි. ඒ කොහොම වෙතත්, රටේ පාලන තන්ත‍්‍රයේ ප‍්‍රශ්නය විසඳා ගන්න පිළිතුරු ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ හැම පිළිතුරක්ම වගේ යොමු වෙන්නේ, ව්‍යවස්ථාමය හෝ නීතිමය ප‍්‍රතිසංස්කරණවලට. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත හඳුන්වා දීම, බලය බෙදා ගැනීම සහ මැතිවරණ නීති ප‍්‍රතිසංස්කරණය කිරීම වගේ දේවල් තමයි ඒවාට ඇතුළත් වෙන්නේ. මං නීතිය හදාරන කෙනෙකු වුණත්, ඒ වගේ ව්‍යවස්ථාමය සහ නීතිමය සංශෝධනවලින් පමණක් අපේ දේශපාලන ක‍්‍රමය ප‍්‍රජාතන්තී‍්‍රයකරණයකට ලක් කළ හැකියි කියන අදහස ගැන මගේ විශ්වාසයක් නැහැ. හොඳ නීති රීති තියෙන්න ඕන බව ඇත්ත. ඒක ගැන ප‍්‍රශ්නයක් නැහැ.

ඒත්, නීති කියන දේවල් වුණත් අර්ථකථනය කෙරෙන්නේ සහ ක‍්‍රියාත්මක කෙරෙන්නේ, සමාජයක තියෙන සමාජ-දේශපාලනික ඌරුවකට අනුව. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඇතුලූ අපේ නීතිරීති කිසිම දඬුවමකට යටත් නොවී මහ දවල් උල්ලංඝණය කරන හැටි අපි ඇස්පනා පිට දැකලා තියෙනවා. තත්වය එහෙම නං, අපේ මනෝ සැකැස්ම වෙනස් කරගන්නේ නැතුව, අවශ්‍ය කරන මූලික වෙනස්කම් කරගන්න අපිට පුලූවන් වෙයිද? මං හිතන්නේ නැහැ.

මං ඒකයි අධ්‍යාපනය ගැන අවධාරණය කරන්නේ. සැබෑ වෙනසක් ඇති වෙන්න පුලූවන් දීර්ඝ කාලීනව විතරයි. සමාජයීය යහපතක් වශයෙන් සලකලා අධ්‍යාපනය වෙනුවෙන් බොහෝ සෙයින් ආයෝජනය කරලා තියෙන රටක් විදිහට, පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායයන් බලගන්වමින්, පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රීයකරණයක් සඳහා අවශ්‍ය ප‍්‍රධාන මෙවලම විදිහට අධ්‍යාපනය සැළකිය යුතුයි කියලයි මං හිතන්නේ. විධිමත් වේවා, අවිධිමත් වේවා, අධ්‍යාපනයෙන් තමයි, අදාළ සාරධර්ම පදනමක් පෝෂණය කර ගන්න හරි, තියෙන එක මුවහත් කරගන්න හරි අපිට බලන්න තියෙන්නේ. හොඳින් ස්ථාපිත වෙච්ච ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තියෙන රටවල්වල, අධ්‍යාපන ක‍්‍රමයේ අරමුණු සාමාන්‍යයෙන් ගමන් කරන්නේ, රටේ තියෙන දේශපාලනික සහ ව්‍යවස්ථාමය පරමාදර්ශත් එක්ක. උදාහරණයක් වශයෙන්, ඇමරිකාවේ හරි ස්කැන්ඩිනේවියානු රටවල්වල අධ්‍යාපනය ගන්න පුලූවන්.

මං, අධ්‍යාපන දර්ශනවාදය ගැන විශේෂඥවරියක් නෙවෙයි. ඒත්, විද්‍යාර්ථියෙක් විදිහටත්, ශ‍්‍රී ලංකාවේ වගේම පිටරටවල්වලත් ඉගෙනගෙන තියෙන සහ උගන්වා තියෙන කෙනෙක් හැටියටත්, ඒ සම්බන්ධයෙන් අදහස් කිහිපයක් බෙදා ගන්න මං කැමතියි. ලංකාවේ තියෙන අධ්‍යාපන ක‍්‍රමය, සමාජ වෙනසේ නියෝජිතයෙකු විදිහට පාවිච්චි කරන්න ඕනේ කියලා මං කියන කොට, ඒකෙන් අදහස් වෙන්නේ, පවතින අධ්‍යාපන රටාව ඒකට පාවිච්චි කළ යුතුයි කියන එක නෙවෙයි. අද තියෙන අධ්‍යාපන ක‍්‍රමය, මට පේන විදිහට, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අධ්‍යාපනයක ප‍්‍රතිපක්ෂයයි. මේ අධ්‍යාපන ක‍්‍රමයේ ප‍්‍රධාන අරමුණ වෙන්නේ, ආර්ථිකයේ ඉල්ලූම සපුරාලීම සහ රැුකියා සම්පාදනය කිරීම. විද්‍යාව, ගණිතය, ඉංග‍්‍රීසි සහ තොරතුරු තාක්ෂණය උස්සලා තියන ගමන්, සමාජ විද්‍යාවන් වෙළඳපොළට වැඩක් නැහැ කියලා පහතට දානවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාරධර්ම සහ පුරවැසි සවිඥානකත්වය සැළකෙන්නේ, ප‍්‍රධාන අරමුණට අදාළත්වයක් නැති නොවැදගත් දේවල් විදිහට.

ඉගැන්වීම කියන එක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ, උඩ ඉඳලා පහළට එන දෙයක් විදිහට. පංති කාමරය, අදහස්උදහස් අභියෝග කරන්න පුලූවන්, සංවාද කරන්න පුලූවන් තැනක් නෙවෙයි තවමත්. ශිෂ්‍යයෝ වැඩි කාලයක් ගත කරන්නේ ගිරව් වගේ කටපාඩම් කරගන්න. හැන්දෑවට ටෙලි නාට්‍යයක් දෙකක් බලනවා හැරුණු කොට ඔවුන්ට වෙන දෙයක් නැහැ. ජීවිතේ වටිනාකම මැනෙන්නේ විභාග ප‍්‍රතිඵලවලින්. පහේ පංතියේ ඉන්න ළමයත් ඒ වගේ. විභාග කියන දේවල් අද වෙනකොට, ශිෂ්‍යයන්ට වගේම දෙමව්පියන්ටත්. ක්ෂතියක් වෙලා. ඒත් හැමෝම බලාපොරොත්තු වෙන්නේ ‘ශ‍්‍රී ලංකා සිහිනය’ අත්පත් කරගන්නයි. මේ අය අතරින් හොඳම සහ දීප්තිමත්ම ශිෂ්‍යයන් විදිහට (විභාග ප‍්‍රතිඵලවලින්) තේරෙන අය විශ්ව විද්‍යාලෙට එනවා. එදිදෙනා සිදුවීම් ගැන, දේශීය වේවා, ජාත්‍යන්තර වේවා, ඒගොල්ලන්ගේ දැනුම අන්තිමයි. දිනපතා පත්තරයක් කියවන ශිෂ්‍යයෙක් හම්බ වෙන්නේ කලාතුරකින්. පොදු කාරණයක් ගැන දැනුම් තේරුම් ඇති අදහස් ඉදිරිපත් කරන්න පුලූවන් ශිෂ්‍යයෙක් හම්බ වෙන්නේ කලාතුරකින්. අගවිනිසුරුවරියගේ දෝෂාභියෝගය ගැන හරි, පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව ගැන හරි ඇහැව්වොත් උඩ බලාගෙන ඉන්නවා. 65 ක් විතර ශිෂ්‍යයන් ඉන්න පංතියක බොහෝ දෙනෙක් අහලා නැහැ ලංකාවේ බර්ගර් ප‍්‍රජාවක් ගැන. රටේ තියෙන දේශපාලන ක‍්‍රමය ගැන ප‍්‍රශ්නයක් ඇහැව්වොත්, හුඟාක් ශිෂ්‍යයෝ කියන්නේ, ‘‘අපි දන්නේ නැහැ. අපි උසස් පෙළට දේශපාලන විද්‍යාව කළේ නැහැනේ’’ කියලා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කොහොම වෙතත්, ජීවිතය කියා දෙන අධ්‍යාපන ක‍්‍රමයක්වත් අපිට නැහැ. තරුණයෝ ඉතා බුද්ධිමත්. ඒ වගේම දක්ෂයි. ඒත්, ඔවුන්ව පවතින ක‍්‍රමය විසින් අතරමං කරලයි තියෙන්නේ.

ඇමරිකාවේ අධ්‍යාපන ක‍්‍රමය තියෙන්නේ මේකෙන් අනිත් පැත්තේ. එකේ තියෙනවා අනුභූතික, ඒ කියන්නේ, විමර්ශනාත්මක අධ්‍යාපනයට තැනක්. ඒ අධ්‍යාපන ක‍්‍රමය, විවිධ ක්ෂේත‍්‍ර අතර සහසම්බන්ධතාව පවත්වාගන්න එකක්. එකේ පංති කාමරේ දී අනුගමනය කෙරෙන්නේ, සොක‍්‍රටීස්ගේ විචාර ක‍්‍රමය. ඒක ඇතුළේ, නිදහස් චින්තනය ධෛර්යමත් කෙරෙනවා. අසම්මතය, විවෘතව අදහස් දැක්වීම, ස්වේච්ඡුාව සහ පුරවැසි වගකීම් ආදියට එතන ප‍්‍රතිලාභ තියෙනවා. යම් කිසි ශිෂ්‍යයෙක්ගේ අධ්‍යාපනික සාර්ථකත්වය මනින්නට කලින්, ඔහුගේ හෝ ඇගේ නිපුණතා මාලාවක් ඇගැයීමකට ලක්කෙරෙනවා. කොටින්ම කියනවා නං, ඒ අධ්‍යාපන ක‍්‍රමය, සමාජයේ ඉහළට යන්න දඟලන්න තියෙන නීරස ක‍්‍රියාවලියක් නෙවෙයි. ආණ්ඩුවේ ව්‍යවස්ථාමය ප‍්‍රතිපත්ති, සිවිල් අයිතිවාසිකම් සහ මහජන වගකීම් වගේ දේවල් ඒ රටේ ශිෂ්‍යයන්ගේ අවධානයට යොමු කරවන්නේ හුඟාක් කුඩා කාලේ ඉඳලමයි. බි‍්‍රතාන්‍ය යටත්විජිතවාදයෙන් නිදහස් වීම, අළුත් ජනරජයක් නිර්මාණය කර ගැනීම සහ ඊට අදාළ සාරධර්ම පදනම ඉන්දියානු පුරවැසියන් ගන්නේ කොයි ආකාරයෙන් ද, අන්න ඒ විදිහටම තමයි ඇමරිකානු පුරවැසියාගේ පැවැත්මේ මූලික සාරය සකස් වෙන්නෙත්.

මෑතකදී අපේ විශ්ව විද්‍යාලයේ නීති පීඨය ස්කයිප් තාක්ෂණය හරහා ජගත් සාකච්ඡුාවකට සහභාගී කරගත්තා, සැන්ඩ‍්‍රා ඬේ ඕකෝනර් කියන විනිශ්චයකාරවරියව. එයා තමයි, ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වෙච්ච මුල්ම කාන්තාව. තරුණ නීතිඥයෙක් තමන්ගේ නීති වෘත්තිය පටන්ගත යුත්තේ මොහොකින් ද කියලා අහපු ප‍්‍රශ්නෙට ඇය දුන්න උත්තරය, මං හිතන්නේ ජගත් පේ‍්‍රක්ෂකයන්ගෙන් බොහොමයක් දෙනාව විස්මයට පත්කළා. ඇගේ අවවාදය වුණේ, පුලූවන් තරම් ප‍්‍රජා සංවිධානවලට සම්බන්ධ වෙලා, පුලූවන් තරම් ප‍්‍රජාව සමග අදාළත්වයක් ඇති කරගන්න එක ඉතා වැදගත් බවයි. ඒ මගින්, ආණ්ඩුකරණය ගැනත් බොහෝ දේවල් කෙනෙකුට ඉගෙනගන්න පුලූවන් වෙන බව ඈ පෙන්වා දුන්නා.

ඇමරිකානු අධ්‍යාපන ක‍්‍රමය කෙරෙහි ජෝන් ඩෙවි කරපු බලපෑම ඉතා විශාලයි. ජෝන් ඩෙවි කියන්නේ (1859-1952), විසි වැනි සියවසේ අධ්‍යාපන දර්ශනය සම්බන්ධයෙන් හිටපු වඩාත් බලපෑම් සහිත ඇමරිකානු චින්තකයා. ඔහුගේ ප‍්‍රාමාණික කෘතියක් වන, “Democracy & Education” කියන පොතේ ඔහු පෙන්වා දෙනවා, අධ්‍යාපන ක‍්‍රියාවලියේ මුඛ්‍ය අවධාරණ පථය විය යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බව. අධ්‍යාපනය හරහා සමාජයේ කොටසක් වශයෙන් පුද්ගලයාට ආමන්ත‍්‍රණය කළ යුතු බවත්, එම සම්බන්ධය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය නිපුණතා සහ සාරධර්ම ඒ අධ්‍යාපනය හරහා ලබා දිය යුතු බවත් ඔහු පෙන්වා දුන්නා.

න්‍යායාත්මක ඉගෙනීමට අනිත් පැත්තෙන්, අනුභූතික අධ්‍යාපනය හෙවත් අත්දැකීම් ආශ‍්‍රයෙන් අත්කරගන්නා අධ්‍යාපනය පිළිබඳ මතය ආවෙත්, ජෝන් ඩෙවිගේ දාර්ශනික චින්තනයෙන්. ඒ වගේම මං විස්වාස කරනවා, ඇමරිකාවේ ඉතා ඉහළින් සැළකෙන ලිබරල් කලා අධ්‍යාපනයත්, ඒ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මනෝභාවයට විශාල රුකුලක් වුණා කියලා.

ඒ වගේම, ඇමරිකානු කලා සහ විද්‍යා ඇකඩමිය 2013 දී ප‍්‍රකාශයට පත්කරපු, ‘‘The Heart Of The Matter: The Humanities & Social Sciences For A Vibrant, Competitive Nation’’ කියන අධ්‍යයනයෙන් කියැවෙන විදිහට, හැම ආකාරයකම නූතන අභියෝගයන්ට මුහුණදෙන අතරේ ප‍්‍රජා සහභාගීත්වය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකත්වය නොනවත්වා පවත්වා ගැනීම සඳහා, මානව ශාස්ත‍්‍ර සහ සමාජ විද්‍යාවන් පිළිබඳ ඇමරිකානු අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කිරීමේ සහ අවධාරණය කිරීමේ තියෙන වැදගත් කමත් පෙන්නලා දීලා තියෙන බව මේ අවස්ථාවේදී කියන්න ඕනේ.

ඒ වුණාට ලංකාවේ ප‍්‍රතිපත්ති සම්පාදකයෝ හැම දාම අපිට කියන්නේ කලා අධ්‍යාපනයේ තියෙන නිෂ්ඵල භාවය ගැනමයි. මොකද, කලා උපාධිධාරීන්ට රක්ෂාවල් දෙන්න බැරි නිසා. ජීවිතය ගැන, සමාජය ගැන සහ අපේ සාමූහික අනාගතය ගැන මොන තරම් පටු ආකල්පයක් ද ඒක/ අවසාන වශයෙන් කියන්න ඕනේ, සමාජය සහ සමාජයක ජීවත් වෙන පුද්ගලයාව ප‍්‍රජාතන්ත‍්‍රීයකරණයකට ලක්කරනවා කියන්නේ, හුදෙක් ප‍්‍රජාචාරය සහ දේශපාලන විද්‍යාව ගැන විෂයයක් දෙකක් පාසල් නිර්දේශයට ඇතුලූ කිරීමවත්, දැනටමත් අත්හදාබලලා තියෙන සහ සමාජයීය වශයෙන් අදාළත්වයක් නැති අධ්‍යාපන ක‍්‍රමයක් එහෙන් මෙහෙන් අමුණන එකවත් නොවෙන බව. ඒක, ඊට වඩා පෘථුල ක‍්‍රියාවලියක්. ඒ ගැන තව හුඟාක් හිතන්න දේවල් අපිට තියෙනවා.

නිගමනය

මීට අවුරුදු පහකට කලින් නන්දිකාදල් කලපුවේදී යුද්ධය ඉවර වුණ වෙලාවේ ශ‍්‍රී ලාංකිකයෝ බොහොමයක් හිතුවා ඒක අපේ ඉතිහාසයේ දේශපාලනික සන්ධිස්ථානයක් වෙයි කියලා. ඒකෙන් සමාජයට සහ රටට වෙනසක් ඇති කෙරේවි කියලා. ඒක, බහුත්වවාදී සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ශ‍්‍රී ලංකාවක නව උදාවක් වේවි කියලා.

තාම නම් ඒ මොහොත ඇවිල්ලා නැහැ. අද අපිට වෙලා තියෙන්නේ, අතීතයේ ඉඳං නොවිසඳී තිබුණු ප‍්‍රශ්නවලට උත්තර හොයන්න විතරක් නෙවෙයි, ආගමික අන්තවාදය වගේ අළුත් රාක්ෂයන් එක්කත් පොරබදන්නයි.

අද අපි ඇවිත් ඉන්න මේ දේශපාලනික මොහොතෙදී අපි ආවර්ජනා කළ යුතු අත්‍යාවශ්‍ය දෙයක් තියෙනවා. ඒ තමයි, පුරවැසියෝ විදිහට අපිට පැවරෙන රාජකාරිය ගැන හිතලා, වෙනසක් වෙනකල් බලාගෙන ඉන්නවද, එහෙම නැත්නම්, පුරවැසියෝ විදිහට අපේ බලය සහ වටිනාකම තේරුම් අරගෙන, අපි ආශා කරන නව ආරම්භයක් සඳහා ගාමක බලවේගය වෙනවද කියන එක.

*‘‘ජනතාව වන අපි: ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුකරණය සහ ප‍්‍රජා නියුක්තිය පිළිබඳ ආවර්ජනා’’ මැයෙන් කරන ලද, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ 2014 අනුස්මණ දේශනයේ සංක්ෂිප්ත සටහනකි. සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page