Colombo Telegraph

රාජකීයයන්ගේ ගැටුමකින් පසු නව ව්‍යවස්ථා – දේශපාලන ප්‍රවණතා හඳුනාගැනීම

ධනුෂ්ක සිල්වා

ධනුෂ්ක සිල්වා

ඔක්තෝබර් 26 ආකස්මික දේශපාලන කුමන්ත්‍රණයේ පරිසමාප්තිය සටහන් වූයේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම (2096/70 ගැසට් පත්‍රය) නීති – ව්‍යවස්ථා විරෝධී යැයි ඒකමතිකව තීරණය කිරීමෙනි. ගරු අධිකරණ තීන්දුවත් සමඟ දේශපාලන – ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් ලෙස බොහෝදෙනා න්‍යායගත කිරීමට වෙහෙසුණු කුප්‍රකට ආණ්ඩු ව්‍යපර්යාසයට ලැබෙන විෂයානුබද්ධ නිර්වචනය දේශපාලඥයන් දෙදෙනෙකු තම තමන්ගේ මනෝරථපුරණය වෙනුවෙන් කළ “හුදු කුමන්ත්‍රණයක්” තරමට තනුක වී තිබේ.එමනිසා ගරු විනිසුරන්ගේ විශිෂ්ට බුද්ධියේ හා ස්වාධීනත්වයේ නිර්මිතයක් බදු නඩු තීන්දුවට ලැබෙන ගෞරවනීය තැන අනාගතය විසින් තීරණය කරනු ඇත. 

මෙම ලිපිය ඔක්තෝබර් 26 ආකස්මික දේශපාලනයෙන් උද්භව වූ නව ව්‍යවස්ථා හා දේශපාලන පැතිමාන 03 ක් අනාවරණය කරයි.

මතවාද සාධාරණීකරණය

ඔක්තොබර් 26 කුප්‍රකට ආණ්ඩු ව්‍යපර්යාසය දින 51 ක් පුරා දිගහැරුනු දේශපාලනික උභතෝකෝටිකයන් දක්වා වර්ධනය වූයේ ප්‍රධාන සිදුවීම් 03 ක් මුල් කරගෙනය.

1. සිරිසේන – මහින්ද දේශපාලනික විලෝමයන් එකමුතු වී සහයෝගී ආණ්ඩුවක් නිර්මාණය කිරීම.

2. සිරිසේන ජනාධිපතිවරයා තමන්ගේ උපරිම විශ්වාසය මහින්ද රාජපක්ෂ මහතා මත තබමින් ඔහු අගමැති තනතුරේ පත්කිරීම.

3. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම.

මින් අංක 01 සිදුවීම දේශපාලන සදාචාරාත්මක පක්ෂය ප්‍රශ්න කළේය. දේශපාලන ඉතිහාසයේ සිට ප්‍රදර්ශනය කරමින් තිබෙන ‘දේශපාලනයේ සදාකාලික අවශ්‍යතාවයන් මිස සදාකාලික මිතුරන් – සතුරන් නොමැත.’ තිසීසයට දේශපාලනය හා දේශපාලන රැඟුම්කරුවන්ගේ හෘද සාක්ෂිය මේ තරමට දියාරු කළ හැකි ද? යන ප්‍රශ්නය ව්‍යුත්පන්න විය. අංක 02 හා 03 සිදුවීම් නීති ප්‍රශ්න විය. කෙසේවෙතත් සිදුවීම් 03 කෙරෙහිම පොදු ව්‍යවහාරයේ නොකැමැත්තක් වර්ධනය විය. Sunday Times මේ සම්බන්ධව කළ අන්තර්ජාල මත විමසුමකින් (Online Poll) අනාවරණය වූයේ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සදාචාරාත්මක නොවන බව 83% ක ප්‍රතිශතයකගේ මතය වී ඇති බවයි. 56% ක පිරිසක් සදාචාරාත්මක හෝ නීත්‍යානුකූල නොවන බවට පොදු එකඟතාවයක සිටියහ. 

අර්බුදය දික්ගැස්සුනු දින 51 තුළ අංක 2 හා 3 කරුණු ගැන දේශපාලඥයන්, සංඝ – දේශපාලඥයන්, නීතිඥයන් හා සරසවි ඇඳුරන් තම තමන්ගේ දේශපාලන අස්ථානවල සිට තමන්ගේ මතය සාධාරණීකරණය කරන තැනකට ගියහ. සිරිසේන – මහින්ද එකමුතුව සාධාරණීකරණය කළ පිරිස ඔවුන්ගේ මනොමය පර්යාවලොකනයේ ඉදිවූ උටෝපියානු ආණ්ඩුව ‘ලංකා ආණ්ඩුව’ බවට පරිවර්තනය කිරීමේ අනවතර උත්සහයක නිමග්න විය. ඉන් නොනැවතී ජාතිකවාදී ස්වරූපයකින් උටෝපියානු ආණ්ඩුව සමස්ථ ලංකාවාසීන්ටම පිළිගැනීමට බලකළහ.

 එහෙත් නඩු තීන්දුවෙන් පසු කුමන්ත්‍රණයේ සුඛ පක්ෂය සාධාරණීකරණය කළ අයගේ තර්කවල අරුත්සුන් බවත්, තම තමන්ගේ තර්ක පටු දේශපාලන අවශ්‍යතා සමඟ බන්දන විට ස්වාධීන බුද්ධිය විපරීත වන අන්දම තේරුම් ගැනීමට ඔවුන්ට කාලය ඉඩ දී තිබේ.මීට අමතරව, යම් ස්වාධීන අස්ථානයක සිට දේශපාලනය ගැන විමර්ශනශීලී වෙමින් ප්‍රජාතන්ත්‍රවාදයේ අවම මූලධර්ම අගයන අයගේ චින්තනය මෙම අද්විතීය නඩු තීන්දුවෙන් අභිෂේක ගැන්වී තිබෙන බව පැහැදිළි ය.

විධායකය අහෝසියිනව රුෂනාලයක්

1978 – 2015 ජනවාරිය අතර වසර 37 කාලයම විධායක ජනාධිපති ධූරය අහෝසිකිරීමේ කතිකාව මුඛ්‍යධාරාවේ න්‍යායගතව තිබුණේ එම ධූරය ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිගත් මූලධර්ය තර්ජනයට ලක්කරමින් සෙමෙන් වුවත් ක්‍රමයෙන් ඒකාධිපතීත්වයට අත්තිවාරම දමන බවට වූ රුෂනාලය මතයි. එහෙත් 2015 ජනවාරියෙන් පසු, විශේෂයෙන්ම ඔක්තෝබර් 26 කුප්‍රකට කුමන්ත්‍රණයෙන් පසු විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ කතිකාවට මෙතෙක් කලක් ප්‍රත්‍යක්ෂ සාධක නොතිබුණු නව නිමිත්තක් එකතු වී තිබේ. එනම් ජනාධිපති ධූරයේ බලයේ පරිමිතිය ගැන නියමාකාර දැනීමක් හා අවබෝධයක් නැති අයෙකු අතට විධායක ජනාධිපති ධූරය ලැබීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ අවම මූලධර්ම (ව්‍යවස්ථානුකූලවාදය, නීතියේ ආධිපත්‍යය, ව්‍යවස්ථානුකූල සදාචාරවාදය වැනි) තර්ජනයට ලක්කරන ආකාරය ගැන ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබා ගැනීමට ඉතිහාසයේ කවරදාකවත් ලබා නොදුන් අවස්ථාවක් ඔක්තොබර් 26 කුප්‍රකට කුමන්ත්‍රණය විසින් ලබා දී තිබේ. එමනිසා මේ වනවිට විධායක ජනාධිපතිධූරය අහෝසිකිරීමේ කතිකාව මුඛ්‍යාධාරාවේ දේශපාලන තේමා අතර වැදගත් තැනකට පැමිණ තිබේ.

19 හා නව පැතිමානයක්

මෙතෙක් කලක් 78 ව්‍යවස්ථාව ගැන අපට තිබූ අතිමූලික පිළිගැනීම වූයේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර ගැටුම්කාරී තත්වයක් ඇතිවීම වැළැක්වීමට න්‍යායාත්මක ප්‍රතිපාදන ව්‍යවස්ථාවට ඇතුළත් නොවන බවයි. 78 ව්‍යවස්ථාව ගැන තර්කානුකූල විවේඡනයක් ලියමින් ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මෙම තත්වය න්‍යායගත කළේ ‘රාජකීයයන්ගේ ගැටුමකට’ මුල පාදන අංගවිකල ආණ්ඩුක්‍රමයක් ලෙසයි. මෙම විශේෂ අලංකාරිකය යොදාගැනීමට ආචාර්ය පෙරේරා යොමු වන්නේ රාජකීයන්ගේ ගැටුමකින් උද්භව වන සාහසික ප්‍රතිළුල 78 ව්‍යවස්ථාව විසින් නුදුරු දිනක උද්ගත කළ හැකි ගැටුම්කාරී ස්වරූපයට මුළුමනින්ම හෝ හාත්පසින් ම සමාන වීමයි.

සාමාන්‍යය තත්වයන් යටතේ රාජකීය ගැටුමකින් වැඩිපුර වාසිය හෝ සමස්ත ජයග්‍රහණයේ මුළු කොටස හිමිවන්නේ රාජ්‍යත්වය හොබවන රාජකීයයාටයි. මූලික ව්‍යවස්ථා මූලධර්මවලට අනුකූලවෙමින් නොවෙමින් සම්පාදනය කළ 78 ව්‍යවස්ථාව (13,17 හා 19 සංශෝධනය එකතුවීමට පෙර) ජනාධිපතිධූරය රාජ්‍යත්වයට ඔසවා තිබේ. එනම්, සමස්ථ ආණ්ඩුක්‍රම දේහය පුරාම නිදහසේ දෑත් විහිදුවා තමන්ට කැමති දේශපාලන අරුමැසි කරමින් දේශපාලනිකව සුරාන්තියට පත්වීමේ අසීමාන්තික නිදහසක් ව්‍යවස්ථාව විසින් ලබා දී ඇති බවයි. මෙවැනි තත්වයක් තුළ, රාජකීයයන් අතර ගැටුමක දී නිසැක ජයග්‍රහණය ජනාධිපතිවරයාට අත් කර දීමට කුමන්ත්‍රණකාරී ලෙස ව්‍යවස්ථාව උත්සාහකරන බවයි.

එහෙත් 19 වැනි සංශෝධනයෙන් මෙම අනවශ්‍යය සුරාන්තිමය තත්වයෙන් ජනාධිපතිවරයා පුබුදුවා ප්‍රකෘති සිහියට ගැනීමට උත්සාහ කරයි. වෙනත් අරුතකින් කියතොත් රාජකීයයන්ගේ ගැටුමක දී කුමන්ත්‍රණකාරී ලෙස ජනාධිපතිවරයාට ජයග්‍රහණය කිරීමට තිබූ අසීමිත නිදහස අහිමි කිරීමයි. ඔක්තොබර් 26 කුමන්ත්‍රණයෙන් ජනාධිපතිවරයා ගරු අධිකරණය ඉදිරියේ පරාජයට පත්වන්නේ මේ නව තත්වය යටතේ ය.

මීට අමතරව, 19 සංශෝධනයේ මූලික න්‍යායාත්මක ගැටළුවක් ලෙස දේශපාලන විද්‍යාඥයන්, ව්‍යවස්ථා විවේඡකයන් හා යම් ස්වාධීන කල්පනාවක් ඇති දේශපාලඥයන් පවා පූර්ව උපකල්පනය කරනු ලැබුවේ රාජකීයයන්ගේ ගැටුමක දී ‘ගැටුම’ සමස්ත රාජ්‍යය තත්ත්‍රයම පෙළන ආණ්ඩුක්‍රම අර්බුදයකින් තොරව බේරා ගැනීමට ඇති නොහැකියාවයි. විශේෂයෙන්ම මෙවැනි අර්බුදකාරී අවස්ථාවක් ඉතා ලෙහෙසියෙන්ම නිරාකරණය කරගැනීමට කලින් තිබූ (පාර්ලිමේන්තුව එක් වසරකින් විසුරුවා හැරීම වැනි) සරල ප්‍රතිකර්ම ඉවත්කිරීමෙන් උත්ගතවන තත්වය ගැනයි.

සාමාන්‍යය විග්‍රහයේ දී යම් නීතියක අනුකූලතාවය, ශක්තිමත් භාවය හා පිරිපුන්බව තීරණය කරනු ලබන්නේ යම් නිශ්චිත දේශපාලන සිදුවීමක්/ සිදුවීම් විසිනි. 19 සංශෝධනයේ කුමනාකාරයේ සීමිතකම් තිබුණත් මෙම අර්බුදකාරී තත්වය හමුවේ එහි අනුකූලතාවය (උපකල්පනය කළ මට්ටමට වඩා) තීරණය කර තිබේ.

අවසන් විග්‍රහයේ දී මෙම අර්බුදකාරී තත්වය විසින් උත්ගත කළ අගය කළ යුතුම කාරණය ලෙස ගණන් ගත යුතු වන්නේ රාජකීයයන්ගේ ගැටුමක දී මෙතෙක් කල් කුප්‍රකට ලෙස ජයගත් ‘රජ’ පරාජය කර පාර්ලිමේන්තුව හා අධිකරණයට ජයගැනීමට අවශ්‍යය ප්‍රතිපාදන නිර්මාණය වී තිබීමයි. පෙරදී රජුට තිබූ අනවශ්‍යය නිදහස අධිකරණයට අවශ්‍යාකාරයට ලබා දීමයි. එසේ නොවුනේ නම් අද සව්දිය පුරන්නේ ප්‍රජානත්ත්‍රවාදය නොව කුමන්ත්‍රණකාරී රජු ය.

Back to Home page