Colombo Telegraph

අළුත්ගම අවතාර සමග පොරබැදීම

දරීශා බැස්ටියන්ස්

දරීශා බැස්ටියන්ස්

ඊළඟ වසරේ මාර්තුවේ ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තීරණාත්මක සැසි වාරයට කලින්, අළුතින් පත්වූ මානව හිමිකම් මහ කොමසාරිස් ප‍්‍රින්ස් සයිඞ්ගේ හිත දිනා ගැනීමටත්, ජිනීවා නුවරදී පසුගිය කාලයේ ආණ්ඩුවට සහයෝගය දැක්වූ මුස්ලිම් රටවල් කණ්ඩායමේ සහාය රැුක ගැනීමටත් ලංකාව විශේෂ උත්සාහයක් ගනිමින් සිටී. එහෙත්, අළුත්ගම කෝලාහල විසින් ඇති කළ අඳුර ඒ අස්සේ තිබේ.

ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව යමක් ගැන අසීමිත සේ අපේක්ෂා රඳවා සිටින්නේ නම්, නොවැරදීම එම අපේක්ෂාව සුනුවිසුණු වීමටත්, ඒ හේතුවෙන් කර්කශ කෝන්තරයකට මුල පිරීමටත් හොඳටම ඉඩ තිබේ. දැන්, ප‍්‍රින්ස් සයිඞ් අල් හුසේන් කෙරෙහි ලංකා ආණ්ඩුව අපේක්ෂා රඳවයි. ඔහුට කලින් සිටි නවී පිල්ලේ 2009 සිටම රාජපක්ෂ ආණ්ඩුව මැඩෙව්වාය. නැතහොත්, එසේ යැයි ආණ්ඩුව සිතයි. එසේ වුණේ, නවී පිල්ලේගේ දෙමළ සම්භවය නිසා යැයි තමන් සිතන බව ආණ්ඩුව නොසඟවයි.

ජෝර්දාන් ජාතික සයිඞ් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් අපක්ෂපාතී වෙතැ යි සහ වෘත්තීයමය වශයෙන් ස්වාධීන්තවයක් භජනය කරනු ඇතැ යි ආණ්ඩුව සිතයි. නවී පිල්ලේ විශ‍්‍රාම යන තෙක් ඇඟිලි ගණන් කරමින් සිටි ආණ්ඩුව, සයිඞ්ගේ පැමිණීම ලංකාවට අළුත් පිටුවක් වනු ඇතැ යි සිතීය.

එහෙත් සිදුවුණේ අනෙකකි. පසුගිය සැප්තැම්බර් 8 වැනි දා ප‍්‍රථම වතාවට ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇමතූ අවස්ථාවේ නවී පිල්ලේ ගැන මුව නොසෑහෙන වර්ණනාවක් කෙළේය. ලෝකය පුරා වෙසෙන, අපහරණයේ සහ ක‍්‍රෑරත්වයේ වින්දිතයන්ගේ හඬ ඇයි විණැ යි ඔහු කීය. ඇගේ එම මෙහෙවර ඉදිරියටත් කරගෙන යාමට සපථ කළ ඔහු, ලංකාව සම්බන්ධයෙන් පිල්ලේගේ ආමන්ත‍්‍රණයම ප‍්‍රතිරාව කෙළේය. එනම්, දැන් තමන් නායකත්වය දරණ ආයතනය මගින් කෙරෙමින් පවතින පරීක්ෂණයට ලංකාවේ ආණ්ඩුව සහයෝගය දැක්විය යුතු බව ය. ඒ සමගම, ලංකාවේ වෙසෙන සුළු ජාතික හා සුළු ආගමික ප‍්‍රජාවන්ටත්, මානව හිමිකම් ආරක්ෂකයන්ටත් එල්ල වී ඇති තර්ජන ගැන ඔහු බලවත් කණස්සල්ල පළ කෙළේය. කොටින්ම, ආණ්ඩුවේ සෝඩා බුබුළ හිතුවාටත් කලින් පුපුරා ගිය බවක් පෙනුණි. ක‍්‍රීඩකයන් වෙනස් වී තිබෙන්ට පිළිවන. එහෙත්, අළුතෙන් මානව හිමිකම් කොමසාරිස් ධුරයට පත්වූ තැනැත්තා ගයන්නේ ද එකම තාලයයි. එය අරුමයක් නොවේ. මන්ද යත්, ශ‍්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර න්‍යාය පත‍්‍රය සැකසෙන්නේ, ක‍්‍රියාවලීන් සහ ප‍්‍රතිපත්ති හරහා මිස, අපේ ආණ්ඩුව සිතන පරිදි පුද්ගලයන් හරහා නොවන නිසා ය.

ක‍්‍රියාවලීන් සහ ආයතනමය ප‍්‍රතිපත්ති තමන්ගේ පැත්තට දිනාගත නොහැකි වන විට ආණ්ඩුව කරන්නේ, පුද්ගලයන් තමන් වෙත නම්මාගෙන ඒ ගැන ආඩම්බර වීමයි. බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ නේස්බි සාමිවරයා ඇතුළු තවත් කිහිප දෙනෙකු ලවා ශ‍්‍රී ලංකාව පිළිබඳ එක්සත් රාජධානියේ ප‍්‍රතිපත්තිය විවේචනය කරවා ගැනීම ඉන් එක් අවස්ථාවකි. මේ අංශයෙන් ලංකා ආණ්ඩුව යම් සාර්ථකත්වයක් ලද තවත් අවස්ථාවක් වන්නේ, පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කමලේශ් ෂර්මාව තමන්ගේ පැත්තට නම්මවා ගැනීමයි. ඉන්දියාවේ හිටපු රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරියෙකු වන මොහු, ලංකාවේ අගවිනිසුරුවරියව නීති විරෝධී ආකාරයෙන් ඉවත් කිරීමේ සිද්ධිය පවා විවේචනය නොකිරීමට තරම්, ලංකාවේ අධිකරණ පද්ධතිය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කෙරුවාව ගැන විශ්වාසය රඳවන්නෙකි.

සයිඞ් ජාතියෙන් ගත් විට අයත් වන්නේ, ශ‍්‍රී ලංකා ආණ්ඩුවට බෙහෙවින් හිතෛශී රාජ්‍ය කණ්ඩායමකට අයත් රටකටයි. ජෝර්දාන් ජාතික මේ නීතිඥයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ධුරයට පත්වීම ගැන ලංකාවේ ආණ්ඩුව අහ්දාලදයට පත්වීම, ලංකාව ගැනත්, ලංකාවේ මානව හිමිකම් ගැනත් ගොඩනැගී ඇති ජාත්‍යන්තර මතය පුද්ගලයන් හරහා වෙනස් කර ගැනීමට හැකි වෙතැ යි යන විශ්වාසයකට කොපමණ දුරකට ඔරොත්තු දිය හැක්කක්ද?

‘ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ’ තීරණාත්මක භූමිකාව

එක්තරා විදිහකින් අස්පෂ්ට ස්වභාවයක් ගන්නා මේ ගණනය සඳහාත්, ජිනීවා නුවර මානව හිමිකම් සංවිධානය තුළ ශ‍්‍රී ලංකාවට දැනට ආධාර කරන මුස්ලිම් රටවල සහයෝගය දිගටම පවත්වා ගැනීමේ අපේක්ෂාව සඳහාත්, ‘ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයට’ පැවරෙන කාර්ය භාරයක් තිබේ. මේ සංවිධානය ශ‍්‍රී ලංකාව කෙරෙහි කොතෙක් මිත‍්‍රශීලී වී ඇත් ද යත්, සාමාජික රටවල් 57 කින් සැදුම්ලත් ඔවුන්ගේ සංවිධානයේ ‘නිරීක්ෂණ සාමාජිකත්වය’ සඳහාත් ලංකාව ඉල්ලූම් කොට තිබේ.

එසේ තිබියදී, ජුනි මාසයේ අළුත්ගම සිදුවීම්වලින් පසු, මෙම සංවිධානය ශ‍්‍රී ලංකාව පිළිබඳ පෙර නොවූ විරූ ආකාරයේ ප‍්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කෙළේය. පෞද්ගලිකව ඔවුන් ලංකාවේ ආණ්ඩුවට දන්වා ඇති දැනුම්දීම් ඊටත් වඩාත් සැර පරුෂ බව කියැවේ. ලංකාවේ දකුණුදිග වෙසෙන මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව මුදාහැරුණු හිංසනය ගැන බලවත් අප‍්‍රසාදය, ඉතා සැර වචන ඔස්සේ ඔවුන්ගේ ප‍්‍රසිද්ධ නිවේදනයෙන් කියා තිබුණි. අළුත්ගම සිද්ධිය ගැන ජිනීවා නුවරදීත්, කොළඹදීත්, වෙනත් තැන්වලදීත් නිකුත් වූ සියලූ රාජ්‍ය තාන්ත‍්‍රික නිවේදන එකට ගත්තත්, ඒ සියල්ලටමත් වඩා ‘ඉස්ලාම් සහයෝගීතා සංවිධානය’ නිකුත් කළ විවේචනාත්මක ප‍්‍රතිචාරයෙන් ලංකා ආණ්ඩුව සැලූණි. ජුලි මාසය මැද හරියේ දී, ජනාධිපති මහින්ද රාජපක්ෂ, මුස්ලිම් කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක අබ්දුල් කාදර් මන්සූර් මව්ලානාව, සෞදි අරාබියේ පිහිටි මේ සංවිධානයේ මූලස්ථානයට යැව්වේය. ඒ, එම සංවිධානයේ මහලේකම්, ඉයඞ් අමීන් මදානි මුණගැසීමටයි. අළුත්ගම සහ බේරුවල සිදුවූ දේවල්, ඕනෑවට වඩා පුම්බා ඇති බව එම සංවිධානයේ මහලේකම්වරයාට දන්වා සිටීම, අපේ ජනාධිපති උපදේශකවරයාගේ අපේක්ෂාව විය.

ලංකා ආණ්ඩුවේ මේ විත්තිවාචකය එන විට, අවශ්‍ය කරන සියලූ දේවල් ගැන විස්තර මහලේකම්වරයාගේ සන්තකයේ තිබුණි. හිංසනයටත්, ජීවිත හානියට හා දේපළ හානියටත් සම්බන්ධ විස්තරාත්මක වාර්තා සහ ඡුායාරූපමය සාක්ෂි ඕනෑවටත් වඩා ඔවුන්ගේ අතේ තිබුණි. ඒ තොරතුරු සහිතව ලංකා නියෝජිතයාව ප‍්‍රශ්න කිරීමට ඔහුට හැකි විය. ඒ ප‍්‍රශ්න ගැන වඩාත් සවිස්තරාත්මකව සාකච්ඡුා කිරීමට තවත් ඉහළ පෙළේ හමුවක් ඉල්ලා සිටි විට මහලේකම්වරයා එය ගර්හාවෙන් යුතුව ප‍්‍රතික්ෂේප කළ බව සැළයි.

හමුදාව ලවා අස්පස් කැරැුවීම සහ අළුත්වැඩියා මෙහෙයුම

ආගමික ගැටුම්වලින් අළුත්ගම සහ බේරුවල උඩුයටිකුරු කිරීමෙන් තුන් මසක් ඇවෑමෙන්, හමුදාමය අස්පස් කිරීම් සහ අළුත්වැඩියා මෙහෙයුම් බොහෝ දුරට සමාප්ත වී ඇත. ගිනි ගත් මුස්ලිම් පල්ලි, නිවාස සහ කඩසාප්පු හමුදාව මැදිහත් වී පිළිසකර කොට ඇත. එසේ තිබියදී, කලබලවලින් පසු එම ප‍්‍රදේශයට ලොකු ලොක්කෝ බෙහෙවින් වඩිති. හිංසනයෙන් විනාශ වී ගිය, අළුත්මග දර්ගා නගරයේ සීනිවත්ත මුස්ලිම් පල්ලිය නැවත විවෘත කිරීමේ උළෙලට ජනාධිපතිවරයාම සහභාගී විය. හිංසනයෙන් සති තුනක් ගිය තැන, ඉස්ලාම් පූජණීය ස්ථානවල කරක් ගැසූ ජනාධිපතිවරයා, ආගමික සහජීවනය ගැන බණ කියමින්, ලංකාවේ ජනතාව විරසක කිරීමට කැසකවන විදේශ කුමන්ත‍්‍රණ ගැනත් මතක් කර දුනි.

තම නිලධාරීන්ගේ වැඩ කටයුතු නිරීක්ෂණය කිරීමට හමුදාපති දයා රත්නායක ද එම ප‍්‍රදේශයේ සංචාරය කෙළේය. රටේ ක‍්‍රියාත්මක වන බෞද්ධ අන්තවාදී කල්ලි සමග තමාගේ ගනුදෙනුවක් නැති බව කියාපෑමට ගෝඨාභය රාජපක්ෂ විශේෂ උත්සාහයක් ගත්තේය. මේ අතර, බොදුබල සේනාව සහ එහි අනුකාරක කල්ලි, දැනට සිය මුස්ලිම්-විරෝධය යටපත් කොටගෙන සිටින සෙයක් පෙනේ. ඒ වෙනුවට, එහි ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර මේ දිනවල කරන්නේ, තමන්ගේ අතීත ශෘංගාර අත්දැකීම් ගැන පුවත්පත්වලට සම්මුඛ සාකච්ඡුා දීමයි.

‘ඉස්ලාම් සහයෝගීතා සංවිධානය’ ගවේෂණ චාරිකාවක

කෙසේ වෙතත්, ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ ආරාධනය මත, ‘ඉස්ලාම් සහයෝගීතා සංවිධානයේ’ ගවේෂණ කණ්ඩායමක් ලංකාවට පැමිණීමට නියමිත බව ආරංචි මාර්ග දක්වයි. දැන් වසරකට වැඩි කාලයක් තිස්සේ ලංකාවේ සිදුවන මුස්ලිම්-විරෝධී හිංසනය සහ මුස්ලිම්-විරෝධී වෛරී භාෂණය ගැන ‘ඉස්ලාම් සහයෝගීතා සංවිධානය’ පරීක්ෂාවෙන් සිටි බව සැළයි. ගවේෂණ චාරිකාවේ යෙදෙන කණ්ඩායම සිය වාර්තාව එම සංවිධානයේ මහලේකම්වරයාට භාර දෙනු ඇත. මෙවැනි කණ්ඩායමක් විසින් තොරතුරු සොයා බලනු ලැබීම ගැන සිංහල අන්තවාදී ව්‍යාපාර වෙතින් යම් විරෝධයක් මතුවිය හැකි වෙතැ යි අපේක්ෂා කළත්, එවැන්නකට මෙවර ආණ්ඩුව යට වන එකක් නැතැ යි ද කියැවේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නව කොමසාරිස්වරයා ගැන ආණ්ඩුව තබා තිබෙන බලාපොරොත්තුව උඩ, ‘ඉස්ලාම් සහයෝගීතා සංවිධානය’ සමග සාධනීය ගනුදෙනුවක් පවත්වා ගැනීම තමන්ට ප‍්‍රයෝජනවත් වෙතැ යි ආණ්ඩුව සිතයි. එම සංවිධානය හරහා අළුත් මහලේකම්වරයාගේ හිත දිනා ගැනීමට හැකි වෙතැ යි යන්න ආණ්ඩුවේ අපේක්ෂාවයි. එහෙත් කලාපීය බලපෑම්වලට සහ තමාගේ දේශීය බලපෑම්වලට නව කොමසාරිස්වරයා යට වෙතැ යි සිතීමට කිසි සාක්ෂියක් ඇත්තේ නැත.

මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ පත්වීම

මානව හිමිකම් මහකොමසාරිස්වරයෙකු, සිව් වසර බැගින් වන වාර දෙකක් සඳහා තෝරාපත් කර ගැනේ. 2008 දී එම තනතුරට පත් නවී පිල්ලේ සිටියේ වසර 6 ක් පමණි. අට වසරක් සම්පූර්ණ කර ගැනීමට ඇයට නොහැකි වුණේ, ඊශ‍්‍රායලය ගැන ඇගේ තිබූ දැඩි විවේචනය නිසා ඈ පිළිබඳ ඇමරිකාවේ හිත නොරොක් වීම බව, එක්සත් ජාතීන්ගේ සංවිධාන ක්ෂේත‍්‍රයේ පවතින ප‍්‍රකට රහසකි. 2012 දී ඇගේ ධුර කාලය දිග් කිරීමේ දී එය අවුරුදු දෙකකට පමණක් සීමා කෙළේ ඇමරිකාව බව මාධ්‍ය වාර්තා දක්වයි.

එහෙත් නව කොමසාරිස්වරයා තමන්ගේ යහළුවෙකැ යි ආණ්ඩුව සිතයි. ඒ ආකාරයටම, නවී පිල්ලේ තමන්ගේ සැතිරියකැ යි ආණ්ඩුව සිතුවේය. ජෝර්දාන රජ පෙළපතට සම්බන්ධකම් ඇති නව කොමසාරිස්වරයා කෙරෙහි, මානව හිමිකම් කවුන්සිලයේ දී ලංකාවට සහාය දැක්වූ ඉස්ලාම් රාජ්‍ය සමූහය හරහා බලපෑම් කිරීමට තමන්ට හැකි වෙතැ යි ආණ්ඩුව සිතන්නට පුලූවන. මෙය ඉතා බොළඳ අපේක්ෂාවක් විය හැකිය. ඔහු ජාත්‍යන්තර නීති ප‍්‍රතිපදාවන් ගැන දැඩි විශ්වාසය තබන්නෙකු පමණක් නොව, මේ සංවේදී තනතුර සඳහා ඇමරිකාවේ තේරීම වුණේ ද ඔහු ය.

මේ දීර්ඝ සටන තුළ ඔහු කෙරෙහි ලංකාවේ ආණ්ඩුවට තැබිය හැකි විශ්වාසය හිතනවාට වඩා හුඟාක් අඩු ය. එසේම, ඉස්ලාම් රාජ්‍ය සංවිධානය කෙරෙහි ඊට වඩා විශ්වාසයක් තැබීමට පුලූවන් කමක් ඇත. ඊළඟ මාර්තුවේ ජිනීවා සැසිවාරයේ දී තීරණාත්මක විය හැක්කේ, අළුත්ගම හිංසනයේ අවතාර සහ උරුමයේ හොල්මන් මැද, එම රාජ්‍ය කණ්ඩායමේ බිඳුණු හිත නැවත දිනා ගැනීමයි.

*2014 සැප්තැම්බර් 11 වැනි දා ‘ඬේලි එෆ්.ටී’ පුවත්පතේ පළවූ Battling The Ghosts Of Aluthgama නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ 

Back to Home page