Colombo Telegraph

ස්තී‍්‍ර විරෝධී අන්තවාදී කැෆේ සංවිධානය මැතිවරණ නිරීක්ෂණයේ

ඩයනා ගමගේ –

මහින්ද දේශපි‍්‍රය මහතා

මැතිවරණ කොමසාරිස්
මැතිවරණ ලේකම් කාර්යාලයය
රාජගිරිය.

මැතිවරණ කොමසාරිස්තුමනි,

”අන්තවාදී කැෆේ” සංවිධානයට මැතිවරණ නිරීක්ෂණය සඳහා ඉඩ නොදෙන ලෙස ඉල්ලීම

අපේ රටේ මැතිවරණ ‘‘නිරීක්ෂණය’’ සඳහා අවසර ඇත්තේ, මැතිවරණ කොමසාරිස් ලෙස ඔබගේ අභිමතය මත පමණි. ඉන්දියාවේ මෙන් නීතිමය අවකාශයක් අපේ රටේ නොමැති බැව් අපගේ තේරුම් ගැනීම ය. එවගේම අපේ මැතිවරණ වලදී නිරීක්ෂණය (Observation) හා අධීක්ෂණය (Monitoring)  යන කාර්යන් පටලවා ගෙන ඇතැයි ද අපගේ හැ`ගීම ය. ඉන්දියානු නීතියට අනුව මැතිවරණ කොමසාරිස්වරයාට මැතිවරණ අධීක්ෂණය සඳහා නිල අධීක්ෂකයින් පත් කළ හැකි ය. එනිසා ඔවුන්ට අධීක්ෂකයින් ලෙස මැතිවරණ කි‍්‍රයාවලියට මැදිහත් විය හැකි ය. නිරීක්ෂකයින්ට එවැනි බලයක් හෝ අයිතියක් නැත. එහෙත් අපේ රටේ නිරීක්ෂකයින් ඔවුනට නිරීක්ෂකයින් ලෙස බාරවන කාර්යට හා වගකීමට එහා ගොසින් සමාජයේ ඇතැමුන්ගේ මූලික අයිතීන් පවා අහෝසි වන ආකාරයට කටයුතු කරන බව පසුගිය දිනිකැෆේ යැ’යි ජනපි‍්‍රය නාමයෙන් හඳුන්වනු ලබන නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය ප‍්‍රසිද්ධියේ ඔප්පු කළේ ය.

ඩයනා ගමගේ -සභාපති
– එක්සත් කාන්තා පෙරමුණ

අපේ රටේ මැතිවරණ නිරීක්ෂණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ එකගත්වය ලබා දී ඇත්තේ එය යහපත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පියවරක් ලෙස පිළිගන්නා හෙයිනි. මැතිවරණ නිරීක්ෂණය සඳහා මැතිවරණ කොමසාරිස් ලබා දෙන නිල අවසරය මගින් නිරීක්ෂණයේ යෙදෙන පුද්ගලයින්ට හා සංවිධාන වලට ආවරණයක් හා සමාජ බලයක් ආරූඩ වන්නේ ය. එනිසාම, මැතිවරණ නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් විසින් නිල අනුමැතිය ලබා දෙන නිර්ණායකයන් ගැන අපි සැළකිලිමත් වෙමු.

මැතිවරණ නිරීක්ෂණය සඳහා දේශීය සංවිධාන වලට අවසර දීමේ දී අනෙක් නිර්ණායකයින්ට අමතරව, එම සංවිධාන වල පුද්ගලයින් අවුරුදු 10 ක කාලයක් තුල දේශපාලන පක්ෂවල කි‍්‍රයාකාරී දේශපාලනයක් නොකළ පුද්ගලයින් විය යුතු යැයි කොන්දේසියක් ඇත. ඉන් මූලික වශයෙන් බලාපොරොත්තු වන්නේ එවන් මැතිවරණ නිරීක්ෂකයින් අපක්ෂපාතී, ස්වාධීන නිරීක්ෂණ ලබා දෙනු ඇත යන්න ය. එම ප‍්‍රතිපත්තිමය පිළිගැනීම සමග, එවැනි නිරීක්ෂකයින්ට මැතිවරණය සඳහා ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයින් කවුරුන් විය යුතුද යන්න තීන්දු කිරීමට හා තම මතය ජනතාව මත පැටවීමට අයිතියක් නොතිබිය යුතු යැයි අපි තරයේ විශ්වාස කරමු.

එබැවින් මෙම මූලික ප‍්‍රතිපත්තිමය කොන්දේසි කඩ කරන්නා වූ  ඕනෑම සංවිධානයකට මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා නිල අවසරයක් ලබා දීම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී යැයි ද එසේ අවසර දීමෙන් මැතිවරණ කි‍්‍රයාවලියට අගතියක් සිදු වන්නේ යැයි ද අපි කියමු.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය මැයෙන් වන සංවිධානයට ඒ හේතු මත මැතිවරණ නිරීක්ෂණය සඳහා නිල අවසරයක් ලබා දීම, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී සංවිධානයකට අවසර දීමක් යැයි අපි කියමු. ඔවුන් නිදහස් හා සාධාරණ මැතිවරණයක මූලික පදනම වූ සර්ව ජන ඡන්ද බලයේ මූලධර්ම වලට විරුද්ධව ක්‍රියාකරන අතරම, ස්තී‍්‍ර විරෝධී සංවිධානයක්ද වන්නේ ය.

1)   2014 ජනවාරි 22 දින ප්‍රසිද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කැෆේ සංවිධානය ප්‍රධාන දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටියේ ‘නිළියන්’ තම නාමයෝජනා ලැයිස්තු වලට ඇතුළත් නොකරන ලෙසයි. එයට හේතුව ලෙස ඔවුන් දක්වා සිටින්නේ ‘නිළියන්’ ඉදිරිපත් කිරීම මගින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනම විනාශ වන බවයි.

ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදය ලෙස විරුදාවලිය ලත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනම වන්නේ 1931 ඩොනමෝර් කොමිසමේ නිර්දේශ පරිදි මෙරටට ලැබුණු ‘සර්ව ජන ඡන්ද බලයයි’. එමගින් එතෙක් වරප්‍රසාද ලත් අතලොස්සකට පමණක් සීමා වී තිබූ තමන්ට කැමති නියෝජිතයෙකු තෝරා ගැනීමේ අයිතිය සෑම ශ්‍රී ලාංකිකයෙකුටම හිමිවුණු  අතර එයින් ‘එක් පුද්ගලයෙකුට – එක ඡන්දයක්’ (One Man – One Vote) ලෙස ප්‍රචලිත, සෑම පුරවැසියෙකුටම තමන් කැමති අයෙකු තම නියෝජිතයා ලෙස මැතිවරණයකින් තෝරාගැනීමේ සමාන ඡන්ද අයිතිය තහවුරු කෙරුණි.

‘එක් පුද්ගලයෙකුට – එක ඡන්දයක්’ යන පදනම යටතේ උගතුන් මෙන්ම එතරම් උගත්කමක් නැති අයද, වවිධ ජාති, ආගම්, කුල-මළ, සමාජ පසුබිම්, පන්ති පසුබිම්, රැකියා හෝ වෘත්තීය ක්ෂේත්‍රවල නියුතු අයද කැමැත්ත සහ විශ්වාසය පරිදි තම දේශපාලන නියෝජිතයා ලෙස මැතිවරණයෙන් තෝරා ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව උදාවිය. දේශපාලන පක්ෂද ඒ අනුව සමාජයේ සියළු දෙනා නියෝජනය වන ආකාරයට මැතිවරණ නාමයෝජනා සකස් කිරීමට උත්සාහ දැරීය.

මෙම අයිතිය 1931 දී වයස අවුරුදු 21 ට වඩා වැඩි ශ්‍රී ලාංකිකයන්ට ලැබුණු අතර 1959 දී එය වයස අවුරුදු 18 දක්වා පුළුල් කෙරිණ. එහෙත්, මෙම අයිතිය ලැබීමට කලින් 1910 මැකලම් ප්‍රතිසංස්කරණ යටතේ පැවති ඡන්දයේදී උගත්කම සහ වත්කම අතින් ඉහළ, මුළු ශ්‍රී ලාංකික ජනගහනයෙන්  සියයට 4 ක් පමණ වූ 3000 ට වඩා අඩු පිරිසකට ඡන්දය පාවිච්චි කිරීමේ වරප්‍රසාදය හිමි වූ අතර ඒ පිරිස සාපේක්ෂව උගත්කමින් වැඩි අය තම නියෝජිතයන් ලෙස පත්කර ගන්නා ලදී. ඉන් අනතුරුව රුපියල් 50 ට වැඩි ආදායමක් ඇති අයට ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව ලැබුණු අතර ඒ අනුව එවකට මිලියන 4 ක් වූ මුළු ජනගහනයෙන් 200,000 ක පිරිසකට පමණක් ඡන්ද බලය හිමිවන ලදී. එම අවස්ථාවෙදී ද  එම ඡන්දදායක කණ්ඩායමේ රුචි අරුචිකම් වලට ගැලපෙන පිරිස් පමණක් මැතිවරණ වලින් තෝරා පත්කර යැවුණි.

කෙසේවෙතත්, මෙම තෝරා පත්කර ගැනීමේ සීමාව 1931 දී ‘සර්ව ජන ඡන්ද බලය’ ශ්‍රී ලංකාවට ලැබීමත් සමග ඉවත් කෙරුණු අතර මහා බ්‍රිතාන්‍යයට සර්ව ජන ඡන්ද බලය ලැබී වසර  2 කට පසු ලංකාවට එම බලය ලැබුණි. එය ‘සර්ව ජන ඡන්දය’ සහ එහි මූලධර්ම ශ්‍රී ලංකික ප්‍රජාතන්ත්‍රවාදයේ කෙතරම් වටිනා සහ පැරණි මූලධර්මද යන්න ගැන අවධාරණය  කරන හොඳ නිදසුනකි. එසේම ඉන්දියාවට සර්ව ජන ඡන්දය 1952 දී ලැබුණු අතර ඒ අනුව ලංකාව ඉන්දියාවටත් වඩා සර්ව ජන ඡන්ද බලයේ මූලධර්ම පිළිගැනීම අතින් ඉදිරියෙන් සිටින බව පෙනී යයි.

කරුණු එසේ වුවත්, ‘එක් පුද්ගලයෙකුට – එක ඡන්දයක්’  මත පදනම් වූ සර්ව ජන ඡන්ද බලය ගැන එවැනි සාඩම්බර ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාව 1931 ට පෙර යුගයේ පිළිගත් මූලධර්ම වෙත ආපසු ගෙනයන්නට කැෆේ සංවිධානය නිකුත් කළ මාධ්‍ය නිවේදනය හරහා එම සංවිධානය නිර්ලජ්ජිත ලෙස යෝජනා කරයි. එහෙත් සර්ව ජන ඡන්ද බලය පිලිබඳ දශක ගණනාවක් තිස්සේ අප පිළිගත් මූලධර්ම වලට අනුව උගතුන් පමණක් නොව එතරම් උගත්කමක් නැති ‘නිළියන්වද’ තම කැමැත්ත පරිදි පත්කර ගැනීමට ශ්‍රී ලාංකික ඡන්දදායකයාට අවස්ථාව තිබිය යුතුය. එහෙත්, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වෙනවාදැයි නිරීක්ෂණය කිරීමට ඉදිරිපත්වන ‘කැෆේ’ සංවිධානය නිදහස් හා සාධාරණ මැතිවරණයක පදනම වූ තමන්ට කැමති අයෙක් තෝරා ගැනීමට ජනතාවට ඇති සර්ව ජන ඡන්දයේ මූලධර්ම උල්ලංඝනය කරමින් ඉල්ලීම් කරනවා නම්, එය ‘මැතිවරණ ක්‍රමයේ ආරක්ෂකයාම මැතිවරණ ක්‍රමයේ විනාශකයා’ බවට පත්වීමක් මිස වෙන කිසිවක් නොවේ.

එබැවින් ඉතා පැහැදිලිව පෙනෙන පරිදි ‘කැෆේ’ සංවිධානය ඔවුන් විශ්වාස කරන මූලධර්ම හා ප්‍රතිපත්තිමය කාරණා මත මැතිවරණ නිරීක්ෂයේ යෙදීමට නුසුදුසු බව ඔබතුමාට කාරුණිකව පෙන්වා දෙමු.

2) එසේම  මෙවර බස්නාහිර සහ දකුණු පළාත් සභා සඳහා නාම යෝජනා දීමේ දී නිළියන්, ගායිකාවන්, නිරූපණ ශිල්පිනියන් සඳහා නාම යෝජනා නොදිය යුතු යැයි ඔවුන් (කැෆේ සංවිධානය) ඉකුත් ජනවාරි 22 වන දින නිවේදනයක් නිකුත් කෙරුවේ එවැනි තරුණියන් ‘‘ලිංගික සංකේත’’ යැයි නම් කරමින් ය. (ඔවුන්ගේ නිල වෙබ් අඩවිය බලන්න – (http://www.caffesrilanka.org/more-4a-9121-2.html) එය ස්තී‍්‍රන් අවමානයට හා අපහාසයට ලක් කෙරුනු අශිෂ්ඨ, ද්වේශ සහගත නිවේදනයක් විය. එවගේම ඔවුන් ස්තී‍්‍ර විරෝධී යැයි ඔප්පු වන්නේ මෙම පළාත් සභා මැතිවරණය සඳහා එළෙසින්ම නාම යෝජනා ඉල්ලා සිටි නළුවන්, ගායකයින් ‘‘ලිංගික සංකේත’’ යැයි නොකීමෙනි.

එවගේම ඔවුන්ගේ එම මාධ්‍ය ප‍්‍රකාශය දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තු වූ තරුණියන්ට ඉතාම අහිතකර ලෙස බලපෑ අතර, තවත් තරුණියන්ගේ පෞද්ගලික ජීවිතයට ද අනිසි ලෙස බලපෑම් කෙරුණි. අපේ රටේ විනෝදාංශ ක්ෂේත‍්‍රයේ (Entertainment world) වෘත්තීන්හි නිරත තරුණියන් පමණක් ලිංගික සංකේත යැයි කැෆේ සංවිධානය තරුණියන්ට එරෙහි වන්නේ නම්, ඔවුන් නියත වශයෙන්ම මැතිවරණ නිරීක්ෂණයේ යෙදෙන්නේ ද ස්තී‍්‍ර විරෝධී ඒ පක්ෂග‍්‍රාහිත්වයක් ඇතිව ය. ස්තී‍්‍ර පුරුෂ ලිංගිකත්වය පිළිබඳව දක්වන මෙවැනි ඉතා නරුම, වගකීම් විරහිත සංවිධානයකට මැතිවරණ නිරීක්ෂණයේ යෙදෙන්නට කිසිදු අයිතියක් නැතැයි අපි තරයේ විශ්වාස කරමු.

ඉහත දැක්වූ සියලූ සාධක සැළකිල්ලට ගෙන ඔබේ අභිමතය මත පමණක් ලබා දෙන මෙම මැතිවරණ නිරීක්ෂණය සඳහා වන අවසරය නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයට මේ වන විට ද ලබා දී ඇති හෙයින්, එය වහා කි‍්‍රයාත්මක වන ලෙස අහෝසි කරන මෙන් අපි ඔබගෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි.
මෙයට – විශ්වාසි,

ඩයනා ගමගේ 

එක්සත් කාන්තා පෙරමුණ

2014 පෙබරවාරි 03 වන දින

Back to Home page