Colombo Telegraph

බමුණු නොවන කුලයේ බිඳ වැටීම

දිනේෂ් දොඩම්ගොඩ

දිනේෂ් දොඩම්ගොඩ

මා දකිනා ආකාරයට ශ්‍රී ලංකාවේ දේශපාලනය යථානුරූපී ලෙස කියවන්නට ඇති ලොකුම බාධාව පක්ෂ, පාට, ජාති, ආගම් පදනම් කොට ගෙන දේශපාලනය කියවීමට උගන්වන ජනප්‍රිය, සම්ප්‍රදායවාදී දෘෂ්ඨියයි. ඒ සියල්ල ජනතාවගේ දේශපාලන හද ගැස්මට විකෘතියක් සපයයි.

මෙ රට දේශපාලනයේ ජනතා පදනම යථාර්ථයට ආසන්න ලෙස ග්‍රහණය කොට, විග්‍රහ කළේ මාර්ටින් වික්‍රමසිංහයන් ය. විශ්ව විද්‍යාලවල ආචාර්ය, කථිකාචාර්ය පට්ටම් වලට මුවා වී, අනුන්ගෙන් අහුලා ගත් තමන්ගේ දෘෂ්ටියට වටිනාකමක් සොයා ගන්නට උත්සාහ දරන පඬියන් කිසිවෙකු හෝ වික්‍රමසිංහයන් ගේ ආසන්නයටවත් පැමිණියේ නැත. වික්‍රමසිංහයන් මෙ රට දේශපාලන බෙදීම විග්‍රහ කළේ ‘බමුණු කුලය’ සහ ‘බමුණු කුලය නොවන’ සමාජ බලවේග අතර ඇති ඝට්ටනයක් ලෙසිනි. එයට ආසන්නතම අර්ථ නිරූපණයක් සපයන්නේ නම්, මෙ රට දේශපාලන බෙදීම ඇත්තේ ඉංග්‍රීසිය මුල් භාෂාව ලෙස කථා කරන, ප්‍රාග්ධනයට අයිතිවාසිකම් කියන සහ මධ්‍යම ආණ්ඩුවේ රාජ්‍ය බලයට පංගුකාරයන් වන කුලයේ සහ එකී කුලයට අයත් නොවන සමාජ බලවේග අතරයැ යි කිව හැකිය.

මට පෙනෙන ලෙස එකී වර්ගීකරණය අදටත් වලංගුය. එයට පක්ෂ, පාට, ජාති, ආගම් පදනමක් වලංගු නැත. එක්සත් ජාතික පක්ෂය තුළ සේනානායකලාට සහ ජයවර්ධනලාට එරෙහිව ආර්. ප්‍රේමදාසගේත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බණ්ඩාරනායකලාට එරෙහිව රාජපක්ෂලා ගේත් දේශපාලනය එයයි. මේ රටේ බමුණු කුලය සෑම විටම බලයට පැමිණියේ බමුණු කුලය නොවන අයගේ ඡන්දයෙනි. බණ්ඩාරනායක 1956 දී සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියා ආමන්ත්‍රණය කර පෙළ ගැස්වූයේ ද, 1977 දී ජේ.ආර්. ජයවර්ධන විසින් ආර්. ප්‍රේමදාස ඉදිරියට දමා එක්කාසු කර ගත්තේ ද, විජය කුමාරතුංගට සහ බහු ජන දේශපාලන ව්‍යාපාර වලට තුරුල් වුණු චන්ද්‍රිකා බණ්ඩාරනායක වටා 1994 දී රැළි නැඟුණේ ද, කුරහන් සාටකයක් සහ උඩු රැවුලක් පැළඳ මහින්ද රාජපක්ෂ දිනා ගත්තේ ද ඒ බමුණු කුලය නොවන අයගේ දේශපාලන බලවේගයි.

එසේම, වේළුපිල්ලේ ප්‍රභාකරන් වටා එකතු වුයේ ද, මාක්ස්වාදය හොඳින් කියවූ අෂ්රොෆ් පොදු මුස්ලිම් නායකයෙකු ලෙස මතු කරවූයේ ද එකී බමුණු කුලය නොවන අයගේ දේශපාලන බලවේගයි. අනෙක් අතට, මෙ රට සම්ප්‍රදායික වාම බලවේගය සහ රෝහණ විජේවීර විසින් ගොනු කරවූයේ ද එකී දේශපාලන බලවේගයයි. අවසානයේ 2015 වසරේ දී මෛත්‍රීපාල සිරිසේන පෙන්වා රනිල්-චන්ද්‍රිකා-මංගල විසින් යහ පාලනයක් වෙනුවෙන් පෙළ ගැස්වූයේ ද එම බමුණු කුලය නොවන බලවේගයයි. එසේම, දෙමළ බමුණු කුලයේ ටී.එන්.ඒ. සංවිධානය බලයට ගේන්නේ ද, රනිල් වික්‍රමසිංහට තවමත් රාජ්‍ය නායකයා වන්නට ඉඩ නොදෙන්නේ ද එම බමුණු කුලය නොවන බලවේගයයි. කෙසේ වෙතත්, නානාර්ථ කායා – නානාර්ථ සංඥා ඔස්සේ මතුවෙමින් ආ විට බමුණු කුලය බලයට ගෙනැවිත්, සැමදා රැවටුණේ ද එකී බමුණු කුලය නොවන අයගේ දේශපාලන බලවේගයි. එය පක්ෂ, පාට, ජාති, ආගම් පදනම් වලින් ඔබ්බට දුව යන යථාර්ථයකැයි මට සිතේ.

බමුණු කුලය විසින් ආර්. ප්‍රේමදාස, මෛත්‍රීපාල සිරිසේන වැනි මුට්ටි පෙන්වා බමුණු කුලයේ නොවන ඡන්දය රවටා, බලය ලබා ගැනීම දේශපාලන උප්පරවැට්ටික් ලෙස තේරුම් ගැනීමට පුළුවන. එහෙත්, තේරුම් ගැනීමට දුෂ්කර වන්නේ ඛේදාන්තයකින් කෙළවර වන බමුණු නොවන කුලයෙන්ම මතු වූ දේශපාලන නායකයන්ගේ සිය දිවි නසා ගැනීමයි. ආර්. ප්‍රේමදාසත්, මහින්ද රාජපක්ෂත් පමණක් නොව රෝහණ විජේවීරත්, වේළුපිල්ලේ ප්‍රභාකරනුත්, එසේත් නැත්නම් එකී ඇතැමුන්ගේ පවුල් වල උදවියත් බලය තම තමනට උරුම මට්ටම් වලින් තහවුරු කර ගත් පසු උත්සාහ කළේ ‘බමුණු කුලයේ’ සාමාජිකත්වය ලබා ගැනීමටයි. එහි ප්‍රතිපලය වූයේ බමුණු කුලය නොවන බලවේගයේ හදවත් වලින් එම නායකයන් අඩු වැඩි වශයෙන් ඈත් වීමත්, අවසානයේ ‘බමුණු කුල’ ව්‍යාපෘතියේ ගොදුරු බවට පත් වීමත් ය.

එනයින් බලන කල අද වන විට බමුණු නොවන කුලය තමන්ට සුදුසු නායකයෙකු සොයා ගන්නට බැරි තරමට ම බිඳ වැටී ඇත. බමුණු කුලයට ද මීළඟ ප්‍රධාන ඡන්දයෙන් බලයට නැවත එන්නට බමුණු නොවන කුලයේ මුට්ටියක් සොයා ගැනීමට නොහැකි වන තරමටම බමුණු නොවන කුලය බිඳ වැටී ඇත. දැන් බමුණු කුලයටත්, බමුණු නොවන කුලයටත් සිදුවී ඇත්තේ එක්කෝ ජාති, ආගම් පදනම් කර ගනිමින් හෝ වම, දකුණ පදනම් කර ගනිමින් හෝ රණවිරු පදනමකින් හෝ දේශපාලන පිපාසය විකල්පයකින් සංසිඳුවා ගන්නටය. එහෙත්, එවැන්නකින් පැන නඟින දේශපාලන අතෘප්තිය ප්‍රචණ්ඩත්වයකට නැවත තල්ලු නොවේවා යන්න මගේ ප්‍රාර්ථනයයි.

Back to Home page