Colombo Telegraph

ශී‍්‍ර ලංකාවේ ණය තත්ත්වය: අප ඉදිරියේ ඇති තේරීම් කවරේද?

දිනේෂ් වීරක්කොඩි

ශ‍්‍රී ලංකාවේ බාහිර මූල්‍ය තත්ත්වය ලංකාවේ ආණ්ඩුවට මෙන්ම පෞද්ගලික අංශයටත් විශාල කණස්සල්ලක් ගෙන දෙන කාරණයකි. ප‍්‍රධාන වශයෙන් මේ තත්වයට තුඩුදී ඇත්තේ පසුගිය ආණ්ඩුවේ තකතිරු මූල්‍ය නාස්තියයි. ඒ හැරුණු කොට, වෙළඳ ශේෂයේ විශාල හිඟයක් පැවතීමත්, අපනයන ආදායමේ සහ විදේශ සේවා නියුක්තිකයන්ගෙන් රට තුළට එන මුදල් ප‍්‍රමාණයේ අඩු වීමකුත් ඊට බලපා තිබේ.

2015 අපේ වෙළඳ ශේෂයේ හිඟය ඩොලර් බිලියන 8.5 ක් පමණ විය. විදේශයන්හි සේවය කළ ලාංකිකයන්ගෙන් රටට ලැබුණු මුදල ඩොලර් බිලියන 6.9 ක් පමණ විය. ප‍්‍රාග්ධනය රටට ගලා ඒමක් සිදු වුණේම නැත. මේ අතර අපේ ගෙවුම් ශේෂයේ හිඟය ඩොලර් බිලියන 1.5 ක් විය. එකම යහපතකට තිබුණේ ඒ වසරේ සංචාරක ව්‍යපාරයෙන් ඩොලර් බිලියන 3 ක් ලැබීම පමණි. එය, ඊට පෙර තත්වය සමග සසඳද්දී සියයට 24 ක වර්ධනයකි. වෙළඳ ශේෂයේ හිඟය ඩොලර් බිලියන 7 ක සීමාවේ නතර කර ගත හැකි නම්, සංචාරක ව්‍යාපාරයෙන්, අපනයන්ගෙන් සහ තාක්ෂණික සේවාවන්ගෙන් ලැබෙන ආදායම හරහා ගෙවුම් ශේෂයේ හිඟයක් වෙනුවට අතිරික්තයක් ඇති කර ගැනීමට හැකි වනු ඇත.

කෙසේ වෙතත්, අපේ බාහිර මූල්‍ය තත්වය සම්බන්ධයෙන් තවත් අභියෝග ගණනාවක් තිබේ. ඒවා නම්, රුපියලේ ස්ථාවරත්වය, පහළ යන විදේශ සංචිතය සහ ප‍්‍රාග්ධනය ගලා ඒම වැනි කරුණු ය. අපේ අපනයන ආදායම අපේ ආනයන වියදමින් සියයට 55 ක් පමණි. මේ නිසා, අළුතෙන් ණය ගැනීම්, ආර්ථිකයට විවිධ ප‍්‍රතිලාභ සලසන ව්‍යාපෘති සඳහා පමණක් සීමා කිරීම වහා කළ යුතුව තිබේ.

තවද, දැනට ලබාගෙන ඇති ණය ප‍්‍රතිමූල්‍යකරණය කිරීම, ලබාගෙන ඇති ණය වගකීම වෙනත් දෙයකට හුවමාරු කර ගැනීම, ආයෝජනයට හිතකාමී ප‍්‍රතිපත්ති ඇති කර ගැනීම හරහා විදේශ සෘජු ආයෝජන ගෙන්වා ගැනීම සහ ඒ ප‍්‍රයත්නයට සහායක් වන පරිද්දෙන් ‘ව්‍යවසාය මණ්ඩලය’ ප‍්‍රතිව්‍යුහගත කිරීම මෙන්ම, වැඩියත්ම මේ සමීකරණයේ වෙළඳ අපනයන සම්පාදන අංශය ශක්තිමත් කර ගැනීම ආදිය ගැන තදින් සළකා බැලිය යුතුව තිබේ.

ආණ්ඩුවේ ණය

2015 අවසන් වන විට ලංකා ආණ්ඩුවේ මුළු ණය ප‍්‍රමාණය ඩොලර් බිලියන 81 කි. එම ප‍්‍රමාණයෙන් සියයට 60 ක් විදේශ ණයයි. මහ බැංකු දත්තවලට අනුව, මේ වසර අවසන් වන විට අපේ මුළු ණය ප‍්‍රමාණය ඩොලර් බිලියන 103 ක් පමණ වනු ඇත. ඒ වනාහී, අපේ මුළු ආදායමෙන් සියයට 98 ක ප‍්‍රමාණයකි. මේ අතර විදේශ ණය මේ වසරේදී ඩොලර් බිලියන 57 ක් දක්වා වර්ධනය වනු ඇත.

අද වන විට රාජ්‍ය ණය ප‍්‍රමාණය, අපේ දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් ගත් විට, සියයට 100 කට ආසන්නයි. ඒ නිසා බොහෝ දේවල් වහා කළ යුතුව තිබේ. මුලින්ම, 2015 සිට අප ඉදිරියේ ඇති ඩොලර් බිලියන 1.5 ක ගෙවුම් ශේෂයේ හිඟය පියවා ගත යුතුය. මේ අර්බුදය ඇති කිරීමට හේතු වී ඇති කරුණුවලින් එකක් වන්නේ, ඉතා අධික පොළියට නිෂ්ඵල ව්‍යාපෘති සඳහා ණය ලබාගෙන තිබීමයි.

උදාහරණයක් වශයෙන්, මත්තල ගුවන් තොටුපළ ගත හැකිය. මේ සඳහා ගෙන ඇති ණය සම්බන්ධයෙන් යළිත් සාකච්ඡා කළ යුතුව ඇති අතර එම ගුවන් තොටුපොළ සමාජයේ යහපත තකා වඩාත් ඵලදායී අන්දමින් පාවිච්චියට ගත් හැකි මං සොයාගත යුතුය. ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ ව්‍යුහාත්මක ගැලපීම සඳහා වන ණය සේවාව, සාර්ථක අන්දමින් කතිකා කරගතහොත්, මේ අර්බුදයෙන් ගොඩ ඒමට පාවිච්චි කළ හැක. එසේ වෙතත්, අපගේ සැපයුම් අංශය වර්ධනය කර ගැනීමේ ප‍්‍රතිපත්ති මෙහෙයුම් ක‍්‍රමවත් කර ගැනීම සහ ෆිස්කල් සහ මූල්‍ය ප‍්‍රතිපත්ති ක‍්‍රමවත් කර ගැනීම අත්‍යාවශ්‍ය වන්නේය.

ශ‍්‍රී ලංකාව ගත යුතු ඉදිරි මග

මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මෑතකදී ඉන්දියාවෙන් ලබා ගත් ඩොලර් බිලියන 1.1 ක මුදල් නෝට්ටු හුවමාරුව සහ තවත් ඩොලර් බිලියන 1 ක් සඳහා චීනය සමග ඇති කර ගැනීමට යෝජිත හුවමාරුව වැනි කෙටිකාලීන විසඳුම් කෙරෙහි ආණ්ඩුව දැන් යොමුව සිටීම නිසා හානි මෙන්ම දේශපාලනික ප‍්‍රශ්නද පැනනැගිය හැක.

දැනට කරගෙන යන ව්‍යාපෘති සඳහා දැන් පටන්ම මුදල් යෙදවිය යුත්තේ, ඒවා සඳහා යොදවන ආයෝජනයන්ගෙන් පැහැදිළි ප‍්‍රතිලාභ ලැබෙන්නේ නම් පමණි. අපේ විදේශ විනිමය සංචිතය තවත් හින්දන ව්‍යාපෘති සඳහා මුදල් යෙදවිය යුතු නැත. මෙගාපොලිස් සහ මහා මාර්ග වැනි විශාල ව්‍යාපෘති ඉදිරි වසර වසර කිහිපය පුරා විසුරුවා හැරිය යුතුව තිබේ.

කෙසේ වෙතත්, වැඩි වැඩියෙන් විදේශ සෘජු ආයෝජන රට තුළට ආකර්ශණය කර ගැනීමට නම්, අපේ ශ‍්‍රම බලකායේ ඵලදායීත්වය වර්ධනය කර ගැනීම සඳහා අධ්‍යාපනය සහ වෙනත් නිපුණතා සඳහා වැඩියෙන් ආයෝජනය කළ යුතුය. එසේම විදේශයන්හි සේවය කරන ශ‍්‍රී ලාංකිකයන්ගෙන් රටට එන ආදායම වැඩි කර ගැනීමටත් බැලිය යුතුය. මන්ද යත්, එම ආදායම කෙරෙහි දීර්ඝ කාලීනව එක සමාන ආකාරයකින් බලාපොරොත්තු තබා ගැනීමේ හැකියාවක් නැති බැවිනි.

ණය පොලී ගෙවමින් සිටීම සහ ණය ලබා ගැනීම වෙනුවට කළ යුත්තේ විදේශ සෘජු ආයෝජන රටට ගෙන්වා ගැනීමයි. ඒ සඳහා දේපල අයිතිය සහ කොටස් අයිතිය සුරක්ෂිත කෙරෙන සහ අනවශ්‍ය සීමාවන් ඉවත් කෙරෙන, සුදුසු ව්‍යාපාරික පරිසරයක් සකස් කළ යුතුය. ඒ සමගම, වාණිජ අපනයන සහ සේවාවන් වැඩි දියුණු කර ගැනීමද අත්‍යාවශ්‍ය වන්නේය.

මීට වඩා විශාල අභියෝගවලට ශ‍්‍රී ලංකාව මුහුණදී තිබේ. එබැවින් දකුණු ආසියාවේ ලංකාව පිහිටා ඇති වැදගත් ස්ථානය සැලකිල්ලට ගනිමින්, ගත වූ මාස 12 කාලය තුළ ජාත්‍යන්තර ප‍්‍රජාව අතරේ උපයාගෙන ඇති කීර්ති නාමය පාවිච්චියට ගනිමින්, රටේ වෙසෙන සියලු ජනතාවගේ සුභසිද්ධිය සලසා ගත යුතුව තිබේ.

*2016 මාර්තු 25 වැනි දා ‘ඩේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ “Sri Lanksa’s Debt Situation: What Are Our Options?” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page