Colombo Telegraph

කොළඹ වරාය නගරය: චීනයේ සැඟවුණු න්‍යාය පත්‍රයක්?

ඞී. එන්. ආර්. සමරනායක

ඞී. එන්. ආර්. සමරනායක

කොළඹ නගරයට ආසන්න මුහුද ගොඩ කොට, හෙක්ටයාර් 230 ක වපසරියෙන් යුත් පෙදෙසක යෝධ වෙළඳ මධ්‍යස්ථානයක් ගොඩනැගීමට සැලසුම් කෙරුණු ව්‍යාපෘතිය, 2015 මාර්තු මාසයේ සිට අත්හිටුවා තිබේ. ‘චීන සංදේශන ගොඩනැගීම් සමාගමේ’ (සී.සී.සී.සී) මූල්‍ය ප‍්‍රතිපාදන මගින් ගොඩනැගීමට සැලසුම් කොට ඇති මේ ව්‍යාපෘතිය ගැන, සිරිසේන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු, විශේෂයෙන් එම ආණ්ඩුවේ අවසරය ඒ සඳහා ලැබී ඇතැ යි එහි මාධ්‍ය ප‍්‍රකාශක රාජිත සේනාරත්න කී අවස්ථාවේ සිට, බොහෝ ලිපි ලියැවී තිබේ. රාජිත සේනාරත්නගේ එම ප‍්‍රකාශය, නව ආණ්ඩුව බලයට පත්වීමට කලින් මැතිවරණ වේදිකාවේ දෙන ලද ප‍්‍රතිඥාවට පරස්පර විය. එදා ඔවුන් කීවේ, තමන් බලයට පත්වුවහොත් මේ ව්‍යාපෘතිය නතර කරන බවයි. එසේ තිබියදී, කරුණු පැහැදිළි කිරීමකින් තොරව නව ආණ්ඩුව එකී ප‍්‍රතිඥාව වෙනස් කරමින් මේ ව්‍යාපෘතියට අනුමැතිය පෑම උත්ප‍්‍රාසාත්මක ය.

කොළඹ වරාය නගරයේ’ විවිධ පැතිමාණ ගැන ලියැවුණු අනේක ලිපි නිසා, මෙරට වෙසෙන වෘත්තිකයන්, මාධ්‍යවේදීන්, දේශපාලඥයන් සහ වෙනත් සමාජ කොටස් අතරේ ඒ ගැන විශේෂ උනන්දුවක් මෙන්ම යම් අවබෝධයක්ද ඇති කැරැුවුණි. මේ ව්‍යාපෘතිය නිසා ප‍්‍රධාන වශයෙන් බටහිර මුහුදු තීරයට සිදුවිය හැකි පාරිසරික බලපෑම් සැළකිල්ලට ගනිමින් එය නතර කළ යුතුව ඇති බව, එසේ ලියැවුණු බොහෝ ලිපිවලින් පෙන්වා දුණි. ඒ හැරුණු කොට, රටට දැරීමට සිදු වන විශාල වියදම ගැන සේම, රටේ ස්වෛරීත්වය සහ කලාපීය ආරක්ෂාවට එයින් ඇති විය හැකි ප‍්‍රශ්න ගැනත්, අවශ්‍ය කළමනා සම්පාදනය කර ගැනීමේදී දේශීය භෞතික සම්පත් ජාලය කෙරෙහි ඇති කැරැුවිය හැකි අනර්ථකාරී පීඩනය ගැනත්, ඒ ආශ‍්‍රයෙන් කොළඹ නගරය සහ තදාසන්න පෙදෙස්වල ඇති විය හැකි තදබදය ගැනත්, තවත් ලිපිවලින් පෙන්වා දී තිබුණි.

එසේම, අළුතෙන් ආයෝජන කැඳවන ප‍්‍රතිලාභ මේ ව්‍යාපෘතිය තුළින් රටට ලැබෙන බවට තර්ක කළ තවත් අය, මෙය අතහැර දැමුවොත් එය රටට මහත් අලාභයක් වන බවටත් තර්ක කළහ. තවත් අය මීට එරෙහිව නැගෙන පාරිසරික විරෝධතා සැළකුවේ, මේ ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීම සඳහා මවාපාන ගැලවිජ්ජා වශයෙනි. මෙය නතර කර දැමුවොත්, ලංකාව සහ චීනය අතර පවතින රාජ්‍ය තාන්ත‍්‍රික සුහදත්වය පළුදු විය හැකි බව, ප‍්‍රධාන පෙළේ ඉංගී‍්‍රසි පුවත්පතක් සිය කතුවැකියකින් කියා සිටියේය. එසේම මේ අත්හිටුවීම මගින් සේවකයන්ට අත්විය හැකි අනර්ථය සළකා, එය නොනවත්වා කරගෙන යන්නැයි තවත් අය ඉල්ලා සිටියහ. චීනයත් මේ විවාදයට සහභාගී විය. ඒ, සිය ආයෝජන ව්‍යාපෘතිය යුක්ති සහගත කෙරෙන පුවත්පත් දැන්වීම් පළ කිරීමෙනි.

උණවටුන වෙරළ: කොළඹ වරාය නගරයට අදාළ නිදර්ශනයක්

කොළඹ වරාය නගරයට එරෙහි මුල්ම විරෝධය නැගුණේ පරිසරවේදීන්ගෙනි. අදාළ ව්‍යාපෘතිය නිසා වෙරළ තීරුවේ පරිසරය කෙරෙහි ඇති කළ හැකි අනර්ථකාරී බලපෑම් ගැන පරිපූර්ණ සහ නිසි විශ්ලේෂණයක්, මොරටුව විශ්ව විද්‍යාලය මගින් කරන ලද පාරිසරික ඇගැයුම් තක්සේරුවට ඇතුළත්ව නැතැයි යන්න ඔවුන්ගේ විවේචනයේ පදනම වුණි. කෙසේ වෙතත් ඔවුන් එම විවේචනය එක දිගට පවත්වාගෙන ගියේ නැත. හේතුව, එවැනි විරෝධයක් නිසා, පැවති රජයෙන් එල්ල විය හැකි තර්ජන ගර්ජන ගැන තිබූ බිය නිසා ය. විපක්ෂ සන්ධානය මගින් ගිය වර මැතිවරණයේදී මේ විෂය කාරණය අවධානයට ගෙන තිබුණද, බලයට පත්වීමෙන් පසු ඒ ගැන නිසි සැළකිල්ලක් යොමු වුණේ නැත. කෙසේ වෙතත්, අළුත් ආණ්ඩුව විසින් දැන් පත්කොට තිබෙන විමර්ශන කමිටුවේ සැළකිල්ලට ගැනෙන එක කාරණයක් බවට එය පත්ව තිබේ. එයින් පෙනී යන්නේ, අදාළ ව්‍යාපෘතියේ ස්වභාවය ගැන යළි සළකා බැලීමක් කෙරෙන බවයි. ආයෝජන ප‍්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න ප‍්‍රකාශ කොට ඇති පරිදි, බටහිර මුහුදු තීරය කෙරෙහි මේ ව්‍යාපෘතිය මගින් ඇති කැරැුවිය හැකි අනර්ථකාරී බලපෑම විශාල වෙයි නම්, එම ව්‍යාපෘතිය අතහැර දැමීමට ආණ්ඩුවට සිදුවනු ඇත.

‘කොළඹ වරාය නගර’ ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම ඒ විමර්ශන කමිටුව මගින් එසේ සැළකිල්ලට ගැනෙමින් තිබෙන අතරේ, ලෝකයේ වෙනත් දුරු රටක ගොඩනැගීමට නියමිත දියකඩන තුළින් එරටේ වෙරළ තීරයට අත්විය හැකි අනිටු ප‍්‍රතිවිපාකවලට උදාහරණයක් වශයෙන්, මේ වන විට ලංකාවේ උණවටුන වෙරළ උපුටා දැක්වෙමින් තිබේ. ජැමෙයිකාවේ ‘වෙස්ට්මෝලන්ඞ්’ නැමැති මුහුදු මායිමේ වෙරළ ඛාදනය වළක්වනු වස් දියකඩනයක් ගොඩනැංවීමට එරට බලධාරීන් තීරණය කළ අවස්ථාවේ, එරටේ වාණිජ මණ්ඩලය ඊට විරෝධය දක්වා ඇත්තේ, ශ‍්‍රී ලංකාවේ උණවටුනේ දියකඩනය නිසා ඇති වී තිබෙන ආපදා නිදර්ශනයට ගනිමිනි. මීට අදාළව, 2015 අපේ‍්‍රල් 23 වැනි දා ‘ජැමෙයිකා ඔබ්සර්වර්’ නැමැති පුවත්පතේ පළවූ වාර්තාවක් මෙසේ සඳහන් කරයි: ‘‘.. නිල්වන් දිය කඳකින් සැදුම්ලත් නිකළැල් වෙරළ තීරුවක් සේ කලක් පැවති උණවටුන, දැන් රළු ගල්පර ගැවසී ගත් මූසල වෙරළක් බවට පත්ව ඇත. කිලෝමීටර් එකහමාරකට ආසන්න දුරකින් යුත් මේ වෙරළ තීරුව, අඩ සියවසකට වැඩි කාලයක් තිස්සේ, දෙස් විදෙස් සංචාරකයන් ආකර්ශනය කරගත් ස්ථානයක් විය. එහෙත්, සාගරය තුළට දිව යන කිලෝ මීටරයකට ආසන්න දියකඩනයක් ඉදි කිරීම නිසා, පරිසර පද්ධතියේ ස්වභාවික තුලනය බිඳී ගොස්, වෙරළේ එක අර්ධයක ඇති වැලි සේදී ගොස් අනිත් අර්ධයේ තැන්පත් වීමට පටන්ගෙන තිබුණි. මේ තත්වය නතර කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව දැන් ඒ දියකඩනයෙන් කොටසක් කඩා, ගැඹුරු මුහුදෙන් වැලි මෙටි‍්‍රක් ටොන් 300,000 ක් වෙරළ තීරුවට පොම්ප කොට, යළි වෙරළ පෝෂණය කොට ගොඩනැංවීමට පියවර ගනිමින් සිටී.’’

දියකඩනය මගින් උණවටුන වෙරළට කරන ලද එම හානිය හරහා පැහැදිළිව කියාපාන්නේ, වෙරළකට ඇදෙන ස්වාභාවික ජල කඳක් කෘත‍්‍රීමව වැළැක්වීමෙන් සිදුවිය හැකි අනර්ථයේ තරම කල්තියා දැන ගැනීමේ ඇති දුෂ්කරතාවයි. විවිධ තත්වයන් යටතේ සාගර ජලයේ සංචලනය කෙරෙහි සිදුවිය හැකි විවිධ වෙනස්කම් පෙරදැකීම සඳහා වර්තමානයේදී ඉතා දියුණු සංඛ්‍යාන දර්ශක භාවිත කරනු ලැබේ. එහෙත්, දියකඩනයක් හෝ ඒ හා සමාන වෙනත් ගොඩනැංවීම් මගින් ඇති කෙරෙන බාධාවන් නිසා සිදුවිය හැකි සැබෑ බලපෑම ගණනය කළ නොහේ. එය ගණනය කළ හැක්කේ, ව්‍යාපෘතිය අවසන් වූ පසුව පමණි. එයින් පෙනී යන්නේ, සැඩ ජල කඳ සහ දිය රැුළිවල ස්වාභාවික සංචලනය කෙරෙහි කොළඹ වරාය නගරය මගින් ඇති කළ හැකි බාධාවත්, ඒ හේතුවෙන් වෙරළට තදාසන්න පරිසරය කෙරෙහි ඇති කළ හැකි බලපෑමත් පිළිබඳ නරක චිත‍්‍රයකි. එම බලපෑම්, ආපසු හැරවිය නොහැකි, සදාතනික බලපෑම් විය හැකිය.

කොළඹ වරාය නගරය ඉදි කිරීමට ධීවරයන් දක්වන බලවත් විරෝධයට එක හේතුවක් වන්නේ එයයි. මාධ්‍ය වාර්තා කරන අන්දමට, වෙරළබඩ පෙදෙස්වල වෙසෙන ජනතාවට මේ ව්‍යාපෘතිය නිසා ඇති වන හානි වෙනුවෙන් වන්දි ගෙවීමට අදාළ චීන සමාගම (සී.සී.සී.සී.) සූදානම් ලූ. එහෙත,් ඇති විය හැකි හානිය, වර්තමාන පරම්පරාවට පමණක් සීමා වන්නක් නොවේ. අනාගතේ උපදින සෑම පරම්පරාවකටමත් එය බලපානු ඇත. තවද, මෙසේ වන්දි ගෙවීමට සූදානම් වීමෙන් පෙනී යන්නේ, ‘වරාය නගරය’ නිසා එවැනි හානියක් සිදුවිය හැකි බවට චීන සමාගම විසින්මත් පිළිගැනීමකි.

*ඉතිරිය ඉදිරියට..

2015 මැයි 20 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Colombo Port City: Do The Chinese Have A Hidden Agenda? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය (පළමු කොටස)
‘යහපාලනය ලංකා’

Back to Home page