Colombo Telegraph

මානව හිමිකම් ප‍්‍රධානියාගේ සමථය: යුද අපරාධ පරීක්ෂණ සඳහා දෙමුහුන් අධිකරණ විමර්ශන

දොන් මනු –

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවෙන් අන්ත නරකක්ම වෙතැයි සිතූ තත්වයක් තුළ ශ‍්‍රී ලංකා ආණ්ඩුවට රටක් වශයෙන් අපේක්ෂා කළ හැකි ප‍්‍රශස්තය දැන් ලැබී තිබේ. එනම්, සිදු වී යැයි කියන යුද අපරාධ ගැන පරීක්ෂා කිරීමට දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමයි. පිහිටුවනු ලබන දේශීය සත්‍ය කොමිසමක් ඉදිරියේ රටක් වශයෙන් සත්‍යයම මිස වෙන කිසිවක් නොකියන බවත්, සත්‍යය සහ කඳුළ තුළින් ජාතික සංහිඳියාව සොයා යන බවත් අපේ විදේශ අමාත්‍ය මංගල සමරවීර, පසුගිය සඳුදා ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ප‍්‍රතිඥා දුන්නත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාට තිබුණේ ඊට තරමක් වෙනස් මතයකි.

සිදුවී යැයි කියන යුද අපරාධ පිළිබඳ මානව හිමිකම් වාර්තාව ඊට දින දෙකකට පසුව එළිදක්වන අවස්ථාවේ, දේශපාලනික වශයෙන් කළ නොහැකි දෙයක් ඔහු ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ නැත. ජනවාරි මාසයේ බලයට පත්වූ දා සිට ජනාධිපති සිරිසේනගේ දැක්මත්, අළුත් ආණ්ඩුවේ කැපවීමත් ගැන ප‍්‍රසාදයට පත්ව සිටි ඔහු, අන්තර්ජාතික අසිපත සිරිසේන ආණ්ඩුවේ උගුරට බැස්සීමට සිතුවේ නැත.

‘2002-2011 කාලය තුළ බරපතල උල්ලංඝන රටාවන්’ මේ වාර්තාව තුළ හඳුනාගෙන ඇතත්, ‘ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වයම යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවල බොහෝ දුරට නියැලෙන්ට ඇතැ’ යි කියා තිබෙතත්, ඒවා ‘ඉතා බරපතල ගනයේ’ සිදුවීම් යැයි එමගින් යෝජනා කෙරෙතත්, ඒ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඔහු ඉල්ලා නැත. එය ලංකා ආණ්ඩුවට මහත් අස්වැසිල්ලකි. එහෙත් දේශීය පරීක්ෂණ යාන්ත‍්‍රණයක් පිළිබඳ ආණ්ඩුවේ යෝජනාව ඔහු පිළිගන්නේද නැත.

ඔහු සිය වාර්තාවේ මෙසේ කියයි: ‘‘ශ‍්‍රී ලංකාවේ සිදුවීම් පිළිබඳ වගවීම සනාථ කිරීම සඳහා දේශීය යාන්ත‍්‍රණයකට වැඩි දෙයක් අවශ්‍ය බව මහලේකම්වරයා සිතයි.’’ දේශීය යාන්ත‍්‍රණයක් පමණක් තිබීම සැකයට තුඩුදෙයි. අපක්ෂපාතී සහ විෂයබද්ධ පරීක්ෂණයක් පිළිබඳ විශ්වාසය සියලූ පාර්ශ්වයන් තුළ ජනිත කැරැුවීමට එවැනි දේශීය යාන්ත‍්‍රණයක් පමණක් ප‍්‍රමාණවත් නොවේ. එසේම, ජාත්‍යන්තර මට්ටමේ අපරාධ අරභයා අවශ්‍ය කරන හැකියාව දේශීය නෛතික රාමුවකට නැති බවත් ඔහු අවධාරණය කරයි. ශ‍්‍රී ලංකාවේ අද පවතින අපරාධ යුක්ති විනිශ්චය ක‍්‍රමයට, ස්වාධීන සහ විශ්වසනීය පරීක්ෂණයක් සඳහා අවශ්‍ය කරන මෙවලම් නැත.

ඒ වෙනුවට ඔහු යෝජනා කෙළේ අතරමැද විසඳුමකි. එය, ජාත්‍යන්තර සහභාගීත්වය සහිත දේශීය යාන්ත‍්‍රණයකි. ‘‘ජාත්‍යන්තර විනිසුරන්, ජාත්‍යන්තර අධිචෝදකයන්, ජාත්‍යන්තර නීතිඥයන් සහ ජාත්‍යන්තර පරීක්ෂකයන් සහභාගී කරගන්නා සුවිශේෂී මිශ‍්‍ර අධිකරණ ක‍්‍රියාවලියක් යටතේ වෙනත් රටවල් භාවිත කොට ඇති යහපත් ක‍්‍රමවේද සහ එම රටවල් ඒ ඇසුරින් උගෙන ඇති පාඩම් ශ‍්‍රී ලංකාව ප‍්‍රයෝජයනට ගත යුතුය. එවැනි යාන්ත‍්‍රණයක් සියලූ ශ‍්‍රී ලාංකිකයන් තුළ විශ්වාසය දනවනු ඇත. විශේෂයෙන් දේශපාලනීකරණයට සහ පක්ෂග‍්‍රාහීත්වයට ලක්ව ඇති ශී‍්‍ර ලංකාවේ පවතින පසුබිම තුළ, යුද්ධයේ වින්දිතයන් තුළ අධිකරණ ක‍්‍රියාවලියේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය පිළිබඳ විශ්වාසය දනවනු ඇත.’’ යනුවෙන් ඔහුගේ වාර්තාවේ සඳහන් වෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මේ සම්බන්ධයෙන් ගනු ලබන උපරිම පියවර එය විය හැකිය. කලින් පැවති ආණ්ඩුවේ අනම්‍යශීලී ජාතිකවාදී ස්ථාවරය කෙරෙහි එම කවුන්සිලය මගින් නිකුත් කළ වාර්තා තුළ පසුගිය කාලය මුළුල්ලේ දක්නට ලැබුණු රළු පසමිතුරු භාවය ගැන සළකා බැලීමේදී, දැන් යෝජනා කෙරී ඇති ඉහත සඳහන් මිශ‍්‍ර අධිකරණ කි‍්‍රයාවලිය වූ කලී, වර්තමාන සිරිසේන ආණ්ඩුවේ සද්භාවය කෙරෙහි මානව හිමිකම් කවුන්සිලයේ ආකල්පය තුළ කැපී පෙනෙන වෙනසක් පෙන්නුම් කරන්නකි. මුළුමණින් ජාත්‍යන්තර පරීක්ෂණ ක‍්‍රියාවලියක් හරහා ශ‍්‍රී ලාංකීය වගවීමක් ඉල්ලා සිටීමේ ෂයිලොක් මස් රාත්තලම අපේක්ෂා කිරීම නව ආණ්ඩුවේ දේශපාලනික පැවැත්ම අනතුරට හෙලීමක් විය හැකි බවත්, ඒ මගින් ඇති කරනු ඇත්තේ නිෂේධනීය ප‍්‍රතිවිපාකම විය හැකි බවත්, මානව හිමිකම් මහ කොමසාරිස්වරයා අවබෝධ කරගෙන ඇති සෙයකි.

ලංකාවේ ආණ්ඩුව කෙරෙහි මහ කොමසාරිස්වරයා පෙන්නුම් කොට ඇති මේ බුරුල, විදේශ ඇමති මංගල සමරවීරගේ ඉමහත් අස්වැසිල්ලට හේතුවක් වූවාට සැක නැත. දේශීය පරීක්ෂණ යාන්ත‍්‍රණය තුළ තිබිය හැකි ජාත්‍යන්තර භූමිකාවක් ගැන පසුගිය බ‍්‍රහස්පතින්දා ඔහු සනාථ කොට ඇති මුත්, අදාළ යාන්ත‍්‍රණයන් සම්පාදනය කිරීමට මාස 18 ක කාලයක් ගතවන බවද ඔහු පෙන්වා දී තිබේ. ශ‍්‍රී ලංකාවේ හමුදාවට එරෙහි දඩයමක් මේ වාර්තාව තුළින් අපේක්ෂා කළ පිරිස්වලට මෙය හොඳ කණේ පහරක් වූ බවද ඔහු මතක් කරයි. ‘‘පිස්සු භීතිකාව පුස්සක් බව දැන් ඔප්පු වී තිබේ. කිසි පුද්ගල සාපරාධීත්වයක් නම් කොට නැත. එසේම අභිචෝදක පරිපථය, දේශීය යාන්ත‍්‍රණයකට භාර කොට ඇත. මේ මාර්ගය අප භාරගත්තේ ජාත්‍යන්තරයෙන් එල්ල වන තෙරපීමක් නිසා නොව, මීට වෙනස් වෙනත් මාර්ගයක් නොමැති බැවිනි’’ යැයි ඔහු තවදුරටත් කියයි.

යෝජිත යාන්ත‍්‍රණයන් ස්ථාපිත කිරීමට අවුරුදු දෙකකට ආසන්න කාලයක් දී ඇති මහ කොමසාරිස්වරයා, මාස 18 ක් තුළ ඒවා ක‍්‍රියාත්මක කෙරෙතැයි බලාපොරොත්තු වෙයි. අවුරුදු දෙකකට ආසන්න කාලයක් එසේ ශ‍්‍රී ලංකා ආණ්ඩුවට ලැබුණේ, නව ආණ්ඩුව විසින් දියත් කරන ලද දැඩි රාජ්‍ය තාන්ත‍්‍රික තල්ලූව නිසා විය යුතුය. මහ කොමසාරිස්වරයාගේ නිර්දේශ ප‍්‍රායෝගික තලයට පැමිණෙන විට, එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර දැනට ඇති සන්ධානය දෙපැත්තට යාමේ අදියර එළැඹ තිබෙන්ට පිළිවන. මේ නිසා, මහ කොමසාරිස්වරයා ශ‍්‍රී ලංකාවට ප‍්‍රදානය කොට ඇති තෑග්ග, හුදෙක් අතරමැද මිශ‍්‍ර අධිකරණයක් පමණක් නොව, දේශීය දේශපාලනික තලයේ ඊළඟ කුණාටුව හැමීමට පෙර, නැළවෙන්නට පාවිච්චි කළ හැකි නොනගත කාලයක්ද විය හැකිය.

මුළුමණින් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටියේ නම් ගිරිය කඩාගෙන මොරදීමට බලා සිටි වීරවංශලා දැන් මහ කොමසාරිස්වරයාගේ මිශ‍්‍ර අධිකරණය ගැන කෑකොස්සන් ගසති. ‘‘මිශ‍්‍ර අධිකරණයක් මෙහේ තියලා, රටට සාමය ගෙනාපු අපේ රණ විරුවන්ව ගිලටීනයට දක්කන්න අපේ මිනිස්සු ඉඩ දෙයිදැ’’ යි ඔහු විමසයි. එහෙත්, මෙසේ කෑගැසීමට කලින්, ජාත්‍යන්තර මැදිහත්වීමකට දොර ඇරියේ කවුද යන්න මුලින්ම ඔවුන් සලකා බැලිය යුතුය. මේ තත්වය තුළ, මහ කොමසාරිස්වරයාම සිය වාර්තාව තුළ ඊට දෙන පිළිතුර ඔවුන් අවඥාවෙන් බැහැර කළ හැක. ‘‘මේ වාර්තාව තුළ අන්තර්ගත පරීක්ෂණය ආරම්භ වන්නේ, අතිශය බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සහ අපරාධ පිළිබඳ වගවීම අරභයා පසුගිය කාලයේ ශ‍්‍රී ලංකා ආණ්ඩුව දැක්වූ අසමත් භාවයයි.’’ යනුවෙන් ඔහු එහි සඳහන් කරයි.

ඉහත කී පිරිස් මෙවැනි නිගමනයක් ප‍්‍රතික්ෂේප කළ හැකි වෙතත්, පසුගිය කාලයේ නිතරම පාහේ රූපවාහිනියේ පෙනී සිටිමින් රාජපක්ෂගේ කල්ක‍්‍රියාව ආරක්ෂා කළ දැඩි මහින්දවාදියෙකු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ ගෝමින් දයාසිරි පසුගිය අඟහරුවාදා කළ ප‍්‍රකාශය ඔවුන්ට ප‍්‍රතික්ෂේප කළ හැකිද? වගවීමට අදාළ ප‍්‍රශ්න ගැන හිටපු එක්සත් ජනතා නිදහස් පක්ෂ ආණ්ඩුව පරීක්ෂණ නොපැවැත්වීම නිසා මහත් වන්දියක් අද ගෙවීමට සිදුව ඇති බව ගෝමින් දයාසිරි කීය. සිරස රූපවාහිනියේ සජීවී වැඩ සටහනකට සහභාගී වෙමින්, ‘‘හිටපු නායකයන් සිහිකල්පනාවෙන් වැඩ කළා නං, 2014 ජිනීවා නුවරදී බටහිර රටවල් ලංකාවට එරෙහිව ගෙනා බාහිර පරීක්ෂණයක් පිළිබඳ යෝජනාව වළක්වා ගන්න තිබුණා’’ යැයි ඔහු කීය.

පරීක්ෂණය ජාත්‍යන්තර එකක් වුවත්, මිශ‍්‍ර එකක් වුවත්, දේශීය එකක් වුවත්, යුද අපරාධ සම්බන්ධයෙන් එල්ල වී ඇති විවිධ චෝදනා විභාග කර බැලීමේ අවශ්‍යතාව කෙනෙකුට ප‍්‍රතික්ෂේප කළ නොහැක. ජාත්‍යන්තර ප‍්‍රජාව එය අපෙන් ඉල්ලා තිබේ. අප එවැන්නක් කරන බවට පොරොන්දු වී තිබේ. ප‍්‍රශ්නය තිබෙන්නේ, එම පරීක්ෂණය කෙරෙන අධිකරණය ජාත්‍යන්තර එකක් විය යුතුද, නැත්නම් මුළුමණින් දේශීය එකක් විය යුතුද යන්නයි. මුළුමණින් ජාත්‍යන්තර පරීක්ෂණයකට ශ‍්‍රී ලංකාව එකඟ නැත. මන්ද යත්, එය ස්වෛරී රටක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමක් වෙතැයි යම් බියක් පවතින බැවිනි.

මේ අතර, ස්වදේශීය විනිසුරුවරුන්ගෙන් පමණක් සැදුම්ලත් අධිකරණයක අපක්ෂපාතීත්වය ගැන ජාත්‍යන්තර ප‍්‍රජාව සැක කරති. මන්ද යත්, ඔවුන් යුද්ධ කාලීන අත්දැකීම් සහිත ශ‍්‍රී ලාංකීය පුරවැසියන් බැවින් අදාළ විනිශ්චයන් පිළිබඳව විෂයබද්ධ වීමේ හැකියාවක් ඔවුන්ට නොතිබිය හැකි බැවිනි. මේ නිසා මුළුමණින් දේශීය අධිකරණ යාන්ත‍්‍රණයට විදේශ ප‍්‍රජාව එකඟ නැත.

ලංකාවේ විරෝධතාව නොතකා ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට ඔවුන්ට හැකියාව ඇතත්, ජනාධිපති සිරිසේනගේ නායකත්වයෙන් යුත් නව ආණ්ඩුවේ කැපවීම් ගැන සළකා බලමින් එවැන්නක් නොකිරීමට ඔවුන් තීන්දු කොට ඇත. ඒ වෙනුවට ඔවුන් යෝජනා කරන්නේ අතරමැද විසඳමකි: අර්ධ දේශීය සහ අර්ධ ජාත්‍යන්තර පරීක්ෂණයක්.

එවැන්නකට පවා අන්තවාදීන් විරුද්ධ වන්නේ නම් සහ පූර්ණ දේශීය යාන්ත‍්‍රණයකින් එහා යමක් දැකීමට අපොහොසත් වන්නේ නම්, ඔවුන්ට යෝජනා කළ හැකි විකල්පය කුමක්ද? කෑගැසීම සහ සිංහල ජනතාව අතරේ ගිනි ඇවිලවීම හැර වෙන කරන්ට දෙයක් ඔවුන්ට නැත. ඉදිරිපත් වී ඇති යෝජනාවට එරෙහිව ඔවුන්ට කිව හැකි එකම දෙය වන්නේ, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීත්වයට මිශ‍්‍ර අධිකරණ ක‍්‍රියාවලියක් හතුරු විය හැකි බවයි. තවත් විදිහකින් කිවහොත් ඔවුන් ජාත්‍යන්තර ප‍්‍රජාවට වෙනත් ආකාරයකින් මේ කියන්නේ, අපේ ස්ෙෙරීත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ජාත්‍යන්තර ප‍්‍රජාව හොරාගේ අම්මාගෙන් පේන ඇසිය යුතු බවයි.

එහෙත් ලෝකය වෙනස් වී තිබේ. ස්වෛරීත්වය පිළිබඳ සංකල්පයත් වෙනස් වී තිබේ. සෙසු ලෝකයාට උත්තර නොබැඳ සිටීමට මහ බලවතුන් සතුව පැවති ශක්තිය පවා වෙනස්ව තිබේ. 1940 ගණන්වල දෙවැනි ලෝක යුද්ධ කාලයේ කළ හැකි වූ දේවල් දැන් කිරීමට ඔවුන්ට පුලූවන් කමක් නැත. එම යුද්ධය අවසානයක් කිරීමේ අත්‍යවශ්‍යතාව පෙන්නුම් කරමින්, ඇමරිකානු ජනාධිපති හැරී ටෲමන් හිරෝෂිමාවට පරමාණු බෝම්බය දැම්මේය. එයත් ප‍්‍රමාණවත් නැතැයි සිතාදෝ, නැවතත් නාගසාකි නුවරටත් පරමාණු බෝම්බයක් අතහැරියේය. ලෝකයේ එකම සුපිරි බලවතා වී සිටින එම ඇමරිකාවට පවා අද එවැන්නක් කිරීමේ හැකියාව නැත. එසේ කළොත්, මිනිස් වර්ගයාට එරෙහි අපරාධයකට අද ඔවුන් වගඋත්තරකරුවන් වනු ඇත.

හැරී ටෲමන්ගේ කාලයේ සිට ගතවූ කාලය තුළ, රටක ස්වෛරීත්වය පිළිබඳ සංකල්පය වෙනස් වී තිබේ. එය, මානව හිමිකම් මහ කොමසාරිස්වරයා පසුගිය සඳුදා සිය කතාවේදී මෙසේ කියා සිටියේය: ‘‘පරිස්සමින් සකසා ගත් පරිකථාවකින් ස්වෛරීත්වයට හානි විය නොහැක. සත්‍යය සොයා බැලෙන විමසුමකට බොහෝ දේවල් කළ හැකිය. එහෙත් එයින් රටක් දුර්වල කෙරෙන්නේවත්, දූෂ්‍ය කෙරෙන්නේවත්, පහරකට ලක්කෙරෙන්නේවත් නැත. ඇත්තෙන්ම, රටක ස්වෛරීත්වයක් තර්ජනයට ලක්වන්නේ, නීතියේ ආධිපත්‍යය, ප‍්‍රජාමය හැඟීම, තිරසාර සංවර්ධන ශක්‍යතාව සහ ආණ්ඩු අධිකාරයේ සුජාත භාවය, දූෂණය සහ ගජමිතුරුවාදය විසින් කෙලසනු ලබද්දීය. සැබවින්ම රටක ස්වෛරීත්වයක් අනතුරට හෙලනු ලබන්නේ එකී සාධක මගිනි.’’

එක්සත් ජාතීන්ගේ මේ අතරමැද විසඳුම ශ‍්‍රී ලංකාව ප‍්‍රතික්ෂේප කරන්නේ නම්, ශ‍්‍රී ලංකාවට එරෙහි පුළුල් සම්බාධක පැනවීමේ හැකියාවද ඔවුන්ට ඇති බව විමල් වීරවංශ ඇතුළු අන්ධ නඩය අමතක නොකළ යුතුය. එවැනි සම්බාධක පැනවූ පසු නැවත ඒවා ජාත්‍යන්තරය මගින් ඉවත් කරනු ලබන්නේ, අදාළ රට, මුලින් පනවන ලද කොන්දේසිවලට පූර්ණ වශයෙන් අනුගත වූ පසුව පමණි. අවදානම එයයි.

තෙල්වලින් පොහොසත් ඉරානය එවකට කරමින් සිටි න්‍යෂ්ටික පර්යේෂණ ක‍්‍රියාකාරකම් නතර කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කළ ඉල්ලීම පැහැර හැරීම නිසා, ඉරානයට එරෙහිව පැනවූ සම්බාධකවලින් තවමත් එම රට විඳවයි. එයින් යම් සහනයක් හෝ ඔවුන්ට ලබාගත හැකි වුණේ, මේ වසරේ එළඹ ගත් ‘‘න්‍යෂ්ටික සහ වාරණ සහන එකඟතාව’’ සාර්ථකව ක‍්‍රියාත්මක කළ පසුව පමණි. ලෝකයේ හත්වැනි තෙල් බලවතා වන ඉරානය ජාත්‍යන්තර සම්බාධකවලින් එසේ විඳවූයේ නම්, ලංකාව වැනි තේ දල්ලක් පමණක් ඇති රටක් ගැන කියනුම කවරේද?

ලංකාවේ ස්වෛරීත්වයේ මුරපල්ලන් වශයෙන් උඩුබුරන, දේශපාලනිකව බංකොලොත්වී සිටින මෙවැනි ව්‍යාජ දේශමාමකයන් ඇත්තෙන්ම බලාපොරොත්තු වෙනවා ඇත්තේ එවැනි තත්වයකට ලංකාව පත්වනු දැකීම විය හැකිය. මන්ද යත්, එවැනි තත්වයක් තුළ ගැහැටට පත්වන ජනතාව අවුස්සමින් තමන්ගේ පටු දේශපාලන පරමාර්ථ ඉෂ්ට කර ගැනීමට එවිට ඔවුන්ට අවස්ථාවක් පාදා ගත හැකි බැවිනි. රටේ ස්වෛරීත්වය වෙනුවෙන් පෙනී සිටින්නේ මෙවැනි පිරිස් නම්, රටට එරෙහි තවත් ප‍්‍රහාරකයන් අපට අවශ්‍ය කෙරේද?

මිශ‍්‍ර අධිකරණයකට කැමැති වෙතත් නැතත්, අප යථාර්ථයට මුහුණදිය යුතුව තිබේ. යුද්ධ යනු, සුරංගනා කතා නොවේ. ඒවා අවසන් වන්නේ සුඛ වේදනාවෙන් නොවේ. යුද්ධාවසානයේ සාමයක් පැමිණ ඇතත්, යුද්ධය අවසන් කිරීමට පාවිච්චි කළ මාර්ග මකා දැමීමේ හැකියාවක් රටකට නැත. අපේ ජයග‍්‍රහණයේ උද්දාමය විඳීමටත්, ඇති වූ වැරදිවලට සමාව භජනය කිරීමටත්, ජාත්‍යන්තර ප‍්‍රජාව සූදානම් විය යුතු යැයි අපි සිතමු. එහෙත්, ස්වභාව ධර්මයේ නියාමය තුළ, කර්මයේ නියාමය තුළ, ජය පරාජය කියා දෙයක් නැත. එය හඳුනන්නේ, පූර්ව සැලසුම්ගත සෑම ක‍්‍රියාවකටම, ඊට සමාන ප‍්‍රතික‍්‍රියාවක්ද ඇති බව පමණි. එබැවින්, ලබා ගන්නා ජයග‍්‍රහණයට පවා වැය කළ යුතු යම් මිළක් තිබේ.

*2015 සැප්තැම්බර් 21 වැනි දා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ“Human Rights Chief’s Compromise: Crossbred Court Probe for War Sins” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Back to Home page