Colombo Telegraph

නිර්මල බුද්ධ ධර්මය හා ජනප‍්‍රිය බුද්ධාගම

ඩී. බෝයගොඩ

ඩී. බෝයගොඩ

නිර්මල බුද්ධ ධර්මය හා ජනප‍්‍රිය බුද්ධාගම අතරත්, නිර්මල බුද්ධ ධර්ම මගෙහි ගමන් කරන අය හා ජනප‍්‍රිය බුද්ධාගම අනුගමනය කරන අයගේ චර්යාවන්, සිතුවිලි හා ක‍්‍රියාකාරකම් අතර ඇති වෙනස්කම් සසඳා බැලීම මෙම ලිපියේ මූලික අරමුණ වේ. වෙනස්කම් ඇති බව හෝ නොදන්නා බහුතරයක් බෞද්ධයින් අප අතරම සිටින බවට සැකයක් නැත.  බහුතරයක් බෞද්ධයින් නිර්මල දහම් මඟ නොයන්නේ ඒ නිසා විය හැක. බුදුන් වහන්සේ විසින් වදාළ උන්වහන්සේගේ ඒකායන පරමාර්ථයම කේන්ද්‍ර කර ගනිමින් මෙම සැසඳීම  කරන බව සටහන් කළ යුතු වේ. එය හුදෙක්ම සුළුතරයක් බෞද්ධයින්ට හෝ තමන් තෝරා ගත යුතු ගමන් මඟ තීරණය කර ගැනීම සඳහා උපකාරී වේ යැයි අවංකවම උපකල්පනය කරමි.

ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් 72% වැඩි කොටසක් සිංහල බෞද්ධයන් වේ. ඉන් වැඩි ප‍්‍රතිශතයක් නාමික බෞද්ධයන් වන අතර, එයින්ද වැඩි කොටසක් බුද්ධාගම හා සම්බන්ධ        වත් පිළිවෙත්, පුද පූජාවලට මුල් තැන දෙමින් කටයුතු කරන බව ප‍්‍රකට සත්‍යයකි. ඉතාම අල්ප කොටසක් නිර්මල බුද්ධ ධර්මය සොයමින් දහම් පිපාසයෙන් පෙළෙති. ලෝකයේ බොහෝමයක් බෞද්ධ රටවල පවා මීට සමාන තත්වයක් පවතින බව නොරහසකි.

බුද්ධ පරිනිර්වාණයෙන් ශත වර්ෂ කිහිපයක් ඇවෑමෙන්, බුදුන් වහන්සේ පහල වීමටත් පෙර පැවති විවිධ ආගම් වල පුද පූජා, වත් පිළිවෙත් හා විවිධ ආගම් නායකයින්ගේ සංකල්පනා හා මති මතාන්තර එකතු වී නිර්මල බුද්ධ පණිවිඩය යටපත් වී හුදෙක් ජන පහන් සංවේගය ජනිත කරවන අයුරින් බුද්ධාගම අද දක්වා ස්ථාපිත වී ඇත. මෙය ස්වභාව ධර්මයේ ක‍්‍රියාකාරීත්වයෙන් ම වූවාක් මිස ඒ සඳහා කිසිවෙකුටවත් චෝදනා එල්ල කළ යුතු නොවේ. වරින් වර ධර්ම සංඝායනා තුනක් ම පවත්වා නිර්මල බුද්ධ ධර්මය ආරක්‍ෂා කළ අරහතුන් වහන්සේලා උත්සාහ කළේ නිර්මල බුද්ධ ධර්ම විකෘති කිරීම වළකා ගැනීම සඳහාමය. නිර්මල බුද්ධ ධර්මයෙන් පෙන්වා දෙන  විනයානුකූල ප‍්‍රතිපත්ති පිරීමට වඩා පසුව එකතු වූ සංකල්පනා හා මතිමතාන්තර, වත් පිළිවෙත් හා පුද පූජා අනුගමනය කිරීම පහසු වූ බැවින් ගිහි පැවිදි දෙපිරිස තුළම බුද්ධ ධර්මයට වඩා බුද්ධාගම ජනප‍්‍රිය වීම ස්වභාවයෙන් ම සිදු වූවකි.

බුද්ධෝත්පත්තියෙන් වර්ෂ 2600 කට පමණ පසුව දහම් පිපාසාවෙන් පෙළෙන අයවළුන්ගේ පිපාසාව නිවා ගැනීම සඳහා නිර්මල බුද්ධ ධර්මය දැන් නැවතත් විවෘත වී ඇති බව පැහැදිළිවම දැක ගත හැක. එබැවින් බුද්ධාගමේ වත් පිළිවෙත්, පුද පූජා අනුගමනය කරන අයගෙන් සුළුතරයකට හෝ නිර්මල බුද්ධ ධර්මයේ හරය වටහා ගැනීමට මෙම සැසඳීම උපකාරී වේ යැයි කල්පනා කරමි.

එහෙත් අවුරුදු දහස් ගණනක් පිළිගත් මතිමතාන්තරවලම එල්බගෙන කටයුතු කරන බහුතරයකගේ හා සැඟවුණු පරමාර්ථ ඉටු කර ගැනීම මුල් කොට ගත් විවිධ බලවේගයන්ගේ ගැරහුමට මෙම උත්සාහය ලක් වීමේ අවදානමක් ඇති බව ද මම දනිමි. මෙම ගැරහුම්වලට පාදක වූ හේතූන් කීපයක්ම ඇති බව අපි අමතක නොකළ යුතු වෙමු.

1. බුද්ධ ධර්මයේ සඳහන් අත් හැරීම වෙනුවට එකතු කිරීම ඔවුන්ගේ මූලික පරමාර්ථය වීම.

2. මෙතෙක් දැඩිව එල්බ ගෙන සිටි මතිමතාන්තර වලින් වෙනස් ව යථාර්ථය හා පරමාර්ථ සත්‍ය දැකීමට ඇති දැඩි අකමැත්ත.

3. කොටින්ම වෙනසකට ඇති අකමැත්ත.

4. මෙතෙක් තමන් දැරූ තනතුරු හා පදවි අහිමි වේ යැයි යන බිය.

5. ජනප‍්‍රිය රැල්ලට හසු වීම.

6. තමන්ට වැරදී ඇති බවත්, අනුන්ව ද තම දේශනා තුළින් වරදකට නම්වා ඇති බවත් පිළිගැනීමට නිහතමානී නොවීම.

සුපරික්‍ෂාකාරීව, විමසිලිමත්ව බලන, විවෘත මනසක් ඇති  ඕනෑම අයෙකුට මෙහි සත්‍යතාව පහසුවෙන්ම වටහා ගත හැකි වනු ඇත.

එම ගැරහුම් ඔස්සේ පවා නිර්මල ධර්මයට විවෘත වීමට මඟක් පෑදීමේ ඉඩ කඩ ඇති බැවින් මෙම අදහස් සටහන් කොට තැබීමට අදහස් කරමි.

මෙහි ආරම්භයක් වශයෙන් ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වය සඳහා පාරමිතා දහම් පුරමින් අති දීර්‍ඝ කාලයක් සංසාරයේ අනන්ත අප‍්‍රමාණ දුක් වින්දේ ඇයි දැයි යන්න අවංකව ම කල්පනා කළ යුතු වෙමු. එදා දීපංකර බුද්ධ පාද පාමුල තමන්ගේ සංසාර ගමන නිමා කර ගැනීම සඳහා පින් පිරූ ඇත්තෙකු වූ සුමේධ තාපසතුමා එම ආත්මාර්ථකාමී අදහස අතැර දමා නියත විවරණ ලබා මුළු මහත් සත්ව සංහතියම වෙනුවෙන් අති දීර්ඝ කාලයක් දුක් වින්ද බව අපි අමතක නොකළ යුතු වෙමු. එම උත්සාහයේ පරමාර්ථය ගුණ යහපත් සමාජයක් බිහි කිරීම, දෙව් මිනිස් සැප සම්පත් ලබා දීම,  උගත්, කුලවත්, ධනවත් පිරිස් බිහි කිරීම නොව, එම උත්සාහයේ ඒකායන පරමාර්ථය වූයේ පරක් තෙරක් නොපෙනෙන සංසාරයේ අතරමංව අනන්ත අප‍්‍රමාණ දුක් විඳින සත්වයා සදහටම එම සංසාර සාගරයෙන් එතෙර කිරීමයි. සිදුහත් බෝධි සත්වයන් බුද්ධත්වය ලබා ගැනීමට පෙර සිටම එවකට ජම්බුද්වීපය නම් ප‍්‍රකට ප‍්‍රදේශයේ ගුණ යහපත් සමාජයක් හැදීම, දෙව් මිනිස් සැප සම්පත් ලබා ගත හැකි ක‍්‍රම වේදයන් උගැන් වූ ඍෂිවරුන්, ආගම් නායකයින් කොතෙකුත් සිටි බව අප දනිමු. බුදුන් වහස්සේගේ උත්සාහය වූයේ ඉන් ඔබ්බට ගමන් කරමින් සත්වයාට සදාකාලික සැනසීමක්, නිවීමක් ලබා දීමේ ක‍්‍රමවේදයක් හඳුන්වා දීමයි. එසේම බුදුන් වහන්සේ ස්වයංභූඥාණයෙන් ම අවබෝධ කොට ගෙන ඉදිරිපත් කළ එම ක‍්‍රමවේදයන් බෞද්ධයන්ට පමණක් සීමා නොවූ මුළු මහත් මිනිස් ප‍්‍රජාවට ම අනුගමනය කොට එක සේ ප‍්‍රතිඵල ලබා ගත හැකි විද්‍යාත්මක සිද්ධාන්තයන් පදනම් කොට සකස් වූවක් බව අපි කිසිසේත් ම අමතක නොකළ යුතු වෙමු. එබැවින් විවෘත මනසකින් ක‍්‍රමාණුකූලව සිතා බලා බුදුන් වහන්සේගේ ඒකායන පරමාර්ථය කුමක් වී ද යන්න අපි නිගමනය කළ යුතු වෙමු. හොඳ සමාජයක්, හොඳ මිනිසුන් බිහිවීම බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කිරීමේ අතුරු ඵලයක් පමණක් බව ද මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි. නිර්මල බුද්ධ ධර්මය, කා හටත් අවබෝධයෙන් අනුගමනය කොට අති විශිෂ්ට ප‍්‍රතිඵල ලබා ගත හැකි විද්‍යාත්මක සිද්ධාන්ත මත පදනම් වූවකි.

එහෙත් බුද්ධ පරිනිර්වාණයෙන් කලකට පසුව, විශේෂයෙන් ම අනුරාධපුර යුගයේ මහා විහාරයේ විනාශයත්, අභයගිරි නිකායේ ආරම්භයත් සමඟ ම විවිධ ආගමික සංකල්ප මුසු වීමෙන් හා පොළොන්නරුව වැනි යුගවල දී හින්දු හා ශිව ආගම් වල බලපෑමෙන් ද රාජ්‍ය අනුග‍්‍රහයෙන් හා මෑත ඉතිහාසයේ විවිධ බෞද්ධ රටවල විවිධ වත් පිළිවෙත් වල ආභාෂයෙන් එතෙක් පැවති නිර්මල බුද්ධ ධර්මයෙන් පණ ගැන් වූ නිවීම, සැනසීම ලබා ගැනීම වෙනුවට හුදී ජන පහන් සංවේගය දනවන නිවන, ප‍්‍රාර්ථනාවකට සීමා කරමින් ඈතට තල්ලූ කර දමන ආගමක් බවට බුද්ධ ධර්මය පරිවර්තනය වූ ආකාරය කණගාටුවෙන් වුවද සඳහන් කළ යුතුව ඇත.

කෙසේ වුවද, බුද්ධාගම ස්ථාපිත කිරීමෙහිලා පුරෝගාමීත්වය ගත් අයවළුන් විසින් ඉටු කරන ලද සත් කාර්යයක්  මෙහිලා ඔවුනට ගරු කිරීමක් වශයෙන් සඳහන් නොකරම බැරිය. බුද්ධ ධර්මය බුද්ධාගමක් ලෙසට හරවා ගත් අයවළුන් ම බුදු හිමියන් මාගධී ශබ්ද සංඥා වලින් දෙසා වදාළ ( පසුව පාලි භාෂාව ලෙස හැඳින් වූ ) එතෙක් වන පොත් කරමින් කටින් කට රැක ගෙන ආ නිර්මල පෙල දහම ඒ අයුරින් ම ග‍්‍රන්ථාරූඪ කිරීම මෙසේ අගය කළ යුතු එකම කාර්යය බව සඳහන් කළ යුතු වේ. එසේ නිර්මල බුද්ධ ධර්මය ග‍්‍රන්ථාරූඪ කොට රැක ගැනීමේ ගරුත්වය අනිවාර්යයෙන් ම ඔවුනට හිමි විය යුතු වේ. අදටත් බුදුන් වදාළ නිර්මල බුද්ධ ධර්මය අදාල ත‍්‍රිපිටකය කියවා එය අර්ථ, ධර්ම, නිරුක්ති, පඨිභාන සහිතව අන් අයට තේරුම් කර දිය හැකි ප‍්‍රඥාවන්තයෙකුට ඒ සඳහා අවස්ථාව ලැබී ඇත්තේ මෙලෙස ත‍්‍රිපිටකය ආරක්‍ෂා වීම නිසාම බව නොකියාම බැරිය.  ( පසු කාලීනව ත‍්‍රිපිටකය වෙනත් භාෂාවලට පරිවර්තනය කිරීමේ දී හා ත‍්‍රිපිටකයට අර්ථ කථා ලියූ අයවළුන් තම අදහස් හා ජනප‍්‍රිය වත් පිළිවෙත් වලට අනුව එය විකෘති කිරීම වෙනම කරුණකි ) එසේ නොවන්නට නිර්මල බුද්ධ ධර්මය සදහට ම අපට නැති වී ගොස් හුදී ජන පහන් සංවේගය දනවන පුද පූජා, වත් පිළිවෙත් පමණක් අපට ඉතිරි වීමට ඉඩ තිබින. එබැවින් නිර්මල දහම ආරක්‍ෂා වීමට කටයුතු කිරීමේ ගරුත්වය බුද්ධාගම ස්ථාපිත කළ අයවළුන්ට ලබා දිය යුතු ම වේ.

නිර්මල බුද්ධ ධර්මය හා එය අනුගමනය කරන්නන්ගේ චර්යා ධර්ම, ක‍්‍රියාකාරකම් හා සිතුවිලිත්, බුද්ධාගම හා එය අනුගමනය කරන අයගේ චර්යා ධර්ම, සිතුවිලි හා ක‍්‍රියාකාරකම් අතර ඇති වෙනස්කම් හඳුනාගැනීම  නිර්මල දහම් මඟ අනුගමනය කිරීමේ වුවමනාවක් ඇති අයට තරමක හෝ මඟ පෙන්වීමක් විය හැකි බැවින් ඉන් සමහරක් මෙසේ සටහන් කර තබමි. ඇතැම් බෞද්ධයන් මෙවැනි වෙනසක් ඇති බව පවා නොදකිමින් ක‍්‍රියා කරන අයුරු මෙහිලා සඳහන් කළ යුතු ම වේ.

මෙම සැසඳීම තවත් පිටු රැසක් කරා දීර්ඝ කළ හැකි වුවත්, කියවන ඔබ ඉන් වෙහෙසට පත් නොකළ යුතු බව මම දනිමි. එබැවින් විශේෂයෙන් ම සැසඳිය යුතු යැයි මා හට හැඟී ගිය විශේෂ කරුණු කිහිපයකට පමණක් මෙම සැසඳීම සීමා කිරීමට අදහස් කළෙමි.

මෙම ලිපිය සකස් කළ  මම උපතින්ම බෞද්ධයෙක්මි. බෞද්ධ පරිසරයක හැදී වැඩුණ ද තරුණ කාලයේ දී තරුණ මදයෙන් මත් වී මම බෞද්ධයෙකු වුවත් ක‍්‍රියාවෙන් බෞද්ධයෙකු නොවේ යැයි අනන්ත අප‍්‍රමාණ වතාවල් වලදී ප‍්‍රකාශ කොට ඇත්තෙමි. එය අමනෝඥ ප‍්‍රකාශයක් බව දැනුණ ද වියපත් වූ පසු එය සත්‍යයක්ම බව දැන් මම දනිමි. මැදි වියේ දී බෞද්ධ වත් පිළිවෙත්, පුද පූජාවලට, දාන මානවලට යොමු වී මිතුරන්ගේ ඇසුරෙන් අනාර්ය ප‍්‍රාණයාම භාවනා ක‍්‍රම පුරුදු කළෙමි. එම භාවනා පුරුදු කළ විවිධ යෝගීන් හමු වීමි. දැඩි ලෙස එම භාවනා ක‍්‍රම ප‍්‍රගුණ කරමින් විවිධ අත්දැකීම් ලැබුවෙමි. ප‍්‍රකාශ කළහොත් කිසිවෙකුත් පිළිනොගන්නා තරම් මිහිරි මෙන්ම විශ්මයජනක අත්දැකීම් ලැබූවෙමි. එහෙත් ඒ කිසිවක් පරම විමුක්තිය නොවන බව මා සිත තුලම ජනිත වූ අදහසක් නිර්මල බුද්ධ පණිවිඩය හා පරම සත්‍ය සෙවීම සඳහා මා මෙහෙය වීය. “සත්‍ය සොයන්නාට එය කෙසේ හෝ හමු වේ” යන පැරණි කියමන නැවතත් සනාථ කරමින් නිර්මල බුද්ධ පණිවිඩය පැහැදිළිවම එලිදරව් කළ හැකි, පරම විමුක්තිය කරා යොමු විය හැකි මාර්ගය පැහැදිළිව ම පෙන්වා දිය හැකි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුද්ධ පුත‍්‍රයෙකු වශයෙන් හඳුන්වා දිය හැකි සංඝ පීතෘවරයෙකු හමු වීමට තරම් වියපත් වියේ දී මම වාසනාවන්තයෙකු වීමි. උන්වහන්සේගේ හමුවීම වියපත් වියේ දී වුවද මම නැවත උප්පත්තියක් ලැබුවා හා සමාන විය. අඳුරේ අතපත ගාමින් සිටි මා හට ලැබුණු සදහම් ආලෝකයෙන් නිවැරදි මඟ ගමන් කිරීමට දැන් අවස්ථාව ලැබී ඇත.

මෙම ලිපිය මඟින් බුද්ධාගම හෑල්ලූවට ලක් කිරීම හෝ බුද්ධාගම අනුගමනය කරන අය විවේචනය කිරීමක් හෝ කිසිසේත්ම අදහස් නොකෙරේ. මෙය බුද්ධ ධර්මය හා ජනප‍්‍රිය බුද්ධාගම අතර වෙනස්කම් ඇති බව පමණක් පෙන්වා දීමට ගත් උත්සාහයකි. බුද්ධාගම පැවතිය යුතුමය. එය අපි ආරක්‍ෂා කළ යුතුම වෙමු. ඉන් සමාජයට ඉටුවන මෙහෙය අපි නිරන්තරවම අගය කළ යුතු වෙමු. බුද්ධාගම ස්ථාපිත නොවන්නට, නිර්මල බුද්ධ ධර්මය අපට අහිමි වී යැමට ද ඉඩ තිබුණි. බුද්ධ ධර්මයේ ගැඹුරු අර්ථයන් තේරුම් ගැනීමට අපහසු අයට මඟ පෙන්වීම සඳහා ආගමක් අවශ්‍යම වේ. එම කාර්යය බුද්ධාගම මඟින් ඉටු වීම පැසසිය යුතු කරුණකි. බුද්ධාගමේ ඉගැන්වෙන සිල් සමාදන් වීම, වත් පිළිවෙත්, පුද පූජා ක‍්‍රම ලෞකිකත්වය තුළ මිනිසුන්ගේ ගති පැවතුම්, චර්යා, සිතුවිලි, ක‍්‍රියාකාරකම් තුළ කිසියම් විනයානුකූල බවක් තාවකාලිකව හෝ ඇති කිරීමට ඉවහල් වන බව නොකියාම බැරිය. මෙය හොඳ සමාජයක් සඳහා නියත උපකාරයකි. මීට සමගාමීව හොඳ සමාජය තුලින් බිහිවන විනයානුකූල පුද්ගලයන් ලෞකිකත්වයෙන් ඔබ්බට ගෙන ගොස් බුද්ධ ධර්මයේ ඉගැන්වෙන සදාකාලික නිවීම, සැනසීම ලබා ගැනීම සඳහා කල්‍යාණ මිත‍්‍ර සම්පත්තිය ලබා දීමට බෞද්ධ නායකත්වයක් වඩ වඩා යොමු වන්නේ නම් ඉන් වචනයෙන් විස්තර කළ නොහැකි තරම් අමිල සේවයක් අප සමාජයට ඉටු කර දිය හැකි බව නම් නොකියාම බැරිය.

එබැවින් බුද්ධාගම පැවතිය යුතුමය. හොඳ සමාජයක් හොඳ මිනිසුන් බිහිවිය යුතුම වේ. එහෙත් බුද්ධාගම ඉදිරියටත් තව දුරටත් වෙනස්කම්වල ට භාජනය වනු ඇත. නමුත් බුද්ධ ධර්මය කිසිදාක එසේ වෙනස් නොවනු ඇත. හොඳ සමාජයෙන් ඔබ්බට යාමට උවමනාව ඇති අයවළුන්ට බුද්ධ ධර්මය නිසැකව ම සරණ වනු ඇත.

මෙය සකස් කිරීමේ දී මාගේ ධර්ම ගුරුවරයාණන් වූ පූජ්‍ය මීවනපලානේ සිරිධම්මාලංකාර ස්වාමීන්වහන්සේගේ ධර්ම දේශනා හා උන්වහස්සේ විසින් රචිත දහම් පොත් පෙළ හා පූජ්‍ය වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ ගේ ධර්ම දේශනා හා දහම් ප‍්‍රකාශන උපකාරී වූ බව උන්වහන්සේලාට දක්වන ගෞරවයක් වශයෙන් සඳහන් කළ යුතු වේ.

මෙහි කිසියම් හෝ අඩුපාඩුවක් හෝ දෝෂ ඇත්නම් ඒ සඳහා උන්වහන්සේලාගේ කිසිම වගකීමක් නොමැති බවත් එම සදොස් තැන්වල පූර්ණ වගකීම මා සතුවන බවත් අවධාරණයෙන් ම ප‍්‍රකාශ කරමි.

බුද්ධෝත්පත්ති කාලයක මනුෂ්‍යත්වය ලැබීමට තරම් අපි වාසනාවන්ත වීමු. නිර්මල බුද්ධ ධර්මය විවෘත වී ඇති මෙකල අප ලබා ඇති මනුෂ්‍යත්වයෙන් උපරිම ඵල නෙලා ගැනීමට හා නිවැරදි දහම් මඟ ගමන් කරමින් ඉන් ඉගැන්වෙන නිවීම, සැනසීම ලබා ගැනීමට අප අවංකවම උත්සාහ කළ යුතු නොවේ ද? මෙම අවස්ථාව මඟ හැරී ගියහොත් අපට නැවතත් කිසිදාක එවැනි අවස්ථාවක් හමුවේ දැයි කා හට කිව හැකි ද?

තෙරුවන් සරණයි !

 

Back to Home page