20 May, 2026

Blog

ලාල්කාන්ත ගේ නිවස හා ජවිපෙ දේශපාලනය

ඊ.එම්. තිස්සකුමාර –

1971 අප්‍රේල් 05 යනු ජනතා විමුක්ති පෙරමුණට විශේෂ දිනයකි. නිදහසින් පසුව , රාජ්‍ය බලය අත්පත් කරගැනීම අරමුණු කරගෙන, ආයුධ සන්නද්ධ අරගලයක්, පළමුවරට, ජවිපෙ විසින් දියත් කලේ එදිනය. අනතුරුව එළඹෙන සෑම අප්‍රේල් 05 වෙනිදාකම “අප්‍රේල් විරුවන්” සැමරීම ජවිපෙ විසින් සිදුකරන්නේ අති උත්කර්ෂවත් ලෙසය. එක අතකට එම සැමරුම, අප්‍රේල් නැගිටීමට සම්බන්ධව අදටත් ජීවතුන් අතර සිටින්නන්, ජවිපෙ නායකත්වය හා සාමාජිකයන්, හිතවතුන්, එක්ව මියගිය තම සටන්කරුවන් සිහිපත් කරන දේශපාලනමය යාතුකර්මයක් වැනිය. එසේම අනාගත දේශපාලන අරමුණු ප්‍රකාශයට පත්කරන වේදිකාවක් ද වන්නේය.

මේ වසරේ අප්‍රේල් 05 වෙනිදා, 55 වන සදා සමරමු සොයුරෝ “අප්‍රේල් විරුවන්” ප්‍රධාන සැමරීම ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ගේ ප්‍රධානත්වයෙන් වවුනියාවේ දී පැවැත්විණි. එසේම අනුරාධපුරය, බදුල්ල, මාතර, කොළඹ ආදී විවිධ ප්‍රදේශ වලද පැවැත්විණි. මේ සමරුවට දින කිහිපයකට පෙර මාර්තු 29 වෙනිදා ජාජබ ඇමති ලාල්කාන්ත ගේ කොළඹ බත්තරමුල්ල පෙදෙසේ පිහිටි නිවසේ පැවති දානමය පිංකමක ඡායාරූප සමාජගත විය. ඒ අතර ජනාධිපතිවරයා හා අගමැතිනිය ප්ලාස්ටික් පුටුවල වාඩිවී ලාල්කාන්ත සමග බර කතාවක පැටලී ආහාර බුදිමින් සිටි ඡායාරූපයක් සංසරණය වූයේ, ඔවුන්ගේ නිහතමානිත්වය, සරලබව පිලිබඳව බොහෝ ප්‍රශංසාත්මක කමෙන්ටු බොහෝ පළවිය. නමුත් පින්කම සමග දැඩි සමාජ කතාබහකට ලක්වූයේ ලාල්කාන්ත ගේ නිවස පිළිබඳවය.

ඡායාරූප අනුව ලාල්කාන්ත ගේ නිවස තෙමහල්ය; නූතන ගෘහ නිර්මාණ ශිල්පයට අනුකූලව ඉදිකර ඇත; වර්ණවත්ය; සුඛෝපභෝගී බවකින් යුතු බවද කියැවේ. ඉඩමේ සහ නිවසේ වර්තමාන වටිනාකම රුපියල් මිලියන ගණනක් වන බව නිසැකය. ජනපතිගේ සරලබව හෝ ජවිපෙ විරු සමරුව හෝ සාකච්ඡාවට භාජනය නොවී ලාල්කාන්ත ගේ නිවස විවේචනයේ වස්තුව බවට පත්විය.

මේ විවේචන වල පදනම පවතින්නේ ජවිපෙ නායකයන් හා සාමාජිකයන් හට මේ ආකාරයේ දේපල, වස්තුව, සුඛෝපභෝගී නිවාස කොටින්ම සුඛෝපභෝගී ජීවිත තිබිය නොහැකි බවත්, ඔවුන් ගේ දේශපාලන චින්තනය , සමාජ චර්යාව අනුව එවැනි ජීවිතයක් ගතකිරීම සදාචාරවත් නොවන බව ආදී මතිමතාන්තර අනුවය. මෙම සදාචාරාත්මක විවේචනය මතුවන්නේ ජවිපෙ හා එහි ක්‍රියාධරයා පිළිබඳව අප සිතනා ආකාරය සහ ඔවුන් ගැන ඔවුන් විසින් කියනා ආකාරය අනුවය.

විශේෂයෙන් ජවිපෙ හා එහි සාමාජිකත්වය ගැන පොදු සමාජයේ ඇත්තේ පරමාදර්ශි ආකල්පයකි. වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජවිපෙ ගොඩනැඟෙන්නේ 1960 දශකයේ අගභාගයේ දීය. ඉන් වසර කිහිපයකට පසු, ඉහත කී සැමරුමට නිමිත්ත වූ, අප්‍රේල් කැරැල්ල නම් සන්නද්ධ අරගලය සිදුවූයේ 1971.04.05 වෙනිදාය. එවකට වූයේ ශ්‍රීලනිප, ලසසප හා කොප යන පක්‍ෂ සන්ධානයක් වූ සමගි පෙරමුණ ආණ්‌ඩුවය. අගමැතිනිය ශ්‍රීලනිප නායිකා සිරිමා බණ්‌ඩාරනායකය. ඒ වනවිට ජවිපෙ නායක රෝහණ විජේවීර සිටියේ අත්අඩංගුවට ගෙන යාපනයේ බන්ධනාගාරයේය.

1977 මහ මැතිවරණයෙන් හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් අත්පත් කරගත් එක්සත් ජාතික පක්ෂය, එහි නායක ජේ.ආර්. ජයවර්ධන ගේ නායකත්වයෙන් ආණ්ඩුව පිහිටුවීය. එතෙක් සිරභාරයට සිටි ජවිපෙ නායක විජේවීර ඇතුළු සාමාජිකයන් එජාප රජය විසින් නිදහස් කළේය. සන්නද්ධ දේශපාලන අරගලය පසෙකට කර මැතිවරණයෙන් බලය ලබාගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයට ජවිපෙ අනුගත විය. 1983 ජූලි ජනවාර්ගික කලබල මැද ජනාධිපති ජයවර්ධන රජය ජවිපෙ තහනම් පක්ෂයක් කළේය. එතැන් පටන් ජවිපෙ රහසිගත දේශපාලනය 1988-90 කාලයේදී පුපුරා ගියේ රාජ්‍ය බලය ලබාගැනීමේ අරමුණෙන් සන්නද්ධ දේශපාලන අරගලයක් දියත් කරමිනි. නායක විජේවීර ඝාතනය වූයේය. හැටදහසකට ආසන්න ජවිපෙ කේඩරය මරාදැමූ බව කියැවේ. 1990 වසරෙන් පසු ක්‍රමයෙන් පාර්ලිමේන්තුවාදී මැතිවරණ දේශපාලනයට පිවිසි ජවිපෙ 2024 රාජ්‍ය බලය ලබාගත්තේය.

ජවිපෙ ගොඩනැංවීමේදී විජේවීර ගේ නායකත්වය විසින් සෑම සාමාජිකයෙක්ටම පොදුවූ සදාචාරාත්මක නීති පද්ධතියක් පැනවූ බවත් ඒවා පක්ෂ ක්‍රියාධරයන් අනුගමනය කල බවත් ප්‍රකටය. ඉතිහාසය අනුව ඒ නීතිරීති කඩකල සමහර අවස්ථා තිබූ අතර සදාචාරාත්මක පිරිහීම නම් ලේබලයද සහිතව එවැන්නන් පක්ෂයෙන් නෙරපා හැර ඇත. මේ කාලය පුරාම ජවිපෙ ගොඩනැඟෙන්නේ නිර්ධනීන්ගේ, සමාජයේ දුප්පතුන්ගේ, කම්කරුවන්ගේ, ගොවියන්ගේ, ශිෂ්‍යයින්ගේ, රැකියා විරහිතයන්ගේ, බහුතර තරුණයන්ගේ රැඩිකල් වාමාංශික දේශපාලන පක්ෂය ලෙසය; ධනපතියන් ගේ දේශපාලනයට එරෙහි, කිසිඳු ආකාරයක ධනහිමියන් නොමැති, පක්ෂය ලෙසය. රටේ ජනතාව , පොදු සමාජය විසින් ජවිපෙ හඳුනාගන්නේ ඒ ආකාරයෙනි. බොහෝවිට ජවිපෙ ක්‍රියාධරයා හා පූරාණකාලීනයා යනු දුප්පතෙක් , දේපල නොමැත්තෙක්, ආර්ථික වශයෙන් ස්ථීර පදනමක් නොමැත්තෙක්, අන් අයගේ මූල්‍යමය හා ද්‍රව්‍යමය ප්‍රදාන, සැපයුම් මත යැපෙන්නෙක් ලෙස රටේ පොදු සමාජය අවබෝධ කරගෙන සිටියෝය. මේ පරමාදර්ශී ප්‍රතිරූපය 2024 වසරේ බලයට ඒමට පෙරත් හා බලයට පැමිණි පසුත් ජවිපෙ නායකයන් පුවත්පත්, සමාජ මාධ්‍ය, රූපවාහිනි මාධ්‍ය ආදී විවිධ මාධ්‍ය තුලින් සමාජගත කර නඩත්තු කළේය. රටේ මිනිසුන් විශ්වාස කළේ ඒ ප්‍රතිරූපයය .

1977 න් පසු සන්නද්ධ දේශපාලනය අත්හැර පාර්ලිමේන්තුවාදී ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ දේශපාලන ප්‍රවාහය තුලට ඇතුල්වීම එක් අතකට ආරම්භක රැඩිකල් වාමාංශික දේශපාලනයේ පරිවර්තනය ඇතිවීම ආරම්භ වන්නට ඇත. 1983 සිට 1990 අතර කාලයේ යටිබිම්ගත දේශපාලනයේ යෙදීම ඒ ප්‍රවණතාවය යම්තරමකට වෙනස් වුවත් නැවත 1990 දශකයේ ආරම්භයේ සිට ප්‍රජාතන්ත්‍රවාදී මංපෙත දිගේ ගමන ආරම්භ කළේය. එනම් වාමාංශික කතිකාවට අනුව ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී සමාජ දේශපාලන ක්‍රමයට අනුගත විය. චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රීපාල සිරිසේන පාලන සමයන්හීදි ජවිපෙ ආණ්ඩු බලය සමග ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ගණුදෙනු පවත්වාගෙන ගිය බව රහසක් නොවේ. රාජ්‍ය බලය ලබාගැනීමේ දේශපාලන අරමුණ කවර ලෙසින්වත් අත්නොහැරී ජවිපෙ නායකත්වයේ වෙනස් වීම, ජාතික ජන බලවේගය නමින් බහුජන දේශපාලන පක්ෂයක් බවට රූපාන්තරණය වීම සමඟ ඒ අරමුණ සාක්ෂාත් කර ගත්තේය.

1990 දශකයෙන් පසු රෝහණ විජේවීර ගේ ජවිපෙ දේශපාලන වශයෙන් වෙනස්වීමට භාජනය වීම අනිවාර්ය වූයේ , නැතිනම් සම්ප්‍රදායික වාමාංශික පක්ෂ මෙන් දියවී අභාවයට යාමට සිදුවිය හැකි බැවිනි. එක අතකට පෙරටුගාමී සමාජවාදී පක්ෂය 2012 වසරේදී ජවිපෙ වෙතින් කැඩී යාම මගින් ජවිපෙ තුල සිටි දැඩි මාක්ස්වාදී මූලධාර්මික කොටස ඉවත්වීම සනිටුහන් කළේය. බහුජන දේශපාලන පක්ෂයක් නිර්මාණය කරගැනීමේ ඉස්පාසුව සේම ඒ අරභයා නායකත්වයේ ප්‍රතිසංවිධානය කරගැනීමේ අවකාශය ද විවෘත වූ බව පෙනෙයි. ඉන් වසර දොළහකට පසුව 2024 රාජ්‍ය බලය ලබාගැනීමට ජවිපෙට හැකිවිය. අද පෙසප තමන්ගේ පරම දේශපාලන සතුරා බවට පත්කරගෙන ඇත්තේ ජවිපෙ හා ජාජබ ආණ්ඩුව බව පැහැදිළිය.

ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය තුල රාජ්‍ය බලය ලබාගැනීමේ අරමුණ සහිතව එහි පරිධියේ සිට කේන්ද්‍රය දක්වා ගමන් කිරීමට නම් තම දේශපාලන ව්‍යාපාරය, වාමාංශික දේශපාලන මතවාද සහ තමන්ව ද වෙනස් කරගත යුතු බව හා වෙනස්වන බව ජවිපෙ/ජාජබ බහුජන දේශපාලන ව්‍යාපාරය පෙන්වා දී ඇත. දැඩි ඇතුලට නැමුණු දේශපාලන සංවිධාන ආකෘතිය ලිහිල් බවට පත්කිරීම හැර අන් මඟක් නැත. සමාජයේ දේශපාලන, වාණිජමය, සංස්කෘතික, විදේශ ආදී විවිධ විශේෂ සබඳතා ජාලයන් නිර්මාණය කරගැනීමට සිදුවේ; එවැනි සබඳතා මගහැර යාමට නොහැකිය. වාමාංශික මාක්‌ස්‌වාදී සමාජවාදී පාරිශුද්ධත්වය යථාර්ථයක් වන්නේ නැත පමණක් නොව එවැන්නක් සැබෑවටම ඇත්තේද නොමැත.

මේ දේශපාලන සන්දර්භය තුල සිට ලාල්කාන්ත ගේ නිවස දෙසට බලනවිට දිළින්දන් ගේ දේශපාලන බලවේගයේ විපරිණාමයේ සංකේතයක් බව කිවහැකිය. වාමාංශික නිර්ධන පාංතික දේශපාලනයේ යෙදීම යනු තමන් ද නිර්ධනයෙක් බවට පත්වීම නොවන බව ඇමති ලාල්කාන්ත පෙන්වා දී ඇත. පැරණි වාමාංශික නායකයන් වූ ඇන්.ඇම්.පෙරේරා, කොල්වින් ආර්.ද සිල්වා, එස්.ඒ. වික්‍රමසිංහ, වාසුදේව නානායක්කාර, වික්‍රමබාහු කරුණාරත්න දිළින්දෝ නොවූහ. ඒ අර්ථයෙන් ලාල්කාන්ත හෝ වසන්ත සමරසිංහ හෝ වෙනත් ජවිපෙ නායකයෙකු හෝ දේපල වත්කම් හිමියෙක් වීම අරුමයක් නොවේ.

නමුත් විවේචනයේ පදනම ඇත්තේ ඉහත සඳහන් කල පරිදි තමන් දේපළ අහිමි, අන් අයගෙන් යැපෙන වාමාංශික දේශපාලන නායකයන් බව සමාජය ඉදිරියේ අනුකම්පා සහගත හා ආකර්ෂණීය ප්‍රතිරූපයක් දැනුවත්ව ගොඩනැගීම ගැනය. තම දේශපාලන ව්‍යාපාරයට විරුද්ධ දේශපාලනඥයන් පරම දූෂිතයන් බවත්, ඔවුන් දූෂණයෙන් වංචාවෙන් අල්ලස් ගැනීමෙන් ධනය, වත්කම් උපයාගෙන ඇති බවත් යන මතය ගොඩනැඟු ජවිපෙ නායකයන්ද දේපල වත්කම් සහිත ධනවතුන් වීම අනාවරණය වීමය. දැන් විමසුම් ඇස් යොමුව ඇත්තේ ජවිපෙ නායකකාරකාදීන් ධනය උපයා ඇත්තේ, ඔවුන්ගේ විවේචනයට චෝදනාවන්ට බදුන්වූ විපක්ෂ දේශපාලනඥයන් ආකාරයටම ද යන්නය; දේශපාලනඥයන් ලෙස පසුගිය කාලය තුල අවශ්‍ය අවස්ථාවල තම වත්කම් ධනය ප්‍රකාශ කර ඇත්ද යන්නය; මේ වත්කම් උපයා ඇත්තේ දේශපාලන බලය සහ සබඳතා පාවිච්චි කිරීමෙන් ද යන සැකය මතය. ලාල්කාන්ත විසින් ප්‍රකාශ කළේ, වසර තිහක පූර්ණකාලීන ජවිපෙ දේශපාලනය තුල දී තමන් ගොඩනඟාගත් “සමාජ ප්‍රාග්ධනය” අනුව මෙවන් නිවසක් සෑදීමට කොතරම් සහයෝගයක් ලබාගත හැකිද යන්නය. ඒ සමාජ ප්‍රාග්ධනය ගොඩනැඟෙන්නේ පෙරකී දේශපාලන සබඳතාවයන් මත බව පැහැදිළිය. දිළින්දන් ගේ සිට ව්‍යාපාරික ධනවතුන් දක්වා ඒ සබඳතා ජාලය විහිදීමට පුලුවන.

ඇත්තටම ජාජබ ආණ්ඩුවේ ඇමතිවරයෙකු සහ ජවිපෙ දේශපාලන මණ්‌ඩල සභිකයෙකු වන ලාල්කාන්ත ගේ නිවස විවෘත කර දී ඇත්තේ , වාමාංශික දේශපාලන පක්ෂයක්, පවතින සමාජ දේශපාලන ආර්ථික යථාර්ථය තුල පරිණාමයට ලක්වීමේ වෙනස්වීමේ කතාව බව සිතෙයි.

අනුන් විසින් සොයනවාට වඩා, මේ වත්කම් හා ධනය ලැබුණේ හා උපයාගත්තේ කෙසේද යන්න ජවිපෙ නායකකාරකාදීන් විසින්ම ප්‍රකාශ කරන්නේ නම් වඩාත්ම සුදුසුය. එසේත් නොවේනම්, ආණ්ඩුවේ නායකයන්ගේ වත්කම් දූෂිත ආකාරයෙන් උපයාගෙන ඇතිබවට කරුණු සාක්ෂි සහිතව හෙළිදරව් කිරීම විපක්ෂයට අවස්ථාවක් ලැබී ඇත.

Latest comments

  • 1
    0

    ලාල්කාන්ත ඇමතිවරයාගේ (can we call him a minister ? if we are honest to our heart feelings?) හදිසි ධනය අල්ලස් හෝ සොරකම් නිසා ඇති වූ බවට සැක කිරීමට ප්‍රමාණවත් මූලික සාක්ෂි තිබේ, ඔහුගේ පෙර අව්‍යාජ ප්‍රසිද්ධ කතා රූපවාහිනියේ විකාශනය කර ඇති අතර, ඔහුගේ පවුල ආරම්භයේ සිටම දරිද්‍රතාවයෙන් ජීවත් වන බව එම ජනතාවටම දැනුම් දී තිබේ. ඔහු පසුගිය වසර 30 තුළ කිසිවෙකු වෙනුවෙන් සේවය කර නැත, නමුත් ආරම්භයේ සිටම ජවිපෙ පක්ෂය සමඟ සිටියේය. කෙසේ වෙතත්, දැන් අමාත්‍යවරයෙකු ලෙස, ලාල්කාන්ත නිදහසේ පිළිගන්නේ තම දෙමව්පියන්ට අනුරාධපුරයේ අක්කර දුසිම් ගණනක් හිමිකරගෙන ඇති බවත්, ඔහුගේ පියා මිය ගිය පසු, ඔවුන්ගේ විශාල පවුලේ පිරිමි සහෝදරයා ලෙස, ඔහුට ඒවා උරුම වූ බවත්ය. ඒ සමඟම, ඔහු “සමාජ ප්‍gragdaනය” ගැන සඳහන් කළේය, එය “පගාව” (අල්ලස්) හා සැසඳිය හැකිය.

    ඒකත් එයාලගේ පක්ෂේ අය කරන උපක්‍රමයක්, ජාතියට ප්‍රකාශයට පත් කළ පසු ඔවුන් හැම විටම තොරතුරු විකෘති කරමින් ඉන්නවා, ශ්‍රී ලාංකික ජනතාව පෙර කාලයේ ඔවුන් කිව්ව දේවල් ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ කියලා හිතනවා සහ අනුමාන කරනවා. කෙසේ වෙතත්, ජෙප්පෝ විසින් පතුරුවන විශාල බොරු රාශියක් තියෙනවා, අද මිනිස්සු ඒවා හෙළි කරනවා, ඒවා අල්ලගන්නවා. ඉතින්, කියමනක් තියෙනවා, එක පාරක් බොරු කිව්වොත්, ඒක වහන්න බොරු සෙට් එකක් ගේන්න වෙනවා. අවාසනාවකට අද ඒක තමයි ජවිපේට අත්වෙලා තියෙන ඉරණම.

  • 1
    0

    මෑතකදී මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කරන ලද ලාල්කාන්තගේ සුඛෝපභෝගී නිවස ගැන අපි ඊර්ෂ්‍යා කළ යුතු නැහැ කියලා මම හිතනවා.
    https://www.youtube.com/watch?v=dUzo7Uu0PZ0
    කෙසේ වෙතත්, වඩාත්ම වැදගත් දෙය නම්, ඔහු එකිනෙකාට ගැලපෙන සහ සම්පූර්ණ සත්‍යය හෙළි කරන ඔහුගේ ආදායම් වාර්තා ලබා නොදුන්නේ ඇයි යන්නයි. ඒ වෙනුවට, විශ්ලේෂකයින් යෝජනා කරන්නේ ඔහුගේ දෙවන ආදායම් පත්‍රයේ ඇති බව ඔහු පවසන දේ ඔහුගේ පළමු එකේවත් ඇතුළත් කර නොමැති බවයි. තවද, ඔහුගේ දෙමව්පියන් දුප්පත් බව පෙන්නුම් කරන මූලික සාක්ෂි ඇති බව ඔහු කියා සිටී. ඔහුගේ බිරිඳ සහ දරුවා ඇතුළු ඔහුගේම පවුලට පවා පාසල් වියදම් පියවා ගැනීමට අපහසු විය. කෙසේ වෙතත්, පසුගිය වසර පහළොව තිස්සේ ඔහුගේ දියණිය තනිවම පියානෝ වාදනය කරන බව ඔහු හදිසියේම පෙන්වීම ප්‍රධාන බොරුවකි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.