Colombo Telegraph

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සෝදාපාළු කිරීම

ජයන්ත ධනපාල සහ මහාචාර්ය සාවිත‍්‍රී ගුණසේකර –

ජයන්ත ධනපාල

මීට මාස කිහිපයකට පෙර නිවේදනයක් නිකුත් කළ ‘ෆ‍්‍රයිඬේ ෆෝරම්’, රටේ මතුවෙමින් පවතින ඇතැම් ප‍්‍රවණතාවන් ගැන අවධානය යොමු කරමින්, ශ‍්‍රී ලංකාව අධිකාරීවාදී මාවතක යන්නේද යන ප‍්‍රශ්නය මතු කෙළේය. එම ප‍්‍රකාශය බොහෝ කොටස් අතරේ සංසරණය වුවද, ජාතික පුවත්පත්වල ඊට ප‍්‍රමාණවත් ප‍්‍රසිද්ධියක් ලැබුණේ නැත.

‘රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය’ නමින් හැඳින්වෙන, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක අධ්‍යක්ෂ/රෙජ්ස්ට‍්‍රාර්වරයා විසින් මෑතකදී නිකුත් කරන ලද ලිපියක අඩංගු කාරණාවන් හරහා, අප ඉහත සඳහන් කළ අවදානම, එනම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන තන්ත‍්‍රයක පවතින සෑම මූලික ප‍්‍රමිතියක්ම ඛාදනය කෙරෙන භයානක මාවතක ආණ්ඩුව ගමන් කරන්නේද යන අපගේ සැකසාංකා සනාථ කෙරුණි. ‘ජාතික මහලේකම් කාර්යාලය’ නිකුත් කළ මෙම ලිපියේ උද්ධෘතය වන්නේ, ‘‘රාජ්‍ය නොවන සංවිධාන සිය සීමාවක් ඉක්මවා කටයුතු කිරීම’’ යන්නයි. ‘‘ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන, ප‍්‍රවෘත්ති සාකච්ඡුා සහ වැඩමුළු ආදිය පවත්වන බවත්, මාධ්‍යවේදීන් පුහුණු කිරීම සහ ප‍්‍රවෘත්ති නිවේදන නිකුත් කිරීමාදියේ යෙදෙන බවත්’’ එම ලිපියෙන් වැඩි දුරටත් කරුණු දක්වා තිබුණි.

එම ලිපියට අනුව, ‘රාජ්‍ය නොවන සංවිධාන සිය සීමාව ඉක්මවා කරන කටයුතු’ ඒවා ය. මේ නිසා, ‘‘සියලූ රාජ්‍ය නොවන සංවිධාන බලය නොලත් එවැනි ක‍්‍රියාකාරකම්වලින් වහා ඉවත් විය යුතු’’ බව එයින් දන්වා තිබුණි.

රටේ ව්‍යවස්ථාව මගින් ජනතාවට හිමිව තිබෙන අයිතීන් මේ චක‍්‍රලේඛය හරහා උල්ලංඝණය කෙරෙන අතරේම, මේ ආණ්ඩුව බලයට ඒමට පෙර ලංකා රාජ්‍යය මගින් අපරානුමත කොට ඇති ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන් ද ඒ මගින් උල්ලංඝණය කෙරේ. සමාගමයේ නිදහස සහ තොරතුරු දැන ගැනීමට ඇති නිදහසත්, භාෂණයේ සහ ප‍්‍රකාශනයේ නිදහසත්, අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විශේෂිත වගන්ති යටතේ මහජනතාව වෙත සහතික කෙරේ. අපේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් එවැනි අයිතීන් නිර්වචනය කොට ඇති අතර, අපේ ජනතාවගේ මූලික අයිතීන් සාධනය සඳහා ඒවායේ ඇති අතිශය වැදගත්කම පිළිගෙන තිබේ.

චන්න පීරිස් එදිරිව නීතිපති නඩුවේදී (1994), ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස් ප‍්‍රකාශයට පත්කළ විනිසුරු ඒ. ආර්. බී. අමරසිංහ, (ව්‍යවස්ථාවේ 14 (1) (ඇ) වගන්තිය යටතේ* පුරවැසියන්ට හිමි වන සමාගමයේ නිදහස, (10 වැනි වගන්තිය යටතේ වන) සිතීමේ නිදහස සහ හෘද සාක්ෂියේ නිදහසට ද, (14 (1) (අ) වගන්තිය යටතේ වන) භාෂණයේ නිදහසට සහ ප‍්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහස ඇතුළු වෙනත් අයිතීන්ට ද සම්බන්ධ වන බව පෙන්වා දුනි. කණ්ඩායම් වශයෙන් රැුස්වීමට ඇති අයිතිය එකී අයිතීන් ශක්තිමත් කරන බවත් ඔහු කීය.

(1994) ජනඝෝෂා නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මාක් ප‍්‍රනාන්දු පෙන්වා දුන් පරිදි, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මෙකී වගන්ති, ‘‘සෑම ශ‍්‍රී ලාංකිකයෙකුටම වෙනස් වීමට ඇති අයිතිය පිළිගනී. වෙනස් ලෙස සිතීමට ඇති අයිතිය පිළිගනී. වෙනස් මත දැරීමට සහ එම මත ප‍්‍රකාශ කිරීමට ඇති අයිතිය පිළිගනී- එය හුදෙක්, නිශ්ශබ්දව වෙනස් අදහසක් දැරීමට ඇති අයිතිය නොව, සිය නොඑකඟතාව, වචනයෙන් ද, සාමකාමී සහ නීත්‍යානුකුළ ආකාරයේ හැසිරීමෙන් සහ ක‍්‍රියාවේ යෙදීමෙන් ද විවෘතව පළ කිරීමට හැකි අයිතියකි.’’

‘‘විසම්මුතිය හෙවත් නොඑකඟතාව, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කොන්ගලක් වෙති’’ යි පෙන්වා දුන් මාක් ප‍්‍රනාන්දු විනිසුරුවරයා, විසම්මුතිය හුදෙක් ඉවසා සිටීම පමණක් නොව, එය ධෛර්යමත් කිරීමක් ද ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අවශ්‍ය කරති කියා සිටියේය.

(1985) වනිගසූරිය එදිරිව එස්. අයි. පීරිස් නඩුවේදී (පසුව අගවිනිසුරු ධුරයට පත්) ජී. පී. එස්. ද සිල්වා විනිසුරුවරයා, ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය සංස්ථාවක ගම්‍යමානය වන්නේ, (තමන්ව පාලනය කරනු ලැබීමට පාලිතයා තුළ ඇති) අනුමැතිය, විවිධ වූත්, ප‍්‍රතිවිරෝධී වූත් මූලයන්ගෙන් එන පුළුල්ම තොරතුරු ව්‍යාප්තියේ සහායෙන් ඇති කෙරෙන ප‍්‍රමාණවත් ප‍්‍රවෘත්ති සහ සාකච්ඡුා මත පදනම් වන දෙයක්‘‘ වන බව පෙන්වා දුනි.

ආණ්ඩුවේ මෙන්ම ආණ්ඩුවෙන් පිටත ද සිටින ප‍්‍රතිපත්ති විරහිත ඇතැම්හු තමන්ගේ න්‍යාය පත‍්‍රයන් ඔසවා තැබීම සඳහා විටෙක ‘වගවීම’ සහ ‘පාරදෘශ්‍ය භාවය’ වැනි ජනප‍්‍රිය යෙදුම් රාජ්‍ය නොවන සංවිධාන අරභයා පාවිච්චි කරති. රාජ්‍ය නොවන සංවිධාන යනු, තමන් සකසා ගත් අරමුණු සාධනය සඳහා මිනිසුන්ගේ ස්වේච්ඡුා සමාගම්ගත වීමක් බව අප මතක තබාගත යුතුය. එවැනි රාජ්‍ය නොවන සංවිධාන, 2007 සමාගම් ආඥාපනත වැනි විවිධ මාදිලි යටතේ ස්ථාපිත කොට ඇත.

සමහර රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කෙරෙන්නේ, විවාදයට තුඩුදී ඇති සමාජ සේවා ආඥාපනත යටතේ ය. ඒ අනුව, තමන්ගේ අයවැය සහ වැඩ සටහන් ගැන තොරතුරු සැපයීමට ඒවා බැඳී සිටී. රාජ්‍ය නොවන සංවිධාන වගවීමට බැඳී සිටින්නේ, ඕනෑම සාමාන්‍ය පුද්ගලයෙකු මෙන්, රටේ පවතින නීතිය උල්ලංඝනය කළොත් ය. පවතින නීති සහ ක‍්‍රියාපරිපාටි මගින් රාජ්‍ය නොවන සංවිධාන මැඩලීම හරහා ඉහත සඳහන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයන් මගින් පෙන්වා දී ඇති ආකාරයෙන්, ව්‍යවස්ථාවෙන් සැපයෙන ජනතාවගේ මූලික අයිතීන් මැඩලිය යුතු නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඒ මූලික ප‍්‍රතිපත්ති සහ අපේ සමාගමයේ සහ ප‍්‍රකාශනයේ නිදහස, පවතින යම් නීතියක් හෝ භාවිතාවක් මගින් කඩ කෙරෙයි නම්, එවැනි නීති අවලංගු කළ යුතුය. නැත්නම් සංශෝධනය කළ යුතුය. එවැනි භාවිතාවන්ගෙන් රටක් අත්මිදිය යුතුය.

අපේ නීතිරීති සහ භාවිතාවන් හැම විටකම මූලික අයිතිවාසිකම් පිළිබඳ මූලධර්මයන් සමග අනුගත විය යුතුය. අපේ ව්‍යවස්ථාව යටත් සේම ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන් යටතේ ද එසේ කිරීමට අප බැඳී සිටී. එසේම, පොලිස් නිලධාරීන් ද, රාජ්‍ය නිලධාරීන් වශයෙන්, ජනතාවට සාමකාමීව රැුස්වීමට ඇති නිදහසත්, තොරතුරු සහ අදහස්උදහස් නිදහසේ හුවමාරු කර ගැනීමට ඔවුන්ට ඇති අයිතියත් ආරක්ෂා කර දීම තම වගකීමක් වශයෙන් සැළකිය යුතුය.

මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් වන රජයේ ක‍්‍රියාකලාපය ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් සුපරීක්ෂාවට ලක්වීම ගැන විරෝධය පෑම සඳහා අපේ ආණ්ඩුවත්, වර්තමාන විදේශ ඇමතිවරයාත් නිතර හුවාදක්වන්නේ, ස්වෛරී රටක් වීම නිසා ලංකාවට නිසඟයෙන් ඇතැ යි කියන අයිතීන් ය. මෙහිදී, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය තුළ, රටක් සතු ස්වෛරීත්ව සංකල්පය සම්බන්ධයෙන් පසුගිය දශක ගණනාව තිස්සේ ඇතිව තිබෙන වෙනස්කම් සහ වර්ධනයන් ගැන අපේ නායකයන් නොදන්නා සෙයකි. නැත්නම්, දැනුවත්වම එය ජනතාවගෙන් වසංගනවා විය යුතුය.

පුරවැසියාගේ මූලික අයිතීන් බලාත්මක කිරීම සහතික කරනු ලබන ජාතික ව්‍යවස්ථාවක් ඇති රාජ්‍යයක්, තමන් විසින් ස්වේච්ඡුාවෙන් අත්සන කරන ලද ප‍්‍රඥප්ති හරහා ජාත්‍යන්තර නීතියෙන් බැඳී සිටින රාජ්‍යයක්, පුරවැසියාට ඒ නීතිමය වගකීම්වලින් බැඳී සිටී.

ශ‍්‍රී ලංකාවේ රාජ්‍යය තමන්ගේ ක‍්‍රියාකලාපය ස්වකීය පුරවැසියන් විසින් මෙන්ම එක්සත් ජාතීන්ගේ සාමාජික ප‍්‍රජාව විසින් ද සොයා බලනු ලැබීමට ස්වේච්ඡුාවෙන් එකඟව ඇති තරමට, ස්වකීය රාජ්‍ය ස්වෛරීත්වයෙන් කොටසක් පාවා දෙන්නේය. ආරක්ෂක අමාත්‍යාංශය හරහා ක‍්‍රියාත්මක වීමෙන් ජනතා අයිතීන් උල්ලංඝණය කිරීමටවත්, එම උල්ලංඝණයන් රාජ්‍යයේ සවෛරීත්වයක නාමයෙන් යුක්ති සහගත කර ගැනීමටවත් පුලූවන් කමක් ආණ්ඩුවකට නැත.

ඒ ගැන අපේ ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තිය සහ 4 වැනි වගන්තියේ (අ) සහ (ආ) යටතේ ඉතා පැහැදිළිව මෙසේ කියැවෙයි: ‘‘ශ‍්‍රී ලංකා රජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍යය අත්හල නොහැක්කේය. පරමාධිපත්‍යයට, පාලන බලතල (පාර්ලිමේන්තුව මගින් අභ්‍යාස කෙරෙන ව්‍යවස්ථාදායක බලය, ජනාධිපතිවරයා විසින් අභ්‍යාස කෙරෙන විධායක බලය), මූලික අයිතිවාසිකම් සහ ඡුන්ද බලය ද ඇතුළත් වන්නේය.’’

රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සමාජය ඇතුළු ජනතාව විසින් ආණ්ඩුවේ ක‍්‍රියාකලාපය විවේචනාත්මක පරීක්ෂාවකට ලක් කරනු ලැබීම අපේ රටේ නිදහස සහ ස්වෛරීත්වය අනතුරට පත්කරන ද්‍රෝහී ක‍්‍රියාවක්ය යන මතය, රටේ ජාතික ව්‍යවස්ථාව නිර්වචනය කර දෙමින් අපේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවනීය විනිසුරුවරුන් අනන්තවත් ප‍්‍රතික්ෂේප කොට තිබේ.

රාජ්‍ය නොවන සංවිධාන යනු, මානව හිමිකම් ආරක්ෂාවට සහ මානව හිමිකම් සාධනයට අදාළ ආණ්ඩුවේ ක‍්‍රියාකලාපය පිළිබඳ ප‍්‍රශ්න අරභයා වන දැනුවත් භාවය නැංවීම සඳහා, ජාතික මෙන්ම ජාත්‍යන්තර නීතිය යටතේ ද, නෛතික වලංගු භාවයක් සහිත වැදගත් ක‍්‍රියාකාරීකයන් ය. ශ‍්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් වශයෙන්, අපේ රටේ මානව හිමිකම් වාතාවරණය ගැන සොයා බැලීමේ භූමිකාව සහ වගකීම දරණ රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සමාජ සහභාගීත්වය සම්බන්ධයෙන් පවතින එකී පිළිගත් ප‍්‍රමිතීන්ට අනුකූල විය යුතුය.

රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලේකම් කාර්යාලය නිකුත් කළ ලිපියේ සඳහන් කොට ඇති සියලූ ක‍්‍රියාකාරකම්, රාජ්‍ය නොවන සංවිධාන බල ප‍්‍රදේශයට අයත් ඒවා මිස එයින් පිටස්තර ඒවා නොවේ. මේ කියන චක‍්‍රලේඛය ගැන මතු වූ විවේචන මධ්‍යයේ නිකුත් වන බල තන්ත‍්‍රයේ විවිධ ප‍්‍රකාශන පරස්පර විරෝධී ස්වභාවයක් ගෙන තිබේ. චක‍්‍රලේඛය යුක්ති සහගත කරමින් සැර ප‍්‍රකාශනයක් නිකුත් කළ විදේශ කටයුතු අමාත්‍යාංශය, සමාජ සේවා ආඥාපනත යටතේ ලියාපදිංචි ආයතන වශයෙන් රාජ්‍ය නොවන සංවිධාන, අදාළ මාර්ගෝපදේශ පිළිපැදීම මගහැර ඇති හෙයින් එම චක‍්‍රලේඛය නීතිමය විධානයක් වශයෙන් භාරගත යුතු බව කියා සිටියේය. එහෙත් පාර්ලිමේන්තුවේදී ඒ ගැන ප‍්‍රකාශයක් කරමින් අගමැතිවරයා කියා සිටියේ, එය, රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි වීමේදී පිළිගෙන ඇති නිර්දේශ යටතේ ක‍්‍රියාකරන්නැ යි ඔවුන්ගෙන් කළ ‘ඉල්ලීමක්’ සහ ඒ පිළිබඳ ’උපදෙස්’ අඩංගු චක‍්‍රලේඛයක් මිස නියෝගයක් නොවන බවයි. එහෙත් මෙකී චක‍්‍රලේඛයේ සඳහන් වන්නේ, ‘‘එවැනි බලය නොලත් ක‍්‍රියාකාරකම්වලින් රාජ්‍ය නොවන සංවිධාන වහාම ඉවත් විය යුතුය’’ යන්නයි.

මෙය, අගමැතිවරයා කියන පරිදි, මෘදු පෙළඹවීමක් අරමුණු කරගත් භාෂාවක් ද, නැතහොත් ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් වූ හමුදා නියෝගයක් ද? රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් කාර්යාලයේ ප‍්‍රතිපත්ති සම්පාදකයන් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයත්, කටයුතු කොට ඇත්තේ රටේ පවතින නීතිරීති පිළිබඳ දැනුවත් භාවයකින් තොරව මෙනි. නැතහොත්, දැනුවත්වම එම නීතිරීති උල්ලංඝණය කරන ප‍්‍රතිපත්ති මත ඔවුන් කටයුතු කරනවා විය යුතුය.

අගමැතිවරයාත්, ආරක්ෂක අමාත්‍යාංශයත් මේ උල්ලංඝණයන් යුක්ති සහගත කිරීමට තැත් කිරීමත්, ජනතාව සතු සමාගමයේ නිදහස, භාෂණයේ සහ තොරතුරු දැන ගැනීමේ නිදහස සලසන ව්‍යවස්ථාවත්, රටේ නීතියත් ඛාදනය කරන මෙවැනි චක‍්‍රලේඛයක් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කිරීමත්, කම්පා කරවන සුළු ය. එබැවින් එම අනර්ථදායී පියවර ජනතාව විසින් අභියෝගයට ලක්කළ යුතුව තිබේ. ජනතාව වෙනුවෙන් බලය දැරීමට පත්කරගෙන ඇති ආණ්ඩුවක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණයේ ප‍්‍රමිතීන් මෙසේ ප‍්‍රසිද්ධියේ උල්ලංඝණය කිරීම අප සුජාත කළ යුතු නැත.

එක විට නීති විරෝධී ද, ඒකාධිපති ද වන භූමිකාවකට භයානක සේ ප‍්‍රවිෂ්ට වෙමින් සිටින ආරක්ෂක අංශයක් විසින්, ව්‍යවස්ථානුකූලව සහතික කොට ඇති ජනතා අයිතීන් සෝදාපාළුවට ලක්කරනු ලැබීමට අප ඉඩ දිය යුතු නැත.

*2014 අගෝස්තු 18 වැනි දා ‘ෆ‍්‍රයිඬේ ෆෝරම්’ මගින් නිකුත් කරන ලද Democratic Governance, Voluntary Associations and People’s Rights නැමැති ප‍්‍රසිද්ධ ප‍්‍රකාශනයේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Back to Home page