Colombo Telegraph

2009 මැයි 10: එක් රැයකින් 3,118ක් මරුට – සිව්වන කොටස: ‘ගැණ නොනිමි මළවුන්’ – ෆ්‍රාන්සස් හැරිසන්

ෆ්‍රාන්සස් හැරිසන්

ෆ්‍රාන්සස් හැරිසන්

කලින් දින රාත්‍රියේ පමණක් 7,000කට හානි සිදු වී යැයි යුද කලාපය තුළ තවදුරටත් කොටු වී සිටි කතෝලික පූජකයෙකු මැයි 10 වෙනිදා පාප් වහන්සේට ලීවේය.

යාපන දියෝකීසයේ පූජකයෙකු වන මා, ශුද්ධෝත්තම පියාණන්වහන්සේට මෙසේ ලියන්නට පොළඹවන ලද්දේ වර්ග කිලෝ මීටර් තුනක් පමණ වූ ඊනියා ‘යුද මුක්ත කලාපය’ට ගාල් කරන ලද අහිංසක දෙමළ සිවිල් වැසියන් මත ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් විසින් දරුණුතම දෛනික විනාශය පැන වූ භීෂණයේ හා සංත්‍රාසයේ රැයකින් පසුව ය. ඊයේ රාත්‍රියේ දී පමණක් මරණයට පත් සංඛ්‍යාව 3,118ක් වන අතර 4,000කට වැඩි පිරිසක් තුවාල ලද්දාහ. ඒ වනාහී, ශ්‍රී ලංකා රජය විසින් යුද මුක්ත කලාපයේ සිවිල් වැසියන්ට එරෙහිව භාවිතා නොකරන්නේ යැයි කියන කාල තුවක්කු වෙඩි මුර, මෝටාර්, මල්ටි බැරල් ෂෙල් සහ පොකුරු බෝම්බ ප්‍රහාර වර්ෂාවකි. බිළින්දන්ගේද, දරු සිඟිත්තන්ගේද, ස්ත්‍රීන් සහ වැඩිමහල්ලන්ගේද දුක්ඛිතභාවයේ සහ වේදනා සන්තාපයන්ගේ වැළපුම් හඬ, විෂකුරු ගිළන් වායූන්ගෙන් දූෂිත වා ගැබ පුරවාලමින් සෑම තරාතිරමකටම අයත් මව්පියන්ගේත් වැඩිමහල්ලන් සහ පිටිසරබද ගොවීන්ගේත්, වියපත් ස්ත්‍රීන් සහ පිරිමින්ගේත් චිත්ත සන්තානයන් විනිවිද ගියේය. පළිගැනීමේ අටියෙන් මා ඝාතනය කරන්නට උපා යොදනු ඇති ශ්‍රී ලංකා ආණ්ඩුවේ උදහස මේ ලියමන මගින් අවුළුවන බැව් මම නොදන්නේ නොවෙමි.”

අවසන හමුදාවන්ට භාරවනු බොහෝ දෙනා විසින් දක්නා ලද එම පූජකවරයා පසුව අතුරුදහන් වූයේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය අඩුම ගණනේ මළවුන් පිළිබඳ තමන් අඩු තක්සේරුවෙන් කළ ගණන් හිලව් හෝ ප්‍රසිද්ධ නොකළේය. අදාළ සංඛ්‍යාවන් පිළිබඳ කොළඹ සිටි රාජ්‍ය තාන්ත්‍රිකයින්ට විස්තර සපයන ලද නමුත්, ඔවුන් එම තොරතුරු මුදාහළ විට නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය තමන්ට ඒවා තහවුරු කළ නොහැකි බවට ප්‍රකාශ කළේය. ‘එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බොහෝ අය සිටියේ ඉතාමත් කණස්සල්ලෙනැ’යි ඒජන්සි ප්‍රධානියෙකු පසුව කීවේය. ‘හැම වාර්තාවක්ම ත්‍රිවිධාකාර මූලාශ්‍රයන්ගෙන් තහවුරු කරගන්නට මාස ගණනාවක් තිස්සේ සැළකිය යුතු පරිශ්‍රමයක් යොදවා අදාළ සංඛ්‍යාවන් පිළිගත හැකි තරම් තිරසාරව තරවුරු කරගත්තා.

ජීවිත හානි පිළිබඳ වාර්තා එක්සත් ජාතීන්ගේ බලධරයින් විසින් සිතා මතා අවප්‍රමාණ කළ බවට ප්‍රංශයේ ‘ලෙ මොන්ද්’ පුවත්පත චෝදනා කරන ලද නමුත් එක්සත් ජාතීන් එය ප්‍රතික්‍ෂේප කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ‘ශ්‍රී ලංකා ආණ්ඩුවට අනුකූලව’ ‘ආධාරක භූමිකාවක්’ රඟ දක්වමින් ‘වැඩි අවධානයට පාත්‍ර නොවන’ පරිද්දෙන් කටයුතු කළ යුතු බවට එ.ජා. මහ ලේකම්වරයාගේ විශේෂ නියෝජිත විජේ නම්බියාර් සිය කොළඹ කාර්ය මණ්ඩලයට පැවසූ බව අදාළ පුවත්පත වාර්තා කළේය.

‘නිශ්චිත සංඛ්‍යාවන් සම්පාදනය නොකිරීමට ගන්නා ලද තීරණය, සිවිල් වැසියන්ට සිදු වූ හානිවලට අඩු ප්‍රවෘත්තිමය වටිනාකමක් ලැබීමට හේතු වූ බවට’ එක්සත් ජාතීන් විසින් පත් කරන ලද ස්වාධීන විශේෂඥයින්ගෙන් සැදුම්ලත් විද්වත් මඩුල්ලක් විසින් පසුව නිගමනය කරන ලද අතර ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් එල්ල වූ පීඩනයටත්, ප්‍රවේශ මාර්ග ඇහිරී යතැයි එක්සත් ජාතීන් තුළ වූ බියටත් ඔවුන් විසින් දොස් පවරන ලදී.

තමන් විසින් රැස් කරන ලද සංඛ්‍යා ලේඛන හුදෙක් හරස් කඩක් පමණෙකැයි විස්තර කළ එක්සත් ජාතීන්ගේ නිළධාරියෙක්, අවසාන මරණ එකතුව 30,000 නොඉක්මවී නම් තමන් විස්මයට පත්වන බව වැඩි දුරටත් කීය. දිනකට දැවැන්ත ෂෙල් ප්‍රහාර විස්සත් – තිහත් අතර ප්‍රමාණයක් එල්ල වූ නමුත්, එක්සත් ජාතීන්ට ලැබුණු වාර්තාවල සාමාන්‍යය තුනක් වී යැයි හෙතෙම පෙන්වා දුන්නේය. සමූල සංහාරයක් පිළිබඳ ඔහුගේ අනතුරු හැඟවීම් නොතකා හරිනු ලැබිණ. සමස්ත ජීවිත හානි සංඛ්‍යාව අතිශයින් ඉහළ එකක් බවත්, මරණ සංඛ්‍යාව 40,000ක් තරම් වීම ප්‍රතික්‍ෂේප කළ නොහැකි බවත් එක්සත් ජාතීන්ගේ විද්වත් මඩුල්ල පසුව නිගමනය කළේය.

ඇතැමුන් පවසන්නේ මේ සංඛ්‍යාවන් ඊටත් වැඩි විය හැකි බව ය. යුද්ධයෙන් දිවි බේරාගත්තවුන්ගේ සංඛ්‍යාවන් යුද්ධයට පෙර ජනගහන සංඛ්‍යාවන්ගෙන් අඩු කොට මියගියවුන් ගණන ඇස්තමේන්තු කොට තිබේ. 2009 ජනවාරි මාසයේ සිටි ජනගහණය පිළිබඳ දෙමළ පරිපාලන නිළධාරියෙකු විසින් සපයන ලද සංඛ්‍යාවන් උපයෝගීකොට ගතහොත් මරණ සංඛ්‍යාව 55,000ක් වීමට ඉඩ ඇත. 2008 අවසාන භාගයට අදාළ ආණ්ඩුවේම ජනගහණ සංඛ්‍යා ලේඛන භාවිතා කර ගණන් බැලූ දෙමළ කතෝලික බිෂෝප්වරයෙකුට අනුව 146,679 දෙනෙකු පිළිබඳ ගණන් හිලව් ඉදිරිපත් වී නැත. මෙම සංඛ්‍යාවන් එක්සත් ජාතීන්ගේ ජනගහණ සංඛ්‍යා දත්තයන්ට ගළපා බැලූවද, යුද්ධයේ අවසාන අධියර හේතුවෙන් 100,000කට වැඩි ප්‍රමාණයක් අතුරුදහන්ව ඇති බව පෙනී යනු ඇත. තමන් කළ ගණන් බැලීම් වැරදි ඇයි දැයි ආණ්ඩුව පැහැදිලි කරදෙනු ඇතැයි බිෂොප්වරයා අපේක්‍ෂා කළද, පැහැදිලි කිරීම් වෙනුවට ඔහුට ලැබුණේ මරණ තර්ජනයන් ය.

මෙම සංඛ්‍යා, සැබෑ තතු පහදන්නට සමත් ය. සිය අභිලාෂයට පටහැනිව බලෙන් රඳවා ගනු ලැබ සිටි දස දහස් සංඛ්‍යාත අහිංසක සිවිල් වැසියන් ප්‍රමාණයක්, මුදවා ගන්නෙමැයි පැවසූ ආණ්ඩුවක් එම ජනයා මරා දමනු ලෝකයා නිහඬව බලා සිටියේය. විකීලීක්ස් විසින් නිකුත් කළ ඇමරිකානු තානාපති කේබල් පණිවුඩ මගින් පෙන්නුම් කරන්නේ, සිවිල් වැසියන්ට බර අවි ප්‍රහාර එල්ල කෙරෙන බවටත්, ඒ හේතුවෙන් දහස් සංඛ්‍යාත ජනයා මිය යන බවටත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට අවබෝධයක් තිබූ මූත්, කිසිදු ආණ්ඩුවක් ඒ පිළිබඳ කතා නොකළ බව ය.

එක්සත් ජාතීන්ගේ අසමර්ථ වීම විසින් හුදෙක් පරාවර්ථනය කරන ලද්දේ, තවත් එක් ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය වනු දැකීමේ ප්‍රහර්ෂය විඳි සාමාජික රාජ්‍යයන්ගේ උදාසීන භාවයයි. ශ්‍රී ලංකාවට විශාලතම අවි සපයන්නා වූද, 2008 වන විට විශාලතම ආධාර දෙන රාජ්‍යයද වූ චීනයට බොහෝ දෙනා දොස් නැගූහ. අභ්‍යන්තරිකව එල්ල වන තර්ජනයන්ගෙන් ස්වකීය ආරක්‍ෂාව සළසා ගැනීමට ශ්‍රී ලංකාවට ඇති අයිතියට – අවශ්‍ය වෙතොත් මානව හිමිකම් හිලව්වට තබා හෝ – බෙයිජිං පාලනය සහාය දැක්වීය. ඊශ්‍රායෙලය, ඉරානය, ඉන්දියාව, පාකිස්ථානය මෙන්ම, කලක් ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය විසින් හෘදය සාක්‍ෂියේ සිරකරුවෙකු ලෙස නම් කළ අයෙකු ජනාධිපතිව සිටි මාලදිවයින ද ඇතුළු රටවල් විසින් ශ්‍රී ලංකාවට පිටුබල සපයන ලදී.

අද, යුද අපරාධයන්ට එරෙහි ඕනෑම ක්‍රියාමාර්ගයකින් ලංකාව ආරක්‍ෂා කරනු ලබන්නේද එම රාජ්‍යයන් විසිනි.

කොළඹ සිටි බටහිර රාජ්‍ය තාන්ත්‍රිකයින්ගෙන් වැඩි පංගුවක් යුද්ධයට විරුද්ධ නොවීය. කොටි සටන්කරුවන් ත්‍රස්තවාදීන් වශයෙන් නම් කොට තහනම් කිරීමට ගන්නා ලද තීරණයෙහි අර්ථය වූයේ යුද අභිලාෂයට ඔවුන් අනුබල සැපයූ බවයි. යුරෝපයේ සහ එක්සත් ජනපදයේ දේශපාලනඥයින් මානව හිමිකම් පිළිබඳ කතා කළද, අවි විකිණීම හෝ පුහුණු පහසුකම් සැපයීම මගින් ඔවුහු ශ්‍රී ලංකා යුද හමුදාවන්ට වක්‍රව පිටුබල සැපයූහ.

විකීලීක්ස් මගින් හෙළි කළ රාජ්‍ය තාන්ත්‍රික කේබල් පණිවුඩවලට අනුව, එළඹෙමින් තිබූ පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ඡන්ද දිනා ගැනීමේ අටියෙන්, එවකට බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා වූ ඩේවිඩ් මිලිබෑන්ඩ්, 2009 වසන්ත සෘතුවේදී සිය කාලයෙන් සියයට 60ක්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් වැය කළේය.

සටන් විරාම සමයේ සහ යුද්ධය දක්වා දිවෙන කාලය තුළ බ්‍රිතා‍න්‍යය විසින් සෑහෙන උද්දාමයකින් සිය හමුදාවන් සඳහා අවි විකිණූ බව දැන සිටි ශ්‍රී ලංකා ආණ්ඩුව මිලිබෑන්ඩ්ගේ ප්‍රයත්නයන් එතරම් බැරෑරුම් කොට සැලකී යැයි පිළිගත නොහැක. වැඩි වශයෙන් දැන නොසිටියද, 2001 සිට 2008 දක්වා කාලය තුළ යුරෝපයේ අනෙක් කිසිදු රාජ්‍යයකට වඩා වැඩිම අවි අපනයන බලපත් ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සඳහා නිකුත් කරන ලද්දේ බ්‍රිතාන්‍යය විසිනි. අර්ධ ස්වයංක්‍රීය පිස්‍තෝලද, ප්‍රහාරක ගුවන් යානා අමතර කොටස්, සන්නාහ රථ, සුළු අවි මූනිස්සම්, යුද ප්‍රතිරාවක විමුර්ඡක, කුඩා බෝම්බ සහ යුද සන්නිවේදක උපකරණද අදාළ අවි තොගවලට අයත් විය. දරුණු සාපරාධයන් සිදු කෙරෙමින් තිබූ වකවානුවක් වූ 2009 මාර්තු මාසයේදී, උතුරු පළාතේ ආයෝජන සහ පිළිසකරකරණ කටයුතු පිළිබඳ සාකච්ඡා කරනු වස් එවකට ඡායා ආරක්‍ෂක ලේකම්වරයා වූ ලියම් ෆොක්ස් ද ශ්‍රී ලංකා චාරිකාවන්හි යුහුසුළුව යෙදී සිටියේය.

මේ සියළු අවි මිල දී ගනු වස් ශ්‍රී ලංකාවට මුදල් අවශ්‍යව තිබිණ. යුද්ධය අතිශයින් බිහිසුණු අධියරකට එළඹ තිබූ 2009 අප්‍රේල් මාසයේදී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ස්ටර්ලින් පවුම් බිලියන 1.2ක ණය මුදලක් ශ්‍රී ලංකාවට මුදා හැරීම පමා කරන්නට කිසිදු හේතුවක් නොදුටු එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය, එමගින් නිරන්තර අවි මිලට ගැණුම් විසින් ක්‍ෂය වන ආර්ථිකයකට අවශ්‍ය මුක්කු සැපයීය.

දෙමළ සිවිල් වැසියන් ආරක්‍ෂා කරන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානය අසමත් වීම වනාහී සමස්තයක් වශයෙන් මුළු මහත් ලෝකයේම උදාසීනභාවය පිළිබඳ නිමිත්තකි.

2009 මැයි මාසයේ අපර භාගයේදී, ගිනි අවි නිහඬ වූ පසුව ද ඝාතන නොනැවතිණ – නැවතුණේ මළවුන් ගණන් තැබීම පමණි. යුද්ධයෙන් පසුව, දිවි ගළවාගත් 282,000 ක් වූ මානසික ක්‍ෂතියෙන් පෙලුණු දෙමළ ජනයා මැණික් ෆාම් නමින් හැඳින් වූ දැවැන්ත සරණාගත කඳවුරක් තුළ ඔවුන්ගේ අභිමතයට පටහැනිව රඳවනු ලැබිණ. එක්සත් ජාතීන්ගේ ආධාර සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රතිපාදන මගින් ගොඩනඟා , පවත්වාගෙන යනු ලැබූ එයට ස්ටර්ලින් පවුම් 440,000ක ප්‍රමාණයක් දෛනිකව වැය කෙරිණ. එය හිටිහැටියේම, ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම නගරය බවටත්, ලෝකයේ විශාලතම සරණාගත කඳවුර බවටත් පත් විය. කඳවුරු භූමිය පුරා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ සහෝදරයින් දෙදෙනාගේ දැවැන්ත පෝස්ටර් ප්‍රදර්ශනය කෙරිණ.

එක්සත් ජාතීන්ගේ එක් ඒජන්සියක් විසින් කඳවුර විස්තර කරන ලද්දේ, ‘පිළිකුල් සහගත, ඝෝර සහ බිහිසුණු’ තැනක් වශයෙනි. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වූ බන් කී මූන් විසින්ම, කඳවුරෙහි තත්ත්වයන් ගෝමා සහ ඩාර්ෆූර් හි ඔහු දැක ඇති සියල්ලටම වඩා නරක බවට විස්තර කරන ලදී. දළ වශයෙන් තුනෙන් පංගුවක් පමණ තුවාලව සිටි සරණාගතයින්ගේ තත්ත්වය තවත් නරක් විය හැකි බැවින් තමන් ඊට මැදිහත් වීම වඩා මැනවැයි යන මතභේදාත්මක තීරණය එක්සත් ජාතීන් විසින් ගන්නා ලදී. සරණාගත ජනයා වසර ගණනාවක් රඳවා තබා ගනු ඇතැයි බියෙන්, සිමෙන්ති යොදා කෙරෙන වඩා සුවපහසු සහ ස්ථිර ‍ඉදිකිරීම් සඳහා ආයෝජනය කිරීම එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ඒජන්සි ප්‍රතික්‍ෂේප කළහ. අප්‍රේල් මාසයේ අග භාගයේ දී සරණාගත ජනයා දැක බලාගත් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සියට (USAID) අයත් කණ්ඩායමක් වාර්තා කරන ලද්දේ, ඒ වනවිටත් සිටි ආබාධිතයින්ගේ සංඛ්‍යාව ඇදහිය නොහෙන තරම් වූ බවයි. එළිමහනේ මළපහ කිරීම බහුල බවත්, පැස වූ තුවාල සහ මන්ද පෝෂණය ප්‍රකට බවත් ඔවුහු කීහ.

දැඩි මුරකාවල් යෙදූ කඳවුර තුළ, එක්සත් ජාතීන්ගේ ප්‍රාදේශීය කාර්ය මණ්ඩල සාමාජිකයින් පවා රඳවනු ලැබ තිබිණ. එය අතිශයින් කැළඹුම් සහගත දසුනකි: හතර-පස් පෙළකට තෙරපෙමින් තදබදව වැරහැළි හැඳි, වැහැරුණු ස්ත්‍රීන් සහ ළමුන් කටුකම්බි පොටවල් අතරින් එබිකම් කළේ, දශකයකටත් පෙරාතුව බොස්නියානු මුස්ලිම් ජනයා සඳහා වූ රැඳවුම් කඳවුරු පිළිබඳ රූප මාත්‍ර සිහි ගන්වමිනි. එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමට අයත් නිමක් නැති සුධවල කූඩාරම් සහ ටකරම් මඩු යායන් අතරේ විජයග්‍රාහී හමුදාවේ සන්නද්ධ සෙබළු සිත් පරිදි සැරිසරූහ. එක්සත් ජාතීන්ට අයත් රියදුරන් දෙදෙනෙකු ශ්‍රී ලංකා බලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන වධ බන්ධන පනවන ලදී. කඳවුරට ප්‍රවේශ වීමේ අවසර ලද සීමිත ප්‍රමාණයක් වූ දේශීය පුන්‍යායතන නියෝජිතයින් හරහා, ලිංගික අපහරණයන් සහ අතුරුදහන් වීම් පිළිබඳ තතු පිටතට කාන්දු වන්නට පටන් ගත්තේය. එක්සත් ජාතීන්ගේ රැකවරණ සේවකයින්ට, කඳවුර තුළට ඇතුළුවන්නට අරගලයක යෙදෙන්නට සිදු විය.

යුද්ධයේදී සිද්ධ වුණේ මොකක්ද, කඳවුර ඇතුළේ සිද්ධ වෙමින් තියෙන්නේ මොකක්ද යන කාරණා ගැන ප්‍රශ්න අහන මිනිස්සුන්ට එහි යන්න ඉඩ දෙන්න ආණ්ඩුවට අවශ්‍ය වුණේ නැහැ’යි එක් සහන සේවකයෙකු කීය. ‘ඒක ඉතාමත් කළකිරවන සුළුයි. අපිට කළ හැකි කිසිවක්ම තිබුණේ නැහැ’යි සෝදිසි මුරපොළවලදී සටන්කරුවන් වශයෙන් සැක කළ අයවළුන් පවුලේ සෙසු සාමාජිකයින්ගෙන් වෙන් කොට රැගෙන යනු බලා සිටි එක්සත් ජාතීන්ගේ තවත් සේවකයෙකු පවසා සිටියේය.

දිනක්, එක්සත් ජාතීන්ගේ සේවයේ නියුතු දෙමළ කාර්ය මඩුල්ලේ අයෙකුගෙන් කොළඹ සිටි ජාත්‍යන්තර සහන සේවකයෙකුට විපත් හඟවන ඇමතුමක් ලැබිණ. කඳවුරෙන් පිටත සිටි සිංහල ඉදිකිරීම් කම්කරුවන්ට අවශ්‍ය ඉවුම් පිහුම් සහ පිරිසිදු කිරීම් කටයුතු කරගැනීමට ගෙනයනු වස් කඳවුරෙහි වූ රූමත් තරුණ දෙමළ ගැහැණුන් සහ යුවතියන් හමුදාව විසින් වටලනු ලැබී යැයි කැළඹුණු හදැති මිනිසා කීවේය. ඔහුගේ බිරිඳද බසයකට නංවාගෙන තිබිණ. දින කිහිපයකට පසු ඈ පෙරළා පැමිණෙන විට, ඇය සහ සෙසු ස්ත්‍රීන් සමූහ දූෂණයට ලක්කොට තිබුණි. මුළුමණින්ම පාවා දෙනු ලැබ ඇතැයි හැඟුණු සිය දහස් සංඛ්‍යාත සිවිල් වැසියන් පසෙක තිබියදී, තමන්ගේම කාර්ය මණ්ඩල සාමාජිකයින්ට පවා රැකවරණ සැපයීමට එක්සත් ජාතීන් ක්‍රියා නොකළේය.

ඕස්ට්‍රේලියාවේ රැඳවුම් කඳවුරක සිටින, ආබාධිත දේශපාලන රැකවරණ පතන්නෙකු වූ මදී, එ.ජා. සංවිධානය පිළිබඳ ඔහු තුළ වූ සියළු විශ්වාසයන් සුන් වූ බව මා හා කීවේය: ‘සියල්ලටම වැඩියෙන්, එක්සත් ජාතීන්ගේ සංවිධානය අපිව අත්හැර දමා නොයා යුතුව තිබුණා. ඊළඟට, ආණ්ඩුවට යටත් වෙනවා වෙනුවට අන්තිමේදී එක්සත් ජාතීන්ට යටත් වෙන්න අපිට ඉඩ ලැබෙන විදියට ඔවුන්ට එන්න තිබුණා. ඒ අයට පුළුවන්කමක් තිබුණා නැව් එවන්න. ඒ අය ආත්මාර්ථකාමීයි, මට ඔවුන් ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඔවුන්ට කරන්න තිබුණු දේ කළ යුතු නියම වෙලාවට ඔවුන් කළේ නැහැ.’

මතු සම්බන්ධයි

1 කොටස – ‘ගැණ නොනිමි මළවුන්’ – ෆ්‍රාන්සස් හැරිසන්

2 කොටස – ‘ගැණ නොනිමි මළවුන්’ – ෆ්‍රාන්සස් හැරිසන්

3 කොටස: ‘ගැණ නොනිමි මළවුන්’ – ෆ්‍රාන්සස් හැරිසන්

*2000 සිට 2004 දක්වා කාලය තුළ BBC ආයතනයේ ශ්‍රී ලංකා වාර්තාකාරිය වශයෙන් කටයුතු කළ ෆ්‍රාන්සස් හැරිසන් විසින් ලියන ලද Still Counting the Dead: Survivors of Sri Lanka’s Civil War පළමු මුද්‍රණය 2012 ඔක්තෝබරයේදී එළි දුටුවේය.

Back to Home page