Colombo Telegraph

දෙවන කොටස: ‘ගැණ නොනිමි මළවුන්’ – ෆ්‍රාන්සස් හැරිසන්

ෆ්‍රාන්සස් හැරිසන්

ෆ්‍රාන්සස් හැරිසන්

එක්සත් ජාතීන් පැරදුණු යුද්ධය – දෙවන කොටස

ලංකාව සෝමාලියාවට සම කළ එ.ජා. නිළධාරියා ඉවතට

කැරළිකරුවන්ගේ පාලන ප්‍රදේශය තුළ කොටුව සිටි ‌බොහෝ දමිලයින්ට, හැරවුම් ලක්ෂ්‍යයක් වූයේ 2008 සැප්තැම්බර්යේදී එක්සත් ජාතීන්ගේ නික්ම යාමයි. ධූලි වළා නංවා නගරයෙන් පිටව යන දැවැන්ත රේඩියෝ ඇන්ටෙනා සවිකළ එක්සත් ජාතීන්ට අයත් හැඩි දැඩි සුධවල ප්‍රවාහන ලොරි සහ ජීප් රථ දෙස ඇතැම්හු සිය පා පැදි නවතා බලා හුන්හ. ‘සෙසු ලෝකයා අපිව අත්හැර දමු බවයි මට දැනුනේ’යි ඉංග්‍රීසි ගුරුවරියක වූ උමා, සිහිපත් කරයි. ‘පිහිට අවශ්‍ය ජනයාට පිළිසරණ සපයන්න ඉන්න බව කියන එක්සත් ජාතීන් ආක්‍රමණිකයාගේ අවදානමට අපිව අත්හැර දමා පිටවෙලා ගියා.’

යුද්ධය එළිපත්තටම පැමිණ ඇති බව දන්වමින් සවි ශක්තිය ඇත්තවුන්ට ආරක්ෂක බන්කර් කණින මෙන් නියෝග කොට කැරළිකරුවන් එවූ ලියූම් නගරයේ සෑම නිවැසියෙකුටම ඒ වනවිටත් ලැබී තිබිණ. දමිළයින් වශයෙන් යුද්ධයේ කැපකිරීම් සහ විඳවීම් දැනටමත් අත්දැක තිබූ ඔවුනට ඉදිරියේ ඇති නරකාදිය සිතා ගන්නට පවා නොහැකි විය.

මානුෂීය තත්ත්වයන්ට අදාළ වාතාවරණය ඒ වනවිටත් ගොරතර එකක් විණ. අනවරත ප්‍රහාරයන් හේතුවෙන් මාස ගණනාවක් තිස්සේ බවභෝග වගාවන්ට හෝ මසුන් ඇල්ලීමට කිසිවෙකුට හැකියාවක් නොවීය. ආහාර අගහිඟව යමින් තිබිණ. ඩීසල් හිඟවීම විසින් ප්‍රවාහනය අඩාල වීමේ ආරම්භය සන් කළ අතර ඖෂධ හා රුධිර සංචිත සිසිල් ගබඩාකරණයට ඇවැසි විදුලි ජනක යන්ත්‍ර තව දුරටත් ක්‍රියා ගැන්වීමට වෛද්‍යවරුන්ට නුපුළුවන් විය. යුද්ධයෙන් තුවාල ලැබූවන් සඳහා කෘත්‍රිම පාද නිමැවුමට අවැසි ද්‍රව්‍ය පවා අවසන්ව ගොස් තිබුණි. බද්ධ කළ හැකි ප්‍රත්‍යංග අහිමි ආබාධිතවුන් 250 දෙනෙකු තමන් විසින් අත්හැර දමා ඒමේ සිතිවිල්ල ඩික්සී තුළ නිරන්තරයෙන් හොල්මන් කළේය.

තම ආරක්ෂාව සළසාගැනීමට සිදුව තිබූ සිවිල් වැසියන් බිය වූයේ හුදෙක් රජයේ හමුදාවන් විසින් දිනපතා එල්ල කළ බෝම්බ ප්‍රහාරයන්ට පමණක් නොවේ. ඔවුන්ගේ පෙම්බර දරුවන් යුද බිලි වශයෙන් යොදාගන්නට උවමනා වූ කොටින්ගේ ග්‍රහණයටද ඔවුහු නතුව සිටියහ. ගේ දොර අහිමි වීමේ වේදනාව ඕනෑවටත් වඩා සෑහිණ – නමුත් ඔබේ යොවුන් පුතු හෝ දියණිය අහිමි වීම මුළුමණින්ම දරාගත නොහෙන එකකි. 2007 සිටම, සෑම පවුලකම පුතෙකු හෝ දියණියක් සටන්කරුවෙකු ලෙස ලබා දෙන මෙන් කැරැළිකරුවෝ බලකර සිටියෝය. පළමුව ඔවුහු සෑම පාසැලකටම ගොඩ වැදුණාහ. සිය දහහත් වෙනි උපන්දිනය එළඹි සැණින් බලහත්කාර බඳවාගැනීමට පාත්‍රවනු ඇතැයි අපේක්ෂාවෙන් වැඩිමහලු සිසුන් කෙතරම් දමනයව සිටියේදැයි ගුරුවරු ආවර්ජනය කරති. යුද්ධය ළඟාවත්ම, බොහෝ පාසැල් පංති කාමර තුළ සිසුහු තුනෙන් පංගුවක් අතුරුදහන්ව සිටියහ: ඔවුන් පැහැරගනු ලැබ වනගත පුහුණුවට යවා තිබිණ.

පසු කාලයේ, විසල් රළ වැද බිඳෙන ශ්වේතවන් පාලු වෙරළ තීරයන්ට නුදුරින් තල්ගසින් මායිම් වන නැගෙනහිර වෙරළ ප්‍රත්‍යන්තයේ කුකුළු පැටවුන් ඇහිඳ කන ගෙවතු ඇති නිසංසල ගම්බද නිවෙස් පීරමින් කැරැළිකරුවෝ ගමින් ගම බඳවාගැනීමෙහි යෙදුණාහ. අගල් යුද්ධයක කෲරතර මරණයෙන් සිය දරුවන් ගළවාගැනීමේ සංකටාකූල විගීෂාවෙන් මඩනා ලද මව්පියන් ඔවුන් සඟවාලනු පිණිස කවර හෝ දෙයක් කරන්නට පසුබට නොවේ. ඩික්සි දැන හැඳින සිටි එක පවුලක් සිය දාහත් වියැති දියණිය හිස් තෙල් පීප්පයක සඟවා ගෙවත්තෙහි වැලි තලාවේ වැළලුවේය. දැරිය ඉන් පිටතට ආයේ රෑ කළ මුව දොවාගනු පිණිස පමණි. නමුත් ග්‍රීෂ්ම දිනක දාහය දරාගත නොහුණු ඇය දිවාකාලයේ ඉන් පිටතට ආවාය. තම දරුවා කැරැළිකරැවන් විසින් රැගෙන යනු ලැබූ සිටි ඊර්ෂ්‍යා පරවශ අසල්වැසියෙකු ඇය දැක කැරැළිකරුවන්ට එම පවුල පිළිබඳ තතු දැන්වීමට යුහුසුළු විය. ඒ රාත්‍රියේ කැරැළිකරුවෝ දැරිය සොයා ආවෝය. ඒ වනාහී දෙමළ සමාජය සෙමින් එකිනෙකාගෙන් වෙන්කළ පාවාදීම් සමූදායකින් එකක් පමණි. තුන් මසක් ඇවෑමෙන් දැරිය පෙරළා නිවෙස බලා එවනු ලැබිණ – ඒ රත් පැහැ කොටි ධජයෙන් එතූ ඇගේ ප්‍රාණය නිරුද්ධ සිරුර යි.

වයෝවෘද්ධ මිනිසුන් පවා දෙසතියක පුහුණුවකට කැටුව ගොස්, ඉත්බිති මළ කෑ පැරණි පතරොම් තුවක්කුවලින් සන්නද්ධ කොට, ස්ථාවරත්වය හා තිර භාවයේ මිත්‍යාව සම්පාදනය කරනු වස් ග්‍රාමාරක්ෂයින් සේ ප්‍රධාන මහා මාර්ගය අද්දර රැකවලෙහි යොදවන ලද්දාහ. ඒ වනාහී විසි පස් වසරකට පසු එම මාර්ගය පළමු වරට හමුදාව අතට පත්වන්නට ඔන්න මෙන්න කියා තිබියදී ය. එක් අදියරකදී, කොටින් එක් එක් වෘත්තීන්ගේ පදනමින් බඳවාගැනීම් සිදුකළ අතර, කරණවෑමි වෘත්තිකයින් යුද පුහුණුවට කැඳවීමේ ප්‍රතිඵලයක් වශයෙන් දෙසතියක් තිස්සේ සිකිවෙකුට කොණ්ඩය බා ගැනීමට නොහැකි විය.

කරණවෑමියන්, කඩ හිමියන්, පාසැල් දරුවන් මතු නොව – එක්සත් ජාතීන්ගේ කාර්ය මඩුල්ලට පවා – ගැළවුමක් නොවිණ. එක්සත් ජාතීන් පිටව යන්නට සැරසෙන අතරවාරයේ, ‘මේ ස්ත්‍රිය පරිඝනක කටයුතු සඳහා කොතරම් සමත්දැයි’ද නැතිනම් ‘අර මිනිසා කෙතරම් කාය ශක්තියෙන් යුතුදැයි’ ද යනාදී වශයෙන් අදහස් පළ කරමින්, කොටි එක්සත් ජාතීන් යටතේ සේවයේ නියුතු දෙමළ කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත ඇස ගැසූහ. කැරැළිකරුවන්ගේ අඩස්සියෙන් සිය කාර්ය මණ්ඩලයට අයත් ජනයා බේරා ගනු වස් මානුෂීය ආධාර සංවිධාන අඛණ්ඩව සටන් කළහ. එක්සත් ජාතීන් යටතේ සේවය කළ විසි එක් හැවිරිදි කෙසඟ ආරක්ෂක රැකවලෙකු කොටින්ගේ නාවුක අංශයට එක්ව සටන් කරන්නට බලහත්කාරයෙන් බඳවා ගනු ලැබිණ. හෙතෙම, ඉබාගාතේ යන සුනඛයෙකු පවා කාර්යාල අංගනයට ඇතුල්වනු වළක්වන්නට අසමත් බයාදු යෞවනයෙකු යැයි කියනු ලැබේ. බලගතු විරෝධතා කිසිවකට ඔහු නිදහස් කරගනු නොහැකි විය. මාස කිහිපයක් ඇතුළත ඔහු ද යුද පෙරමුණේ මරු දුටුවේය.

එක්සත් ජාතීන් නොමැතිව, යුද්ධය පිළිබඳව ස්වාධීන වාර්තා සපයන්නට හෝ දුෂ්ඨතම අපහරණයන් වළකාලීමට ජාත්‍යන්තර සහන සේවකයින් හෝ මාධ්‍යවේදිහු කැරැළිකරුවන්ගේ පාලන ප්‍රදේශ තුළ ඉතිරි නොවූහ. බරපතල තුවාල ලැබූවන් පිටතට ගෙන එනු වස් රතු කුරුසය සඳහා සේවය කළ විප්‍රවාසීන් අතළොස්සකට කඩින් කඩ යුද කලාපයට ප්‍රවේශ මං විවර වුවද, ඔවුහු දැඩි අපක්ෂග්‍රාහී හා රහස්භාවය පිළිබඳ චිරකාලීන පිළිවෙතක් අනුගමනය කළහ. අනාගත යුද කලාපයන්ට ප්‍රවේශන මාර්ග ඇහිරී යනු ඇතැයි බියෙන් ඔවුහු අද පවා ඒ සම්බන්ධයෙන් කතා කිරීම ප්‍රතික්ෂේප කරති. සටන් ඇවිළ යන එළඹෙන මාස ගණනාව තුළ බොහෝ ජනයා අඩුම වශයෙන් විසි වරක්වත්, අතැමුන් සතළිස් වරක්වත් අවතැන් වන්නට නියමිතව සිටියහ.

කිලිනොච්චිය අඛණ්ඩ ප්‍රහාරයන්ට ගොදුරුවත්ම, මුළුමහත් ජනගහණයම හමුදා බර අවි ප්‍රහාරක පරාසයට ඔබ්බෙහි වූ වෙරළබඩ දෙසට තාවකාලිකව පලා ගියෝය. විවෘත බිම් කඩක් දුටු කවර හෝ තැනෙක කඳවුරු ලා ගත් ජනයා ෂෙල් වෙඩි මගින් ඈත අහස් කුස ආලෝකවත් වන අතරේ කුඩා දර ලිප්වල උයා පිහා ගනිමින් ටාපෝලීන් රෙදි යට නින්දට ගියහ. විස්මයජනක ලෙස සිවිල් පරිපාලනයක ඡායාමාත්‍රයන් තවමත් ඉදිරිව තිබිණ: සුදු සහ නිල් පැහැ නිල ඇඳුමින් සැරසුණු දරුවන් තාවතාලිකව පිහිටුවන ලද පාසැල් කරා ගිය අතර පරෝපකාර සංවිධාන ආහාර සලාක බෙදා දෙමින් අනත් දරුවන් හා ආබාධිත වූවන් රැකබලා ගනු වස් යත්න දැරෑහ. එදිනෙදා දිවිය නිත්‍ය ලෙස චලනය විය. යුද පෙරමුණ වඩ වඩා ළං වත්ම ගම්මාන අත්හැර දමා ඉවත්ව යන රෝහල්ද, කාර්යාලද සහිත එදිනෙදා දිවිය නිරන්තර ගමනේ යෙදිණ.

2009 ජනවාරි අග වනතෙක්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානය සිවිල් ජනගහණය නඩත්තු කරනු වස් විටින් විට ආහාර ලොරි රථ පිටත් කර යැවීය. සෑම රථ පෙළක් සම්බන්ධයෙන්ම දෙපාර්ශ්වය හා සාකච්ඡා කරන්නට සිදු වූ අතර අවස්ථා කිහිපයකදීම කොටින් සහ ශ්‍රී ලංකා යුද හමුදාව ස්වකීය යුදමය ස්ථානගතවීම් පෙරට තල්ලු කරගනු පිණිස ආවරණයක් වශයෙන් එක්සත් ජාතීන් නරුම ලෙස යොදා ගත්හ.

රහසිගතව කැරැළිකරුවන්ට ඇවැසි අවි ගෙන යනු වළක්වනු පිණිස ලොරි රථ පරික්ෂාවට ලක් කිරීම තෙරුම් ගත හැකි විය. නමුත්, එක්සත් ජාතීන්ගේ විදේශ කාර්ය මණ්ඩල පවසා සිටින්නේ, ඔවුන් අවමන් සහගත ලෙස මුළුමණින්ම පාහේ නිරුවත් කොට පරීක්ෂාවන්ට පාත්‍ර කෙරුණු බවත්, දන්තාලේප ටියුබ් පවා මිරිකා හිස් කරන ලද බවත් ය. ගත යුත්තේ කුමන මගක්ද, පිටව යන සහ පෙරළා පැමිණිය යුතු වෙලාවන් කවරේ ද යන්න ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් එක්සත් ජාතීන්ට දැනුම් දෙන ලද්දේ රැය පුරා නිදි වර්ජිතව වැඩ කළහොත් පමණක් ආහාර තොග බාගන්නට ඉඩ සැපයෙන පරිදි ය.

සිදුවන්නේ කුමක්දැයි යන්න පිළිබඳ දසුන් මාත්‍රයන් එබඳු සංචාරයන් විසින් සපයන ලදී. දෙසැම්බරයේ දී එක්සත් ජාතීන්ගේ ආහාර ලොරි රථ පෙළක ආරක්ෂාව භාරව ගමන් කළ විශ්‍රාමික ස්කොට් ජාතික හමුදා නිළධාරියෙකු වූ ජෝන් කැම්ප්බල් සිය ගමන් මාර්ගය ආසන්නයේ ෂෙල් පතිත වනු දුටුවේය. ‘මෝටාර් වෙඩි කිලෝ මීටර් හතරක විතර දුරින් එල්ල වීමෙන් පැහැදිලි වුණේ ඒවා හමුදාව විසින් එල්ල කරන්නට ඇති බව’යැයි ඔහු කීවේ, ඒවා කොටින් විසින් එල්ල නොකළ බවට දැඩි අවධාරණයකිනි. තමන්ට ඉදිරියට යාමට ඉඩ සළසනු වස් ෂෙල් ප්‍රහාර නවතන මෙන් යුද හමුදාවන්ට දුරකථනය ඔස්සේ බැගෑපත් වන්නට එක්සත් ජාතීන්ගේ රථ පෙළ හා ගමන් කළ රතු කුරුස නිළධාරීන්ට සිදු විය.

‘ඒ අය නිශ්චිතවම අපිව ඉලක්ක කළේ නැහැ. නමුත් අපි ඒ ප්‍රදේශයේ සිටින බව දැන දැනත් ෂෙල් වැටෙන තැන් ගැන ඒ අය ප්‍රවේශම් වුණේ නැහැ’යි කැම්ප්බල් කීවේය. පෙරළා පිටව එන අතරවාරයේ මාර්ගය අවුරා ඇද වැටුණු ගසක් ඉවත් කරන්නට ඔහුට සිදු විය. එය ෂෙල් ප්‍රහාරයකින් දෙකඩව තිබිණ.

‘ඒවා හිරිහැර කිරීම සඳහා එල්ල කළ ප්‍රහාර. බැරි වෙලාවත් ඒ ප්‍රහාර එල්ල වන මොහොතේ අපි ඒ හරහා යමින් තිබුණානම් අනතුරු වෙන්න ඉඩ තිබුණා. අහම්බ ලෙස එල්ල කරපු ඒවායේ චේතනාව වුණේ සිවිල් වැසියන් ත්‍රස්තයට පත් කිරීමයි. කැමැත්ත ඇතුවා හෝ නැතුවා හෝ ඒ අය ඔහේ ප්‍රහාර එල්ල කළා’යි ඔහු ප්‍රකාශ ක‍ළේය.

සටන් කළ හැකි වයසේ තරුණ පිරිමින් අතළොස්සක් මං මාවත්වල සිටිනු එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දුටු නමුත් බිහිසුණු අඩියක සිටි භීතියට පත් වියපත් ගැහැණුන් සහ ළමුන් පිරිස අතිමහත් විය.

බීබීසී සේවාව සඳහා දුරකථනයෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන මෙන් එක්සත් ජාතීන් කැම්ප්බල්ට දැන්වීය. අන් රටවල දී ලද ඔහුගේ අත්දැකීම් හා සසඳන විට තත්ත්වය කෙබඳුදැයි විමසූ විට ‘ශ්‍රී ලංකාවේ යුද කලාපය තුළ තත්ත්වයන් සෝමාලියාව තරම්ම නරකයැයි’ ඔහු කීවේය. දියබත් කඳවුරුවල පරණ ගෝනි මලු, ප්ලාස්ටික් ඇතිරිලි හා කාඩ් බෝඩ් පැළැලි මගින් තනාගත් භංගුර ආවරණ යට අන්ත අපහසුතා මැද්දේ දිවි ගෙවන ජනයා ආහාර සහනාධාර මත මුළුමණින්ම රඳා පවතින බැව් ඔහු විසින් පැහැදිලි කරන ලදී.

ඔහුගේ ප්‍රකාශයෙන් කුපිත වූ කොළඹ ආණ්ඩුව උතුර බලා යන සියළු සහනාධාර සැපයුම් රථ නවතාලන්නට තර්ජනය කළේය. ශ්‍රී ලංකා හමුදාවේ ජෙනරාල්වරයෙකු සමග හමුවකට කැම්ප්බල් කැඳවනු ලැබිණ. ඔහු එහි යන විටත්, රූපවාහිනී කැමරා මෙවලම් සූදානම් කොට, සියළු නිළධාරීන් විධිමත් නිළ ඇඳුම් ආයිත්තමින් සැරසී සිටිනු ඔහුට දක්නට ලැබුණි. කල් තබා ඥානාන්විතව කල්පනා කොට කැටුව ගිය සිය මිතුරෙකු සාක්ෂිකරුවෙකු වශයෙන් රැගෙන යා නොහැකි නම් කාමරයට ඇතුළුවීම කැම්ප්බල් ප්‍රතික්ෂේප කළේය. ජෙනරාල්ගේ කණිටු සහායකයින් ඔහුව කාමරයට ඇතුළු කරවන්නට යත්න දැරූ මිනිත්තු විස්සක කාලයක් ඔහු ජෙනරාල් ගේ කාමරයෙන් පිටතට වී සිටියේය. ඔහුට යුද කලාපය තහනම් බවත්, යුද හමුදාව ඔහු සම්බන්ධයෙන් ඉතා අසන්තෝෂයෙන් පසුවන බවත් අන්තිමේදී ඔහුට දන්වනු ලැබුණි. උතුරු ප්‍රදේශයේ තමන්ගේ රැඳී සිටීම තමා මෙන්ම සෙස්සන්ද අවදානමේ හෙළන බව පසක් කොටගත් කැම්ප්බල් පෙරළා අගනුවර බලා ආයේය.

‘සෝමාලියාව’ අදාළ කොටගත් කැම්ප්බල්ගේ ප්‍රකාශය සිය නිල ස්ථාවරය පිළිබිඹු නොකළ ‘කණගාටුදායක පෞද්ගලික අදහසකැ’යි එක්සත් ජාතීන් ප්‍රකාශ කළේය. තම සේවා කොන්ත්‍රාත්තුවේ ඉතිරිව ඇති කාලය නිම වනතෙක් සේවයේ නිරත වන්නට ඔහුට අවසර ලැබුණු අතර එය යළිත් අලුත් කිරීමක් සිදු නොවුණි. ‘මගේ රැකියාව නැති වුණේ විවෘතව කතා කිරීම නිසා’යැයි ඔහු කියයි.

සති කිහිපයක් ඇවෑමෙන් කොටින්ගේ පරිපාලන අගනුවර වූ කිලිනොච්චියත්, ඒ හාම උතුරු-දකුණු ප්‍රධාන මාර්ගයත් රජයේ පාලනයට නතුවිණ. කැරැළිකරුවන්ද, ඔවුන් විසින් කැටුව යනු ලැබූ සිය දහස් සංඛ්‍යාත ජනයාද මූකලන්, කෙත් වතු, වගුරු බිම් හා වෙරළින් යුත් ක්‍රමයෙන් කුඩාවන බිම් කඩකට කොටු කෙරුණි. බෝම්බ ප්‍රහාරක යානා ඉහළ අහසේ මොරදෙමින් සැරිසැරෑහ. ගිගුම් දෙන ෂෙල් වර්ෂාවන්ගෙන් ගැළ වී දිවයන්නට කිසිදු ඉඩ හසරක් ඉතිරිව නොතිබිණ. ළමුන් මෙන් කෙසඟව පෙණුන මුත් පැසුණු කෙසැ‍’ති වයෝවෘද්ධ කාතන්තාවන්ගේ සියළු සවි ශක්තිය ක්ෂයව ගොස් තිබිණ. කුදුව වැහැරුණු ඔවුහු අපේක්ෂා භංග වූ විසල් හිස් දෑස් දල්වාගෙන ඔහේ බිම වැද හුන්නාහ. 2009 ජනවාරිය වන විට ආහාර සඳහා මුළුමහත් ජනගහණයම රඳා පැවතියේ එක්සත් ජාතීන් මත ය.

නමුත් කැරැළිකරැවන්ගේ පාලන ප්‍රදේශය කරා වූ තවත් එක් බියකරු සංචරයකින් පසු ආහාර සැපයුම් රථ සහමුලින් නවතින්නට නියමිතව තිබිණ.

මතු සම්බන්ධයි

1 කොටස – ‘ගැණ නොනිමි මළවුන්’ – ෆ්‍රාන්සස් හැරිසන්

*2000 සිට 2004 දක්වා කාලය තුළ BBC ආයතනයේ ශ්‍රී ලංකා වාර්තාකාරිය වශයෙන් කටයුතු කළ ෆ්‍රාන්සස් හැරිසන් විසින් ලියන ලද Still Counting the Dead: Survivors of Sri Lanka’s Civil War පළමු මුද්‍රණය 2012 ඔක්තෝබරයේදී එළි දුටුවේය.

Back to Home page