Colombo Telegraph

අයවැය අපේක්ෂා

ජාතික ආණ්ඩුවේ පළමුවැනි පූර්ණ අයවැය පිළිබඳ මහත් අපේක්ෂා ලියලවන සතිය මෙයයි. එම අයවැයේ අඩංගු වන අලූත් ප‍්‍රතිසංස්කරණ අතර වැදගත් තැනක් ගන්නේ, ආර්ථික වර්ධනය කෙරෙහි ගාමක බලවේගයක් වශයෙන් ක‍්‍රියාත්මක වන, බදු යෝජනාවන් ය.

ධනපති පංතියට අයත්, බදු නොගෙවා සිටින සියයට 60 ක ප‍්‍රමාණයක් නවතම බදු දැළට හසු කරගන්නා බවට මුදල් ඇමතිවරයා ඉඟි කොට ඇති බව මාධ්‍ය වාර්තා කෙළේය. රජයේ ආදායම් යෝජනා අතර, සෘජු බදු ප‍්‍රතිශතය වැඩි කර ගැනීමටත්, මධ්‍යම සහ අඩු ආදායම්ලාභී කොටස් කෙරෙහි සහනදායි වන සේ වක‍්‍ර බදු අඩු කිරීමටත් අපේක්ෂා කෙරේ.

පොහොර සහනාධාර ක‍්‍රමයේ වෙනසක්ද මෙවර අයවැයට ඇතුළත් බව කියැවේ. දැන් කෙරෙන්නා සේ, නිර්දේශිත සැපයුම්කරුවන් වෙතින් ගොවියා සහනාධාර පොහොර ලබා ගන්නවා වෙනුවට, වෙළඳ පොළෙන් පොහොර මිළදි ගැනීම සඳහා ගොවියා වෙත මුදල් වව්චර නිකුත් කිරීමට ඒ අනුව බලාපොරොත්තු වෙයි. ඉන් අපේක්ෂා කරන්නේ, හොඳ වර්ගයේ පොහොර මිළ දී ගැනීමේ නිදහස ගොවියාට පැවරීමයි. දැනට, කිලෝ 15 පොහොර බෑගයක් රුපියල් 350 ක සහනදායි මිළට ගොවියාට නිකුත් කරනු ලැබේ. ඒ සහනාධාරය වෙනුවෙන් ආණ්ඩුව දරණ වියදම රුපියල් බිලියන 50 කි.

බලයට පත්වූ සෑම ආණ්ඩුවක්ම තමන්ගේ ආදායම් උපයාගෙන ඇත්තේ අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සේවාවන්හි මිළ ඉහළ දැමීමෙනි. ඒ නිසා, සමාජයේ වෙසෙන අගහිඟකම්වලින් පිරුණු මිනිසුන්ට හැම දාමත් අසාධාරණ මහා බරක් පැටවුණි. ඔවුන්ගේ ආදායම් මට්ටම් සමග සසදද්දී, ඔවුන්ට වැය කරන්ට සිදුවන වියදම අධිකතර විය. ඒ නිසා, බදු අය කර ගැනීමට ඇති අවස්ථාවන්ට බාධා පැමිණවෙන්වා පමණක් නොව, තිරසාර ආර්ථික සංවර්ධනයේ පරාමිතීන්ද ඒ මගින් වෙනස් වන්නේය.

අද රජයේ බදු ආදායම පවතින්නේ ඉතා අඩු මට්ටමක ය. එනම්, දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 11 ක් පමණි. මේ වැරදි තත්වය වහා වෙනස් නොකළොත්, රජයේ ණය ගෙවීමත්, ආයෝජනයත් විශාල වශයෙන් අනතුරට පත්වන බව නිලධාරීන් පෙන්වා දී තිබේ. රටේ බදු ව්‍යුහය තුළ දැනට බදු වර්ග 30 ක් තිබේ. එතරම් විශාල බදු වර්ග සංඛ්‍යාවක් තිබීම නිසා බදු පද්ධතිය අනවශ්‍ය ලෙස පැටලිලිකාරී වෙයි. එසේම, බදු ගෙවීම පැහැර හැරීමටද වැඩි අවස්ථාවක් ඒ මගින් ලැබේ. බදු ක‍්‍රමය හැකි තාක් සරළ කිරීම මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එම බදු අය කර ගැනීමේ පහසුවක් සැළසෙන අතරම බදු හරහා ආණ්ඩුවට උපයාගත හැකි මුදලත් වැඩි වන්නේය. දැනට සිදුවන්නේ, ආණ්ඩුව විසින් අය කරන බදු ප‍්‍රතිශතය වැඩි කිරීම මාර්ගයෙන් ආදායම් වැඩි කර ගැනීමට ආණ්ඩුව උත්සාහ කිරීමයි. ඒ හේතුවෙන් සිදුවන්නේ දැනටමත් බදු ගෙවන සමාගම් සහ පුද්ගලයන් මත තව තවත් බදු බර පැටවීමයි.

ඉතා විශාල වශයෙන් බදු සහන සැපයීම මේ අංශයේ දක්නට ලැබෙන තවත් ගැටළුවකි. එවැනි බදු සහන, ආයෝජකයන්ට පමණක් නොව, වෙනත් විවිධ පුද්ගලයන්ටත් දෙනු ලැබේ. රාජ්‍ය සේවාවේ සිටින දහතුන් ලක්ෂයෙන් බහුතරයක් බදු ගෙවන්නේ නැත. රජයේ සේවකයන්ට මේ අංශයෙන් නිදහස් බලපත‍්‍රයක් පිරිනැමී ඇති ලෝකයේ තිබෙන එකම රට මෙය විය යුතුය. මැතිවරණ කාලවලදී දුන් පොරොන්දු වශයෙන් රජයේ සේවකයන්ට විටින් විට ලැබුණු වැටුප් වැඩි වීම් සමග රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ පැවති වැටුප් පරතරය අඩු වී තිබේ. එහෙත් එවැනි තත්වයක් තුළත්, රජයේ ඉහළ වැටුප්ලාභීන් බදු ජාලයට අලූතෙන් ඇතුළත් වී ඇති බවක් නොපෙනේ. සමාගම් අංශය හැරුණු කොට ශ‍්‍රී ලංකාවේ ආදායම් බදු ගෙවන පුද්ගලයන් සිටින්නේ 600000 කට අඩු ප‍්‍රමාණයකි. මෙය, රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකේම ඉහළ වැටුප් ලබන වෘත්තිකයන්ගේ සැබෑ ප‍්‍රමාණයෙන් ඉතා අඩු සංඛ්‍යාවකි.

බදු ගෙවීම සම්බන්ධයෙන් පවතින මේ උදාසීනත්වයට හේතු වන ප‍්‍රධාන කාරණා දෙකෙන් එකක් වන්නේ, බදු ගෙවීමේ පහසු ක‍්‍රමවල ඇති අඩුවයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ මහබැංකුව, අන්තර්ජාලය හරහා බදු ගෙවන ක‍්‍රමයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වෙයි. එහෙත් එම බදු ආදායම්වලින් ආණ්ඩුව කටයුතු කරන ආකාරය පිළිබඳ පාරදෘෂ්‍ය භාවයක් නැත්නම් බදු ගෙවීමට ඇති පෙළඹවීම අඩු වෙයි. තමන්ගෙන් අය කර ගන්නා බදුවලින් පොදුවේ තමන්ට සේවයක් සිදුවන බවක් කෙනෙකුට පෙනෙන්ට නැත්නම්, බදු නීතිය කුමක් වෙතත්, බදු නොගෙවා පැහැර හැරීමට කෙනෙකු පෙළඹිය හැකිය. මේ අරභයා ශක්තිමත් සහ බලසම්පන්න ප‍්‍රතිසංස්කරණ අවශ්‍ය කෙරේ. එහිදී ආණ්ඩුව තමන්ගේ මූල්‍ය වාර්තා හෙළිදරව් කළ යුතුය. රාජ්‍ය ආයතනවල සිදුවන නාස්තිය හෙළිදරව් කළ යුතුය. ධනපතියන් කෙරෙහි ආණ්ඩුව දක්වන දේශපාලනික අනුග‍්‍රහය නතර කළ යුතුය. ජනතා සහභාගීත්වයක් සහ දැනුමක් නොමැතිව හිතුමතේ බදු පැනවීම් අත්හිටුවිය යුතුය.

ඇත්ත වශයෙන්ම මේ වන විට. ‘වැට්’ බදු ව්‍යුහය වෙනස් කිරීමට ආණ්ඩුවේ ඇති සූදානම ගැන සංචාරක ව්‍යාපාරය සිටින්නේ බලවත් අසතුටකිනි. මේ බදු ක‍්‍රමය අහෝසි කළහොත් සංචාරක ව්‍යාපාරයට බලවත් හානියක් සිදුවිය හැකි බව එම අංශයේ ප‍්‍රවීණයෝ පෙන්වා දෙති. මේ ප‍්‍රශ්න ගැන වහාම, විවෘත සැළකිල්ල යොමු කළ යුතුය. අයවැය තුළින් කිරීමට නියමිත වියදම් ගැන පාරදෘෂ්‍ය භාවයක් පවත්වා ගැනීම සේම, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා කරන වියදම් අඩු කිරීමත් බදු ගෙවන්නන්ගේ විශ්වාසය දිනා ගැනීමට හේතු විය හැකිය.

මේ ප‍්‍රශ්න විසඳීමට ආණ්ඩුව මෙතෙක් ගෙන ඇති පියවර අල්ප ය. මහබැංකු අධිපතිවරයා පෙන්වා දී ඇති පරිදිම, ශ‍්‍රී ලංකාවේ අනාගත අපේක්ෂා ‘‘සඵල කරවන්නේ හෝ නැති නාස්ති කරවන්නේ’’ රටේ ක‍්‍රියාත්මක කෙරෙන බදු ක‍්‍රමයේ ස්වභාවය මගිනි.

*2015 නොවැම්බර් 16 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ අදහස් දැක්වීම් තීරුවේ පළවූ “Budget Expectations” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page