Colombo Telegraph

ආගමික නියාමන මණ්ඩලය

ගැලීලියෝ

ආගම්වල මුල් ඉගැන්වීම් සහ ආගමික සම්ප‍්‍රදායයන් අපහාසයට පත්කිරීම වළක්වනු වස් ගෙන ඒමට නියමිත නව නීතිය, කෙලින්ම මධ්‍යතන යුගයට ආපසු යාමකි. න්‍යායිකව ගත් විට මේ නීතියෙන් සෑම ආගමක්ම ආවරණය කෙරෙති යි කියතත්, ඇත්තෙන්ම එයින් ඉලක්ක කෙරෙන්නේ, අද දවසේ රටේ සාමාන්‍ය නීතිය බවට කෙමෙන් පත්වෙමින් තිබෙන, දේශපාලනීකරණය වූ බුද්ධාගමේ අවශ්‍යතා පිරිමසාලීමයි. මේ නව නීතිය යටතේ, සෑම ප‍්‍රධාන ආගමකම මුල් ඉගැන්වීම් සහ සම්ප‍්‍රදායයන් අපහාසයට පත්වන ආකාරයෙන්, මුද්‍රිත මාධ්‍යයෙන් හෝ විද්‍යුත් මාධ්‍යයෙන් පළවෙන ඕනෑම ප‍්‍රකාශනයකට එරෙහිව නීතිමය පියවර ගත හැකි වනු ඇත.

සැබෑ අර්ථයෙන් බැලූවොත්, අද ලංකාවේ ඇත්තේ එක් ප‍්‍රධාන ආගමක් පමණි. ඉතිරි ඒවා සුළුතර ආගම් ය. ඉතිං, ක‍්‍රියාත්මක වන විට මේ නීතිය මොන වගේ වේ දැ යි සිතා ගැනීමට අපහසු නැත. ඒ වෙනුවෙන් ගන්නා ප‍්‍රථම පියවරම, එම යථාර්ථය කුළුගන්වයි. බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍යාංශය දැනටමත් කෙටුම්පත් කොටගෙන ඇති පැනවීමක් අනුව, බුද්ධාගමට, එහි දර්ශනයට සහ සම්ප‍්‍රදායට පටහැනි ඕනෑම ප‍්‍රකාශනයක් නියාමනය කිරීමේ බලය සහිත ‘බෞද්ධ ප‍්‍රකාශන නියාමන මණ්ඩලයක්’ පිහිටුවීමට සැලසුම් කෙරේ.

ගැලීලියෝට චෝදනා කෙරුණේ, ‘ආගමික මිථ්‍යාව’ යටතේ ය. ‘ආගමික අපහාසය’ යන්න එදා ඔහුගේ නඩු විභාගය තුළ නැවත නැවතත් සඳහන් කෙරුණි. ලංකාවේ අළුත් නීතිය යටතේ විභාගයට ගැනීමට යන්නේ ද එම ‘වරදමයි’.

මෙම මණ්ඩලය, අමාත්‍යාංශ ලේකම්, බුද්ධ ශාසන මහකොමසාරිස් සහ ප‍්‍රධාන සිව් නිකායික මහනායක හිමිවරුන් විසින් නම් කරන නියෝජිතයන් හතර දෙනෙකුගෙන් සමන්විත වනු ඇත. ඊට අමතරව, විශ්ව විද්‍යාල හතරේ පාලි සහ බෞද්ධ අධ්‍යයන දෙපාර්තමේන්තුවලින් එක් සාමාජිකයෙකු බැගින් ද, විෂය භාර ඇමතිවරයා නම් කරන තවත් නියෝජිතයන් දෙදෙනෙකුගෙන් ද සමන්විත වනු ඇත. ක‍්‍රිස්තියානි, මුස්ලිම් හා හින්දුන් විත්තිකරුවන් වන අවස්ථාවක, මේ මණ්ඩලය බාහිර විශේෂඥයන්ගේ සේවය සපයාගනු ඇතැ යි සිතිය හැකිය. කෙසේ වෙතත්, මෙම මණ්ඩලයේ සංයුතිය දෙස බලන විට පෙනී යන්නේ, මෙකී අධිකරණය, විශේෂිත ක්ෂේත‍්‍රයක් තුළ පමණක් ක‍්‍රියාත්මක වීමේ බලයෙන් යුක්ත වුවත්, අවසානයේ ‘බෞද්ධ ෂරියා’ සංවිධානයක් වශයෙන් කටයුතු කළ හැකි බවයි.

මේ ‘නීතිමය ශුද්ධවන්ත භාවයේ’ අරුතින් ගත් විට, ආගම පිළිබඳ ඕනෑම නව අර්ථකථනයක් හෝ ප‍්‍රතිසංස්කරණයක් පිළිබඳ ප‍්‍රයත්නයක්, මේ කියන ‘අපහාසය’ යන අරුතට ගැනිය හැකිය. මේ නීතිය පැවති වකවානුවක මාර්ටින් වික‍්‍රමසිංහ ‘බවතරණය’ නවකතාව ලියුවේ නම්, ඔහුට විරුද්ධව නඩු පැවරෙනු නියතයි. ‘ජීසස් ක‍්‍රයිස්ට් සුපර් ස්ටාර්’ පන්නයේ චිත‍්‍රපටයක් බුදුන් වහන්සේ අළලා කෙරෙන්නේ නම්, මේ නීතිය යටතේ එයත් වරදක් වනු ඇත.

ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ ශ‍්‍රී ලංකාවේ බුද්ධාගම ප‍්‍රතිසංස්කරණය වී ඇත්තේ ඉතා අඩුවෙනි. ප‍්‍රතිසංස්කරණ යනු කුමක් ද යන්න ගැන පවා අපට ඇත්තේ අල්ප දැනුමකි. ආගමික ප‍්‍රතිසංස්කරණ පැත්තකින් තියන්න. නිදහසේ පටන්, නිවැරදි සමාජයීය හෝ දේශපාලනික ප‍්‍රතිසංස්කරණ පවා ඇති කර ගැනීමට අපි අසමත්ව සිටිමු. එතෙක් මෙතෙක් කරන ලද සෑම ආණ්ඩුක‍්‍රම ‘ප‍්‍රතිසංස්කරණයක්ම’ තුඩුදී ඇත්තේ තව තවත් මර්දනයකටමයි.

කුඩා වේවා, විශාල වේවා, නූතන වේවා, ප‍්‍රාථමික වේවා, ඕනෑම සමාජයක ආගම, ප‍්‍රධාන භූමිකාවක් රඟපායි. කෙසේ වෙතත්, බොහෝ නූතන සමාජ පාලනය වන්නේ ලෞකික ආණ්ඩු මගිනි. එහෙත් ඒ ලෞකිකත්වය ඔවුන් අත්පත් කරගෙන ඇත්තේ, ආගමික අධිකාරිය සමග දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද ලේ තැවරුණු ගැටුම් තුළින් ලද අත්දැකීම් ආශ‍්‍රයෙනි. එවැනි රටවල ලෞකික නීතිරීති යටතේ, ආගමික මහෝද්‍යෝගයේ සීමාන්තික ප‍්‍රකර්ශයන්ගෙන් පුරවැසියාව යම් තාක් දුරකට ආරක්ෂා කෙරේ. එවැනි රටක, විශේෂයෙන් සුළුතර ආගමක් සම්බන්ධයෙන්, එය සත්‍යයකි.

ප‍්‍රධාන ආගම් සම්බන්ධයෙන් බලන විට, දීර්ඝතම වූත් වඩාත් ඵලදායී වූත් ප‍්‍රතිසංස්කරණවලට භාජනය වී ඇති ආගම ක‍්‍රිස්තියානියයි. එහිදී මුලින් අභියෝගයට ලක්වුණේ රෝම අධිකාරියයි. (කතෝලික පල්ලිය). වසර සිය ගණනක් තිස්සේ දිග් ගැස්සුණු ඒ අරගලය තුළ ලක්ෂ ගණන් ජීවිත විනාශ විය. ආගමික බලාධිකාරිය, දුර්දාන්ත පීඩකයෙකුගේ සිට, පුරවැසියා සමග සාමයෙන් විසිය හැකි ආයතනයක් බවට එම රටවල පත්වුණේ ඉන් පසුව යි.

ඉඩකඩ මදිකම නිසා, මේ ලිපියට අදාළ කර ගැනෙන්නේ, ඒ ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ ප‍්‍රධාන තැන් කිහිපයක් පමණි. කතෝලික පල්ලියට එරෙහිව කැරලි ගැසූ ජර්මන් ජාතික මාර්ටින් ලූතර්ගෙන් 16 වැනි සියවසේ මුල් භාගයේ දී ප්‍රොතෙස්තන්ත ව්‍යාපාරය බිහි විය. එංගලන්තය ප්‍රොතෙස්තන්ත රටක් වුණේ අහම්බෙනි. ඒ, දුෂ්ට රජෙකු වූ 8 වැනි හෙන්රිට දික්කසාදයකට අවසර දීම පාප් වහන්සේ විසින් ප‍්‍රතික්ෂේප කළ නිසා ය. අනිත් අතට, ඔහුගේ කතෝලික දියණිය, ‘කෲර මේරි’ (බ්ලඞ් මේරි) යැයි විරුදාවලී ලත්, පළමුවැනි මේරි රැජිණ, ප්‍රොතෙස්තන්ත ආගමිකයන්ව රුදුරු වධබන්ධනයට ලක්කළාය. ප‍්‍රංශයේ ඇති වූ තවත් ලේ වැකි අවස්ථාවක් වූ ‘හියුගනෝ මහා සමූල ඝාතනයත්’ අන්තර් ආගමික ගැටුම් හේතුවෙන් හටගත්තකි.

ඊළඟ සියවස් තුන මුළුල්ලේ යුරෝපය ආගමික වෙනස්කම් මත පැහැදිළිව බෙදා වෙන් වුණි. එහි දී රට රටවල් අතර යුද්ධ ඇවිළුණේ, දේශපාලනික ආධිපත්‍යය සඳහා පමණක් නොව, ආගමික අදහස්වල ආධිපත්‍යය ද සඳහා ය. ඉතාලි පුනරුද ව්‍යාපාරයෙන් අනතුරුව ප‍්‍රගතියට පත්වෙමින් තිබු විද්‍යාවේ අනුහසින් නව අදහස් බිහි වන්නට විය. එහි දී, විද්‍යාවේ ප‍්‍රගතියට ප‍්‍රධාන බාධකය වශයෙන් පැවතියේ ආගමික උද්ධච්ච භාවයයි. පෘථුවිය වටා සූර්යයා කැරකෙන්නේය යන එතෙක් රෝමයේ පැවති ආගමික විශ්වාසය ගැලීලියෝ ප‍්‍රශ්න කෙළේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, බිහිසුණු ධර්මාධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියම කරන ලදුව, අවසානයේ තමන්ගේ මතය ඉල්ලා අස් කර ගැනීමට ඔහුට සිදු විය. එහෙත් ආගමික ආධානග‍්‍රාහීත්වය මේ අර්බුදයෙන් ගොඩආවේ නැත. විද්‍යාව සහ විචාර බුද්ධිය, දේශපාලනයේ එක් ප‍්‍රධාන ගාමක බලවේගයක් බවට පත්වෙමින්, ලෞකික රාජ්‍යය නැමැති ප‍්‍රගති සංකල්පය බටහිර ලෝකයේ මුල්බැස ගත්තේය. වෙනස් මතවාද ඇතත්, ලෝකයේ ප‍්‍රථම ලෞකික රාජ්‍යය වශයෙන් ගැනෙන්නේ, ඇමරිකාවයි.

ආගමෙන් පිටස්තර ලෞකික ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පැවති පමණින් සියල්ල සම්පූර්ණ වන බවක් මෙයින් අදහස් නොවේ. උදාහරණයක් වශයෙන්, ලෞකික රාජ්‍යයක්ම වූ ඇමරිකාව ශත වර්ෂ දෙකකටත් වැඩි කාලයක් තිස්සේ, වහල් ක‍්‍රමය තියාගත්තේය. එරට ජීවත් වන අප‍්‍රිකානු සම්භවයෙන් යුත් වැසියන්ට සමාන අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා 1960 ගණන් දක්වාම නිර්දය සේ සටන් කරන්නට සිදුවිය. ආතර් මිලර්ගේ ප‍්‍රකට නාට්‍යයට පාදක වන, ‘සලෙම් මායිනී දඩයම’ දියත් වුණේ ද ඇමරිකාවේම ය. එහෙත් අනිත් පැත්තට, වහල් ක‍්‍රමයේ අවසානය ඉක්මන් කිරීමට ලෞකික රාජ්‍ය ක‍්‍රමය උපකාරී වු බව ද කෙනෙකු පිළිගත යුතුය. එසේම, ආගමික ආධානග‍්‍රාහීත්වයෙන් සහ ජාතිවාදී අගතීන්ගෙන් ද, කාන්තාවන්ට සහ සුළුතර ජන කොටස්වලට එරෙහිව පැනවෙන නීතිරීතිවලින් ද පුරවැසියන් ආරක්ෂා කෙරෙන අතරේ, ප‍්‍රකාශනයේ නිදහස සහ වෙනත් එවැනි තවත් වැදගත් අංශ වඩාත් හොඳින් ශක්තිමත් වනු ඇත්තේ ලෞකික අධිකරණයන් මගින් මිස ආගමික අධිකරණවලින් නොවන බවත්, (විශේෂයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් තුළ) සක්සුදක් සේ පැහැදිළිය.

නූතන ලෞකික රාජ්‍යයන් තුළ (වැඩියත්ම, බටහිර රටවල), සමකාමී විවාහ, ගබ්සාව සහ වෙනත් විවාදාපන්න විෂයයන් පිළිබඳ අරගල තවමත් කෙරේ. ඉන්දියාව සහ ජපානය ලෞකික රාජ්‍යයන් වුව ද, ඇතැම් විෂයයන් පිළිබඳ අගතිගාමී නීතිරීති එම රටවල අදටත් බලපැවැත්වෙයි. සිවිල් අයිතිවාසිකම් සහ කාන්තා/පිරිමි සමලිංගික අයිතිවාසිකම්වල සිට, මාධ්‍යවේදීන්, ලිංගික සේවක සේවිකාවන්, ගැහැනුන් සහ සංක‍්‍රමණිකයන්ට එරෙහිව පවතින වධබන්ධන සහ වෙනත් අසාධාරණවලට එරෙහිව කටයුතු කිරීම මගහරින දිළිඳු ලෝකයේ මෙන්ම ධනපති ලෝකයේ ද, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන ලෝකයේ ද පාලකයන්ට අභිමුඛව එක දිගටම සටන් කරන බොහෝ කණ්ඩායම් වෙත්.

ප‍්‍රකාශනයේ නිදහස යන්නට, ආගම් විවේචනය කිරීමේ නිදහස ද ඇතුළත් ය. මැවුම්වාදය හෝ පුනරුත්පත්තිය විශ්වාස නොකරන කෙනෙකුට තම අදහස ප‍්‍රකාශ කිරීමට නිදහස තිබිය යුතුය. ගැලීලියෝට චෝදනා කෙරුණේ, ‘ආගමික මිථ්‍යාව’ යටතේ ය. (එදා මිථ්‍යා ආගමිකයන්ව ගිනිසෑයේ ලා මරණයට පත්කරන ලදි). ‘ආගමික අපහාසය’ යන්න එදා ඔහුගේ නඩු විභාගය තුළ නැවත නැවතත් සඳහන් කෙරුණි. ලංකාවේ අළුත් නීතිය යටතේ විභාගයට ගැනීමට යන්නේ ද එම ‘වරදමයි’. වෙනත් වචනවලින් කිවහොත්, අප මේ සැරසෙන්නේ ද, ‘මිථ්‍යා දෘෂ්ටිකයන්’ දඩයම් කිරීමට ය. ඔවුන්ව දරසෑයේ ලා මරණයට පත් නොකෙරුණත්, ඔවුන්ගේ සමාජ ජීවිත ඒ මගින් විනාශයට පත්විය හැකිය.

නිදහස ලබන මොහොතේ ශ‍්‍රී ලංකාවත් ලෞකික රාජ්‍යයක් විය. විවිධ දේශපාලන පක්ෂ, විවිධ ආගම් සේම, විවේචකයන්, සැඩොලූන් සහ අනනුකූල පිරිස් (ඉතා අඩුවෙන් වුවත්) එදා ලංකාවේ විසූහ. එහෙත් මිථ්‍යා දෘෂ්ටිකයන් කියා කොටසක් සිටියේ නැත. 1972 ව්‍යවස්ථාවෙන්, අපේ ලෞකික ස්වභාවයෙන් විශාල පදාසයක් අප අහිමි කරගත් නමුත් නූතන රාජ්‍යයක් වශයෙන් පැවතීමට අපට හැකි විය. එම තත්වයත් දැන් වෙනස්ව තිබේ. මිථ්‍යාදෘෂ්ටිකයාව වෙන් කොට තැබීමට පියවර ගන්නා මොහොතේම අප ආපස්සට පය තබන්නේ, ශතවර්ෂ කිහිපයකට කලින් පැවති, බියකරු අගාධයටයි.

*සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page