Colombo Telegraph

රාජකීය ‘පරමාධිපත්‍ය’ ඉරිතැලීමේ පෙරනිමිති

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

යුද ජයග‍්‍රහණයෙන් පසු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලනික උපාය මාර්ගය වුණේ, දකුණේ සිංහල-බෞද්ධ ජාතිවාදීන්ගෙන් සහ සම්ප‍්‍රදායික වම්මුන්ගෙන් ද සැදුම්ලත්, ලංකාවේ සමස්ත දකුණම ආවරණය කෙරෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන බලය හරහා සමස්ත විපක්ෂය පුස්සක් බවට පත්කරමින්, තමා සහ තම පවුල අතේ කෙමෙන් බලය සංකේන්ද්‍රණය කර ගත හැකි වන, ආයතනික සහ දේශපාලනික ව්‍යුහයක් සහ පරිසරයක් ගොඩනගා ගැනීමයි. යුද්ධය අවසන් වූ වහාම, 17 වැනි සංශෝධනය අහෝසි කොට 18 වැනි සංශෝධනය සම්මත කරගත්තේත්, අගවිනිසුරුවරිය බලහත්කාරයෙන් ඉවත් කොට, සමස්ත අධිකරණ පද්ධතියම තමාගේ අභිමතයේ විජිතයක් බවට පත්කර ගත්තේත්, ඒ වෙනුවෙනි. මෙවැනි වැඩ පිළිවෙලක් කෙටි කාලීන සාර්ථකත්වයක් පෙන්නුම් කළත්, දීර්ඝ කාලීනව එවැනි දේශපාලනික ව්‍යාපෘතියක් නඩත්තු කර ගැනීම පහසු නැත. ඒ නිසා, එක පැත්තකින් වාසුදේව නානායක්කාර සහ ඩිව් ගුණසේකරට ඇමතිකම් දෙන අතරේ, අනිත් පැත්තෙන් චම්පික රණවකට සහ විමල් වීරවංශට ඇමතිකම් දීමත්, එක පැත්තකින් ඩග්ලස් දේවානන්දට ඇමතිකම් දෙන අතරේ අනිත් පැත්තෙන් කරුණා අම්මාන් සහ කේ. පී, ළං කර ගැනීමත්, එක පැත්තකින් රවුෆ් හකීමට ඇමතිකමක් දෙන අතරේ අනිත් පැත්තෙන් බොදුබල සේනාව ලිහා හැරීමත් ආදිය, එකී කිසිවෙකුට පුද්ගලිකව ලොකු ප‍්‍රශ්නයක් නොවිය හැකි වෙතත්, ඒ පසුපස ඇති පාලකයාගේ චින්තනමය ප‍්‍රතිපත්තිය, යම් දවසක අනිවාර්ය ගැටුමකට තුඩුදෙන්නේය. එය රූපකාත්මකව පවසන්නේ නම්, විමල් වීරවංශ සහ බොදුබල සේනාවන් විසින් හැඩි කරන අවුල, වාසුදේව නානායක්කාර වැන්නන්ට රටේතොටේ මාර්ග නාම පුවරු දෙමළ භාෂාවෙන් ලිවීමෙන් එකලස් කරගත නොහැකි මොහොතක් එලැඹෙන්නේය.

නිදහසෙන් පසු දකුණු ලංකාවේ සෑම පාලකයෙකුටම තිබූ මීට සමාන වෙනත් සොඳුරු සැලසුම්, යම් අවස්ථාවකින් පසු ව්‍යර්ථ වුණි. එහෙත් ඒ කිසි නායකයෙකුට නොතිබුණු ගජ වාසියක්, එනම් යුද්ධය ජය ගැනීමේ වාසිය තමන්ට ඇති නිසා, පැරැුන්නන්ගේ සැලසුම් ව්‍යර්ථ වූ අයුරින් තමන්ගේ සැලසුම් සුන් වෙතැ යි රාජපක්ෂලා, 2009 මැයි මාසයෙන් පසු, මොහොතකටවත් නොසිතූහ. ඒ අනුව, හෙම්බිරිස්සාවට බොන කොත්තමල්ලි කෝප්පය, හෙම්බිරිස්සාව පීනසක් වී ඇදුම දක්වා වර්ධනය වී පණ අදින ලෙඩෙකුට පවා ඔසුවක් කර ගත හැකි වෙතැ යි ඔවුන්ට සිතුණි.

කොටි රැුඩිකල්වාදය උපන්නේ ආර්ථික කරුණු පෙරදැරිව යැයි සිතන පිරිසක් සිටිති. 1970 සිරිමා ආණ්ඩුව ගෙනා අධ්‍යාපන ප‍්‍රමිතිකරණය හේතුවෙන් ප‍්‍රභාකරන්ගේ පරම්පරාවට විශ්ව විද්‍යාල දොරටු වැසුණු බවට තර්ක කෙරේ. සියලූ ජාතික ආර්ථික සැලසුම් දකුණ කේන්ද්‍ර කොට පැවතීම හේතුවෙන් උතුර සංවර්ධනය නොවීම තුළ, දෙමළ ජනයාට ඉතිරිව තිබූ එකම සහනය වූ අධ්‍යාපනයත් එසේ තහංචියට ලක්වීම, දෙමළ තරුණයන් තුළ අසහනය බෝ කෙළේ යැයි තර්ක කෙරේ. එම ආර්ථික විග‍්‍රහය තුළ ඇත්තක් ඇත. එහෙත්, යම් ජනතාවක් පෙලෙන ආර්ථික සාධක විසින් එම ජනතාව තුළ ඇති කරනු ලබන නව චින්තනමය අභිලාෂ, ආර්ථික සාධක තුළට පමණක් කොටු කළ නොහැකි අවස්ථාවක් එළැඹෙන බව කෙනෙකු අමතක නොකළ යුතුය. එවිට එය, තවදුරටත් ආර්ථික ප‍්‍රශ්නයක් පමණක් නොවන්නේය. මේ නිසා, 1972 දී බුද්ධාගමට මුල් තැන දෙමින් ඒකීය ව්‍යවස්ථාවක් ප‍්‍රථම වතාවට ලංකාවට ලැබෙන විට, ඉහත කී දෙමළ තරුණයන්ගේ අධ්‍යාපනය පිළිබඳ ආර්ථික අතෘප්තිය සහ ජාතික ආර්ථික සැලැස්ම තුළ තමන්ගේ ප‍්‍රදේශය නිදහසෙන් පසු අමතක කොට තිබුණු බව ඔවුන් තුළ ජනිත කරන්නේ, ආර්ථික සහ භෞතික පරිසරයෙන් එපිටට යන සහ ඊට වඩා ගතිකමය වශයෙන් පුළුල්, සාමූහික සංජානනයන් ය.

ඒ ආකාරයෙන්ම, 2009 මැයි මාසයෙන් පසුව දෙමළ ජනතාව පෙළෙන්නේ, තමන්ගේ වරිගයා ඈතකින් ඝාතනය කරනු ලැබූ 83 කළු ජුලියෙන් නොව, විශේෂයෙන් යුද්ධයේ අවසාන කාලයේ විනාශයට පත් තමන්ගේ අත ළඟ රුදුරු අත්දැකීමකිනි. මෙය, ප‍්‍රමාණාත්මක වශයෙන් පමණක් නොව, ගුණාත්මක වශයෙන් ද, වඩාත් ගැඹුරු ජාතික සංජානනයකි. ඉතිං, කාපට් කළ පාරවල් තැනීම සහ මැක්ඩොනල්ඞ් සංස්කෘතියක් උතුරේ පැළ කිරීම, කොහොමත් කොත්තමල්ලි ඔසුවක්ම වන්නේය. කොටින්ගේ දඩු අඬුවෙන් තමන් විසින් බේරාගත්තේ යැයි ආණ්ඩුව සිතන ජනතාවක්, පසුගිය දා පැවති උතුරු පළාත් සභා ඡුන්දයෙන්, එතරම් සාහසික අන්දමින් තමන්ව ප‍්‍රතික්ෂේප කෙළේ මන්දැ යි, තමන්ගෙන්ම විමසා ගැනීමට තරම් අවංකත්වයක් සහ හයියක් දකුණේ පාලයකයන්ට ඇත්නම්, එයම, රටේ ජාතික ප‍්‍රශ්නය විසඳීමේ ප‍්‍රථම සාර්ථක පියවර වන්නේය.

එහෙත් රාජපක්ෂ පවුලේ කිසි සහෝදරයෙකු එම අවබෝධය ඇත්තන් නොවේ. බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ, මේ ප‍්‍රශ්නයට දෙපැත්තකින් පිවිසෙති. එදා යාපනයේ පැවති ආර්ථික අසංවර්ධනය තරුණ අසහනයට හේතු විණි නම්, අද යාපනයට සංවර්ධනය ගෙන ඒම ඊට විසඳුම යැයි බැසිල් රාජපක්ෂ සිතයි. ගෝඨාභය රාජපක්ෂ ඊට විරුද්ධ නැත. එහෙත්, හමුදා චින්තනයෙන් අකුරු කියැවූ කෙනෙකු වශයෙන්, දඬුවම (තුවක්කුව) තරම් අත්දුටු බෙහෙතක්, සමාජ කළමනාකරණය සඳහා තවත් නැතැ යි ඔහු විශ්වාස කරයි. ඇටුවම් දේශපාලඥයෙකු වන මහින්ද රාජපක්ෂ මේ දෙකටම විරුද්ධ නැත. එහෙත් ඒ දෙපාර්ශ්වයේ මිශ‍්‍රණය, තමාව නඩත්තු කරති යි ඔහු විශ්වාස කරන දකුණේ සිංහල-බෞද්ධ බහුතරයේ කරපිටින්ම ගෙන යා යුතු යැයි සිතයි. මේ තුන් දෙනාම කරන වරද වන්නේ, ඉහතින් කී දෙමළ ජන සංජානනයේ සිදුව ඇති ගුණාත්මක වෙනසේ දිග පළල, එක්කෝ නිවැරදිව හඳුනා නොගැනීම ය. නැත්නම්, ඒ සඳහා වන වෙනත් ඔසුවක් (තුවක්කුව) තමන් සතුව ඇතැ යි සිතා, ප‍්‍රශ්නය අනාගතයට කල් දැමීම ය. අද පෙනෙන්ට ඇති යථාර්ථයට වඩාත් ආසන්න යැයි සිතෙන්නේ, මෙයින් දෙවැන්නයි.

උතුරේ දෙමළ ජනතාව කාලයක් තිස්සේ අපේ පාලකයන්ට මතක් කර දෙමින් සිටි එක මහ පාඩමක, පුංචි පරිච්ෙඡ්දයක් රාජපක්ෂ ආණ්ඩුවට දැන් දකුණෙන් ද කියැවීමට ලැබී තිබේ. බස්නාහිර සහ දකුණ යන පළාත් සභා දෙකම ආණ්ඩුව ජය ගත්තේය. ඒ ගැන කිසි සැකයක් නැත. එය එසේ නොවෙති යි සිතන්ට හේතුවක් ද කිසිවෙකුට නොවුණි. ඉදිරි මාස කිහිපයේ දී තවත් පළාත් සභා කිහිපයක මැතිවරණ පැවැත්තුවත්, ඒවා ද, ආණ්ඩුව ජය ගනු ඇත. එය, වර්තමානයේ මේ ‘මොහොත’ පිළිබඳ ‘පරම’ සත්තාවකි. එහෙත්, එකී ‘මොහොතට’ එපිටින් සහ ‘පරමත්වයට’ යටින්, ඊට වෙනස් අනාගතයක් සහ සාපේක්ෂත්වයක් ලියැවී තිබේ. ආණ්ඩුව ලබාගෙන ඇති වැඩි ආසන හෝ වැඩි ඡුන්දවලින් නොකියැවෙන, එම ජයග‍්‍රාහී ඉලක්කම් අස්සේම සැඟවී තිබෙන අනාගත පරාජයක කතාවකි, එය.

ජිනීවා නුවරදී ලැබූ පරාජය, සැබවින්ම ජයක් වශයෙන් ගැනීමට තරම් වංචනික වූ විදේශ ඇමති ජී.එල්.පීරිස්ගේ ජිනීවා තර්ක ක‍්‍රමයේ එක් ආස්ථානයකට අනුව, බස්නාහිර සහ දකුණ යන පළාත් දෙකෙන් පමණක් නොව, ඒ පළාත් සමන්විත වන, කොළඹ, ගම්පහ සහ කළුතරත්, ගාල්ල, මාතර සහ හම්බන්තොටත් යන දිස්ත‍්‍රික්ක සියල්ලෙන්ම ආණ්ඩුව පරාද ය. එනම්, ඒ සෑම තැනකම, ගිය වර ආණ්ඩුව ලැබූ ඡුන්ද ප‍්‍රමාණය ලැබීමට මෙවර එම ආණ්ඩුව අසමත්ව තිබේ. පීරිස්ගේ චක‍්‍රයට අනුව, ජිනීවා නුවර ශ‍්‍රී ලංකා ආණ්ඩුවට එරෙහි යෝජනාවට පක්ෂව ගිය වර ලැබූ ඡන්ද 25 මෙවර ඡන්ද 23 කට පහළ වැටී තිබීම, එම යෝජනාව ‘පරාජය’ වූ බවට ඔහු දක්වන එක සාක්ෂියකි. ඔහුගේ ඊළඟ ආස්ථානය වන්නේ, ජිනීවා යෝජනාවට ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටි රටවල් 12 ද, යෝජනාවට විරුද්ධ රටවල් වශයෙන් සැළකිය යුතු බවයි. අවසානයේදී, යෝජනාවට විරුද්ධව ලැබුණු ඡන්ද 12 සහ ඡන්දය පාවිච්චි නොකළ රටවල් 12 එක් කළ විට, එකතුව 24 කි. එය, යෝජනාවට පක්ෂව ලැබුණු ඡන්ද 23 ට වඩා ලොකු ය/ මේ අනුව ගත්තොත්, බස්නාහිරෙන් සහ දකුණෙන් ආණ්ඩුව අන්තයටම පරාද ය. බස්නාහිර පළාතේ ආණ්ඩුවට ‘විරුද්ධ’ ඡන්ද ප‍්‍රතිශතය සියයට 66 කි. දකුණු පළාතේ එය සියයට 63 කි. (ආණ්ඩුවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ සහ ඡන්දය පාවිච්චි නොකර සිටි ප‍්‍රතිශතය).

කෙසේ වෙතත්, නීති මහාචාර්යවරයා තරම් අප අතාර්කික හෝ වංචනික හෝ විය යුතු නැත. එහෙත්, නගර ශෝභනය, දැවැන්ත ගොඩනැගිලි, ශරීරාභ්‍යාසය මංතීරු, නෙළුම් පොකුණු, කාපට් පාරවල්, විවේක උද්‍යාන, ගුවන් පාලම්, අධිෙවීගී මාර්ග, ක‍්‍රිකට් ක‍්‍රීඩාංගන, සිනමා ගම්මාන, වරායවල් සහ ගුවන් තොටුපොලවල් ආදී සියල්ලත්, උපරිමයෙන් පට්ට ගැසූ ජිනීවා දේශපේ‍්‍රමය සහ සකල මාධ්‍ය අනුග‍්‍රහයත් මැද්දේ, ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය පාවිච්චි කොට ඇත්තේ, බස්නාහිර සහ දකුණේ ජනතාවගෙන්, පිළිවෙලින් සියයට 34 ක් සහ සියයට 37 ක් පමණක් වුණේ කෙසේ ද යන්නත්, එම ප‍්‍රතිශතය, ගිය වර (2009) පළාත් සභා මැතිවරණයේ දී ආණ්ඩුව ලද සියයට 39 න් (බස්නාහිර) සහ සියයට 46 න් (දකුණ) එතරම් පහළ බැස්සේ මන්ද යන්නත්, දේශපාලනික පුරෝකතනයකට කියාපු වට්ටෝරුවකි. ජිනීවා යෝජනාවට ‘උත්තරයක්’ වශයෙන් පාවිච්චි කිරීමට ආණ්ඩුව අදහස් කළ පළාත් සභා මැතිවරණය, දැන් පාලකයාගේම අනාගතය ගැන අනියමාර්ථයක් ජනිත කර තිබීම, ඇත්තෙන්ම, උත්ප‍්‍රාසාත්මක ය. උතුරේ ජනතාව ඉදිරියේ මෙන්ම, දකුණේ ජනතාව ඉදිරියේ ද පාලකයා හෙළිදරව් වෙමින් ඇති බවට නිශ්චිතව ගත හැකි පළමු සාක්ෂිය මෙයයි. වෙනසකට ඇත්තේ, පාලකයාව හෙළිදරව් කර ගැනීමට, උතුරට වඩා දකුණ වැඩි කාලයක් ගැනීමයි.

Back to Home page