Colombo Telegraph

19 ට අදාළ අධිකරණ තීන්දුව ගැන ඇතැමුන් නගන ඔල්වරසන්

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

19 යනු, ගැලවෙන්ට ඔන්න මෙන්න කියා තියෙන කිරි දතක් වගේදැයි දැන් සිතෙන ගානයි. ඒ තරමට, විපක්ෂයේත්, ආණ්ඩුවේ ඇතැම් කොටස්වලත් විවිධාකාර මුරුගකම්වලට එය මුහුණදෙමින් සිටී. මැතිවරණ ක‍්‍රමයේ සංශෝධනයක්ද සමග එක විට ගෙන එන්නේ නම් මිස 19 ට ඡන්දය නොදෙමියි කියා පටන් ගත් විපක්ෂයේ විරෝධය, මේ වන විට, මහින්ද රාජපක්ෂගේ දූෂණ ගැන සොයා බැලීමට ගන්නා ප‍්‍රයත්නයත් 19 ට එරෙහි වීමට හේතුවක් කරගන්නා අදියරට පැමිණ ඇත. 19 ගැන විවාද කිරීමට නියමිතව සිටි දවසට කලින් දා ? එළි වන තෙක් විපක්ෂ මන්ත‍්‍රීන් රැුළක් පාර්ලිමේන්තුවේ වාඩි ලා ගත්හ. අයිතිවාසිකම් වෙනුවෙන් වෙනත් තැන්වල වාඩිලා ගන්නා පුරවැසියන්ව මුරුග ආකාරයෙන් විසුරුවා හරින බලධාරීන් මේ අවස්ථාවේදී කටයුතු කෙළේ ඉතා ‘ශිෂ්ට සම්පන්නව’ ය. ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදීව’ ය. දූෂණ චෝදනා ලැබ සිටින මහින්ද රාජපක්ෂගේ අයියා වන කථානායක චමල් රාජපක්ෂ, මේ රැුළට රැුය පහන් කිරීම සඳහා අවශ්‍ය සියලූ කළමනා සහ සෞඛ්‍ය පහසුකම් සළසා දුනි. අවසානයේ, 19 විවාදයට ගැනීම තව සතියකින් කල් ගියේය.

විපක්ෂය එසේ එළිපිට ගෙඩිය පිටින් 19 පරාජය කොට රාජපක්ෂලාව නැවත බලයට ගෙන ඒමට චන්ඩිකම් කරන අතරේ, ආණ්ඩුවේ සිටින ඇතැම් කොටස්, 19 තුළ ඇති දේශපාලනික අභිලාෂය හෑල්ලූ කොට, පවතින විධායක ජනාධිපති ක‍්‍රමයම වෙනත් ආකාරයකින් ඉදිරියටත් පවත්වා ගැනීමට මාන බලති. යමක් විග‍්‍රහ කිරීමට ‘කුමන්ත‍්‍රණය’ යන වචනය පාවිච්චි කිරීම අපුල දනවන දෙයක් වුවත්, 19 සම්බන්ධයෙන් විශාල කුමන්ත‍්‍රණයක් මේ අවස්ථාවේ දියත් වෙමින් ඇති බව දැන් පැහැදිළි ය. එය විපක්ෂය තනියෙන් දියත් කරන්නක් නොවේ. ආණ්ඩුවේ ඇතැම් කොටස්වල ආශීර්වාදයත් ඊට ඇත.

19 ගැන අධිකරණය දුන් නිර්වචනය ගැන විපක්ෂයට වඩා ආණ්ඩුවේ ඇතැම් කොටස් ප‍්‍රහර්ෂයට පත්ව සිටීමෙන් එය පෙනී යයි. ඒ අධිකරණ තීන්දුව ගැන වහසි බස් කියමින්, රතිඤ්ඤා පත්තු කිරීමට කලින් මොවුන් කළ යුතුව ඇත්තේ, අධිකරණයෙන් ඇත්තෙන්ම අපේක්ෂා කෙළේ කුමක්ද යන්න පැහැදිළි කර ගැනීමයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සහ පක්ෂව අධිකරණය ඉදිරියට ගිය අයවළුන් ඉල්ලා සිටියේ එක දෙයකි. එනම්, එම සංශෝධයෙන් අපේක්ෂිත වෙනස්කම් ඇති කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ වැඩි ඡන්දයකට අමතරව ජනමත විචාරණයකින් ලබාගන්නා අනුමැතියකුත් අවශ්‍යද යන්න පමණි. එය අධිකරණයක් තීන්දු කරනු ලබන්නේ, පවතින නීති මූලධර්මවලට සහ අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පැනෙන නියාමයන්ට අනුකූලවයි. දැන්, ඒ අනුව, ඇතැම් කරුණු අතින් දෙපාර්ශ්වයටම සෑහීමට පත්විය හැකි මෙන්ම තවත් කරුණු අතින් එසේ සෑහීමකට පත්විය නොහැකි නිගමනයන් කිහිපයක් ලැබී තිබේ. කිසි පාර්ශ්වයක අපේක්ෂා සංසිඳුවීමක් අධිකරණය විසින් විශේෂයෙන් අදහස් නොකෙරෙතත්, දෙපාර්ශ්වයේම අපේක්ෂා යම් තාක් තුලනය කිරීමක්, දැනුවත්ව හෝ නොදැනුවත්ව, කෙසේ වෙතත් මේ අවස්ථාවේදී සිදුව තිබේ. ඒ අනුව, ඇතැම් කරුණු සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වන බවත්, අනිත් දේවල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් පමණක් ප‍්‍රමාණවත් වන බවත් අධිකරණයේ මතයයි. ඒ තත්වය තුළ, ජනමත විචාරණයක් අවශ්‍ය යැයි කියැවෙන කොටස් ඉවත් කොට, තුනෙන් දෙකේ පාර්ලිමේන්තු ඡන්දයෙන් ඉතිරිය සම්මත කර ගැනීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව දැන් සූදානම් ය. මෙය, රාජපක්ෂ ක‍්‍රමයට වෙනස්, රැුඩිකල් භාවිතාවකි.

කෙසේ වෙතත්, 19 ට පක්ෂව මෙන්ම විපක්ෂවද අධිකරණයට ගිය අයවළුන් නීතියේ නියෝගයට අමතරව අපේක්ෂා කළ තවත් දෙයක් තිබුණි. එනම්, දේශපාලනික සාරධර්මීය පිළිසරණකි. එවැන්නක් අධිකරණයකින් අපේක්ෂා කළ යුතු නැතත්, දෙපාර්ශ්වයේම අවිඥානය තුළ එවන් අපේක්ෂාවකුත් තිබුණි. ජාතික හෙළ උරුමය මේ 19 වැනි සංශෝධනයට විරුද්ධ වුණේ, ජනාධිපති බලතල රැුඩිකල් කප්පාදුවකට ලක්කිරීම අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහයට පටහැනි වන නිසාම නොව, විධායක ජනාධිපති ක‍්‍රමය දේශපාලනික සාරධර්මයක් වශයෙන් පූජණීයත්වයෙන් සැළකීමට ඔවුන් තුළ ඇති නැමියාව නිසා ය. බෙදුම්වාදී තර්ජනයක් ඇති රටකට අධිකාරීවාදී පාලනයක් වඩාත් යෝග්‍ය ආරක්ෂණයක් වන්නේය යන ඔවුන්ගේ මහජාතිකවාදී විශ්වාසය මූලික වශයෙන් ඒ මතයට තුඩුදෙයි. ඒ නිසාම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ඇතැම් ප‍්‍රමිතීන් වෙනුවෙන් දැන් ඔවුන් පෙනී සිටියද, සකල ප‍්‍රමිතීන් අතහැර දැමීමත් ඔවුන්ට ඉතා පහසුවෙන් කළ හැකි බව අතීතයේ අප දැක තිබේ. කුමන සීමාවන් යටතේ වුවත්, මුළු රටම ආදරෙන් වැළඳගත් 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පවා ඔවුන් හතුරුව සිටියේ එබැවිනි. මුළු රටම දඬුකඳේ ගැසූ 18 වැනි ව්‍යස්ථා සංශෝධනයට ඔවුන් දිවි හිමියෙන් පෙනී සිටියේත්, ජෙනරාල් සරත් ෆොන්සේකා සහ ශිරානී බණ්ඩාරනායක සම්බන්ධයෙන් මහින්ද පාලනය ගෙන ගිය අශීලාචාර දේශපාලනයට ඔවුන් හවුල් වුණේත් එබැවිනි.

එසේ වන විට නොදැනුවත්ව තමන් පැටලෙන ප‍්‍රතිවිරෝධයන් කෙනෙකුට නොපෙනෙයි. මෑතකදී අතුරලියේ රතන හිමියන් එක් රූපවාහිනී නාලිකාවක සංවාදයකට සහභාගී වෙමින් මෙසේ කීහ: ‘‘ඞී. ඇස්. සේනානායකගේ සිට ජේ. ආර්. ජයවර්ධන දක්වා වන රාජ්‍ය නායකයන් පරිණත දේශපාලනික දාර්ශනිකයන් නෙවෙයි.’’ එතකොට ඔවුන්ගෙන් පසුව බලයට පත්වූ රාජ්‍ය නායකයන්, උදාහරණයක් වශයෙන්, මහින්ද රාජපක්ෂ, ‘පරිණත දේශපාලනික’ දාර්ශනිකයෙක්ද? අපේ රාජ්‍ය නායකයන් තුළ දක්නට ලැබුණු අපරිණත භාවය ජේ. ආර්. ජයවර්ධනගෙන් ඔහු නතර කෙළේ මන්දැයි පැහැදිළි නැතත්, ජේ. ආර්. ජයවර්ධන ‘අපරිණත’ නායකයෙකු වශයෙන් හඳුන්වනු ලැබීම සහ විධායක ජනාධිපති ක‍්‍රමය සම්බන්ධයෙන් අදටත් තමා දරණ ආස්ථානය අතර බරපතල පරස්පරයක් ඇති බව උන්වහන්සේට නොපෙනුණු සෙයකි. ඒ අපරිණිත දාර්ශනිකයා (ජේ. ආර්.) විසින් හඳුන්වා දුන් විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවෙන් අද ඉදිරියෙන්ම පෙනී සිටින්නේ තමන් බව ඔහුට මොහොතකට අමතක වුණි. එනම්, අපරිණත නායකයෙකුගෙන් බිහිවූ ‘පරිණත’ ආණ්ඩුක‍්‍රමයක්ද? එම වාක්‍ය අවසානයේ, ආදර්ශමත් පරිණත දේශපාලනික දාර්ශනිකයන් කිහිප දෙනෙකු උන්වහන්සේ, අපේ අවබෝධය සඳහා නම් කරති: ඒ, ‘‘ලී ක්වාන් යූ සහ මොහොමඞ් මහතීර්’’ ය.

ජාතික හෙළ උරුමයේ සැබෑ දේශපාලනයේ ස්වභාවය මෙයින් පැහැදිළි වෙයි. පසුගිය දවස්වල ලංකාවේ බොහෝ පත්තර පිටු සැරසූ, ආන්දෝලනාත්මක ලෙස ලෝකයේ දුප්පත්ම ජනාධිපතිවරයා සේ අභිෂේක ලද, උරුගුවේ හිටපු නායක හෝසේ මුහිකා පැත්තකින් තියන්න. ඔහු ‘පිස්සෙකු’ විය හැකිය. නැත්නම් ජනාධිපති මන්දිරයේ නොසිට ගොවිපොළේ පැලක වාසය කරයිද? ලැම්බෝගිනි පාවිච්චි කළ හැකිව තිබියදී, පරණ බීට්ල් මොඩලයේ වොල්ක්ස්වාගන් රථයක් පාවිච්චි කරයිද? ඔව්, ඔහු ‘පිස්සෙක්ම’ තමයි. එහෙත්, දේශපාලඥයන් සම්බන්ධයෙන් ‘පරිණත සහ දාර්ශනික’ වැනි විශේෂණ පද අමුණා ගන්නා විට, නෙල්සන් මැන්ඬේලා කෙනෙකුගේ නමක් මොවුන්ගේ කට නොගෑවෙන්නේ අතපසු වීමකින්ද? නැතහොත් චේතනාන්විතවමද?

ලී ක්වාන් යූ අනුගමනය කළ ප‍්‍රතිපත්තිය පදනම් වුණේ ප‍්‍රධාන මුල්ගල් දෙකක් මතයි. එකක් වන්නේ, දැඩි විනයයි. අනික, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ඔහු තුළ පැවති දැඩි අවඥාවයි. ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදය සැළකුවේ, දියුණු වෙමින් පවතින රටවලට නොගැළපෙන ව්‍යාධියක් වශයෙනි. 2000 දී ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතට සම්මුඛ සාකච්ඡුාවක් දෙමින් ඔහු මෙසේ කීය: ‘‘මට ජරා වැඩත් කරන්න සිද්ධ වුණා. නඩු නැතුව මං මිනිස්සුන්ව හිරේ දැම්මා.’’ ඔහුට අනුව, දියුණු වෙමින් පවතින රටක පැවතිය යුතු ‘විනය’ එවැන්නකි. (සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ අනුගමනය කළ පිළිවෙත දැන් සිහියට නගා ගන්න). මේ ඊනියා විනය, චුවිං ගම් හැපීම තහනම් කිරීමේ සිට, විපක්ෂ දේශපාලඥයෙකු නඩු නැතිව අවුරුදු 23 ක් හිරේ තියාගෙන සිටීම සහ අධිකරණය අපක්ෂපාතී නැතැ යි ප‍්‍රසිද්ධියේ කීම නිසා විපක්ෂ නායකයාව හිරේ දැමීම දක්වා වන දැඩි මර්දනකාරී සංස්කෘතියක් කරා විහිදුණි. ඔහු අවුරුදු 31 ක් එක දිගට රට පාලනය කෙළේය. මැලේසියානු අගමැති මොහොමඞ් මහතීර්, දේශපාලන ප‍්‍රතිපත්ති අතින් ලී ක්වානු යූට වෙනස් නැත. ඔහුත් එක දිගට අවුරුදු 23 ක් රට පාලනය කෙළේය. 18 වැනි සංශෝධනයෙන් මහින්ද රාජපක්ෂ අපේක්ෂා කෙළේද එවැන්නකි. ඉහත කී අපරිණත ලාංකීය නායකයන් අතරට, අතුරලියේ රතන හිමියන්ගේ ලැයිස්තුව තුළ, මහින්ද රාජපක්ෂ ඇතුළත් නොවන්නේ සහ පරිණත ලෝක නායකයන් අතරට ලී ක්වානූ යූ ඇතුළත් වන විට නෙල්සන් මැන්ඬේලා වැන්නෙකු ඇතුළත් නොවන්නේ, ජාතික හෙළ උරුමයේ බද්ධ පේ‍්‍රමය අධිකාරීවාදය සමග ගැටගැසී ඇති බැවිනි. 19 වැනි සංශෝධනය පිළිබඳ ඔවුන්ගේ ස්ථාවරය සහ අපේ ස්ථාවරය හරයාත්මකව වෙනස් වන්නේ එහිදී ය. එම කාරණය විමසා බැලීමක්, 19 ට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අපේක්ෂා නොකෙරුණි.

එසේ තිබියදී, 19 වැනි සංශෝධනය පිළිබඳ අධිකරණ තීන්දුවෙන් අනවශ්‍ය ප‍්‍රහර්ශයට පත්ව සිටින ජාතික හෙළ උරුමයේ නිශාන්ත වර්ණසිංහ, ‘19 කරේ තියාගෙන ගිය’ මිනිසුන්ගේ කටවල් දැන් වැසී ඇතැ යි යම් තැනක කියා තිබුණි. 19 යනුවෙන් සැබවින් අදහස් කෙරෙන සාරාර්ථ දේශපාලනික සාරධර්මය අප ‘කරට ගෙන’ බොහෝ කල් ය. එය, ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට පැවරීමට පමණක් සීමා වන්නක් නොවේ. සමස්ත විධායක ජනාධිපති ක‍්‍රමයම අහෝසි කිරීම සහ සියලූ ජාතීන්ට සමාන අයිතීන් සහතික කෙරෙන සහ බලය බෙදාහැරෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් දක්වා එය විහිදෙයි. 19 යනු, අපට, එකී ප‍්‍රයානයේ ප‍්‍රාරම්භයක් පමණි.

Back to Home page