Colombo Telegraph

ශ‍්‍රී ලංකාව: රාජපක්ෂලාගේ කෙළිමඬල

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

18 වැනි ව්‍යවස්ථා සංශෝධනය යනු කුමක් දැ යි පැහැදිළි කරන ලෙස කෙනෙකු ඉල්ලා සිටියොත්, දැන් මා කරන්නේ, ඡුායාරූප කිහිපයක් වෙත ඔවුන්ගේ අවධානය යොමු කැරැුවීමයි. හම්බන්තොට නගරංපතිවරයා පිස්තෝලයක් අතින් ගෙන එන දර්ශනයත්, ශ‍්‍රී ලංකාවේ පොලීසියේ නිලධාරීන් කැරලිකාරී තත්වයක පේ‍්‍රක්ෂකයන් සේ පෙනී සිටින ඡුායාරූපයත්, එහි අළුත්ම අවස්ථාවයි. තවත් පින්තූර ගණනාවක් තිබේ. දුමින්ද සිල්වාට උසස් පොලිස් නිලධාරියෙකු එකත්පස්ව සිට ආචාර කිරීම, ජනාධිපතිවරයාගේ පය පාමුල මර්වින් සිල්වා බිම වාඩි වී වැඳගෙන සිටීම, පොලූ මුගුරු රැුගත් මැරයන් කොළඹ පාරවල් ගානේ යකා නැටීම, ගිය සතියේ බොදුබල සේනා නායක භික්ෂුව තවත් භික්ෂුවකට අඩන්තේට්ටම් කරද්දී පොලීසිය උඩ බලාගෙන සිටීම ආදිය ඉන් සමහරකි.

ඊළඟට, මේ පින්තූර පළවීමෙන් පසු ඒවා ගැන බලධාරීන් කළ පැහැදිලි කිරීම් වෙත හැරීම යෙහෙකි. උදාහරණයක් වශයෙන්, පොලූ මුගුරු රැුගත් මැරයන් සම්බන්ධයෙන් පොලිස් ප‍්‍රකාශකයෙකු එදා කීවේ කෙනෙකුට අතින් මුගුරක් ගෙන පාරේ යාමට නිදහසක් තිබෙන බවයි. බොදුබල සේනා නායක භික්ෂුව තවත් භික්ෂුවකට ප‍්‍රසිද්ධියේ නින්දා අපහාස කොට තර්ජනය කිරීම ගැන ඔහුව අත්අඩංගුවට නොගත්තේ මන්දැ යි ඇසූ විට පොලිසිය කීවේ, ආගමික සහ වාර්ගික සහජීවනයට එවැන්නක් හානිකර විය හැකි බැවින් එසේ නොකළ බවයි. පසුගිය දා හම්බන්තොට නගරංපතිවරයාගේ අතේ තිබී ඇත්තේ, සෙල්ලම් පිස්තෝලයකි. එය ද, විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේම ජීවිත ආරක්ෂා කිරීමටයි.

මේ සියල්ල එකට ගත් විට, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා මුළු ශ‍්‍ර‍්‍රී ලංකාවම රාජපක්ෂ පවුලේ කෙළිමඩලක් බවට පත්ව ඇති තරම දෘෂ්‍යමානව කියාපායි. හම්බන්තොටට නගරංපතිවරයෙකු පත්කරගෙන තිබෙන්නේ, නාමල් රාජපක්ෂ නැමැති තරුණ මන්ත‍්‍රීවරයාගේ උපදෙස් පිට, පිස්තෝලයක් උරුක් කරගෙන විපක්ෂ මන්ත‍්‍රීවරුන් පස්සේ පැන්නීමට ය. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකයෙකු පත්කර සිටින්නේ, සිළුමිණ/දිනමිණ පත්තරේ සුපුරුදු ආණ්ඩුවේ ප‍්‍රවෘත්ති, රූපවාහිනී කැමරාවක් ඉදිරියේ කියැවීමට ය.

පොඩි කාලේ අප දමන සෙල්ලම් ගෙවල් සහ මේ සෙල්ලම් ගෙය අතර එක වෙනසක් මිස අන් වෙනසක් නැත. මගුල් ගෙයක් සෙල්ලමට විෂය වෙද්දී, මනාලයා, මනාලිය සහ නෑදැයන් යන සියලූ දෙනා තමන් එකී අයවළුන් නොවන බව හොඳින්ම දනිති. එහෙත්, ෆැන්ටසිය තුළ, එම දැනුම සෙල්ලමට බාධාවක් නොවේ. තමන් කියන්නේ අතේ පැළවෙන බොරුවක් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක හොඳින් දනී. එය ඔහුට අදාළ නැත. තමා දණ ගසා සිටින්නේ ජනාධිපතිවරයාගේ අසීමිත බලය ඉදිරියේ මිස, මහින්ද රාජපක්ෂ නැමැති පැරණි මිත‍්‍රයාගේ පාමුළ නොවන බව මර්වින් සිල්වා දනී. එය ඔහුට අදාළ නැත.

කෙසේ වෙතත්, පුංචි කාලේ කිසි සෙල්ලම් ගේකට වැද්ද ගන්නට එදා වැඩිහිටියන් අපට ඉඩ නොදුන් එක දෙයක් තිබුණි. එනම් ගින්දරයි. අපේ ඒ අහිංසක පුංචි සෙල්ලම් ගෙවල්වලින් රාජපක්ෂලාගේ වර්තමාන සෙල්ලම් ගෙය බියකරු ලෙසින් වෙනස් වන්නේ එතැන දී ය. කිසි සෙල්ලමකට ගින්දර නොගන්නැ යි කියන්නට වැඩිහිටියන් අද නැත. ඒ තරමට ලංකාව, ළමා සමාජයක් වී ඇත.

බොදුබල සේනාව ගින්දරක් බව එකපැහැර අවබෝධ විය යුත්තේ, අන්‍යාගමිකයන්ට කලින්, බෞද්ධයන්ට ය. මන්ද යත්, අනිත් සෑම ආගමකටම වඩා, අවිහිංසාව, ගැඹුරු දර්ශනයක් වශයෙන් විරාජමාන කොට ඇත්තේ එම ආගමම වන බැවිනි. එහෙත්, ගවයාගේ ජීවිතය වෙනුවෙන් ගිනි තියාගන්නා භික්ෂූන් මිස, සමස්ත සාසනයේත්, මිනිස් සමාජයේත් සාමය සඳහා වෛරය වැපිරීමෙන් වැළැකී සිටින්නැ යි බොදුබල සේනා භික්ෂූන්ගෙන් ඉල්ලා සිටින්ට හයියක් ඇති වැඩිහිටි භික්ෂූන් අද විරල ය. ගිහි සමාජය ළමා සමාජයක් වී ඇති සේම, පැවිදි සමාජයත් සාමනේර සමාජයක් බවට පත්ව ඇති සැටියෙකි.

හම්බන්තොට නගරංපතිවරයා පිස්තෝලයක් අතින් ගෙන ඉදිරියට එද්දී, තමා කැමරාවට හසුවන බව නොදැන සිටියා නොවේ. ඇත්තෙන්ම, ඔහු එසේ එන්නේම, කැමරාවට මුහුණදීමට ය. මෙය අප තේරුම්ගත යුත්තේ කෙසේද?

හදිසි කෝපයකින් හෝ පිස්සුවකින් ක‍්‍රියා කරන්නෙකු මිස, කිසි අපරාධකරුවෙකු තමන්ගේ අපරාධය හෙළි වීමේ ඉඩකඩ අවම කර ගැනීමක් ගැන නොසිතා වැඩකට බහින්නේ නැත. අපරාධය හසු වුණොත්, එයින් ගැලවීමට අවශ්‍ය කරන උපරිම ප‍්‍රතිතර්ක සකසා ගැනීමට කෙනෙක් එහි දී වෙහෙසෙයි. එසේ වන්නේ, අපරාධයට දඬුවමක් ඇති බව හොඳින්ම දන්නා බැවිනි. එහෙත්, යම් හෙයකින් තමාගේ අපරාධයට දඬුවමක් නැති බව කෙනෙකු කල්තියා දන්නේ නම්, අර කී අරපරෙස්සම ඔහුගෙන් ගිලිහෙයි. එවිට, අපරාධයෙන් ගැලවීමේ පිළිගත හැකි ප‍්‍රතිතර්ක ඔහුට අවශ්‍ය නැත. හම්බන්තොට නගරංපතිවරයාගේ මනෝකායේ එක අංගයක් වන්නේ එයයි. එය අප හඳුන්වන්නේ ‘දණ්ඩමුක්ති සංස්කෘතියක්’, හෙවත් තමන්ගේ ඇෙඟ් මවිලකටවත් හානියක් නොවී වැරදි කිරීමට කෙනෙකුට ඇති හැකියාවක් වශයෙනි.

දෙවැන්න, එම කාසියේම අනිත් පැත්ත ය. ඔහුට අවශ්‍ය කරන්නේ එවැන්නක් කිසිවෙකුට නොපෙනෙන සේ හොරෙන් කිරීම නොව, යමෙකුට පෙනෙන සේ ප‍්‍රසිද්ධියේ කිරීමයි. කාට පෙනෙන ලෙසින් ද? තමාගේ අභිවෘද්ධිය සලසන අදාළ හාම්පුතුන්ට පෙනෙන ලෙසිනි. අතින් පිස්තෝලයක් ගෙන තමා ඉදිරියට එන දර්ශනය නරඹන නාමල් රාජපක්ෂ හෝ වෙනත් රාජපක්ෂ කෙනෙකුගෙන් මොන තරම් ලකුණු ප‍්‍රමාණයක් තමන්ට වැටෙන්නේ දැ යි ඔහු දනී. එනිසා ඔහුට මේ අපරාධය කිරීමට අවශ්‍ය කරන්නේ, රහසින් නොව, ප‍්‍රසිද්ධියේම ය.

දැන්, එක පැත්තකින් පොලිසිය සහ අධිකරණය තමාගේ පැත්තේ බව, හෙවත් තමා දණ්ඩමුක්තිලාභියෙකු බව හම්බන්තොට නගරංපතිවරයා දනී. ඊළඟට, මේ වීර කි‍්‍රයාවට යම් දවසක අදාළ බලධාරීන්ගෙන් ප‍්‍රතිලාභ ලැබෙන බවත් ඔහු දනී. එය ඔහු ඉගෙන ගත්තේ, මර්වින් සිල්වා සහ ගාල්ලේ මුතුහෙට්ටිගේ වැන්නන්ගෙනි. ශිෂ්ට රටක හිරේ යන වැඩ ලංකාවේ කළ විට පාර තැනෙන්නේ, පාර්ලිමේන්නුව සහ කැබිනට් මණ්ඩලය වැනි බල කේන්ද්‍රයට බව, මෙවැනි අයවළුන් ඓතිහාසිකව පෙන්නා දී තිබේ.

18 වැනි ව්‍යවස්ථා සංශෝධනය යනු මේ සමස්තයයි. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයාගේ සිට අගමැතිවරයා දක්වාත්, පොලිස් කොස්තාපල්වරයාගේ සිට අගවිනිසුරුවරයා දක්වා වන සියල්ලන්ගේමත් අවසාන තීරකයා වන්නේ එක පුද්ගලයෙකි. සෙල්ලම් ගෙදර රෙගුලාසි, වෙන කිසිවෙකුගේ නොව, ඔහුගේ ය. කොටින්ම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවමත් ඔහුගේ ය.

ඒ සෙල්ලමට දෘෂ්ටිවාදය සපයන තවත් සෙල්ලමක් තිබේ.

පසුගිය දවසක සතිඅන්ත ඉංග‍්‍රීසි පත්තරයක, දීර්ඝ අඥාත ලිපියක් පළ විය. ඒ මගින් බොදුබල සේනා භික්ෂූන්ව පතුරු ගසා තිබුණි. බුදුන් වහන්සේගේ ධර්මයටත්, ලංකාවේ ආගමික සහජීවනයටත් මෙවැනි ව්‍යාපාර මගින් ඇති කෙරෙන විනාශය එම නිර්නාමික ලේඛකයා අගේට පෙන්වා දී තිබුණි. එහෙත් ඒ සියලූ විවේචන ඔහු/ඇය ගොනු කෙළේ, බොදුබල සේනා ව්‍යාපාරය ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක බළල් අතක් බව පෙන්වා දීමටයි. ඔහුගේ/ඇගේ එම නිගමනය අප හඳුනාගත යුත්තේ රාජපක්ෂ චින්තනයෙන් උපදින්නක් වශයෙනි. රටේ සිදුවෙමින් ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සෝදාපාළුව ගැන කතා කිරීම, කෙලින්ම, ‘අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක්’ බව, රාජ්‍ය නායකයා මේ මෑතක දී රවුෆ් හකීම්ට කියා දී තිබුණි. බොදුබල සේනා ගැන කෙරුණු ඉහත සඳහන් නිර්නාමික විවේචනය තුළ කිසි තැනක ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් නැත. බොදුබල සේනා ප‍්‍රචණ්ඩත්වය ඉදිරියේ ශීල සමාධියෙන් සිටින පොලීසිය ගැන වචනයක්වත් එහි සඳහන් නැත.

ඉහත ලේඛනයේ තර්ක ක‍්‍රමය අනුව, එය ඇත්තෙන්ම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් නම්, එය ඉතා පහසුවෙන් ව්‍යර්ථ කළ හැකි සිල්ලර කර්තව්‍යයක් බවත් ඔප්පු වන සැටි ඔහුගේ/ඇගේ පුංචි මොළයට නොවැටහෙයි. ගලගොඩඅත්තේ ඥානසාර නැමැති භික්ෂුව පසුපස සිටින්නේ ජාත්‍යන්තරය නම්, එම ජාත්‍යන්තරය හෙළිදරව් කරගත හැකි පහසුම මාර්ගය වන්නේ, එම භික්ෂුව අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීම බව, සාමාන්‍ය පොලිස් කොස්තාපල්වරයෙකුගෙන් වුවත් අසා දැනගන්ට තිබුණි. එහෙත්, මේ වන තෙක්, රාජපක්ෂ ආණ්ඩුවේ කිසි නායකයෙකු හෝ කිසි ආයතනයක් එම භික්ෂුවට අතක් තබා නොතිබීම මගින් පෙන්නුම් කරන්නේ, මේ කියන ‘ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයේ’ ඇති ‘ජාතික ස්වභාවය’ යි. ඒ ‘ජාතිය’ මෙහෙයවන්නේ, බරක් ඔබාමා හෝ ඇන්ජලා මර්කෙල් නොව, මහින්ද-ගෝඨාභය-බැසිල්-චමල්-නාමල් රාජපක්ෂ ය.

Back to Home page