Colombo Telegraph

පොලිස් රාජ්‍යයක සහ ආගමික රාජ්‍යයක අඩුවැඩිය

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

රටක්, එක විට පොලිස් රාජ්‍යයක් ද ආගමික රාජ්‍යයක් ද වන්නේ කෙසේ දැයි ප‍්‍රශ්නයක් පැන නගී. පොලිස් රාජ්‍යයක් නිසගයෙන්ම මර්දනකාරී විය යුතුය. පීඩාකාරී විය යුතුය. එවැනි රටක මිනිසුන්ට සැබෑ නිදහසක් නැත. අනිත් අතට, සෑම ආගමකම නිෂ්ඨාව ආධ්‍යාත්මික විමුක්තිය වන හෙයින් ආගමික රාජ්‍යයක් තිබිය යුත්තේ පොලිස් රාජ්‍යයකට පසමිතුරු පැත්තේය. උදාහරණයක් වශයෙන් දසරාජ ධර්මයෙන් පාලනය කෙරෙන කල්පිත බෞද්ධ රාජ්‍යයක් තුළ පොලිස් රාජ්‍යයක අංශුමාත‍්‍රයක්වත් තිබිය නොහේ.

එවැනි ධර්ම රාජ්‍යයන් සමහර විට අතීතයේ දී තිබෙන්නට ඇත. එදා රාජ්‍යය යන්න, අද අර්ථයෙන් ගත් විට, ඉතා සරළ සහ ප‍්‍රාථමික ද වන, බොහෝ කොට ප‍්‍රාදේශීය සීමාවන්ට යටත් කෘෂිකාර්මික සංස්ථාවන් වීම ඊට හේතු වන්නට ඇති. එහෙත් අද අප රාජ්‍යයක් යනුවෙන් කතා කරන විට සැලකිල්ලට ගැනෙන්නේ ඊට වඩා හැම අතකින්ම සංකීර්ණ සහ මර්දනකාරී ආයතනයකි. මේ නිසා සැබෑ ආගමික හරය සහ රාජ්‍යයක සැබෑ අවශ්‍යතා අතර අනිවාර්ය නොපෑහීමක් නිතැතින්ම ඇති වන්නේය.

සමකාලීන ආගමික රාජ්‍යයන් දෙස බලන විට ඒ සෑම රාජ්‍යයක්ම පොලිස් රාජ්‍යයක් තරමටම මර්දනකාරී ය. ප‍්‍රතිගාමී ය. සමහර විට පොලිස් රාජ්‍යයකටත් වඩා තිර්ශ්චීන වී ඇත. උදාහරණයක් වශයෙන්, මීට කලකට පෙර පැවති ඇෆ්ගනිස්ථානය දැක්විය හැකිය. එවැනි රටක විද්‍යාව උගෙනීමත් අපරාධයක් සේ සැළකිණ. මෑත කාලයේ ඇති වූ එවැනි රාජ්‍යයන්ගේ අයහපත් ක‍්‍රියාකලාපයෙන් සැබෑ ඉස්ලාම් ආගම වෙන් කර ගැනීම සඳහා, එවැනි රාජ්‍යයන් ‘මූලධර්මවාදී’ රාජ්‍යයන් වශයෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙයි.

‘මූලධර්මවාදයක්’ යනු, ඓතිහාසික මිනිස් විකාශනයන් නොතකා, හැකි තාක් පටු අරුතකින් ආගමේ ආදී මූලයන් හෝ එවැනි මූලයන් යැයි විශ්වාස කරන අරටු වෙත යාමට ගන්නා සාහසික උත්සාහයකි. හැම විටකම එය ප‍්‍රචණ්ඩ වෙයි. නාස්තික වෙයි. එවැනි අවස්ථාවක සිදුවන්නේ, කල්පිත ආගමික පාරිශුද්ධත්වයක් පතා හුදු මිනිස් පැවැත්මම අනතුරේ හෙලීමයි.

එහෙත් අද ලංකාවේ සමාජ දේහය හතර අතින් ආක‍්‍රමණය කරමින් තිබෙන නූතන ආගමික ආයාසය, ඒ අර්ථයේ මූලධර්මවාදී එකක් නොවේ. එය නියෝජනය කරන්නේ මූලධර්මවාදයේ ප‍්‍රතිපාර්ශ්වයයි. උදාහරණයක් වශයෙන්, සියලූ සතුන් කෙරෙහි මෙත් වැඞීම නම් වූ බුදුරදුන්ගේ මූලධර්මය, සිංහලයා වෙනුවෙන් වෙනත් ඕනෑම ජාතියකට වෛර කිරීම ‘බෞද්ධාගමික වගකීමක්’ වත තත්වයට වර්ධනය කොට තිබීම දැක්විය හැකිය. තවත් විදිහකින් කිවහොත්, වාර්ගික සමාජ අවශ්‍යතාවක් පිරිමසා ගැනීම සඳහා ආගමේ සකල ලෝකෝත්තර සහ ලෞකික පරමාර්ථ, කණපිට හරවමින් බුදුරාජාණන් වහන්සේව මේ වන විට ලංකා භූමිය තුළ ඔලූවෙන් සිටුවා තැබෙන දුශ්ශීල ව්‍යාපාරය දැක්විය හැකිය.

මුස්ලිම් වේවා, ක‍්‍රිස්තියානි හෝ යුදෙව් වේවා, හින්දු හෝ බෞද්ධ වේවා, කිසි ආගමකට රාජ්‍ය යාන්ත‍්‍රණයක් තුළ සැබෑ ශාස්තෘවරයාගේ ධර්මයක් වශයෙන් පැවතිය නොහැකි නිසා, ඕනෑම ආගමක් රාජ්‍යයේ මෙවලමක් වන විට, එම ආගමේ හරය අරටුවෙන් කුණු වීමට පටන් ගනී. මෙය, මුස්ලිම් මූලධර්මයට වාගේම, පශ්චාත්=නූතන චන්ඩි බුද්ධාගමටත් එක සේ බලපාන සත්‍යයකි.

පසුගිය සෙනසුරාදා නාරාහේන්පිට සිට අළුත්ගම දක්වා යන සාම මෝටර් සයිකල් සවාරියක් එක්සත් සමාජවාදි පක්ෂය විසින් සංවිධානය කෙරුණි. එහි පරමාර්ථය වුණේ, සියලූ ජාතීන් සහ සියලූ ආගමිකයන් අතර සහජීවනය අවධාරණය කරමින්, මෑතක දී පීඩාවට පත් අළුත්ගම මුස්ලිම් ජනතාව කෙරෙහි වන ස්වකීය සහෝදරත්වය ප‍්‍රකාශ කිරීමයි. එහෙත් පොලීසිය එය අතරමගදී නතර කෙළේය. ලංකාවේ පොලීසිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී මහජන විරෝධතා සම්බන්ධයෙන් අධිසංවේදී වීම දැන් කාලයක සිට දකින්නට ලැබෙන තත්වයකි. අනිත් පැත්තෙන්, ප‍්‍රචණ්ඩකාරී සහ අන්තවාදී සංවිධාන ඉදිරියේ එම පොලීසියම අසංවේදී වීමත්, හීලෑ වීමත් දකින්ට ලැබේ. මහ පාරේ පොලූ මුගුරු අතින් ගත් මැරයන් දෙස පොලීසිය කට ඇරගෙන බලා සිටින සැටි අප දැක තිබේ. එසේ සිටියේ ඕනෑම කෙනෙකුට පොල්ලක් අතින් ගෙන මහ පාරේ යෑමට අයිතියක් ඇති නිසා යැයි පසු අවස්ථාවක පොලිස් ප‍්‍රකාශකයා කියනු ද අප අසා තිබේ.

මෙහි දී වැදගත් වන්නේ පොලීසිය එය නතර කෙළේ ඇයි ද යන්නම නොවේ, පොලිස් රාජ්‍යයක සාමාන්‍ය ස්වභාවය එයයි. එහෙත් නාරාහේන්පිට සිට එතරම් දුරක්වත් එවැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගමනක් ඒමට ඉඩ හැරියේ මන්දැ යි බෞද්ධ භික්ෂූන් විසින් පොලීසියෙන් ප‍්‍රශ්න කරනු ලැබීමත්, එම භික්ෂූන් විසින්ම අර පෙලපාලිකරුවන්ට අඩන්තේට්ටම් කිරීමට කැසකවන දර්ශනත් හරහා අපව ගෙන යනු ලබන්නේ වෙනත් මානයකට ය.

මීට දශකයකට හෝ දෙකකට පෙර ඔබට භික්ෂූන් වහන්සේලාව දකින්ට ලැබුණේ, මොන ස්ථානවලදී ද, මොන අවස්ථාවලදී ද? පන්සලේදී, පිරිවෙණේදී, ශීල ව්‍යාපාරයකදී, පෙරහැරකදී, ජාතික උත්සවයකදී සහ මළගමකදී ආදී වශයෙන් එම ස්ථාන සහ අවස්ථා අපේ මතකයට නැගේ. එහෙත් අද රූපවාහිනියක් ඉදිරියේ වාඩි වී සිටියොත් අඩු වශයෙන් සතියකට එක වරක්වත්, ප‍්‍රචණ්ඩකාරී භික්ෂුවක් ඔබට දැක ගත හැකි වනු ඇත. ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවගේ ඉරියව් සහ භාෂණය ඔබට කියාපාන්නේ කුමක් ද? සිවුරු ගලවාගෙන මහ පාරේ රණ්ඩු කරන භික්ෂූන් ගැන ඔබට සිතෙන්නේ කුමක් ද? අහවල් දේවල් තහනම් කළ යුතු යැයි කියා රාජ්‍ය අමාත්‍යාංශ හෝ දෙපාර්තමේන්තු ඇතුළට ගොස් වාඩිලා ගෙන ඉන්නා භික්ෂූන් දකින විට ඔබට සිතෙන්නේ කුමක් ද?

මීට සමගාමීව රටේ සිවිල් ක‍්‍රියාකාරකම් අඩාල කරන සහ වෙනස් මතයකට ඉඩක් තිබිය හැකි වෙනත් ඕනෑම සිවිල් අවකාශයක් අහුරන රාජ්‍ය මැදිහත් වීමක් අද හැම පැත්තකින්ම අපට දකින්නට ලැබේ.

උතුරේ තත්වය ගත්තොත් ඒ අතින් ඉතාම භයානක ය. යාපනේ පවුලක මගුලක් තුලාවක් සඳහාවත් පිරිසක් රැුස්වුණොත් එය හමුදාවේ හෝ පොලීසියේ සෝදිසි කිරීම්වලට ලක්වීම බොහෝ විට අපට අසන්නට ලැබේ. උතුරේ මාධ්‍යවේදීන් පිරිසක් වැඩමුලූවක් සඳහා රැුස් කැරැුවූ අවස්ථාවේ හමුදාව සහ පොලීසිය එම අවස්ථාව කඩාකප්පල් කළ අවස්ථාවක පසුගිය දවසක අසන්නට ලැබුණි. අනතුරුව එම මාධ්‍යවේදීන්ව කොළඹට ගෙනැවිත් එදා ? කොළඹ හෝටලයක නතර කොට තැබීම පවා රාජ්‍ය හස්තයේ මැදිහත් වීමෙන් නතර කෙරුණි. තරු පහේ පෞද්ගලික හෝටලයක මුදල් ගෙවා වෙන් කරවාගෙන ඇති කාමරයකින් මැදියම් රැුයක කෙනෙකු එළියට දැමිය හැක්කේ කෙසේද? මේ කියන මාධ්‍යවේදීන් පිරිසට එදා සිදුවූයේ ඒ අකරතැබ්බයි. රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය අතර තිබිය යුතු ව්‍යාපාරික වෙනස පවා අද වන විට අහෝසි වී ඇති තත්වයක් එයින් පෙන්නුම් කරයි.

පොලිස් රාජ්‍යයක තිබෙන ඕනෑම පෞද්ගලික ව්‍යවසායකත්වයක් ආරක්ෂක අංශ සමග සමීපව කටයුතු කිරීමට බැඳී සිටින්නේය. තරු පහේ පෞද්ගලික හෝටලයක් පමණක් නොව, පෞද්ගලික මාධ්‍ය ආයතන පවා අද වන විට, අනියම් සහ නොනිල ආකාරයෙන්, පොලිස් රාජ්‍යයක අවශ්‍යතා සමග ගැට ගැසෙමින් තිබේ. පෞද්ගලික රූපවාහිනී නාලිකා සඳහා ලබා දී ඇති විකාශන බලපත‍්‍රය සෑම අවුරුද්දක් අවසානයේම රාජ්‍ය අංශයෙන් අළුත් කරවා ගැනීම අනිවාර්ය කොන්දේසියක් වී ඇති විට, එම රූපවාහිනී නාලිකාව රාජ්‍යයේ අභිමතයට යටත්ව කටයුතු කරන ආයතනයක් වෙනවා මිස, ජනතා සුභ සිද්ධියක් සඳහා කටයුතු කරන ආයතනයක් වන්නේ කෙසේද?

ප‍්‍රසිද්ධ රැුස්වීමක් හෝ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් කැඳවන ඕනෑම පෞද්ගලික ස්ථානයක් එම කටයුත්ත සිදුකිරීමෙන් අවසාන මොහොතේ දී වැළැක්වීමට මේ පාලකයන්ට අද පුලූවන. සම්මුඛ සාකච්ඡුා සහ සම්මන්ත‍්‍රණ පැවැත්වෙන ස්ථාන කල් තියා දැනුම් නොදී, හැකි තාක් රාජ්‍ය බලධාරීන්ගෙන් වසංව පැවැත්වීමට ඇතැම් සිවිල් සංවිධාන සහ සිවිල් ක‍්‍රියාධරයන්ට අද සිදුව තිබීමෙන් පෙනී යන්නේ, රාජපක්ෂ පාලනය මොන තරම් දරුණු ආකාරයෙන් සිවිල් අවකාශය ආක‍්‍රමණය කරමින් සිටි ද යන්නයි. තවත් අවස්ථාවක, මෙම කාර්යයම පොලීසියේ සහ හමුදාවේ මැදිහත් වීමකින් තොරව, බොදුබල සේනාව හෝ වෙනත් එවැනි ආගමික කල්ලියක් හරහා ඉටු කරවා ගත් අවස්ථා ද අප දැක තිබේ.

මේ සියල්ලෙන් පෙනී යන්නේ, එක පැත්තකින් සංඝයා වහන්සේලා ලවා සෙසු ආගමිකයන් සහ ජාතීන් බිය ගැන්වීමේ සහ අඩන්තේට්ටමට ලක්කිරීමේ වැඩ පිළිවෙලක් දියත් කෙරෙන අතර අනිත් පැත්තෙන්, හමුදාව සහ පොලීසිය යොදවා, උතුරේ පමණක් නොව, දකුණේ මහජාතියේ පවා සිවිල් ක‍්‍රියාකාරීත්වය අඩාල කිරීමට ගන්නා නිහීන වෑයමකි.

Back to Home page