Colombo Telegraph

‘පොදු අපේක්ෂකත්වය’ සහ ‘තනි කාරණය’ ගැන සළකා බැලිය යුතු කරුණු කිහිපයක්

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම යන ‘තනි කාරණය’ මුල් කරගෙන, එය ජයග‍්‍රහණය කැරැුවීම සඳහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම යන්නෙන් අදහස් වන්නේ, එම ‘තනි කාරණය’ දැනට සිටින ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විසින් පිළිනොගන්නා තත්වයක් තුළ පමණක් ඇති විය හැකි සටනක් වන බවයි. එනම්, එම ‘තනි කාරණය’ දැනට සිටින ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව පිළිගන්නේ නම්, ‘පොදු අපේක්ෂකයෙකු’ ඉදිරිපත් කිරීම පිළිබඳ ප‍්‍රශ්නයක්, මාදුළුවාවේ හිමියන්ගේ කතිකාව තුළ පැන නොනගින බවයි. මේ නිසා අපේ සාකච්ඡුාවට ප‍්‍රස්තුත වන්නේ, දෙවැනුව කී ශක්‍යතාව නොව, පළමුව කී ශක්‍යතාවයි. එනම් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීම තුළ ඇති වන තත්වයයි.

‘තනි කාරණයක්’ පිළිබඳ යොමුවත්, ‘පොදු අපේක්ෂකත්වය’ පිළිබඳ ප‍්‍රවාදයත් එකිනෙකට සම්බන්ධයි. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අභිවෘද්ධියට අවශ්‍ය කරන අත්‍යාවශ්‍ය පියවර වර්තමාන පාලනය විසින් නොගනිතියි යන මූලික විශ්වාසය, මේ කාරණා දෙකම පසුපස ඇති ප‍්‍රධාන තර්කණයයි.

ඒ නිසා එම පාලනය පරාජය කළ යුතුව ඇත. ඒ ගැන විවාදයක් නැත.

එහෙත්, පවතින වාතාවරණය එවැනි පරාජය කිරීමකට උපස්ථම්භක විය නොහැකිය යන පිළිගැනීම මත, උපරිම ජනතා මෙහෙයුමක අවශ්‍යතාව මතු වෙයි. ඒ සඳහා, වෙන වෙනම පක්ෂ වශයෙන් නොව, සමස්ත විපක්ෂයේ සන්ධානයක් අවශ්‍ය කරන්නේය. ‘පොදු අපේක්ෂකත්වය’ පිළිබඳ අදහස බිහි වන්නේ එලෙසිනි. 1978 මේ ව්‍යවස්ථාව ඇති කර ගත් දා සිට ගත වූ අවුරුදු 36 ක කාලය තුළ, බලයේ සිටි කිසි ජනාධිපතිවරයෙකුව ඡුන්දයකින් පරාජය කිරීමට මෙතෙක් හැකි වී නැත. හිටපු පාලකයෙකු නොව, පාලක පක්ෂයක් බලයෙන් පහ කළ හැකි වුයේ ද එක වරක් (1994) පමණි. එය ද, තනි පක්ෂයක් වශයෙන් නොව, සන්ධානයක් වශයෙනි.

එසේම, උපරිම ඉල්ලීම් හරහා ‘පොදු අපේක්ෂකත්වයක්’ ගොඩනැගිය නොහැක. උදාහරණයක් විදිහට, ජාතික ප‍්‍රශ්නය පිළිබඳ විසඳුම් මේ න්‍යාය පත‍්‍රයට ගත්තොත්, මහින්ද-විරෝධී සියලූ පාර්ශ්වවල සහයෝගය ඊට නොලැබෙන්ට පුලූවන. ඒ නිසා, ප‍්‍රතිපත්තිමය අවමයක රැුඳීමට ‘පොදු අපේක්ෂකත්වයකට’ බල කෙරේ. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම යන ‘තනි කාරණය’ එම අවමයයි.

මේ අනුව සළකන විට නිරීක්ෂණය කළ හැකි දෑ මෙසේය: අදාළ ජාතික අවශ්‍යතාවක් (උදා, යහපාලනය/ප‍්‍රජාතන්ත‍්‍රවාදය) සඳහා වන ප‍්‍රථම අදියරක් වශයෙන් ගැනෙන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා ආණ්ඩු වෙනසක් අවශ්‍ය කෙරේ. ඒ වෙනස සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය පුළුල් ජනමතය ලබා ගැනීමට, ඉහත කී ජාතික අවශ්‍යතාවයේ විශාල පදාසයක් ජනතාවට ඉදිරිපත් නොකොට, තනි කාරණයකට ඔවුන්ගේ අවධානය කොටු කළ යුතුව තිබේ. සාමාන්‍ය ස්වභාවයේ ජනාධිපතිවරණයක්, එනම්, අවුරුදු හයක කාලයක් දිවෙන ජනාධිපතිවරණයක් සම්බන්ධයෙන් මෙවැනි ප‍්‍රවේශයක් අනුගමනය කිරීම රැුවටිල්ලක් බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත්, ‘පොදු අපේක්ෂකත්වය’ සහ ‘තනි කාරණය’ පිළිබඳ සංවාදය, මාස හයක අන්තර්වාර සීමාවකට යටත් වෙති යි කියන හෙයින්, ජාතික අවශ්‍යතාවයේ පුළුල් ඉවුරු ස්පර්ශ නොකිරීම, එකහෙලා ජනතාව රැුවටීමකැ යි ගත යුතු නැත. මේ නිසා, ‘පොදු අපේක්ෂකත්වයේ’ අන්තර්-කාලීන අරමුණ සහ ඒ වෙත යෑමට යෝජිත අර්ධ-ප‍්‍රතිපත්තිමය රාමුව පිළිබඳ බරපතල ප‍්‍රශ්නයක්, ඉහත කී කොන්දේසි යටතේ, මතු නොවෙයි.

එහෙත් ‘පොදු අපේක්ෂකත්වය’ හෝ ‘තනි කාරණය’ සඳහා යෝජිත මාර්ග සිතියම තුළ ඇති අවුල එයින් විසඳෙන්නේ නැත. මන්ද යත්, මාර්ග සිතියම මූලික වශයෙන් පදනම් වන්නේ සහ එහි සාර්ථකත්වය රඳා පවතින්නේ, බරපතල අනුමිතීන් මත වීමයි. මාස හයක කාලයක් තුළ අපේක්ෂා කරන ඉරණම, හුදු අනුමිතියකට භාර දීම විශාල අනර්ථයකට පාර කැපිය හැකිය.

විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කළ හැක්කේ විධායකයට නොව, ව්‍යවස්ථාදායකයට බව මුලින්ම අප තේරුම්ගත යුතුය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡුන්යක් ලබාගත නොහැකි වෙතොත්, කිසි ප‍්‍රතිසංස්කරණයක් කළ නොහැකිය. බලයට පත්වන පොදු අපෙක්ෂකයා/අපේක්ෂිකාව ගනුදෙනු කරන්නේ වර්තමාන පාර්ලිමේන්තුව සමග නම්, එවැනි තුනෙන් දෙකක් ලබා ගත හැකි වීමට වඩා ඉඩ ඇත්තේ නොහැකි වීමටයි. (එසේ නොවෙතියි කියන එකම සහතිකය, අප මිත‍්‍ර ජයම්පති වික‍්‍රමරත්න දෙන පෞද්ගලික සහතිකය පමණි). ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව එළැඹෙන ජනාධිපතිවරණයේ දී නියැලෙන සටන තුළ හැසිරෙන ආකාරය අනුව, නව ජනාධිපතිවරයෙකු/වරියක් යටතේ අදාළ සංශෝධනයට සහාය පළ කිරීම ඔවුන්ට තවත් දුෂ්කර වීමට ඉඩ ඇත. එහි දී නව ජනාධිපතිවරයාට/වරියට ගත හැකි එකම ක‍්‍රියා මාර්ගයකට තිබෙන්නේ එම පාර්ලිමේන්තුව විසුරුවා හැර අළුත් පාර්ලිමේන්නු මැතිවරණයක් කැඳවීමයි. එහිදීත්, අවශ්‍ය කරන තුනෙන් දෙකේ මන්ත‍්‍රීන් සංඛ්‍යාවක් අළුතෙන් ලබා ගත හැකි වෙතැ යි යන සහතිකය කුමක් ද? ඒ නිසා, මාස හයකට පත්වන තැනැත්තාට, ඉතිරි අවුරුදු පහ හමාරත් එම ධුරයේ රැුඳී සිටීමට සිදුවීමේ විශාල ඉඩකඩක් ඇති බව කෙනෙකු අමතක නොකළ යුතුය.

ඊළඟට, ‘පොදු අපේක්ෂකයා’ මැතිවරණයට ඉදිරිපත් කරන පොරොන්දුව නීතිමය ලියවිල්ලක් වශයෙන් ඉදිරිපත් කරතැ යි කියන කතාවෙන් අදහස් වන්නේ කුමක් ද? පාර්ලිමේන්තුවෙන් පිටස්තර පිරිසක් විසින් සකසන ලියවිල්ලක්, ව්‍යවස්ථා කෙටුම්පතක් වශයෙන් භාරගත හැකිද? උදාහරණයක් වශයෙන්, මේ ‘පොදු අපේක්ෂකත්වය’ සඳහා සන්ධානගත වන සියලූ පක්ෂවල නායකයන්ගේ අත්සනින් මේ කියන ලියවිල්ල සකස් වුණත්, එය පවතින පාර්ලිමේන්තුව හෝ වෙනත් පාර්ලිමේන්තුවක් භාරගත යුතු නීතිමය ලියවිල්ලක් වන්නේ කෙසේද? අනිත් අතට, ජනාධිපතිවරණයෙන් තේරී පත්වන අදාළ අපේක්ෂකයා/අපේක්ෂිකාව පවා එම ලියවිල්ලට ව්‍යවස්ථානුකූලව බැඳී සිටිය යුතු බව තහවුරු කිරීම සඳහා, අද පවතින ව්‍යවස්ථාව යටතේ ඇති නීතිමය ප‍්‍රතිපාදන කවරේද?

යම් හෙයකින් කරුණු එසේ සිදුවුණොත්, ‘තනි කාරණයක්’ සඳහා පමණක් පත්වු ජනාධිපතිවරයා/වරිය ඉදිරි කාලය සඳහා අනුගමනය කළ යුතු, රටේ පොදු ආර්ථික සහ දේශපාලනික වැඩපිළිවෙල කුමක් විය යුතු ද යන ප‍්‍රශ්නය ඊළඟට පැන නගී. අප නොදැනුවත්වම වැටෙන්ට ඉඩ ඇති බොරු වළක් බවට මේ කියන ‘තනි කාරණය’ පත්විය හැක්කේ එහිදී ය. භයානකම දේශපාලන සූදුව පටන්ගන්නේ එතැනිනි.

පොදු අපේක්ෂකත්වය ‘එක කාරණයකට’ සීමා කිරීම තුළ ඇති බරපතලම අවදානම වන්නේ, යම් හෙයකින් එම ජනාධිපතිවරණය ජය ගැනීමට පොදු අපේක්ෂක/අපේක්ෂිකාවට නොහැකි වුණොත්, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ සමස්ත දේශපාලනයම ජාතික වශයෙන් අවලංගු කාරණයක් බවට පත්වීමේ ඇති ඉඩකඩයි. ඒ ගැන මෙසේ සළකා බලමු. අදාළ අපේක්ෂකයා පරාජයට පත්වන්නේ, ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට පමණක් සීමා නොවුණු පුළුල් වැඩපිළිවෙලක් සඳහා මැතිවරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව නම්, ඔහුගේ/ඇගේ පරාජය විසින් නිශ්චිතව අවලංගු කරනු ලැබුවේ එහි කුමන අංගය හෝ අංගයන් දැ යි එකහෙලා දැන ගැනීමේ හැකියාවක් ඇත්තේ නැත. එහෙත් අනිත් අතට, ‘තනි කාරණයක්’ මත පමණක් ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ පරාජය නිසැකවම ඒ කියන කාරණය මහජනතාවගෙන් ප‍්‍රතික්ෂේප වීමක් වශයෙන් ගැනීමට සිදුවනු ඇත. අද සිටින මහින්ද රාජපක්ෂ, එකී ජයග‍්‍රහණයෙන් තවත් පන්නරය ලැබ, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් අතදරුවෙකු බවට පත්කරනවා නොඅනුමානයි.

එසේ නොවුණත්, අඩු වශයෙන් පවතින ක‍්‍රමය, තව අවුරුදු හයකට සුජාත කර ගැනීමේ දේශපාලනික සදාචාරයේ මහජන සහතිකය ඔහුට ලැබෙන්නේය. ඉතා සරළව කිවහොත්, මෙතෙක් කල් චන්ද්‍රිකාගේ පටන් මහින්ද දක්වා ජනාධිපතිවරුන් විධායක ජනාධිපති ක‍්‍රමය රසවින්දේ එය අහෝසි කරන බවට දුන් පොරොන්දුවක් තිබියදී වන අතර, මේ ජනාධිපතිවරණයෙන් පසුව පත්වන අළුත් මහින්ද රාජපක්ෂ, ප‍්‍රථම වතාවට, ජනතා කැමැත්තක් මතම එම ක‍්‍රමයේ රස විඳීමට තරම් වාසනාවන්තයෙකු වනු ඇත.

‘තනි කාරණය’ පිළිබඳ ප‍්‍රවාදය තුළ එකී බොරු වළවල් ඇතත්, ‘පොදු අපේක්ෂකත්වය’ අතහැර දැමීමට ඉහත කී කරුණු හේතුවක් විය යුතු නැත. අවශ්‍ය කරන්නේ, පොදු අපේක්ෂකත්වයේ ප‍්‍රමිතීන් සහ පරාසයන් වෙනස් කර ගනිමින්, ඒ සූදූව යම් හෙයකින් පරාජය වුණොත් අත්විඳීමට ඉඩ ඇති දීර්ඝ කාලීන ප‍්‍රතිවිපාක අවම කර ගැනීමේ අවකාශයන් ගැන ද සිතා බැලීමයි.

Back to Home page