Colombo Telegraph

රටක් හමුදාකරණය වීම යනු කුමක්ද?

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

මට වයස 20 ක් වන තෙක්, හමුදා නිල ඇඳුම් ලා ගත් සොල්දාදුවන් මහ පාරේදී දැක ඇත්තේ දෙතුන් වරක් පමණි. යම් දීර්ඝ කාලයක් තිස්සේ එම දර්ශනය පළමු වරට දකින්ට ලැබුණේ 1971 දී ය. ඊළඟට, උතුරේ යුද්ධයත්, දකුණේ භීෂණයත් සමග මේ හමුදා නිල ඇඳුමට අපි දෛනිකව හුරු වීමු.

ඉස්සරට වඩා දැන් වැඩි වැඩියෙන් පාරතොටේ සිවුරු දකින්ට ලැබේ. ඒ, සංඝ සාසනයේ සංඛ්‍යාත්මක වර්ධනයක් නිසා නොව, සංඝයා වහන්සේලා ගිහියන් බවට පත්වීමේ අධි-වේගය නිසා ය. ඒ නිසා, මේ සිවුරු දර්ශනයට සමපාත වන සිල්වත් බවක් හෝ සදාචාරයක් රටේ පෙනෙන්ට නැත. එහෙත්, වැඩි වැඩියෙන් හමුදා නිල ඇඳුම් පෙනෙන තරමට සමස්ත සමාජ මනෝ භාවයේ පමණක් නොව, සමාජයීය සහ දේශපාලනික වශයෙන් බලය හැසිරවෙන බල මර්මස්ථානවල ද ගුණාත්මක වෙනසක්, අප නොදැනුවත්වම සිදුවෙමින් ඇති බව දත යුතුය.

මීට වසර දහයකට පෙර ‘නාගරික සංවර්ධන අමාත්‍යාංශය’ යැයි කී විට ඔබට යම් අදහසක් ඇති වී ද? සමහර විට, මංසන්ධිවල වටරවුම් හැඩවැඩ කිරීම, ප‍්‍රධාන මංසන්ධිවල යෝධ ඔරලෝසු කණු ඉදිකිරීම, පාරවල් පළල් කිරීම ආදිය එදා අපේ හිත්වලට නැගුණු ඒ ආශ‍්‍රිත ප‍්‍රධාන සංඥාවන් ය. අද මේ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට ගමන් සගයෙකු එක් වී ඇත. ඒ ආරක්ෂක අමාත්‍යාංශයයි. අද ‘නාගරික සංවර්ධන සහ ආරක්ෂක අමාත්‍යාංශය’ යැයි කී විට ඔබේ හිතේ ඇති වන්නේ කුමන සංඥාවක් ද? එදා මංසන්ධියක ඔරලෝසු කණුව කියාපෑවේ වෙලාව පමණි. එය ද, බොහෝ විට ඊට කලකට පෙර නතර වූ වෙලාවකි. එහෙත් අද නාගරික සංවර්ධනය හරහා ගෙවල් දොරවල් කැඩෙන විට සහ ඉඩම් අත්පත් කරගන්නා විට සිවිල් වැසියාගේ ඇඟට දැනෙන රුදුරු බලය, අනිත් පැත්තෙන්, අධි-පෝෂණයෙන් තෙල් ඈරු ඇඟපත මටසිළුටු කරගනු වස් කිතියට ඇවිදින සක්මන් මළුවලින් හුරතල් චිත‍්‍රයක් බවට පෙරැුලෙයි.

දැන් ඔබ ඉක්මන් විය යුතු නැත. ‘‘ඉතිං, ඒකේ ඇති වැරැුද්ද මොකද්ද?’’ කියා පෙරලා ප‍්‍රශ්න නොකරන්න. මන්ද යත්, නගර සංවර්ධනය සහ ‘නගර ශෝභනය’ වරදක් වශයෙන් මේ ලියුම්කරු ද නොසලකයි. එහෙත්, මෑත කාලයේ ඇමරිකාවේ සිටි ශ්‍රේෂ්ඨතම නවකතාකරුවන් තිදෙනාගෙන් කෙනෙකු වන, කර්ට් වොනෙගට්ගේ නවකතාවක එන එක ෙඡ්දයක් මගේ මතකයට එන නිසා, මේ සමස්ත ‘නගර ශෝභන’ ව්‍යාපෘතියේ යම් තැනක බරපතල අමනුස්ස කමක් ඇතැ යි මට හැෙඟ්. එම ෙඡ්දය මෙසේය: ‘‘ඉරිදාට කලාගාර සහ කෞතුකාගාර වසා ඇත. කම්කරුවාට ඉරිදා නිවාඩු ය.’’ මේ කියමන තුළ ඇති යටිපෙළ ඔබට නොවැටහෙයි නම්, ගිය සතියේ පුවත්පත් වාර්තා කොට තිබූ, එක් සිදුවීමකට අවධානය යොමු කරන්න. සිව්දරු මවක් දරුවන්ට බීමට වතුර පොදක් නැතිව, අඩි 30 ක් ගැඹුරු ළිං අඩියකට බැස්සාය. නාගරික මැද පංතිය සක්මන් මළුවල ඇවිදින අතරේ, ඌවේ මිනිස්සු වතුර සොයා ඇවිදිති. මේ වෙනස පාලනය කර ගැනීමට හමුදාකරණයක් රටකට අවශ්‍ය කෙරේ.

මීට අවුරුදු පහකට පෙර, ඔබ පාරේ ගමන් කරන විට දකින මෝටර් රථ අංක තහඩු කීයක ‘යුහ’ හෝ ‘නාවුක’ හෝ ‘ගුවන්’ යනුවෙන් සටහන්ව තිබෙනු දැක තිබේද? අද මහ පාරක යන විට නිකමට මෙන් එය නිරීක්ෂණය කරන්න. කොළඹ ප‍්‍රධාන මාර්ගයක නම්, අඩු වශයෙන් පැය කාලකට වරක්වත් එවැනි අංක තහඩුවක් ඔබේ ඇස ගැසෙනු ඇත. අපේ වාහනවලට හැම තැනකම වෙට්ටුවක් දාන ත‍්‍රීවීලර් සහෝදරයා, මෙවැනි අංක තහඩුවක් දුටු විට බයාදුවෙන් පාර ඉඩ දෙයි. නොබෙල් ත්‍යාගලාභී ඇලෙක්සැන්ඩර් සොල්සෙනිට්සින්ගේ The First Circle නැමැති නවකතාව අවසන් වන්නේ, විදේශීය වාර්තාකරුවෙකු වන කථකයා එදා දවසේ මොස්කව් නුවර යන එන විට දුටු, බොහෝ බර වාහනවල ලියා තිබූ දැන්වීමක් පාඨක අවධානයට යොමු කැරැුවීමෙනි. ඒ මෙසේය: ‘‘මස් ප‍්‍රවාහණය’’ ඉතිං, මොස්කව් නගරයේ මෑතක සිට ආහාරපාන බෙදා හැරීම පෙරට වඩා දියුණු වී ඇතැ යි වාර්තාකරුවා ස්වකීය බටහිර මාධ්‍ය ආයතනවලට ලියා දන්වයි. ඇත්තෙන්ම, මේ වාහනවල ඒ දිනවල ප‍්‍රවාහණය කෙරුණේ දේශපාලන සිරකරුවන්ව ය.

කොළඹ නගරයේ තැන් කිහිපයක ඇති මුඩු ඉඩම් කට්ටිවල, ‘‘මෙය ආරක්ෂක අමාත්‍යාංශය සතු ඉඩමකි’’ යනුවෙන් පුවරුවක් ගසා තිබේ. මිනිහෙක් තියා බල්ලෙකුවත් මේ බෝඞ් ලෑල්ල දුටු පසු ඒ ඉඩමට ඇතුල් වීමක් ගැන හිතන්නේවත් නැත. ඒ, මේ අමාත්‍යාංශය කෙරෙහි ඇති බිය නිසා ය. එය ‘සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට අයත් ඉඩමකි’ යි ගසා තිබුණේ නම්, පාරේ යන එන්නන් හුජ්ජ කිරීමටත් එතැනට රිංගනු නිසැකයි.

රටක ප‍්‍රධානතම සහ විශාලතම නෘත්‍යාගාරය හමුදා පරිපාලනයක් යටතේ පාලනය වන ලෝකයේ කිසි රටක් ඔබට පෙන්විය හැකිද? විලියම් ෂේක්ස්පියර්ගේ සිට බන්ධු සමරසිංහගේ ප‍්‍රාසාංගික ඉදිරිපත් කිරීමක් දක්වා වන ඕනෑම නාට්‍යයක්, විවිධ ප‍්‍රසංගයක් හෝ සංගීත සන්ධ්‍යාවක් සෑම පහසුකමක්ම සහ නූතන තාක්ෂණයේද අනුහසින් රඟදැක්විය හැකි ‘නෙළුම් පොකුණ’ හමුදාව මගින් පරිපාලනය කරන්නේ මන්දැ යි අසන කලාකරුවන් අද සිටින්නේ අතලොස්සකි. කොළඹ කෞතුකාගාරයේ දිරාපත්ව ඇති වහල සහ බිත්ති පිළිසකර කර දීමත් හමුදාවෙන් අපේක්ෂා කරන ජාතික උරුම අමාත්‍යාංශයක් ඇති වෙන රටක් නිකමටවත් ඔබට පෙන්විය හැකිද? බුද්ධ ශාසන අමාත්‍යාංශයත්, ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ කරන්නැයි ඉල්ලන සංඝ සාසනයක් ඇති තවත් බෞද්ධ රටක් තිබිය හැකිද?

මීට මාස දෙකකට කලින් අපි හය දෙනෙක් යාපනයට ගියෙමු. දෙන්නෙක් ගැහැනුන් ය. පිරිමින් අතරේ, සම්භාව්‍ය සිනමාකරුවෙකු සහ ප‍්‍රවීණ සිනමා කැමරා ශිල්පියෙකු ද, ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු ද සිටියහ. මේ සියල්ලන්ම, (ගැහැනු දෙන්නාද ඇතුළුව) පවතින ක‍්‍රමය පිළිබඳ බරපතල විවේචනයක සිටින්නන් ය. එසේම, ප‍්‍රසිද්ධියේ තම අදහස් උදහස් කියාපාන්නන් ය. කිලිනොච්චියේ දවල් කෑමට අප නැවතුණේ, හමුදාව විසින් පවත්වාගෙන යන ආපාන ශාලාවකයි. එය ‘බුෆේ’ ක‍්‍රමයට ආහාර සපයන තැනකි. එනම්, කොපමණ කෑවත් එක මිලකි. එහෙත්, කෑම වට්ටෝරුවට අනිවාර්ය අංග කිහිපයක් තිබේ. අප කෑමට වාඩි වෙන අවස්ථාවේ, මාළු සහ මස් වෑංජන අවසන්ව තිබුණි. එහෙත් කෑම වේලක් සඳහා අය කරන සම්පූර්ණ ගාස්තුව මුලින් අපෙන් ගත් අයකැමියා, අප කෑම කන අතරේ මාළු හෝ කුකුල් මස් වෑංජනය (එවේලේ පිසෙමින් තිබිති යි කී) ගෙනෙනු ඇතැ යි කීවේය. බත් කෑමෙන් පසු ඉඳුල් අත් එල්ලගෙන මාළු හෝ මස් ගෙනෙන තෙක් තවත් විනාඩි ගණනාවක් අප බලා සිටියත් එවැන්නක් අපට ලැබුණේ නැත. අපි ‘වෙජිටේරියන්’ ක‍්‍රමයට දුන්න ඒ ටික ගිල දැමීමෙන් පසු දුර්මුඛව වාහනයට ගොඩ වීමු.

මෙය එළවලූ කෑම වේලක් සඳහා මස්/මාළු කෑම වේලක මුදලක් අය කිරීම පිළිබඳ ප‍්‍රශ්නයක් නොවේ. පාරිභෝගිකයා රැුවටීම පිළිබඳ ප‍්‍රශ්නයක් ද නොවේ. එය, ඇත්තෙන්ම හමුදා බලය ඉදිරියේ සිවිල් සමාජය පෙලෙන බිරාන්ත ගොළුවත පිළිබඳ ප‍්‍රශ්නයකි. මේ කෝන්තරය ගැන අපෙන් එක් කෙනෙකුවත් අයකැමියාගෙන් හෝ වෙනත් හෝටල් සේවකයෙකුගෙන් ප‍්‍රශ්න නොකෙළේ ඇයි? කොටුවේ ‘ධවලගිරියේ’ හෝ බොරැුල්ලේ සයිවර් කඬේ දී මේ අසාධාරණය විණි නම්, අප හය දෙනාගෙන් කී දෙනෙක් ඊට විරෝධය පෑමට ඉදිරිපත් විය හැකිව තිබුණි ද? හමුදාකරණය වූ සමාජයක් සහ සාමාන්‍ය සිවිල් සමාජයක් අතර ඇති වෙනස එයයි. මේ නිසා, ඔබ ලාබෙට කන්නේ, (මේ ස්ථානවල කෑම ලාබයි, පිරිසුදුයි), ඔබේ සිවිල් නිදහසින් විශාල කොටසක් ඔබ නොදැනුවත්වම විකුණා දැමීමෙනි. අප හය දෙනාම සිංහලයන් ය. උපතින් බෞද්ධයන් ය. එසේ වන කල, උතුරේ හින්දු ආගමික දෙමළ වැසියෙකුගේ තත්වය කුමක් විය හැකිදැ යි නිකමට සිතා බලන්න.

ජයග‍්‍රාහී යුද නාකයෙකු පරාජිත ජනතාවකගේ ආණ්ඩුකාරවරයෙකු වශයෙන් උතුරට පත්කර තිබීම, හමුදා නිලධාරීන් රාජ්‍ය පරිපාලනය සහ විදේශ සේවා සඳහා පත්කර තිබීම, නගර සංවර්ධනය සහ වෙනත් ආර්ථික ව්‍යාපෘති සඳහා හමුදාව යොදා ගැනීම ආදිය, සංවර්ධනය, කාර්යක්ෂමතාව සහ ආර්ථික වාසි සලසති යි මතුපිටින් පෙනෙන්ට පුලූවන. යකුන්ගෙන් වැඩ ගැනීම ගැන පැරණි සිංහල ජනකතාව කීමට මෙහි ඉඩකඩ නැති නිසා, එදා යකාගෙන් වැඩ ගැනීමේ තිබූ ප‍්‍රධාන කොන්දේසිය පමණක් සඳහන් කරමි. යකා සපයන සේවාවට හුවමාරුවක් වශයෙන්, යකාව බැඳගත් පුද්ගලයා ජීවිතාන්තයට යකාගේ ප‍්‍රාණඇපකරුවෙකු වන්නේය.

Back to Home page