Colombo Telegraph

නුගේගොඩ ‘අභියෝගය’

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

නුගේගොඩ දී විමල් වීරවංශ අභියෝග කෙළේය. ඒ, හැකි නම් තමාගේ ඇඹෙනිය අත්අඩංගුවට ගන්නා ලෙසයි. ඉන් දින කිහිපයක් ගිය පසු ඇයව අත්අඩංගුවට ගැනුණි. එවිට විමල් වීරවංශ කියන්නේ, තමාගෙන් සහ තම පවුලෙන් පළිගැනීම සඳහා ආණ්ඩුව ඇයව අත්අඩංගුවට ගත් බවයි. දැන්, පාලකයෙකුට හෝ නීතියකට අත්වන ඉරණම කුමක්ද? අත්අඩංගුවට නොගත්තොත්, පාලකයන් බොරුකාරයන් සහ වංචනිකයන් සේ හංවඩු ගැසෙයි. අත්අඩංගුවට ගත්තොත්, එය පළිගැනීමක් වෙයි. මේ සූත‍්‍රය, ඕනෑම තක්කඩියෙකුට සහ අපරාධකරුවෙකුට තමාගේ සාපරාධී හෙළුව වසා ගැනීමට අපූරු වස්ත‍්‍රයක් සපයයි. අපේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ඔස්තාද්ලා මේ දවස්වල අර ‘අහිංසක’ ගැහැනියගේ ‘දුක’ රටට කියයි. ඇයව බදාගෙන වැළපෙන දරුවන්ගේ පින්තූර රටට පෙන්වයි. ඇය ගිලන් ඇඳක සිටියදී හිරේට ගෙන යන සැටි ‘සංවේගයෙන්’ දැනුම්දෙයි. මෙරටේ සිය ගණන් උතුරේ ගැහැනුන්ව සිරගත කරද්දී සහ ඝාතනය කෙරෙද්දී ඒ කිසි පින්තූරයකට මේ මාධ්‍ය තුළ ඉඩක් තිබුණේ නැත. දැන්, හොර නම්ගම් දී ලබාගත් පාස්පෝට් එකක් ළඟ තබා ගැනීම ගැන නීතිය ඉදිරියට එක් ගැහැනියක් ගෙනෙන විට, ඒ ගැන මුළු රටම හඬා වැළපිය යුතුව ඇතැ යි ඒ මාධ්‍ය ඔස්තාද්ලා අපට අඟවයි.

නුගේගොඩ රැුළියේ කතුවරු කිහිප දෙනෙකි. ඒ, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාරයි. මේ අයගෙන් කිසිවෙකු තම තමන්ගේ කල්ලිවලින් තනියෙන් මැතිවරණයකට ඉදිරිපත් වී ලංකාවේ කිසි ආසනයකින් හෝ දිස්ත‍්‍රික්කයකින් ජයග‍්‍රහණය කළ හැකි අයවළුන් නොවේ. අපට මතක ඇති කාලයේ මොවුන් හැම විටකම පාර්ලිමේන්තුවට පත්ව ඇත්තේ, රටේ ප‍්‍රධාන පක්ෂයක අමුඩයේ එල්ලීගෙනයි. එහෙත් දැන් කාලයක් තිස්සේ මොවුහූ මාධ්‍ය හරහා කැපී පෙනෙන චරිත වුහ. ඒ ‘වරප‍්‍රසාදය’ ඔවුන්ට හිමි වුණේ, මාධ්‍ය අවභාවිතයට අමතරව ලංකාවේ පක්ෂ ක‍්‍රමයේ ඇති ජඩ ස්වභාවත් නිසා ය. දැන්, ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දී එම වාසිය පළමු වරට ඔවුන්ගෙන් ගිලිහෙන ලකුණු පහළ වී ඇති තත්වය තුළ, කෙසේ හෝ හිටපු ජනාධිපතිවරයාව අගමැති පුටුවේ වාඩි කරවාගෙන, තමන් කළ පරණ සෙල්ලම තවදුරටත් කරගෙන යාම ඔවුන්ගේ අරමුණ වී තිබේ. හොරු හතළිහකට අලි බබෙකුම මිස මුනිවරයෙකු අවශ්‍ය නොකෙරෙන බව අපි දනිමු.

එසේ වෙතත්, ‘මහා සෙනගක්’ නුගේගොඩ රැුළියට ආහ. මේ ‘මහා සෙනග’ මීට පෙර මහින්ද රාජපක්ෂගේ රැුළිවලටත් සහභාගී වනු අප දැක තිබේ. ඔවුන් එහි ආවේ කෙසේදැයි කවුරුත් දනිති. නුගේගොඩ රැුළියටත් විවිධ පෙදෙස්වලින් බස් රථ සෑහෙන ප‍්‍රමාණයක් පැමිණි බවට තොරතුරු තිබේ. එසේ හෙයින්, ‘මහා සෙනග’ සංඛ්‍යාත්මකව බරපතල සේ ගණන් ගත යුතු නැත. එහෙත් එහි යම් අරුමයක් තිබේ. ඒ වනාහී, ප‍්‍රධාන පෙළේ ජාතික මැතිවරණයකින් පරාජයට පත්වූ පාර්ශ්වයකට එම පරාජයෙන් මාස එක හමාරක් වැනි සුළු කාලයක් පවා ඉක්ම යාමට මත්තෙන් එවැනි ‘විශාල සෙනගක්’ කැඳවා ගැනීමට හැකි වන නිදහස් වාතාවරණයක්, නිදහසින් පසු ප‍්‍රථම වතාවට ලංකාවේ නිර්මාණය වී තිබීමයි. මෙය, පැවති රාජපක්ෂ පාලනය සමග සසඳන්නේ නම්, ඒ කාලයේ රැුළියක් තබා, කුඩා ශාලාවක් තුළ විකල්ප සම්මන්ත‍්‍රණයක් පැවැත්වීමට පවා අනනත්වත් බාධක පැවති බව අපි දනිමු.

‘පුරවැසි බලය’ මහජන රැුළියක් කළුතර දී පැවැත්වීමට නියමිතව තිබුණි. තවත් රැුළියක් නුවර දී පැවැත්වීමට නියමිතව තිබුණි. මේ මහජන රැුළි දෙකම අවසාන මොහොතේ අතහැර දැමීමට අපට සිදු විය. ඒ වෙන කිසිවක් නිසා නොව, එම නගර දෙකේදීම, කිසි පිට්ටනියක් හෝ ශාලාවක් වෙන් කරවා ගැනීමට අපට ඉඩක් නොලැබුණු හෙයිනි. එසේ වුණේ, පිට්ටනි හෝ රැුස්වීම් ශාලා ඒ නගර දෙකේ නොතිබුණු නිසා නොවේ. එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලඥයන් ලංකාවේ හැම තැනකම පාහේ විපක්ෂයේ රැුළි පැවැත්වීම කල්තියා නතර කිරීමට හෝ කඩාකප්පල් කිරීමට පියවර ගෙන තිබුණු නිසා ය. හොරණ පැවැත්වීමට නියමිතව තිබූ තවත් රැුස්වීමක්, එහි ප‍්‍රචාරක කටයුතු ද අවසන් කොට තිබියදී අවසාන මොහොතේ අතහැර දැමීමට සිදුවුණි. ඒ නිසා, අන්තිම විනාඩියේ දී, ඒ අසළ පැවති පෞද්ගලික හෝටලයකට එම රැුස්වීම මාරු කර ගැනීමට සංවිධායකයන්ට සිදුවුණි. මේ තත්වය මොන තරම් බරපතල වී ද යත්, ‘ට‍්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල්’ ආයතනය තමන්ගේ රැුස්වීම් පවත්වන ස්ථානය අවසානය දක්වාම රහසක් වශයෙන් තබා ගැනීමටත් එදා කටයුතු කෙළේය. මන්ද යත්, මුදල් ගෙවා වෙන් කරගත් පෞද්ගලික ශාලාවක් හෝ හෝටලයක් වුව, රජයේ මැදිහත් වීමෙන් අවසාන මොහොතේ අවලංගු වීමට ඉඩ තිබුණු බැවිනි.

වාචාල කම, කථිකත්වය වශයෙන් ගන්නා පුහුදුන් සිරිතක් ලංකාවේ තිබේ. විමල් වීරවංශගේ වාචාල කම ලංකාවේ දී කථිකත්වයකි. ඒ වාචාලකමට අනුව යමින් ඔහු එදා අපූරු උපහැරණයක් ගෙනහැර පෑවේය. එනම්, මේ ලැබී ඇත්තේ ‘අපායේ විවේක කාලයක්’ බවයි.

එක් පව්කාරයෙකු අපායට ගිය විට, තමන්ට කැමති ‘අංශයක්’ තෝරා ගැනීමට අවස්ථාව ලැබුණි. එක අංශයක කටුඉඹුල් ය. තව අංශයක ලෝ දිය ය. එහෙත්, අශූචි වළක් පමණක් තිබූ අංශයක් ද විය. එහි කරවටක් එරී සිටි මිනිසුන් සිගරට් බොමින් උන්හ. අපේ අළුත් පව්කාරයා දුම් බොන්නෙකි. ඇරත්, කටුඉඹුලේ නගිනවාට වඩා, ලෝ දියේ පැසවනවාට වඩා, අශූචි වළක ලැග සිටීම සැපතක් නොවේද? ඉතිං ඔහු දෙවරක් නොසිතාම, අශූචි වළ තෝරාගත්තේය. සිගරට්ටුවක් ද දල්වා ගත්තේය. ඛේදයකි. මොහොතකින් සීනුවක් හැඬවුණි. ‘‘දැන් ඉන්ටවල් ඉවරයි, ඔලූවෙන් හිටගනිල්ලා’’ යැයි යමපල්ලා නියෝග දුනි.

දැන් විමල් වීරවංශගේ කතාව අප තේරුම් ගත යුත්තේ කෙසේද? අප මේ පැමිණ සිටින ‘මෛත‍්‍රී මොහොත’ අර කියන ‘විවේක කාලයක්’ නම්, ඊට පෙර පැවති රාජපක්ෂ තත්වය, අශූචි වළක ඔලූවෙන් සිටගෙන සිටි කාලයක් නොවේද? මොවුන් අරඅඳින්නේ නැවතත් අපව එසේ සිටුවීමටයි. එය එදා නුගේගොඩ රැුළියෙන් මොනවට ගම්‍යමාන විය.

පරාජිත දේශපාලඥයෙකු හෝ පක්ෂයක් නැවත මහජනතාව ඉදිරියට එන්නේ, තමන්ගේ පරාජයේ හේතු පිළිබඳ පිළිගත හැකි හේතු රටට ඉදිරිපත් කරමිනි. එහිදී තමන්ගේ වැරදි සේම තමන්ගේ පාලනයකින් තොරව සිදුවූ පිටස්තර වැරදි ද ඊට හේතු වී තිබෙන්ට පිළිවන. එහෙත් මේ කියන පිරිස නැවත මහින්ද රාජපක්ෂ ගෙන ඒමට ගන්නා ප‍්‍රයත්නය තුළ, මහින්ද රාජපක්ෂ පවුල් පාලනය තුළ පැවති කිසි වරදක් ගැන කටක් නාරිති. ඔහුගේ පරාජය යම් ‘කුමන්ත‍්‍රණයකට’ ඔවුන් ලඝු කරන්නේ එබැවිනි. එනම්, මෛත‍්‍රීපාල සිරිසේන වෙනුවෙන් ඡුන්දය පාවිච්චි කළ ලක්ෂ 62 කට අධික ජනතාවක් එක්කෝ කුමන්ත‍්‍රණකරුවන් ය. නැත්නම්, කුමන්ත‍්‍රණයකට හසුවූ වින්දිතයන් ය. එසේ තමාගේ පරාජය අනිකාගේ වරදකට ලඝු කරන සහ තමන් දෙස ආපසු හැරී බැලීමට කොන්දක් නැති එවන් දේශපාලඥයන් වෙනත් ආකාරයකින් මේ කියන්නේ, තමන් නැවත බලයට පත්වුවත් පැරණි වැරදි එලෙසම කරන බවකි. අප ඉදිරියේ අද දිග හැරෙන භයානක අභියෝගය එයයි. එම අභියෝගය ජය ගැනීම, සකල බලධාරී රාජපක්ෂ ප‍්‍රපංචය පරාජය කිරීමට එදා පෙරමුණ ගත් සෑම බලවේගයකම වර්තමාන යුතුකම සහ වගකීම වන්නේය.

Back to Home page