Colombo Telegraph

දේශපාලඥයන් කරන්නෙත් රඟපෑම නම්, නිළියන් දේශපාලනය කිරීමේ ඇති වැරැුද්ද මොකක් ද?

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

රඟපෑම යනු, බොරුවක්, ඇත්තක් සේ රංගනයෙන් දැක්වීමයි. ඒ අනුව, නළුවා/නිළිය යනු ‘බොරුකාරයෙකි’. ‘බොරුකාරියකි’. එහෙත් එය කලා ලෝකයේ ශ්‍රේෂ්ඨ වෘත්තියකි. ඒ ‘බොරුව’ වඩාත් හොඳින් කරන තරමට අපි ඔහුව/ඇයව අගේ කරමු. දේශපාලඥයා එවැන්නෙකු නොවිය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ නිසා, ඔහු කරන්නේත්, නළුවා හෝ නිළිය කරන රංගනයම නම්, එය ගර්හිත ක‍්‍රියාවකි. අද ලංකාවේ ප‍්‍රධාන ධාරාවේ අතිබහුතරයක් දේශපාලඥයන් ඒ අර්ථයේ ‘නළුවන්’ හෝ ‘නිළියන්’ ය. ඒ ‘කලාව’ පටන් ගන්නේ රටේ ප‍්‍රථම පුරවැසියාගෙන්මයි. මාධ්‍ය කැමරාවක් ඉදිරියේ දරුවෙකු වඩාගෙන මුහුණ සිඹින විට ඔහු කරන්නේ රඟපෑමක් මිස, රටේ දරුවන්ට ආදරය පෑමක් නොවේ. එසේ ආදරය කරන්නේ නම්, කිරිපිටිවලට බදු ගහන අතරේ, කැසිනෝ ජාවාරම්කාරයන්ව ප‍්‍රකෝටි ගණන් බදුවලින් නිදහස් කරන්නේ නැත.

අද ඡන්දයට ඉදිරිපත් වන නිළියන්ට එරෙහිව මේ දිනවල දියත් කෙරෙන පහත් පෙළේ ප‍්‍රහාරයන්, මේ කියන යථාර්ථයන් සැළකිල්ලට ගන්නා බවක් නොපෙනේ. එම නිළියන්ගෙන් බහුතරයක් කෝඩුකාර බව ඇත්ත. ඔවුන්ට දේශපාලනය ගැන හයක් හතරක් නොවැටහෙනවා වන්නටත් පිළිවන. (ජින්ජර් නැමැති ගායිකාවක් තමන් දේශපාලනයට එන්නේ දුමින්ද සිල්වා කී නිසා යැයි කීවාය. දේශපාලනය කිරීමට තමන්ට ඇති ‘සුදුසුකම’ කුමක්දැ යි ඇසූ විට, දුමින්ද සිල්වා සමග දේශපාලනය කර තිබීම යැයි කීවාය). එහෙත්, අප අපේක්ෂා කරන විදග්ධ දැනුමක්, නළු-නිළියන් නොවන දේශපාලඥයන්ගෙන් ඇත්තේ කීයෙන් කී දෙනෙකුට ද? ඒ කිහිප දෙනාත් අද දේශපාලනය කරන්නේ, එම දැනුම භාවිත කරමින් ද, නැතිනම්, ඊට වඩා සාර්ථක වෙනත් තර්කනයක් වන- විපක්ෂය නම් පක්ෂ ප‍්‍රධානියා කෙරෙහි ද, ආණ්ඩු පක්ෂය නම් ජනාධිපතිවරයා සහ එම පවුල කෙරෙහි ද වන- සුවච භාවයේ වහලෙකු වීමෙන් ද?

නිළියන් සම්බන්ධ කාරණයේ දී ඉසව් දෙකක් වෙත අපේ අවධානය යොමු කළ යුතුව තිබේ. පළමුවැන්න වන්නේ, මෙය හුදෙක් නිළියන් ගැන නොව, පොදුවේ ගැහැනිය ගැන පිරිමි චින්තනය තුළ සූත‍්‍රගත වන්නක් බවයි. ඇය ඔලමොට්ටලයි, ඇය බොළඳයි, ඇය චපලයි වැනි පිරිමි විශ්වාසයන් ඒ පසුපස තිබේ. සිනමා සහ ප‍්‍රාසාංගික ලෝකය තුළ ඇතැ යි ප‍්‍රචලිත වන ලිංගික චර්යාවන් හරහා ඒ චින්තනය තවත් සවිමත් කෙරෙයි. එහෙත්, සාකච්ඡුාවට අදාළ වන්නේ ගැහැනුන් සහ පිරිමින් පමණක් වන නිසා, ගැහැනිය වරදකාරිය කෙරෙන ලිංගික චර්යාවකින් පිරිමියා නිදහස් වන්නේ කෙසේද යන්න පැහැදිළි වීමට, පුරුෂ මූලික සමාජයක් ඉඩ තියන්නේ නැත. ගණිකාව යන ස්ත‍්‍රී ලිංගික වචනය ඉදිරියෙන් පොදුවේ භාවිත වන පුරුෂ ලිංගික වචනයක් නැත්තේත්, ‘‘බඩුව’’ යන වචනය තරම්, ‘‘බඩුකාරයා’’ යන වචනය ගර්හිත නොවන්නේත් එබැවිනි. මේ නිසා අද දියත් වන නිළි-විරෝධී ප‍්‍රහාරයේ එක මූලයක් වන්නේ, ලිංගිකත්වය පිළිබඳ මුල්බැසගත් එවැනි පුරුෂ අගතියක් මිස වෙන දෙයක් නොවන බව දත යුතුය.

කරුණු මෙසේ වූ පමණින්, අද දේශපාලනයට පිවිසීමට තතනන නිළියන් පූස් පැටියන් වන් අහිංසකාවියන් වෙතැ යි ගිනිය යුතු නැත. එය, මේ ප‍්‍රශ්නයේ දෙවැනි ඉසව්වයි. ඒ ගැන සොයා බැලීම සඳහා ලිංගික වෙනස මදකට පසෙකින් තැබිය යුතුය.

පසුගිය දශක හතරක කාලය තුළ දේශපාලනයට පිවිසි ප‍්‍රකට චරිත ගැන සිතීමේ දී මෙවැනි ප‍්‍රශ්නයක් මගේ සිතට නැගී තිබේ. ලොකු වූ විට කවරෙකු වන්නට කැමැත්තේ දැ යි පුංචි කාලේ දී අපෙන් යමෙකු ඇසුවොත්, අප කියන්නේ, දොස්තර, ඉංජිනේරු, ගුරු, හෙදි, නීතිඥ ආදී නම් වැලකි. දේශපාලඥයෙකු වීමට කැමැත්තේ යැයි කිසිවෙකු කියන්නේ දැ යි කවදාවත් අසා නැත. අද තත්වය වුවත් ඊට වෙනස් නැතුව ඇති. ‘තමා අගමැති වුණොත්’ යැයි මොන තරම් වාක්‍ය රචනා පංතියේ දී ලිව්වත්, යම් ළමයෙකු තමා දේශපාලඥයෙකු වීමට අදහස් කරන බවක් කිව්වොත්, එසේ ප‍්‍රසිද්ධියේ නොකියන්නැ යි සිහිබුද්ධිය ඇති දෙමාපියන් ඔහුට අවවාද කරනු නිසැකයි.

ඊළඟට, අපේ මනෝරථය යොමුවුණේ පොතපත පැත්තට නම්, අවසානයේ සාක්ෂාත් කර ගැනීමට බලන්නේ ඒ අංශයේ ඉහළම ස්ථානයකි. උදාහරණයක් වශයෙන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු නම්, විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු, මහචාර්යවරයෙකු, අංශ ප‍්‍රධානියෙකු, පීඨාධිපතිවරයෙකු සහ කුලපතිවරයෙකු වීම ආදී වශයෙනි. නළුවෙකු/නිළියක නම්, ශ්‍රේෂ්ඨ හෝ ජනප‍්‍රිය නළුවෙකු, සක්විති නළුවෙකු හෝ නිළි රැුජිණක්, ගායිකාවක් නම් ගීත කෝකිලාවක් වීම ආදී වශයෙනි. කෙනෙකුගේ වෘත්තීය සිහිනය වන්නේ එයයි.

එහෙත් පසු කලෙක, එවැනි විශිෂ්ඨයන් අර වෘත්තීන්ට සදහට ආයුබෝවන් කියමින් දේශපාලනයට පිවිසි විට, ඉහත කී සම්මත ධූරාවලිය සදොස් බව ඔප්පු වුණි. ජී. ඇල්. පීරිස්, ගාමිණි ෆොන්සේකා සහ මාලනී ෆොන්සේකාගේ වෘත්තීය ධූරාවලි ලෝකය තුළ මස්තකප‍්‍රාප්තිය වශයෙන් සැළකී ඇත්තේ, පිළිවෙලින් විශ්ව විද්‍යාල කුලපති, සිනමා සක්විති සහ නිළි රැුජිණ වැනි සම්භාවනාවන් නොව, ඇමතිවරයෙකු, ආණ්ඩුකාරවරයෙකු, මන්ත‍්‍රීවරයෙකු/වරියක, වීම ආදී වශයෙනි.

එසේ හෙයින් අද ලංකාවේ පවතින උසස්ම තනතුර/ශ්‍රේණිය/පදවිය/වෘත්තිය වූ කලී, වෙන කිසිවක් නොව, මන්ත‍්‍රී පදවිය යැයි අනුමාන කළ හැකිය. ඒ වෙන කිසිවක් නිසා නොව, ඵල ඇති රුක එයම වන නිසා ය. මේ සත්‍යය වැසැංගීම සඳහා, ‘රටට සේවය කිරීම’, ‘ජාතියට සේවය කිරීම’, ‘ජනතාවට සේවය කිරීම’, ‘ඒකීය ශ‍්‍රී ලංකාව ආරක්ෂා කර ගැනීම’ ආදී මොන බයිලා කීවත් වැඩක් නැති වන තරමට අද දේශපාලනය ‘සශ‍්‍රීක’ කෙත් යායක් වී තිබේ. අනිත් බොරුකාරයන් අතරේ නළු-නිළියන් ද ඊට රොදබදින්නේ එබැවිනි. මෙය වටහාගත හැකි ඉතා සරළ සමීකරණයක් තිබේ. මේ කියන නළු-නිළියන්ගෙන් ආණ්ඩු පක්ෂයෙන් නාම යෝජනා ඉල්ලූම් කරන ප‍්‍රමාණය සහ විපක්ෂයෙන් නාම යෝජනා ඉල්ලූම් කරන ප‍්‍රමාණය අතර වෙනස කිරා බලන්න. අතිමහත් බහුතරය බලන්නේ ආණ්ඩු පක්ෂයෙන්ම බලයට පැමිණීමට බව එවිට පෙනෙනු ඇත. ඒ ඇයි? අර කී සම්පත් ළඟා කර දෙන බලය තිබෙන්නේ එතැන බැවිනි.

දේශපාලනයට නළු-නිළියන් පිවිසීමෙන් සිනමාවට හෝ කලාවට මෙලෝ සෙතක් වෙතැ යි සිහිනෙන්වත් නොසිතිය යුතුය. ගාමිණී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙනිය, මාලනී ෆොන්සේකා සහ ජැක්සන් ඇන්තනි වැනි ප‍්‍රධාන පෙළේ නළු නිළියන් දේශපාලනය කෙළේ/කරන්නේ රාජ්‍ය බලය හොබවන පක්ෂවලමයි. එහෙත් ඒ හේතුවෙන් සිනමාවට ඔවුන්ගෙන් ඇති වූ මෙහෙවරක් ගැන අසන්නට නැත. එසේම නිළියන් දේශපාලනයට පිවිසීමෙන්, කලාවට කෙසේ වෙතත් මේ රටේ කාන්තාවට යම් සේවයක් වෙතැ යි ද සිතිය යුතු නැත. මේ මෑතක දී, රෝසි සේනානායක පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ගෙනාවාය. එයින් කියා සිටියේ, ලංකාවේ පළාත් පාලන ආයතන සඳහා සියයට 25 ක කාන්තා නියෝජනයක් තිබිය යුතු බවයි. මේ යෝජනාව සාකච්ඡුාවටවත් නොගෙන පැත්තකට දැමීමට, ආණ්ඩු පක්ෂයේ හැම ගැහැනියක්ම අත් ඔසවා තිබුණි. මාලනී ෆොන්සේකා ද ඒ අතර විය.

පළාත් සභාව යනු, මේ රටේ දේශපාලනික බලය බෙදාහැරීම සඳහා සකසා ගත් මූලික යාන්ත‍්‍රණයයි. ඒ අනුව, මහ ආණ්ඩුවට අදාළ විෂයයන් සහ පළාත් සභාවට අදාළ විෂයයන් (සහ සමගාමී) යනුවෙන් බලය බෙදා වෙන්කොට තිබේ. පසුගිය දා, පළාත් සභාව සතු විෂයයක් මහ ආණ්ඩුවට පවරා ගැනීමට නම්, සියලූ පළාත් සභාවල අනුමැතිය අවශ්‍ය බවට අධිකරණය තීන්දු කෙළේය. උතුරු-නැගෙනහිර හැරුණු කොට, අනිත් සෑම පළාත් සභාවකින්ම ආණ්ඩුව ඒ ‘අනුමැතිය’ ගත්තේය. එනම්, බලය බෙදාහැරීම වෙනුවෙන් ඇති කළ පළාත් සභාව විසින්ම, තමන්ගේ බලය ආපසු මධ්‍යම ආණ්ඩුවට පැවරීමට කැමැත්තෙන්ම ‘අනුමැතිය’ දුන්නේය. ඉතිං, නළු-නිළියන් වේවා නොවේවා, ඔවුන් පළාත් සභාවට යන්නේ, බලය බෙදාහැරීමේ දේශපාලන සංස්කෘතිය ශක්තිමත් කිරීමට නොවේ නම්, වෘත්තීය භේදයකින් හෝ ලිංග භේදයකින් හෝ තොරවම, ඒ සියල්ලන් නොම්මර එකේ ‘‘පළා බබුන්’’ පමණක්ම වන්නේය.

Back to Home page