Colombo Telegraph

‘චීවරධාරියා’ යන්න අපහාසයක් වන්නේ කෙසේ ද?

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

උපාධියක් ඇති සියල්ලන් උපාධිධාරීන් වන්නා සේ චීවරයක් හෙවත් සිවුරක් හඳින සියල්ලන් චීවරධාරීන් ය. උපාධිය තුළ යම් දැනුමක් ඇතැ යි විශ්වාස කරන්නා සේම, සිවුර තුළ ද යම් ධර්මයක් ඇතැ යි විශ්වාස කෙරේ. ඒ අර්ථයෙන් ගත් කල, චීවරධාරියා යන්න අවමානාත්මක පදයක් විය නොහැකිය. එහෙත්, මේ වචනය, අපේ ව්‍යවහාර භාෂාව තුළ වැඩියත්ම පාවිච්චි වී ඇත්තේ, ඊට වඩා වෙනස් අර්ථයකිනි. එනම්, ධර්මයකින් තොරව චීවරය දරන්නෙකි යන අරුතිනි.

මේ කියන අර්ථයෙන් චීවරධාරීන් නොවන සංඝයා වහන්සේලා තවමත් ලංකාවේ වැඩවාසය කරති. එහෙත්, බුද්ධාගම ආරක්ෂා කිරීම පිණිස යැයි කියමින් මෑත කාලයේ දේශපාලනයට පිවිස සිටින භික්ෂූන්ගෙන් බහුතරය නම් නිසැකවම එවැනි චීවරධාරීන් ය. අතිපූජ්‍ය යැයි නමට ඉදිරියෙන් තිබුණත්, දෙතොල් පාට කරන, නළුවන් වැනි භික්ෂූන් තුළ ඇති ධර්මය කුමක් විය හැකි ද? තම කටහඬේ මධුර ස්වරය ගැන ඇති කර ගත් පිස්සු ලාලසාවක් නිසා, ධර්ම දේශනාවකට වැඩම කරද්දී තමන්ගේම ශබ්ද විකාශන කට්ටලය ගෙන එන සහ ඒ වෙනුවෙන් ධර්ම ශ‍්‍රාවකයන්ගෙන් රුපියල් දසදහස් ගණන් අයකර ගන්නා භික්ෂූන් තුළ ඇති ධර්මය කුමක් විය හැකි ද? පහත් කුලයේ යැයි සැළකෙන්නෙකුගේ මරණයේ දී පාංශකූලයට වැඩම කිරීම ප‍්‍රතික්ෂේප කරන භික්ෂුවක් තුළ තිබිය හැකි ධර්මය කුමක් විය හැකි ද? වෙරි මතින් රිය පදවා අනතුරක් සිදු කරගෙන උසාවියෙන් දඩකෑ භික්ෂුවකගේ චීවරය පසු පස ඇති ධර්මය කුමක් විය හැකි ද? දෙමළුන් මැරීම නිවනට මග වේ යැයි ගීත ලියූ භික්ෂුවකගේ චීවරය පසුපස ඇති ධර්මය කුමක් විය හැකි ද? තවත් මෙවැන්නෝ බොහෝ වෙත්.

චණ්ඩාශෝක රජු බුද්ධාගමට හැරුණේ, රජ වාසල ඉදිරියෙන් වැඩම කරමින් සිටි කුඩා සාමනේර නමකගේ සංවර විලාසය ගැන පැහැදුණු සිතක් හේතුවෙනි. බොදුබල සේනාවේ, රාවණා බලයේ, සිංහල රාවයේ හෝ වෙනත් එවැනි නූතන ප‍්‍රචණ්ඩ භික්ෂු ව්‍යාපාරවලින් අද පාරට බසින භික්ෂූන්ගේ මුහුණේ ඉරියව් දෙස සහ වෛරී අංග චලන දෙස මොහොතකට බලන්න.

මෑතක දී, එංගලන්තයේ නායක භික්ෂුවක් ලිංගික අපචාරයට හිරේ ගියේය. ඊට හුඟාක් ඉස්සර, තවත් භික්ෂුවක් රටේ අගමැතිවරයාව ඝාතනය කෙළේය. එම ඝාතනයේ මහ මොළකාර නායක භික්ෂුව, බුදුන් වැඩියේ යැයි දෙනෝදාහක් වඳින කැළණිය රජමහ විහාරයේ නායක පදවිය ඉසිළුවේය. තවත් භික්ෂූන් වහන්සේලා නොයෙකුත් අපචාර ක‍්‍රියා නිසා පොලීසි සහ උසාවි ගානේ රස්තියාදු වෙන ප‍්‍රවෘත්ති දැන් දැන් නිතර දකින්ට සහ අසන්ට ලැබේ.

ප‍්‍රශ්නය තිබෙන්නේ එවැනි භික්ෂූන්ව පමණක් චීවරධාරීන් වශයෙන් හඳුන්වන්නේ ඇයි ද යන්නයි. අගමැතිවරයාව ඝාතනය කළ සෝමාරාමව එකල හැඳින්වුයේ එලෙසයි. මෙයින් පෙනී යන්නේ, චීවරධාරී යන්න අප පාවිච්චි කරන්නේ යම් භික්ෂුවක් නීතියට හසු වුණොත් පමණක් ය යන්නයි. නීතියට හසු නොවන තාක් කල් මොන අපරාධ කරමින් සිටියත් කිසි භික්ෂුවක් එනමින් හැඳින්වීමට, සංඝ සාසනය කෙරෙහි වන ගෞරවය පෙරදැරිව, මිනිස්සු මැළි වෙති. එහෙත් මේ ගෞරවයට, බුද්ධාගම සහ සංඝ සාසනයේ නාමයෙන් අද වීදි බසින භික්ෂූන් වහන්සේලාගෙන් කී දෙනෙක් නම් සුදුස්සෝ වෙත් ද?

බෞද්ධ භික්ෂූන් වහන්සේලා දේශපාලනයට සහ වෙනත් සමාජ ක‍්‍රියාකාරීත්වයන් කෙරෙහි යොමු වීමේ සමකාලීන ඉතිහාසය, පසුගිය දශක දෙක තුනට පමණක් සීමා නොවන්නකි. එය, ඊටත් එහාට යයි. එහෙත්, භික්ෂු ව්‍යාපාර වශයෙන් පක්ෂ දේශපාලනයට පිවිසීම සිදුවන්නේ මෑතක සිට යි. එහි මූලිකත්වයේ සිටියේ ගංගොඩවිල සෝම හිමියන් ය.

උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු එම ව්‍යාපාරය වඩාත් ජවසම්පන්නව ලංකාවේ දේශපාලනය තුළ මුල් ඇද්දේය. කෙසේ වෙතත්, එය ‘සාර්ථක’ දේශපාලන ව්‍යාපෘතියක් වීමට තවත් කරුණු දෙකක් බලපෑවේය. එකක් වන්නේ, වෙනත් ආගමකට අයත් ජන කණ්ඩායමක නියෝජනයෙන් ගෙන ගිය යුද්ධයයි. දෙවැන්න වන්නේ, එම පරිසරය තුළ බලය සඳහා ආගම තරම් පාවිච්චියට ගත හැකි තවත් දෙයක් නැතැ යි විශ්වාස කරන, හෙවත් ‘කල දුටු තැන වළ ඉහ ගැනීමේ’ දේශපාලනයට ආශා කරන රාජ්‍ය නායකයෙකු ලංකාවට ලැබීමයි.

ඉතිං, ගිහි දේශපාලඥයන්ගේ අසාර්ථකත්වයට පිළිතුර ඇත්තේ පැවිදි මැදිහත් වීමක් තුළින් යැයි විශ්වාස කළ, ‘ජාතික හෙළ උරුමයක්’ රටට ලැබුණි. ඔවුන්, පසුගිය දශකයකට වැඩි කාලයක් තිස්සේ, විවිධ තරාතිරමෙන් රාජ්‍යකරණයට සම්බන්ධ වුණි. දේශපාලනයට ‘වැඩම කිරීමේ’ ඔවුන්ගේ ආරම්භක තර්කය සහ විශ්වාසය නිවැරදි නම්, මේ වන විට ලංකාව රටක් වශයෙන් සිල්වත් රාජ්‍යයක් වීම කෙසේ වෙතත්, පන්සිල් රකින රටක්වත් විය යුතුව තිබුණි.

ඒ ගැන පුංචි චිත‍්‍රයක් අපි ඇඳ ගමු: ‘මතට තිත’ යටතේ, පසු ගිය අවුරුදු ගණනාව තිස්සේම, ලංකාවේ මත්පැන් පානය අස්ප වේගයෙන් ඉහළ ගොස් ඇති බවට රජයේ සංඛ්‍යා ලේඛන දෙස් දෙයි. උදාහරණයක් වශයෙන්, 2006 දී අරක්කු ලීටර් මිලියන 67.1 ක් පානය කළ ලංකාව, 2010 දී ලීටර් මිලියන 75.2 ක් පානය කෙළේය. මේ, පිටරට මත්පැන් සහ දේශීය කසිප්පුවලට අමතරවයි. එනම්, රට ශුද්ධ කිරීමට බෞද්ධ භික්ෂූන් අත ගැසූ මේ කාලය තුළ, පංචශීලයේ පස් වැනි ශික්ෂා පදය ඉස්සරට වැඩියෙන් උල්ලංඝණය වී තිබේ. ඊළඟට, අන්තර්ජාලයේ ‘සෙක්ස්’ (කාමය* යන වචනය පස්සෙන් වැඩියෙන්ම පන්නා ඇති රටවල් අතරින් ලෝකයේ පළමු තැනට අවුරුදු තුනක් පිට පිට පත්ව සිටින්නේ ශ‍්‍රී ලංකාවයි. එනම්, පංචශීලයේ තුන්වැනි ශික්ෂා පදය, අර කී භික්ෂු පාලනය තුළ වැඩියෙන්ම උල්ලංඝණය කොට ඇති බවයි. දේශපාලනයේ බලයෙන් නොමිලේ ලබා ගත් ගුවන්විදුලි විකාශන බලපත‍්‍රයක් බෞද්ධ භික්ෂුවක් විසින් ව්‍යාපාරිකයෙකුට රුපියල් මිලියන 65 කට විකුණාගෙන කන්නේ ද එසේ සුද්ද කිරීමට ගිය දේශපාලනය ඇතුළේ ය. පළමු ශික්ෂා පදය වන සතුන් මැරීම සම්බන්ධයෙන් සළකන්නේ නම්, සමකාලීන ලංකා ඉතිහාසයේ විශාලතම මිනිස් ඝාතනය සිදුවුණේ ද මේ හිමිවරුන් රාජ්‍ය පාලනයේ සිටි ඊයේ පෙරෙයිදා ය. ඊළඟට, රටේ අගනගරයේ මහා කැසිනෝ තිප්පොලක් ඇති කිරීමට අරඅඳින්නේත්, රට සිල්වත් කිරීම සඳහා ඔවුන් ඇති කරගත් ආණ්ඩුවක් යටතේ ය.

එතැනින් කතාව නතර නොවේ. ඔවුන් ශුද්ධ කරන්ට ආ ගිහියන්ගේ ආණ්ඩුවේ අගමැතිවරයාම කුඩු බිස්නස්වලට ආධාර කිරීමේ චෝදනාවට අද ලක්ව සිටී. සමාජය හෙළාදකින එවැනි බරපතල අපචාරයක් සම්බන්ධයෙන්, නිදහසෙන් පසු ලංකාවේ අගමැතිවරයෙකු චෝදනාවට ලක් වූ ප‍්‍රථම වතාව මෙයයි. එසේම, ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට, අල්ලස් කොමිසමේ සභාපතිවරයා අල්ලස් චෝදනාවට ලක්වන්නේ ද, ඔවුන් ශුද්ධ පවිත‍්‍ර කරන්නට ආ ආණ්ඩුවක් ඇතුළේ ය. ක‍්‍රිස්තියානි දේවස්ථානවලට, හින්දු කෝවිල්වලට සහ මුස්ලිම් පල්ලිවලට භික්ෂූන් වහන්සේලාම පහර දෙන්නේ ද, මේ කියන භික්ෂූන් වැඩම කළ දේශපාලනය තුළයි.

ඉහත සඳහන් කෙළේ, සදාචාරය නමින් සහ අවම ශීලාචාරය නමින් සාමාන්‍යයෙන් ගැනෙන ක්ෂේත‍්‍රයට අදාළ කරුණු කිහිපයක් පමණි. මේ ඊනියා සමාජ ශෝධක භික්ෂූන්ගේ කාලය තුළ, ලංකාවේ දේශපාලනය, ආයතනික ක‍්‍රමය, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීන්තවය වැනි වෙනත් වැදගත් ක්ෂේත‍්‍ර තුළ ඇති වී තිබෙන නස්පැත්තිය වෙනම කතාවකි.

දේශපාලනයට පිවිසෙන ඕනෑම භික්ෂුවක් කවදා හෝ දවසක ‘චීවරධාරියෙකු’ බවට පත්වීම වැළැක්විය හැක්කක් නොවේ. ඒ, ප‍්‍රධාන වශයෙන් හේතු දෙකක් නිසා ය. එකක් වන්නේ, පැවිදි භාවය සහ ගිහිගෙය අතර ඇති නොපෑහීමයි. සිවුරක් දරන්නේම, ගිහිගෙයින් නික්මීමටයි. දේශපාලනය යනු, ඒ ගිහිගෙට හොර පාරකින් ඇතුළු වීමයි. දෙවැන්න වන්නේ, ලංකාවේ අද දකින්ට ඇති පන්නයේ දේශපාලනය යනු, සම්මත අර්ථයේ දේශපාලනයකට පිටස්තර, අරටු බැස්ස ගුබ්බෑයමක් වීමයි. එවැනි ගුබ්බෑයමක්, සියලූ කෙලෙස් නැසීම අරමුණු කරගත් බෞද්ධ භික්ෂුවකට පමණක් නොව, වෙනත් ආගමක පූජකවරයෙකුට වුව නොපෑහෙයි.

මේ නිසා, ආගමක් රැුකෙන්නේ ධර්මයෙන්ම මිස නීතියකින් නොවන බව කෙනෙකු දත යුතුය. නීති හැදීම සහ රටක් පාලනය කිරීම දේශපාලඥයන්ගේ කාර්යයකි. පැවිදි පක්ෂයේ කාර්ය වන්නේ ධර්මය රැුකීමයි. නීති හැදීමට අතගසන පැවිදි පක්ෂයෙන් ධර්මය ගිලිහෙයි නම්, නීතියේ සහ ආණ්ඩු බලයේ හයියෙන් ආගමක් ආරක්ෂා කර ගැනීමට බැලීම, අන්ත මුළාවකි. හේතුව, එවැනි මාර්ගයක් අවසානයේ කෙනෙකුට හමුවන්නේ, ධර්මයෙන් තොර හිස් සිවුරක් පමණක්ම වන බැවිනි.

Back to Home page