Colombo Telegraph

මිස් හිරුනිකා ඇල්සයිම

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

අමතක වීමේ රෝගය අසාධ්‍ය තත්වයට පත්වීම ‘ඇල්සයිම’ යනුවෙන් හැඳින්වෙයි. එහි අවසානය මරණයයි. ඊට නිසි පිළියම් තවම සායාගෙන නැත. යථා කාලයේ සාර්ථක පිළියමක් සොයා නොගතහොත්, වසර 2050 වන විට, ලෝක ජනගහනයේ සෑම 85 දෙනෙකුටම කෙනෙක් ඊට ගොදුරු වෙතැ යි දැනට ගණන් බලා තිබේ.

ලංකාවේ බහුතරයක්, සෞඛ්‍යමය අර්ථයෙන් නොවෙතත්, දේශපාලනිකව ගත් විට, මේ රෝගයේ ළදරු අවස්ථාවක පසු වෙත්. ඔවුන්ට ඉතා ඉක්මණින් බොහෝ දේවල් අමතක වෙයි. එම ‘රෝගී’ තත්වයෙන් වැඩියත්ම ප‍්‍රයෝජන ගන්නේ, අපේ දේශපාලඥයන් ය. උදාහරණයක් වශයෙන්, හැම මැතිවරණයකදීම පක්ෂ නායකයන් ජනතාවට දෙන පොරොන්දු ඔවුන් මොන තරම් කඩ කෙරුවත්, තවත් අවස්ථාවක දී ඒ ගැන අමතක කොට අදාළ දේශපාලඥයන්ට සහ දේශපාලන පක්ෂවලට ඡුන්දය පාවිච්චි කිරීමට අපේ ජනතාව පෙළැඹෙත්. ඒ සාමූහික අමතකය පසුපස විවිධ හේතු ඇත. ඒවා බොහෝ දුරට සාධාරණ යැයි කෙනෙකුට කිව හැකිය. මොන තරම් පොරොන්දු කඩ කළ පක්ෂකයකට වුව ද නැවත වරක් ඡුන්දය පාවිච්චි කිරීමට බොහෝ දෙනා පෙළඹෙන්නේ, වෙනත් විකල්පයක් සොයා ගැනීමට නැති නිසා වන්නට පුලූවන.

කෙසේ වෙතත්, මෑතක සිට අපට අසන්ට සහ දකින්ට ලැබෙන ඇතැම් සිදුවීම් නිසා, මේ කියන අමතක වීම සාපරාධී විකට රංගනයක ස්වරූපයක් ගෙන තිබේ. සාපරාධී වන්නේ, අමතක වීමේ ඇති නාඩගම් ස්වරූපය නිසා නොව, ඒ නාඩගම පසුපස ඇති බරපතල සහ භයානක දේශපාලනික යථාර්ථයන් නිසා ය. ප‍්‍රගීත් එක්නැලිගොඩ පිටරටක වාසය කරන බවට සාක්ෂි තමන් සතුව ඇති බව ජාත්‍යන්තරය හමුවේ ප‍්‍රකාශ කළ මොහාන් පීරිස්, ඊට පසු අවස්ථාවක ඒ ගැන සාක්ෂි දීම සඳහා අධිකරණය ඉදිරියට කැඳවූ අවස්ථාවේ කීවේ, එම තොරතුරු තමන්ට කීවේ කවුදැ යි දැන් තමන්ට මතක නැති බවයි. ඔහු අද ලංකා අධිකරණයේ තත්වාකාර අගවිනිසුරුවරයා ය.

භාරත ලක්ෂමන් පේ‍්‍රමචන්ද්‍රව කොලොන්නාවේ දී ඝාතනය කිරීමේ සැකකරුවෙකු වන දුමින්ද සිල්වා, මෑත කාලයේ ලංකාවේ නාගරික දේශපාලනය තුළ හයිකාර භූමිකාවක් රඟපෑ චරිතයකි. එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට ගිය ඔහුට, එක්සත් ජාතික පක්ෂය තුළ කිසි දවසක ලැබිය හැකි යැයි සිතිය නොහැකි තරමේ වාසනාවක් හිමි විය. ඒ, ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ සහෝදරයන්ගේ ප‍්‍රියතම චරිතයක් බවට පත්වීමෙනි.

භාරත ලක්ෂමන් පේ‍්‍රමචන්ද්‍ර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනයට විශාල බුද්ධිමය දායකත්වයක් සැපයූවෙකු නොවේ. එහෙත්, මේ කාලයේ දේශපාලන පක්ෂවල සිටින කිසිවෙකු එවැනි දායකත්වයන් සපයන්නන් නොවන්නන් වීම තුළ – උදාහරණයක් වශයෙන්, ජී.එල්.පීරිස් වැනි මහාචාර්යවරුන් පවා, මර්වින් සිල්වා වැනි දේශපාලඥයන්ට වැඩි සේවයක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බුද්ධිමය සංවර්ධනය වෙනුවෙන් නොකරන තත්වය තුළ-භාරත ලක්ෂමන් පේ‍්‍රමචන්ද්‍ර එක්තරා වකවානුවක එම පක්ෂයට කළ ශ‍්‍රම-දානය, අඩුවෙන් තක්සේරු කළ යුතු නොවේ. කෙසේ වෙතත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනයේ මෑතකාලීන ඉතිහාසය තුළ භාරත ලක්ෂමන් පේ‍්‍රමචන්ද්‍ර වැන්නෙකු ඉදිරියේ දුමින්ද සිල්වා ලිලිපුටුවෙකු මෙන් විය යුතුව තිබුණි. එහෙත්, සිදුවුණේ එහි අනිත් පැත්තයි. භාරත ලක්ෂමන් පේ‍්‍රමචන්ද්‍රව දෙනෝදාහක් ඉදිරියේ මහ පාරේම ඝාතනය කර දැමීමෙන් පසුව පවා, ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ ආණ්ඩුවේ සැබෑ බලපුලූවන්කාරයන් ගත්තේ, තමන්ගේ පැරණි සගයාගේ පැත්ත නොව, සල්ලිකාර දුමින්ද සිල්වාගේ පැත්තයි.

මේ ‘ද්වන්ද සටනේ දී’ ඇති වූ තුවාල නිසා, දුමින්ද සිල්වා ‘එළවළු ශාඛයක්’ ගානට පත්ව ඇතැ යි ඇතැම් මාධ්‍ය එදා වාර්තා කෙළේය. තුවාලවලින් ගොඩ ආවත්, කිසි දවසක ඔහුගේ මොළය වැඩ කරන එකක් නැතැ යි තවත් අය කීහ. අවසානයේ, ලංකාවේ වෛද්‍යවරුන්ට ඔහුගේ ජීවිතය බේරා ගැනීමට පුලූවන් කමක් නැතැ යි සිතාගෙන මෙන්, ඔහුව විදේශ රෝහලකට මාරු කෙරුණි.

එයින් වසරක් යන්නට නැත. මහා ‘ප‍්‍රාතිහාර්ය’ සිදුවිය. දුමින්ද සිල්වා කට පුරා හිනාවේගන ලංකාවට ආවේය. (ඒ හිනාවුණේ, මහජනතාව වන අපටම යැයි මම සිතමි). ආ ගමන් ඔහු කෙලින්ම ගියේ ජනාධිපතිවරයාව බැහැදැකීමටයි. ඇති වූ ඝාතනය ගැන ප‍්‍රශ්න කිරීමේ දී ඔහු කීවේ, ‘මට මතක නැහැ’ කියා ය. මේ කියමන, අද වන විට ජනප‍්‍රිය දේශීය කියමනක් බවට පත්ව තිබේ.

මෙවැනි මතකය නැති පුද්ගලයන් රටක අගවිනිසුරු තනතුරුවල සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තනතුරුවල කටයුතු කරන්නේ කෙසේ දැ යි කාටවත් ප‍්‍රශ්නයක් නැත. මතක තබා ගැනීමට වඩා, අමතක කර දැමීම, රාජපක්ෂ පාලනයේ කේන්ද්‍රීය මුද්‍රාව වන බැවිනි. ලබන මාසයේ ජිනීවා නුවරදීත් ඔවුන් ඉල්ලා සිටින්ට යන්නේ ‘අතීතය අමතක කරන්න’ යනුවෙනි.
පේ‍්‍රමචන්ද්‍ර ඝාතනයෙන් පසු ලංකාවේ මාධ්‍ය විසින් රූමත් ලලනාවක් තරුවක් බවට පත්කළාය. ඒ, ඝාතනයට ලක්වූ භාරත ලක්ෂමන් පේ‍්‍රමචන්ද්‍රගේ දියණිය, හිරුනිකා පේ‍්‍රමචන්ද්‍රවය. ඇය, සිය පියාගේ ජීවිතය වෙනුවෙන්, යුක්තිය සහ සාධාරණත්වය ඉල්ලා පාරට බැස්සාය. මිනීමරුවන් නීතිය ඉදිරියට පමුණුවන තෙක් සටන අතනාරින බව දිව්රා කීවාය.

කෙනෙකු ඝාතනය වූ පසු එම පුද්ගලයාගේ ජීවිතය ආපසු ලබා දිය නොහැක. ඒ වෙනුවට ශිෂ්ට සමාජයකින් සැපයෙන හිලව්ව වන්නේ, ඝාතකයාව නීතිය ඉදිරියට පැමිණවීමයි. එම කාර්යයෙන් තොරව සැපයෙන ඕනෑම වන්දියක්, අල්ලසක්ම ය.

දැන්, සිය පියාගේ ඝාතනය පිළිබඳ නීති ක‍්‍රියාපරිපාටියට කකුල් මාට්ටු දාන ආණ්ඩු පක්ෂයෙන් ඈට වන්දියක් ලැබී තිබේ. ඒ, එම පක්ෂයේ මැද කොළඹ සංවිධායක තනතුරයි. එම වන්දිය, අල්ලසකි. තමා වනාහී, රාජපක්ෂ පවුල විසින් දරු කමට ගත් දියණියකැ යි දැන් ඈ කියයි. එය සැබෑවක්ම ය. ඈ එය කියන්නට කලින්, මේ කොලමේ එය ලියැවී තිබේ.
ඇයව මාධ්‍ය මගින් තරුවක් බවට පත්කෙරමින් සිටි අවධියේ, ‘‘මාධ්‍යයෙන් වදන තරුව, පාලකයා දරුකමට ගැනීම’’ යන මැයෙන් අදහස් දැක්වීමක් මෙහි කෙරුණි. එහි අවසානය පහත සඳහන් පරිදි විය:

‘‘…..ඉතා මෑතක දී මාධ්‍ය හරහා තවත් තරුවක් නිර්මාණය කෙරුණි. නායකයෙකුගේ ඇවෑමෙන් ඥාතියෙකු එම තැන ගැනීම අපේ කලාපයට නුහුරු නැත. ඒ අනුව, පියා ඝාතනය වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන්, හිරුනිකා බැබැළීමත් පුදුමයක් නොවේ. එහෙත් එම බැබළීම, මේ රටේ යුක්තියේ සහ සාධාරණත්වයේ හේතුපාඨයක් වශයෙන් ගත් මාධ්‍ය හරහා නිර්මාණය කෙරුණේ, පාලකයන් අතේ පාවිච්චි වන තවත් සුරුබුහුටි අමුද්‍රව්‍යයක් බව අද විද්‍යමාන වෙයි. පියාගේ මරණය වෙනුවෙන් සාධාරණත්වය ඉෂ්ට කර ගැනීමේ වෑයම තුළ, තමා ‘වමට’ මිස ‘දකුණට’ නොයන කෙනෙකු බව ඇය කියන විට අප ඉදිරියේ මැවෙන්නේ, එක්කෝ, දේශපාලනයේ හයහතර නොදන්නා දැරියකගේ අහිංසකත්වයකි. නැත්නම්. මහින්ද රාජපක්ෂ වර්ගයේ ‘වමක්’ අස්සේ සැඟවිය හැකි තැනක් ඇත් දැ යි සොයන ස්වාර්ථකාමී ගැහැනියකි.

වම සහ දකුණ පිළිබඳ ඇගේ නොමේරූ කතා අසා සිටි කිසි මාධ්‍යවේදියෙක්, පහත සඳහන් මෑතකාලීන අත්දැකීම් ඈට මතක් කර දුන්නේ නැත.

නාලන්ද එල්ලාවලගේ ඝාතනයට එරෙහිව ‘අභීතව’ සටන් කළ ඩිලාන් පෙරේරා සහ ඩලස් අලහප්පෙරුම, එදා ඔවුන් විසින් ඝාතකයා වශයෙන් හඳුනාගනු ලැබූ පුංචිනිලමේ සමග අදත් දේශපාලන දීගයක වෙසෙති. ඒ, බලය වෙනුවෙනි.

සිය සැමියාගේ අළුගෝසුවන් වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ නිවැරදිව නම් කළ චන්ද්‍රිකා කුමාරණතුංග, එම පක්ෂය සමග පරිවාසයට ගියාය. ඒත්, බලය වෙනුවෙනි.
ඉතිං, කල්‍යාණ මිත‍්‍රත්වය සහ ස්වාමි ස්නේහය වැළලූ එවැනි දේශපාලනික සම්ප‍්‍රදායකට උරුම කියන හිරුනිකාට, තමාගේ බලය වෙනුවෙන් පියාගේ මළකඳ සදහට වළලා දැමීම ප‍්‍රශ්නයක් විය යුත්තේ ඇයි?‘‘

ඉහත කී අනාවැකිය සත්‍යයක් කිරීමේ ප‍්‍රථම පියවරට දැන් හිරුනිකා ප‍්‍රවිෂ්ඨව සිටී. මෙතැන් සිට, භාරත ලක්ෂමන් පේ‍්‍රමචන්ද්‍ර නමින් පියෙකු තමාට සිටියේ ද යන්නත් හිරුනිකාගේ මතකයෙන් වියැකී යාම, කාලය පිළිබඳ ප‍්‍රශ්නයක් පමණි.

 

Back to Home page