Colombo Telegraph

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ දක්ෂිණ චින්තනය – 3

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

රාජපක්ෂ ආණ්ඩුව යුද්ධයට ගියේ මහා ඔට්ටුවක් භාර ගනිමිනි. යම් හෙයකින් යුද්ධය අසාර්ථක වුණොත්, තමන්ට සියල්ල අහිමි වන්නේය යන දැනුම ඔවුන්ට තිබුණි. එහෙත් එය ජයගත්තොත්, සියල්ල තමන්ගේ කර ගැනීමෙන් මෙහා නතර විය යුතු නැති බවත් ඔවුන් දැන සිටියේය. එහි දී, ලෝකයාගේ සහයෝගය, විශේෂයෙන් ඉන්දියාවේ සහයෝගය ලබා ගැනීම සඳහා, 13 වෙනුවෙන් හෙවත් දේශපාලන විසඳුමක් වෙනුවෙන් තමන් යුද්ධ කරන බව ලෝකයාට පැවසිය යුතුව තිබුණි. මීට පෙර අප බොහෝ විට පෙන්වා දී ඇති පරිදි, ආණ්ඩුවේ න්‍යාය, එනම් ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදය පරාජය නොකොට, 13 ටත් එහා යන දේශපාලන විසඳුමක් දීමට, න්‍යායික සහ ප‍්‍රායෝගික හැකියාවක් නැති බව ලෝකයාට ඒත්තු ගැන්විණ. ගෝඨාභය රාජපක්ෂගේ සිට අද 13 ට එරෙහිව වන කිසිවෙකු මාවිල්ආරුවෙන් අවසන් යුද්ධය දියත් වූ පසු, 13 අහෝසි කිරීමක් ගැන, ලෝකයාට තියා රටට ඇහෙන්නටවත් කතා කෙළේ නැත. ඒ ගූඪ නිශ්ශබ්දතාව පසුපස පැවති තර්කනය සරළ ය.

2009 දී යුද පිටියේ දී විනාශ වෙතැ යි දකුණෙන් අපේක්ෂා කෙළේ, ත‍්‍රස්තවාදය හෝ බෙදුම්වාදය නොව, දෙමළ ජාතික අභිලාෂයයි. ත‍්‍රස්තවාදය අතුගා දැමීම හෝ බෙදුම්වාදය පරාජය කිරීම යනු, අර දෙමළ ජාතික අභිලාෂය විනාශ කිරීම සඳහා ලෝකයාට ඉදිරිපත් කළ ශිෂ්ටාචාරමය හේතුවාචකයයි. දැන් 13 ක් අවශ්‍ය නැතැ යි යන තර්කය එන්නේ ඒ කියන සිංහල අභිලාෂයේ මූලාශ‍්‍රයෙනි.

1987-1990 අතර භීෂණ සමයේ ජීවිතක්ෂයට පත් පිරිස 60,000 කැ යි කියැවේ. එල්.ටී.ටී.ඊ. ක‍්‍රියාකාරකම් හරහා දකුණේ ඇති කරන ලද මිනිස් ඝාතන සංඛ්‍යාව ගව් ගානකින්වත් ඒ අහලකට එන්නේ නැත. එසේ තිබියදීත්, දකුණේ 87-90 භීෂණය තුළ, ‘කෙනෙකුට පාරේ බැහැලා යන්නට පුලූවන් කමක් තිබුණේ නැතැ’ යි කිසිවෙකු කීවේ නැත. එහෙත්, ඊලාම් යුද්ධයේ දී, දකුණේ අපට පාරේ බැස යන්නටවත් නිදහසක් තිබුණේ නැති බව, පුරුද්දකට මෙන් දකුණේ අපි තවමත් කියමු. අනිත් අතට, දකුණේ භීෂණය මෙහෙයවූ නායකයා ඇතුළු වෙනත් සාමාජිකයන්ව අදටත් වසරක් පාසා සැමරේ. එවැනි ‘ත‍්‍රස්තවාදීන්’ අනුස්මරණය කිරීම නීතියෙන් තහනම් කළ යුතු යැයි මේ දක්වා දකුණේ කිසිවෙකු කියා නැත. එහෙත්, යාපනේ සොහොන් කොතක් ළඟ කඳුළු සලන්නට අයිතියක් අද දෙමළ ජනයාට නැත. ‘ත‍්‍රස්තවාදීන්’ දෙන්නෙකු දකුණේ චින්තනය තුළ සංජානනය වන අන්දමේ මේ කියන වෙනස මා මේ සා අවධාරණය කරන්නේ වෙන කිසිවක් නිසා නොව, යුද්ධයේ සැබෑ ස්වභාවය සහ එම යුද්ධය හෘදයංගමව සුජාත කළ දකුණේ චින්තනය, ‘ත‍්‍රස්තවාදය අතුගා දැමීම’ හෝ ‘බෙදුම්වාදය ඉවරයක් කිරීම’ වැනි ඊනියා හේතු ඉක්මවා ගිය සිංහල-බෞද්ධ අභිලාෂයක් වූ බව පෙන්වා දීමටයි.

13 අසාර්ථක කිරීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය ප‍්‍රායෝගික තලයකම වැඩ කෙළේ, ඔවුන්ගේ අරමුණ වෙනම රාජ්‍යයක් සඳහා වීමත්, 13 සාර්ථක වුවහොත් තමන්ගේ ගමනට එය යම් ආකාරයකින් හෝ බාධාවක් විය හැකිව තිබූ නිසාත් ය. සිංහලයන් වෙනුවෙන් පෙනී සිටි දකුණේ අන්තවාදියා 13 ට විරුද්ධ වුණේ, කොහොමත් දෙමළාට කිසිවක් නොදෙන්නෙමු ය යන අමු ස්ථාවරයේ සිටි බැවිනි. දැන් මේ දෙගොල්ලන්ගේ අවශ්‍යතා එකිනෙකට වෙනස් වුවත්, ඒ වෙනස් අවශ්‍යතා පිරිමසා ගැනීමට අනුගමනය කළ යුතු ක‍්‍රියාමාර්ගය එකක් වූ බව අපට පෙනේ. ඒ නිසා, දෙගොල්ලන්ම ගොනු වුණේ එක සටන් පාඨයක් තුළටයි. එනම්, 13 එපා සහ දේශපාලන විසඳුම් එපා යන්නටයි. ප‍්‍රතිඵලය වුණේ, තිස් අවුරුද්දක් තිස්සේ යුද්ධය දිග් ගැස්සීමත්, අවසානයේ මහා විනාශයකින් එය කෙළවර වීමත් ය. කෙළවර වීම යනු ජයක් නොව, පරාජයකි. එය දෙමළ ජනයාගේ පමණක් නොව, සිංහලයාගේ ද පරාජයකි. එසේ වන්නේ, යුද්ධය තුළ සිංහලයා කෙරෙහි දෙමළ සමාජය තුළ ඇවිළවූ වෛරය සහ සැකය, ඉදිරි පරම්පරා ගණනාවකට විහිදෙන පිළිකාවක් විය හැකි බැවිනි.

අද ගෝඨාභය රාජපක්ෂ වැන්නන්ගේ ව්‍යායාමය එහි තාර්කික අන්තයට යනු දැකීම, වෙනම රාජ්‍යයක් වෙනුවෙන් තවමත් පෙනී සිටින දෙමළ ඩයස්පෝරාවේ අපේක්ෂාවයි. ඒ නිසා ඔවුන් අදත් 13 ට එරෙහි වෙනවා පමණක් නොව, එසේ එරෙහි වන්නේ, තමන්ගේ අරමුණ ඊලාමයක් සඳහා වන නිසා යැයි ද ඇතැම් විට ප‍්‍රසිද්ධියේම කියති. මොන තරම් අපූරුද/ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු දකුණේ අන්තවාදීන්ට අවශ්‍ය කරන්නේද එවැනි ප‍්‍රතිචාරයකි. මේ දෙගොල්ලන් එසේ අන්‍යොන්‍යව පෝෂණය වීමේ අවසාන ප‍්‍රතිඵලය වන්නේ, යුද්ධය එක සේ කැරකෙන චක‍්‍රයක් බවට පත්වීමයි.

ගණිකා නිවසකට නිතර යනඑන පිරිමියෙකු ගණිකා වෘත්තිය අහෝසි කළ යුතු යැයි ප‍්‍රසිද්ධියේ කෑගැසුවොත් ඔහු ගැන ඔබ සිතන්නේ කුමක් ද? එවැනි පිරිමියෙකු සහ 13 අහෝසි කළ යුතු යැයි කියන හෙළ උරුමයේ පළාත් සභා ඇමතිවරයෙකු වන ගම්මන්පිල වැනි පිරිමියෙකු අතර වෙනසක් තිබේ ද? 13 වැනි සංශෝධනය ගෙනාවේ දෙමළ ජනයාට විසඳුමක් සඳහා නම්, දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ තුන් සිංහලයම භුක්ති වින්ද ඒ ‘වරප‍්‍රසාදය’ පළමු වරට උතුරට දීම මෙතරම් ප‍්‍රශ්නයක් වන්නේ ඇයි?

නීතියක් යනු, ක‍්‍රියාවට පෙරැුලීමේ බලය සහිතව පැනවෙන, විධානයකි. බලයක් නැති තැන, නීතියක් නැත. අගවිනිසුරුවරියට එරෙහිව පාර්ලිමේන්තුව කටයුතු කළ ආකාරය නීති විරෝධී බව අධිකරණය තීන්දු කර තිබියදී, එය නොතකා, දෝෂාභියෝගී පාර්ලිමේන්තු ක‍්‍රියාවලිය පාලකයා විසින් ‘නීත්‍යානුකූල’ කරන ලද්දේ, නග්න බලය මගින්ම පමණි. 13 වැනි සංශෝධනය ලංකාවේ උත්තරීතර ලියවිල්ලේ එක් අංගයකි. එය අවුරුදු 26 ක් තිස්සේ දකුණට පවා ක‍්‍රියාත්මක නොකොට සිටියේ බලය මගිනි. (තමන්ට නොලැබුණු දේශපාලන බලයට වන්දියක් වශයෙන් තඩි පැජරෝවක් සහ අයථා පරිහරණයට ඕනෑම මොහොතක යෙදිය හැකි සමාජ බලයක් ලැබීමෙන් එම ආයතන සෑහීමට පත්විය*. ඉතිං, එවැනි මදයක් නැති පොත්තක් උතුරට දීම ගැන මේ තරම් විසප්පු විය යුත්තේ ඇයි?

රාජපක්ෂ දේශපාලන ක‍්‍රමවේදයේ සාරය සෙවිය යුත්තේ එම ප‍්‍රශ්නය තුළ ය. මීට පෙර ඉදිරිපත් කළ කරුණුවලින් පෙන්නුම් කිරීමට තැත් කළ පරිදි, දකුණේ චින්තනය තුළ නිද්‍රාගත ස්වෝත්තමවාදයක් නිදන්ගතව තිබේ. පාලකයාට අවශ්‍ය මොහොතක, අවශ්‍ය පරිද්දෙන්, එය අවදි කැරැුවිය හැකිය. මේ හැකියාව, යුද්ධයේ ජයග‍්‍රහණයෙන් පසු වඩාත් සාර්ථක සහ පහසු ප‍්‍රතිඵල ගෙන දෙන බව පාලකයා තේරුම්ගෙන සිටී. බොදුබල සේනා, රාවණා බලය හෝ සිංහල රාවය වැනි උමතු ව්‍යාපාර හරහා හලාල් ප‍්‍රශ්නය, මුස්ලිම් විරෝධය, හරක් මස් තහනම වැනි, එක පිට එක එන සෑම ‘ජාතික’ උද්ඝෝෂණයක් පසුපසම ඇත්තේ අර කී ස්වෝත්තමවාදයේ සෙවනැල්ලයි. පැජරෝවකට වැඩි දෙයක් නොලැබෙන බවට වගබලාගත හැකි පළාත් සභාවක් උතුරට දීමෙන් පවා රට බෙදීමක් ඇති විය හැකැ යි ජනතාව ලවා විශ්වාස කැරැුවීමට පාලකයා වෙහෙසෙන්නේ, යුද ජයග‍්‍රහණයේ තේජස නොමරා පවත්වා ගැනීම තමන්ගේ එකම ගැලවීම බව වටහාගෙන ඇති නිසා මිස, 13 හරහා රට බෙදීමක් සිදුවෙතැ යි සද්භාවයෙන් විශ්වාස කරන නිසා නොවේ.

මේ නිසා, ප‍්‍රශ්නය අමුවෙන් සූත‍්‍රගත කළ යුතුව තිබේ. 13 වැනි සංශෝධනයට අද පක්ෂපාතී වීම යනු, යුද්ධයේ දී දිවි දුන් දස දහස් ගණනක් වන රණවිරුවන්ට ද්‍රෝහී වීමකැ යි චම්පික රණවක කියන විට, එක පැත්තකින්, එය සමාජ අරුතක් භජනය කරයි. තවත් පැත්තකින්, පාලක අවශ්‍යතාවක් නියෝජනය කරයි. සමාජ අරුතකින් ගත් විට, යුද්ධය සාර්ථකව මෙහෙයැවීම තුළින් දකුණට අවශ්‍ය කෙළේ, සිංහල ස්වෝත්තමවාදය කුල්මත් කිරීම මිස, බලතල බෙදා හැරීමක් හෝ දේශපාලන විසඳුමක් දීම හරහා දෙමළා ද සමානයෙකු සේ ජාතික තලයක අන්තර්ග‍්‍රහණය කර ගැනීම නොවේ. මේ ජයග‍්‍රාහී ස්වෝත්තමවාදය ඉදිරියේ, ‘අනෙකාගේ’ තර්ජනය පිළිබඳ භීතිකාව හැකි සෑම ආකාරයකින්ම නඩත්තු කිරීම පාලකයාගේ අභිප‍්‍රායයි. ප‍්‍රභාකරන් ඝාතනය කිරීම ‘සතුරා’ ඝාතනය වීමක් වශයෙන් බාර ගැනීමට දකුණට ඉඩ දිය යුතු නැත. ‘සතුරා’ සදාකාලික වන තරමට, තමන්ගේ පැවැත්මත් සදාතනික වෙතැ යි පාලකයා සිතන බැවිනි.

Back to Home page