Colombo Telegraph

රාජ්‍ය නොවන සංවිධාන දඩයම කුමක් සඳහා ද?

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

මතක තියාගන්න. දෙමළුන් පරදා ලැබූ ජයග‍්‍රහණය කෙළවර වන්නේ සිංහලයන්ව ද පරාජය කිරීමෙනි. ජයග‍්‍රහණයේ අයිතිය තනි පවුලකට බැර වෙන තරමට, අවසානයේ පරාජයට පත්වන්නේ එම රටත්, ජනතාවත් ය. යුද ජයග‍්‍රහණයෙන් පසු, උතුරේ පමණක් නොව, දකුණේ ද ප‍්‍රජාතන්ත‍්‍රීය අවකාශය හැකිලෙමින් ඇති ආකාරය ගැන නිකමට සිතා බලන්න. 17 වැනි සංශෝධනය කටුගා දැමීමෙන් ඔබට එය පටන් ගත හැක. අළුත්ම අදියර, රාජ්‍ය නොවන සංවිධාන දඩයමයි.

ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපාරය සම්බන්ධයෙන් කලක සිට චිත‍්‍රණය කොට ඇති කතාන්තරය එතරම් යහපත් නැත. එක් පැත්තකින්, රාජ්‍ය නොවන සංවිධාන අතලොස්සක ක‍්‍රියාකලාපයන් ඊට හේතු වී ඇතත්, වැඩිමනත් මේ නිෂේධාත්මක මතවාදය සමාජගත වුණේ, පාලක පැලැන්තියේ දේශපාලනික ව්‍යාපෘතියක මුක්කුවක් වශයෙනි. ඒ ප‍්‍රචාරක ව්‍යාපාරය කෙතෙක් සාර්ථක විණි ද යත්, ‘එන්.ජී. ඕ.’ කී පමණින් මිනිසුන් තුළ, විශේෂයෙන් දකුණේ මිනිසුන් තුළ යම් සැකයක්, විචිකිච්ඡුාවක් ඇති කරවන තරමට එය වර්ධනය විය. ඊළඟට, බටහිර ලෝකය සහ අධිරාජ්‍යවාදය සමග එම සංකල්පය සංකලනය කෙරුණි. ඒ ආකාරයෙන්, ජාතිකවාදී කථිකාව තුළ, ‘එන්.ජි. ඕ’ යන්න, ඉතා පහසුවෙන් පාලකයාගේ පාවිච්චියට ගත හැකි ප‍්‍රහාරාත්මක සහ දේශමාමක අවියක් බවට පත්විය. මේ ‘එන්.ජී. ඕ.’ කාරයන්, විදේශ කුමන්ත‍්‍රණයක් මේ රටේ දියත් කිරීමට කැසකවන පිරිසක් වශයෙන් සිංහල සමාජය තුළ හංවඩු ගැසිණ.

මේ ආවේගශීලී හැඟීම්බර ප‍්‍රවේශයෙන් ඉවත්ව, රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපාරය ගැන එළඹි සිහියෙන් යුතුව සළකා බැලූවොත් පෙනී යන එක් වැදගත් කාරණයක් තිබේ. එනම්, විශේෂයෙන් තුන්වැනි ලෝකයේ ඕනෑම රටක රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් ව්‍යාප්ත වන්නේ, එම රටේ රාජ්‍යයේ අසමත් භාවයට සමානුපාතිකව බවයි. රාජ්‍යයක් ස්වකීය ජනතාව සහ සමාජය කෙරෙහි වන තමන්ගේ යුතුකම් සහ වගකීම් ඉටු කිරීමට අසමත් වන තරමට, එම රටේ රාජ්‍ය නොවන සංවිධාන ජාලයක අවශ්‍යතාව ඉබේ මතුවන්නේය. උදාහරණයක් වශයෙන් ගතහොත්, යුද්ධය තුළ දී මෙන්ම, විශේෂයෙන් යුද්ධාවසානයෙන් පසුව, උතුරේ ජනතාව මුහුණදෙන ප‍්‍රශ්න රාශියකට පිළිසරණ වී ඇත්තේ ලංකාවේ රාජ්‍යය නොව, රාජ්‍ය නොවන සංවිධානයන් ය.

බටහිර දියුණු රටවල්වලත් රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාත්මක වෙයි. එහෙත්, එම රාජ්‍ය නොවන සංවිධාන සහ අපේ රාජ්‍ය නොවන සංවිධාන අතර මූලික වෙනසක් බොහෝ විට දැකිය හැකිය. උදාහරණයක් වශයෙන් ප‍්‍රංශය වැනි රටක් ගතහොත්, එරටේ ක‍්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන බොහොමයක් කටයුතු කරන්නේ, විශේෂිත ජන කොටස් සහ විශේෂිත අවස්ථාවන් මුල් කරගෙන බව පෙනේ. ස්ථිර වාසස්ථාන නැති මිනිසුන්ට ශීත කාලයේ නවාතැන් පහසුව සැළසීම, අන්ත දරිද්‍රතාවෙන් පෙළෙන සමාජ කොටස්වලට කෑමබීමාදිය සැපයීම, දේශපාලන සරණාගත අයිතිය පතා එම රටට තුන්වැනි ලෝකයෙන් පැමිණෙන මිනිසුන්ට අවශ්‍ය නීතිමය සහ භෞතික කළමනා සම්පාදනය කිරීම ආදී ‘ලෞකික’ ක්ෂණික අවශ්‍යතා ඒ අතරින් ප‍්‍රධාන ය.

එම රටේ මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන ජාලයක මැදිහත් වීමක් දකින්ට නැති තරම් ය. හේතුව, තුන්වැනි ලෝකයේ එවැනි කටයුතු ගැන ඇඟිල්ල දිගු කරමින් තමන්ගේ රටේ එම ප‍්‍රශ්න ගැන ඇස්කන් පියාගෙන සිටීමක් නොව, ඇත්ත වශයෙන්ම, එවැනි ප‍්‍රශ්නවලට ආමන්ත‍්‍රණය කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් එම රටට අවශ්‍ය නොකරන බැවිනි. යම් මානව හිිමිකම් උල්ලංඝණයක් සිදුවෙතොත් ඒ ගැන නිසි පියවර ගැනීමේ රාජ්‍ය යාන්ත‍්‍රණයක්ම එම රටේ ක‍්‍රියාත්මක වෙයි. එසේම, අධිකරණයේ සහ නීතියේ ස්වාධීනත්වය සහ ආධිපත්‍යය පිළිබඳ සොයා බැලීමට රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් එම රටවලට අවශ්‍ය කරන්නේ නැත. මන්ද යත්, සාමාන්‍ය පුරවැසියාගේ සිට ජනාධිපතිවරයා දක්වා සිදුවන ඕනෑම නීති උල්ලංඝණයක් ගැන කටයුතු කිරීමට තරම් ශක්තිමත් ස්වාධීන අධිකරණ සහ නීති පද්ධතියක් ඒ රටවල ඇති නිසා ය. පසුගිය කාලයේ ප‍්‍රංශයේ බලවත්ව සිටි ජනාධිපතිවරුන් දෙදෙනෙකුම පසුගිය දා අධිකරණය ඉදිරියට, රටේ පවතින නීතිය මගින්ම ගෙන එන ලදි. තවත් ප‍්‍රධාන පෙළේ පක්ෂයක ලේකම්වරයෙකු (මොහු ඊළඟට ප‍්‍රංශයේ ජනාධිපති වීමට ද සුදුසුකම් ඇතිව සිටි අයෙකි)  සිල්ලර ගනයේ දූෂණ චෝදනාවක් අධිකරණය ඉදිරියේ ගොනු කෙරුණු විට තම තනතුරෙන් ඉල්ලා අස්වූයේය.

තේරුම් ගැනීමේ පහසුව සඳහා ඉහත කී කාර්යයන්, සමාජයක ‘ලෝකෝත්තර අවශ්‍යතා’ වශයෙන් ද, ඊට කලින් කී කාර්යයන් සමාජයක ‘ලෞකික අවශ්‍යතා’ වශයෙන් ද දැක්වීම යෙහෙකි. ‘සර්වෝදය’ ව්‍යාපාරය, ලෞකික අවශ්‍යතා සඳහා මේ රටේ ඇති වූ ප‍්‍රධාන පෙළේ රාජ්‍ය නොවන සංවිධානයක් වශයෙන් හඳුනාගත හැකිය. ‘සර්වෝදයෙන්’ අපේක්ෂිත සමාජ කාර්ය භාරයට එහා යන අවශ්‍යතා රාශියක් පසුගිය කාලයේ පෙළගැසුණි. පාරවල් පිලිසකර කිරීම, සාක්ෂරතා ව්‍යාපාර සහ වෙනත් ප‍්‍රාදේශීය අවශ්‍යතාවන්ගෙන් එහාට ප‍්‍රශ්න දිග් ගැස්සෙන තරමට ලංකාවේ සමාජයත්, සමාජ අවශ්‍යතාවනුත් සංකීර්ණ වුණේය. එහි දී, ‘ලෞකික අවශ්‍යතා’ පරයමින්, ‘ලෝකෝත්තර අවශ්‍යතා’ පෙරට ආවේය.

අද ලංකාවේ මිනිසුන්ගේ ආර්ථික අවශ්‍යතා ඉටු කර දීමට රාජ්‍ය දක්වන අසමත් භාවයට වඩා කැපී පෙනෙන්නේ, මේ රටේ සකල පුරවැසියන්ට, ආසන්න වශයෙනුත් දීර්ඝ කාලීන වශයෙනුත්, මුහුණදීමට සිදුව ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී අහේනියයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අහේනිය යන්නෙන් අදහස් වන්නේ, හුදෙක් නිසි කලට මැතිවරණ නොපැවැත්වීමක් හෝ පාර්ලිමේන්තුව රැුස් නොවීමක් වැනි මහගුණාකාර දේවල්ම නොවේ. කටුනායක සේවකයන් තමන්ගේ සේවාදායක අරමුදල් ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටි විට වෙඩි තබා ඝාතනය කිරීම, රතුපස්වල මිනිසුන් පිරිසුදු වතුර ඉල්ලූ විට වෙඩි තබා ඝාතනය කිරීම, එසේ ඝාතනය කිරීමට වගකිවයුතු හමුදා නිලධාරීන් තානාපති තනතුරුවලට උසස් කිරීම, අගවිනිසුරුවරිය බලහත්කාරයෙන් පන්නා දැමීම, දේශපාලනික අන්තේවාසිකයන් අධිකරණයට පත්කිරීම, අළුත්ගම ඇතුළු තවත් නොයෙකුත් තැන්වල ප‍්‍රචණ්ඩකාරී තත්වයන් ඉදිරියේ පොලීසිය නිශ්ශ්බ්දව සිටීම, මිනීමරුවන් නීතියෙන් නිදහස් කොට ගෙදර යැවීම, ආණ්ඩුවේ හෙංචයියන්ට නීතිය ක‍්‍රියාත්මක නොකිරීම සහ ආණ්ඩු විවේචකයන්ට නීතියට උඩිනුත් දඬුවම් කිරීම ආදී අනේකාකාර කි‍්‍රයාවන් ඊට ඇතුළත් වෙයි.

රාජ්‍යය යන ආයතනයම මෙසේ දූෂිතව සහ අවනීතිකව හැසිරෙන විට සහ ඒ හේතුවෙන් ජනතා අයිතීන් දිනෙන් දින පෑගෙන විට, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා විපක්ෂයක ක‍්‍රියාකාරීත්වය පමණක් රටකට ප‍්‍රමාණවත් වන්නේ නැත. වෙනත් සිවිල් බලවේග ද එම අරගලයට දායක විය යුතුය. උතුරේ අවතැන් වූවන්ට සරණ වන ආකාරයෙන්ම, රටේ යහපාලනය සඳහා මැදිහත් වීමක් ද රාජ්‍ය නොවන සංවිධානවලින් ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටක දී බලාපොරොත්තු වන්නේ එකී අවශ්‍යතාව පෙරදැරිවයි. එහෙත් රාජපක්ෂ පාලනයට අවශ්‍ය කරන්නේ, වර්තමාන විපක්ෂය මෙල්ල කරගෙන ඇති ආකාරයට අනෙක් සිවිල් ව්‍යාපාරයන් ද හීලෑ කර ගැනීමයි. රාජ්‍ය නොවන සංවිධානවලට එරෙහිව ගෙන ඒමට නියමිත අණපනත්වල සැබෑ අර්ථය එයම මිස වෙන කිසිවක් නොවේ.

උදාහරණයක් වශයෙන්, රාජ්‍ය නොවන සංවිධාන නොකළ යුතු යැයි රාජපක්ෂ පාලනය සිතන කරුණු කිහිපයක් සැළකිල්ලට ගන්න. මාධ්‍යවේදීන් පුහුණු කිරීම ඔවුන්ට තහනම් ය. පුවත්පත් සාකච්ඡුා තැබීම ඔවුන්ට තහනම් ය. ප‍්‍රවෘත්ති ප‍්‍රකාශ නිකුත් කිරීම ඔවුන්ට තහනම් ය. මේ කියන සියලූ කාරණා, මේ රටේ ඕනෑම පුරවැසියෙකුට හෝ පුරවැසි සංවිධානයකට අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාවෙන්ම සැපයෙන මූලික අයිතීන් ය. ඒවා තහනම් කිරීම යනු, අයිතියක් උදුරා ගැනීමට අමතරව, රටේ නිවැරදි චිත‍්‍රය ජනතාවට සම්පේ‍්‍රෂණය වීමේ අවස්ථාව ඇවිරීමකි. ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ මේ රජය විසින් ජනතාවට නොදෙන්නේ යම් සේ ද, රාජ්‍ය අවභාවිතයන් පිළිබඳ සැබෑ තොරතුරු මේ කියන රාජ්‍ය නොවන සංවිධානවල ක‍්‍රියාකාරීත්වය හරහා ජනතාවට දැන ගැනීමට සැලැස්වීම වැළැක්වීමත් මේ ආණ්ඩුවේ පරමාර්ථය වන බව පැහැදිළි ය. මාධ්‍යවේදීන් පුහුණු කිරීම කවුරුන් කළත්, එය ‘පාපයක්’ වන්නේ කෙසේද? සිළුමිණ හෝ දිනමිණ මාධ්‍යවේදියාගේ මාධ්‍ය භාවිතය ඒ මගින් නිරාවරණය වීම හරහා රාජපක්ෂ පවුල් ව්‍යාපෘතියට එය පහරක් විය හැකි බැවිනි.

Back to Home page