Colombo Telegraph

‘යුධ අපරාධ’ ශීලය පවාරණය කිරීම හෙවත් රාජපක්ෂ පාලනයේ අංශක 180 දේශප්‍රේමී කරණම

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

මුලින්ම, යුද්ධය අවසාන කාලයේ මියගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව, ආණ්ඩුවට අනුව, බිංදුවක් විය. ආණ්ඩුවේ හමුදා උතුරට ගියේ තුවක්කුවක් එක් අතකින් ද, ‘මානව හිමිකම් ප‍්‍රඥප්තිය’ තවත් අතකින් ද රැුගෙන බව තවදුරටත් ආණ්ඩුව කීවේය. කොටින්ම, එය යුද්ධයක් නොව, උතුරේ දෙමළ ජනතාව ගලවා ගැනීම සඳහා දියත් කළ, ‘මානුෂික මෙහෙයුමක්’ විය. මේ නිසා, විදේශීය වශයෙන් තබා, දේශීය වශයෙන් වුව ඒ ගැන පරීක්ෂණයක් අනවශ්‍ය බව, ආණ්ඩුව එක දිගටම දැරූ මතයයි. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මීට අදාළව විවිධ අවස්ථාවන්හි දී යෝජනා තුනක් ගෙනාවේය. එයින් පළමු යෝජනාව පරාජය කිරීමට අපේ ආණ්ඩුව සමත් විය. ඒ, 2009 මැයි මාසයේ යුද්ධය අවසන් වූ ආසන්නයේ ය. එම යෝජනාව එදා පරාජය කළ අපේ ආණ්ඩුවට සහාය දැක්වූ ජාත්‍යන්තර පාර්ශ්වයේ මතය වුණේ, යුද අපරාධ සොයා බැලීම සඳහා මුලින්ම ලංකාවේ ආණ්ඩුවට ඉඩ දිය යුතු බවත්, යුද්ධය අවසන් වී මාස කිහිපයක් තරම් කෙටි කාලයක දී ජාත්‍යන්තරය ඊට අතපෙවීම නොමනා බවත් ය. එහෙත්, කාලයාගේ ඇවෑමෙන් ආණ්ඩුව කිසිවක් නොකරන බව පෙනී ගිය විට ඊළඟ අවස්ථාවේ දී ජාත්‍යන්තර යෝජනාව වැඩි ඡුන්දයෙන් සම්මත විය. එහි දී පවා, එම යෝජනාවෙන් කියා සිටියේ, ඇති වී යැයි කියන සිදුවීම් සම්බන්ධයේ දේු්ශීය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. එහෙත් එහිදී ද ආණ්ඩුව කිසිවක් කෙළේ නැත. එක දිගටම ආණ්ඩුව එල්ලී සිටියේ ‘‘අපෙන් මැස්සෙකුටවත් හානියක් වී නැතැ’’ යි යන ආධානග‍්‍රාහී මතයේ ය.

මේ කාලයේ ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමක්’ ආණ්ඩුව පත්කෙළේය. ඒ මගින්, ඉහත කී යුද අපරාධ චෝදනා විභාග කර නොබැලූව ද, මූලික වශයෙන් එවැන්නක් සිදුව ඇති බවට සාක්ෂි නැති බව කියා සිටි එම කොමිෂම, කෙසේ වෙතත්, යුද්ධයෙන් පසුව ආණ්ඩුව විසින් ගත යුතු සාධනීය පියවර ගණනාවක් යෝජනා කොට සිටියේය. එහි දී වැදගත් වුණේ, යුද්ධ කාලය තුළ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පත්ව ඇති පරිහානියෙන් තරමක්වත් ගොඩ ඒමට උපස්ථම්භක විය හැකි ඇතැම් පියවරයන් ය. එසේම, පොදුවේ සමස්ත සමාජයත්, විශේෂයෙන් දෙමළ සමාජයත් හමුදාකරණය වෙමින් පැවති තත්වය ආපසු හැරවිය යුතුව ඇති බව ය. එහෙත්, ඒ කිසි ප‍්‍රතිසංස්කරණයක් සඳහා නිශ්චිත පියවර ගැනීමට ආණ්ඩුව සැලකිලිමත් වුණේ නැත.

තුන්වැනි වතාවේ ජාත්‍යන්තරය නැවත වරක් යෝජනාවක් සම්මත කරගත්තේය. සිදු වූ දේවල් සම්බන්ධයෙන් සොයා බැලීමට දේශීය වශයෙන් කිසි යාන්ත‍්‍රණයක් ලංකා ආණ්ඩුව ක‍්‍රියාත්මක නොකරන නිසා ජාත්‍යන්තර පරීක්ෂණයක් තවත් කල් දැමිය නොහැකි බවට තීන්දු වුණේ එහි දී ය. ඒ මීට මාස කිහිපයකට මත්තෙනි. එම ජාත්‍යන්තර පරීක්ෂණය දැන් ආරම්භ කෙරී තිබේ. එයත් ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමක් වශයෙන් විවේචනය කරමින් සිටියා මිස වෙන කිසි පියවරක් ගැනීමට ආණ්ඩුව උනන්දු නොවුණි.

මේ කාලය තුළ, දේශපේ‍්‍රමය නමින් ආණ්ඩුව හඳුන්වන, බටහිර විරෝධී මතවාදී ව්‍යාපාරයක් එක දිගටම රටේ ක‍්‍රියාත්මක විය. විමල් වීරවංශ වැන්නන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක‍්‍රියාකලාපයට විරෝධය පාමින් ‘මාරාන්තික’ උපවාසයක් කළා අපට මතක ය. එහෙත් කාලයාගේ ඇවෑමෙන්, ජාතීන් අතර සංහිඳියාව සම්බන්ධයෙන් දකුණු අප‍්‍රිකාව සතු අත්දැකීම්වලින් අපටත් ප‍්‍රයෝජනයක් ගත හැකි බවට තිබූ විශ්වාසයක් මත, දකුණු අප‍්‍රිකානු ආණ්ඩුව අපේ සහායට පැමිණීමේ ඉඩකඩ මේ කාලයේ පරීක්ෂා කර බැලූණි. ‘මාරාන්තික’ උපවාසකාරයා මෙහි දී කියා සිටියේ, දකුණු අප‍්‍රිකානු නියෝජිතයන් ලංකාවට ආවොත් තමන් ආණ්ඩුවෙන් ඉල්ලා අස් වන බවයි. එහෙත්, දකුණු අප‍්‍රිකානු වැඩ බලන ජනාධිපති සිරිල් රම්පෝසා ඇතුළු නියෝජිත පිරිසක් මීට සති දෙකකට කලින් ලංකාවට ආහ. ‘මාරාන්තික’ උපවාසකාරයා ඉල්ලා අස්වුණේ නැත.

‘බටහිර ඇඟිලි ගැසීම්වලට’ එරෙහි මේ දේශපේ‍්‍රමී මතවාදය ලංකාවේ මැතිවරණ සඳහා තම වාසියට යොදාගත හැකි වේය යන්න කවදත් ආණ්ඩුවේ විශ්වාසය විය. ඇත්තෙන්ම යුද්ධය අවසානයේ පටන් පැවැත්වූ සෑම මැතිවරණයකදීම පාහේ එය ආණ්ඩුවේ වාසියට සිටියේය. එක පැත්තකින් ප‍්‍රකෝටි ගණනින් යටිමඩි ගැසිය හැකි ඊනියා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා කෙරෙමින් පැවති ආයෝජනය හැරුණු විට, ආණ්ඩුවේ එකම දේශපාලනික ආයෝජනය වුණේ, මේ කියන දේශපේ‍්‍රමයයි. කෙසේ වෙතත්, ජාත්‍යන්තරයට පමණක් ඇඟිල්ල දිගු කරමින් දේශපේ‍්‍රමයක් එක දිගට නඩත්තු කර ගැනීමට පුලූවන් කමක් නැත. ‘මාරාන්තික උපවාසකාරයා’ මේ වන විට ජෝකර් කෙනෙකු බවට පත්ව සිටි තත්වය තුළ, ආණ්ඩුව ගලගොඩඅත්තේ ඥානසාර සහ බොදුබල සේනාවක් නිර්මාණය කෙළේය. සියලූ සුළුතර ආගමිකයෝ ඊට ගොදුරු වූහ.

එසේ තිබියදී, බස්නාහිර සහ දකුණු පළාත් සභා ඡුන්දය ආවේය. යුද්ධයේ ජයග‍්‍රහණයෙන් පසු ප‍්‍රථම වතාවට, ඉහත කී දේශපේ‍්‍රමය, පෙර තරම් මැතිවරණ ප‍්‍රතිලාභ අත්කර නොදෙන බව ආණ්ඩුව වටහා ගත්තේ එහි දී ය. එවිට මුස්ලිම් විරෝධී මාත‍්‍රාව වැඩි කළ යුතු විය. ‘අළුත්ගම’ ආවේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. එය ආණ්ඩුවේ ව්‍යාපෘතියක්ම වූ බව ලෝකයාගෙන් වසං කිරීමට ආණ්ඩුව අසමත් විය. බස්නාහිර සහ දකුණු පළාත් සභා ඡුන්දයෙන් පෙන්නුම් කළා සේම, ‘දේශපේ‍්‍රමයේ’ ප‍්‍රතිලාභ සමාජයීය වශයෙන් ද කෙමෙන් කේඩෑරි වන බව ‘අළුත්ගම’ සම්බන්ධයෙන් සමස්ත දකුණේ සමාජය දැක්වූ අප‍්‍රසාදය මගින් අළුතින් කියා දුන් පාඩමයි.
(මේ කාලය තුළ, ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප‍්‍රජාව හොඳටම හිත් නරක් කර ගනිමින් සිටි කතාව වෙනම සාකච්ඡුා කළ යුත්තකි.)

කරුණු එසේ තිබියදී, පසුගිය 15 වැනි දා ජනාධිපති රාජපක්ෂ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙළේය. ‘‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ සඳහන් කොට තිබූ විශේෂිත සහ පොදු කාරණා ගණනාවක් ගැන තවදුරටත් පරීක්ෂණ පැවැත්වීම, මහජන සුභසිද්ධිය සඳහා වැදගත් වන බවට තමන් විශ්වාස කරන බව’’ මේ විශේෂ නිවේදනයෙන් ඔහු කියා සිටී. මේ නිවේදනයට අනුව, ‘‘2009 මැයි 19 වැනි දා අවසන් වූ අභ්‍යන්තර සන්නද්ධ ගැටුම තුළදී සිදු වූ සිවිල් ජීවිත විනාශයට පාදක වූ ප‍්‍රධාන කරුණු සහ අවශේෂ වටපිටාව සොයා බැලීමටත්, එහි දී යම් පුද්ගලයෙකු හෝ යම් කණ්ඩායමක් හෝ යම් ආයතනයක්, සෘජුව හෝ වක‍්‍රව, ජාත්‍යන්තර මානුෂීය නීතිය හෝ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය උල්ලංඝණය කිරීමක් හෝ උල්ලංඝණය කිරීම්වලට වගකිව යුතුදැයි සොයා බැලීමටත්,’’ නියමිත වන්නේය. අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමට පත්කොට තිබූ ත‍්‍රිපුද්ගල කොමිසමට, මේ කියන ‘යුද අපරාධ’ ගැන සොයා බැලීමත් මෙකී ගැසට් නිවේදනය මගින් දැන් පැවරෙයි.

දුටුගැමුණු එළාර යුද්ධයේ දී ජීවිතක්ෂයට පත්ව සිටියේ අහිංසක මිනිස් ප‍්‍රාණීන් එකහමාරක් පමණකැ යි එදා සිටි රහතන් වහන්සේලා දේශනා කෙළේ යැයි මහාවංශය කියයි. රාජපක්ෂ මහාවංශයට අනුව, එතරම්වත් මිනිස් සංඛ්‍යාවක් ඊලාම් යුද්ධයේ දී ජීවිතක්ෂයට පත්ව නොතිබුණු තත්වය තුළ ජාත්‍යන්තර මානුෂීය නීතිය හෝ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය උල්ලංඝණ වී ඇත් දැ යි සොයා බැලීමක් අවශ්‍ය නොවේ. මෙතෙක් කල් ඊනියා දේශපේ‍්‍රමීන් සහ ආණ්ඩුව දේශනා කළ එකම බණ පදය එයයි.

කතාව එතැනින් නතර නොවේ. මේ කියන දේශීය පරීක්ෂණයට සහාය වීමට, විදේශීය විශේෂඥයන් තිදෙනෙකු ද ‘දේශපේ‍්‍රමී’ ආණ්ඩුව විසින් පත්කරගෙන සිටී. ඔවුන් නම්, බි‍්‍රතාන්‍ය ජාතික රාජනීතිඥ ශ‍්‍රීමත් ඩෙස්මන්ඞ් ද සිල්වා (මොහු පරම්පරාවෙන් ශ‍්‍රී ලංකාවට නෑකම් කියන්නෙකි), බි‍්‍රතාන්‍ය ජාතික මහාචාර්ය රාජනීතිඥ ජොෆී‍්‍ර නයිස් සහ ඇමරිකානු ජාතික නීති මහාචාර්ය ඬේවිඞ් කේ‍්‍රන් ය. මොවුන් පිළිබඳ වතගොත පසු විපරමකට යොමු කරගත යුතුව ඇති අතර, දැනට වැදගත් වන්නේ, දේශීය පරීක්ෂණයක් සඳහා විදේශීය සහභාගීත්වයක් ලබා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බවයි. එක පැත්තකින්, පරීක්ෂණයක් අනවශ්‍ය බවත්, තවත් පැත්තකින් ජාත්‍යන්තර මැදිහත්වීමක් අනවශ්‍ය බවත් එක දිගටම කී ආණ්ඩුව, දැන් ඒ පතිවෘතා දෙකම බිඳගෙන සිටී.

මෙම පරීක්ෂණය කිරීමට යන්නේ ඇත්ත දැන ගැනීම සඳහා ද, නැත්නම්, ජාත්‍යන්තරයෙන් නැගී එන විරෝධයට පැලැස්තරයක් සහ කට්ටි පැනීමේ වෑයමක් වශයෙන් ද යන්න, දැන් මතුවන ප‍්‍රශ්නයයි. රාජපක්ෂ පාලනය තුළ සත්‍යයට ඉඩක් ඇති බවක් මෙතෙක් අප දැක නැත. එසේම ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ ගැන අත්දැකීම් අපට ඇත. ‘උදලාගම කොමිසමට’ සහාය පිණිස ගෙන්වා ගත් ජාත්‍යන්තර විද්වතුන්ට මේ ආණ්ඩුව සැළකූ ආකාරය සහ ඔවුන්ව පිටමං කරගත් ආකාරය අප අත්දැක ඇත. එනිසා තවදුරටත් ඉබ්බන්ගෙන් පිහාටු බලාපොරෝත්තු වීම ඉබ්බාගේ වරදක් නොවන බව ජනතාවක් වශයෙන් තේරුම් ගත යුතුව ඇත.

Back to Home page