Colombo Telegraph

බුදුන්ගේ රුව කොටා ගත් කාන්තාවක් රටින් පන්නන ‘ගෞතම බුදුන්ගේ දේශය’

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

පූජණීයත්වය සඳහා ශාස්තෘවරයාගේ රූපකාය පාවිච්චි නොකරන ප‍්‍රධාන ආගම් දෙකක් තිබේ. එකක්, යුදෙව් ආගමයි. අනික ඉස්ලාම් ආගමයි. යුදෙව් ආගම තුළ කාය රූපයෙන් ‘හඳුනා ගත්’ ශාස්තෘවරයෙකු නැත. ඒ නිසා, එය රූපයට නැගීම පිළිබඳ ප‍්‍රස්තුතය පැන නොනගී. ඉස්ලාම් ආගමේ හඳුනාගත් ශාස්තෘවරයෙකු සිටී. එහෙත් ඒ ශාස්තෘවරයාව රූපයක් තුළින් නිරූපණය කිරීම එම ආගම තුළ තහනම් ය. ඊට විවිධ හේතු තිබිය හැකි වෙතත්, සිය ශාස්තෘවරයාගේ පූජණීයත්වය රූපයට නැගීමේ දී යම් ආකාරයකින් එය කෙළෙසිය හැකිය යන අඩමානය එයින් එක් හේතුවක් විය හැකි බව පෙනේ. ඩෙන්මාර්කයේ කාටූන් ශිල්පියෙකු මහම්මත්තුමාගේ රූපය චිත‍්‍රයට නැගූ අවස්ථාවේ ඊට එරෙහිව මුස්ලිම් ලෝකය තුළ විශාල විරෝධයක් මතු වුණේ, එම කාටූනයේ තිබූ විකට ස්වරූපයට අමතරව, මහම්මත්තුමාව රූපගත කිරීමම ආගමික කෙළසීමක් වශයෙන් මුස්ලිම් බැතිමතුන් සැළකූ බැවිනි.

අනිත් සෑම ප‍්‍රධාන ආගමකම ‘රූපය’ ප‍්‍රධාන ආරම්මණයකි. ක‍්‍රිස්තියානි ආගමේ ක‍්‍රිස්තුස් වහන්සේගේ රූපයත්, බුද්ධාගමේ බුදුන් වහන්සේගේ රූපයත් ඊට උදාහරණයි. මෙසේ සිය ශාස්තෘවරයාව රූපගත කිරීම තුළ, ඔහු කෙරෙහි බැතිමතා තුළ ඇති කෙරෙන යම් ආගමික භක්තිය තවදුරටත් ශක්තිමත් කෙරෙති යි විශ්වාස කෙරේ. අර කී භක්තිය ශාස්තෘවරයාගේ පුද්ගල ස්වරූපය සමග අනන්‍ය කර ගැනීම බැතිමතාට පහසුවකි. එහෙත් අනිත් අතට, මේ පුද්ගල භාවයට දෙන තැන වැඩි වන තරමට, එම පුද්ගල භාවය තුළින් මූර්තිමත් කෙරෙන ලෝකෝත්තර අන්තර්ගතයේ අගය බාල වන ප‍්‍රවණතාවක් අනික් පැත්තෙන් සාමාන්‍යයෙන් ඇති වෙයි. බුද්ධාගම ආරක්ෂා කර ගැනීම සඳහාම, බුද්ධාගම චිරාත් කාලයක් පවතී යැයි විශ්වාස කරන රටක් එම බුද්ධාගමේ නාමයෙන්ම ආරක්ෂා කර ගැනීමට යාමේ දී කෙමෙන් විනාශයට යන්නේ, කලින් ආරක්ෂා කර ගැනීමට අපේක්ෂා කළ ආගමේ හරයම බව බොහෝ බෞද්ධයන්ට වැටහෙන දෙයක් නොවේ. එහි ප‍්‍රතිඵලය වී ඇත්තේ, ස්ටැලින්ගේ ‘තනි රටේ සමාජවාදයක’ තත්වයට, බුදුන්ගේ ලෝකෝත්තර ධර්මයත් ‘තනි රටේ බුද්ධාගමක්’ බවට ලංකාවේ දී පිරිහීමයි.

අද ලංකාව ‘ගෞතම බුදුන්ගේ දේශයක්’ බව, වෙන කවුරු නැතත්, පෞද්ගලික බස් මුදලාලිලා අපට දිනපතා මතක් කර දෙති. මේ වැකිය තඩි අකුරින් ලියැවුණු බොහෝ බස් රථ ධාවනය කෙරෙන මදාවි ආකාරය දෙස බැලීමේ දී, මේ කියන ‘ගෞතම බුදුන්ගේ දේශයේ’ තරම කෙනෙකුට වැටහෙයි. අද ලංකාවේ බුද්ධාගම සහ බෞද්ධයා පිළිබඳ වෙනත් කාරණා සම්බන්ධයෙන් ද, එකී සාදෘශ්‍යය තවත් බොහෝ දේවල් කියාපාන අටුවාවකි.

බුදුන් වහන්සේගේ රූපය අතේ එක් බාහුවක කොටාගෙන සිටි විදේශීය කාන්තාවක්, ලංකාවට පැමිණීමේ දී කටුනායක ගුවන් තොටුපොළින්ම අල්ලාගෙන එක් රාත‍්‍රියක් සිර අඩස්සියේ ද තබා ගැනීමෙන් පසු, උසාවි නියෝගයක් මත ඇයව රටින් පිටුවහල් කෙළේය. ඇය පිළිබඳ වාර්තාගත තොරතුරුවලට අනුව, ඇය ඉතා සැදැහැමත් බෞද්ධයෙකි. ඉන්දියාව සහ නේපාලය වැනි රටවල්වල පැවති භාවනා සැසිවාරවලට පවා සහභාගී වීමට එම රටවල්වලට කිහිප වරක්ම ගොස් තිබෙන තැනැත්තියකි. එහෙත්, ඇගේ අව්‍යාජ භක්තිය අපේ බලධාරීන්ට වැදගත් නොවුණි. ඒ තරමට, ඈ කළ ‘පාපය’ සමාව දිය නොහැකි වරදක් විය.

පච්ච කෙටීමේ ඉතිහාසය අඩු වශයෙන් අවුරුදු පන් දහසක්වත් පැරණි යැයි කියැවේ. ඔස්ටි‍්‍රයාව සහ ඉතාලිය අතර කඳුවැටියක තිබී 1991 දී ගොඩ ගත්, පච්ච සළකුණු 57 ක් සහිත පාෂාණීභූත සිරුරක්, මීට අවුරුදු 5000 කට කලින් මියගිය පුද්ගලයෙකුගේ බව නිශ්චය කොට තිබේ. සමහර විට, ඊටත් ඈත කාලයක සිට පැවත එන මේ පච්ච කෙටීම පසුපස, මූලික වශයෙන් ආගමික සහ සංස්කෘතික හේතු ඇති බව මානව විද්‍යාඥයෝ පෙන්වා දෙති. පසු කලෙක, රජ පවුල් සහ වෙනත් ප‍්‍රභූ පංතීන් මේ ක‍්‍රියාව තමන්ට පමණක් හිමි වරප‍්‍රසාදයක් බවටත් පත්කරගෙන තිබේ. අද අප‍්‍රිකාවේ සමහර රටවල ගෝත‍්‍රික කණ්ඩායම් සිය ජාතික අනන්‍යතා පත‍්‍රය වශයෙන් ද මේ පච්ච කෙටීම පාවිච්චි කරති. ඔවුන්ගේ මුහුණේ හෝ ඇෙඟ් යම් තැනක තමන්ගේ ගෝත‍්‍රය අඟවන විශේෂිත සංඥාවක් කොටා ගැනීම ඔවුන්ගේ සිරිතයි.

පෙනෙන්ට ඇති පරිදි ලංකාවට පච්ච කෙටීම පැමිණ ඇත්තේ සම්භාව්‍ය කලාවක් හෝ අභ්‍යාසයක් වශයෙන් නොවේ. අප ළමා කාලයේ දැන කියා සිටි පච්ච කෙටීම සමග, යම් ‘අයි.ආර්.සී.’ ලේබලයක් තිබුණු බව අපට මතකයි. ඇෙඟ් පච්චයක් ඇති පුද්ගලයා සැළකුණේ රස්තියාදුකාරයෙකු, චන්ඩියෙකු හෝ මදාවියෙකු වශයෙනි. මගේ එක් මිතුරෙකු ගඟක, වැවක, මුහුදක නෑමට ගිය විට කමිසය ගැලෙව්වේ නැත. ඒ, පපුවේ කොටා ඇති පච්චය ප‍්‍රසිද්ධියේ ප‍්‍රදර්ශනය කිරීමට තිබූ චකිතය නිසාවෙනි. එහෙත්, එසේ පච්ච කෙටූ කිසිවෙකුගේ ඇෙඟ් නොහොබිනා දෙයක් කොටා නොතිබීම විශේෂ කාරණයකි. බොහෝ විට තිබුණේ, ‘අම්මා බුදු වේවා’ වැනි සත්ගුණවත් උතුම් කියමන් ය.

බුදුන්ගේ රූපය ලංකාවේ තාප්පවල අලවා තිබේ. බුද්ධ ප‍්‍රතිමා දැන් හැම හන්දියකම දකින්ට ලැබේ. කොටින්ම, බෞද්ධයන් නැති උතුරේ පවා බුද්ධ රූප තැනෙමින් පවතී. මීට කලකට පෙර බුද්ධ රූප තිබුණේ ඊට හිමි ගෞරවාන්විත ස්ථානයක ය. එනම් පන්සල්වල ය. දැන් බුද්ධ රූපය පන්සලෙන් එළියට විත්, දකුණේ සමස්ත මහජන අවකාශයම අරක්ගෙන සිටී. එයින් පෙනෙන්නේ, වැඩම සිටිය යුතු ස්ථානයේ ගෞරවය නැමැති සාධකය, මෙවැනි රූපයක් ඇඳීමේ දී හෝ පිළිමයක් නෙලීමේ දී තවදුරටත් සැළකිල්ලට නොගැනෙන බවයි. එසේ තිබිය දී, සදැහැති උපාසිකාවක් බුද්ධාලම්බන ප‍්‍රීතිය නිසා, තමන්ගේ සිරුරේම එය කොටා ගැනීම වරදක් වන්නේ කෙසේද යන්න ප‍්‍රහේලිකාවකි.

මහජනයා ගැවෙසෙන පැරිසියේ එක්තරා චතුරශ‍්‍රයක ගිම්හාන කාලයේ බොහෝ සති අන්තවල එක් චිත‍්‍ර ශිල්පියෙක් ක‍්‍රිස්තුස් වහන්සේගේ විශාල රූපයක් මහ පොළොවේ සිතුවම් කරයි. ඒ සඳහා පැය කිහිපයක් ගත කරන ඔහු, ඊළඟ පැය කිහිපයේ දී, පදිකයන්ගෙන් විශාල ආධාර මුදලක් ඒ වෙනුවෙන් එකතු කරගනී. පාරේ යන එන්නන් ඒ සඳහා කීයක් හෝ දමා යන්නේ, ආගමික භක්තියක් නිසා නොව, ක‍්‍රිස්තුස් වහන්සේව රූපයට නැගූ ඓතිහාසික සම්භාව්‍ය කලා කෘතිවලට, මෙම චිත‍්‍රයේ ඇති සමීපත්වය නිසා ය. මේ කිසි අවස්ථාවක, එම රූපය තිබෙන වපසරිය පාගාගෙන කිසිවෙකු යනවා මා දැක නැත. එසේම, පොලීසිය හෝ වෙනත් නාගරික බලධාරියෙකු විසින් අර කලාකරුවාගේ කාර්යය තහනම් කළ හෝ නතර කළ බවක් ද අප අසා නැත.

පසුව මේ කියන කාන්තාවගෙන් සමාව අයැද සිටි බවත්, ඊළඟ වතාවක ලංකාවට පැමිණීමට නොමිලේ ගුවන් බලපත‍්‍රයක් අපේ බලධාරීන් විසින් ඈට දීමට ඉදිරිපත් වූ බවත් වාර්තා විය. සිදුවිය යුතු පරිද්දෙන්ම, එම කාන්තාව එම ‘පරිත්‍යාගය’ ප‍්‍රතික්ෂේප කර ඇතිවා පමණක් නොව, නැවත කිසි දවසක ලංකාවට නොපැමිණෙන බවට ද සපථ කොට ඇත.

දැන් මේ ගැන පසුවිපරම් කරන අපේ මාධ්‍යවේදීන් සොයාගෙන ඇති පරිදි, මේ කාන්තාවගේ පච්චය මුලින්ම ‘ප‍්‍රශ්නයක්’ කරගෙන ඇත්තේ, ඇයව හෝටලයට ගෙන ගිය ටැක්සි රියැදුරා ය. එහෙත්, අනතුරුව ඒ චූදිතයන්ගේ පෙළපාලියට, එවැනි ‘නූගතුන්’ පමණක් නොව, පොලිස් නිලධාරීන් සහ ගුවන් තොටපොළ නිලධාරීන් මතු ද නොව, මහේස්ත‍්‍රාත්වරයෙක් ද ඇතුළත් වූහ. ඒ කිසිවෙකුට මේ සමස්ත සිද්ධියේ ඇති අසාධාරණය නොපෙනුණේ කෙසේද?

දකුණේ මුළු මහත් සමාජ අවකාශයම මේ වන විට වංචනික පාරිශුද්ධවාදයකින් කිළිටි කෙරෙමින් තිබේ. බුද්ධාගමේ නාමයෙන් බුදුන්වම පවා නැසීමට සමත් මානසිකත්වයක් සමාජය මත මුදා හැරෙමින් තිබේ. යාපනේ පුස්තකාලයට ගිනි තැබීමේ සිද්ධිය මුල් කරගෙන එදා එම්. ඒ. නුහුමාන් කවියා ‘බුදුන් නැසීම’ නමින් කළ ඒ අනතුරු ඇඟවීම, අද එවැනි තනි සිදුවීම් පරයා සමස්ත සමාජයම ග‍්‍රහණයට ගන්නා තත්වයට ඔඩුදුවා තිබේ. මෙහි ඇති ලොකුම අවාසනාව වන්නේ, බොහෝ ස්වාමීන් වහන්සේලා ඇතුළු බෞද්ධයන්, තමන්ගේ සහ තම ආගමේ ‘පුනරුදයක්’ වශයෙන් මේ තත්වය සළකනු ලැබීමයි.

Back to Home page