Colombo Telegraph

පළමුව අතුරුදහන් කොට නැවත නැවතත් ජීවත් කරවන එක්නැලිගොඩ

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

සුරංගනා කතාවක ව්‍යාජත්වය අභිබවා විමතියක් උපදින්නේ සහ එම විමතිය හරහා රස ජනනය කැරැවීමක් සිදු වන්නේ, සුරංගනා කතාව ගොඩනැංවෙන සිදුවීම් අතර පවතින අන්තර් තර්කනයක් පාදක කර ගනිමිනි. එහෙත්, එම සුරංගනා කතාවම නූතන මාධ්‍ය ලෝකය තුළ පහසුවෙන් අලෙවි කළ හැකි ‘ප‍්‍රවෘත්තියක්’ කිරීමට, අර කියන සිදුවීම් අතර තිබිය යුතු අන්තර් තර්කනය එයින් ඉවත් කළ යුතුය. එම අන්තර් තර්කනය නැති වන තරමට, අර විදිහේ සිදුවීමක් පාදක කරගන්නා ‘ප‍්‍රවෘත්තියක’ වටිනාකම දෙගුණ තෙගුණ වෙයි. ඉස්සර එසේ නොවේ. ප‍්‍රවෘත්ති අගයක් ඇති සුරංගනා කතාවක පවා යම් තර්කනයක් තිබුණි.

සඳ මත මිනිස් ජීවීන් වාසය කරති යි බි‍්‍රතාන්‍ය තාරකා විද්‍යාඥයෙකු ‘සොයාගත්’ බවට, ඇමරිකාවේ ‘නිව්යෝර්ක් සන්’ පුවත්පත 1835 පළ කළ ආන්දෝලනාත්මක ප‍්‍රවෘත්තිය ඊට නිදසුනකි. මේ ප‍්‍රවෘත්තිය ‘සත්‍යයක්’ කිරීමට කරුණු කිහිපයක් අවශ්‍ය කෙළේය. ‘අපේක්ෂාව’ ඉන් පළමුවැන්නයි. පෘථුවියේ හැරුණු කොට, තවත් තැන්වල මිනිස් ජීවීන් ඇති බවට මිනිසුන් තුළ වන අපේක්ෂාව, සාමූහික තනිකම හඟින පොදු මිනිස් විඥානයකට සැපයෙන විමතිමය පැන් පොදක් විය. ඒ අපේක්ෂා සන්තර්පණය සඳහා ඊළඟට ‘විශේෂඥ’ මතයක් එදා අවශ්‍ය කෙළේය. බි‍්‍රතාන්‍ය තාරකා විද්‍යාඥ ශ‍්‍රීමත් ජෝන් හෙර්ෂෙල්ගේ නමින් එය ප‍්‍රකාශයට පත්වීම හරහා, ඊට අවශ්‍ය කරන විද්‍යාත්මක බර එම ප‍්‍රවෘත්තියට සැපයුණි. මෙම ප‍්‍රවෘත්තියේ පැවති විශේෂත්වය වුණේ, තමාගේ නමින් මෙවැනි මතයක් ලෝකයේ වෙනත් තැනක පළවී ඇති බවක්, බොහෝ කලක් යන තෙක්මත් ශ‍්‍රීමත් ජෝන් හෙර්ෂෙල් පවා නොදැන සිටීමයි. එනම්, එය මුළුමණින් මාධ්‍ය විසින්ම තිරපිටපත රචනා කොට, අධ්‍යක්ෂණය කරන ලද ‘ස්වාධීන’ නිෂ්පාදනයක් වූ බවයි. එදා සන්නිවේදන ක්ෂේත‍්‍රයේ පැවති නොදියුණුව තුළ එය අස්වාභාවික නොවුණි.

ලංකාවේ දේශපාලඥයෙකුට යුරෝපයේ දී එක්නැලිගොඩව හමු වීමේ සිද්ධිය තුළ යම් තර්කයක් තිබිය යුතු යැයි, එය වාර්තා කරන මාධ්‍යවේදියාවත් ඔහුගේ ග‍්‍රාහකයාවත් (පාඨකයා/පේ‍්‍රක්ෂකයා) බරසාරව බලාපොරොත්තු වන්නේ නැත. ප‍්‍රවෘත්තිය නිකුත් වන්නේ දේශපාලඥයෙකුගේ කටින් නම් එය හොඳටම සෑහේ. අද වන විට දෛනිකව ලංකාවේ ප‍්‍රවෘත්ති ‘නිෂ්පාදනය’ කරන්නේ දේශපාලඥයා ය. මාධ්‍යකරුවා එය විකුණා ලාභ ලබයි. ‘සත්‍යය’ එහි දී වැදගත් නැත. ශිෂ්ටත්වය අදාළ නැත.

අතුරුදහන් වීම, ලංකාවේ සුදුවෑන් දේශපාලනය තුළ පරමයකි. පරමයක් යනු, නොවෙනස් වන සහ ආපසු හැරවිය නොහැකි සත්‍යයකි. උදාහරණයක් වශයෙන්, මරණය පරමයකි. ඒ අරුතින් ගත් විට, ලංකාවේ දේශපාලනය තුළ සිදු කෙරෙන අතුරුදහන් කැරැවීමේ ප‍්‍රපංචය කාටත් තේරෙන භාෂාවකින් මෙසේ ලියා දැක්විය හැක: ‘ඉස්සුවොත් ඉස්සුවාම ය. ආපසු පැමිණීමක් නැත.’

අනිත් අතට, වර්තමාන පාලනය යනු කණපිට දේශපාලනයක් මතම යැපෙන්නකි. එනම්, සම්මත අර්ථයේ සියල්ල කණපිට හැරවීම එම දේශපාලනයේ ආත්මය වන බවයි. උදාහරණයක් වශයෙන්, මර්වින් සිල්වාට අයත් අමාත්‍යාංශය හඳුන්වන්නේ, ‘මහජන සම්බන්ධතා’ යනුවෙනි. ජනතාව සමග සහෘද ආශ‍්‍රයකට වැඩියෙන්ම ගැලපෙන තැනැත්තා මර්වින් සිල්වා යැයි ජනාධිපතිවරයා විසින්ම තීරණය කිරීම, ‘බුද්ධිමත් ජනතාව’ යැයි මෙතෙක් කල් උඩදැමූ හුරතල් සංකල්පයට දුන් කණේ පහරකි. රට කරවන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ගෞතම බුදුන් වහන්සේට ඈතින් නෑකම් කියති යි කලාකරුවෙකු කියන විට, කලාවේ ‘ප‍්‍රබන්ධය’ අපට එකපැහැර අවබෝධ වෙයි. මේ සියල්ල ඉෂ්ට සිද්ධ කෙරෙන්නේ අන්තර්-තර්කනයකින් නොව, කණපිට තර්කනයකිනි.

එක්නැලිගොඩ ‘අතුරුදහන් විය’. අද ? මුහුදු ගිය ධිවරයෙකු හෙට ආපසු ගෙදර නාවොත් ඔහු අතුරුදහන් වූ අයෙකු වශයෙන් සැළකේ. එහෙත්, ඔහු මියගොස් ඇති බවක් එයින් අනිවාර්යයෙන් අදහස් නොකෙරේ. උදාහරණයක් වශයෙන්, උපාලි විජේවර්ධන මීට දශක කිහිපයකට පෙර අහසේ දී අතුරුදහන් විය. පළමුව ඔහුගේ ආපසු පැමිණීම පතා බෝධි පුජා පැවැත්වු ජනතාව, අවසානයේ දී ඔහුගේ ඊළඟ භවයට අනුමෝදන් විය හැකි පින් පැමිණවීම් කළහ. එසේ තිබිය දී, මෑතක පළවූ එක් පුවත්පත් වාර්තාවකට අනුව, ඔහු කොහේදෝ රටක සිරගෙයක කල් ගෙවන්නේ ලූ. මේ විදිහටම, අර මුහුදු ගිය ධීවරයා ද ඔස්ටේ‍්‍රලියාවට ගොස් වෙනත් පෙලවහක් කරගෙන ඉන්නවා වන්නටත් බැරි නැත. ‘අතුරුදහන් වීම’ තුළ එකී අනියත භාවය හැම විටකම තිබේ. තවත් විදිහකින් කිවහොත්, අතුරුදහන් වීම ‘පරම’ නැත.

එහෙත් ‘අතුරුදහන් කැරැවීම’ එසේ නොවේ. එය පරමයකි. දැන්, ඉහත සඳහන් කළ කණපිට දේශපාලනයේ හැටියට, මේ ‘අතුරුදහන් කැරැවීම’ තුළ ඇති ඒ පරමත්වය පවා ¥ෂණය කළ යුතුව ඇත. අතුරුදහන් කැරැවීම, අතුරුදයන් වීමක් බවට පරිවර්තනය කළ හැක්කේ එසේ ය. ඒ සඳහා දක්ෂ ¥ෂකයන් අවශ්‍ය කෙරේ. මීට කලකට ඉහත දී, එක්නැලිගොඩ විදේශ රටක ජීවත් වන බව, එවකට ජනාධිපති උපදේශකයෙකු වශයෙන් සිටි මොහාන් පීරිස් ජාත්‍යන්තර සම්මේලනයක් අමතමින් ලෝකයා ඉදිරියේ ‘හෙළිදරව්’ කෙළේය. ඒ මොහොතේ පටන්, ලෝකයා ඉදිරියේ එක්නැලිගොඩ ‘ජීවත් විය.’ ඊට කලකට පසු, එක්නැලිගොඩ ඉන්නා තැනක් දන්නේ ‘දෙයියෝ තමයි’ යනුවෙන් ලංකාවේ අධිකරණයක් ඉදිරියේ ඔහුම කියා සිටියේය. මෙසේ සීමිත කාලයකට එක්නැලිගොඩට පණ දී, අනතුරුව දෙවියන් පමණක් දන්නා පරලොවකට ඔහුව පිටමං කළ මොහාන් පීරිස් අද අපේ අධිකරණයේ මුල් පුටුව හොබවයි.

එතැන් සිට ප‍්‍රගීත් එක්නැලිගොඩ නැවත වතාවක් නොපවතින පරමයක් බවට පත්විය. කාලය ඉක්ම ගියේය. දැන්, මෙතෙක් නමින් හැඳින නොසිටි අප‍්‍රකට දේශපාලඥයෙක් නැවතත් අර පරමය ¥ෂණය කිරීම සඳහා ඔසවා තැබෙයි. තට්ටෙ ගාගෙන ජීවමානව සිටි එක්නැලිගොඩව ඔහුට යුරෝපයේ දී හමු වී තිබේ. ඒ, මීට හය මාසයකට කලිනි. එහෙත්, කල් යල් බලා, හෙවත් සතර පෙරනිමිති බලා, ඔහු අපට එය හෙළිකර සිටින්නේ දැන් ය. මේ පුද්ගලයා හරහා අපේ පාලකයන්, නැවතත් එක්නැලිගොඩව ජීවමාන කොට, ඔහුගේ අතුරුදහන් කැරැවීම කණපිට හරවා තිබේ. මේ අළුත් ‘ශුභාරංචිය’ හරහා එක්නැලිගොඩගේ නොපැවැත්මේ පරමය නැවතත් සාහසිකව ¥ෂණය කිරීම තුළින්, අප‍්‍රකට ප‍්‍රාදේශීය දේශපාලඥයෙකු, ප‍්‍රකට නාමධාරියෙකු වෙමින්, ජාතික දේශපාලන තලයට පිවිසෙයි.

මේ දේශපාලඥයාට අනුව, ඔහුගේ මේ හෙළිදරව්ව දැන ගත් සැණින්, සන්ධ්‍යා එක්නැලිගොඩ ජනාධිපතිවරයාව හමු වී සිය සැමියා ගැන සොයා බැලිය යුතුව තිබූණේ ලූ. නැවතත් අප එළැඹෙන්නේ අර කී කණපිට දේශපාලනයේ ඉසව්වට යි.

එක්නැලිගොඩ යනු, ලංකාව පමණක් නොව, මුළු ලෝකයාම ‘රවටමින්’ ස්වේච්ඡුාවෙන් අතුරුදහන් වී සිටින්නෙකි. ඒ අර්ථයෙන් ඔහු ‘අපරාධකරුවෙකි’. එවැනි අපරාධකරුවෙකු දුටු සැණින්, නීතිගරුක පුරවැසියෙකුගේ, විශේෂයෙන් රටක නීති සම්පාදනයේ යෙදෙන මහජන නියෝජිතයෙකුගේ වගකීම විය යුතුව තිබුණේ, ප‍්‍රංශයේ හෝ වෙනත් රටක ඔහු දුටු තැනට නුදුරු පොලිස් ස්ථානයකට ඒ බව දැනුම් දීමයි. ලංකාවේ දී නීති ගරුකත්වය අවමයෙන්ම අපේක්ෂා කළ හැකි වරප‍්‍රසාදිත මිනිස් කොට්ටාසය දේශපාලඥයන් වන නිසා, එවැන්නක් ගැන ඔහුට හීනෙන්වත් සිතෙන්නට නැතුව ඇති.

ලංකාවට පැමිණීමෙන් පසුව පවා ඔහුට ඒ ගැන හදිසියක් නොවුණි. අවුරුදු භාගයක්ම, මේ ‘අපරාධකරුවා’ අල්ලා නොගෙන කාලය කාදැමුණි. කමක් නැහැ, දැන් එම අපරාධකරුවා ඉන්නා තැනක් ගැන හෝඩුවාවක් අපේ පොලීසියට තිබේ. ඒ හෝඩුවාව සපයන මේ සාක්ෂිකරුවා ගෙන්වා වහා පරීක්ෂණ ආරම්භ කිරීම පොලීසියේ වගකීමක් විය යුතුව තිබිය දී, සන්ධ්‍යා එක්නැලිගොඩ කුමක් සඳහා නම්, ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡුා කරන්න ද?

Back to Home page