Colombo Telegraph

සෝභිත හිමියන්ගේ ‘පොදු අපේක්ෂකත්වය’ ගැන නැවතත්

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

මාදුළුවාවේ සෝභිත හිමියන් ජනාධිපති පොදු අපේක්ෂත්වයට නුසුදුසු වන්නේ මන්දැ යි යන්න ගැන මා කළ කරුණු දැක්වීමකට ප‍්‍රතිචාරයක් ගිය සතියේ නිර්මාල් රංජිත් දේවසිරි රාවයට ලියා තිබුණි. එහි ප‍්‍රථම කොටස මට ප‍්‍රතිචාරයක් වූ අතර, දෙවැනි කොටස පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි වාමවාදී වෙනත් ප‍්‍රවණතාවන්ට දැක්වූ ප‍්‍රතිචාරයක් විය. මගේ ලිපිය ලියා ඇත්තේ ‘අළුත්ගමට’ කලිනි. නිර්මාල් පිළිතුරු ලියන්නේ ‘අළුත්ගමට’ පසුවයි. ‘අළුත්ගම’ ආවේ 2014 ජුනි 15 වැනි දා ය. එසේ තිබියදී, අද දක්වා මාදුළුවාවේ හිමියන් ‘අළුත්ගම’ ගැන කටක් නෑර සිටීම, නිර්මාල්ට මා වෙනුවෙන් සෝභිත හිමියන් දෙන අපූරු පිළිතුරකැ යි මට සිතෙයි.

කෙසේ වෙතත් රාවය පාඨකයන්ගේ දැන ගැනීම සඳහා මේ සංවාදය වැදගත් ය. මා මතු කළ කිසිදු කරුණක් නිර්මාල්ගේ ලිපිය තුළ නිෂේධනය වී නැතත්, වැඩිදුරටත් පැහැදිළි කිරීමක් අවශ්‍ය කෙරේ. ඒ නිසා නිර්මාල් මෙසේ කියන විට මගේ ඊට විරුද්ධත්වයක් නැති බව කිව යුතුය: ‘‘රාජ්‍යයක් ආගමීකරණය වන්නේ අනිවාර්යයෙන්ම රාජ්‍ය නායකත්වය ආගමික පූජකයෙකුට ලැබීම මගින්ම නොවේ. ලංකාවේ රාජ්‍යය එසේ වී තිබීමම ඊට උදාහරණයකි.’’

මේ වාක්‍ය තුළ වැදගත් ‘කොන්දේසි යෙදුම්’ දෙකක් තිබේ. එකක්, ‘‘අනිවාර්යයෙන්ම’’ යන්නයි. දෙවැන්න, ‘‘මගින්ම නොවේ’’ යන්නයි. මගේ සමස්ත කරුණු දැක්වීම තුළ ඇත්තේම, මේ ‘කොන්දේසි යෙදුම්’ දෙක විස්තර කිරීමකි. එය නිර්මාල්ට නොතේරී තිබීම පුදුමයකි. යුද මාර්ගයට පිවිසීමට පෙර මහින්ද රාජපක්ෂගේ ප‍්‍රකාශිත ස්වභාවයත්, යුද්ධය අවසානයේ සිට එම ස්වභාවය තුළ ඇති වී තිබෙන රූපපරිණාමයත් මා පෙන්වා දි ඇති අතර, ඊටත් වඩා අවධාරණයෙන් මා පෙන්නුම් කොට ඇත්තේ, එකී පශ්චාත් යුද කාලීන රාජපක්ෂ පරිණාමයට සමානුපාතිකව සමස්ත සමාජය පුරා මේ ආගමීකරණය ඔඩුදුවමින් ඇති ආකාරයයි. රාජ්‍ය නායකත්වයට, ආගමික පූජකයෙකු වඩාත් නුසුදුසු වන්නේ ඒ පරිසරය තුළ බව පෙන්වීම මගේ වෑයම විය. රාජ්‍යයේ ලෞකිකත්වය පිළිබඳ මාක්ස්වාදී වාග්මාලා පාවිච්චි කිරීමෙන් හිතාමතාම මා වැළකුණේ ද, ලංකාවේ වර්තමාන සුවිශේෂී මොහොත තුළ තබා මාදුළුවාවේ හිමියන් පිළිබඳ විවේචනයකට යාම තුළින්, දේශපාලනික වශයෙන් වඩාත් පුළුල් වටහා ගැනීමකට අපට සේන්දු විය හැකි නිසාමයි. ඉරානයේ අයතුල්ලා කුමේනිගේ සාදෘෂ්‍ය මා ගෙනහැර පෑවේ, ඔහු මෙන් මාදුළුවාවේ හිමියන් ප‍්‍රචණ්ඩ වේ යැයි හෝ ප‍්‍රතිගාමී වේ යැයි කීමකට වඩා (‘අළුත්ගමින්’ පසුව දැන් පෙනෙන හැටියට එසේ වීමටත් බැරි කමක් නැත), එදා ඉරාන සමාජයේ ආගමික අපේක්ෂාවන් හිංසාකාරී ලෙසින් කුළුගැන්වීමක් සඳහා, ගිහියෙකුට වඩා පැවිද්දෙකු යෝග්‍ය වුණේ කෙසේ දැ යි පෙන්වා දීමටයි.

ඊළඟට, ‘‘ලංකාවේ රාජ්‍යය එසේ වී තිබීමම, ඊට උදාහරණයක්’’ යැයි ඔහු කියන විට මා කී කිසිවක් එයින් නිෂේධ වන්නේ නැත. ගිහියෙකු (මහින්ද රාජපක්ෂ) රාජ්‍ය නායකත්වය දරණ රටකුත් ආගමීකරණය වී ඇත්නම්, පැවිද්දෙකු (මාදුළුවාවේ සෝභිත හිමි) එම රාජ්‍ය නායකත්වයට කොහෙත්ම නොගැනීමට වගබලාගත යුතුය යන අනතුරු ඇඟවීම පමණි එයින් ශක්තිමත් වන්නේ.

කෙසේ වෙතත්, ඉහත කී මගේ සාරාර්ථය අභියෝගයට ලක්කළ හැකි එකම ආකාරයක් තිබේ. එය, ‘‘මාස 6 කට පමණක් ජනාධිපති වීම’’ සහ ‘‘එකී කාලය තුළ ජනාධිපති ක‍්‍රමය අවසන් කොට මාදුළුවාවේ හිමියන් ආපසු පන්සලට වැඩම කැරැුවීම’’ වැනි, දේශපාලනික පොරොන්දම්වලින් කළ හැක්කක් නොවන බව මුලින්ම කිව යුතුය. එය කළ හැක්කේ, අදාළ අපේක්ෂකත්වයේ අතීත සහ වර්තමාන චර්යාවන්, මා කියන රාජ්‍යයේ සහ සමාජයේ වර්තමාන ආගමීකරණ පරිසරයට ප‍්‍රතිපක්ෂව අභිමුඛ කැරැුවීම මගින්ම පමණි.

තම්බයියාගේ පොතේ පිටකවරයේ සඳහන් මාදුළුවාවේ හිමියන්ගේ කුපිතකාරී ඡුායාරූපය මා ගත්තේ ද සංඥාර්ථයක් වශයෙන් පමණි. ඒ නිසා පින්තූරය ගත්තේ කවදා ද, කොහේදී ද, කුමක් සඳහා ද යන්න තම්බයියාටවත්, අපේ තර්කයටවත් අදාළ නැත. එම පොත තුළ “ඊට වෙනස් අර්ථයක් ආරෝපණය කරනු ලැබ ඇතැ’’ යි නිර්මාල් කියයි. කුමකට වෙනස් අර්ථයක් ද? මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පින්තූරයෙන් දැක්වෙන, ඒ කර්කශ අභිනයට වෙනස් අර්ථයක් ද? ඊළඟට, එම රූපය ඉදිරිපත් කෙරෙන්නේ, ‘‘පොදුවේ ලංකාවේ භික්ෂු දේශපාලනය පිළිබඳ සංඥාර්ථයක් ලෙසිනි’’ යි ඔහු කියයි. හරියටම හරි. මේ සංඥාර්ථය කුමක් ද? අදාළ පින්තූරයට අමතරව, පොත කියැවීමටත් පෙරම එය හඳුනා ගැනීම සඳහා, තම්බයියා ඊට නිසි උද්ධෘතයක් යොදයි. එය, ‘‘බුද්ධාගම පාවා දුනි?/බුද්ධාගමට ද්‍රෝහී වුනි’’ යන්නයි. ඒත් මදි නම්, උපශීර්ෂයකුත් එහි තිබේ. ඒ මෙසේය: ‘‘ආගම, දේශපාලනය සහ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රචණ්ඩත්වය’’ යන්නයි. මාදුළුවාවේ හිමියන්ගේ රූපයෙන් තම්බයියා සංඥාර්ථවත් කරන්නේ, එකී කාරණා තුන අතර ඓතිහාසිකව ගොඩනැගුණු සහසම්බන්ධයයි.

කෙසේ වෙතත්, තම්බයියාගේ පොතේ පිටකවරයේ පින්තූරය මගින් පමණක් සෝභිත හිමියන් පිළිබඳ විනිශ්චයකට එළැඹීමට මා ඉක්මන් වී නැත. එය මා ගෙනහැර දැක්වූයේ කරුණු තේරුම් ගැනීමේ සාදෘෂ්‍යයක් වශයෙනි. මට වඩාත් වැදගත් වන්නේ, යුද්ධය තුළ ගතවූ කාල වකවානුවේ එහිමියන්ගේ චර්යාවන්ටත් වඩා, එම චර්යාවන් සංශෝධනය කර ගැනීමට/ආපසු හැරවීමට උන්වහන්සේගේ වර්තමානයේ චර්යාවන් කොතෙක් දුරට අදාළ වන්නේ ද යන්න පමණි.

එහි දී, ‘‘උන්වහන්සේ සිංහල=බෞද්ධ ජාතිකවාදී ව්‍යාපාරයේ කේන්ද්‍රයේ ප‍්‍රමුඛ නායකයෙකු හා සංකේතයක් ලෙස කටයුතු කළ’’ බව නිර්මාල්ම පැවසීම, මා අදහස් කළ උන්වහන්සේගේ ඒ අතීත චර්යාව මොනවට පැහැදිළි කර දෙයි. හැබැයි ඒ කාලයේ පවා උන්වහන්සේ ‘‘සිංහල ජාතිකවාදි කඳවුරේ ප‍්‍රමුඛ ප‍්‍රකාශකයන්ට සාපේක්ෂව මධ්‍යස්ථ ආකල්පයක් ප‍්‍රකට කළ කෙනෙකු’’ බව පෙන්නුම් කිරීමට උන්වහන්සේ සමග ‘යුක්තිය’ පුවත්පත වෙනුවෙන් නිර්මාල් පැවැත්වූයේ යැයි කියන සම්මුඛ සාකච්ඡුාවක් තර්කයක් වශයෙන් ගෙනහැර දැක්වීම නම් ප‍්‍රමාණවත් වන්නේ නැත.

මන්ද යත්:

පසුගිය දා අළුත්ගම සිද්ධීන් ගැන ජනාධිපති මහින්ද රාජපක්ෂ නිකුත් කළ විශේෂ නිවේදනයේ මෙසේ දැක්වෙයි: ‘‘එකිනෙකාගේ අදහස් උදහස්වලට ගරු කරන සහ ඉවසන සංස්කෘතියක් බිහි කළ යුතුය. හිංසනය ම්ලේච්ඡුත්වයේ සළකුණකි. ජාතියක ශ්‍රේෂ්ඨත්වය අත්කර ගත හැක්කේ, එකිනෙකාට පහර ගැසීමෙන් නොව, එකිනෙකාට ගරු කිරීමෙනි.’’

මේ ප‍්‍රකාශයට කලින්, අළුත්ගම ගිනිගන්නා අවස්ථාවේ ද, ඊට වගකිව යුත්තන්ට තරාතිරම නොබලා නීතිය ක‍්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා බොලිවීයාවේ සිට කියා තිබුණි. දැන් මේ ප‍්‍රකාශ දෙක, තවත් අවුරුදු විස්සකට හෝ තිහකට පසු නිර්මාල් වැනි කෙනෙකු වෙනත් රාජ්‍ය නායකයන්ට ‘සාපේක්ෂව’ ජනාධිපතිවරයාගේ ‘අපක්ෂපාතී’ භාවය සහ ‘නීති ගරුකත්වය’ පෙන්නුම් කිරීමේ තර්කයක් වශයෙන් උද්ධෘත කළොත් තත්වය කවරේ ද? එවිට එදාට අප භාරගන්නේ ජනාධිපතිවරයා අතීතයේ දවසක කළ එම හිස් ප‍්‍රකාශය ද, නොඑසේ නම්, පැවති සමාජ සහ දේශපාලනික පසුබිම තුළ ඔහු ක‍්‍රියා කොට ඇති සංයුක්ත ආකාරය ද?

පොදු අපේක්ෂකත්වය කොහොමත් සූදුවකි. තනි කාරණයක් සඳහා පොදු අපේක්ෂකත්වයක් ඉදිරිපත් කිරීම ඊටත් වඩා බරපතල සූදුවකි. ඒ සඳහා ඉදිරිපත් වන ඕනෑම අපේක්ෂකත්වයක ජයග‍්‍රහණය තුළ පවා, එය ගිහි වේවා පැවිදි වේවා, ජනතාවක් වශයෙන් සහ සමාජයක් වශයෙන් අවසානයේ දී ජනතාව පරාජය වීමේ ඉඩකඩ තිබේ. එම අඩමානය නිසා සූදුව අතහැරිය යුතු නැත. ඒ වෙනුවට අප කළ යුත්තේ, ජයග‍්‍රහණය සඳහා ඔට්ටුවට තැබෙන්නේ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීම යන කේවල කාරණය වෙතත්, ඒ සූදුව වටේට තවත් ඔට්ටු ගණනාවක් අනිවාර්යයෙන් එල්ලෙන බව හොඳින් මතක තබාගෙන සූදුවට පිවිසීමයි. දේශපාලනයේ ගතිකත්වය එවැන්නක් අනිවාර්යෙන් ඉල්ලා සිටී. ඒ නිසා, කළ යුතුව ඇත්තේ, මූලික ඔට්ටුව කණපිට හැරවිය හැකි, වටේ ඔට්ටුවලට ඇති ඉඩ අවම කිරීමයි. තනි ඉලක්කයක් සඳහා තරගයට බැසීම යන හුදු සටන් පාඨයෙන් පමණක් එය කළ නොහැක. (සංයුක්ත වැඩපිළිවෙලක් සේම), ඉලක්කයෙන් බැහැරට යා හැකි ආශ‍්‍රිත ඇඟවුම්කාරකයන් අවමයෙන් දරණ අපේක්ෂකත්වයක් ඊට අවශ්‍ය කරන්නේය. සිවුර, එසේ බැහැරට එල්ල වන (පීලි පැනිය හැකි) එක් ප‍්‍රබල සහ භයානක ඇඟවුම්කාරයකි.

බුදුන් වහන්සේගේ සිවුර භයානක නැත. එහෙත් පසුගිය කාලයේ මේ රටේ සිංහල=බෞද්ධ සිවුර විසින් ඇති කරන ලද සමාජ මනෝ භාවය භයානක ය. රෞද්‍ර ය. ඒ සිවුර පසුපසින් මේ මොහොතේ ගොඩනැගෙන සමාජ පරිසරය විනාශකාරී ය. දැන්, මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සිවුර එසේ නොවෙතැයි කෙනෙකු පෙන්වා දිය යුත්තේ, එකී විනාශකාරී සමාජ පරිසරයට එරෙහිව නැගී සිටීමට උන්වහන්සේ දායක වන ආකාරය පෙන්නුම් කිරීමෙන්ම පමණි. බොදුබල සේනාව වැනි ම්ලේඡ්ච ආගමික රාජ්‍ය ව්‍යාපෘතියක් ඉදිරියේ උන්වහන්සේ පසුගිය අවුරුදු දෙකකට අධික කාලයක් තිස්සේ ආගමික නායකයෙකු වශයෙන් කෙළේ කුමක් ද යන ප‍්‍රශ්නය මගහැර යමින් කෙනෙකුට එම ප‍්‍රශ්නයට පිළිතුරු සෙවිය නොහැක. රාජපක්ෂ පාලනය විසින් ශිරානී බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගයේ දී නීතියේ ආධිපත්‍යය කෙළසද්දී නිවැරදිවම ඊට එරෙහිව නැගී සිටී උන්වහන්සේ, දැන් තමන්ගේම සාසනයේ පිරිසක් එකී රාජපක්ෂ පාලනයේම ආශීර්වාදය යටතේ එයාකාරයෙන්ම නීතියේ ආධිපත්‍යය කෙළසද්දී මුනිවත රකින්නේ මන්ද යන ප‍්‍රශ්නය මගහැර යමින් එම ප‍්‍රශ්නයට පිළිතුරු සෙවිය නොහැක.

මේ සියල්ල සංගෘහිත කළොත්, මා අවධාරණය කරන මූලික කාරණා පහකි. (1) යුද්ධය තුළ පෙළගස්වන ලද මහ ජාතික සහ මහ ආගමික සමාජ විඥානය යුද්ධයෙන් පසුව වඩාත් සාහසික අන්දමින් සමාජගත වෙමින් තිබෙන විශේෂ මොහොතක, (2) එම විඥානය මූර්තිමත් කරන ප‍්‍රධාන ආගමික ආයතනය නියෝජනය කරන භික්ෂුවක්, (3) ඒ ගැන තමන්ගේ අතීත ආකල්ප සහ ක‍්‍රියාකලාපයන් සංශෝධනයට ලක්ව ඇතැ යි පෙන්නුම් කෙරෙන සමාජ මැදිහත්වීමක් එම ක්ෂේත‍්‍රය තුළ (ආගමික) මේ මොහොතේවත් නොකරන්නේ නම්, එවැන්නෙකු රාජ්‍ය නායකත්වයට පත්කර නොගත යුත්තේ, අන් සියල්ලටම වඩා, (5) ඔහු බලය ඉල්ලන්නේ ‘තනි කාරණයක්’ වෙනුවෙන් (ජනාධිපති ක‍්‍රමය අවලංගු කිරීම වෙනුවෙන්) වුව ද, ඔහු (කෙටි කාලයකට වුවත්) රාජ්‍ය බලය හොබවන්නේ, එම ‘තනි කාරණයට’ සෘජු අදාළත්වයක් සහිතව පරදුවට තැබෙන, ඊට වඩා පුළුල් දේශපාලන අවකාශයක් තුළ වීම නිසා ය.

Back to Home page