Colombo Telegraph

ජිනීවා නුවර කණාපල්ලන් සෙල්ලම

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

අවුරුද්දක් පාසා, මැයි මාසයේ දී වෙසක් ගැනත්, දෙසැම්බර් මාසයේ දී නත්තල් ගැනත් ලියැවෙන ලිපි ලේඛනවලින් පුවත්පත් සඟරා ආදිය සැරසෙන්නා සේ, දැන් අවුරුදු ගණනාවක සිට මාර්තු මාසය ළං වන විට පුවත්පත් සහ විද්‍යුත් නාලිකා ජිනීවා සමුළුව ගැන අදහස් උදහස්වලින් පිරී යයි. වෙසක් සහ නත්තල් සමයේ හැම දාමත් අප කියවන්නේ එකම දේවල් ය. මාර්තු මාසය ළං වන විටත් දැන් අපි එකම දේවල් නැවත නැවතත්, ලියමින් සහ කියවමින් සිටිමු.

ප‍්‍රශ්නය එක දිගටම ප‍්‍රතික්ෂේප කිරීමෙන් එම ප‍්‍රශ්නය කල් යාමේ දී වාෂ්ප වී යතැ යි ආණ්ඩුව හිතන බවක් පැහැදිළිවම පෙනේ. එනම්, කෙනෙකු හති වැටුණු විට දිවීම නතර කරතැ යි සිතන්නා සේ ය. මෙවර ජිනීවා නුවර දී ජී. ඇල්. පීරිස් ඇමතිවරයාගේ කරුණු දැක්වීමෙන් පෙන්නුම් කරන්නේ එයයි. බුද්ධිමතෙකුට එක විට වංචනිකයෙකු සහ විකටයෙකු විය හැක්කේ කෙසේදැ යි අපේ විදේශ ඇමතිවරයා එදා පෙන්නුම් කෙළේය. කෙසේ වෙතත්, ඒ ගැන මේ වන විට බොහෝ දෙනා ලියා කියවා ඇති නිසා මෙහි දී සඳහන් කෙරෙන්නේ වෙනත් මානයක් ගැනයි.

බරපතල මානව හිමිකම් උල්ලංඝනයන්ට සම්බන්ධ යැයි සැක කෙරෙන පොලීසියේ සහ හමුදාවේ නිලධාරීන් කිහිප දෙනෙකු නීතිය ඉදිරියට පැමිණවීමට ආණ්ඩුව මෙතරම් පස්ස ගහන්නේ, දුෂ්කර අවස්ථාවේ දී තමන් වෙනුවෙන් පෙනී සිටි එම නිලධාරීන්ව ආරක්ෂා කිරීමේ සදාචාරමය වගකීමක් පාලකයන්ට පැවරෙන නිසා යැයි කෙනෙකු යම් තැනක ලියා තිබුණි. මෙය බොරුවක් බව වටහා ගැනීමට ඇති සරළම ක‍්‍රමය වන්නේ, යුද්ධයෙන් පසු ගෙදර යවා ඇති හමුදාවේ ඉහළ නිලධාරීන්ගේ ප‍්‍රමාණය කොපමණදැ යි සිහියට ගැනීමෙනි. උදාහරණයක් වශයෙන්, යුද්ධය අවසන් වූ සැණින් හමුදාපති පදවියට පත්කෙරුණේ, ඒ වන විට ජ්‍යෙෂ්ඨත්වයෙන් 9 වැනි ස්ථානයේ සිටි පුද්ගලයාව ය. ඊට උඩින් සිටි සියල්ලන්ව ගෙදර යැවුණි. එපමණක් ද නොව, යුද්ධය ජයග‍්‍රහණය කැරැුවූ සරත් ෆොන්සේකාව හිරේට යැවුණි. මේ නිසා, දුෂ්කර අවස්ථාවේදී තමන් වෙනුවෙන් පෙනී සිටීම එම පුද්ගලයාගේ ආරක්ෂාව සඳහා පාලකයාගෙන් ලැබෙන නියත සහතිකයක් නොවන බව පෙනී යයි. සත්‍යය වන්නේ, කොළඹ දේශපාලනික බල කේන්ද්‍රයට මොන යම් ආකාරයකින් හෝ නොගෑවී අපරාධ කළ, සාමාන්‍ය සොල්දාදුවෙකු පවා සොයා ගැනීමට නොමැති වීමයි. ඒ පිළිබඳ ඕනෑම පරීක්ෂණයක්, පාලකයාට අරහං වන්නේ එබැවිනි.

දකුණු අප‍්‍රිකාවේ වර්ණභේදවාදී පාලකයන් කළ අපරාධ ගැන සොයා බැලීමේ වගකීම පැවරුණේ එම වර්ණභේදවාදයෙන් පීඩාවට පත් ජනතාවකට සහ පාලකයන්ට ය. අපේ රටේ තත්වය එහි අනිත් පැත්තයි. යුද්ධය තුළ සිදු වී යැයි කියන අපරාධ ගැන සොයා බැලීම පිළිබඳ ඉල්ලීම ඉදිරිපත් කෙරෙන්නේ එම අපරාධ ගැන චෝදනාවට ලක්ව සිටින නායකත්වයකට සහ එම නායකත්වය නියෝජනය සපයන ජනතාවකට ය. මෙතරම් චෝදනා සහ ප‍්‍රතිචෝදනා අවුරුදු පතා මතුවන තරමට මේ ප‍්‍රශ්නය ඔඩුදුවන්නේ එබැවිනි.

මෙය වටහාගත යුත්තේ, බලයට අදාළ ව්‍යුහයේ ප‍්‍රශ්නයක් වශයෙනි. එය, 80 දශකය අවසානයේ සිදුවූ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් දකුණේ දේශපාලඥයන් කටයුතු කළ ආකාරය සළකා බැලීමෙන් තේරුම්ගත හැකිය. එදා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් අතුරුදහන් කැරැුවීම සහ ඝාතනය කැරැුවීම සම්බන්ධයෙන් වර්තමාන ජනාධිපතිවරයා පවා ජිනීවා ගිය බව කවුරුත් දනිති. එහි දී ඔහුගේ ඒ සත්=ක‍්‍රියාවට එරෙහිව දකුණෙන් නැගී සිටියේ, එවක බලය හෙබැවු පාලකයන් පමණි. එහෙත්, එම පාලකයන්ගෙන් මැරුම්කෑ දකුණේ පවුල්වල සාමාජිකයෝ සහ එම ඝාතන හෙළාදුටු තවත් දසදහස් ගණන් සිංහල ඡුන්දදායකයෝ එදා මහින්ද රාජපක්ෂගේ එම ‘ දූත මෙහෙවරට’ සහාය දැක්වූහ. ප‍්‍රශංසා කළහ. ඊළඟට, 1994 වන විට, එසේ මියගිය අයවළුන්ගේ මව්වරුන් එක පෙරමුණකට ගොනු කොට, ඝාතනයට ලක්වුවන්ගේ මිනී වළවල් හාරා, මහා දේශපාලන ව්‍යාපාරයක් දකුණේ ඇති කොට, එකී දුක්ගැනවිලි හරහා තමන්ගේ බලයට පාර කපා ගැනීමට හැකියාවක් චන්ද්‍රිකා බණ්ඩාරනායකට තිබුණි. මෙහි දී, එම අපරාධවල චූදිතයන් ද, චෝදකයන් ද, එකම මැතිවරණ කලාපයක (දකුණේ)  අපේක්ෂකයෝ වූහ. ඒ දෙපාර්ශ්වයටම හරි හරියට ඡුන්දදායකයෝ සිටියහ.

උතුරේ යුද අපරාධ චෝදනා පිළිබඳ සංවාදය එම ව්‍යුහය තුළම අද දියත් වන විට, එහි ප‍්‍රතිමානයන් ඊට වෙනස් මුහුණුවරක් ගනී. උතුරේ සිදු වී යැයි කියන අපරාධ ගැන හඬ නගන්ට හෝ උතුරේ අතුරුදහන් වූවන්ගේ මව්වරුන් පෙරටු කොටගෙන ජනතා ව්‍යාපාර ගොඩනැගීමට හෝ පුලූවන් කමක් දකුණේ මොනම පක්ෂයකටවත් නැත. එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි දකුණේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ දේශපාලන ව්‍යාපාර ඒ ගැන කටක් නොසොල්වා සිටින්නේ එබැවිනි.

80 දශකය අවසානයේ සහ 90 දශකය ආරම්භයේ මහින්ද සහ චන්ද්‍රිකා පස්සෙන් සිටි සිංහල ජනතාව, අද එක්සත් ජාතික පක්ෂය හෝ දකුණේ පක්ෂයක් පස්සෙන් එවැනි අපරාධවලට එරෙහිව ගොඩනැගෙන ජනතා ව්‍යාපාරයකට එන්නේ නැත. හේතුව ඉතා සරළ ය. මෙවර ‘යුද අපරාධවලින්’ මියගොස් ඇත්තේ, සිංහලයන් නොව, දෙමළුන් ය. ඊළඟට, එම අපරාධවල චූදිතයන් වන්නේ ද දෙමළුන් නොව, සිංහලයන්ම ය. එසේ වන විට, තමන්ගේ දේශපාලන අනාගතය මුළුමණින් තීන්දු වන්නේ එවැනි ජනතාවකගෙන් නිසා, යුද අපරාධ ගැන ආන්දෝලානාත්මකව මැදිහත් වීම, දකුණේ කිසි දේශපාලන නායකත්වයක් භාර නොගන්නා අවදානමකි. බලය හොබවන ආණ්ඩුව අතේ අද තිබෙන ලොකුම තුරුම්පුව එයයි.

මෙය ඉතා නරක තත්වයකි. රට කරවන නායකයන් පමණක් නොව, රටේ මහජාතික ප‍්‍රජාවත්, එම ප‍්‍රජාව නියෝජනය කරන ප‍්‍රධාන පෙළේ දේශපාලන පක්ෂත්, සිය විනාශය ගැන වගකීමෙන් කරඅරින බව දකින උතුරේ ජනතාව, තමන් එකම ලාංකීය ජාතියක්ය යන ප‍්‍රබුද්ධ ප‍්‍රබන්ධය බැහැර කොට, තමන් වෙනම ජාතියක් ය යන යථාවාදී අවබෝධයට පැමිණෙත්. බෙදුම්වාදය පිල් විහිදන්නේ එවැනි ප‍්‍රභවයන්ගෙනි. සෑම මැතිවරණයකින් ජයග‍්‍රහණය කරන ආණ්ඩුව, උතුරේ දී පමණක් පරාජය වීම, අප කියැවිය යුත්තේ, ජාතීන් දෙකක් වශයෙන් ලංකාව ද්‍රැවීකරණය වීමේ (දෙපැත්තට බෙදීමේ) ඛේදවාචකයක් වශයෙනි.

මෙය උතුරට සහ දෙමළ ජනතාවට විශේෂයෙන් අදාළ වුව ද, එය එතැනට පමණක් සීමා වන්නේ ද නැත. වෙනත් ජාතියක අඳෝනාවට සංවේදී වීමේ දී පමණක් නොව, තමන්ගේම ජාතියේ මූලික ප‍්‍රශ්නවලට මුහුණදීමේදීත් වර්තමාන දකුණේ විපක්ෂය අත්‍යන්තයෙන් අසමත් වන තැනට ආණ්ඩුව වගබලාගෙන තිබේ. රාජපක්ෂ පාලනයේ මොනයම් හෝ ඒකාධිපති ප‍්‍රවණතාවක් මැඩලීමට මේ දක්වා එම විපක්ෂයට හැකි වී නැත්තේ එබැවිනි. අඩු වශයෙන්, වනාතමුල්ලේ ජනතාව පෙන්වූ තරමේවත් ජවයක්වත් විපක්ෂයට අද ඇත්තේ නැත.

ඉතිං, තමන්ගේ නඩුව දේශීය තලයේ දී විභාගයට නොගැනෙන බව දන්නා දෙමළ ජනතාව ලෝකයා කෙරෙහි බලාපොරොත්තු තබති. එහි දී, ජිනීවා යන්නට මහින්ද රාජපක්ෂට නොතිබුණු තරමේ අයිතියක් අද ඔවුන්ට තිබේ. කෙසේ වෙතත්, ජිනීවා නුවර දී බල කෙරෙනු ලැබෙන්නේ, දෙමළ ජනතාවගේ දුක්ගැනවිල්ල පමණක් නොවන බවත් දත යුතුය. ලංකාවේ විපක්ෂය හරහා අත්පත් කර ගැනීමට අසමත් වන යහපාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, ජිනීවා නුවර දී යෝජනා කෙරේ. නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය වැනි කාරණා එහි දී සාකච්ඡුාවට ගැනෙන්නේ ඒ නිසා ය. එබැවින්, උතුරේ යුද අපරාධ සම්බන්ධයෙන් ගත්තත්, දකුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමස්ත සෝදාපාලූව සම්බන්ධයෙන් ගත්තත්, ජිනීවා නුවර දී අවුරුදු පතා හොල්මන් කරන්නේ අපේම, එනම් දකුණේ අසාර්ථකත්වයේම පිළිබිඹුවකි.

මෙය වටහා ගැනීමට තවත් සරළ උදාහරණයකට හැරෙමු. ජාත්‍යන්තර පරීක්ෂණයක් ගැන රාජපක්ෂ ආණ්ඩුව මෙතරම් කිපෙන්නේ, අපේ ස්වෛරීත්වයට පිටරැුටියන් ඇඟිලි ගසනවාට ඇති අපුලක් නිසා යැයි කෙතරම් කීවත්, එම කතාව පුස්සක් බව, එක පැත්තකින් අපේම පරීක්ෂණයක් පවා නොපවත්වා සිටීමෙනුත්, අනිත් පැත්තෙන්, මීට වඩා අඩු මට්ටමේ අපරාධ සම්බන්ධයෙන් පවා නීතිය ක‍්‍රියාත්මක නොකර මගහැරීමෙනුත් ඕනෑවටටත් වඩා මේ වන විට පෙන්නුම් කොට තිබේ. සත්‍යය වන්නේ, තමන් හෝ තමන්ගේ පරිවාරය පිළිබඳ මොනයම්ම හෝ සොයා බැලීමකට රාජපක්ෂවරුන් තුළ මොනම සූදානමක්වත් නොතිබීමයි. එය, බටහිර සුද්දා හෝ අධිරාජ්‍යවාදියා සම්බන්ධයෙන් පමණක් නොව, තමන්ගේම රටේ මහජනතාව සම්බන්ධයෙන් වුව රාජපක්ෂවරුන් අනුගමනය කරන ශුද්ධ වූ ප‍්‍රතිපත්තියකි.

තමන් පාලනය වෙන රාජ්‍ය ආයතනවල තොරතුරු දැන ගැනීමට අයිතියක් තමන්ට තිබිය යුතු යැයි මේ රටේ ජනතාව කියන්නේ දැන් කාලයක සිට ය. එය ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ වශයෙන් හැඳින්වෙයි. එම නීතිය, දැනට නැත්තේ දකුණු ආසියාවෙන් ලංකාවේ පමණි. නිදහසෙන් පසු දීර්ඝ කාලයක් හමුදා පාලනයන් යටතේ පැවති පාකිස්තානයේ පවා ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ නීතිගත කොට තිබේ. මීට පෙර දෙවරක්ම කරු ජයසුරිය විසින් මෙම අයිතිය පනතක් වශයෙන් සම්මත කර ගැනීමට නොගත් උත්සාහයක් නැත. එහෙත්, ආණ්ඩුව තවමත් එය එක දිගටම ප‍්‍රතික්ෂේප කරමින් සිටී.

දැන්, ජිනීවා නුවර දී ඇමරිකාව ඇතුළු අනිත් රටවල් ලංකාව පිළිබඳ තොරතුරු සොයා බැලීමට යාම අපේ ආණ්ඩුව ප‍්‍රතික්ෂේප කරන්නේ, එය අපේ රටට කරන බාහිර ඇඟිලි ගැසීමක් නිසා නම්, ආණ්ඩුව ගැන පරීක්ෂාවෙන් සිටීම සඳහා මේ රටේම ජනතාව ඉල්ලා සිටින ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ එම ජනතාවට දීම ආණ්ඩුව ප‍්‍රතික්ෂේප කරන්නේ කුමන පදනමකින් ද?

රාජපක්ෂලාට අවශ්‍ය කරන්නේ, වෙනත් ක‍්‍රීඩකයන් තරග නොකරන, තමන්ට පමණක් වෙන් වූ ක‍්‍රීඩාවකි. අද, නීතිය යන්න එම ක‍්‍රීඩාවෙන් පිටමං කොට ඇත. අධිකරණය යන්න නිශ්ක‍්‍රීය කොට ඇත. පොලීසිය, මැතිවරණ ක‍්‍රියාවලිය, රාජ්‍ය සේවය සහ ජනමාධ්‍ය වැනි සියලූ ක්ෂේත‍්‍ර අද කුජීත ය. සෙල්ලමෙන් පරාද වීමට යම් හෝ ඉඩක් ඇත්තේ ජාත්‍යන්තර ක‍්‍රීඩා පිටියේ දී පමණි.

Back to Home page