Colombo Telegraph

සිංහලයන් වෙනුවෙන් බෞද්ධ භික්ෂූන් පහරකන්නේ ඇයි?

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

ඉන්දියාවේ චෙන්නායිහි දී බෞද්ධ (සිංහල* භික්ෂූන් වහන්සේ දෙනමකට පහරදෙන දර්ශනය, අනාගතය පිළිබඳ භයානක සිතිවිලි සිතට නංවයි. මේ අවස්ථාවේ දකුණු ඉන්දියානුවන් මෙසේ හැසිරීම, මොන විදිහකින්වත් ලංකාවේ දෙමළ ජනයාට හානියක් මිස සේවයක් නොවන බව ඔවුන්ට නොවැටහෙයි. මේ නොදැමුණු තත්වය පාලනය කිරීමට ඉන්දියාව් මධ්‍යම ආණ්ඩුවට පැවරෙන වගකීම, ඉන්දියාවේ සිදු වූ ඒ සිද්ධීන්ට අදාළ ලංකාවේ සිද්ධීන් සම්බන්ධයෙන් අපේ පාලකයන්ට ද පැවරෙයි. ප‍්‍රකෝපකාරීත්වය, මුහුදෙන් එපිට දී සේම, මෙපිටදී ද විනාශකාරී ය. එය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකාරයෙන් ප‍්‍රශ්න විසඳා ගැනීමේ ක‍්‍රමයට පරම හතුරු ය.

ඉන්දියාවේ දී ලංකාවේ බෞද්ධ භික්ෂූන්ට පහර දීම තුළ අප පිළිතුරු සෙවිය යුතු මූලික ප‍්‍රශ්නයක් තිබේ. එනම්, සිංහලයා සමග දකුණු ඉන්දියානුවාට ඇති වෛරය බෞද්ධ සිවුරකට එරෙහිව එල්ල වුණේ කෙසේ ද යන්නයි. මෙය, එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ නොදැමුණු ක‍්‍රියාවකැ යි සැළකීම, ප‍්‍රශ්නයට පිළිතුරක් නොව, ප‍්‍රශ්නයම ප‍්‍රතිරාව කිරීමකි.

මොන තරම් කුඩා වුවත්, ඕනෑම ආධානග‍්‍රාහීත්වයකින් ඇති කැරැුවිය හැකි විනාශය සුළුපටු නැත. එහෙත් ආගමික උන්මත්තක භාවය, අනිත් සෑම උමතුවකටම වඩා භයානක විය හැකිය. ඊට එක හේතුවක් වන්නේ, ආගම වෙනුවෙන් හිංසනයේ යෙදෙන්නා ඉදිරියේ, හැම විටම මේ භවයේ ලෞකික වගකීමක් සමග ඊළඟ ආත්මයේ දී තමන් වෙත පිරිනැමෙන වරදානයක ආකර්ශනය ද, අතිරේක ලාභයක් වශයෙන් පැවතීම ය. ආගමේ නාමයෙන් කෙරෙතොත්, හිංසනයට පවා පරලොව ප‍්‍රතිදාන අයත් බව එහි අදහසයි.

ජාතිය වෙනුවෙන් දිවි පුදන්නාට එවැන්නක් හිමි නොවේ. ඔහුට හිමිවන්නේ ජාතියක් වෙනුවෙන් දිවි පිදීමේ ලෞකික වීරත්වයක් පමණි. පංතියක් හෝ දේශපාලනයක් වෙනුවෙන් දිවි පුදන්නාට ද එසේ ය.

හිංසනයට පවා යම් ත්‍යාගයක්, එය කරන්නේ ආගම වෙනුවෙන් නම්, ඊළඟ ආත්මයේ දී උරුම වන බව ක‍්‍රිස්තියානි ආගමේත්, මුස්ලිම් ආගමේත් කෙලින්ම කියා තිබේ. එහෙත් බුද්ධාගමේ එවැන්නක් කියා ඇත්තේ කොහේ දැ යි කෙනෙකු ප‍්‍රශ්න කළ හැකිය. එම ප‍්‍රශ්නය යොමු කළ යුතු පුද්ගලයන් තිදෙනෙක් සිටිති. එක් කෙනෙක්, මහාචාර්ය නලින් ද සිල්වා ය. බුදුන් වහන්සේ කිසි දවසක යුද්ධයට විරුද්ධ වුණේ නැතැ යි ඔහුගේ (නලින් ද සිල්වාගේ* ‘දේශනාවල’ සඳහන් වෙයි. ඒ සඳහා ඔහු පාදක කරගන්නා තර්කය වන්නේ, හමුදාවක් විසුරුවා හරින්නැ යි කිසි රජ කෙනෙකුගෙන් බුදුන් වහන්සේ ඉල්ලා නැති බවයි.

වරක් එක් භික්ෂුවක් බුදුන් වහන්සේගෙන් ප‍්‍රශ්නයක් ඇසුවේය. එනම්, උන්වහන්සේ දේශනා කොට ඇති ධර්මය කොපමණ ද යන්නයි. එවිට බුදුන්වහන්සේ කෙළේ, කැලේ ගසකින් කොළයක් කඩාගෙන, දේශනා කළ ධර්මය ඒ කොළයටත්, දේශනා නොකළ දෑ කැලේ කොළ ගානටත් සමාන වන බව පෙන්වා දීමයි. එයින් උන්වහන්සේ අදහස් කෙළේ, සත්‍යය අවබෝධ කර ගැනීම සඳහා අත්‍යාවශ්‍ය මූලික අවමය මිස, ඊට අනවශ්‍ය දෑ තමන් වහන්සේ දේශනා කර නැති බවයි.

මේ ‘අනවශ්‍ය’ දෑ මොනවා ද? ඒ වෙන කිසිවක් නොව, දෙකයි දෙකයි එකතු කළ විට හතරයි කී පසු, හතරෙන් දෙකක් අඩු කළ විට දෙකයි කීම අනවශ්‍ය බවයි. උදාහරණයක් වශයෙන්, පංචශීලයේ මුල් ශික්ෂා පදය වශයෙන් ප‍්‍රාණඝාතය ඇතුළත් කරන විට, මස් මාළු නොකන්නැ යි නැවත විශේෂයෙන් කිව යුතු නැත. වෛරයෙන් වෛරය නොසන්සිඳේ යැයි කී විට, යුද්ධයෙන් අත්මිදෙන්නැ යි අමුතුවෙන් කිව යුතු නැත, නජච්ඡුා වසලෝහෝති යැයි දේශනා කළ විට, සියම්, රාමඤ්ඤ සහ අමරපුර ආදී නිකායවල් තිබීම නොහොබිනා බව කියා දිය යුතු නැත, ආදී වශයෙනි.

මේ ප‍්‍රශ්නයට පිළිතුරක් ඉල්ලා සිටිය හැකි අනිත් තැනැත්තා, ඇල්ලේ ගුණවංශ හිමියන් ය. යුද්ධය කාලයේ ඒ හිමියෝ ගීයක් ලීවෝය. එයින් කියැවුණේ, ‘‘සතුරා නැසීම නිවනට මගකි’’ යන්නයි. ඒ දවස්වල මේ ගීය දිනපතාම පාහේ ගුවන්විදුලියේ ප‍්‍රචාරය විය. සතුරා වුණේ දෙමළා ය. නිවන, බුදුන්ගේ ය.

ඉහත මතවාදය ගෞතම බුදුන් වහන්සේගේ දර්ශනයට කිසි නෑකමක් නැතත්, බුදුන්වහන්සේගේ ධර්මයේ නාමයෙන් මේ මතවාදය අභියෝග කිරීමට තරම් එඩිතර සංඝ සාසනයක්, මේ කියන යුද්ධ කාලයේ ලංකාවේ තිබුණේ නැත. අදත් එවැන්නක් නැත. එසේ වීමට හේතු වුණේ, 6 වැනි සියවසේ විසූ මහානාම හිමියන් ලියන ලද මහාවංශය, බුදුන් වහන්සේගේ ධර්මය පරයා ලංකාවේ සංඝ සාසනයටත්, බෞද්ධ ගිහි සමාජයටත් ‘ධර්ම පිටකයක්’ බවට පත්ව තිබීමයි.

එම මහාවංශයට අනුව, සිංහලයේ ප‍්‍රථම රජු යැයි කියන විජයට ලංකාව භාරකරන්නේ වෙන කිසිවෙකු නොව, බුදුන් වහන්සේම ය. විජයගෙන් බිහිවන ජාතිය ආරක්ෂා කරන්නැ යි ශක‍්‍ර දේවේන්ද්‍රයාගෙන් සිය පිරිනිවන් මංචකයේ දී ඉල්ලා සිටින්නේ ද බුදුන් වහන්සේම ය. හේතුව, බුද්ධාගම අවුරුදු පන්දහසක් පවතින එකම රට, මහාවංශයට අනුව, ලංකාව වන බැවිනි. එනම්, තමන් වහන්සේගේ ආගම ආරක්ෂා කර ගැනීම සඳහා ජාතියක් ද ආරක්ෂා කරගත යුතුව ඇති බව, මහාවංශයට අනුව, පිරිනිවන් මංචකයේ දී බුදුන් වහන්සේට සිතී ඇත. බුදුන් වහන්සේගේ බුද්ධාගම, ලංකාවේ දී ‘සිංහල=බුද්ධාගමක්’ වන්නේ එලෙසිනි.
මිනිස් වර්ගයා මිස වෙනත් කිසි ‘ජාතියක්’ නැතැ යි දේශනා කළ, මිනිසාට පමණක් නොව සතා සීපාවාට ද මෛත‍්‍රී කළ යුතු යැයි දේශනා කළ ආගමක්, මහානාම හිමියන් විසින් විශේෂ ජාතියක හිමිකාරත්වයට පත්කරනු ලැබීමෙන් එසේ විකෘති කරගත් සිංහල=බුද්ධාගම, පසු ගිය කාලයේ පැවති යුද්ධය සමග පුනර්ජීවනය වුණේය.

දකුණු ඉන්දියාවේ ද්‍රවිඩයා ඉදිරියේ බෞද්ධ සිවුර, සිංහලයෙකු වශයෙන් හඳුනා ගැනුණේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

මේ මොහොතේ ලංකාවේ බිහිවෙමින් ඇත්තේ, ඇෆ්ගනිස්ථානය වැනි රටවල හොල්මන් කළ මුස්ලිම් මූලධර්මවාදයට කොහෙත්ම නොදෙවැනි බෞද්ධ මූලධර්මවාදයකි. ඊයේ (20* ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය වෙත පෙළපාලි ගිය බාල වයස්කාර බුද්ධ පුත‍්‍රයන්ගේ මුහුණුවල තිබූ ක්‍රෝධය, අපේ අනාගතය මොන තරම් අඳුරු විය හැකි දැ යි අඟවන පෙරනිමිත්තකි. බලයට පත්වීම සඳහා ආගම සහ භාෂාව පාවිච්චි කිරීම ගැන එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායකට පැවරෙන දෝෂාරෝපණය, වර්තමාන පාලකයන්ගේ හැසිරීම ඉදිරියේ, වැලිකෙලියේ සෙල්ලමකට වැඩි දෙයක් නොවෙතැ යි සිතෙන කාලයකට අපි පියනගමින් සිටිමු. ඒ තරමට වර්තමාන පාලකයන් සිටින්නේ, ජාතිය සහ ආගම සිය පැවැත්මේ ඒකායන තර්කනය වශයෙන් පාවිච්චි කරමිනි. බොදුබල සේනා නැමති නව ෆැසිස්ට්වාදී ව්‍යාපාරයේ අධ්‍යාපන මධ්‍යස්ථාන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ අතින් විවෘත වීම කියාපාන්නේ එම කටුක සත්‍යය යි.

මෙවැනි බලවේග වූ කලී අළුත් දේවල් නොව, යුද්ධය තුළ බිහි කෙරුණු සහ යුද්ධයේ ජයග‍්‍රහණය තුළින් තාර්කිකව සැපයුණු ශක්තිය මත පමණක්ම ගොඩනැගිය හැකිව තිබූ ව්‍යාපාර වශයෙන් හඳුනාගත යුතුව තිබේ. යුද්ධය සඳහා කරන ලද දකුණේ සමාජ බලමුළුගැන්වීම, ත‍්‍රස්තවාදයක් මුලිනුපුටා දැමීම සඳහා වන ව්‍යාපෘතියකට වඩා, (දයන් ජයතිලක සහ වික්ටර් අයිවන් වැන්නන්නට වැරදුණේ එතැනය* සිංහල=බෞද්ධ ස්වෝත්තමවාදය ස්ථාපිත කරන්නකින් මෙහා නතර විය නොහැක්කක් බව, බොහෝ දෙනාට එදා පෙනුණේ නැත. ලංකාවේ ත‍්‍රස්තවාදයට එරෙහි සටන් පාඨය, මේ කියන ස්වෝත්තමවාදයට සැපයූ කඩතුරාවක් විය. එය, ඉරාකය ආක‍්‍රමණය කිරීම සඳහා ඇමරිකාව පාවිච්චි කළ ජන සංහාරක අවි පිළිබඳ බොරුවට වෙනස් වන්නේ, දත්තමය වශයෙන් මිස, සංකල්පීය වශයෙන් නොවේ. ඉරාකයේ එවැනි අවි නොතිබුණි. ලංකාවේ ‘ත‍්‍රස්තවාදයක්’ තිබුණි. එහෙත් මේ වෙනස විසින්, ලංකාවේ පාලකයා සහ දකුණේ සමාජය තුළ පැවති සංකල්පීය අවශ්‍යතාව හෙවත් මහාවංශයේ එන සිංහල ජාතියක් සහ සිංහල= බුද්ධාගමක් සමාජගත කර ගැනීමේ අවශ්‍යතාව වෙනස් කෙරුණේ නැත. ඒ වෙනුවට කෙරුණේ, එය තවත් තර කිරීමයි. ජාතික හෙළ උරුමය, බොදුබල සේනා, සිංහල රාවය සහ රාවණා බලය, එම අවශ්‍යතාවයේ බාහිර ප‍්‍රකාශනයන් ය.

Gamini Viyangoda

Back to Home page