Colombo Telegraph

ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ගුටිකෑම සහ සජින් වාස් වතිකානු යෑම

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

රාජපක්ෂ පාලනය තුළ පහර දීම සහ ඝාතනය කිරීම ක‍්‍රියාත්මක වන්නේ විවිධ අදියර හරහා විවිධ ක‍්‍රමයට ය. එක් අදියරක් වුණේ, රාජපක්ෂ පාලනය විසින් රටේ ඇති කරනු ලබන නොපනත්කම්වලට එරෙහිවත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාරධර්ම ආරක්ෂා කර ගැනීම වෙනුවෙනුත් පෙනී සිටි ප‍්‍රගතිශීලී සහ බුද්ධිමය කොටස් සෘජුව දඩයමට ලක්කිරීමයි. අද මෙන්ම ඒ දවස්වලත් රාජ්‍ය මාධ්‍ය තුළ එම පිරිස් හැඳින්වුණේ, බටහිර-ගැති දේශද්‍රෝහී එන්.ජී. ඕ. රොත්තක් වශයෙනි. එහි දී, පෝද්දල ජයන්තගේ අතපය කැඩුවේය. තවත් බොහෝ මාධ්‍යවේදීන්ට රට හැර යාමට සැලැස්සුවේය. ලසන්ත වික‍්‍රමතුංග වැන්නන්ට එවැනි ‘වාසනාවක්’ පවා ලැබුණේ නැත. ඔහුව අධි-ආරක්ෂිත ප‍්‍රදේශයකදීම, මහ දවල් ඝාතනය කෙරුණි. මේ අතර, සුදු වෑන් ප‍්‍රපංචය ලංකාවේ දේශපාලනික සංස්කෘතිය තුළ බියකරු යථාර්ථයක් බවට පත්කෙරුණි. ඉස්සර මෙන් දැන් සුදු වෑන් නැතැ යි අද ඇතැමුන් පම්පෝරි ගසන අතරේ, තවමත් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරියගේ පස්සෙන් විටින් විට මැර කණ්ඩායම් පන්නති.

තවත් අදියරක් එළැඹෙන්නේ, යුද ජයග‍්‍රහණයෙන් උද්දාමයට පත්වන රාජපක්ෂලා, රාජ්‍යකරණය ස්වකීය පවුල් ව්‍යාපෘතියක් වශයෙන් තිරසාරව ගොඩනැගීමට තීරණය කිරීමත් සමග ය. එතැන් සිට, ඕනෑම විරෝධතාවක් සැළකෙන්නේ, එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයට එරෙහි දේශපාලනික විරෝධයක් වශයෙන් නොව, රාජපක්ෂ පවුලේ අනාගත දේශපාලන ව්‍යාපෘතියට එරෙහිව කෙරෙන සාපරාධී ක‍්‍රියාවක් වශයෙනි. එවැනි අයවළුන්ට නිර්දය ලෙස දඬුවම් කෙරුණි. සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් රාජපක්ෂලා හැසිරුණු ආකාරය ඊට දෙස් දුනි. ඒ සමස්ත ක‍්‍රියාදාමය තුළ තිබුණු එකම දේශපාලනය වුණේ වෛරය සහ පළිගැනීම පමණි. රාජපක්ෂ පවුලට එරෙහිව සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම රාජපක්ෂලාට පෙනුණේ, ‘කන්නට දුන් අත හපා කෑමක්’ වශයෙනි. මේ හා සමානවම, අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායකට එරෙහිව මුදාහැරුණු වෛරය සහ කෝපය, රජ කාලයේ මිස පශ්චාත්-නිදහස් ලංකා ඉතිහාසයේ කිසි විටෙක දකින්ට නොලැබුණු තත්වයකි. ඇගේ එක් නඩු තීන්දුවක් රාජපක්ෂ පවුල දැක්කේ ‘අෙඟ් ඉඳන් කණ කෑමක්’ වශයෙනි.

දැන් පැමිණ ඇත්තේ තවත් අදියරකි. එහි දී, රාජපක්ෂලා කෙරෙහි තුන් හිතකින්වත් අහිතක් නොහිතූ අයවළුන් ද එක රැුයකින් අඝාත සතුරන් බවට පත්විය හැකිය. මෙවැනි අයවළුන්ව හඳුනාගනු ලැබෙන්නේ එක්තරා ආකාරයක ධූරාවලි තර්කණයකිනි. එහෙත් එම ධූරාවලිය, ප‍්‍රජාතන්තී‍්‍රය නිලතල ව්‍යුහයකින් සැදුම්ලත් සම්මත අර්ථයේ එකක් නොවේ. උදාහරණයක් වශයෙන්, සජින් වාස් ගුණවර්ධන වැන්නෙකු ධූරාවලීගත කිරීමේ දී ඉන්නේ බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ක‍්‍රිස් නෝනිස්ට බොහෝ පහළිනි. ඔහු ‘මොනිටර්’ නාමධාරී සාමාන්‍ය මන්ත‍්‍රීවරයෙකු පමණි. එහෙත්, ක‍්‍රිස් නෝනිස්ට පහර දෙන සජින් වාස් ගුණවර්ධන එම සිද්ධියේ අශෝභන උණුසුම තිබියදීම ජනාධිපතිවරයාගේ වතිකානු සංචාරයටත් තෝරා ගැනේ. පාප් වහන්සේ සමග වන සාකච්ඡුා හමුවට එක්වීම එදා ඔහුට වැළැකුණේ, රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකුට පහර දීම අශීලාචාර ක‍්‍රියාවක් සේ කතෝලික පල්ලිය සළකන නිසා නොව, ක‍්‍රිස් නෝනිස් කතෝලික පල්ලි ධූරාවලියේ ප‍්‍රබල තැන්වලට බලපෑම් කළ හැකි කතෝලිකයෙකු වූ නිසා ය. යම් හෙයකින් ක‍්‍රිස් නෝනිස් කතෝලික නොවුණි නම්, සජින් වාස් ගුණවර්ධන පාප් වහන්සේවත් වැඳ පුදා ගනු ඇත.

රටක් මෙහෙයවන සම්මත රාජ්‍ය පද්ධතිය (පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය, අධිකරණය සහ වෙනත් රාජ්‍ය ආයතන) වෙනුවට යම් පවුලක් ආදේශ වූ විට, ඒ රටේ බල ධුරාවලිය ගොඩනැගෙන්නේ, එම පවුල කේන්ද්‍ර කර ගනිමිනි. මොනිටර් මන්ත‍්‍රීවරයෙකු වන සජින් වාස් ගුණවර්ධන වර්තමාන ලංකාවේ විදේශ සේවයේ බල කේන්ද්‍රය බවට පත්ව, මහාචාර්යවරයෙකු වන ජී. ඇල්. පීරිස් විදේශ ඇමතිවරයා එම අමාත්‍යාංශය වෙනුවෙන් ලෝකය පුරා කරක් ගසන රබර් සීල් එක බවට පත්ව ඇත්තේ ඒ තතු යටතේ ය.

බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ක‍්‍රිස් නොනිස්ට, මේ සජින් වාස් ගුණවර්ධන ගිය සතියේ දවසක හොඳටම පහර දුන් බව දැන් මුළු රටම දනී. මේ සිද්ධිය රටට වාර්තා නොවන්නට බලධාරීන් මොන තරම් උත්සාහ ගත්තත්, මෙවර එය සාර්ථක වුණේ නැත. ඇතැම් වාර්තා දක්වන පරිදි, කොමසාරිස්වරයා පළමු පහරින් බිම වැටුණු පසු, මොනිටර් මන්ත‍්‍රීවරයා ඔහුට පයින් ද පහර දී ඇත. මේ සිද්ධියෙන් සතියක් යන්නටත් මත්තෙන් පාප් වහන්සේ බැහැදැකීමට ජනාධිපතිවරයා ගිය සංචාරයටත් සජින් වාස් එක් කර ගැනීමට, එම අශෝභන සිද්ධිය ජනාධිපතිවරයාට බාධකයක් නොවීය.

කෙසේ වෙතත්, රාජපක්ෂ පවුල් බල ධූරාවලිය මහිමය ලංකාවේ භූගෝලීය සීමාවෙන් එහාට බලපවත්වන්නේ ඇතැම් සීමාවන්ට යටත්වයි. උදාහරණයක් වශයෙන්, ලංකාව ආර්ථික/උපායමාර්ගික නව යටත් විජිතයක් කර ගැනීම අරමුණු කොට මෙහෙයවෙන චීන ව්‍යාපාරික ව්‍යාපෘතිවලට රාජපක්ෂ පවුල් බලය විශාල ප‍්‍රශ්නයක් නොවේ. අප‍්‍රිකාවේ සහ ආසියාවේ නොදියුණු රටවල්වලට අත දිග හැර ණය සහ අවි ආයුධ පවා සපයන චීනය, ඒ කිසි රටකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් හෝ මානව හිමිකම් ආරක්ෂාවක් ඉල්ලා සිටින්නේ නැත. හේතුව, චීනයේමත් ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෝ මානව හිමිකම් ශික්ෂාවන් නැති බැවිනි. එහෙත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ යහපාලනයේ දීර්ඝ සම්ප‍්‍රදායක් ඇති ධනපති යුරෝපයට, ලංකාවේ රාජපක්ෂලාගේ වැඩවසම් අපේක්ෂා පෑහෙන්නේ නැත. ඒ නිසා ඔවුන් ණය හෝ වෙනත් ආධාර ලංකාවට සපයන විට, පාලකයාගෙන් යම් වගවීමක් ඉල්ලා සිටී. රාජපක්ෂලා ඇතුළු ඔවුන්ගේ කේවට්ටයන් සහ හෙංචයියන් උදේ හවා බටහිරට බනින්නේ එබැවිනි. ඒ සියල්ලට අමතරව, ක‍්‍රිස් නෝනිස් සාමාන්‍ය කතෝලිකයෙකු නොවී, ලංකාවේ කතෝලික පල්ලි ධූරාවලියේ බලගතු පවුලක සාමාජිකයෙකු වීමත්, පාප් වහන්සේ බැහැදැකීමේ කණ්ඩායමෙන් සජින් වාස් ගුණවර්ධනව අවසාන මොහොතේ ඉවත් කිරීමට ඉවහල් විය.

අප පාසල් යන අවදියේ දෙවිදිහකින් පංති භාර මොනිටර්වරු පත්කෙරුණි. ඇතැම් පන්තිවල දී මොනිටර්වරයා වුණේ, පංතියේ සිටි ඉගෙනීමෙහි අදක්ෂ, හයිරංකාර ශිෂ්‍යයෙකි. එවැන්නෙකු එම තනතුරට පත්කිරීමේ හේතුව වුණේ, එක පැත්තකින් මොනිටර්ගේ චන්ඩිකමින් පංතිය මෙල්ල කර ගැනීමට ගුරුවරුන්ට සැපයුණු පහසුවයි. අනිත් පැත්තෙන්, මොනිටර්වරයෙකුට පැවරුණු බාහිර සේවාවන් නිසා අධ්‍යාපන කටයුත්තට සිදුවිය හැකි හානියට දක්ෂ ශිෂ්‍යයෙකු ගොදුරු නොකරනු පිණිසයි. උදාහරණයක් වශයෙන්, විවේක කාලයට විනාඩි පහළොවකට කලින්, පංතියට අවශ්‍ය බනිස් ගෙන ඒමට යවන්නේ මොනිටර්වරයාවයි. පංතියට අවශ්‍ය වෙනත් කළමනා විදුහල්පති කාර්යාලයෙන් ගෙන ඒම සහ ඇතැම් අවස්ථාවල කඬේ යාමට පවා යොදාගැනෙන්නේ ඔහුවයි. ඉගෙනීමට ඇති කාලය එවැනි අතිරේක මෙහෙවර සඳහා නාස්ති වීම, මෙවැනි ශිෂ්‍යයෙකු සම්බන්ධයෙන් එතරම් ප‍්‍රශ්නයක් නොවන බව, එදා පංති භාර ගුරුවරයා සිතන්ට ඇති.

තවත් අවස්ථාවලදී මොනිටර් තනතුරට පත්කෙරුණේ පංතියේ දක්ෂම ශිෂ්‍යයාවයි. ඔහු අධ්‍යාපනයේ දී දක්වන කුසලතාව සහ ඔහුගේ යහ-කල්ක‍්‍රියාව අනිත් ශිෂ්‍යයන්ටත් ආදර්ශයක් කරනු වස් එවැන්නෙකු මොනිටර් තනතුරට පත්කිරීමට ගුරුවරු සැලකිල්ලට ගන්ට ඇති.

සජින් වාස් ගුණවර්ධන යනු, මුලින් කී වර්ගයේ මොනිටර්වරයෙකි. අපට ඔහුව මුලින් හමුවන්නේ මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළයි. ඊට කලින් රනිල් වික‍්‍රමසිංහ අගමැති කාලයේ ඔහු රනිල් හමු වී උසස් තනතුරක් අපේක්ෂා කළ අවස්ථාවේ, සජින් වාස් ගුණවර්ධන ඒ වන විට පැටලී සිටි ඇතැම් නඩු සහ වෙනත් අශෝභන සිද්ධීන් හේතුවෙන් රනිල්ගෙන් ඔහු ප‍්‍රතික්ෂේප විය. (මේ ගැන විස්තරාත්මක වාර්තාවක්, 2006 ජුලි 02 වැනි දා, සොනාලී සමරසිංහ ‘සන්ඬේ ලීඩර්’ පත්තරේ ලීවාය. එය, පසුගිය 3 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ නැවත පළකොට තිබුණි).

අතීත කැරැුට්ටුව නිසා රනිල්ගෙන් ප‍්‍රතික්ෂේප වූ සජින් වාස් ගුණවර්ධනට ඔහුගේ කැලෑසියේ ඔහුට ගැලපෙන රාජ්‍ය නායකයා, එදා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ තුළින් හමු විය. එතැන් පටන් මේ පුද්ගලයා, කැබිනට් මණ්ඩලයටත් ඉහළින් රට කරවන්නෙකු බවට පත්වුණේ නිතැතිනි.

එක වාස් ගුණවර්ධන කෙනෙක් දැන් ඉන්නේ හිරේ ය. සජින් වාස් ගුණවර්ධනත්, බි‍්‍රතාන්‍යයේ හෝ ඇමරිකාවේ පුරවැසියෙකු විණි නම්, ක‍්‍රිස් නෝනිස්ට පහර දීමේ වරදට අද වන විට ඔහුත් සිටිනු ඇත්තේ හිරේක ය. එහෙත් ඔහුගේ වාසනාවට සහ රටේ අවාසනාවට, ඔහු ජන්මලාභයෙන්, ඉංග‍්‍රීසි හෝ ඇමරිකානු ‘අධිරාජ්‍යවාදී’ සුද්දෙකු නොවී, රාජපක්ෂ ලංකාවේ දේශපේ‍්‍රමී සිංහල කළු සුද්දෙකු විය.

Back to Home page