Colombo Telegraph

20 වැනි සංශෝධනයේ නිරුවත

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

දේශපාලනයට එන්ට කලින් යමෙකුට තිබූ වත්කම් සහ දේශපාලනයට ඒමෙන් පසු එම තැනැත්තා සතු වත්කම් සසඳා බලන්න. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ කොමිසම විසුරුවා හැරිය යුතු යැයි ඔබ නිර්දේශ කරනු ඇත. ඊළඟට, කෙනෙකු දේශපාලනයට එන්ට කලින් ගත් ඡායාරූපයක් සමග දේශපාලනයට ඒමෙන් පසු ගත් ඡායාරූපයක් සසඳා බලන්න. ඒ දෙවැනි ඡුායාරූපයේ ඉන්නේ, බෙල්ල පිම්බුණු, බඩ ඉදිමුණු, ඇඟ ඈරූ යෝධයෙකි. එය ආරය අනුව ඇති වූ වෙනසක් නොව, චාරය අනුව ඇති වූ වෙනසකි.

ලංකාවේ දේශපාලනය රූපිකව සම්පිණ්ඩනය කළොත් එබඳු ය. පාර්ලිමේන්තුව යනු, එවැනි ආතල්කාරයන්ගේ ඉහළම ස්ථරය නියෝජනය කරන ආයතනය බව සාමාන්‍ය ජනතා මතයයි. 20 වැනි සංශෝධනය යනු, ඒ ආතල් මණ්ඩපය තවත් තර කර ගැනීමේ වක‍්‍ර ආයාසයකි. මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම දින 100 වැඩ සටහන යටතේ දුන් එක් පොරොන්දුවක් බව සැබවි. පවතින මැතිවරණ ක‍්‍රමය ගැන එදා පටන් තිබූ ප‍්‍රධාන විවේචනය වුණේ, ‘මනාප’ ක‍්‍රමයයි. එහෙත් අද ඉදිරිපත් කොට ඇති 20 වැනි සංශෝධනය යනු, හුදෙක් ‘මනාප’ ක‍්‍රමය ඉවරයක් කර ගැනීම පමණක් නොව, එක පැත්තකින්, අර ආතල් මණ්ඩපය විශාල කර ගැනීම හෙවත් පාර්ලිමේන්තුවේ සංඛ්‍යාව 225 සිට 237 දක්වා වැඩි කර ගැනීමේ (ගැසට් පත‍්‍රයට අනුව) සහ කාරක සභා අවස්ථාවට පැමිණි විට 255 දක්වා වැඩි කර ගැනීමේ (විපක්ෂ නායකයාට අනුව) උත්සාහය ඒ පසුපස තිබේ. තවත් පැත්තකින්, මේ රටේ සුළු පක්ෂ සහ සුළු ජාතික පක්ෂවලට බරපතල අසාධාරණයක් සිදුවන මැතිවරණ පරිසරයක් නිර්මාණය වීමේ අවදානම ද එහි දකින්ට ලැබේ.

පාර්ලිමේන්තුව හඳුන්වන තවත් වචනයක් වන්නේ, ව්‍යවස්ථාදායක මණ්ඩලය යන්නයි. එනම්, පාර්ලිමේන්තුවක් යනු, ව්‍යවස්ථා සහ වෙනත් අණපනත් සම්පාදනය කරගන්නා ආයතනය බවයි. 1948 දී අපට ලැබුණු පාර්ලිමේන්තුවට, මේ කාර්යයට අමතරව තවත් කාර්යයයන් පැවරී තිබුණි. ඒ අතර, ඡන්දදායකයාගේ දෛනික අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීම, එකිනෙක මන්ත‍්‍රීවරයා නියෝජනය කරන ඡන්දදායක කොට්ඨාශයේ සංවර්ධන වැඩ කරගෙන යාම ආදියත් ඊට ඇතුළත් විය.

එහෙත්, අපේ මූලික දේශපාලන ව්‍යුහය, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමග බරපතල වෙනසකට භාජනය වුණි. එහිදී, පාර්ලිමේන්තුවට එතෙක් පැවරී තිබූ ව්‍යවස්ථා සම්පාදනය සහ ප‍්‍රාදේශීය සංවර්ධනය වැනි අංශවලින් විශාල කොටසක්, පළාත් සභාවලට පැවරුණි. මේ පළාත් සභාවලට අමතරව, ප‍්‍රාදේශීය සභා සහ නගර සභා ආදී වශයෙන් වන, බල ව්‍යුහයේ තවත් මට්ටම් තිබේ. දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් තුළ, මෙකී දෙවැනි සහ තෙවැනි මට්ටමේ මහජන නියෝජන ආයතනවලට කාර්ය භාරයන් පැවරෙන විට, පාර්ලිමේන්තුවේ කාර්ය භාරය, ව්‍යවස්ථා සම්පාදනය, මූල්‍ය ප‍්‍රතිපත්ති, විදේශ ප‍්‍රතිපත්ති සහ ජාතික සංවර්ධනය වැනි, මුළු රටටම අදාළ වන ජාතික ක්ෂේත‍්‍රවලට පමණක් සීමා විය යුතුව තිබේ. ඒ සමග පාර්ලිමේන්තුව සංඛ්‍යාවෙන් පොඩි විය යුතුව තිබේ. ඉතිරි කාර්ය භාරයන් කරනු පිණිස, වෙනත් නියෝජන මට්ටම් සඳහා තවත් නියෝජිතයන් අප පත්කර ගන්නේ එබැවිනි. ඒ අනුව, අද වන විට, පළාත් සභා සඳහා මන්ත‍්‍රීවරුන් 427 ක් අපට සිටිති. පළාත් පාලන ආයතන සඳහා මන්ත‍්‍රීවරුන් 4486 ක් සිටිති. මේ ඊනියා මහජන නියෝජිතයන් සියල්ල එකට ගත් විට, ඡන්දයෙන් තේරී පත්වන මන්ත‍්‍රීවරු 5138 ක් අපට සිටිති. එනම්, සෑම පුරවැසියන් 4300 කට එක මන්ත‍්‍රීවරයෙකු බැගිනි.

පසුගිය ඉරිදා (24) ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ කතුවැකියෙන් පෙන්වා දෙන පරිදි, හෘද චිකිත්සක ශෛල්‍ය වෛද්‍යවරුන් අපට ඉන්නේ, දොළොස් ලක්ෂයකට එක් කෙනෙකි. ලංකාවට සමාන ජනගහනයක් ඇති ඔස්ටේ‍්‍රලියාවේ 80,000 ක් මිනිසුන්ට එවැනි එක් ශල්‍ය වෛද්‍යවරයෙක් සිටින බව එම කතුවැකිය පෙන්වා දෙයි.

මුල්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති වුණේ ග‍්‍රීසියේ ඇතන්ස් නුවරදී යැයි පිළිගැනේ. එදා මුළු නගරයම ‘පාර්ලිමේන්තුව’ වශයෙන් රැුස් විය. එහෙත් ගැහැනුන් සහ වහලූන් ඊට සහභාගී කරගත්තේ නැත. බලය, ඉහළට ගියා මිස පහළට බෙදා හැරුණේ නැත. එතැනින් බොහෝ ඉදිරියට අද අප ඇවිත් තිබේ. ඒ ආ ප‍්‍රජාතන්ත‍්‍රීය ගමන තුළ දකින්ට ඇති ප‍්‍රධාන ලක්ෂණ දෙක වන්නේ, (නගරයම එකට රැුස් වන සෘජු ක‍්‍රමය වෙනුවට) නියෝජන ක‍්‍රමයක් ආදේශ වීම සහ බලය පහළටත් බෙදී යාමයි. නියෝජන ක‍්‍රමය තුළ අනිවාර්යෙන් සංඛ්‍යාව අඩු විය යුතු බව පැහැදිළියි. මුළු නගරයම වෙනුවට දැන් එක් කෙනෙක් හෝ දෙන්නෙක් ආදී වශයෙනි. බලය පහළට එන විට, ගැහැනුන් සහ ‘වහලූන්’ පමණක් නොව, විවිධ ජාතීන්, විවිධ පංතීන් සහ විවිධ ආගමිකයන් වැනි වෙනත් සමාජ කොටස්ද බල පංගුකාරයන් බවට පත්වෙයි. ප‍්‍රාන්ත ආණ්ඩු, පළාත් සභා සහ නගර සභා ආදී වශයෙනි.

20 වැනි සංශෝධනය යටතේ නිමල් සිරිපාල සිල්වාගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ යෝජනාව, එනම් මේ පුංචි රටේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සංඛ්‍යාව 255 ක් දක්වා වැඩි කළ යුතුය යන්න බැරි වෙලාවත් චීන නායකයන් ආදර්ශයට ගත්තොත්, චීන පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 15,322 ක් සිටිය යුතුය. එහෙත් එම පාර්ලිමේන්තුවේ දැන් ඉන්නේ මන්ත‍්‍රීවරුන් 2987 ක් පමණි. ඉන්දියාව එම ආදර්ශය ගත්තොත්, එම පාර්ලිමේන්තුවේ (ලෝක් සභාවේ) මන්ත‍්‍රීවරුන් 14,433 ක් සිටිය යුතුය. එහෙත් එහි දැන් ඉන්නේ මන්ත‍්‍රීවරුන් 545 ක් පමණි. මේ ආකාරයට, ඇමරිකාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 3633 ක්ද (දැන් ඉන්නේ 435), ඉන්දුනීසියාවේ 2880 ක්ද (දැන් ඉන්නේ 560), ජපානයේ 1417 ක්ද (දැන් ඉන්නේ 480), නයිජීරියාවේ 2070 ක්ද (දැන් ඉන්නේ 360), සිටිය යුතුය. එම රටවල ජනතාවගේ වාසනාවට, ඔවුන්ට අපට මෙන් නිමල් සිරිපාල සිල්වලා නැත.

ආසන සංඛ්‍යාව වැඩි කිරීම යුක්ති සහගත කිරීම සඳහා විවිධ තර්ක ඉදිරිපත් කෙරේ. ලංකාවේ ජනගහනය පසුගිය දශක තිහිපය තිස්සේ වර්ධනය වී ඇති නිසා වැඩි මන්ත‍්‍රීන් සංඛ්‍යාවක් අවශ්‍ය කරන බව එයින් එක් තර්කයකි. ජනගහනයට සමානුපාතිකව මන්ත‍්‍රී සංඛ්‍යාව අපට වඩා වැඩි වෙනත් රටක් ඇත්දැයි මම සොයා බැලූවෙමි. එවැනි රටක් සොයා ගැනීමට මට නොහැකි විය. ශිෂ්ඨ ලෝකයේ එවැනි රටක් ඇති තැනක් වෙතොත් කරුණාකර අපට සොයා දෙන්නැයි උගුන්ගෙන් අපි ඉල්ලා සිටිමු. ඉහත කී සියලූ රටවල ප‍්‍රමිතීන් අනුව බැලූ විට, ලංකාවේ මන්ත‍්‍රීන් සංඛ්‍යාව දැනටත් වඩා අඩු විය යුතුය. ඉන්දියාව තමන්ගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සංඛ්‍යාව 1950 සිට මේ දක්වා වෙනස් කොට නැත. එදා සිට අද දක්වා ඉන්දීය ජනගහනය වන්ධ්‍යාකරණයකට ලක්ව ඇත්දැයි මේ පණ්ඩිතයන් අපට පෙන්වා දිය යුතුය.

ලංකාවේ මේ පවතින මොහොතේ පාර්ලිමේන්තුවේ සංඛ්‍යාව ඉහළ දමා ගැනීමට කැසකවන මේ සෑම ප‍්‍රයත්නයක් තුළම, අප මුලින් කී ‘ඇතන්ස්’ නුවරදී කෙරුණු පරිදි, ‘‘බැහැර කිරීමේ ප‍්‍රතිපත්තිය’’ අභිලාෂයක් වශයෙන් පවතින බව අපි අවධාරණයෙන් කියමු. ඔවුන් එය නොයෙක් විදග්ධ නාමයන් (ජනතා පරමාධිපත්‍යය?) සහ අවසරයන් යටතේ යුක්ති සහගත කර ගැනීමට තතනාවි. අප ඊට ඉඩ දිය යුතු නැත.

පවතින සංඛ්‍යාව, යෝජිත අළුත් ක‍්‍රමය යටතේත් ඒ ආකාරයෙන්ම පවත්වා ගන්නේ නම්, ඇතැම් ආසන දෙකක් හෝ තුනක් එක් කිරීමට සිදුවන බව සැබවි. කාලයක් තිස්සේ යම් ආසනයකට මිනිසුන් ‘‘පුරුදු’’ වී ඇති නිසා එසේ කළ නොහැකිය යන්න ඔවුන්ගේ එක් තර්කයකි. එය ඉතා දුර්වල තර්කයකි. සමානුපාතික ක‍්‍රමය යටතේ පාර්ලිමේන්තු ඡන්දය පැවැත්වූ දා සිට ආසන සඳහා මන්ත‍්‍රීවරුන් පත්කර ගැනීමක් සිදුවී නැත. ඒ නිසා මේ කියන ‘‘පුරුද්දට’’ ඇති ආශාව ඒ කාලයේ කොහේ තිබුණේදැයි සිතාගත නොහැක. ඉතා භයානකම තර්කය වන්නේ, කුල භේදය මත පදනම් වී ඇති ආසන, වෙනත් කුලයක් මත පදනම්ව ඇති ආසනයක් සමග එක් කළ නොහැකි බව කීමයි. දේශපාලන ක‍්‍රමය තුළ කුල අනන්‍යතාව රැුකගත යුතු යැයි කීම වැඩවසම් විහිළුවකි. 21 වැනි සියවසේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් කළ යුත්තේ, කුල භේදය මත තවමත් ආසන වෙන් කෙරෙයි නම් එය වහා නතර කිරීමයි.

මේ සියල්ලට අමතරව, 20 වැනි සංශෝධනයෙන් පැරණි ආසන ක‍්‍රමය නැවත හඳුන්වා දීමේදී කුඩා පක්ෂවලට අවාසියක් සිදුවන්නේය යන බරපතල චෝදනාව තිබේ. ජනතාව විසින් ප‍්‍රතික්ෂේප කිරීම මත කුඩා පක්ෂ පාර්ලිමේන්තුවෙන් වීසි වීම වෙනම කාරණයකි. එහෙත්, ඔවුන්ව තෝරාපත්කර ගැනීමට ජනතාවට ඇති නිදහස, මැතිවරණ ක‍්‍රමයක ගතිකත්වයන් විසින් වක‍්‍රාකාරයෙන් හෝ අහුරනු ලැබීම තවත් කාරණයකි. (ආසන ක‍්‍රමයට ප‍්‍රතිපත්තිමය විරෝධයක් ඇති බවක් මෙයින් නොගත යුතුය). එවැනි අසාධාරණයකට ලක්වන්නේ සුළු ජාතියක් නම්, තත්වය තවත් බරපතල වන්නේය. සුළු ජාතික පක්ෂ සහ සුළු පක්ෂ බැහැර කිරීමේ ප‍්‍රවණතාවක් සහිත, ප‍්‍රධාන පක්ෂ දෙක තව තවත් ශක්තිමත්ව තහවුරු කර ගැනෙන ද්වි-පක්ෂ ක‍්‍රමයකට වඩා, සුළු ජාතික සහ සුළු පක්ෂ අන්තර්ගත කරගන්නා සර්ව-පක්ෂ ක‍්‍රමයක පරිසරයක්, ලංකාව වැනි තිස් අවුරුදු යුද්ධයකින් බැටකෑ රටකට කොහොමත් වටනේය. බෙදුම්වාදය ගැන කෑගහන ජාතිවාදීන් මේ කරුණු සැලකිල්ලට නොගැනීමෙන් කරන්නේ, බෙදුම්වාදී තර්ජනය මත්තටත් නොමරා පවත්වා ගැනීම හරහා තමන්ගේ පැවැත්මට හයියක් සපයා ගැනීමයි.

අවසාන වශයෙන්, මේ පසුපස ඇති සිල්ලර දේශපාලනයේ පැත්ත ගැනත් යමක් කිව යුතුය. හදිසියේ සහ දඩිබිඩියේ නොකළ යුතු සහ මීට වඩා පුළුල් සමාජ කථිකාවකට ගත යුතු මෙවැනි සංශෝධනයක්, මේ පාර්ලිමේන්තුවෙන් දැන්ම සම්මත කරගත යුතු බව කියන ඇතැමුන්ගේ සැබෑ අභිලාෂය කුමක්ද? තමන්ට බහුතර බලයක් ඇති අවසාන පාර්ලිමේන්තුව මේ යැයි ඔවුහූ ඉඳුරා දනිති. එබැවින්, එක පැත්තකින් මේ සංශෝධනය දැන් ආවොත්, තමන්ට අවශ්‍ය පරිදි (19 ට කළා සේ) මෙයද මකවා ගන්නට ඔවුන්ට පිළිවන. අනිත් පැත්තෙන්, මේ සංශෝධනය පෙන්වා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කල් දමා ගන්නා සෑම දවසක් පාසාම, තාප්පයකට උඩින අත වනන අර ‘මහරාජණන්ගේ’ දෑතත් ශක්තිමත් කළ හැක්කේය. 20 කෙසේ හෝ සම්මත කරගත යුතු යැයි අද කියන මේ කිසි කෙනෙක්, රාජපක්ෂ කාලයේ තුනෙන් දෙකේ බලයකුත් තියාගෙන මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමක් ගැන කටක් ඇර නැත. සැප්තැම්බරයේ ජිනීවා වාර්තාව එයි. මේ පාර්ලිමේන්තුව ඒ දක්වා ඇදගෙන ගියොත් ‘අපි ගොඩ’ යැයි ඔවුහූ සිතති. ඌරන් කැකුණ තලන තරමට හබන් කුකුළන්ට මගුල් කන්නට පිළිවන.

Back to Home page