Colombo Telegraph

මරණ දඬුවම යනු සමාජ අසාර්ථකත්වයේ කැඩපතකි

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

2008 දී හෙරොයින් ග‍්‍රෑම් 7.05 ක් ළඟ තබාගෙන සිටි වරදට ඊයේ (14) ‘වෙළේ සුදාව’ මරණ දඬුවමට නියම කෙරිණ. සේයා දැරියගේ ඝාතනයට අදාළ ඞී.එන්.ඒ, සාම්පලය ‘කොන්ඩයාගේ’ අයියාගේ ඞී.එන්.ඒ. සමග ගැළපෙන බවත් ඊයේ අධිකරණය වාර්තා කෙළේය. පසුගිය දීර්ඝ කාලය තිස්සේ ලංකාවේ මත්ද්‍රව්‍ය වෙළඳාමේ සිටි ප‍්‍රධාන චරිතයක් වන ‘වෙළේ සුදාට’ නැවත එම වරද කළ නොහැකි වන සේ දඬුවම් පැමිණවිය යුතුය. සේයා දැරියගේ ඝාතකයාටත් එසේමැයි. ප‍්‍රශ්නය ඇත්තේ එය කරන්නේ කෙසේද යන්නයි. දඬුවමක්, එක පැත්තකින්, වැරදිකරුවාට සිදුවන ‘පල දීමක්’ හෝ වැරදිකරුවා ගෙවන ‘වන්දියක්’ විය යුතු යැයි අපේක්ෂා කෙරේ. ඒ සමගම, ඒ ‘පල දීම’ හෝ ‘වන්දිය’, එම වරද කිරීමෙන් සෙස්සන්ව වළකාලන ‘පාඩමක්’ විය යුතු යැයිද අපේක්ෂා කෙරේ. සදාචාරමය මිණුම් දඬු අප මොහොතකට පසෙකින් තබන්නේ නම්, ඕනෑම දඬුවමක සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය සොයා බැලිය යුත්තේ, එකී පරමාර්ථ කෙතෙක් දුරට සාධනය වන්නේද යන්න මතයි.

වරක් රූපවාහිනී සංවාදයකදී මරණ දඬුවමට එරෙහිව මා යම් අදහසක් දැක්වූ අවස්ථාවේ අපේ එක් උගත් හිමි නමක් එය අර්ථ ගැන්වූයේ ‘එන්.ජී. ඕ.’ කාරයන්ගේ විකාරයක් වශයෙනි. බුදුන් වහන්සේත් එන්.ජී. ඕ. කාරයෙකු වන බව එදා මම දැන ගතිමි. භූතානයේ මරණ දඬුවම අහෝසි කෙළේ තනි තර්කයක් මත පිහිටා ය. එනම්, එය බෞද්ධ රටක් වන්නේය යන්නයි.

මරණ දඬුවම දුන් පසු, යම් පරිච්ෙඡ්දයක් සදහට ඉවර කෙරේ. එය නිශ්චිත අවසානයකි. යමක් එසේ අවසන් කෙරෙන විට දැනෙන්නේ මහත් සහනයකි. මිනීමරුවා අවුරුදු සියයක් හිරේ හිටියත්, එළියේ සිටින මිනිසාට දැනෙන සහනය තුළ එවැනි නිශ්චිත නිමාවක් නැත. මරණ දඬුවමකින් අත්කරගත හැකි එකම ‘සුවය’ එයයි. ඒ ‘සුවය’ පසුපස, ඉතා භයානක දේවල් තිබේ. ඉන් ප‍්‍රධාන වන්නේ, ඉහත කී මිනීමරුවාගේ සමස්ත ක‍්‍රියාවලිය මෙන්ම වින්දිතයාට අදාළ සමාජ සමස්තයත් (ඔහුගේ/ඇගේ අධ්‍යාපනය, සමාජ පංතිය, මානසික තත්වය, රටේ පවතින නීතිමය සහ අධිකරණමය කල්කි‍්‍රයාව ඇතුළු ඔහු/ඇය ජීවත් වන සමාජය අරක්ගෙන ඇති මිනී ‘මරවන’ තත්වය) සම්බන්ධයෙන් මැදිහත් වීමේ සමාජ වගකීමෙන් දැන් අපට ගැලවිය හැකි වීමයි. ‘‘ ඕකාගේ මාළු කෑවත් මදි’’ යැයි අප කියන විට එයින් අදහස් වන්නේ, අර කී වගකීමෙන් ගැලවීම වටේට, තමා වනාහී, සහගහන අපරාධ ඉදිරියේ ‘‘කම්පාව දරාගත නොහැකි තරමේ උතුම් මනුෂ්‍යයෙකු වන බව’’ කියා පෑමේ ශුද්ධෝත්තම ලෝගුව පැළඳ ගැනීමකි. මෙය තනි තනිව කරනවාට වඩා සාමූහිකව කරන විට දැනෙන ගතිය හරි මාර ය. පසුගිය දවස්වල, විශේෂයෙන් අපේ අම්මලා, සේයා දැරියගේ මිනීමරුවා තමන්ට ගෙනැවිත් දෙන්නැයි ඉල්ලා සිටියහ. ඒ, ඔහුගේ ‘මාළු කන්නට’ ය. ඉතා ප‍්‍රාථමික අර්ථයෙන් ගත් විට, මේ වනාහී, තමන්ගෙන් මගහැරුණු සාමුහික වගකීමකින් නැවතත් කරඇරීම සඳහා මිනිස් බිල්ලක් ඉල්ලා සිටින සමාජ යාගයකි.

මේ මානසිකත්වය, සාමාන්‍ය තත්වය තුළ, දේශපාලඥයා තුළ නැත. ඔහු හෝ ඇය කරන්නේ, ඉහත කී ‘ජන විඥානයේ‘ දේශපාලනික නියෝජිත භාවය තමන්ගේ දේශපාලනයේ ජනප‍්‍රියත්වය සඳහා භාර ගැනීමකි. සමහර විට එවැනි ‘හුදී ජනයා’ අනාගතයේ දෙන ඡුන්දයටත් ඒ ජනප‍්‍රියත්වය බලපෑ හැකිය. ලංකාවේ බොහෝ විට දකින්ට ලැබෙන්නේ ජනතාවට ඉදිරියෙන් සිටින දේශපාලඥයන්ට වඩා ජනතාවට පසුපසින් ගමන් කිරීමට වැඩි කැමැත්තක් දක්වන (ඔවුන් මෙය හඳුන්වන්නේ ජනතාව ‘‘සමග’’ සිටීමක් හෝ ජනතාව සමග ‘‘එකට ගමන් කිරීමක්’’ වශයෙනි) දේශපාලඥයන් වන තත්වය තුළ එය පුදුමයක්ද නොවේ. එහෙත් පසු ගිය කාලයේ ඇතැම් ප‍්‍රශ්න සම්බන්ධයෙන් නිවැරදි සහ නිර්භය ස්ථාවරයන් ගත් රන්ජන් රාමනායක වැනි දේශපාලඥයෙකු පවා මෙවැනි හැඟීම්බර ජනතා ඉල්ලීමකට යට වීම කණගාටුදායක ය. මීට වසර කිහිපයකට පෙර ඔහු පෙරමුණේ සිටි, සෞදි අරාබියේදී හිස ගසා දැමුණු ලාංකික තරුණිය, එරටේ මරණ දඬුවම නොවිණි නම් තවමත් ජීවතුන් අතර සිටිනු ඇත. ඇයව වැරදිකාරිය කිරීමේ සමස්ත ක‍්‍රියාවලියම අතිශය දෝෂ සහගත බව ඇස්පණාපිට පෙනෙන්ට තිබියදීත්, ඇගේ ජීවිතය ගලවා ගැනීමේ ක‍්‍රමයක් එදා නොතිබුණි. අපරාධයකට දඬුවමක් වශයෙන් කෙනෙකුව මරණයට පත්කිරීම කෙතරම් අසාධාරණද සහ එය ආපසු හැරවිය නොහැකි ‘කරුමයක්’ වන්නේ කෙසේද යන්න, රන්ජන් රාමනායක වැන්නෙකු එම තනි සිද්ධියෙන් වුව දැනගත යුතුව තිබුණි.

ඇත්ත, මරණ දඬුවම අහෝසි කිරීම වෙනුවට නීතිය සහ අධිකරණ ක‍්‍රමය නිවැරදි කිරීම ඊට විසඳුම වන බව කෙනෙකු පෙන්වා දිය හැකිය. එහෙත් ප‍්‍රශ්නය වන්නේ, එවැනි පරම නිවැරදි නීති සහ අධිකරණ ක‍්‍රම ලෝකයේ කොතැනකවත් නොතිබීමයි. හේතුව, නීති සහ අධිකරණ පද්ධති ක‍්‍රියාත්මක වන්නේද මනුෂ්‍යයන් අතින් බැවිනි. උදාහරණයක් වශයෙන්, 1997 දී බි‍්‍රතාන්‍යයේ ඇති කරන ලද අධිකරණ නිරීක්ෂණ යාන්ත‍්‍රණයක් යටතේ, 2009 වන විට එරට අධිකරණ පද්ධතිය හරහා දෙන ලද තීන්දු 280 ක් ඉවත් කර තිබේ. 2014 දී කරන ලද එක් අධ්‍යයනයකට අනුව, ඇමරිකාවේ මරණයට නියම වී සිටින පිරිසෙන් සියයට 4.1 ක් අහිංසකයන් ය. මේ වාර්තාවටම අනුව, 1973 සිට එරට මරණ දඬුවමට ලක්වූ පුද්ගලයන්ගෙන් අඩු වශයෙන් 340 දෙනෙකුවත් නිර්දෝෂී ය. ප‍්‍රශස්ත වශයෙන් දියුණු අධිකරණ පද්ධතීන් ඇති රටවල තත්වයත් එසේ වන කල අප ගැන කියනුම කවරේද/ ඔබ දුප්පත් සහ දුර්වල වන තරමට, ඔබව මරණ දඬුවමට නියම වීමට ඇති ඉඩකඩ වැඩියි. මරණයෙන් නිදහස් වීම සඳහා මිලියන ගණන් අය කරන නීතිඥයන්ගේ සහාය කෙනෙකුට අවශ්‍ය කෙරේ. කරකියාගත හැකි කිසිවක් නැති විත්තිකරුවෙකු වෙනුවෙන් ආණ්ඩුවෙන් පත්කරන නීතිඥයන්ට ගෙවන්නේ මොන තරම් සොච්චමක්ද යන්න, ජ්‍යෙෂ්ඨ නීතිඥ සාලිය පීරිස් පසුගිය දා පෙන්වා දී තිබුණි. බොහෝ විට එවැනි නීතිඥයෝ ආධුනිකයෝ ය. සල්ලි නැති චූදිතයා එවැන්නෙකු මත යැපිය යුතු අතර ධනවතා දක්ෂම නීතිඥයාගේ සේවය ලබා ගන්නා නිසා මරණයෙන් ගැලවීමට එවැන්නෙකුට වැඩි ඉඩක් ලැබෙන්නේ කෙසේද යන්නත් ඔහු පෙන්වා දී තිබුණි.

දැන් තවත් ප‍්‍රතිතර්කයක් මතු කළ හැකිය. එසේ නම්, වරදකට දඬුවම් දීම මොන විදිහකින්වත් කළ නොහැක්කක් නොවේද?

මතක තියාගන්න. අප මේ කතා කරන්නේ මරණ දඬුවම ගැනයි. ඕනෑම වරදක් සහ දඬුවම අතර තවත් වැරදි සිදුවිය හැකිය. එහෙත්, එම වැරදි පසුව නිවැරදි කර ගැනීමේ කිසි අවකාශයක් ඉතිරි නොකරන්නේ මරණ දඬුවම සම්බන්ධයෙන් පමණි. මේ නිසා වෙනත් දඬුවම්වලින් මරණ දඬුවම වෙන් කොට සැළකිය යුතුව තිබේ.

කෙසේ වෙතත්, සිදුවිය හැකි වරදක් යම් දඬුවමක් පෙන්වා වළක්වා ගත යුත්තේ නම්, ඊට අවශ්‍ය කරන මූලික කොන්දේසියක් තිබේ. එනම්, වරදට වඩා දඬුවම බරපතල විය යුතු වීමයි. වරද සහ දඬුවම එක සමාන වීම හෝ වරදට වඩා දඬුවම අඩු වීම හෝ කෙලෙසකින්වත් නොවිය යුතුය. උදාහරණයක් වශයෙන්, ටිකට් එකක් නැතිව බසයක ගමන් කිරීම අධෛර්යමත් කිරීමට නම්, එම මාර්ගයේ මුළු දුර ටිකට් පතක වටිනාකමට වඩා සෑහෙන මිලක් දඩයට ඇතුළත් විය යුතුය. එසේ නොමැතිව, මුළු දුර ටිකට් එක රුපියල් 30 ක් වෙද්දී, ටිකට් නැතිව ගමන් කිරීමේ වරදට ගහන දඩයත් රුපියල් 30 ක් හෝ ඊට ටිකක් වැඩි හෝ අඩු වටිනාකමක් ගන්නේ නම්, කවුරුත් ටිකට් නැතුව ගමන් කිරීමට බලනු ඇත. මේ නිසා, අඩු වශයෙන් දඩය රුපියල් 100 ක්වත් වන්නේ නම්, එම වරද කිරීමෙන් කෙනෙකු යම් තාක් වැළකෙතියි සිතිය හැකිය. මේ තර්කයම තවත් අන්තයට ගෙන යන්නේ නම්, ඒ මෙසේ ය: පාරේ වම් පසින් ගමන් කිරීමේ වරදට දඬුවම මරණය බවට නීතියක් පැනෙව්වොත්, සියයට සීයක්ම එම නීතිය අනුගමනය කරනු ඇත. මන්ද යත්, කරන වරදට සමානුපාතිකව, නියමිත දඬුවම අතිශය වියදම්කාරී වන බැවිනි. දැන් මේ යථාර්ථය සැබෑ ලෝකයට අපි ආදේශ කරමු. ලෝකයේ ඇතැම් තැනක අනාචාරයට දඬුවම ගල් ගසා මරණයට පත්කිරීමයි. (එම රටවල මේ වරද බලපාන්නේ ගැහැනුන්ට මිස පිරිමින්ට නොවීම තවත් ප‍්‍රශ්නයකි). කෙසේ වෙතත්, එවැනි රටවල අනාචාර සිදුවීම් ‘‘වාර්තා වන්නේ’’ අඩුවෙනි. හේතුව, ඉහතින් කී පරිදි, වරද සහ දඬුවම අතර සමානුපාතිකත්වය අසීමිත අසමානත්වයක් දැරීමයි. (මෙය, මනුෂ්‍යත්වය පිළිබඳ වෙනම සාකච්ඡුාවකට මාතෘකාවකි).

මරණ දඬුවම මගින් අපරාධ කිරීම වැළකෙතැයි හෝ අධෛර්යමත් කෙරෙතැයි කියන අයවළුන් කරන්නේ, ඉහත කී (අ)සමානුපාතිකත්වය නොතකා හැරීමයි. නීති විරෝධී මිනිස් ඝාතනය (මිනීමැරුම) සහ නීත්‍යානුකුල මිනිස් ඝාතනය (එල්ලූම් ගස) යන දෙකම එක සමාන මරණ දෙකකි. මිනීමැරීමේ අපරාධය සඳහා දෙන මරණ දඬුවම, ඉහත කී රුපියල් 30 ක ටිකට් පතක් නැතිව ගමන් කිරීමේ වරදට රුපියල් 30 ක හෝ 35 ක දඩයක් ගැසීමට බොහෝ දුරට සමානයි. ඊට හේතු ගණනාවකි. ඉන් ප‍්‍රධාන වන්නේ, දඩය, සිරගෙය සහ එල්ලූම් ගස යන අනුපිළිවෙල යටතේ එන විට, මරණයේදී දඬුවමේ ජවය ආපස්සට හැරීමක් සිදුවීමයි. එසේ වන්නේ ඇයි? මරණය පරම වන බැවිනි. වරදක් කිරීමෙන් වැළැක්වීම හෝ අධෛර්යමත් කිරීම සඳහා යම් දඬුවමක් සාර්ථක වීමට අවශ්‍ය කරන, වරද සහ දඬුවම අතර තිබිය යුතු සාපේක්ෂතාව, මරණයේදී සුන් වී යයි. තවත් විදිහකින් කිවහොත්, මැරෙන මොහොතට පෙරාතුව අපරාධකරුවෙකු විඳවන දඬුවම, මරණයට පත්කිරීම මගින් අහෝසි කරවන බවයි. ජීවිතාන්තය දක්වා සිරේ සිටින්නා විඳින්නේ ඊට වැඩි දඬුවමකි.

එහෙත් මේ අපරාධකරුවා සම්බන්ධයෙන් තත්වය එසේ විය හැකි වෙතත්, ඔහුව මරණයට පත්කිරීම මගින් සමාජයට ‘පාඩමක්’ කියා දීම තවදුරටත් වලංගු බවට කෙනෙකු තර්ක කළ හැකිය. එය එසේමදැයි විමසා බැලිය යුත්තේ, මරණ ද`ඬුවම ඇති තැන්වල සහ මරණ දඬුවම නැති තැන්වල අපරාධ සංඛ්‍යාව සන්සන්දනාත්මකව සළකා බැලීමෙනි. ඇමරිකාවේ ප‍්‍රාන්ත 51 ක් තිබේ. ඉන් ප‍්‍රාන්ත 9 ක මරණ දඬුවම නැත. ඉතිරි ප‍්‍රාන්ත 32 මරණ දඬුවම ඇත. මරණ දඬුවම ඇති ප‍්‍රාන්ත සහ මරණ දඬුවම නැති ප‍්‍රාන්ත අතර (ජනගහනයෙන් ලක්ෂයකට) මිනීමැරුම් සංඛ්‍යාවේ සාමාන්‍ය අනුපාතිකයන් මෙසේය:

මරණ දඬුවම ඇති ප‍්‍රාන්තවල 2008 වසරේ මිනිමැරුම් සංඛ්‍යාවේ සාමාන්‍යය 5.2 කි. මරණ දඬුවම නැති ප‍්‍රාන්තවල එම වසරේ සාමාන්‍යය 3.3 කි. එය, 2009 දී, පිළිවෙලින් 4.9 ක් සහ 2.8 කි. 2010 දී 4.6 ක් සහ 2.9 කි. 2011 දී 4.7 ක් 3.1 කි. 2012 දී 4.7 ක් සහ 3.7 කි. 2013 දී 4.4 ක් සහ 3.4 කි.

මරණ දඬුවම නොතිබීම නිසාම මිනිමැරුම් සංඛ්‍යාව පහළ යන බවක්වත්, මරණ දඬුවම තිබීම නිසාම මිනිමැරුම් සංඛ්‍යාව ඉහළ යන බවක්වත් මෙයින් ඔප්පු නොවේ. එහෙත්, මරණ දඬුවම තිබුණ පමණින් මිනිමැරුම් සංඛ්‍යාව පහළ නොයන බව නම් එයින් සනාථ වෙයි. අපරාධ අඩු වැඩි වීම සිදුවන්නේ, ඊට වෙනස් කාරණා පෙරදැරිව බවත්, මරණ දඬුවම ඒ ආශ‍්‍රයෙන් සාර්ථක විසඳුමක් නොවන බවත්, තවදුරටත් එයින් ගම්‍ය කෙරේ.

*ඉතිරිය ඉදිරියට

Back to Home page