Colombo Telegraph

සයිටම් විශ්ව විද්‍යාලය

ගොඩ්වින් කොන්ස්ටන්ටයින්

ආචාර්ය​ ගොඩ්වින් කොන්ස්ටන්ටයින්

සයිටම් විශ්ව විද්‍යාලය ජාතික ප‍්‍රශ්නයක් බවට පත්ව තිබේ. විවිධ දේශපාලනික අවශ්‍යතාවන්ගේ අතකොලුවක් බවට පත්ව තිබේ. සයිටම් විශ්ව විද්‍යාලයට පක්ෂව සහ විපක්ෂව බොහෝ දෙනා අදහස් දක්වා ඇති අතර ඒවා ඉතා උණුසුම් ස්වරූපයක් ගෙන ඇතත් ඒ මගින් සැපයුණු එළිය එතරම් දීප්තිමත් නැත.

මේ ප‍්‍රශ්නය තුළින්, රටේ ප‍්‍රධාන කාරණයක් වන උසස් අධ්‍යාපනය තුළ රාජ්‍ය සහ පෞද්ගලික දායකත්වය පිළිබඳ ප‍්‍රශ්න ගණනාවක් මතු කර තිබේ. සයිටම් යනු පෞද්ගලික අධ්‍යාපනය සැපයෙන ආයතනයක් වන නිසා එහි වැදගත්කම වැඩි වෙයි. ඒ සම්බන්ධයෙන් පහත සඳහන් ප‍්‍රශ්න නැගිය යුතුව ඇත:

1. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සැපයෙන ආයතන අපට අවශ්‍ය කරන්නේද?
2. පෞද්ගලික අංශයේ වෛද්‍ය සිසුන් සඳහා ප‍්‍රමාණවත් පුහුණුවක් සැපයිය හැකිද?
3. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ නිර්ණායක කවරේද?
4. සයිටම් සම්බන්ධයෙන් පැනනගින වැදගත් ප‍්‍රශ්න කවරේද?
5. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය නිසා රාජ්‍ය අංශයේ වෛද්‍ය අධ්‍යාපනයට බලපෑමක් සිදුවෙයිද?

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනික ආයතන අපට අවශ්‍ය කරන්නේද?

මේ පැනයට දිය හැකි සරළ පිළිතුර වන්නේ ‘ඔව්’ යන්නයි. වෛද්‍ය වෘත්තිය හැරුණු කොට අනිත් සෑම අංශයක් අරභයා ගත් විට, පහළ බාලාංශයේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා අපේ රටේ පෞද්ගලික අධ්‍යාපනයක් තිබේ. වෙනත් වෘත්තීය පාඨමාලා සමග සැසඳීමේදී, පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනික උපාධිය ප‍්‍රශ්නකාරී කරවන ප‍්‍රධාන සාධක දෙකකි:

1. පෞද්ගලික රෝහල්වල ප‍්‍රමාණවත් පරිද්දෙන් රෝගීන් නොසිටීම
2. උපාධි පාඨමාලාව අවසන් වීමෙන් පසු වහා රාජ්‍ය අංශයේ රැුකියා අවස්ථා ලබා දීම

වෛද්‍ය උපාධිය සඳහා අවශ්‍ය කරන පුහුණුවට සෑහෙන තරමේ රෝගීන් ප‍්‍රමාණයක් ඇති, රෝගීන්ගේ විවිධත්වයක් සහිත කිසි රෝහලක් අද ලංකාවේ නැත. මේ ප‍්‍රශ්නය නිරාකරණය කර ගත හැකි එකම මග වන්නේ, රජයේ රෝහල් සහ වෙනත් සෞඛ්‍ය මධ්‍යස්ථාන පෞද්ගලික අංශයේ වෛද්‍ය සිසුන්ගේ පුහුණුවීම් කටයුතු සඳහා විවර කිරීමයි. මෙය පෞද්ගලික අංශයට මෙන්ම, රාජ්‍ය අංශයටත් දීර්ඝ කාලීනව වැඩදායක වන්නේය.

උපාධි පාඨමාලාව අවසන් කිරීමෙන් අනතුරුව රාජ්‍ය අංශයේ රැුකියාවක් සහතික වීම මේ රටේ වෛද්‍ය සිසුන් භුක්ති විඳින විශේෂ වරප‍්‍රසාදයකි. මේ වරප‍්‍රසාදය වර්තමානයේ හිමිවන්නේ රාජ්‍ය අංශයේ වෛද්‍ය ශිෂ්‍යයන්ට සහ විදේශ රටක උපාධි ලත් වෛද්‍යවරුන්ට ය. මෙසේ සහතික කොට දෙනු ලැබ ඇති රාජ්‍ය රැුකියා අවස්ථාව ඔස්සේ ඊළඟට තර්කයක් ගොඩනැගේ. එනම්, එසේ නිර්මාණය කෙරෙන වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව සහ රටට අවශ්‍ය කරන වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව අතර තිබිය යුතු සහසම්බන්ධතාවයි. කෙසේ වෙතත් රටේ බිහි කෙරෙන උපාධිධාරීන්/වෘත්තිකයන් සංඛ්‍යාව සහ රටේ අවශ්‍යතාව වෙන කිසි වෘත්තියක ඉහළ ගොස් නැත. මේ රටේ බිහි කෙරෙන සියලු වෛද්‍යවරුන් මෙරටේම සේවය කරන්නේ නැත. එසේම ඔවුන් රාජ්‍ය අංශයට පමණක් සීමා වන්නේද නැත. යම් කිසි වෘත්තියක් සඳහා පවතින ඉල්ලුම​ වැඩි වන විට සහ සැපයුම වැඩි වන විට, දැනට පවතින ගතිකත්වයන් එයාකාරයෙන්ම පවතී යැයි උපකල්පනය කළ යුතු නැත. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට එරෙහිව නැගෙන ජනප‍්‍රිය තර්කයක් වන්නේ එය නිදහස් අධ්‍යාපනයට මාරක අනතුරක් විය හැකි බවයි. එවැනි අනතුරක් බලපාන්නේ වෛද්‍ය අධ්‍යාපනයට පමණක්ද? රජයේ වෛද්‍ය පීඨයක උපාධිධාරියෙකුගේ ‘නිදහස් අධ්‍යාපනයේ’ වියදම වෙනුවෙන් බදු ගෙවන අතරේම, එවැනි බදු ගෙවන්නෙකුගේ දරුවෙකු තමන්ගේ වියදමින් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයක් ලැබීම වැළැක්විය යුතු යැයි කීම පිළිගත හැක්කක්ද? කෙසේ වෙතත්, දැනටත් සල්ලිබාගේ ඇති කෙනා තමන්ගේ දරුවන්ට වෛද්‍ය අධ්‍යාපනය ලබා දීම සඳහා දරුවන්ව පිටරට යවයි. එනම්, රටේ විදේශ විනිමය නාස්ති කරයි.

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන පීඨයකට ඇතුළත් කර ගැනීමේ නිර්ණායක කවරේද?

රජයේ වෛද්‍ය අධ්‍යාපන පීඨයකට සිසුන් ඇතුළත් කර ගන්නේ අපොස උසස් පෙළ සාමර්ථ ප‍්‍රතිඵල මත වසරකට එක වරකි. කෙසේ වෙතත්, සයිටම් සහ කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට, ලංකාවේ උසස් පෙළ හෝ ලන්ඩන් උසස් පෙළ ප‍්‍රතිඵල මත වසරකට කිහිප වරක් සිසුන් ඇතුළත් කර ගනු ලැබේ. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන පීඨවලට සිසුන් ඇතුළත් කර ගැනීම පිළිබඳ වැදගත් කාරණා තුනක් සැලකිල්ලට ගත යුතුව තිබේ.

1. අපොස උසස් පෙළ විභාගයෙන් අවශ්‍ය කරන අවම ප‍්‍රතිඵල
2. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට අඩු වයසින් ශිෂ්‍යයන් ඇතුළත් වීම
3. වසරකට එක වරකට වඩා එම පෞද්ගලික විශ්ව විද්‍යාලවලට ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීම

සමහර විට අපොස උසස් පෙළ විභාගය පටන් ගත් දා සිටම විශ්ව විද්‍යාලයකට ඇතුළත් කර ගැනීම සඳහා අවශ්‍ය කළ අවම සුදුසුකම වන්නේ අපොස උසස් පෙළ විභාගයේ සියලු විෂයයන්ගෙන් සාමාන්‍ය සාමර්ථ ලබා තිබීමයි. විශිෂ්ඨ සාමර්ථ හතරක් ලබා ගැනීම ඉතා අසීරු තත්වයක පැවති අතීතයේදීත්, අද විශිෂ්ඨ සාමර්ථ තුනක් ලබා ගැනීම සුලබව පවතිද්දීත්, තත්වය එසේ ය. මෙය වෙනස් කළ යුතුව තිබේ.

ලංකාවේ උසස් පෙළ විභාගයෙන් සමත්ව රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඇතුළත් වන ශිෂ්‍යයාට වඩා ලන්ඩන් අපොස උසස් පෙළ විභාගයන් සමත්ව විශ්ව විද්‍යාලයකට ඇතුළු වන ශිෂ්‍යයා වයසින් එක වසරකින්වත් අඩු වෙයි. රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළු වීමට තවත් වැඩිපුර වසරක් ගත වෙයි. එසේ තිබියදී, රාජ්‍ය නොවන වෛද්‍ය පීඨයකට ඇතුළත් වන ශිෂ්‍යයාට තමන්ගේ උසස් පෙළ ප‍්‍රතිඵල පිට වූ සැණින් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනික ආයතනයකට ඇතුළු විය හැකිය. වයස සම්බන්ධයෙන් ගත් විට මෙය රජයේ වෛද්‍ය පීඨවලින් පිට වන උපාධිධාරීන්ට නරකට බලපායි. අනාගතයේදී මෙය, රජයේ වෛද්‍ය පීඨයක ශිෂ්‍යයෙකු වීමේ අවාසියක් වශයෙන් ගැනෙනු ඇත.

සයිටම් සම්බන්ධයෙන් පැනනගින වැදගත් ප‍්‍රශ්න කවරේද?

මෙම ආයතනයට එරෙහිව නැගෙන ප‍්‍රධාන චෝදනාව වන්නේ, එය ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිර්දේශයන්ට අනුගතව කටයුතු කොට නැති බවයි. මෙහිදී කෙනෙකුට මතු කළ හැකි වැදගත් අතුරු ප‍්‍රශ්නයක් වන්නේ, කොතලාවල වෛද්‍ය පීඨය සහ රජයේ විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ සියල්ලට, වෛද්‍ය උපාධි පාඨමාලාවක් පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය පහසුකම් තිබේද යන්නයි. උත්තරය ‘නැත’ යන්නයි. කෙසේ වෙතත්, සයිටම් ආයතනය පෞද්ගලික ව්‍යාපෘතියක් වන නිසා එය වෙනම ගත යුතුව තිබේ. එක පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන පීඨයකට අවශ්‍ය පහසුකම් නොමැතිව පවත්වාගෙන යාමට ඉඩ දුනහොත් එවැනි තවත් අනේක වෛද්‍ය පීඨ බෝ වීමට ඉඩ තිබේ. සමහර රටවල එම තත්වය දැක ගත හැක.

සයිටම් ආයතනයේ පරිපාලනය, වෛද්‍ය ප‍්‍රජාවගේ අපේක්ෂා සාධනය කිරීමට අසමත්ව තිබේ. ආරම්භයේ පටන්ම සයිටම් ආයතනය සම්බන්ධයෙන් පැන නැගුණු අඳුරු පැති ගණනාවකි. සයිටම් ආයතනයේ අනාගතය ගැන තීරණයක් ගැනීමේදී ඒ සියලු කරුණු සැලකිල්ලට ගත යුතුව තිබේ. සයිටම් ආයතනය දිගටම පවත්වාගෙන යන්නේ නම්, එහි පරිපාලන ව්‍යුහයේ බරපතල වෙනස්කම් ඇති කළ යුත්තේය. අනිත් අතට, සයිටම් ජනසතු කළොත්, මේ රටේ පෞද්ගලික වෛද්‍ය උපාධි පිරිනැමීමේ ආයතන තව දශක ගණනාවකින් ආපස්සට යන අතර එක දිගටම අපේ විදේශ විනිමය අප අහිමි කරගනු ඇත.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් රජයේ වෛද්‍ය පීඨවලට බලපෑමක් සිදුවෙයිද?

ලංගම සම්බන්ධයෙන් සිදු වූවා සේ, පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය නිසා රාජ්‍ය අංශයේ වෛද්‍ය අධ්‍යාපනය පරිහානියට පත්වෙනු ඇතැයි තර්ක කෙරේ. උසස් අධ්‍යාපනය හුදෙක් වෙනත් අංශ සමග එසේ සංසන්දනය කළ නොහැක. නීති විද්‍යාලය, රසායන විද්‍යා ආයතනය ආදී වෙනත් විවිධ අංශ මගින් දීර්ඝ කාලයක් තිස්සේ උසස් අධ්‍යාපන පාඨමාලා පවත්වාගෙන යනු ලැබේ. ජාත්‍යන්තර තලයේ කීර්තිමත් විශ්ව විද්‍යාලවලට අනුබද්ධව පවත්වාගෙන යනු ලබන විශ්ව විද්‍යාල මණ්ඩප ලංකාවේ දැනටත් තිබේ. ඒ කිසිවක් මේ දක්වා ලංකාවේ රාජ්‍ය අංශයේ අධ්‍යාපනයට අනතුරක් වී නැත.

රාජ්‍ය විශ්ව විද්‍යාලවල තත්වය නගා සිටුවීමට ආණ්ඩුව පියවර ගත යුත්තේය. හොඳින් ස්ථාපිත කරන ලද රාජ්‍ය වෛද්‍ය පීඨ, වඩාත් ස්වාධීන ‘වෛද්‍ය විද්‍යාල’ බවට පත්කළ යුත්තේය. රාජ්‍ය විශ්ව විද්‍යාල පීඨවල පහසුකම් වැඩි කළ හැකි අතර ගාස්තුවක් ගෙවා සිසුන් ඇතුළත් කර ගැනීම ගැනත් සොයා බැලිය හැකිය.

මේ අතර, විදේශීය විශ්ව විද්‍යාල සහ රාජ්‍ය නොවන අධ්‍යාපනික ආයතන සඳහා යටිතල පහසුකම් පවා සපයමින් ප‍්‍රවර්ධනය කිරීමේ රාජ්‍ය මැදිහත් වීම ප‍්‍රශ්න කළ යුත්තේය. සයිටම් හිමිකරුවා විසින් මෑතකදී නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට ‘තෑගි’ කිරීම බරපතල කාරණයක් වශයෙන් සළකා සැලකිල්ලට ගත යුතුව තිබේ. මෙය, ණය උගුලක හිර වී ඇති පෞද්ගලික ආයතනයක් ගොඩ දැමීම සඳහා රජය කළ මැදිහත් වීමක් බව පැහැදිළි ය. මේ ‘තෑග්ග’ පසුපස මොන මොන සෙල්ලම් තිබුණිදැ යි අපි නොදනිමු. සයිටම් වෛද්‍ය පීඨය වනාහී, මෙරටට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය හඳුන්වා දීම සඳහා ගන්නා ලද පිළිගත හැකි ප‍්‍රයත්නයක් සඳහා නරක විදිහකට මුල පිරීමකි.

සයිටම් ප‍්‍රශ්නයට අමතරව ඊට වඩා බරපතල කාරණා කිහිපයක් මෑතක සිට මතු වී තිබේ. ඉන් එකක් වන්නේ, රාජ්‍ය අංශයේ මෙන්ම රාජ්‍ය නොවන අංශයේත් උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ප‍්‍රමිතිය සහතික කරනු වස් ‘තත්ත්ව සහතික ආයතනයක්’ පිහිටුවීමයි. යහපත් ප‍්‍රතිපත්තියක් මත පදනම්ව ඇතැයි පෙනී ගියත් මෙවැනි ආයතනයකින්, රටේ වෛද්‍ය අධ්‍යාපනයේ තත්වය නගා සිටුවීම අරභයා ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව සතු වැදගත්කම බාල්දු කිරීමක් සිදුවිය හැකිය. රාජ්‍ය නොවන වෛද්‍ය අධ්‍යාපනික ආයතන අනුමත කිරීමේ අවසාන බලාධිකාරිය වන්නේ මේ ආයතන දෙකෙන් මොන ආයතනය ද යන්නත් මෙහිදී පැනනගින තවත් පැනයකි.

එසේම ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට සභාපතිවරයෙකු පත්කිරීමේ ප‍්‍රශ්නයත් අභියෝගයකි. සයිටම් ආයතනය සඳහා වන අනුමැතිය දීමේ ක‍්‍රියාවලිය වේගවත් කිරීමට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයාට හැකියාව තිබේ. සයිටම් ප‍්‍රශ්නය සාකච්ඡාවට​ ගැනී ඇතත්, මේ දක්වා ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නොවන වෛද්‍ය අංශයේ භූමිකාව පිළිබඳ කාරණය අමතක කෙරී ඇත. වෛද්‍ය ක්ෂේත‍්‍රයේ විවිධ වෘත්තී අංශ ඒ ගැන සැලකිලිමත් විය යුතු අතර මේ මොහොතේ එම වැදගත් ප‍්‍රශ්නය ගැන අමතක නොකළ යුතුය.

අවසාන වශයෙන්, පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය යනු, අත්‍යාවශ්‍ය අනර්ථයකි. ශ‍්‍රී ලංකාව තුළ එය පිළිගැනෙන්නේ නම් එය ආණ්ඩුව මගින් සහ වෛද්‍ය සංගමය මගින් නියාමනය කළ යුතුව ඇත. ඇති කළ යුතු පෞද්ගලික ආයතන සංඛ්‍යාව සහ වසරකට ඇතුළත් කර ගත යුතු ශිෂ්‍ය සංඛ්‍යාව ආදිය ක‍්‍රමවත් කළ යුතුව ඇත. පෞද්ගලික උසස් අධ්‍යාපනයට සහ රාජ්‍ය අංශයේ උසස් අධ්‍යාපනයට ඇතුළත් වන ශිෂ්‍යයන්ගේ වෘත්තීය අනාගතය කෙරෙහි නරකක් නොවන විසඳුම් සොයාගත යුතුව ඇත. සීමාවාසික පත්වීම් දීම සම්බන්ධයෙන්, විදේශීය ශිෂ්‍යයන් සම්බන්ධයෙන් දැනට කරන්නා සේ, සියලු පෞද්ගලික අංශයේ ශිෂ්‍යයන් කුසලතා ලැයිස්තුවේ පහළින්ම පිහිටුවිය යුත්තේය. මේ සියල්ලටමත් වඩා, පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතන පිහිටුවීමේ ක‍්‍රියාවලියට කිසිම ආකාරයක දේශපාලනික ඇඟිලි ගැසීම් නොතිබිය යුත්තේය.

*ගොඩ්වින් කොන්ස්ටන්ටයින් – හෘද රෝග විෂේශඥ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ේජ්‍යෂ්ඨ කථිකාචාර්‍ය

*2016 ජුලි 26 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ ආචාර්ය ගොඩ්වින් කොන්ස්ටන්ටයින් ලියූ, The SAITM නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Back to Home page