Colombo Telegraph

තව ඩෙප් ලා දස දහසක්! 

ගෘෂා ඇන්ඩ්රූස්

ක්‍රිස්තු පූර්ව 8 වන සිය වසේ විසූ මහා කිවි හෝමර් නීතියේ දෙවඟන වූ තේමිස් ව හැඳින්වුයේ “මනුෂ්‍යය සමාජය පිලිබඳ කටයුතු සංවිධානය කරන්නිය සහ ජනරාශීය සංවිධානය කරන්නිය” ලෙසය. මනුෂ්‍යයන් මුණ ගැසීම, සමාජය පිළිබඳව කතිකාවතට එළඹීම, සමාජයක පුරවැසියන්ගේ හදවතෙහි යුක්ති ධර්මය පිලිබඳ ආධ්‍යාශයන් සහ විශ්වාසයන්ට වේදිකාවක් තනා දීම නීතියේ දෙවඟන තේමිස් ගේ දිව්‍යමය වගකීමක් බව පුරාණ ග්‍රීකයෝ විශ්වාස කළහ.  

හෝමර් නීතියේ දෙවඟන තේමිස් තුලින් මනුෂ්‍ය සමාජය වෙත ගම්‍ය කරවූ නීතියේ දිව්‍යමය ස්වභාවය විශ්ලේෂණය කළ ශ්‍රීමත් මෝසස් ෆින්ලි මහා කවි හෝමර් ගේ ඉහත නිර්වචනය රමණීය ලෙස වීච්චේදනය කළේ මෙලෙසය. 

නීතියේ දෙවඟන කවුදැයි නිශ්චිතව වචන වලට පරිවර්තනය කළ හැකි නොවේ. ඇය දෙවියන්ගෙන් ලැබුණු දායාදයක්, ශිෂ්ට පැවැත්මේ ලකුණක්, සමහර විට නිවැරිදි සම්ප්‍රදායක්, නිසි පටිපාටියක්, සමාජ සම්මතයක්, එමෙන්ම, සමහර විට දෙවියන්ගේ කැමැත්තක්, හරි දෙය කුමක්ද යන්න නිශ්චිත අදහසක් නොමැති වුවද සහජ විඥානය අපට හරි යයි පවසන දෙයක්මේ සියල්ල හෝ එකක් නීතියේ දෙවඟන තේමිස් නියෝජනය කරයි”

විනිසුරු ප්‍රියසාත් ඩෙප්

ශිෂඨාචාරය පුරාවටම නීතියට දේවත්වය ආරෝපණය කර ඇත්තේද, නීතිය දේව භාෂිතයක දිගුවක් ලෙස අර්ථ දක්වා ඇත්තේද, අධිකරණය යුක්තියේ දෙවොල ලෙස සැලකෙන්නේද, අයුක්තියට භාජනය වීම තරම් මනුෂ්‍ය ආධ්‍යාතමය දැදුරු කර පුපුරවා හරින අන් බලවේගයක් නැති තරම් වන නිසා විය හැක. මා සිතන ආකාරයට අයුක්තියෙහි ගොදුරක් වීමටත් වඩා මනුෂ්‍ය අධ්‍යාත්මය පෙළන්නේ එම අසාධාරණයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලීම නිෂ්පල බව සමාජය වීසින් දේශනා කිරීම සහ, සමාජය කියූ ලෙසම යුක්තිය ඉටු නොවීමය. නමුත් අයුක්තිය සමග පොරබදීමින් අපගේ අධ්‍යාත්මයෙහි කෙතරම් ලේ ගැලුවද, කිසිවකුට නොපෙන්වන ලෙස කඳුළු දෑසින් ගැලුවද, යුක්තියම පැතීමට අප පොළඹවන්නේ කුමක්ද? 

මා සිතන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස අධිකරණය සහ නීතිය පිළිබඳව අපේ බලාපොරොත්තුව තවම මිය ගොස් නැති වීමයි; අධිකරණයෙහි දඩාවතේ හැසිරෙන දඩ බල්ලන් කිහිප දෙනෙකු හැරුණු විට අධිකරණයෙහි යුක්තිය පසිඳලන්නන් කෙරෙහි ගෞරවයක් පැවැත්විය හැකි වීමත් ය. ඉතා සුලභ සිල්ලර අඛ්යානයන් අනුව යමින් “හැම දේම මුදලට විකිණි ඇත” “විනිසුරුවන් මෙහෙම කරන කොට මුදලට ගත හැක” ආදී වශයෙන් අධිකරණය විවේචනය කිරීම හෝ ලඝු කිරීම කළ හැක. නමුත් මා අදහන්නේ එය ඊට වඩා සංකීර්ණ දෙයක් බවය. 

ගෙදර යන ගමන්! 

මෑතකදී සුගන්ධිකා ප්‍රනාන්දු නමැති නීතිඥවරිය අධිකරණයේ දූෂණ රැසක් පිළිබඳව සමාජ කතිකාවතකට එළඹුණාය. එය අන්තර්ජාල සමාජ මාධ්‍ය වලද අන් වේදිකා වලද දැඩි කතා බහට ලක් විය. සති කිහිපයක අවෑමෙන් එම රැල්ල කාලයේ වැලි තලයෙන් වැසී ගියේය. කාලයෙන් සහ අපහාසයෙන් වැසූවද ඇය අසත්‍යයක් කීවායි මම නොසිතමි. ඇය පෙන්වූ යකුන්, ඇය කියූ තරම්ම  කළු වුවද, අධිකරණයේ සියලු විනිසුරුවන් යකුන් නොවන බව ද මම සිතමි. ඊවා වනසුන්දර නමැති විනිසුරුවරිය ඇයගේ වචනයෙන්ම කියූ පරිදි “ගෙදර යන ගමන් මහින්ද කතා කර ඇයව ශ්‍රේෂ්ටාධිකරණයේ  විනිසුරුවරියක් ලෙස දිවිරුම් දීමට සලස්වා දුන්නේය – එයට හේතුව නීති විද්‍යාලයේ ඇය හා ඔහු අතර මිත්‍රත්වය විය හැකි බව” ද ඇය පවසා ඇත. ගෙදර එන ගමන් සිය ධූරයේ බලය අයුතු ලෙස යොදා ගනිමින් දියවන්නාව අසල සිය මෝටර් රථය තුළ කනිෂ්ට නීතිඥවරියක් සමග ලිංගික සංසර්ගයේ යෙදී සිටියදී හසු වූ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා “හෙල්පින් හම්බන්තොට සොරකමින් මහින්ද රාජපක්ෂව සිර ගත කිරීමට හැකියාව තිබෙද්දී ඔහුව මුදා හැරීම ගැන ජාතියෙන් සමාව ඉල්ලන” බව එක වරක් පැවසුවේය. 

උලාකන්නන්ගේ දේශය 

මෙවැනි ගර්භිත කාල පසු කරමින්, මවු බිම අත නොහැර සිටින අප තවමත් නීතියේ දෙවඟන දෙස බලා සිටින්නේ මන්ද? මේ රට ගැන බලාපොරොත්තු දල්වා බලා සිටින්නේ  මන්ද? අප ශිෂ්‍යත්වයක් හෝ පුහුණුවක් සඳහා වසරකට දෙකකට රටින් පිටවෙමු නම් දන්නා කියන සියලු දෙනා අපට පවසන්නේ අපගේ දරුවන් ගැන සිතා හෝ නැවතත් මේ කාලකන්නි අවාසනාවන්ත දේශයට නොපැමිණෙන ලෙසය. බටහිර රටක කුලී කරුවකු ලෙස හෝ රැකියාවක් සොයාගෙන බේබිලා, කුමාරවරු, චිචි ලා, යෝ-යෝ ලා, ගෝටා මාමීලා, බැසිල් මාමීලා, මැද මූලන අප්පච්චිලා, සිරිලිය ශිරන්ති අම්මලා, බනානා සුජීලා, ඩිෆෙන්ඩර් හිරුනිකාලා, මම-දන්නේ-නැහැ රවීලා, මට- මතක-නැහැ දුමින්දලා, ඩි-එස්-ගේ-අස්සයාගේ-දේශපාලන පුත් වසන්තලා, බොන්ඩ්-ස්කෑම් රනිල්ලා , සුයිසයිඩ් කිට් නවීන් ලා, පුංචි ප්‍රේමදාස සජිත් ලා, ඔයා-එන්නැද්ද-එස්බී ලා, ජාතිවාදයේ කහට මේ දිනවල තදින් අපුල්ලන පාටලී ලා, ඩීල්දාසලා, සුවපතිලා, මහජන මුදල් අවභාවිතා කොට අරලිය ගහ මැදුරේ අපේ බදු මුදලින් මගුලක් කෑ චතුරලා, වයිමලා, බහු පාස්පෝර්ට් විමල්ලා, මිරිස් කුඩු ප්‍රසන්නලා, සරම උස්සන වෙදආරච්චිලා, කතානායක පුටුව කුඩු පට්ටම් කරන්නට යන සුදර්ශිනී ෆනෑන්ඩුපුල්ලෙලා – මේ සියලු දෙනාටම ගිය මේ කුණු වුනු රටින් ගැලවෙන ලෙසය. මේ නිර්ලජ්ජී, ජන පීඩක, ජන ඝාතක උලාකන්නන්ගෙන් පුළුවන් තරම් ඈත පිහිටි රටකට ගොස් දෑස තදින් පියා මේ රට අමතක කරන ලෙසය. 

දෑස තදින් පියා ගන්නට සිටින හැම විටම අපේ හදවතේ බලාපොරොත්තුව දල්වන්නේද ඉහත සඳහන් පරිදි ගර්භිත වුනු, ගර්භිත කළ අධිකරණයමය. සෑම සරත් සිල්වා කෙනෙකුටම ප්‍රියසාත් ඩෙප් කෙනෙක් සිටිති. ප්‍රියසාත් ඩෙප් ගේ ගෙදර කොහිද, ගෙදර යන ගමන් කුමක් කළේද අපි නොදනිමු. නමුත් ඔහු කිසිදු යථා හෝ අයථා වරදානයක් හෝ වරප්‍රසාදයක් නොගෙන ආ ලෙසම ගෞරවයෙන්, නොනැසුණු අභිමානයෙන්, ගිය බවද නොඅඟවා යන්නට ගියේය. ඔහු ගැන ෆේස්බුක් සටහනක් තැබූ පුරවැසියෙක් ලියා තිබුනේ “මේ කුණු වුනු සමාජයේ මට ප්‍රියසාත් ඩෙප් කෙනෙක් වන්නට නොහැකි වුවද මගේ දරුවකුට හෝ එසේ විය හැකි බව උගන්වා ඔහු විශ්‍රාම ගිය” බවය. සෑම ඊවා වනසුන්දර කෙනෙකුටම නලින් පෙරේරා කෙනෙක් ඇත. ප්‍රියසාත් ඩෙප් ගේ අනුප්‍රාප්තික අගවිනිසුරු නලින් පෙරේරා ඵෙතිහාසික ආණ්ඩු විසිරුවා හැරීමේ මගඩිය පිලිබඳ නඩුවේදී පක්ෂග්‍රාහී වනු ඇති බවද එම නඩුවෙහි විනිසුරන් “මහින්දගේ” බවද, තනතුරට ආ උණු උණු වේ ඔහු ජනාධිපතිවරයාට අගතියක් වන විනිශ්චයකට ඉඩ නොදෙනු ඇති බවද කලකිරුණු ප්‍රජාව ඇදහූහ. නමුත් ඩෙප් යනු මිනිසකු නොව අධිකරණයේ පූජිත සංකල්පයක් බවද, තවත් ඩෙප් ලා ශ්‍රේෂඨාධිකරණයෙන් ඉපදෙන බව පසක් කරමින් ඔවුන් ව්‍යවස්ථාවෙහි පූජනීයත්වය ස්ථාපිත කරන ඒකමතික නඩු තීන්දුවක් නිකුත් කලෝය. 

නීතියේ දෙවඟනගේ පාමුල අපගේ නිර්මල හදවත තබමු 

මෛත්‍රිපාල සිරිසේන නැමති ඉතිහාසගත නින්දිත තක්කඩි ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් සිදු කල ප්‍රජාතන්ත්‍ර ඝාතක ආණ්ඩු විසුරුවා හැරීමේ තැත නීත්‍යානුකූලභාවය මත පිහිටා ව්‍යර්ථ කිරීමට ශ්‍රී ලංකාවේ නීතියේ දෙවඟන සමත් වූවාය. කිසිදු පක්ෂ පාට භේදයක් මත නොපිහිටා, විධායකයේ අභිලාෂයන් හෝ රනිල්, මහින්ද අභිලාෂයන් නොසලකා කිසිවකුට බර නොතබා නීතියේ ස්වාධිපත්‍යය තහවුරු කිරීමට ඔවුහු සමත් වූහ. මහින්ද කෲර අපරාධකරුවන් යලි සේවයේ පිටිටුවමින්, මෛත්‍රීපාල සිරිසේන, මහින්දගේ උපන්දින තෑග්ග ලෙස පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මාරුකර යැවීමෙන් ශ්‍රේෂඨාධිකරණයට පෙන්වන්නේ ප්‍රචණ්ඩත්වයෙන්, භීෂණයෙන්, මැර බලයෙන්, ජන ඝාතනයෙන් රටම අස්ථාවර කර පෙන්වීමට තමාට  හැකි බවය. එසේ වීම නැවත්වීමට නම් පොහොට්ටු පැතුම වන මහා මැතිවරණයකට යාමට මග පාදෙන මාවතට ශ්‍රේෂ්ඨාධිකරණය තල්ලුකිරීමය. 

ශ්‍රේෂ්ඨාධිකරණය එළඹෙන දෙසැම්බර් 4 වනදා රැස් වන්නේ යුක්තිය පසිඳලීමට පමණක් නොවේ. නීතිය අර්ථ දැක්වීමට  පමණක් නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණය නැවත රැස් වන්නේ සිරිසේන-මහින්ද නොලියා, නොකියා එවන රාජ්‍ය ත්‍රස්තවාදයේ පණිවුඩ වලින් අප මුදවා ගැනීමටය. නීතියේ දෙවඟන ගේ පාමුල අපි අපේ නිර්මල හදවත තබා ඒ හද ගැස්ම ඔවුන්ට ඇසෙයි දෑස් දල්වා බලා සිටිමු. ශ්‍රීමත් මෝසස් ෆින්ලි ලියූ ආකාරයට “නීතියේ දෙවඟන කවුදැයි නිශ්චිතව වචන වලට පරිවර්තනය කළ හැකි නොවන” බව අපි දනිමු. නමුත් එතුමා ම ලියූ ආකාරයට නීතියේ දෙවඟන “දෙවියන්ගෙන් ලැබුණු දායාදයක්, ශිෂඨ පැවැත්මේ ලකුණක්, සමහර විට නිවැරදි සම්ප්‍රදායක්, නිසි පටිපාටියක්, සමාජ සම්මතයක්, එමෙන්ම, සමහර විට දෙවියන්ගේ කැමැත්තක්, හරි දෙය කුමක්ද යන්න නිශ්චිත අදහසක් නොමැති වුවද සහජ විඥානය අපට හරි යයි පවසන දෙයක්” ලෙස දෙසැම්බර් 4 වන දින අපට ශ්‍රේෂ්ඨාධිකරණය හරහා යුක්තිය ලබා දෙනු ඇති අපි අදහමු. එය ගර්භිත රනිල්, මහින්ද, මෛත්‍රීපාල හෝ ඒ කිසිවකු රැකීමට, හැදීමට හෝ පැරදීමට නොවෙයි. අර පුරවැසියා ලියා තැබූ පරිදි අපේ දරුවෙකුට ඩෙප් කෙනෙක් වීමටය. තව ඩෙප්ලා දස දහසක් බිහිවනු වස් අපේ නිර්මල හදවත නීතියේ දෙවඟනගේ පා අභියස තබා ඇත්තෙමු.

ගරු අගවිනිසුරුතුමනි, ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරුවරුනි, අපේ දරු පැටවුන්ගේ නාමයෙන් අපි ඔබ දෙස  බලා සිටින්නෙමු.

Back to Home page