Colombo Telegraph

මුන් ඔක්කොම යූඑන්පී අපේක්ෂකයෝ!

ගෘෂා ඇන්ඩ්රූස්

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන යූඑන්පී අපේක්ෂකයන් දෙදෙනෙකි. එක අයෙක් නම් යූඑන්පී ආණ්ඩුවේ සම්පුර්ණ ආදරය, ආරක්ෂාව, ආශීර්වාදය සහ සුරතලය මැද ඒකත්ඡන්දයෙන් ඉදිරිපත් කල ගෝටාබය රාජපක්ෂ නැමැත්තාය.

දෙවැන්නා නම් හඬ, දොඩා , කනිපන්දම් කියා, සොටු සූරමින්, සාප කරමින්, බිම පෙරළෙමින්, එදණ්ඩේ යමින්, ඉනිමන් නගිමින්, දෙස් දෙවොල් තියමින් අන්තිම මොහොතේ නාමයෝජනාව උදුරා ගත් කිලි මහරාජාගේ ඔඩොක්කු කුක්කා වන සජිත් ප්‍රේමදාසය. ඔහුව එක්සත් ජාතික පෙරමුණ හරහා යූඑන්පිය විසින් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර ඇත. නොදී බැරුවාට රටට දුන් යූඑන්පියේ කුඩම්මාගේ පුතා සජිත්ය. සජිත් දුටු විට ගෝටාව දැක්කා සේ ගැඹුරු ප්‍රේමයෙන් රනිල්ගේ ඇස් දිලිසෙන්නේ නැත. සජිත්ගේ මේ නාම යෝජනාව වැලක්වීමට රනිල් හැම උත්සාහයක්ම ගත්තේය. නමුත් ගෝටාට නාමයෝජනාව ලබා දීමට රනිල් රටේ නීතිය කැඩුවේය. නීති විරෝධී ශ්‍රීලාංකික ගමන් බලපත්‍රයක් සහ නීති විරෝධී ජාතික හැඳුනුම්පත ගෝටාට ඔහු නිකුත් කර දුන්නේය.ඒ තුලින් ඇමරිකන් පුරවැසිභාවය බිළිබඳ තිබුණු බාධක මග හැර යන්නට නීති විරෝධී ලෙස ගෝටාට මග පාදා දුන්නේය. රනිල් සහ වජිර අබේවර්ධන නොවන්නට ගෝටාබය නමැති ජනාධිපතිවරණ අපේක්ෂකයකු අද නැත.

කොටින්ම කියනවා නම් යූඑන්පිය දිනවීමට කැමති, සහයෝගය දෙන, ආරක්ෂා කරන නොම්මර එකේ අපේක්ෂකයා වනාහී ගෝටාබය රාජපක්ෂය. යූඑන්පිය ගෝටාබයට “මිනීමරුවා – මිනීමරුවා” යයි කෑ ගසන්නේ මක් නිසාද යයි මට නොතේරේ. “මිනීමරුවාට” අපේක්ෂකත්වය හදා දෙන්නේට නීතිවිරෝධී ලේඛණ​ සියල්ල සකස් කර දුන්නේ යූඑන්පී අගමැතිය. 

දැන් යූඑන්පිය අපට කියනුයේ ඒ “මිනීමරුවාගෙන්” රට බේරා ගැනීමට සජිත් ප්‍රේමදාසට ඡන්දය​ දෙන්නට කියාය. ඒ මිනීමරුවාට මාස දෙකකට පෙර ශ්‍රී ලාංකික පුරවසිභාවයවත් තිබුනේ නැත. 

මොවුන් සිතන්නේ අප අති විශේෂ ගණයේ මෝඩයන් කියා වන්නට ඇත. 

යූඑන්පියේ ප්‍රියතම අපේක්ෂකයා: ගෝටාබය රාජපක්ෂ 

අවුරුදු හතරහමාරක් තිස්සේ රනිල්, සාගල, මෛත්‍රිපාල සිරිසේන විසින් සිදු කලේ කුමක්ද? මේ අවජාතකකරණයට ලක්වූ ආණ්ඩුවේ තක්කඩින් විසින් සිදු කලේ සියලුම රාජපක්ෂවරුන් රැකීමය. ගෝටාබයට රටෙන් ඒමට යාමට කිසිදු බාධාවක් නොවීය. එම තක්කඩියන් මේ තක්කඩියාව කෙතරම් රැක්කේද යත් සිය දෙමාපියන්ගේ සොහොන් සෑදීමට අවභාවිතා කල මහජන මුදල් ඔහු නැවත රජයට බැර කළේය. ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිංසා වික්රමසිංහ හද දැදුරු කරන ලිපි කිහිපයක්ම ලියමින් නැවත නැවත​ පෙන්වා දුන්නේ ලසන්ත ඝාතනය සමග ගෝටාබයගේ ඇති සම්බන්ධයි. 2018 ඔක්තෝම්බර් 26 දින මහින්ද රාජපක්ෂ නීති විරෝධී ලෙස අගමැතිවරයා ලෙස පත් කිරීමෙන් පසුව ඔවුන් සිදු කල පළමු කාර්යයක් වුයේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය විමර්ශනය කල ප්‍රධාන නිලධරයා වූ නිශාන්ත සිල්වාව එම ඒකකයෙන් මාරු කර යැවීමයි. 

මෙයින් පෙනෙන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ගොටබයගේ ඇති සම්බන්ධය වැසීම ගෝටාභයද ඇතුළුව සියලු රාජපක්ෂවරුන්ට කෙතරම් වැදගත් ද යන්නයි. 

රනිල් රැක්කේ ඒ ගෝටාභයවයි. 

රනිල් සිය ධුරයේ බලය අවභාවිතා කරමින් ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් නීති විරෝධී ලෙස නිකුත් කර  මැතිවරණ නීතියේ ඇසට වැලි ගැස්සවුයේ ඒ ගෝටාභය රැකීමටය. 

ජනවාරි 8 වන දින උදෑසන මහින්ද රාජපක්ෂ හමුවී ඔහුට සපත කල ලෙසින්ම රනිල් ගෝටාභය රකියි. රනිල්ට ඔහු වෙනුවෙන් දිවි පරදුවට තබා මැතිවරණ ප්‍රචාරණයේ යෙදුනු, ඡන්දය දුන් ඡන්දදායයන් එක මොහොතකින් අමතක කල හැක. නමුත් ඔහුගේ පරම මිතුරන්වන මහින්දටද, ගෝටාභයටද දුන් පොරොන්දුව ඔහු කඩ නොකරයි. රනිල් ඔවුන්ව දිවි හිමියෙන් රකියි. 

කොටින්ම කියනවානම්, 2018 ඔක්තෝම්බර් ව්‍යවස්ථා අර්බුදයෙන් සති කිහිපයකට පසුව රනිල් කලේ කුමක්ද? මැදමුලන පැවතී රෝහිත රාජපක්ෂගේ විවාහ උත්සවයේදී බෑනාගේ ප්‍රියතම සහ ආදරණීයම මාමා හැසිරෙන ආකාරයට මගුල් ගෙදර කා බී ප්‍රීති වීමය. 

දේශපාලනය යනු රනිල්ගේ වෘත්තීය විනා ඔහුගේ ජීවිතය නොවෙයි. 

රනිල්ගේ ජීවිතය කැප කර ඇත්තේ රාජපක්ෂවරුන් සුරතල් කිරීමට හා රකීමටය. 

එදිනෙදා දේශපාලනයේදී රනිල් මහින්ද සමග ගැටෙයි. නමුත් ඔහුගේ ජීවිත අධ්‍යාශය වන රාජපක්ෂවරුන් ව ආදරයෙන්  දිවිහිමියෙන් රැකීමට එම ගැටීම් බාධාවක් නොවෙයි. 

තමාගේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුදැයි යන්න විසඳීමට පෙර, ගෝටාභය රාජපක්ෂට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට බාධාවක්ව තිබු ඇමරිකන් පුරවැසිභාවය වැසීමේ තක්කඩි කමට හවුල් වීමට රනිල් උත්සුක වුයේ ඔහුගේ ප්‍රමුඛතා ලයිස්තුවේ උඩින්ම සිටින්නේ රාජපක්ෂවරුන් බැවිනි. 

එම අර්ථයෙන් බලන කල ගොටාභය රාජපක්ෂ වනාහී යූඑන්පී ආණ්ඩුවේ නූල් සූත්තර වලින් නිර්මාණය කල, යූඑන්පිය ආදරයෙන් බිහි කල, රටක් රවටා, නීතියේ ඇසට වැලි ගසා බිහි කල සැබෑ යූඑන්පී ජනාධිපතිවරණ අපේක්‍ෂකයාය. 

යූඑන්පියේ ජුදාස්: සජිත් ප්‍රේමදාස

රනිල්ට දේශපාලනිකව ඝාතනය කරන්නට වුවමනා වුනු එක අයෙක් වෙත් නම් ඒ සජිත් ප්‍රේමදාසය. මා විසින් නොයෙක් වර ලියා ඇති පරිදි සජිත් ප්‍රේමදාස යනු ඔහුගේ නම යතුරුලියනයට වැය කරන ශක්තියටවත් නොසෑහෙන මට්ටමේ පහත් දේශපාලඥයෙකි. සජිත් වනාහී තමාගේ අධ්‍යාපන සුදුසුකම් ගැන පවා බේගල් ඇද බෑවෙකි. තමා ලන්ඩන් ආර්ථික සහ දේශපාලන විද්‍යා කොලීජියෙහි උපාධිය සම්පුර්ණ නොකළේ තමාට සරම්ප හැදුනු නිසා බව කී අයෙකි. බ්‍රිතාන්‍යයේ නිල සෞඛය දත්ත සපයන Public Health Englandහි දත්ත වලා අනුව එයද අතේ පළවුණු බොරුවකි. ඔහුගේ LSE ඇග්රෝටැට් “උපාධියේ” සිට, ඔහුගේ අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිපල දක්වා මෙන්ම ඇමෙරිකාවේ මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ සිදු කල බව කියන සීමාවාසික පුහුණුව ආදී සියලු සුරංගනා කතා වල හරය නම් සජිත්ට ඇති රෝගය  සරම්ප නොවන බවය.

සජිත්ට ඇති රෝගය නම් බොරු කීමේ රෝගයයි. 

පසු ගිය වසර 25 ටම සජිත් ප්‍රේමදාස යූඑන්පී ඡන්ද සටනකදී පක්ෂය වෙනුවෙන් සටන් කර නැත. ඔහු විසින් සිදු කලේ ගමින් ගමට ගොස් පක්ෂ නායකත්වය විවේචනය කරමින් තමාට පක්ෂ නායකත්වය නොදීම පිළිබඳව නාහෙන් ඇඬීමය​. පක්ෂය පිළිබඳව ජනතා වෛරය ඇති කිරීමය. 

ගම මට්ටමේ යූඑන්පී ඛාදනයට ප්‍රධාන හේතුවක් නම් සජිත් ගේ මෙම අගතිගාමීත්වයයි. 

යූඑන්පියේ ජනාධිපති අපේක්ෂකත්වය පක්ෂයේ ජුදාස් වන සජිත්ට දීමට රනිල් මැලි වීම පුදුමයක් නොවෙයි. 

යූඑන්පියේ චන්ද හිඟන්නා: ජයම්පති වික්‍රමරත්න 

මා මෙම ලිපිය ලිවීමට ආසන්නතම හේතුව වුයේ ජයම්පති වික්‍රමරත්න (සහෝදරයා?) සිය කුඩා සමාජවාදී කල්ලිය එක්සත් ජාතික පෙරමුණෙන් කඩා ගෙන ජාතික ජන බල වේගයේ අනුර කුමාර දිසානායකට සහය පල කිරීමට පැමිණෙද්දී ඔහු විසින් සිදු කල ප්‍රකාශයකි. තමාගේ තීරුබදු රහිත වාහන බලපත්‍රයද විකුණා, යහපාලන රජයේ මන්ත්‍රීවරයෙකුද​ වී සිටි වික්‍රමරත්නට ඔහු මෙතෙක් කල් ආණ්ඩු කල යහපාලන නඩය එක වරම අප්පිරියා වී ඇත. තමාගේ ප්‍රතිරූපය බේරා ගැනීමට හෙමිහිට අනුර කුමාර දෙසට ඇදෙන වික්‍රමරත්න පවසන්නේ කුමක්ද? 

ඔහු ප්‍රකාශ කරනුයේ පලවෙනි චන්දය​ අනුර කුමාරට ලබා දී දෙවෙනි මනාපය “රාජපක්ෂවරයකු නැවත පැමිණීම අවම කර ගත ගැනීමට වැඩිම හැකියාවක් ඇති අයෙකුට දෙන ලෙසය” 

වර්තමාන දේශපාලන යථාර්තය ගත් කල එම අපේක්ෂකයා වන්නේ සජිත්ය. 

එසේ නම් ජයම්පති වික්‍රමරත්නට අවශ්‍ය කුමක්ද? අනුර කුමාරට සහය දක්වන බව පෙන්වමින් සජිත්ට චන්ද එකතු කිරීමය. ජයම්පති වික්රමරත්න යනු කවුරුන්ද? සජිත් බබාගේ දේශපාලන ආයම්මාද? බබාට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නේ ආයම්මලාය. මෙතෙක් කල් ගෝටාභය මැණිකක් සේ ආරක්ෂා කල පක්ෂයේ අපේක්ෂකයා වෙනුවෙන් චන්දය පාවිච්චි කර ඒ ගොටාභයගෙන්ම අපව ගලවා ගැනීමට වික්‍රමරත්න ඉදිරිපත්ව ඇත්තේ මන්ද? ගෝටාභයගෙන් අපව බේරා ගන්නේ ඒ ගෝටාභයටම හොර ගුවන් ගමන් බලපත්‍ර සහ හොර ජාතික හැඳුනුම් පත්‍ර හදා දුන් පක්ෂයේ අපේක්ෂකයාමද? 

ඒ මොන තර්කයක්ද? 

රටේ පුරවැසියන්ද තමා වැනිම මී හරකුන් යයි වික්‍රමරත්න සිතන්නේද? 

අනුර කුමාර දිසානායක අප සිතන අවංක අපේක්ෂකයා නම් ඔහු මෙවැනි “සහෝදරයන්ගෙන්” ආරක්ෂා විය යුතුය. වික්‍රමරත්නට යූඑන්පිය සමග කෙලින් සිට ගැනීම “ඊයා“ වගේය​. නමුත් පස්සා දොරින් සජිත්ට දෙවැනි මනාප එකතු කිරීම ඔහුට ප්‍රශ්නයක් නොවේය. ඉතිහාසයේ කුණු බක්කියේ සිටිය යුතු මේ හිස් දේශපාලකයනගේ දේශපාලන ගේම් ගැන ජනතාව සවිඥානිකය.  

ජනාධිපතිවරණයේ ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයන් දෙදෙනාම ඇත්තෙන්ම යූඑන්පී අපේක්ෂකයන්ය. ඒ අතරින් වඩාත් බලවත් යයි හැඟෙන ගෝටාබය රාජපක්ෂ වනාහී යූඑන්පියේ සැබෑ අපේක්‍ෂකයාය. රාජපක්ෂ ජයග්‍රහණයක් යනු අලි-පොහොට්ටු සංහිදියාවෙන් තව පස් වසරක් ජනතාව රවටමින් එකිනෙකා නඩුවලින්, දූෂණ වලින් ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාවලියක් පමණි. 

යූඑන්පියේ දෙවන, බාගෙට තැම්බූ, ඕනාවට එපාවට එලියට දැමු  අපේක්ෂකයා සජිත්ය. 

මේ ජනාධිපතිවරණයේ එකම අවංක අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායකට තිබු ජනතා විශ්වාසය බිඳවැටීම ජයම්පති වික්‍රමරත්නගේ ඉහත ප්‍රකාශයෙන් ආරම්භ වෙයි.  වික්‍රමරත්නම පවසන ආකාරයට වික්‍රමරත්න ජාතික ජන බලවේගයට රිංගා ඇත්තේ සජිත්ට මදි පාඩු මනාප ටික එකතු කර දෙන්නටය. 

අනුර, ඔබ මෙය කියවයි නම් වික්‍රමරත්න “සහෝදරයාගෙන්” පරිස්සම් වෙන්න! හැබැයි වික්‍රමරත්න සහෝදරයාට එලෙස කියන්නයයි අනුරම කිව්වාද මා දන්නේ නැත. 

කවුරුන් කා සඳහා සේවය කරත්ද? 

මේ සියල්ල ඉතිරි දින පනහ​ තුල අපට දැක ගත හැකි වනු ඇත. 

Back to Home page