Colombo Telegraph

 චතුරගේ මඟුල

ගෘෂා ඇන්ඩ්රූස්

අරලිය ගහ මන්දිර පරිශ්‍රයෙදී පැවැත්වුණු චතුර සේනාරත්නගේ විවාහ මගුල නමැති සුඛ-දුඛාන්ත විකට නැටුම ගම්‍ය  කරවන්නේ හර්ද සාක්ෂිය මිය ගිය ජාතියක මළ ගමයි. ආරාධිතයන් 4000 ක් සහභාගී වුණු මෙම දැවැන්ත මගුල රුපවාහිනී නාලිකා, අන්තර්ජාලය සහ සමාජ වෙබ් අඩවි ඔස්සේ අපේ උගුර පහලට තල්ලු කරන ලදී.  මෙම මගුල නියෝජනය කරනුයේ  සිය පුරවැසියන් පිළිබඳව අංශු මාත්‍රයක හෝ ගෞරවයක් නොමැති දේශපාලකයන්ගේ නිර්ලජ්ජී කුරිරු බවයි. 

කෙනෙකු ගේ ජීවිතයේ වැදගත් දිනයක් වන විවාහ මංගල්‍යයක් ගැන මෙවැනි විවේචනයක් කිරිමට මගේ සිත හදාගත්තේ අසිරුවෙනි. චතුරගේ මඟුල සඳහා අරලිය ගහ මන්ඳිර පරිශ්‍රය භාවිතා කිරීමත්, එහිදී මනමාලයා විසින් මිනිත්තු 11 ක් පමණ පවත්වන්නට යෙදුනු “බර සාර “දේශනයත්, ඊටත් වඩා අගමැති කාර්‍යාලය මේ සම්බන්ධව කළ නිවේදනයත් මා මෙය ලිවීමට පෙලඹ වීය. 

මා තුළ මතු වන දැවෙන ප්‍රශ්නය නම් , දෛවයේ කුරිරු සරදමකින් කෙතරම් නිහීන දෙමව්පියන්ට දාව උපන්නද ඊළඟ පරපුර ට අයත් චතුර සේනාරත්න වෙත කිසිදු හර්ද සාක්ෂියක් නැති වන්නේ කෙසේද යන්නයි. අලුත් පරපුරකට අයත් වීම නිසාම ඕනෑම මනුෂ්‍යයෙකුට නිසගයෙන් ම උරුම වන කවර හෝ නව චින්තනයක් නොමැති වන්නේ කෙසේද යන්නයි. මුල්‍ය දුෂණ, බලය අයුතු ලෙස භාවිතා කිරීම, ඥාති සංග්‍රහය පිළිබඳ චෝදනාවලට උරුමකම කියන සිය දෙමව්පියන්ගේ අසුචි ගොඩේ ම ලැග, ජනතාවගේ දේපොළ සොරා කා, දුප්පතුන්ගේ රීරි මාංශයෙන්ම සිය විවාහ උත්සවයේ ආරාධිතයන් පිනවා , රාජ්‍ය දේපල අවභාවිතය නැමති ගෙරි මස් කරේ එල්ලා ගෙන ඉතිහාසයේ පෙර නොවූ විරූ විගඩමක් නැටීමට තරම්ම මොහු මන්ද බුද්ධික ද? 

නැත. අපගේ ජාතිය මන්ද බුද්ධික වෙයි.

දෙපිට කැපෙන “ කුණුහරුප “ වලින් ව්‍යුත්පන්න තේරවිලි ගයන විකට ජනාධිපති ගෙන් පටන් ගෙන යහපාලන හැව ඇර ඇති අගමැති ගේ සිට කසල ශෝධකයා දක්වා අපගේ ජාතියේ එක පොදු ව්‍යාධියක් වෙයි. එනම් වගවීම, වගකීම සහ පුරවැසි අයිතීන් පිලිබඳ ඇති මන්ද බුද්ධික භාවයයි. සියලු දරුණු නොපනත්කම් හමුවේ ෆේස් බුක් විහිළුවක් දමා , හාස්‍යයටම නතුව ඊළඟ නොපනත්කම කිරීම දක්වා ගොනුන් සේ දැක්කීම සහ දක්කා ගෙන යාම අපගේ ජාතියේ සන්නාමයයි. 

රනිල් පන්නයේ  අගමැති කාර්යාල නිවේදනය 

රනිල් වික්‍රමසිංහ විවිධ ක්ෂේත්‍රයන්හි අදක්ෂයකු වුවද  ඔහු තරම් හිනා නොයන විහිලු සහ  කෙස් පැලෙන තර්ක තුළින් මිනිසුන්ගේ ධීමත් බවට අපහාස කිරීමට සමත් නුතන නායකයෙක් නැත. වරක් තමා මහින්ද රාජපක්ෂ හමු වීම පිලිබඳ ව  ඉතා වැදගත් ප්‍රශ්නයක් ඇසූ මාධ්‍යවේදියෙකුට ඔහු පැවසුවේ “මම මහින්ද රාජපක්ෂ එක්ක කළු කෝපි එකක් බිව්වා විතරයි” යන්නය. රටක වගවීම සහ වගකීමක් දරන දේශපාලකයකුට එවැනි තුට්ටු දෙකක විහිළුවකින් ජාතියෙන් ගැලවී යා නොහැකි බව කීමට තරම් මාධ්‍යවේදීන්ට කොන්දක් නැත. ජාතියේ ඉතුරු පුරවැසියන්ටද එවැන්නක් ප්‍රශ්න කිරීමට සදාචාරාත්මක පෞරුෂයක් නැත. 

එම රනිල් වික්‍රමසිංහගේ අග්‍රාමාත්‍ය කාර්යාලය චතුර සේනාරත්න වීවාහ මංගල්‍යය මේ රටේ දහසක් දුක් අනුභව කරන, බඩට කන්නට නැති, පයට  සපත්තු කුට්ටමක් නැති, කුසගින්නට ගස් වල දළු, ගෙඩි කා ඒවා විෂ වීමෙන් මිය යන දරුවන්ගේ ධනයෙන් පැවැත්වීම රකිමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. මෙම විවාහ මංගල්‍යය ට රජයෙන් කිසිදු සැරසිල්ලක් හෝ ආහාර වෙනුවෙන් මුදල් වැය නොකළ බව පවසා අග්‍රාමාත්‍ය කාර්යාලයට අත සෝදා ගත හැක ද? එසේ ඔහුට එම පරිශ්‍රය ලබා දීඒමට “හේතු යුක්ත” කරුණු තිබුණු බවට මොවුන් කෙසේ පවසත්ද? අරලිය ගහ මන්දිර පරිශ්‍රයේ මොන යම් තැනක විවාහ උත්සවයක් පවත්මීට යම් තරමක හෝ සදාචාරාත්මක අයිතියක් ඇත්තේ එකම පුද්ගලයකුට පමණි. එනම් අග්‍රාමාත්‍යවරයාගේ දරුවකුට පමණි. ඒ මන්ද යත් එවැනි දරුවෙක් වෙත් නම්  ඔහු හෝ ඇය ජීවත් වන්නේ  එම නිවසේය. අප දන්නා තරමින් ඒ දරුවා තවම ඉපදී නැත. 

ඇත්තටම මගුල් ගෙදරක් ? 

චතුර සේනාරත්නම පවසන ආකාරයට ඔහුගේ විවාහ උත්සවයට සහභාගී වී ඇත්තේ ඥාතීන් 20කි. 4000 ක් ගාල් කළ හැකි ශාලාවක් අවශ්‍ය වී ඇත්තේ ඉතිරි දේශපාලන කටයුත්ත සඳහාද? ඔහු පවසන ආකාරයට ඉතිරි 3980 ම දේශපාලන ක්‍රියාකාරීන්ය. එසේ නම් තෝරා ගත් එක දේශපාලකයකුගේ දේශපාලන ප්‍රවර්ධන කටයුත්තක් සඳහා අරලියගහ මන්දිරයේ කවර හෝ පරිශ්‍රයක් ලබාදීමේ රාජකාරීමය හේතුව කුමක්ද? ආරක්ෂක හේතුන් මත මෙම පරිශ්‍රය තුළට පැමිනෙන්නන් පිළිබඳව දැනුවත් වීමට අග්‍රාමාත්‍ය ලේකම් සහ එම ලේකම් කාර්යාලයේ නිලධරයන්ට රාජකාරීමය වගකීමක් තිබුනේද? නැතිද? 

අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය සාධාරණීකරණය කරන ආකාරයට රාජිත සේනාරත්න රජයේ ඇමති වරයකි . ඒ නිසා අරලියගහ මැදුර නිවස හැර එම පරිශ්‍රය තුළ වෙනත් ශාලාවක් භාවිතා කිරීමේ වරදක් නැත. මේ නිලධාරීන්ද අග්‍රාමාත්‍ය වරයාගෙන් ඉගන ගැනීමට දහසක් වැදගත් දේ තිබියදී ඉගෙන ගෙන ඇත්තේ තමන්ගේද අනුන්ගේ ද බුද්ධියටද නිගා දෙන වඳුරු තර්ක ඉදිරිපත් කිරීමටය. සයිටම් සිසුන්ගේ උසස් පෙළ සහතික බැලීමට පෙර මෙම මන්ද බුද්ධික පිළිතුරු ලියන්නන් අට පාස් දැයි විමසිය යුතුය. 

චතුර කියන්නේ තම විවාහයට නැකත් ලැබුණු පසු එදිනට හෝටලයක් සොයා ගැනීමට නොහැකි වූ නිසා අගමැති වරයා ගෙන් එම ශාලව ඉල්ලාගත් බවය. මට සිතෙන්නේ චතුර මුළු ජාතියම දන්නා ගසක කොළ කඩ කඩා අප වෙත පාන බවය. 

සැඟවුණු පණිවුඩය

රාජිත සේනාරත්නගේ මෙම ක්‍රියා කලාපය කුඩා දරුවකුට වුව තේරෙයි. මොහු මෙම අභ්‍යාසය සිදු කර ඇත්තේ කොළඹ තරු පහේ හෝටලයට සියලු අවකාශයන් අවනත කරගෙන මෙම උත්සවය පැවැත්වීමට නොහැකි නිසා නොවේ. මේ ඔහු ඔහුගේ දේශපාලන සගයන් සහ පිලිමල්ලවයන්ට යවන පණිවුඩයයි. එනම් තමා අරලියගහ මැදුරේ ඊළඟ අනුප්‍රාප්තිකයා බවයි. 2019 රනිල් දිනුවොත් තමා අගමැති බවයි. චතුර සේනාරත්න යනු ඔටුන්න හිමි කුමාරයා බව සිය දේශපාලන වහලුන් ගේ මොළ වලට කාවද්දීමයි. සමහර විටක කෙටි පාරකින් ජනාධිපති මැදුරටම ගොඩ වීමට රාජිත සේනාරතන සිහින දකිනවාද විය හැක. මෙවැනි තුට්ටු දෙකේ දේශපාලන ගුන්ඩුවක් සඳහා සේනාරත්නලා මේ ජාතියේ ධනය වියදම් කර සිදු කර ඇත්තේ සැබවින්ම චන්ද ව්‍යාපාරයකි. මොවුන්ගේ සිහින සැබෑ කරවීමේ පිරිවැය ජාතියේ දරුවන් විසින් දැරිය යුතුද? 

රාජ්‍ය දේපල අවභාවිතයක් නොවේද?

චතුර සේනාරත්නගේ විවාහ උත්සවය පැවැත්වූ ශාලාව තිබෙන්නේ අරලියගහ මන්දිර පරිශ්‍රයෙහිය. අරලිය ගහ මන්දිර නිවස මෙන්ම එම ශාලාවද නඩත්තු වන්නේ මහජන මුදලිනි. එහි පයට පෑගෙන බුමුතුරුණු, ජල නල වල ගලන ජලය, එවැනි ඇති විශාල ශාලාව ශීතකරණ වායු සමන යන්ත්‍ර, එහි වහලයෙන් එල්ලෙන චැන්ඩ්ලියර් වල ක්‍රිස්ටල් ශුද්ධ පවිත්‍ර කිරීම, වර්ග මීටර් දස දහස් ගණනක ශාලා වැකියුම් ක්ලීන් කිරීම, පාවිච්චි කරන හැම විටම නැවත නැවත සනීපාරක්ෂක සේවකයන් විසින් තරු පහේ ප්‍රමිතියට ශුද්ධ කරන අලංකාර වැසිකිලි, වායු ශුද්ධකරණය ආදී ගැඹුරින් නොසිතුවහොත් ග්‍රහණය නොවන විශාල සැඟවුණු පිරිවැයක් මේ කතාව තුළ ඇත. තවද මේ  මෙවැනි තමාෂා පන්නයේ නිර්ලජ්ජී විගඩමක සංවිධානය සඳහා රජයේ වැටුපින් නඩත්තු වන රාජ්‍ය සේවකයන් කී දෙනෙක් ඒ සඳහා යොදවන්නට ඇත්ද? ඔවුන් වෙනුවෙන් මාස ගණනක සිට ගෙවූ අතිකාල දීමනා කොපමණද? ඒවා ගෙව්වේ රාජිත සේනාරත්න ද? සුජාතා  සේනාරත්නද? චතුර සේනාරත්නද? සරුපා මනතුංග ද? නැත්තම් සරුපාගේ අම්මාද? ශාලාවක ගාස්තුවට මේ සියලු පිරිවැය අයිති  බවද මේ සියල්ල නිර්ලජ්ජි සේනාරත්නවරුන් “සතයට  ගෙවා දැමූ”  අවට රිසිට් පත් ද හෙට අනිද්දා වන විට මේ නිරුවත් දේශපාලකයන් අන්තර්ජාලයට කිකුත් කරනු ඇති බවට මෙන්න කැට! 

නමුත් පිරිවැය ගෙව්වද රාජ්‍ය දේපලක් මෙසේ පෞද්ගලික තක්කඩි කමකට භාවිතා කිරීමෙහි සහ එම දේපලම රජයේ කටයුත්තක් සඳහා භාවිතා කිරීමෙහි විශාල වෙනසක් ඇත. මෙම විශාල ශාලාව සාමාන්‍යයෙන් භාවිතා වන්නේ රටේ සිවු කොනේ රාජ්‍ය සේවකයන් ඉතා වැදගත් පුහුණු කිරීම්, දැනුවත් කිරීම්, යාවත් කාලීන කිරීම් ආදියටය. එසේ නැතහොත් යම් සහතික පත්‍ර ප්‍රදානය කිරීම්, ජාතියේ ප්‍රගමනයට විෂය වන යම් අවශ්‍ය උත්සවයක් පැවැත්වීමටය. එසේ යම් කර්තව්‍යයක් සඳහා මෙම රාජ්‍ය දේපල සඳහා පිරිවැයක් දැරීමෙන් ජාතියට යම් ප්‍රතිලාභයක් ලැබෙයි. ඒ සඳහා දරන පිරිවැය තුලින් රාජ්‍ය සේවකයන් බුද්ධියෙන්, දැනුමෙන්, ස්ථම්භනයෙන් හෝ යම් කවර ආකාරයකින් සවි බල ගැන්වෙයි. සේනාරත්නවරුන් විසින් මතුපිටින් වියදම් වූ පිරිවැය ගෙව්වද ජාතික වස්තුවක් වන අරලිය ගහ මන්දිර පරිශ්‍රයේ මානව සම්පත් සහ පහසුකම් වියදම් කර මනෝරාජික මේනියාවකින් ගිලන් වූ දේශපාලන විකටයකු ගේ විවාහ උත්සවය පැවැත්වීමෙන් ජාතියට වන ආයෝජනය කුමක්ද? අඩුම වශයෙන් මගුල් ගෙදර 4000 ක් ආරාධිතයන්ගේ පයට පෑගී කිළුටු වී ගෙවෙන බුමුතුරුණු තරම්වත්, ඒවායේ ක්ෂය වීම තරම් වත් මෙම “ආයෝජනය” රටට වටියිද? 

රාජ්‍යය දේපල අවභාවිතයේ  පියාමහින්ද රාජපක්ෂ 

මෙහිදී අමතක කළ නොහැකි එක කරුණක් ද වෙයි. මෙසේ අරලිය ගහ මන්දිරය සහ ජනාධිපති මන්දිරය විවිධ දේශපාලන බත් බැලයන්ගේ මගුල් ගෙවල් ගන්නා තැනක් බවට පත් කරන ලද්දේ මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ විසිනි. එම ගෞරවනීය, රාජකාරීමය, රාජ්‍යයේ ගාම්භීර භාවය රැදුණු නිහඬ තැන් වල නිහඬ බව බිඳ සිඳ දැමීමේ අවමානය මහින්ද රාජපක්ෂට සදා කල් හිමිය. රාජපක්ෂ සමයේ දී අද එහි විවාහ වූ නිළිය හෙට සොරකමකට සිරගත වෙයි: අද එහි විවාහ වන නිළිය හෙට ගණිකා වෘත්තියට සිර ගත වෙයි. මෙම නිර්ලජ්ජී රාජ්‍ය දේපල අවභාවිතයේ පෙර ගමන් කරුවා මහින්ද රාජපක්ෂම වෙයි. විවේක බුද්ධියෙන් සිතා බැලුවහොත් සේනාරත්න ඇතුළු නුතන දේශපාලකයන්ගෙන් අති බහුතරය රාජපක්ෂ පන්නයේ දේශපාලනයෙන් මෝචනය වුනු නිර්ලජ්ජී මස් ගොඩවල් පමණි. මොවුන් කූඨ, චෞර බුද්ධිය හැරුණු කොට කිසිදු විචක්ෂණයකට හෝ ධීමත් බවකට හිමිකම් නොකියති; හර්ද සාක්ෂිය යනු ඔවුන්ට ආවේනික සංකල්පයක් වත් නොවේ. 

සරුපාගේ අම්මාට ජාතියෙන් පණිවුඩයක් 

කෙසේ බැලුව ද මෙම විවාහ මංගල උත්සවය ඉතා පහත්, දුෂ්ට, තක්කඩි දූෂණයකි. මුල්‍ය අපරාධයකි. දේශපාලන අවභාවිතයකි. කොටින්ම කියතොත් අපේ පැරැන්නන් කී පරිදි ලැජ්ජා නැති කම මහමුදලි කමටත් වඩා ලොකු බව 2018 වසරේදී අපට නැවත මතක් කර දීමකි. මුඩුක්කුවක කසිප්පු බී විවාහය සමරන, සමාජය විසින් පාදඩ යන යයි හඳුන් වන මිනිසුන් ගේ විවාහ උත්සවයක මීට වඩා වැදගත් කමක් සහ අවංක කමක් ඇත. එවැනි විවාහ උත්සවයක මීට වඩා සුකුමාර බවක් සහ ගෞරවනීය බවක් ඇත. ඒ මන්ද යත් ඔවුන් ඒ සමරන්නේ ඔවුන්ගේ කර ගැට නැගුණු දෑත් වලින්, සමාජය විසින් කොන් කරන ලද හදවත් වලින්, අප විසින් ඔවුන්ට අහිමි කරන ලද සියලු අයිතිවාසිකම් නොලබාම ඔවුන් ජීවිතය සමරන බැවිනි. කුඩු කාරයෝ මේ දේශපාලන කුණු ගොඩවල් වලට වඩා වන්දනීය පූජනීය වෙති. “කොල්ලෙක් දෙස ඇස හැර  නොබැලු” සරුපාටද (සරුපා, ඔබට ජාතියේ අනුකම්පාව හිමි බවට සැක නැත!), ඇයගේ “පූජනීය” මවටද කුඩා පණිවුඩයක් ඇත. දශක කිහිපයකට පෙර සිදු කරනු ලබන ආකාරයේ කතාවක් ඉදිරිපත් කරමින් චතුර සේනාරත්න සිය මනාලිය වෙනුවෙන් ඉතා දීර්ඝ චරිත සහතිකයක් ඉදිරිපත් කළේය. අප නම් සරුපා ගැන චරිත සහතික ඉල්ලා සිටයේ නැත. අපි දේශපාලකයාගේ බිරින්දෑවරුන්ගේ ඇස් වල හෝ අන් තැනක කන්‍යා භාවය ඉල්ලා නොසිටිමු. අප ඉල්ලා සිටින්නේ අපගේ බදු මුදලින් නඩත්තු කරන රාජ්‍යයේ පාරදෘෂ්‍ය භාවය පමණි. මනතුංග මහත්මියනි, චරිතය යනු කාන්තාවකගේ “කොල්ලන් දෙස නොබලන ඇස් වල” හෝ මෙවැනි ලිපියකට ලිවීමට නුසුදුනු ශරීරයේ වෙනත් අවයවයක පිහිටන දෙයක් නොවන බව තේරුම් ගනු මැනවි. චරිතය යන වටිනා සංකල්පය තිබෙන්නේ අපගේ ක්‍රියාවන් තුළය; සද්භාවය තුළය. ඒ අර්ථයෙන් ගත් කල කුසගිනි දරන මිනිසුන්ගේ ධනයෙන් මගුල් ගෙදරක් පැවැත් වූ (“කොල්ලෙක් දෙස ඇස අර බලා නැති”) ඔබ ගේ දියණියට වඩා සිය සිරුර විකුණා ජීවත් වන ගණිකාවකට චරිත ශුද්ධියක් ඇත.

Back to Home page