Colombo Telegraph

ඌරු දළෙන් මොන ගජ මුතු අරගන්නද මං?

ගෘෂා ඇන්ඩ්රූස්

මඩේ ලගින තාරාවන් නාවන්නද මං?

ඌරු  දළෙන්  මොන ගජ මුතු අරගන්නද මං?”

(තාරාවෝ ඉගිලෙති නාට්‍යයෙන්. පද රචනය: ලූෂන් බුලත්සිංහල . ගායනය මර්සි එදිරිසිංහ )

මඩේ ලගින තාරාවන් නාවන්නට ජනතාව 

ජනතා පරමාධිපත්‍යය පිදුරන්ගලක් බවට පත් කළ නිරුවත් නින්දිත ජනාධිපති මෛත්‍රිපාල කරන ලද නින්දිත පාවා දීමට එරෙහිව ඊයේ කොල්ලුපිටියට රැස් වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාව අතර පෙර නොදුටු විභවයක් දක්නට ලැබුණි. පොදු ප්‍රවාහන වල තැලෙන පෙලෙන – ලිංගික හිංසනයට ලක් වන, බදු බරින් පීඩිත කොළඹ “වතු වල” ගැහැණුන් මිනිසුන්ට අමතරව, පොද වැස්සක් වැස්සද ඡන්දය​ දාන්නට එලිය නොබහින රනිල් ගේ කුල්ටූර් කොළඹ 3, 5, 7 යූඑන්පී කාරයන් සහ කාරියන්ද පාරට බැස තිබේ.

එය ඉතා හොඳ පෙර මග ලකුණකි. 

සමාජයක් හදන්නට හෝ රකින්නට එපා කියා මිනිසුන් හෝ ගැහැණු ජාතියක් නැත. 

විවිධ සමාජ දේශපාලනික ශක්තීන් එක එක මිනිසුන් ළඟ ඇත. කෙසෙල් වත්තේ ගැහැනියකට ඇති සමාජ ප්‍රාග්ධනය කුරුඳුවත්තේ ගැහැනියකට නැතිවිය හැක. නමුත් ඇයට ඇති අධ්‍යාපනය හෝ සමාජ බලය කුරුඳුවත්තේ ගැහැණියට තිබිය හැක. මොවුන් දෙදෙනාගේම ශක්තිය ජනතා බලවේගයකට ගාමක බලය සපයයි. 

ශ්‍රී ලංකාවේ ජනතා පීඩක දේශපාලකයන් කවුරුත් මඩේ ලගින තාරාවන්ය. (මේ පිලිබඳ මගේ අදහස මා ලිවිය හැකි කර්කෂම භාෂාවෙන් ලියා අවසානය). නමුත් මොවුන් ව සිය බදු මුදලින් නඩත්තු කරන ජනතාව එසේ නොවෙති. ඔවුන් සාධාරණ සමාජයක් පිළිබඳව සහ සිය අහිංසක දරුවන්ට ශිෂ්ට සමාජයක් බිහි කිරීමට තිබුණු අන්තිම අවස්ථාවද කෙලෙසු දේශපාලනය වෙනුවෙන් නැවතද වීදි බැස ඇත. 

ඊයේ ඔවුන් පැමිණියේ ඔවුන්ටද වඩා විශාල සංකල්පයක් වෙනුවෙනි. 

වේදිකාව මත මොර දුන් සියලු දේශපාලකයන් හරි නම් බිමට බැස ජනතාවගේ නිර්මල හදවතට පසඟ පිහිටුවා වැඳිය යුතුව තිබුණි. 

ඌරු දළ වල ගජමුතු නොසොයමු 

ඌරන්ට උන්ගේ දළ වලින් ගජ මුතු දෙන්නට බැරිය. රනිල්, මෛත්‍රිපාල, මහින්ද, අනුර කුමාර, සම්බන්දන්, හකීම් – මේ කිසිවකුට අපගේ රටට යහපාලනය දෙන්නට අපහසුය. ඒ මක් නිසාද යත් මේ රටේ ජනතාව පුරවැසිභාවය පිළිබඳ අඥාතය. පාර්ලිමේන්තුව ගැන විහිලුවට හෝ මිනිසුන් වැඩියෙන්ම කියන විහිලුව කුමක්ද? දියවන්නාව දෙගොඩතලා පාර්ලිමෙන්තුවේ සියල්ලන් සමග එය යට වූ දිනක පමණක් රට හැදෙන බව නොවේද? එය කොතරම් ශෝක ජනක “විහිලුවක්ද?” පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව රැස් වන දිනය කීයක ඊට සහභාගී වෙයි දැයි පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් බලා ගත හැක. ඔවුන් පැමිණ කරන්නේ කුමක්ද? නිදා වැටෙති, මේස උඩ හිස ගසා නිදා වැටෙති. සිය වැටුප් වරප්‍රසාද වැඩි කර ගැනීමට අත ඔසවති. 

මේ අහිංසක පීඩිත ජනතාව නිදහස් අධ්‍යාපනය, බදු බර, අසාධාරණය වෙනුවෙන් වීදි බැස්සේ නම් ඔවුන්ට ජල ප්‍රහාර සහ ටයර් සෑයවල් හිමි වනු ඇත. නමුත් දේශපාලකයන් ට වැඩ වැරදුනු විට ඒ ජනතාවගේ වීදි බැසීම මතම ඔවුන්ගේ පැවැත්ම රඳා පවතී. 

නමුත් ඊට කම් නැත.

අපි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වීදි බැස ඇත්තෙමු. 

ප්‍රජාතන්ත්‍රවාදය අපගේ දේශපාලන දහමයි. එය රනිල්ට සහ මේ බොර දියේ මාළු බාන සජිත්-සිරස පූට්ටුට්වට වඩා විශාලය. එය වේදිකාව මතට නැගුනු බැඳුම්කර හොරුන්, නින්දිත, දූෂිත සුවපතිලා සහ ඔවුන්ගේ බූරු පුතුන්ට වඩා විශාලය. සමාජයේ සියයට 52% වන කාන්තාවන් වෙනුවෙන් එක කතාවක් කිරීමට අවස්ථාවක් දෙන ලෙස ඉල්ලන්නට තරම් චරිත ශක්තියක් නැති, තමා වේදිකා වල මල් සැරසිලි යයි සිතා සිටින නිර්ලජ්ජී ගැහැණු දේශපාලිකාවන් දෙදෙනාට වඩා අපි ශිෂ්ට සම්පන්න වෙමු. 

අපේ ලෝකය සහ හදවත් ඔවුන්ට වඩා ඉතා විශාලය.

අපගේ ආලෝකය ඔවුන්ගේ අඳුරට වඩා ප්‍රභාශ්වරය. 

මේ සටන ඌරු  දළෙන් ගජ මුතු ගැනීමට නොවේය. මේ අපේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපට ඇති ප්‍රඥප්තියයි. එය දේශපාලනය අතික්‍රමණය කරමින් තනි බලයක්ව බැබලෙයි. 

මදන ඇතුන් නෙලුම් හුයෙන් වලකන්නද මං?

ප්‍රවේණි දේශපාලනයේ අවජාතකයන් වන වසන්ත සේනානායක සහ දුනේෂ් ගන්කන්ද දැනටමත් පිල් මාරු කර අවසානය. එක්කෙනෙක් ඩී එස් ගේ මුණුපුරාලු. මොවුන් අපට  කියා දී ඇති පාඩම නම් ප්‍රවේණි දේශපාලනය පිටු දැකිය යුතු බවය. වහල්ලු ඉන්නේ මහින්දට පමණද? මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී, නීචයන්ට චන්දය දෙන්නෝ වහල්ලු වෙති. වසන්ත සේනානායක ඩී එස් ගේ මුණුබුරා කියා අපට මොකද? ඔහු ඩී එස් ගේ මුණුබුරා කියා මතක හිටින දෙයකට කළේ කුමක්ද? දෙපාරක් පිල් මාරුව කිරීමය. දුනේෂ් ගන්කන්ද කවුද? හිටපු ඇමති චන්ද්‍රා ගන්කන්ද ගේ පුතාය. ඉස්කෝලේ යන ළමයින් ගේ භාෂාවෙන්ම කියනවා නම් ඉතින් අපිට පාන් ද? දුනේෂ් ගන්කන්ද මෙරට මතක හිටින දෙයකට කර ඇත්තේ කුමක්ද? තිත්ත කුණුහරුප යනු මොනවාදැයි අපට කියා දී ඇත. කලම්බු ටෙලිග්‍රාෆ් 2017 දී වාර්තා කළ ආකාරයට මොහුගේ භාෂා ඥානයෙහි අසිරිමත් බව ඔබට පහතින් ඇසිය හැක. 

ආශ්චර්යය නම් මේ ස්ත්‍රී පීඩක, ගැහැනුන්ට හිංසාකාරී කුණුහරුප කියන චන්ද්‍රා ගන්කන්දගේ පුතා සිය තක්කඩි පත්වීම ගන්න විට සුවච කීකරු භාර්යාවක් සිනාසෙමින් පසෙකින් හිට ගෙන සිටීමය. මොවුන්ගේ කුණු වුනු ජීවිත ගැන තවත් කුමක් කියන්නද? 

හමන සුළං මකුළු දැලෙන් වලකන්නද මං?

අනුර කුමාර දිසානායක කියූ පරිදි මේ යූඑන්පී මන්ත්‍රීලා කුණු බටු – කුණු මාළු විදිහට විකිණෙන කාලයයි. නමුත් සත්‍යය නම් ජන ඝාතක, පරපීඩක රාජපක්ෂ තක්කඩියන් විසින් අපගේ ජාතියේ ධනය සොරකම් කළ මුදලින් කෝටි ප්‍රකෝටි ගණන් වලට මොවුන් විකිණෙන බවයි. මහින්දගේ සල්ලි වල සුළඟ ඉතා බලවත්ය. එය පක්ෂයට ඇති පක්ෂපාතීත්වය, දුර පෙනෙන දේශපාලන අනාගතය වැනි වචන වලින් නැවතිය හැකි සුළඟක් නොවෙයි. රිදී හැන්ද කටේ ගහගෙන උපන් ගාමිණි දිසානායකගේ පුතා නවීන් දිසානායකද, මහින්දගේ දෙපා මුල 2005 දී පසඟ පිහිටුවා මහනුවරදී  වැඳ වැටුණු මයන්ත දිසානායකද, දේශපාලනයේ “මහත්මා” යයි අප සිතා සිටි කරු ජයසූරියද මහින්දගේ සල්ලි වල සුළඟට විසි වී ගිය දේශපාලන රොඩු ය. ඊයේ නවීන් දිසානායක ගිරිය පුප්පා ගෙන “මමයි මයන්තයි යන්නේ නැහැ, යන්නේ නැහැ,” කියා කෑ ගසන්නේ තවමත් මහින්දගේ සල්ලි දිරවා ගත නොහැකිව ඔවුන් දේශපාලන අජීර්ණයෙන් තවමත් ඇඹරෙන නිසාය.

අන්තර්ජාලයෙන් බලගැන්වුණු සමාජ ජාල යුගයේ , ප්‍රවේණි -අප්‍රවේණි කොයි දේශපාලකයාත්, රාජ්‍ය සේවකයාත්, පොදු ජනයාත් මුහුණ දිය යුතු යතාර්ථය නම් දූෂණයේ සුළඟ ට බඳින්නට මකුළු දලකට වඩා බලවත් ජන බලය නමැති පවුරක් ඇති බවය.  ඒ පවුර දෘශ්‍යමානව ඊයේ කොල්ලුපිටියට ආවේ බත් පැකට් එකට, අරක්කු බෝතලයට නොවෙයි. ඔවුන් ලයිට් කණු වලට නැග්ගේ නැත. සිඟිති ආතල් සැපයුවේ නැත. ඔවුන් ඔවුන්ගේ හදවතේ නැගුණු ධෛර්යයේ සහ ප්‍රජාතනත්‍රවාදයේ ගින්නෙන් උණුසුම්ව, කකියන ලෙයින් පැමිණියහ. දේශපාලකයන්ගේ නිස්සාර බව දැන දැනම පැමිණියහ. දෘශ්‍යමාන ජන පවුරට එපිටින්, විද්වතුන්, වෘත්තිකයන්, ප්‍රාඥයින්, චින්තකයන් සහ ප්‍රධාන දේශපාලන ධාරයේ සියලු පක්ෂ විසින් පහසුවෙන් අමතක කළ කාන්තාවන්ගෙන් බල ගැන්වුණු අදෘශ්‍යමාන දේශපාලන බලවේග රැසක් බිහි වන ලකුණු පෙනෙයි. රාජ්‍ය සේවකයන් තජුදීන් ලා මෙන් පිලිස්සී මිය යාමට නියමිතය. ඔවුහු එය දනිති. 

තව දුරටක් අපි අරාජිකත්වය පිලි නොගනිමු. ප්‍රජාත්නත්‍රවාද කෙලෙසීම පිලි නොගනිමු. මේ සුළඟට නම් මකුළු දැලකට වඩා ඉතා ශක්තිමත් පිළිතුරක් ජනතාව ලඟ ඇත. 

කොහොඹ ගසින් කොහොම හරි සඳුන් මලක් නෙලමු!

හෙට මේ දේශපාලන කුමන්ත්‍රණයට විරුද්ධව ජවිපෙ පාගමන පැවැත්වෙයි. එම වේදිකාවේදී ජාතිය අමතා කෙරෙන එක කතාවක් කාන්තාවකට කිරීමට දී සමාජවාදයේ සහ සමාජ සාධාරණත්වයේ චායාවක් හෝ තමා තුළ තිබෙන බව පෙන්වන ලෙස අනුර කුමාරගෙන් ගෘෂා ඇන්ඩ්රූස් වන මම ජාතියේ කාන්තාවන් වෙනුවෙන් පළමුව ඉල්ලා සිටිමි. අනුර කුමාර ඇතුළු ජවිපෙ වෙත අග්‍රාමාත්‍යවරයා කවුද යන්න නිර්ණය කිරීමට කෙරෙන විමසීමකදී චන්දය දීමෙන් වැලකීමට එපිටින් ගිය මහා වගකීමක් ඇත. සිය ස්ථිතික ස්ථාවරයන් ගතික යතාර්තයන් හමුවේ වෙනස් නොකරන්නේ මෝඩයන් පමණි.  

ඒ කෙසේ වෙතද පක්ෂ සීමා අතික්‍රමණය කරමින් සම බිමකදී එජාප, ජවිපෙ භේදයෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් හමුවීම තුළම ජාතියේ හර්ද සාක්ෂියේ ජයග්‍රහණය ලියවී ඇත. ජන බලය හමුවේ මහින්ද-මෛත්‍රී තිගැස්ම  අපට දැනෙයි. ඔවුන් දේශපාලන වීදියේ බුරන ජලභීතික සුනඛයන්ය. සත්‍යයේ සහ ජනතා පරමාධිපත්‍යයේ බලයට නැමති පවිත්‍ර ජලයට ජලභීතික දේශපාලන සුනඛරජා ද, ඔහුගේ නකුටා ද බිය වෙති. ඔවුහු  ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල වන පාර්ලිමේන්තුවට බිය වෙති. පාර්ලිමේන්තු ප්‍රජාත්නත්‍රවාදයට අනුකූල වෙමින් පාර්ලිමේන්තුව කැඳවා එහිදී මහින්ද දිනුවද, රනිල් දිනුවද එය ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහනයකි. ඊට මෙපිටින් පිපෙන මල් වලට අපි සඳුන් මල් යයි නොකියමු. නමුත් දියවන්නාවේ පර්ර්ලිමේන්තුව නමැති කොහොඹ ගසෙන් සඳුන් මලක් පිපෙන බව නම් දැඩිව අදහමු. 

Back to Home page