Colombo Telegraph

පිළිකාකාරක සංගක්කාර: බොහොම ස්තුතියි, ඔබව නම් එපා!

ගෘෂා ඇන්ඩ්රූස්

මේ 2018 වසරයි. මෙම වසර වන විට ප්‍රංශයේ අගමැති මැක්රන් ය. ක්‍රෝඒශියාවේ ජනාධිපතිනිය කොලින්ඩා ග්‍රාබාර් ය. සිය ජාතික සාක්ෂරතාවය 58 % ක් පමණක් වන පකිස්තානු ජනතාවද හමුදා සහය නමැති ගින්දර සමගද සෙල්ලම් කරමින් ඉම්රාන් ඛාන් ව සිය අගමැති ලෙස පත් කර ගෙන ඇත. මේ සියල්ල මධ්‍යයේ කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ වරයා වසරක් පැරණි ‘කිසි රහක් නැති’ පොස්ටුව්ක් සිය ෆේස්බුක් ගිණුමෙන් බෙදා ගනියි. එය කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීම නිසා ඔහු බලය අතහරින නායකයකු බවද එනයින් ම ඔහු රටෙහි ජනාධිපති වීමට අවශ්‍ය සුදුසුකම සපුරන බවද ඉඟි කරන පොස්ටුවකි. ඔහු 2017 නොවැම්බරයේදී ඔහුගේ පුද්ගලික ෆේස්බුක් ගිණුමේ මෙසේ ලියා තිබුණි: “අවශ්‍ය වන්නේ බලය අතහැරීමට අවශ්‍ය නායකයින්ය​. ලංකාවේ නැත්තේ එවැනි අයයි. කුමාර් සංගක්කාර වගේ කෙනෙක් ආවොත් 2020ට මොනව වෙයිද​?”

දරුණු හිතළු වලින් පුම්බන දරුණු මිනිසුන්

කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ වරයා විසින් මේ සිදු කර ඇත්තේ භයානක අදහසක් සමාජගත කිරීමකි. පරිණත ජනමාධ්‍යවේදියකු වන ඔහු සිය වෘත්තීමය සහ දේශපාලනික මුකුහුරායාමෙන් අපගමනය වෙමින් ඉතා භයානක මිත්‍යාවක් සමාජගත කර ඇත. එහි කූටප්‍රාප්තිය එළඹෙන්නේ පකිස්තානු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් දශක දෙකක දැඩි කැපවීමකින් සහ දේශපාලනික ආයෝජනයකින් දිනූ පකිස්තානයේ අගමැතිකම මෙන්, ලංකාවේ ජනාධිපතිකම සංගක්කාර හට අප විසින් රන් තැටියක තබා පූජා කළ යුතු බවට සමාජ ජාල, සමාජ මාධ්‍ය විසින් සිදු කරනු ලබන බොළඳ ඉල්ලීම් සමගය. සංගක්කාර සහ ඉම්රාන් ඛාන් අතර ඇති එකම සමානකම ඔවුන් දෙදෙනාම ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් වීම සහ එනයින් ම සිය රටවල ජාතික සංකේතයක් ව සිට තිබීම විය හැක.  

ඉතා තීක්ෂණ සහ කූඨ උපායන්හි කෙල පැමිණි සංගක්කාර සර්වතොභද්‍ර ඉංග්‍රීසි කතාකරන ‘මහත්මයකු’ බව අන්ධ විශ්වාසයෙන් අදහන්නෝ බෝහොමයකි. ඉංග්‍රීසි ඌරුවට සකසා ගත් ඔහුගේ උච්චාරණයෙන් පටන් ගෙන බටහිර ශෝභාලංකාරයෙන් කුළු ගැන්වුණු ඔහු විසින් අපට ගම්‍ය කරවන පෞරුෂය සාමාන්‍ය ශ්‍රී ලාංකිකයාට සිහිනයෙන් වත් ලඟා විය නොහැක්කකි. රැවටෙන සුළු සාමාන්‍ය ජනයාගේ ඇසින් බලන විට මෙවැනි “මහත්වරු” වැරදි නොකරති. වීරයන් නැති රටක කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් උපයමින් රැකියාව වශයෙන් ක්‍රීඩා කරන්නාද දියසේන කුමරෙකි; ගැලවුම් කරුවෙකි; උත්තානය වූ ජේසු කෙනෙකි; වලෙන් නැගිට ආ අනාගත වක්තෘ වරයෙකි. ශ්‍රී ලාංකිකයාගේ පුද්ගල වන්දනාව සහ ‘බටහිර මටසිලුටු බවට ‘ඇති වන්දනාව එවැනිය. 

ආදරය, ලිංගික සංසර්ගය, වගවීම සහ පාරදෘශ්‍යභාවය

2011 වසරේදී බ්‍රිතාන්‍යයේ ලෝඩ්ස් පිටියේදී MCC Spirit of Cricket (ක්‍රිකට් හි ජීවගුණය) කෞද්රි දේශනය සංගක්කාර විසින් පවත්වන ලදී. එම දේශනා ඉතිහාසයේ වැදගත්ම දේශනය ඔහු විසින් පවත්වන ලද බව බොහෝ දෙනාගේ  පිළිගැනීමයි. එම දේශනයේදී සංගක්කාර මෙසේ පැවසීය “ශ්‍රීලංකා ක්‍රිකට් හි පරිපාලනෙහි දී වගවීම සහ හැසිරීමෙහි පාරදෘශ්‍ය භාවය අභාවයට ගියේ උන්මත්තක ලෙස එහි සිදු වන බල පොරය නිසයි. මෙහි ප්‍රතිපලය නම් පැහැදිලි ස්ථාවර පරිපාලනයක් ක්‍රිකට් වලට අහිමි වීමයි” 

අහෝ කෙතරම් සුන්දරද? සංගක්කාර යහපාලන ප්‍රහේලිකාවේ ද කොටස් ද වන වගවීම සහ පාරදෘශ්‍යභාවය විශ්වාස කරයි! සිය ක්‍රිකට් විශ්‍රාමයෙන් අනතුරුව සංගක්කාර, මහේල ජයවර්ධන සහ තවත් අයවලුන් විසින් ලයිව් ඉවෙන්ට්ස් (Live Events) නමැති උත්සව සංවිධාන ව්‍යාපාරයක් පිහිටුවා ගන්නා ලදී. මෙම ආයතනය විසින් එන්රිකේ ඉග්ලෙසියස් නම් ගායකයා ශ්‍රී ලංකාවට ගෙන්වා “ආදරය සහ ලිංගික සංසර්ගය” (Love and Sex) නමැති සංගීත ප්‍රසංගයක් පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ පෙර නොවූ විරු පරිදි මහදවාලේ කෙරුනු තක්කඩි හොරකමකට පමණක් සමාන කළ හැකි පන්නයේ මහජන මුදල් ගසා කමින් එම ප්‍රසංගය පැවැත්වුණි. පැය තුනක් ඉක්මෙන තුරු එන්රිකේ වේදිකාවට නොපැමිණි අතර ඉතා දුර්වල පිරිස් පරිපාලනය සහ ජනයා කුපිත වීම හේතුවෙන් ඉතා ඉහල මිලක් ගෙවා අසුන් මිලදී ගත් රසිකයන්ට සිය අසුන් පවා අහිමි විය. තවද මෙම සංදර්ශනය වෙනුවෙන් රජයට අයවීම ට තිබූ රුපියල් මිලියන​ 30 ක (ඇමරිකානු ඩොලර් 238,123) නගර සභා බදු නොගෙවා පැහැර හැරීම පිලිබඳ බදු වංචාවක් ද සිදු විය. සිය ක්‍රිකට් ‘තරුත්වය’ තුලින් විශාල සමාජ බලයකට උරුම කම් කී සංගක්කාර සහ ජයවර්ධන කළේ කුමක්ද? සියලු ගෙවීම්, වගවීම්, වගකීම් වලින් රිංගා ගොස් පහත ප්‍රකාශය නිකුත් කිරීමය:“අපි සමාව ඉල්ලුවාට ඔබේ බලාපොරොත්තු භංග වීම සම්පුර්ණයෙන්ම සන්තර්පණය වන්නේ නැති බව අපි දන්නවා. අපි නැවතත් කියා සිටින්නේ ඔබ ගැනත්, රට ගැනත් අපේ ඇති කැප වීම එලෙසම බවයි”. කෙතරම් අලංකාර අහිංසක කැපවීමක්ද? කෙතරම් වගවීමක් සහිතද? කෙතරම් පාරදෘශ්‍යභාවයෙන් පරිපූර්ණද? මෙවැනි තක්කඩියන් ශ්‍රී ලංකාව වඩා හොඳ අනාගතයකට ගෙන යනු ඇති බව විශ්වාස කරන්නාට මම අනුකම්පා කරමි .

පිළිකා කාරක ආහාර පාන වල  සන්නාමකයාසංගක්කාර 

සිමෙන්ති, ජංගම දුරකථන ජාල, කමිස, ගුණාත්මක බවින් හීන මෝටර් රථ, ත්‍රී රෝද රථ වලින් පටන් ගෙන සුපිරි වෙළඳ සල් දක්වා මිල මුදල් ගෙවන්නේ කොතනද එතන සංගක්කාර සිය මුව විවර කර ඇත. තමා පාරදෘශ්‍ය භාවයේ සහ වගවීමේ රසිකයකු බව පවසන අතර ඔහු දශකයක් තිස්සේ පිළිකාකාරක ආහාරපාන වල සන්නාමකයකු ලෙස වෙළඳ දැන්වීම් වලට පෙනී සිටියි. පහත දැක්වෙන කොකා කෝලා දැන්වීම එයට එක් කුප්‍රකට උදාහරණයකි.

පිළිගත් විද්‍යාත්මක ප්‍රකාශන වල පලව ඇති ආකාරයට කොකා කෝලා පානය සහ අග්න්යාශ පිළිකා අතර තහවුරු කළ විද්‍යාත්මක සහ සම්බන්ධතාවයක් ඇත. තවද එය එනමල් දිරායාමට ද සම්බන්ධ වන අතර වයස් භේදයකින් තොරව කෝලා පානය අධෛර්යමත් කරනු ලැබෙයි. විශේෂයෙන්ම මෙය කුඩා දරුවන් සහ නව යොවුන් දරුවන් කෙරෙහි වලංගු වෙයි1. තවද කොකා කෝලා හි අන්තර්ගත ට්‍රයිහැලෝමීතේන් පිරිසිඳුකාරකයන්ට සමාන වන අතර එම සන්ඝටකය සහ පිළිකා අතර සහ සම්බන්ධය විද්‍යාත්මක ගවේෂණ මගින් තහවුරු වී ඇත2 . මෙම කොකා කෝලා වෙළඳ දන්වීමෙයි සංගක්කාර, මහේල සහ අන් අය ඇත ඇති මිලිලීටර් 500 යේ කොකා කෝලා බඩී බෝතලයක ඇති සීනි ප්‍රමාණය ග්රෑම් 53 කි. කුඩා දරුවන් ඇතුළු ප්‍රේක්ෂකයන්ගේ සීනි පරිභෝජනයට ඉන් සිදු කළ ජාතික බලපෑම ගැන අමුතුවෙන් විස්තර කිරීම අවශ්‍ය නැත. දැනට ශ්‍රීලංකාවේ දියවැඩියාව වැළඳීමේ ප්‍රතිශතය 10.3% සිට 15% පමණ වෙයි. දියවැඩියාව නිසා නිසි වයසට පෙර සිදු වන මරණ, දියවැඩියාව හා බැඳුනු හර්ද රෝග, වකුගඩු රෝග, ආඝාතය, අන්ධතාවය වැනි රෝග රැසකි. මෙවැනි පිළිකා කාරක පානයක් ප්‍රවර්ධනය කරමින් සිය සාක්කු මුදලින් පුරවාගෙන කඳුළු පිරි දෑසින් පිළිකාවට එරෙහිව පා ගමනේ යෙදෙන මහේල ජයවර්ධනද කන්නාඩියක් ඉදිරියේ සිට ගෙන තමා දෙසම හොඳින් බැලිය යුතුය. සංගක්කාර සහ මහේල යනු තකට තක පෑහුණු අපූරු ‘සොහොයුරන්’ දෙදෙනෙකි. සංගක්කාරව අපේ දරුවන්ගේ ජනාධිපති කිරීමට පෙර අපි ඔහුගෙන් එක ප්‍රශනයක් ඇසිය යුතු වෙමු. 

ඔබ අපේ දරුවන්ට පොවන්නට කියන කොකා කෝලා ඔබේ දරු දෙදෙනාට ඔබ පොවනවාද? 

සංගක්කාරාගේ මීළඟ පිළිකාකාරක සන්නාමනය සිදු කරනු ලබන්නේ ප්‍රීමා ක්ෂණික චිකන් නූඩ්ල්ස් වෙනුවෙනි.

ක්ෂණික නුඩ්ල්ස් ආහාරයට ගන්නන් අතර සිදු කරන ලද විශාල විද්‍යාත්මක​ පර්යේෂණ වලින් ඒවා අනුභවය සහ පිත්ත නාලිකා පිළිකා අතර ඇති සහ සම්බන්ධ්ය ස්ථාපිත කර ඇත3. 2015 වසරේදී ඉන්දීය රජය ඉන්දීය සුපිරි තරු වන අමිතාභ් බච්චන්, මධුරි ඩික්සිත් සහ ප්‍රීටි සින්ටා ට නඩු පවරනු ලැබුවේ පිළිකාකාරක සීමාවෙන් ඔබ්බට ඊයම් සහ MSG අඩංගු වුනු මැගී නුඩ්ල්ස් ප්‍රවර්ධනය කරමින් ප්‍රජාව නොමග යැවීමට එරෙහිවය. ක්ෂණික ආහාර කර්මාන්තය ලෝකයේ රෝගාබාද වලින් අහිමි වන සක්‍රීය මිනිස් වසර රැසක අහිමි වීමටවග කියන අතර ක්ෂණික නුඩ්ල්ස් එම ආහාර අතර ප්‍රමුඛ ස්ථානයක් ගනියි. 

සංගක්කාරව අපගේ දරුවන්ගේ ජනාධිපති කිරීමට පෙර අප ඔහුගෙන් එක ප්‍රශ්නයක් ඇසිය යුතුය. 

අපගේ දරුවන්ට ප්‍රීමා ක්ෂණික චිකන් නුඩ්ල්ස් කැවීමට පෙර ඔහු එය තමාගේ බිරිඳට සහ දරුවන්ට කවනවාද?

ඔබ මදකට සිතා බලන්න. මේ සියල්ල සිදු කරනුවේ මුදල් වෙනුවෙනි. මේ සියල්ල සංගක්කාර විසින් සිදු කරනු ලබන්නේ කුමන පසුබිමකද? මිලියන ගණනක වැටුපක් ලබන අතරතුරදීය. ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාව මුදලට කරන අතර තුරය. 20-20 ශූරතාවයන්ට මුදලට ක්‍රීඩා කරන අතරතුරය. මෙම හැසිරීම ඔබට කවරක් මතක් කරයිද? මුදල් වෙනුවෙන් සදාචාරය පාවා දෙන මොහු වැනි අන් පිරිසක් ඔබ හඳුනනවාද? ඔව්. ඔබ මෙවැනිම පිරිසක් හඳුනයි. ඔවුන් 225 දෙනෙක් පාර්ලිමේන්තුවේ සිටිති. 

කිරිපිටි මාෆියාවේ රූකඩයසංගක්කාර

පිළිකාකාරක ආහාර පාන වලට අමතවර කිරිපිටි ව්‍යාපාරයෙහි ප්‍රමුඛ සන්නාමකයන් වන්නේ සංගක්කාර සහ ඔහු ගේ බිරිඳයි. මොවුන්දෙදෙනාම දශකයකට ආසන්න කාලයක් තිස්සේ සදාචාර විරෝධී කිරිපිට අලවි ප්‍රවර්ධනයේ යෙදී සිටින්නේ  නීතියේ කුඩා අහුමුලු වලින් ඉතා නිර්ලජ්ජී ලෙස රිංගමිනි. කැල්සියම් සපිරි ආහාර සහ හිරු එලිය බහුල, කැල්සියම් ලැක්ටෙට් පෙත්තක මිල සත පනහකටත් වඩා අඩු ශ්‍රී ලංකාව වැනි රටක මොවුන් දෙදෙනා මාධ්‍ය වල පෙනී සිටිමින් ඉතා මිල අධික ඇනිලින් කිරිපිටි ප්‍රවර්ධනය කරති. මෙම සදාචාර විරෝධී ප්‍රවර්ධනය රෝසි සේනානායක විසින්ද සිදු කළ අතර ප්‍රජා වෛද්‍ය වෘත්තිකයන් හා පාරිභෝගික සංවිධාන මෙම අයථා ප්‍රචාරණයට විරුද්ධත්වය දක්වා ඇත. නමුත් සිය සමාජ බලයෙන් සහ ‘තරුත්වයෙන්’ මෙම සදාචාර විරෝධී ප්‍රවර්ධනය සංගක්කාර විසින් පවත්වා ගෙන යනු ලබන්නේ තමාගේ සහ බිරිඳගේ ක්‍රියාශීලී දිවියට හේතුව ඇනිලින් කිරි පිටි බව පවසමිනි. 

ඉහත ෆොන්ටෙරා ආයතනය ගෝලීයව මවුකිරි දීම නිරුද්ධ කිරීමේ ප්‍රධානතම බලවේගයක් වන අතර, ඇන්කර් පීඩියා ප්‍රෝ නමැති ළදරු කිරි වර්ගය ශ්‍රී ලංකාව තුල අයථා ලෙස ප්‍රවර්ධනය කිරීම නිසා ළමා විශේෂඥ වෛද්‍ය වෘත්තිකයන්ගේ සහ අධ්‍යාපන විද්‍යාඥයන්ගේ දැඩි විවේචනයට ලක්වූ ආයතනයකි. එම සමාගමෙහි උපක්‍රමය නම් විවිධ ප්‍රසිද්ධ පුද්ගලයන් භාවිතා කර පිටිකිරි භාවිතය ප්‍රචලිත කිරීමය. 

සිය දරුවන් වෙත පවතින ලෙස අන් දරුවන් වෙත නොපවතින්නෝ කවූරුන් වෙත්ද? ඔවුන් සිටිනන්නේ දියවන්නාව ආශ්‍රිත එක ගොඩනැගිල්ලකය. සංගක්කාර එහි නොසිටියද හැසිරීම නම් එබඳුය.

සංගක්කාරගේ කූඨ පිළිතුර 

සගක්කාරගේ වයස 41කි. ශ්‍රී ලාංකික පුරුෂයකුගේ උපතේදී ආයු අපේක්ෂාවට අනුව ඔහුට තව ජීවත් වීමට දශක 4කත ආසන්න කාලයක් ඉතිරි වී ඇත. පිළිකාකාරක ආහාර ප්‍රවර්ධනයෙන් හෝ අන් අයුරකින් ඔහු ඉපයූ ධනය වියදම් කරමින් ඔහු වසර 40ක් ජීවත් වනු ඇති බව සිතීම හිතළුවකි. තමාවම ප්‍රවර්ධනය කරගන්නා තමා වෙතම නැමුණු, ස්වායත්තයම පතන, තියුණු නුවණැති සංගක්කාර දේශපාලන බලයට ඉව කරමින් සිටිනු ඇතියයි සිතීම සාධාරණ උපකල්පනයකි. එම සිතුවිල්ල පවා සජිත් ප්‍රේමදාස, නවින් දිසානායක සහ පාටලී චම්පික රණවක වැන්නවුන්ගේ ගත සලිත කරනවා නොඅනුමානය. ඉම්රාන් ඛාන් ගේ ආගමනය සමග සංගක්කාරගේ ආගමනයේ සේයාව අප වෙත සිතුවාට වඩා කලින් ලඟා වුවා පමණි. එය බොහෝ කල් සිට දේශපාලනය මත වැටී තිබුණු අදෘශ්‍යමාන සේයාවකි. සිලෝන් ටුඩේ පුවත්පත සංගක්කාර දේශපාලනයට පිවිසීම අර්ධ වශයෙන් බැහැර කරමින් ප්‍රකාශයක් නිකුත් කළ බව ලියූ පුවතට සංගක්කාර දක්වන්නේ  කූට ප්‍රතිචාරයකි. සිය ට්විටර් ගිණුම තුළින් එහි ගෑවී නොගෑවී පිළිතුරු දෙන ඔහු පවසන්නේ “මේ උද්ධෘතය දුන්නේ කවුද? මේවා මා කියු වචන නොවෙයි”.

ඔහුගේ ධන තණ්හාව කෙබඳු වුවද, සංගක්කාර විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ලෝක ක්‍රිකට් යන ක්ෂේත්‍ර දෙකටම සිදු කර ඇති අති මහත් සේවය සලකා බලන විට ඔහුගේ ධීමත් බව හිමි අයෙකු එකතු වී ඇති 2020 ජනාධිපති අපේක්ෂක ලැයිස්තුව විටෙක භයංකරය; අවිනිශ්චිතය; සැක සහිතය; ප්‍රයෝගික නැත; හාස්‍යජනකය. එම ලැයිස්තුවට අයත් වන්නන් නම්: ගෝඨාභය​ රාජපක්ෂ, නාගානන්ද කොඩිතුවක්කු, රොහාන් පල්ලෙවත්ත, මාලින්ද සෙනවිරත්න සහ ලංකාවේ සිහින කුමරා ලෙස තමාව හඳුන්වා දෙන මධු රොක්ස් ය. (පසු ගිය සතියේ යූ ටියුබ් හි වැඩියෙන්ම සංසරණය වූ ශ්‍රී ලාංකික වීඩියෝ මධු රොක්ස්ගේ වීඩියෝ වෙයි)

කෙතරම් හද රිදුම් දුන්නද සිය සුපිරි තරු කෙරෙහි පවත්නා අස්ථානගත ආලෝලනයෙන් ශ්‍රී ලාංකිකයන් හට මිදීමට කාලය පැමිණ ඇත. ඔවුන් කරුණු මත පදනම්ව, ඉන් ගම්‍ය වන සත්‍යයට මුහුණ දිය යුතුය. අපට ක්‍රිකට් කෙරෙහි ඇති බැඳීම කෙබඳු වුවද සංගක්කාර වැන්නවුන්ගේ ක්‍රිකට් කෞශල්‍යයෙන් අපි දේශපාලනය වෙන් කර ගත යුතු වෙමු. අපේ විචක්ෂණය සුපිරි තරු ඉදිරියේ නිවහල් කර ගත යුතු වෙමු. අප නායකයකුගෙන් සැබවින්ම සොයන්නේ කුමක්දැයි අප අපෙන්ම විමසා සිටිය යුතු වෙමු.

දත්ත මත පදනම් වූ සංගක්කාර පිලිබඳ යථාර්ථය නම් ඔහු අපගේ පීඩක පාලකයන්ගේ බොහෝ ගතිස්වභාවයන්ගෙන්ම​ සැදුනු අයෙක් බවය. රසිකයකුට තමා ඇදහු ප්‍රතිමාවක් කඩා බිඳ දැමීම වේදනාබරය. නමුත් සත්‍යයක් දකින්නේ, එය ප්‍රකාශ කළ යුතුය. නැතහොත් එය ලිවිය යුතුය. 

සංගා, බොහොම ස්තුතියි, ඔබව නම් එපා! 

සම්මුද්දේශයන්

1. Navneet Singh and Kuruswamy Thurai Prasad, A Cola to Improve My EGFR TKI Absorption in Metastatic Non–Small-Cell Lung Cancer? No, Thank You, I Prefer Lemonade or Orange Juice Instead, Journal of Clinical Oncology, 34, 33, (4053), (2016).

2. K.O. Ajanaku, C.O. Ajanaku., A. Edobor-Osoh. and O.C. Nwinyi., Nutritive Value of Sorghum Ogi Fortified with Groundnut Seed (Arachis hypogaea L.), American Journal of Food Technology, 7, 2,  (82), (2012).

3. Takeshi Makiuchi, Tomotaka Sobue, Tetsuhisa Kitamura, Junko Ishihara, Norie Sawada, Motoki Iwasaki, Shizuka Sasazuki, Taiki Yamaji, Taichi Shimazu and Shoichiro Tsugane, The relationship between vegetable/fruit consumption and gallbladder/bile duct cancer: A population‐based cohort study in Japan, International Journal of Cancer, 140, 5,  (1009-1019), (2016).

*මෙම ලිපිය ගෘෂා ඇන්ඩ්රූස් විසින් කලම්බු ටෙලිග්‍රාෆ් වෙත ලියු Carcinogenic Kumar: Thanks, But No Thanks හි සිංහල වෙළුමයි. පරිවර්තනය ගෘෂා ඇන්ඩ්රූස් විසිනි. 

Back to Home page