Colombo Telegraph

බොදුබල සේනාව සහ බෞද්ධ-මුස්ලිම් ගැටුමකට තල්ලුවක්

හරීම් පීරිස්

සමහර විට තිස් අවුරුදු සිවිල් යුද්ධයක් අවසන්ව තිබීම තුළ ඇති විය හැකි ඒකාකාරී නීරස බවක් නිසා දෝ, මුස්ලිම් ජනතාවට එරෙහිව බෞද්ධයන්ව උසිගැන්වීමේ ප‍්‍රවණතාවක් වන බොදුබල සේනා ව්‍යාපාරය, අහම්බයකට වඩා සැලසුම් සහගත ව්‍යාපෘතියක් වී තිබේ. එය, යම් ප‍්‍රශ්නයක් අවශ්‍ය අවස්ථාවක උත්සන්න කිරීමේ සහ අවශ්‍ය අවස්ථාවක හකුලා ගැනීමේ සම්භාව්‍ය හමුදා උපායික ලක්ෂණ පෙන්නුම් කරන්නකි. මීට පෙර දඹුල්ලේ දී වේවා, නුගේගොඩ දී වේවා ඇති වූ සිදුවීම්වලින් පසු ටික කලක් එය නිහඬව සිටියේය. ඒ ආකාරයෙන්ම, දැන් ‘‘2014 අඳුරු ජුනිය’’ තුළ සිදුවූ මුස්ලිම්-විරෝධී ක‍්‍රියාකාරකම් පිළිබඳ වගකීම ආණ්ඩුවේ ආරක්ෂක අංශ සහ ඒවා ඇති කළ අන්තවාදීන් විසින් ප‍්‍රතික්ෂේප කොට තිබේ. ඒ සිදුවීම් පසුපස තමන්ගේ සාංගමක් නැතැ යි ආණ්ඩුවේ ආරක්ෂක අංශ කියන අතර, එම උසිගැන්වීම තමන් විසින් කරන ලද්දක් නොවෙතැ යි බොදුබල සේනාව කියයි. දෙපාර්ශ්වයම හදන්නේ, එය ඉබේ හටගත් දෙයක් වශයෙන් මවා පෑමටයි.

ශ‍්‍රී ලංකා සමාජය මේ කාරණයේ දී පොදුවේ දේශපාලන නායකයන්ව හෙළාදකිති. ආණ්ඩුවේ පාර්ශ්වකාරයන් මෙන්ම විපක්ෂය ද, මුස්ලිම් ප‍්‍රජාවට සේම ක‍්‍රිස්තියානුන්ට ද එරෙහිව ක‍්‍රියාත්මක වන බොදුබල සේනාව අන්තවාදී ව්‍යාපාරයක් වශයෙන් හෙළාදකී. රිෂාද් බද්උද්දීන් සහ වාසුදේව නානායක්කාරගේ පටන් ඩිව් ගුණසේකර සහ තිස්ස විතාරණ වැනි ආණ්ඩුවේ ප‍්‍රමුඛ පෙළේ ඇමතිවරු, එක හඬින් බොදුබල සේනාව විවේචනය කරති. එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක මංගල සමරවීර, බොදුබල සේනාවේ සහායකයන් වශයෙන් කෙලින්ම ආණ්ඩුවේ ආරක්ෂක අංශ නම් කරන අතර, එක්සත් ජාතික පක්ෂයේ බේරුවල සහ අළුත්ගම මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම, සමස්ත සිද්ධිය පොලීසිය විසින් යටගසන බවට චෝදනා කරයි. සිද්ධිවලින් මියගිය මුස්ලිම් පුද්ගලයන් තුන් දෙනාගේ සිරුරුවල වෙඩි පහරවලින් ලද තුවාල තිබියදී, ඔවුන්ගේ මරණ පිහි පහරවලින් සිදුවූවක් යැයි කියන අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාව බොරුවක් බව නීතිඥයෝ පෙන්වා දෙති. එසේ නම්, එදා තුවක්කු තිබුණේ කා අතේ ද යන ප‍්‍රශ්නය මතු වෙයි. මේ අතර, බොදුබල සේනාවට විරුද්ධව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය නීතිපති දෙපාර්තමේන්තුවට විධිමත් පැමිණිල්ලක් ගොනු කොට තිබේ. මේ තත්වය ගැන වැඩියත්ම සුළුජාතික පක්ෂ ද කැළඹීමට පත්ව ඇත. මුස්ලිම් කොන්ග‍්‍රස් නායක රවුෆ් හකීම් සහ දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මේ තත්වය හෙළාදැක තිබේ. ජනාධිපති රාජපක්ෂට පවා, පීඩාවට පත්වූ ජනතාව මුණගැසීමට ගොස් වන්දි ගෙවීමක් ගැන එහෙන් මෙහෙන් කතා කිරීමට සිදුවිය. පැහැදිළිවම, අළුත්ගම සහ බේරුවල ප‍්‍රචණ්ඩත්වය ගැන පොදුවේ සමාජය දරණ ආකල්පය ඉතා විවේචනාත්මක ය. කෙසේ වෙතත්, පාලකයන්ගේ ප‍්‍රතිචාරය දෙයාකාර ය. එක පැත්තකින්, තමන් කිසිවකට සම්බන්ධ නැතැ යි යන ප‍්‍රතිකේෂේප කිරීම තිබේ. එය විශ්වාස කරන කෙනෙක් නම් නැත. අනිත් පැත්තෙන්, ප‍්‍රචණ්ඩත්වය යුක්ති සහගත කෙරෙන උත්හාසයක් ද පෙනෙන්ට තිබේ.

දළදා මාළිගාවට ප‍්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ දෙමළ ජනතාවට එරෙහිව සිංහල මහජනයා සැහැසි වුණේ නැත. ජුලි 16 වැනි දා ජාතික පුවත්පතකට සම්මුඛ සාකච්ඡුාවක් දෙමින් බොදුබල සේනාවේ ලේකම්වරයා, සිදුවූ ප‍්‍රචණ්ඩත්වය සාධාරණීකරණයක් සඳහා පමණක් නොව, අනාගත ප‍්‍රචණ්ඩත්වයක් සඳහා වන පසුබිම් සකස් කිරීමක් සඳහා ද උත්සාහ දරා ඇති බව පෙනේ. මෙහි දී කිව යුතු වැදගත් කාරණයක් තිබේ. මෙවැනි අන්තවාදී කල්ලිවලට ප‍්‍රසිද්ධිය දීමේ ඇති සදාචාරය ගැන සිතා බැලිය යුතුය. ඔවුන්ට අවශ්‍ය නිදහස් ප‍්‍රචාරය සහ යම් ගෞරවයක සේයාවක් මෙවැනි අවස්ථා හරහා ඔවුන්ට සැපයේ. එය වැළැක්විය යුතුව තිබේ. මෙවැනි අනවශ්‍ය ප‍්‍රමුඛත්වයක් සහ ප‍්‍රසිද්ධියක් ඔවුන්ට ලබා දීමෙන් මේ රටේ මාධ්‍ය, ඇති වුණු තත්වය ගැන යම් වගකීමකට හසුවන බව නියෝජ්‍ය ඇමති ෆයිසර් මුස්තාපා කියා ඇත්තේ එබැවිනි. මෙවැනි භික්ෂූන්, වෙනත් ආගමිකයන් සහ ජාතිකයන්ව පමණක් නොව, තමන්ගේ වෙනත් භික්ෂූන්වත් නොඉවසන බව රටම දන්නා කාරණයකි. වෙනත් මත දරණ එවැනි භික්ෂුන්ගේ පුවත්පත් සාකච්ඡුාවලට මොවුන් කඩා වැදුණු අවස්ථා පසුගිය කාලයේ වාර්තා විය.

බොදුබල සේනා ලේකම්වරයාගේ ඉහත කී සම්මුඛ සාකච්ඡුාවේ දී ඔහු කියන්නේ ජනතාව කුපිත වුණේ ඊට දින තුනකට පෙර බෞද්ධ භික්ෂුවකට කළා යැයි කියන පහරදීමක් නිසා බවයි. එවැනි නිරායාස කුපිත වීම් සිදුවන්නේ යමක් සිදු වූ වහාම මිසක් දින තුනක් වැනි විරාම කාලයකියන් පසුව නොවේ. එවැනි කුපිතකාරී බවක් පසුව ඇති වෙතොත් එය, යම් උසිගැන්වීමක ප‍්‍රතිඵලයක් වශයෙන් සිදුවන්නකි. කියන ලද භික්ෂුවට හෝ ඔහුගේ රියැදුරාට කළා යැයි කියන පහර දීම ගැන පරීක්ෂණයක් අධිකරණය ඉදිරියේ තිබේ. ඒ නිසා එම සිද්ධිය අළලා බොදුබල සේනාව රැුස්වීමක් පැවැත්වීම අධිකරණයට කළ අපහාසයකි.

තවද, අපේ රටේ සහ සමාජයේ ආගමික සම්ප‍්‍රදායන්ට කෙරුණු නිහීනම සහ බියසුළුම ප‍්‍රහාරය එල්ල වුණේ දළදා මාළිගාවට ය. එහෙත් ශ‍්‍රී ලංකාවේ නම්බුවට සහ එවක සිටි නායකයන්ගේ සිහිකල්පනාවට ස්තුතිවන්ත වන්නට, එදා දෙමළ-විරෝධී සංහාරයක් පටන් ගැනුණේ නැත. ත‍්‍රස්තවාදී කුපිත කිරීමකින් නැගී සිටීමක ඇති මෝඩ කම, 83 කළු ජුලියෙන් දකුණේ සමාජය ඉගෙනගෙන තිබුණි. එවැනි පාඩමක්, දැන් පාරේ රථ වාහන රණ්ඩුවක් සම්බන්ධයෙන් අමතක කරනු ලැබීම, විශාල සහ බලගතු උදව්වකින් තොරව කළ හැකි දෙයක් නොවේ.

අනාගත ප‍්‍රචණ්ඩත්වයකට බිම සකස් කිරීමක්

බොදුබල සේනාව විසින් අතීතයේ ඇති කරන ලද හිංසනය තුළ ඇති වඩාත් සිත් කළඹවන කාරණය වන්නේ, අනාගතයටත් හිංසනය වැපිරීමට ඔවුන් කරන සම්මාදමයි. රටේ මුස්ලිම් අන්තවාදීන් සිටින බවත්, එවැනි බලවේග හඳුනාගත යුතු බවත්, ඔවුන්ගේ එක් කෝන්තරයකි. තදින්ම ආණ්ඩු හිතවාදී ‘ජාතික ෂූරා මණ්ඩලයත්’, ‘සමස්ත ලංකා ජමයියතුල් උලමා’ සංවිධානයත්, බොදුබල සේනාවට අනුව, එවැනි අන්තවාදීන් සංවිධානයන් ය. නැගෙනහිර ක‍්‍රියාත්මක වෙතැ යි කියන ඇතැම් නාඳුනන මුස්ලිම් සංවිධාන ගැන බැලූවත් පෙනී යන කාරණයක් වන්නේ ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් හිංසාකාරී නොවන බවයි. සමහර විට ඔවුන් තමන්ගේ ආගමික විශ්වාසයන් සහ භාවිතාවන් කෙරෙහි සෙස්සන්ට වඩා ඇලෙනවා වන්නට පුලූවන.

බොදුබල සේනා ප‍්‍රචණ්ඩත්වය පසුපසින් එන ඊළඟ හේතුවාචකය වන්නේ, සිංහල බෞද්ධයන් අනෙක් සුළුතර ආගමිකයන්ගෙන් තර්ජනයට ලක්ව ඇති බවත්, ආණ්ඩුව ඒ ගැන කිසිවක් නොකරන නිසා, මෙවැනි ප‍්‍රචණ්ඩත්වයන් ඇති වන බවත් ය. සිංහල බුද්ධාගම ව්‍යාප්ත වීමකට වඩා සෙස්සන් විසින් වටකරනු ලැබීමකට ලක්ව ඇතැ යි යන කතාව දැන් කාලයක් තිස්සේ ජාතික හෙළ උරුමයත්, ජාතික නිදහස් පෙරමුණත් වමාරමින් සිටින කතාවකි. එහෙත් රාජපක්ෂ පාලන කාලය තුළ මේ කතාව දිරවා ගැනීම පහසු දෙයක් නොවේ. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කෙරුවාවල් හැටියට, ඔහු සිංහල බෞද්ධයන්ගේ ද්‍රෝහියෙකු වශයෙන් මොන විදිහකින්වත් කෙනෙකු සළකන්නේ කෙසේද? සත්‍යය වී ඇත්තේ එහි විලෝමයයි. දෙමළ සහ මුස්ලිම් යන ප‍්‍රජාවන් දෙකම, ඔහුගේ පාලනය තමන්ට එදිරිවාදී එකක් බව ඡුන්දය පාවිච්චි කිරීමෙන් පෙන්නුම් කොට තිබේ. එපමණක් නොව, සිංහල බෞද්ධයා අනතුරේ යැයි මොරදෙන ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ, මෑතදී පැවැත්වූ පළාත් සභා මැතිවරණවලින් සාර්ථකත්වයක් නොලැබීම මගින් පෙන්නුම් කරන්නේ, ඔවුන්ගේ මැසිවිල්ල දකුණේ ඡන්දදායකයා පවා නොපිළිගන්නා බවයි. ඡන්දයටත් වලංගු නැති එවැනි හේතුවාචකයකි, බොදුබල සේනාව, තමන්ගේ හිංසනය සඳහා දැන් පාවිච්චි කරන්නේ.

*2014 ජුලි 17 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ “BBS & A Catalyst for a Buddhist-Muslim Conflict” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Back to Home page