Colombo Telegraph

ව්‍යවස්ථා ප්‍ර​තිසංස්කරණ පිළිබඳ පවතින අහේතුක භීතිකා

හරීම් පීරිස් –

හරීම් පීරිස්

පසුගිය සති කිහිපයක කාලය තිස්සේ, ජ්‍යෙෂ්ඨ ආගමික නායකයන් ඇතුළු සමාජයේ විවිධ ස්ථර වෙතින් ව්‍යවස්ථා ප්‍ර​තිසංස්කරණ ව්‍යායාමය පිළිබඳ මතු කෙරෙන සැකසාංකා උත්සන්න වී තිබේ. අලුත් ව්‍යවස්ථාවක් සඳහා පෙනී සිටින පිරිස් විසින් එම සැකසාංකා දුරු කරනු වස් නිශ්චිතව කරුණු ඉදිරිපත් කොට ඇතත්, විරුද්ධවාදීන්ගේ දැඩි ඝෝෂාව ඉදිරියේ එවැනි කරුණු දැක්වීම් කෙරෙහි වැඩි ප‍්‍රචාරයක් ලැබී නැත. ව්‍යවස්ථා ප්‍ර​තිසංස්කරණ කෙරෙහි විරෝධය දක්වන්නන්ගේ තර්ක දෙස බලන විට පොදු කාරණා කිහිපයක් දැක ගත හැකි වන අතර ඒවාට ආමන්ත්‍ර​ණය කළ යුතුව තිබේ.

ඒකීය රාජ්‍යය සහ බුද්ධාගමට ප්‍ර​මුඛ ස්ථානය

ශ‍්‍රී ලංකාවේ දැනට පවතින ව්‍යවස්ථාව තුළ තිබෙන රාජ්‍යයේ ඒකීය භාවය සහ බුද්ධාගමට පිරිනමා ඇති ප‍්‍රමුඛ ස්ථානය ඒ ආකාරයෙන්ම අලූත් ව්‍යවස්ථාව තුළ ද පවතින බවත්, යෝජිත ප‍්‍රතිසංස්කරණ සිදු කරනු ලබන්නේ ඒ මූලික ස්ථාවරයන් වටා පමණක් බවත්, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවේ නායකයන් සේම විපක්ෂ නායක ආර්. සම්බන්දන් විසින් ද, ඉතා පැහැදිළිව මුළු රටටම කිහිප විටක්ම ප‍්‍රකාශ කොට තිබේ. ඒ සහතිකය සහ පොරොන්දුව, අදාළ ප‍්‍රතිසංසකරණ ඇති කෙරෙන තීරණාත්මක පසුබිම් සන්දර්භය වශයෙන් ගත යුතුව තිබේ. ආණ්ඩුව විසින් නැවත නැවතත් සපයා ඇති එකී ප‍්‍රතිඥාව ගැන සැකයෙන් පසුවන කෙනෙකු වෙත් නම්, ශ‍්‍රී ලංකාවේ සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සභාවක් වශයෙන් කටයුතු කිරීම සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයක්ම එම ව්‍යවස්ථා සභාවේ මෙහෙයුම් කමිටුව තුළ නිල වශයෙන් නියෝජනය වීම තුළින් දැනට ඇති කෙරෙන සර්ව පාක්ෂික නියෝජනාත්මක ක‍්‍රියාවලිය කෙරෙහි විශ්වාසය රැුඳවිය හැකිය.

ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සඳහා අවශ්‍යතාවක් නැති බව විරෝධතාකරුවෝ කියති. අවශ්‍යතාවක් ඇතත්, මෙය ඒ සඳහා සුදුසු කාලය නොවන බව ඔවුන්ගේ අදහසයි. එහෙත් මේ මතය, සමකාලීන ශ‍්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ අත්දැක ඇති ප‍්‍රධාන කාරණා දෙකක් මගින් නිෂේධනය කෙරේ. පළමුවැන්න වන්නේ, නිදහස ලැබූ දා සිටම වාගේ ශ‍්‍රී ලංකා රාජ්‍යය ප‍්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව ලංකාවේ සමාජය තුළ එක දිගටම තිබී පැවතීමයි. බණ්ඩාරනායක-චෙල්වනායගම් සහ ඩඞ්ලි-චෙල්වනායගම් ගිවිසුම් දෙක තුළම, ශ‍්‍රී ලාංකීය සමාජයේ පවතින විවිධත්වය ලාංකීය රාජ්‍යය තුළ ප‍්‍රතියෝජනය වන බවට සහතික වනු වස් විශේෂිත යෝජනා ඉදිරිපත්ව තිබුණි. එයින් පෙනී යන්නේ, සන්නද්ධ ගැටුම්කාරී අවධිය එළැඹීමටත් පෙර සිටම, ලාංකීය රාජ්‍යය ප‍්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ සංවාදය රට තුළ පැවතී ඇති බවයි.

එසේම, සන්නද්ධ අවධිය තුළදීත් එම සංවාදය දිගටම කෙරීගෙන ගියේය. ජනාධිපති ජයවර්ධනගේ පාලන කාලයේත්, ජනාධිපති පේ‍්‍රමදාසගේ පාලන කාලයේත් පැවති සර්ව පාක්ෂික සමුළු ක‍්‍රියාවලිය, ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංගගේ පාලන කාලය තුළ බලතල බෙදා හැරීම පිළිබඳ සංවාදය ඔස්සේ 2010 අගෝස්තුවේ ගෙනා අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථා කෙටුම්පත, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සර්ව පාක්ෂික සමුළුව සහ එහි විධායක අංශය වූ, මහාචාර්ය තිස්ස විතාරණ යටතේ පැවති සර්ව පාක්ෂික නියෝජිත කමිටුව මෙන්ම, වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව 2016 මුල් කාලයේ සමස්ත පාර්ලිමේන්තුවේ ඒකච්ඡන්දයෙන් සම්මත කර ගත් වර්තමාන ව්‍යවස්ථා සභා ක‍්‍රියාවලිය ඊට දෙස් දෙයි. ජනාධිපති සිරිසේන ඉතා නිවැරදිව ප‍්‍රසිද්ධියේම කියා ඇති පරිදි, අවුරුදු 70 ක් තිස්සේ මේ ගැන අප කතා කරමින් සිට ඇති අතර දැන් පැමිණ ඇත්තේ එම ප‍්‍රශ්නය විසඳීමේ කාලයයි.

කාලය පිළිබඳව මතු කරන ප‍්‍රශ්නය සම්බන්ධයෙන් කිව යුතුව ඇත්තේ, ඉහත සඳහන් කළ පරිදි, ශ‍්‍රී ලංකාවේ නිදහසෙන් පසු ඉතිහාස කාලය තරමටම පාහේ දීර්ඝ කාලයක් මේ ප‍්‍රශ්නය ගැන කතා කිරීම සඳහා අප ගත කොට ඇති බවයි. රාජ්‍යයක් ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා, යුද්ධයක් අතරතුර කාලයක් හෝ යුද්ධයක් අතරමැද කාලයක් යෝග්‍ය නොවන බවට කෙනෙකු තර්ක කළොත් එම තර්කයේ යම් වලංගු භාවයක් තිබේ. එහෙත් යුද්ධයක් අවසන් වීමෙන් පසු සමාජයක් සාමකාමී අදියරකට අවතීරණ වෙයි. එහිදී, යුද්ධයේ රාජ්‍යය ආයිත්තම්, සාමයේ අවශ්‍යතා සහ යෝග්‍යතා අනුව ප‍්‍රතිසංස්කරණය වීම අත්‍යාවශ්‍ය වන්නේය. ඒ වනාහී, ප‍්‍රචණ්ඩකාරී අතීතයක් අවසන් කොට, ප‍්‍රතිසංස්කරණ සහ වෙනස්කම් සඳහා වන වෙනස් මාවතක් දිගේ ඉදිරිය බලන, ප‍්‍රචණ්ඩත්වයේ සහ අසීමිත විනාශයේ හේතු කාරණා සහ අසාර්ථකත්වයන්ගෙන් වෙනස් මාවතක් ඔස්සේ යන ගමනකි.

බලය බෙදාහදා ගැනීම, බෙදී වෙන්ව යාමකට පාර කපන්නේය

ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණවලට විරෝධය පාන්නන්ගේ තවත් ප‍්‍රධාන විරෝධයක් වන්නේ, ප‍්‍රාදේශීය විවිධත්වය වැඩියත්ම නිරූපණය වන සහ බිම් මට්ටමට වඩාත් සමීපතම වන පළාත් සභා වැනි දෙවැනි පෙළේ රාජ්‍ය ඒකකවලට දේශපාලන බලය බෙදා හැරීම පිළිබඳ කාරණාවයි. කෙසේ වෙතත්, නිදහස ලැබීමෙන් පසු ලංකාවේ ඉතිහාසයෙන් අඩකට ආසන්න කාලයක් හෙවත් දශක තුනක කාලයක් තිස්සේ පළාත් සභා පිළිබඳ අත්දැකීමක් අපට ඇත්තේය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ මෙම පළාත් සභා පිහිටුවනු ලැබූ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් මතු කරන ලද විනාශය පිළිබඳ භීතිකාව පුස්සක් වී ඇති බව අද අපි දනිමු. පිටකොටුවේ බෝ ගස යටට රැුස්වී එම පළාත් සභාවලට විරෝධය පෑ ඇතැම් නායකයන් තවම ජීවතුන් අතර සිටින අතර තවත් අය අද ජීවතුන් අතර නැත. කෙසේ වෙතත්, එතැන් සිට දිග හැරුණු බලය බෙදීම අරභයා වන දේශපාලන සංවාදය සහ ක‍්‍රියාවලියත්, පරිපාලනමය සහ විධායක මෙන්ම නෛතික ව්‍යවහාරයත් ඔස්සේ අද දක්වා අප පැමිණ ඇති ගමන් මග ගැන සලකා බලන විට, දශක තුනකට ඉහතදී ඒ ආශ‍්‍රයෙන් මතු කරන ලද විරෝධතා සහ විවේචන එයාකාරයෙන් මතු කිරීමේ හැකියාවක් අද නැත.

ශක්තිමත් විධායක ජනාධිපතිවරයෙක්

ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ අරභයා මතු කරන ඊළඟ විරෝධය වන්නේ විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙනි. ශක්තිමත් වූත්, උපරිමයෙන් කේන්ද්‍රගත වූත් විධායක ජනාධිපතිවරයෙකු සිටිය යුතු බව විරෝධතාකරුවෝ කියති. රෝම අධිරාජ්‍යය පරිහානියට පත්වන අවදියේ එය වළක්වාලනු වස් රෝම සෙනේට් සභාව විසින් රෝම ඒකාධිපතියන් පත්කර ගනු ලැබූ අසාර්ථක අත්හදාබැලීමට මෙම ආස්ථානය සාම්‍යත්වයක් දරයි. නැතහොත්, තුලන සහ සංවරණවලින් තොර රාජත්වයක් පැවති ලංකාවේ උඩරට රාජධානි කාලයට එහි සමීපත්වයක් තිබේ. ඇත්ත වශයෙන්ම අපේ ඓතිහාසික අත්දැකීම වන්නේ, පරම බලය නිසා රාජ්‍යය දුර්වල වී ඇති බවයි. සමහර විට එය රජවරුන්ට එරෙහිව නැගුණු කැරලි හරහා විය හැකිය. නැත්නම් අපේ ශක්තිමත්ම මධ්‍යගත ජනාධිපතිවරුන්ගේ පාලනයන්ට එරෙහිව නැගුණු කැරලි විය හැකිය. ඊට ප‍්‍රතිපක්ෂව, පරම දේශපාලන බලය පාලනය කෙරෙන තුලන සහ සංවරණ තුළින්, සියලූ සමාජ කොටස් ඒකාග‍්‍ර කර තබා ගැනීම තුළින්, දේශපාලනික බහුත්වවාදී පරිසරයක් නිර්මාණය කර ගැනීම තුළින්, සමාජ ඒකාබද්ධතාව සහ ජාතික පක්ෂපාතීත්වය පෝෂණය කොට ශක්තිමත් කර ගත හැක්කේය. අවසානයේ, ජාතික රාජ්‍යය බැඳ තබන සමාජ සංගත භාවය ඒ මගින් සවිමත් වන්නේය.

*2017 ඔක්තෝබර් 29 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ “Needless Fears About Constitutional Reforms” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Back to Home page