13 June, 2024

Blog

මෙය මැතිවරණ අයවැයක්ද?

හර්ෂ ගුණසේන –

හර්ෂ ගුණසේන

මෙම අයවැය සම්බන්ධව බොහෝ විවේචන එල්ල වෙමින් තිබේ. මෙය මැතිවරණ අයවැයක් බවද දිගින් දිගටම කෙරෙන ණය ගැනීම් වලින් සමන්විත අයවැයක් බවද මෙහි ඇත්තේ විකිණීම, බදු ගැසීම සහ ණය  ගැනීම  පමණක් බවද ප්‍රකාශ වේ. අයවැයේ සාරාංශය ගෙන බලන විට පෙනීයන්නේ මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායක අනුව සකසන ලද අයවැයක් බවය. මෙහි දක්වා ඇති පළමුවන වගුවේ තොරතුරු ගත්තේ අයවැය කතාවේ ඇමුණුම I සහ ඇමුණුම II හි ඇති තොරතුරු අනුවය. මෙම සංඛ්‍යා වල සුළු පරස්පරතාවක් තිබේ. 

වගුව අනුව සමස්ත ආදායම රු. බිලියන 4,164ක් වන අතර පොලී ගෙවීම් හැර මුළු වියදම රු. බිලියන  4,358කි. මෙම සංඛ්‍යා දෙකෙහි වෙනස හෙවත් ප්‍රාථමික ගිණුමේ හිඟ  ශේෂය රු. බිලියන 194 කි. මුල්‍ය අරමුදල සමඟ එකඟ වූ කොන්දේසි අනුව වර්ෂ 2024 දී ප්‍රාථමික ගිණුමේ ශේෂය දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.8%ක අතිරික්තයක් විය යුතුය. එනමුත් මෙම අගය ද.දේ.නි. යෙන් 0.6%ක හිඟයකි. බැංකු ප්‍රති ප්‍රාග්ධනීකරණය සඳහා වැයවෙතැයි අපේක්ෂා කරන සහ ප්‍රාග්ධන වියදම් වල ඇතුලත් කර ඇති රු. බිලියන 450 අයවැය කථාවේ ඇමුණුම් වල සෑම විටම වෙනම ද දක්වා තිබේ. මෙම වෙනම දැක්වීමේ ඉලක්කය මෙරට ජනතාව හෝ පාර්ලිමේන්තුව හෝ නොවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. මෙම රු. බිලියන 450 ඉවත් කළ විට ප්‍රාථමික ගිණුමේ ශේෂය ද. දේ. නි. යෙන් 0.8%ක් වන අතර එය මූල්‍ය අරමුදලේ ඉලක්කය සමඟ සමපාත වේ. 

රාජ්‍ය බැංකු ප්‍රති ප්‍රාග්ධනීකරණය රනිල් වික්‍රමසිංහ මෙවර මුදල් ඇමති වී ඉදිරිපත් කළ 2022 අතුරු අයවැයේ ද සඳහන් විය. එය මූල්‍ය අරමුදල සමඟ එකඟවූ  කොන්දේසි වලද ඇතුලත්ය. ඔහු විසින් අතුරු අයවැයෙන් යෝජනා කළේ රාජ්‍ය බැංකු වල කොටස් වලින් 20%ක් බැංකුවල සේවකයන්ට සහ තැන්පත්කරුවන්ට ලබා දෙන බවයි. රාජ්‍ය මුදල් වලින් කොටසක් ප්‍රති ප්‍රාග්ධනීකරණයට යොදවා ඉන් පසුව බැංකු වල කොටස් වලින් 20%ක් පුද්ගලීකරණය කිරීමට බලාපොරොත්තු වන බව පෙනෙන්නට තිබේ. එය පැහැදිලි නැත. රක්ෂණ සංස්ථාව සහ අර්ථසාධක අරමුදල වැනි ආයතන හරහා රජය විසින් සතුකර ගෙන තිබෙන වාණිජ බැංකු කොටස් විකිණීමෙන් ලැබෙන මුදලින් රාජ්‍ය බැංකු ප්‍රති ප්‍රාග්ධනීකරණයට දායක විය හැක. එසේ නැතිනම් මෙම රාජ්‍ය බැංකු කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තු ගත කර ඒවායේ කොටස් වලින් 20% කොටස් වෙළෙඳ පොළේ විකිණිය හැක. 

 ආණ්ඩුව එසේ කිරීම පමා කරන්නේ මෙරට ඇති පසුගාමී අමනොඥ ජනතා චින්තනය වන ඊනියා රාජ්‍ය සම්පත් රජය වෙතම තබාගෙන සිටීමට අනුගත වීමක් ලෙසය. මෙම පසුගාමී ජනතා චින්තනය මෙම රාජ්‍ය සම්පත් කෙරෙහි සිය බලය පැතිරවීමට දේශපාලනඥයන්ගේ ඇති කැමැත්ත වටහා ගෙන නොමැත. මෙම ඊනියා ජනතා චින්තනය විසින් කරනු ලබන්නේ දේශපාලනඥයන්ට සොරකම් කිරීමට අවස්ථා විවර කරවා දූෂිත වී ඇති රාජ්‍ය සේවයේද සමස්ත සමාජයේද වරද නැවත දේශපාලනඥයන් පිට පැටවීමයි.

එයට අමතරව රාජ්‍ය බැංකු වලට මේ තත්ත්වයට වැටීමට සිදුවූයේ ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා ගුවන් සමාගම, විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ආයතන වල මුදල් ණයට දීමට සිදුවීම නිසාය. ජනාධිපතිවරයා ඒ බව පැහැදිලිව අයවැය කථාවේ සඳහන් කර ඇත. විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබීමට ප්‍රධාන හේතුව වූයේ අකාර්යක්ෂමතාවන්ට අමතරව ඒවායේ නිෂ්පාදන, නිෂ්පාදන මිලට වඩා අඩුවෙන් ජනතාවට විකිනීමට සිදුවූ නිසාය. ගුවන්  සමාගමේ පාඩු වලට තනිකරම වගකිව යුත්තේ මහින්ද රාජපක්ෂයි.  මක්නිසාද යත් පුද්ගලීකරණය කර තිබූ ගුවන් සමාගම පුද්ගලික අභිමතාර්ථයන් සඳහා නැවත රජයට පවරා ගැනීමට කටයුතු කළ බැවිනි. ඒ අර්ථයෙන් ඔහු ආර්ථික ඝාතකයෙකි. රනිල් වික්‍රමසිංහද මෙවර අගමැතිවූ සැණින් ජාතිය අමතා කථා කරමින් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කරන බව කියා සිටියේය. ඔහු සහ මේ සඳහා ඔහු විසින් පත් කල කොමිසම තවමත් මන්ද ගාමී ලෙස ඉදිරියට යති. වර්ෂ 2022දී අලාභ ලැබූ රාජ්‍ය ව්‍යවසාය 13 සමස්ත අලාභය රු. බිලියන 1029කි. ඉන් බිලියන 1023ක් එනම් 99.3%ක් විදුලි බල මණ්ඩලයේ , ඛනිජ තෙල් සංස්ථාවේ  සහ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ අලාභය. 

වගුවේ ඇති අනෙක් කරුණු වලට අනුව අයවැය හිඟය රු. බිලියන 2,845කි. අයවැය හිඟය යනු රජයේ මුළු අදායමෙන් පොලී ගෙවීම ඇතුළුව මුළු වියදම අඩු කිරීමෙන් ලැබෙන ශේෂයයි. මෙය ද.දේ.නි. යෙන් 9.1 ක හිඟයකි. ඉහත දැක්වූ බැංකු  ප්‍රති ප්‍රාග්ධනීකරණය ඉවත් කළ හොත් අයවැය හිඟය ද.දේ.නි.යෙන් 7.6% කි, මෙම අගය වර්ෂ 2023 සංශෝධිත ඇස්තමේන්තු අනුව 8.5%කි. වර්ෂ 2022 දී 10.2%කි. මේඅනුව අයවැය හිඟය අනුක්‍රමයෙන් අඩුවෙමින් යයි. 

අයවැයේ මුළු ණය ගැනීමේ අවශ්‍යතාව රු. බිලියන 7,350කි. එයින් රු. බිලියන 6,919ක් එනම් ගන්නා ණයෙන් 94%ක් වැය වන්නේ   ගත්  ණය වල පොලී සහ ණය වාරික ගෙවීමටයි. එබැවින් මේ ණය ගැනීමට විරුද්ධව මත පල කරන්නන්ගේ මත හිස් ප්‍රලාප බවට පත්වේ.

එබැවින් අයවැය සංඛ්‍යා ලේඛන අනුව මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ කොන්දේසි වලට අනුගතය.ප්‍රශ්ණය ඇත්තේ එතැන නොවේ. 

මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ කොන්දේසි අනුව වර්ෂ 2023දී බදු ආදායම රු. බිලියන 2,949ක් විය යුතුය. වර්ෂ 2023 සංශෝධිත ඇස්තමේන්තු අනුව එම ආදායම රු. බිලියන 2,596කි. මේ අනුව 2023 වසරේ බදු ආදායමේ රු. බිලියන 353ක හිඟයක් පවතී. මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ කොන්දේසි අනුව 2024දී VAT බද්ද වැඩි කිරීමක් නැත. එකඟ වී තිබුණේ VAT බද්ද පුළුල් කිරීම සහ SVAT ක්‍රමය නැති කිරීමයි. SVAT යනු  අපනයන ව්‍යාපාරිකයන්ට භාණ්ඩ සපයන ව්‍යාපාරිකයන් එම ගනුදෙනු සඳහා VAT බද්දෙන් නිදහස් කිරීමයි. අපනයන ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීම මත ආණ්ඩුව ලබන වසරේදී SVAT ඉවත් නොකරනු ඇත. මේ අනුව බදු ආදායම් වැඩි කිරීම සඳහා ආණ්ඩුව විසින් VAT බද්ද ලබන ජනවාරි සිට 15% සිට 18% දක්වා 3%කින් වැඩිකර ඇත.   

ආණ්ඩුවේ අයවැය ඇස්තමේන්තු අනුව VATබද්දෙන් වර්ෂ 2024 ලැබෙන ආදායම රු. බිලියන 2,235කි. වර්ෂ 2023 සංශෝධිත ඇස්තමේන්තු අනුව මෙම මුදල රු. බිලියන 1,376කි. මේ අනුව 2024 දී රු. බිලියන 859 ක අමතර මුදලක් VAT වෙනුවෙන් ලැබේ. ආදායම් බදු වෙනුවෙන් නොගෙවන්නන් හඹා යාමටත් අමතර බදු ලිපිගොනු විවෘත කිරීමටත් වඩා මෙය පහසු කටයුත්තකි. ජනාධිපති වරයා විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා 50 ට වියදම් වන මුළු මුදල රු. බිලියන 212කි. රජයේ සේවකයන්ගේ පඩි වැඩිවීමට වියදම වන්නේ රු. බිලියන 133 කි. වෙනත් වැඩිහිටි, අබාධිත සහ වකුගඩු රෝගීන්ට ගෙවන මුදල ඇතුළු අස්වැසුම සඳහා තුන් ගුණයකින් වැඩිවූ මුදල රු. බිලියන 205 කි. VAT බද්ද වැඩි කිරීමෙන් මේ සියල්ල පියවා ගත හැකි මුදලක් ලැබෙතැයි රජය ඇස්තමේන්තු කරයි. 

වඩාත් අපහසු බදු පදනම පුළුල් කිරීමේ කාර්ය භාරයට අතිරික්ත රජයේ සේවකයන් යොදවා හෝ අත ගැසිය යුතුය. වර්ෂ 2024 ඇස්තමේන්තු අනුව මුළු බදු ආදායමෙන් ඍජු බදු හෙවත් ආදායම් බදු වලින් ලැබෙන ප්‍රතිශතය 28% කි. වර්ෂ 2023 සංශෝධිත ඇස්තමේන්තු අනුව මෙය 33% කි. වර්ෂ 2022 දී මෙය 30%කි. මෙම ප්‍රතිශතය ප්‍රතිපත්තිමය වශයෙන් පමණක් නොව ප්‍රයෝගික වශයෙන්ද වැඩි කිරීම බදු ආදායම වැඩි කිරීම සඳහා වන  රජයේ ක්‍රියා මාර්ගය විය යුතුය.

මෙවර අයවැය යෝජනා 50 කට මුදල් වෙන් කර තිබේ. වෙරිටේ රිසර්ච් ආයතනය විසින් කරන ලද විමර්ශනයකින් අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධ තොරතුරු ප්‍රතිශතයක් ලෙස දෙවන වගුවේ දැක්වේ. (www.publicfinance.lk) වර්ෂ 2017 සිට 2022 දක්වා ඉදිරිපත් කල අයවැය යෝජනා වලින් ඉටු කරන ලද (කාර්ය භාරයෙන් 80% කට වැඩි ප්‍රමාණයක් අවසන්), බොහෝ දුරට ඉටු කරන ලද (කාර්ය භාරයෙන් 66%-80% ප්‍රමාණයක් අවසන්), තරමක් දුරට ඉටු කරන ලද (කාර්ය භාරයෙන් 33%-66% ප්‍රමාණයක් අවසන්), සුළු වශයෙන් ඉටු කරන ලද (කාර්ය භාරයෙන් 33% කට අඩු ප්‍රමාණයක් අවසන්), ඉටු නොකරන ලද (කිසිවක් කර නොමැති) සහ දැන ගැනීමට නොමැති (තොරතුරු කිසිවක් නැත) යනුවෙන් දක්වා ඇත. මෙම තොරතුරු වර්ෂ 2023 ජුනි වන විට එම වර්ෂය සඳහා 8% ක් ඉටුවෙමින් තිබෙන, 24% ක් ඉටුවීම ප්‍රමාද වන සහ 68% ක් දැන ගැනීමට නොමැති වශයෙන් වර්ග කර ඇත.

මෙම තත්ත්වය සමතික්‍රමණය කිරීම සඳහා රාජ්‍ය මුදල් පාලන බලය හිමි පාර්ලිමේන්තුව ක්‍රියාත්මක විය යුතු යයි සිතමි.

අයවැයේ ආදායම් ඉලක්ක සාධනීය නොවන බවට මත පලවී තිබේ. ෆිච් රේටින්ග්ස් ආයතනය දැනටමත් ඒ බව නිවේදනය කර තිබේ. මෙය ඇත්තකි. වර්ෂ 2023 සශෝධිත ඇස්තමේන්තු මුල් ඇස්තමේන්තු සමඟ සංසන්දනය කල විට ආදායමේ 16.7%ක අඩුවීමක් තිබේ. VATආදායම  21.95%ක අඩුවීමක් පෙන්නුම් කරන අතර ආදායම් බදු 5.26% ක අඩුවක් පෙන්නුම් කරයි. මෙම අඩුවීම් සමනය කිරීම සඳහා ආණ්ඩුව වියදම් ඇස්තමේන්තු අඩු කර ඇත. බරපතල අඩුවීමක් පෙන්නුම් කරන්නේ ප්‍රාග්ධන වියදම්ය. එය 35.9%කි. පොලි ගෙවීම් අඩු කල නොහැක. වැටුප් හා වේතන වියදම් අඩුවී ඇත්තේ 1.6% කිනි. 

එබැවින් සිදුවිය හැක්කේ රු. මිලියන 400ක් වෙන්කර ඇති අනුරාධපුර මහා විහාර විශ්ව විද්‍යාලය වැනි සුරංගනා යෝජනා ආදායම අඩුවන විට පෑල දොරෙන් විසිවී යාමයි. වෙරිටේ රිසර්ච් ආයතනයට මෙය දැනගැනීමට නොමැති වශයෙන් වර්ග කල හැක. 20 කට වැඩි අයවැය යෝජනා වලට මුදල් ප්‍රතිපාදන නැත. ඒවා කෙලින්ම දැනගැනීමට නොමැති වශයෙන් වර්ග කල හැක. ආණ්ඩුවට පඩි වැඩිවීම එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇත. ප්‍රශ්නය වන්නේ ප්‍රාග්ධන වියදම් අඩුවීමට ඇති ප්‍රවනතාවයි.

සමස්තයක් වශයෙන් අයවැය මැතිවරණයක් ඉලක්ක කරගත් බවට සාධක නොමැත. මක්නිසාද යත් පෙර මැතිවරණ වර්ෂ වල මෙන් ජනතාවට සහන දීම සඳහා මුදල් ණයට ගෙන නොමැති අතර සහන දී ඇත්තේ ජනතාවගෙන්ම අය කර ගන්නා VAT බද්ද මගින් වීමයි. මෙය මැතිවරණයක් ඉලක්ක කර ගත්තේ නම් රජයට මැතිවරණයේදී වැඩි කල VAT බද්ද වෙනුවෙන් ජනතාවට උත්තර බැඳීමට සිදුවනු ඇත.

ජනාධිපතිවරයා තම කාලය සම්පුර්ණයෙන් රටේ ආර්ථික වර්ධනය සඳහා යොදවන බැවින් ඊලග ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේද යන්න ගැන තවම තීරණයක් ගෙන නොමැති බව පසුගියදා ප්‍රකාශ කර  තිබුණි. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් බියක් සැකක් නැතිව රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ඉතිරිවී ඇති කාලය තුල සිදු කළ හැක. මෙම ප්‍රතිසංස්කරණ වන්නේ පුද්ගලීකරණය කළ යුතු රාජ්‍ය ව්‍යවසාය විනිවිද භාවයකින් යුතුව පුද්ගලීකරණය කිරීම, රාජ්‍ය ආදායම් අධිකාරියක් ඇතිකිරීම, රාජ්‍ය කටයුතු ඩිජිටලීකරණය කිරීම(මෙයට අයවැය ප්‍රතිපාදන ඇත.), කාර්ය සාධක නිර්ණායක රජයේ සේවකයන්ට හඳුන්වා දීම, සරත් පොන්සේකා යුද සමයේ කළාක් මෙන් උසස්වීම් ජ්‍යෙෂ්ටතාව මත දීම නැවැත්වීම, විදේශ ආයෝජන පැමිණීමට අවශ්‍ය වාතාවරණය සැකසීම, පොරොන්දු වූ අපනයන කලාප ඇතිකිරීම ඉක්මන් කිරීම, සහ සුදුසු රටවල් සමඟ වාසි දායක කොන්දේසි යටතේ ඉක්මනින් ද්වි පාර්ශ්වික වෙළෙඳ ගිවිසුම් වලට එළඹීම වේ. මේ රටේ දක්ෂිණාංශික හෝ වාමාංශික හෝ ජනප්‍රිය ජනාධිපතිවරයකුට මෙම යෝජනා ක්‍රියාත්මක කළ නොහැක. මෙම යෝජනා ක්‍රියාත්මක කරන්නේ නම් ඒවායේ ප්‍රතිඵල ලැබෙන විට රට වැසියන්ගේ සිත් වල සදාකල් ජීවත්වීමට ඔහුට හැකිවනු ඇත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.