Colombo Telegraph

අමාත්‍යාංශ පවරා ගැනීමට ජනාධිපතිවරයා ගත් තීරණය පිළිබඳ විචාරාත්මක පරීක්ෂාවක්

හර්ෂ ගුණසේන –

ජනාධිපති සිරිසේන දිගටම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන බවක් පෙනී යයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට කලින් පැවති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වගන්තිය යටතේ ‘‘ජනාධිපතිවරයාට යම් විෂයයක් හෝ කාර්යයක් තමාටම පවරා ගැනීම කළ හැක්කේය.’’

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා එකී වගන්තිය ඉවත් කොට ඇති නිසා ජනාධිපතිවරයාට කිසි අමාත්‍යාංශයක් තමා යටතේ තබා ගැනීමට බලයක් නැත්තේය. එසේ වෙතත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 51 වැනි වගන්තිය මෙසේ කියයි: ‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පටහැනිව කුමක් සඳහන් වුව ද, මේ පනත ආරම්භ වන දිනයේදී ජනාධිපතිවරයා ලෙස ධුරය දරන තැනැත්තා එසේ ජනාධිපති ධුරය දරන තාක් කල් රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධනය සහ පරිසරය යන විෂය සහ ඒවායේ කර්තව්‍ය තමන්ගේ භාරය වෙත තබා ගැනීම ද, එකී කාර්ය සඳහා ඔහු වෙත පවරා ගත යුතු අමාත්‍යාංශ තීරණය කරනු ලැබීම ද කළ හැකිය’’.

එබැවින්, පොලිස් දෙපාර්තමේන්තුව සහ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව තමන් යටතේ තබා ගැනීමට තැත් කිරීම ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාවක් වනු ඇත. එසේම, අදාළ අමාත්‍යංශවලට කාර්යයන් පැවරීම පැත්තකින් තබා පුද්ගලික සංචාරයක් සඳහා ජනාධිපතිවරයා තායිලන්තයට යාම, රාජ්‍ය නායකයෙකු නොව, පෞද්ගලික අංශයේ සමාගමක ප‍්‍රධාන විධායක නිලධාරියෙකු වුව නොකරන දෙයකි. මේ විදිහට ජනාධිපතිවරයා එක දිගටම පෙන්නුම් කරමින් සිටින්නේ තමා එම ධුරයට සුදුස්සෙකු නොවන බවයි.

විපක්ෂ නායක කම සහ ජනාධිපති කම: ආචාර ධාර්මික ගැටුමක්

ආණ්ඩුවේ ප‍්‍රධානියා වන ජනාධිපතිවරයා නායකත්වය හොබවන පක්ෂයේම කෙනෙකු වන මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ධුරයත් හෙබවීම සදාචාරමය වශයෙන් නිවැරදි ද යන ප‍්‍රශ්නය දැන් උද්ගතව ඇත. මේ ප‍්‍රශ්නය ආචාර්ය එන්. එම්. පෙරේරා 1978 දී මතු කොට තිබේ. අපේ ව්‍යවස්ථාව තුළ පමණක් නොව, ප‍්‍රංශයේ ව්‍යවස්ථාව තුළ පවා, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙනස් පක්ෂ දෙකක් නියෝජනය කිරීමට ඉඩ තිබේ. ඞී. බී. විජේතුංග ජනාධිපති ධුරය හොබවන අවස්ථාවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක අගමැති ධුරයට පත්වූ විට ඞී. බී. විජේතුංග, ව්‍යවස්ථානුකූලව ත‍්‍රිවිධ හමුදා ප‍්‍රධානියා තමන් වන්නේය යන තර්කය මත ආරක්ෂක අමාත්‍යාංශය තමා යටතේ තබා ගත්තේය. එදා විපක්ෂ නායකවරයා වුණේ එක්සත් ජාතික පක්ෂයේ ගාමිණී දිසානායක ය. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති වශයෙන් ද රනිල් වික‍්‍රමසිංහ අගමැති වශයෙන් ද සිටි අවස්ථාවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කිසි අමාත්‍යාංශයක් තමා යටතේ තබා ගත්තේ නැත. එදා විපක්ෂ නායකත්වයට පත්වුණේ චන්ද්‍රිකාගේ පක්ෂයේම මහින්ද රාජපක්ෂ ය.

නීතිය පැත්තකින් තිබ්බත්, සදාචාරමය වශයෙන් සලකා බැලූවොත්, ජනාධිපතිවරයාට එවැනි අමාත්‍යාංශ තමන් යටතේ තබා ගැනීමට හැකි වන්නේ ඔහුත් සභාග රජයක පාර්ශ්වකරුවෙකු වන නිසා ය. එහෙත් දැන්, ජනාධිපති සිරිසේන සහ ඔහුගේ පක්ෂය ඒ සභාග රජයෙන් ඉවත්ව ඇති නිසා එසේ අමාත්‍යාංශ තමන් යටතේ තබා ගැනීමට සදාචාරමය අයිතියක් ඔහුට ලැබෙන්නේ නැත. එහෙත් මේ පුද්ගලයා නීතිය පවා හඳුනන්නේ නැති කොට, සදාචාරයක් කෙසේ නම් ඔහුට වටහා දෙන්න ද? ඉහත සඳහන් කළ පරිදි, ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරයාට ‘‘එකී විෂය සහ කර්තව්‍ය තමන්ගේ භාරයේ තබා ගැනීම කළ හැකි’’ වෙතත්, එසේ අමාත්‍යාංශ තබා ගැනීම අනිවාර්ය වන්නේ නැත. ජනාධිපතිවරයා එසේ තමන්ගේ යටතේ අමාත්‍යාංශ තබා නොගන්නේ නම් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ධුරය දැරීම ප‍්‍රශ්නයක් වන්නේ ද නැත. එහෙත් ඒ පවා, ‘පොහොට්ටුවේ’ හුටපටය විසඳා ගැනෙන්නේ නම් පමණි.

කැබිනට් ඇමතිවරුන් පත්කිරීම

අමාත්‍යවරුන් වශයෙන් නම් කොට පුද්ගලයන් 37 දෙනෙකුගේ ලැයිස්තුවක් එක්සත් ජාතික පෙරමුණ මගින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ බව වාර්තා විය. ජනාධිපතිවරයා එයින් නම් 8 ක් කපා හැර 29 දෙනෙකු පත්කොට තිබේ. ව්‍යවස්ථාවේ 46 (1) (අ) වගන්තිය අනුව, අමාත්‍ය මණ්ඩලය 30 දෙනෙකුට වැඩි නොවිය යුත්තේය. එසේම, 46 (4) වගන්තිය මෙසේ කියයි: ‘‘(1) වැනි අනුව්‍යවස්ථාවේ කුමක් සඳහන් වුව ද, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම හෝ විසින් ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවේදී අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන් සංඛ්‍යාව ද, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන් සංඛ්‍යාව ද, නියෝජ්‍ය අමාත්‍යවරයන් සංඛ්‍යාව ද පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුත්තේය.’’

එසේම, 46 (5) වගන්තිය මෙසේ සඳහන් කරයි: ‘‘(4) වැනි අනුව්‍යවස්ථාවේ කාර්යය සඳහා ජාතික ආණ්ඩුවක් යනු, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුවක් වන්නේය.’’

එක්සත් ජාතික පෙරමුණ 37 ක නම් ලැයිස්තුවක් යැව්වේ, ව්‍යවස්ථාවේ 46 වැනි වගන්තිය යටතේ තමන් ‘ජාතික ආණ්ඩුවක්’ ය යන මතය අනුව විය හැකිය. මුස්ලිම් කොන්ග‍්‍රසයේ එක් මන්ත‍්‍රීවරයෙකු සිටීම ද, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පැමිණීමට නියමිත තවත් මන්ත‍්‍රීවරුන් ගණනාවක් පිළිබඳ කල්පනාව ද ඊට බලපාන්නට ඇත. ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝණය කළ බවට පැමිණිලි කළ පක්ෂයක් වශයෙන් සහ අධිකරණයටත් ගොස් එම පැමිණිල්ල සනාථ කෙරෙන විනිශ්චයක් ලබා ගත් පක්ෂයක් වශයෙන් එසේ සිතීම වැරදි ය. ඉනුත් පසුව, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හැරුණු කොට අමාත්‍ය මණ්ඩලයේ 30 දෙනෙකු සිටිය යුතු බවට එක්සත් ජාතික පෙරමුණ තවදුරටත් තර්ක කෙළේය. එහෙත් 46 (1) (අ) වගන්තිය අනුව, අමාත්‍ය මණ්ඩලයේ සිටිය හැකි උපරිම සාමාජික සංඛ්‍යාව 30 කි. 42 (3) වගන්තිය අනුව, ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු වන අතර එම කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා ද වන්නේය. තව ද, ඔහුට අමාත්‍යාංශ තුනක් ද පැවරෙයි. එබැවින්, උපරිම කැබිනට් අමාත්‍ය සංඛ්‍යාව 30 ක් විය යුතුය යන්නෙන් අදහස් කෙරෙන්නේ, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද ඇතුළුව එම සංඛ්‍යාව 30 ක් විය යුතු බවයි.

මේ අතර, ජනාධිපතිවරයාගේ මාර්ගයෙන් කැබිනට් අමාත්‍ය සංඛ්‍යාවේ ප‍්‍රමාණය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේ අදහසක් එක්සත් ජාතික පෙරමුණට ඇති බවත් වාර්තා විය. මෙයින් පෙනී යන්නේ ජනාධිපතිවරයා වැටුණු අපකීර්තිමත් තත්වයටම එක්සත් ජාතික පෙරමුණත් වැටීමට දඟලන්නේය යන්නයි. එක්සත් ජාතික පෙරමුණ කළ යුතුව තිබුණේ, අගමැතිවරයා ද ඇතුළුව 29 දෙනෙකුගේ නම් ජනාධිපතිවරයා වෙත යැවීමයි. ඔවුන්ට අවශ්‍ය විණි නම් ඒ නම් අතරට පාලිත රංගෙ බණ්ඩාරගෙන් සහ සරත් ෆොන්සේකාගේ නම් ද ඇතුළත් කළ හැකිව තිබුණි. මන්ත‍්‍රීවරුන් විශාල සංඛ්‍යාවකින් 28 දෙනෙකු (අගමැතිවරයා හැරුණු කොට) තෝරා ගැනීම දුෂ්කර කටයුත්තක් බව ඇත්ත. එහෙත් පක්ෂ නායකත්වයකට එය කළ හැකිව තිබේ. සමහර විට 29 දෙනෙකු වෙනුවට 37 දෙනෙකුගේ නම් ජනාධිපතිවරයා වෙත යැවීම දේශපාලනික උපායක් විය හැකි වෙතත්, ජනාධිපතිවරයා ලවා එයින් නම් කිහිපයක් කපා හැරීමට කටයුතු සැලැස්වීම නරක ය. එකී නම් 28 තුළට සරත් ෆොන්සේකාගේ නමත් ඇතුළත් කොට යැව්වේ නම්, එහිදීත් ජනාධිපතිවරයා විසින් ඒ නම කපා හැරියේ නම්, එය කෙලින්ම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් වනු ඇත. මේ අවස්ථාවේ එක්සත් ජාතික පෙරමුණ සදාචාරමය වශයෙන් අභියෝගාත්මක ස්ථාවරයක් නොගන්නේ නම්, එම පක්ෂයත් ජනාධිපතිවරයා සේම අපකීර්තියට පත්වෙනු ඇත.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව එහි සමස්තාර්ථයෙන් නොගෙන, එහි නිසි දේශපාලනික සහ සමාජ පසුබිම තුළ නොතබා සහ එහි මූඛ්‍ය අභිලාෂය ගැන නොතකා අර්ථකථනය කිරීමට ජනාධිපතිවරයාටත්, මහින්ද රාජපක්ෂටත් උපදෙස් දුන් කුප‍්‍රකට සරත් එන්. සිල්වා, විජයදාස රාජපක්ෂ සහ ජී. ඇල්. පීරිස් වැනි පුද්ගලයන්ගේ ගොඩටම එක්සත් ජාතික පෙරමුණත් වැටීම උත්ප‍්‍රාසාත්මක ය. ඔවුන් මෙන්ම මොවුන් ද උත්සාහ ගන්නේ ව්‍යවස්ථාවේ හිල්වලින් රිංගා යෑමට බව පෙනේ.

සමාජ මාධ්‍ය ඉදිරියේ ප‍්‍රධාන මාධ්‍ය ධාරාවේ පක්ෂග‍්‍රාහීත්වය

මේ මොහොතේ ප‍්‍රධාන මාධ්‍ය ධාරාව රටේ ප‍්‍රශ්න ජාතික කෝණයකින් විග‍්‍රහ කර බැලීමට වැඩි කැමැත්තක් නොදක්වයි. ඒ විවාදාපන්න දින 51 කාල සීමාව තුළ රාජ්‍ය මාධ්‍ය හැසිරුණු පක්ෂග‍්‍රාහී ආකාරය රටම දැක්කේය. එක් පුද්ගලික මාධ්‍ය නාලිකාවක් එක්සත් ජාතික පෙරමුණට පක්ෂපාතීව කටයුතු කරයි. තවත් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් එක්සත් ජාතික පක්ෂ නායකයාව විවේචනය කිරීමත්, එම පක්ෂයේ නියෝජ්‍ය නායකයා සහ තවත් තෝරා ගත් කිහිප දෙනෙකු එසවීම අරමුණු කරගෙනම පවතී. තවත් පෞද්ගලික නාලිකාවක් මහින්ද රාජපක්ෂට සහාය වන සේ මාධ්‍ය හසුරුවයි.

මුද්‍රිත මාධ්‍ය බොහොමයක් කටයුතු කරන්නේ මහින්ද රාජපක්ෂට පක්ෂපාතීවයි. එයින් ඇතැම් පුවත්පත් අන්තවාදී සිංහල බෞද්ධ මතවාදයක් වපුරමින් සිටීම කණගාටුවට කාරණයකි. ඒ සඳහා අසත්‍ය ප‍්‍රවෘත්ති සහ අර්ධ සත්‍යයන් මේ පුවත්පත් මගින් සමාජගත කරනු ලැබේ. සමස්තයක් වශයෙන් ගත් විට, සිංහල පුවත්පත් තරම් ඉංග‍්‍රීසි පුවත්පත් ආදානග‍්‍රාහී නැත.

කෙසේ වෙතත්, ජනතා මතය ගොඩනැංවීමෙහි ලා මේ ප‍්‍රධාන මාධ්‍ය ධාරාවේ ආයතනවලට තිබූ ශක්තිය වියැකෙමින් තිබේ. ඊට ප‍්‍රධාන වශයෙන් හේතුකාරක වී ඇත්තේ අන්තර්ජාලගත සමාජ මාධ්‍යයේ ක‍්‍රියාකාරීත්වයයි. ප‍්‍රධාන ප‍්‍රවාහයේ සම්මත මාධ්‍ය මෙන් නොව, මේ සමාජ මාධ්‍ය අවකාශය තුළ සංවාදයට ඉඩකඩ විවරව තිබේ. විටෙක එවැනි සංවාදයන්ට මැදිහත්වන ඇතැම් පුද්ගලයන් ඊට නොහොබිනා ආකාරයකින් හැසිරෙන මුත් සමාජ මාධ්‍ය අවකාශයේ අනාගතය ගැන අපට බලාපොරොත්තු තබා ගත හැකිය.

මේ සමාජ මාධ්‍ය අවකාශය පාවිච්චියට ගනිමින් වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක නියුක්ත වීම මේ රටේ සිවිල් සංවිධානවල වගකීමකි. ඒ මගින්, ප‍්‍රධාන මාධ්‍ය ජාලයේ භාවිතය අභියෝගයට ලක්කළ හැකිය. බොරු ප‍්‍රවෘත්ති පැළ කරන්නන් සහ එම මාධ්‍ය ආයතන හිමිකරුවන් නමින්ම හෙළිදරව් කිරීම කළ හැකිය. එසේම, ජාතික ප‍්‍රශ්න සහ මානව හිමිකම් ප‍්‍රශ්න ගැන, වාර්ගික, ආගමික හෝ පක්ෂ පාටක් නොගෙන, ජාතික දෘෂ්ටි කෝණයකින් සංවාදයට ලක්කළ හැකිය.

*2018 දෙසැම්බර් 31 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ “A Critique of President Sisrisena’s Decision to hold Ministerial Portfolio” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Back to Home page