
හර්ෂ ගුණසේන
පසුගිය මාර් තු 20 වනදා ගාමිණී දිසානායක මහතාගේ 84 වන ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වූ ගුණානුස්මරණ සභාවේදී විපක්ෂ නායක සහ සජබ නායක සජිත් ප්රේමදාස මහතා (සජිත්) කතාවක් කරමින් ඔහුගේ දේශපාලන දෘෂ්ටිය පැහැදිලි කළේය. මෙයට පෙරද ඔහු විසින් මෙය පැහැදිලි කර ඇති අතර ඔහු සම්පුර් නයෙන්ම ක්රියාත්මක වන්නේ ඒ අනුවය. ඔහුගේ කථාව උපුටා දැක්වුවහොත් ඒ මෙසේය. “අද බොහෝ දෙනෙක් කතාකරනවා කඳවුරු ගැන. ගාමිණී දිසානායක මහතා හිටපු කඳවුර තමයි ජනතා වාදී ජනහිතකාමී ජනතාව පැත්තේ හිටපු කඳවුර.. අද ලෝකයේ වමත් අසාර් ථකයි. දකුණත් අසාර් ථකයි. ඔය වාමවාදී දක්ෂිණාංශිකවාදී කියන න්යායයන් අපේ රටට ආනයනය කරපු විදේශීය පරගැති න්යායයන්. අද රටට අවශ්ය වෙලා තියෙන්නේ ජනතාවාදී න්යාය. පොදු ජනතාව සුරක්ෂිත කරණ පොදු ජනතාව රැකගන්න පොදු ජනතාවගේ සුබසිද්ධිය සෞභාග්යය සංවර්ධනය උදෙසා ක්රියාත්මක වන න්යායයන්. …. ගාමිණී දිසානායක මැතිතුමා ලුම්පන් ධනවාදය කුප්රකට ගජමිතුරු ධනවාදය වාමවාදී සමාජවාදී අන්තය ප්රතික්ෂේප කරා. …ජේ ආර් ජයවර්ධන, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ආර් ප්‍රේමදාස යන සියලු දෙනාම ගමන් කලේ එක මාවතක. එය ධනවාදය වත් සමාජවාදය වත් ලිබරල්වාදය වත් නොවේ. ගමන් කරපු එකම මාවත පොදුජන මාවත.” ඔහු යෝජනා කරන්නේ ලුම්පන් ධනවාදය, කුප්රකට ධනවාදය, අන්තවාදී ලිබරල් න්යායන් සහ අන්ත කොමියුනිස්ට් වාදය ප්රතික්ෂේප කල මානුෂික ධනවාදය ප්රමුඛ කරගත් ජනතාවාදී ජනහිතකාමී දේශපාලන ව්යාපාරයකි.
ලංකාවට මානුෂික ධනවාදය යන වචනය රැගෙන ආවේ චන්ද්රිකා කුමාරතුංග මහත්මියයි (චන්ද්රිකා). සමාජවාදී අන්තයකින් පැමිණි දේශපාලන පක්ෂයක් නියෝජනය කළ ඇය ජේ ආර් ජයවර්ධන මහතා (ජේ ආර්) විසින් ඇතිකළ ලිබරල් ධනවාදී ක්රමය තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්ය වූ නිසා ය (එසේ වුයේ පැරණි සමාජවාදී ක්රමය තව දුරටත් වලංගු නොවූ නිසාය.) මානුෂික ධනවාදය නමැති වචනය හඳුන්වා දෙන ලදී. සජිත් එරෙහිවන ලුම්පන් ධනවාදය සහ ගජමිතුරු ධනවාදය මෙරට ස්ථාපනය කරන ලද්දේ ඔහු විසින් සඳහන් කළ ඔහුගේ පියාද ඇතුළු දේශපාලනඥයන් ගෙන් සමන්විතවූ 1977 දී බලයට පත් දේශපාලන ව්යාපාරය විසිනි. එයට හේතු වුයේ 1970 දී බලයට පත් රජය විසින් ලුම්පන් සහ ගජමිතුරු සමාජවාදයක් මෙරට ක්රියාත්මක කළ නිසාය.
1977 දී ඇතිවුයේ දශක දෙකක් තිස්සේ රාජ්යය විසින් ජනතාවගෙන් කොල්ල කාගත් ධනය ආපසු ජනතාවට දෙමින්, එවකට අනුක්රමයෙන් සංවෘත බවට පත්වූ විදේශ වෙළෙඳපොළ එක්තරා ප්රමාණයකට විවෘත කරමින්, ආර්ථික සංවර්ධනය සඳහා ජනතා සහභාගිත්වය බලගැන්වූ අර්ථක්රමයක ආරම්භයයි. එය මනා පරිපාලනයකින් තොරව ගජමිතුරු ධනවාදයක් කර පසුබැසි බව අප දන්නා නමුත් ඒ නිසා 1977 දී ඇතිවූ ආර්ථික පරිවර්තනය කිසිසේත් අවතක්සේරු කළ නොහැක. එමෙන්ම එය සජිත් හිතන ආකාරයත ඊනියා ජනතා සුබසිද්ධිය කේන්ද්ර කරගත් ප්රතිපත්තියක් නොවේ. රටේ ආර්ථිකයට ජනතා සහභාගිත්වය කේන්ද්ර කරගත් ආර්ථික ප්රතිපත්තියකි. එයට පෙර තිබුනේ රාජ්යය කේන්ද්‍ර කරගත් ආර්ථික ප්රතිපත්තියකි. එයට ප්රතිවිරුද්ධව ඇතිවූ ඒ යුගයේ රාජ්ය ප්රතිපත්ති වලින් ජනතාව ප්‍රතිලාභ ලැබූ බව සැබෑය. නමුත් ඉලක්කය රටේ ආර්ථික වර්ධනයයි. ප්රේමදාස මහතාගේ ජනසවිය හුදු ආධාර බෙදා දීමක් නොවේ. එය දිළිඳු ජනතාවට යම් මුදලක් අතට ලැබීමට සලස්වා ඒ සමඟ ඒ මුදලින් කොටසක් ඉතුරු කර වැඩ සටහන අවසානයේ ඉතිරි වන තැන්පත් මුදල යොදවා කුඩා ව්යාපාරයක් ආරම්භ කිරීමට ඔවුන් පෙලඹවූ වැඩ සටහනකි. එය හුදු ආධාර බෙදීමක් බවට පරිවර්තනය කළේ චන්ද්රිකා සහ එස්බි දිසානායක මහතා විසිනි. එමෙන්ම ඔහුගේ ඇඟලුම් කම්ගල් වැඩ පිළිවෙල ග්‍රාමීය ජනතාව රටේ ආර්ථිකයට සම්බන්ධ කර ගැනීමේ වැඩ පිළිවෙලකි. හුදු සහන දීමක් නොවේ.
සජිත් ඔහුගේ දේශපාලන ප්රතිවාදියකු වන රනිල් වික්රමසිංහ මහතා (රනිල්) ගැන වචනයක් වත් සඳහන් නොකරයි. සජිත් මෙයට පෙර අවස්ථා වලදී සජබ සහ එජාප යන පක්ෂ දෙක එකතු නොවුනේ ඇයිද යන පැනයට පිළිතුරු ලෙස සඳහන් කර ඇත්තේ රනිල් ගේ ස්ථාවරය නව ලිබරල් දක්ෂිණාංශික එකක් බවත් තමන් ගේ ස්ථාවරය දකුණේ හෝ වමේ හෝ නැතිව මැද තැනක තිබෙන ජනතාවාදී එකක් බැවින් එක්වීම අසීරු වූ බවය. මේ කථාවේදී සජිත් එජාපයේ පැරණි නායකයන් ජනතාවාදී වූ බවත් ඔවුන් විශේෂයෙන්ම ගාමිණී දිසානායක ලුම්පන් සහ ගජ මිතුරු ධනවාදයට විරුද්ධ වූ බවත් සඳහන් කරයි. එසේනම් ලුම්පන් ගජමිතුරු ධනවාදියා සහ නව ලිබරල් වාදියා රනිල් විය යුතුය.
රනිල් එවැන්නෙක් ද? ඔහු සිය ගජ මිතුරන් කිහිප දෙනෙකුට බර තබා පාලන කටයුතු කළ බව අපි දනිමු. සජිත් සිය පක්ෂයේ කටයුතු කරන්නේද එසේය. ගජමිතුරන් සම්බන්ධයෙන් රනිල්ට ආ එකම චෝදනාව මහා බැංකු බැඳුම්කර වංචාවයි. එය නොකළ යුත්තකි. එයට අදාලව මහා බැංකුවට පාඩු වූ මුදල රඳවා ගැනීමක් ලෙස බැංකුවේ ඇත. එයට අමතරව ඔහු ගජ මිතුරු සත්කාර වලට සම්බන්ධ වූ අයෙක් නොවේ.
රනිල් නව ලිබරල් වාදියෙක් ද? නව ලිබරල් වාදය යනු කුමක්ද? එහි ප්රධාන සංඝටක වන්නේ රාජ්ය නියාමනය අවම කිරීම, පුද්ගලීකරණය, රාජ්ය වියදම් කප්පාදු කර බදු අඩු කිරීම සහ තීරුබදු අඩු කර නිර් බාධ වෙළෙඳාම ප්රවර් ධනය කිරීමයි. රනිල් විවිධ පනත් මගින් රාජ්ය නියාමනය වැඩි කළේය. පුද්ගලීකරණය කරන බවට කයිවාරු ගැසූ මුත් පුද්ගලීකරණය නොකළේය. ඔහු නව ලිබරල්වාදියෙක් නම් ඔහුට ලැබුන අවස්ථාවේ ගුවන් සේවය පුද්ගලීකරණය කර රාජ්ය බැංකු දෙකෙහි අයිතිය යම් ප්රමාණයකට පුද්ගලික අයිතියට පැවරිය යුතුව තිබුණි. මේ කරුණු දෙක සඳහා යම් බල පෑමක් මුල්ය අරමුදල සමඟ වූ එකඟතාවයෙන්ද ලැබුණි. රනිල් රාජ්ය වියදම් කප්පාදු කල නමුත් බදු වැඩි කළේය. එමෙන්ම අස්වැසුම සහන දුන්නේය. තීරුබදු අඩු කර නිර් බාධ වෙළෙඳාම ප්රවර්ධනය කිරීමේ කටයුත්තටද විදුලිබල මණ්ඩලය කොටස් වලට කැඩීමටද වත්මන් ආණ්ඩුව අතගසා සිටියි. මේ අනුව රනිල් නව ලිබරල් වාදියෙක් නොවේ.
තව දුරටත් ගැඹුරට නව ලිබරල් වාදය ගැන කතා කරන්නේ නම් එහි හරය වන්නේ ගෝලීයකරණය ප්රවර් ධනය කිරීම, සමාගම් වල කොටස් හිමියන්ගේ ධනය වැඩි කිරීමට ප්රමුඛත්වය දෙමින් සමාගමේ වර්ධනය සහ රැකියා ලබාදීමට ප්රමුඛත්වය නොදීම සහ වෘත්තීය සමිති පසු බෑමකට ලක් කිරීමයි. රනිල් මෙවැනි කරුණු වලට අතගසා නැත.
එබැවින් රනිල්ට එරෙහිව මැදට ගමන් කිරීමේ තේරුමක් නැත. රට සංවර්ධනය කිරීමට නම් සිටිය යුත්තේ රනිල්ට දකුණෙනි. සජිත් වර්ණනා කරන ජේ ආර් සිටියේ රනිල්ට දකුණෙනි. සමහර විට රනිල්ට තවත් අවස්ථාවක් ලැබුනේ නම් තව ටිකක් දකුණට යාමට ඉඩ තිබුණි. වර්තමාන ජනාධිපතිවරයාද ගමන් කරන්නේ දකුණටය. මක්නිසාද යත් විසදුම හෙවත් ධනය උත්පාදනය තිබෙන්නේ වමේ හෝ මැද හෝ නොව දකුණේ නිසාය. උත්පාදනය කරන ධනය පහළට ගලා යා යුතු බව මම පිළිගනිමි.
සජිත් ඉදිරිපත් කරන ජනතාවාදී මතවාදය හෙවත් ජනකාන්ත වාදය යනු කුමක්ද?
ජනකාන්තවාදය යනු යම් මතවාදයක් ජනතාවට ඉදිරිපත් කිරීමේ ප්රවේශ මාර් ගයකි. එබැවින් එය බොහෝ විට ක්රියාත්මක වන්නේ වෙනත් මතවාදයන් සමඟය. ඒවා අතර ජාතිවාදය, වර්ගවාදය, සමාජවාදය සහ සමාජ සාධාරණත්වය වැනි මතවාද වේ. සම්ප්රදායික දේශපාලන වර්ගීකරණය අනුව මේවා එනම් පළමු මතවාද දෙක දක්ෂිණාංශික ලෙසද අවසන් මතවාද දෙක වාමාංශික ලෙසද වර්ගීකරණය වේ. මේ අනුව දක්ෂිණාංශික ජනකාන්තවාදය සහ වාමාංශික ජනකාන්තවාදය වශයෙන් ජනකාන්තවාදයේ ප්‍රභේද දෙකක් තිබේ.
වාමාංශික ජනකාන්තවාදයේ න්යායාචාර්යවරයකු වූ අර්නස්ටෝ ලක්ලාව් සඳහන් කරන්නේ ජනකාන්තවාදය යනු විමුක්තිකාමී සමාජ ප්රවාහයක් බවත් ඒ මගින් සමාජයේ ආන්තික කොටස් වලට ස්ථාපිත අධිකාරිවාදී බලයට අභියෝග කල හැකි බවත්ය. ඔහුට අනුව ජනකාන්තවාදයේ අග්ර ඵලය සමාජවාදයයි. පෝල් ටගට් ගේ අදහස අනුව ජනකාන්තවාදය යන යෙදුම අපේ යුගයේ බොභෝ සෙයින් භාවිතයේ යෙදුනත් එහි තේරුම අවබෝධ කරගෙන ඇත්තේ ඉතා අඩුවෙනි. මාගරට් කැනෝවන් මෙයට හේතුව සඳහන් කරයි. එනම් ජාත්යන්තර ජනකාන්තවාදීන් විසින් ජනකාන්තවාදයේ තේරුම නිර්වචනය කර නොමැති බැවින් එම වචනය භාවිතා කරන්නන් එයට ඉතා පුළුල් අර්ථ සපයා ඇති බවය.
බණ්ඩාරනායක ද ජේ ආර් ද ජනකාන්තවාදීහු වුහ. මක්නිසාද යත් මුග්ධයන් ගෙන් ඡන්ද ලබා ගැනීම අපහසු බැවිනි. බණ්ඩාරනායක ගේ උපක්රමය වුයේ සිංහල රාජ්ය භාෂාව කිරීමයි. ජේ ආර් ගේ උපක්රමය වුයේ ධර්මිෂ්ට සමාජයක් ඇති කිරීමයි. අනුර දිසානායක ගේ උපක්රමය වුයේ 76 අවුරුදු සාපය අවසන් කිරීමයි. මෙය මතුරන උගත්තු අදත් සිටිති. සජිත් ගේ ජනකාන්තවාදයේ අරමුණ කුමක්ද? එහි අරමුණක් නැත. ආඛ්යානයක් නැත. එය හුදු ජනතාවට සේවය කිරීමම වෙයි. මෙය විකාරයක් බව ඔහුට නොතේරෙන්නේ ඇයි?
සජිත් ගේ සජබ හෝ රනිල් ගේ එජාප හෝ මෙරට දේශපාලනයෙන් අතුගෑවී ගියාට මට ප්රශ්නයක් නැත. රටේ අද අවශ්යතාව ධනවාදී ප්රතිසංස්කරණ කිරීමයි. ඒවා නම් රාජ්ය ආයතන පුද්ගලීකරණය, වසා දැමීම, රාජ්ය පුද්ගලික සහභාගිත්වය හෝ තනිකර ස්වාධින අධ්යක්ෂ මණ්ඩල හරහා පාලනය වීම, ආනයන ලයිසන් අවම කිරීම, තීරුබදු අවම කර නිර් බාධ වෙළෙඳාම ප්රවර්ධනය කිරීම, විදේශ වෙළෙඳ ගිවිසුම් ඇතිකර ගනිමින් අපනයන ප්රවර්ධනය කිරීම වැනි දේ ය. වර්තමන ජනාධිපතිවරයා මේ දේ ඉතා සෙමෙන් කරමින් සහ කරන ලද දේ ආපසු නොහරවමින් සිටි. ඔහුගේ හැටියට එයද ලොකු දෙයකි. ඊලග නායකයා සජිත් වැන්නෙක් වුවහොත් ඔහුගේ ධුර කාලය තුළ රට එකතැන පවතිනු ඇත. එබැවින් ඔහු වෙනස් විය යුතුය නැතහොත් අනුප්රාප්තිකයකු පත් කර ගත යුතුය.
leelagemalli / March 28, 2026
Mr Gunasena, thanks for your efforts.
මගේ මතය අනුව, සජිත් ඔහුගේ හැකියාවන් ගැන වඩාත් සලකා බැලිය යුතුයි, මන්ද ඔවුන්ට ගිලෙමින් පවතින ජාතිය ආරක්ෂා කිරීමට හැකි විය හැකිය. පාර්ලිමේන්තු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ, විපක්ෂ නායකයෙකුගේ ප්‍රතිචාර පාලක ජනාධිපතිවරයාගේ ප්‍රතිචාර තරම්ම අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත්, ඔහුගේ ප්‍රමාදය නිසා අද පාලකයින්ට ඔවුන්ගේ දුර්වල ක්‍රියාකාරිත්වය දිගටම කරගෙන යාමට ඉඩ සැලසී ඇත. උෂ්ණත්වය දරාගත නොහැකි මට්ටම් දක්වා ඉහළ යන විට, ගංවතුරට ගොදුරු වූවන් සැලකිය යුතු සංඛ්‍යාවක් තවමත් විවෘත නිවාසවල සිරවී සිටිති. අද්දැකීම් අඩු නමුත් වංක ජනාධිපතිවරයෙකු ගැලරියේ ඉදිරිදර්ශනය නැවත නැවතත් හසුරුවනු ලැබුවද, රජයට මූල්‍ය හෝ ජාත්‍යන්තර පරිත්‍යාගශීලී කොමිසමක් ඉල්ලා සිටීමට නොහැකි වීම බිඳවැටීමේ අද්දර සිටින ජාතියකට වඩාත් නරක පසුබෑමක් බව මම විශ්වාස කරමි. මෙම අකාර්යක්ෂම රජය හැකි ඉක්මනින් ආපසු ගෙදර යා යුතු බව මම විශ්වාස කරමි.
/