Colombo Telegraph

‘‘සක්මන් මග’’- වචන නැති නාට්‍යයක්

ආචාර්ය හර්ෂන රඹුක්වැල්ල –

වචන නැති නාට්‍යයක් අනතුරුදායක ප‍්‍රස්තුතයකි. වේදිකා නිෂ්පාදනයක්, තමන් සතු වඩාත් ප‍්‍රබල මෙවලමක් අතහැර දමන්නේ ඇයි? වේදිකාව වැනි ශ‍්‍රව්‍ය-දෘෂ්‍ය ප‍්‍රසාංගික මාධ්‍යයකදී, වචනයට කළ හැකි සහ ඔසවාගෙන යා හැකි බර ඉමහත් ය. නාට්‍යයක් වැඩියෙන් දුවන්නේ වචන මගිනි. සමහර විට එය, නාටකීයත්වයත් පරදුවට තබයි. එසේ වෙතත්, ‘සක්මන් මග’ නාට්‍යයේ වචන විරහිත භාවය, නාට්‍යයේ තේමා කාරණාවන්ට මට්ටම් කිහිපයකින් සම්බන්ධ වන බව පෙනේ.

එක මට්ටමක දී එය නිහඬත්වයට සම්බන්ධ බවක් පෙනේ: සමකාලීන ලංකාවේ විසම්මුතියට ඇති අවකාශය හැකිළෙමින් පැවතීම සහ එම නිශ්ශබ්දතාව පවත්වාගෙන යාමට සහ පතුරුවාලීමට අපෙන් ලැබෙන දුස්සහාය ගැන එය ඉඟි කරයි. තවත් මට්ටමකදී, වඩාත් ප‍්‍රායෝගික තලයකදී, එය වාරණය මගහැර යාමේ ක‍්‍රමයක් ද විය හැකිය. රාජ්‍ය අනුග‍්‍රහයෙන් කෙරීගෙන යන ‘නගර ශෝභනය’ ගැන විවේචනාත්මක නාට්‍යයක් වශයෙන්, රැුඟුම් පාලක මණ්ඩලය හරහා යාමත් ඊට අපහසු වන්නට තිබුණි. වචන නැති විට, වාරකයෙකු කුමක් නම් කරන්නද? සමහර විට එවැනි වාරකයෙකු අතට මේ නාට්‍යයේ පිටපතක් වශයෙන් පත්වන්ට ඇත්තේ වේදිකා නිර්දේශ පමණක් විය හැකිය. නාට්‍යයේ සමාජයීය සහ දෘෂ්ටිවාදී විවේචනය ඉස්මතු වන්නේ වේදිකාව මත ඒවා දිග හැරෙන ආකාරයට ය.

නාට්‍යය තිරසාරව ස්ථානගත වන භෞතික අවකාශයක් තිබේ: ඒ, පශ්චාත්=යුද කාලීන නාගරික සංස්කෘතියේ අංගයක් වශයෙන් නැගී එන ඇවිදින මංතීරු ය. එහෙත් ඒ අවකාශය පවා රූපකයකි. මන්ද යත්, එයින් පවා ගම්‍ය කරන්නේ අනුගතතාව, අක‍්‍රීයතාව, උදාසීනත්වය, භාණ්ඞීකරණය සහ තවත් නොයෙකුත් දේ ඇතුළත් කරගත් සංස්කෘතියක් වන බැවිනි. සම්මත අර්ථයේ කතා වස්තුවක් මේ නාට්‍යයට නැත. එහෙත් දර්ශන අනුපිළිවෙල විසින් එක්තරා ආකාරයක වෘත්තාකාර ගමන්පථයක් නිරූපණය කරනු ලැබේ. නාට්‍යයේ පාත‍්‍ර වර්ගයා කාන්සා සිතෙන්, බියෙන් මුළුගැන්වී පටන් ගන්නේත්, අවසන් වන්නේත් එකම ස්ථානයකින් බව පෙනේ.

නාට්‍යය ආරම්භ වන්නේ, වික්ෂිප්ත භාවයට සහ බියට පත් බවක් පෙන්නුම් කරන පිරිසකගේ මනෝභ‍්‍රමික දර්ශනයක් පේ‍්‍රක්ෂකයාට අභිමුඛ කැරැුවීමෙනි. වෙඩි හඬක් වැන්නක් අපට ඇසේ. පාත‍්‍ර වර්ගයා එයින් තැතිගත් බවක් සහ අන්දමන්ද වූ බවක් පෙන්නුම් කළත්, සැණෙකින් ඔවුන් ප‍්‍රමෝදයට පත්ව සතුටු වන බවක් පෙනේ. එය, ගැටුමක අවසානයක් වශයෙන් ගැනීමට මෙන්ම, මිනිසුන් එයින් සහනයට පත්වන බවක් ද ඉඟි කරන්නකි. (ඊට ඈඳිය හැකි ආසන්නම සිද්ධිය වන්නේ 2009 යුද්ධයේ අවසානයයි). මේ නිසා, පේ‍්‍රක්ෂකයාට ඇසෙන ශබ්ද, වෙඩි හඬක් හෝ රතිඤ්ඤා හඬක් හෝ ඒ දෙකම ද විය හැකිය. ඒ උභයාර්ථයේ සාර්ථකත්වයක් තිබේ. මන්ද යත්, නාට්‍ය පුරාම වසා පැතිරෙන, එහෙත් යම් අනතුරක් පිළිබඳ මැඩ ගත්, හොල්මන් කරන හැඟීමක්- රතිඤ්ඤා හෝ පුපුරන බැලූන් හෝ වෙඩි හඬ හරහා ධ්වනිත කෙරෙන බැවිනි.

අනතුරුව, අවකාශය වඩාත් පැහැදිළිව දිස් වන්නට ගනී. එය, සුදු පාට නොකිළිටි බංකු සහිත, එහෙත් සායනික පෙනුමක් ඇති, උද්‍යානයකි. දිවීමට හඳින ඇඳුමින් සැරසුණු, සුදු කැන්වස් සපත්තු ලා ගත් මිනිසුන්ගේ ඇඳුම පැළඳුම එක සමාන ය. මුලදී තරමක නුහුරුවෙන් ශරීරාභ්‍යාස පටන් ගන්නා ඔවුන් ඉක්මණින්ම ව්‍යායාම සංස්කෘතිය වැළඳගන්නා බව පෙනේ. බොහොමයක් චරිත ඇඹරෙමින්, දඟර දමමින් සහ භ‍්‍රමණය වෙමින් ඊට සෝපාහාසයක් එක් කරයි. ඉන් පසු එන දර්ශන අනුපිළිවෙල තුළ, මේ නැගී එන ‘සක්මන් මංතීරු’ සංස්කෘතියේ පරස්පර ආතතීන් ග‍්‍රහණය කරගැනේ. තරුණ පෙම්වතුන් වැළඳ ගැනීමට යන විට නලා හඬක් බෙරිහන් දෙයි. මං තීරුවෙන් පිට යාම- ඇත්ත වශයෙන්මත්, රූපකාත්මකවත්- සපුරා තහනම් ය. තර්ජනාත්මක බලධාරීන් පසුබිමේ දකින්ට ලැබේ. (මේ, උද්‍යාන මුරකරුවන් ද විය හැකිය. කොළඹ සහ ඒ අවට උද්‍යාන ත‍්‍රිවිධ හමුදා අංශ විසින් බලාකියාගන්නා බව එයින් ගම්‍ය කෙරේ). මේ මුරකාර සංස්කෘතියේ වඩාත් ගුප්ත කාරණය වන්නේ, ඒ උද්‍යාන පරිහරණය කරන්නන්ම එකිනෙකා ගැන ඇස ගසාගෙන සිටීමයි. සමහර විට එය, ස්වයං-වාරණයක් සහ රෙගුලාසිගත කර ගැනීමක සංස්කෘතියක් අප තුළට සමාග‍්‍රහණය කරගනිමින් සිටින්නේ කෙසේද යන්න පුළුල් අරුතකින් කියාපෑමක් විය හැකිය.

මේ සක්මන් මංතීරු සංස්කෘතිය මගින් සැපයෙතැ යි කියන නිදහස, සෞඛ්‍ය සහ ප‍්‍රජා ආශ‍්‍රය වැනි අපේක්ෂා, මිනිසුන් තමන්ගේ ලෝක තුළම තනි කෙරෙන නොමිනිස් අත්දැකීමක් බවට පෙරැුලෙන සැටි නාට්‍යයෙන් කියාපායි. ස්වකීය විචිත‍්‍රවත් ශෘංගාර ආශා රෙගුලාසිගත කිරීමට සිදුවීමෙන් අසහනයට පත්වන මිනිස්සු, තමන්ගේ ජංගම දුරකථනවලින් පණිවිඩ යැවීමේ සහ එම්.එම්.එස්. හුවමාරු කර ගැනීම් කෙරෙහි යොමු වෙති. මිනිසා සහ මිනිසා අතර තිබිය යුතු ස්පර්ශය වෙනුවට දුරකථනය ආදේශ වෙයි. පැවැත්මේ සැබෑ තත්වයන් සමග අදාළ වෙනවා වෙනුවට, තථ්‍යසමාන යථාව තුළ මිනිස්සු අතරමං වෙති. රංගනය ඉදිරියට ඇදෙද්දී, මේ ඇවිදින මංතීරු සංස්කෘතිය තුළ ඇති තව තවත් තර්ජනාත්මක සහ බලහත්කාරී පැතිකඩවල් වැඩි වැඩියෙන් දර්ශනය වන්නට පටන් ගනී. තමන් මත පනවා ඇති බාධකයන්ට තරුණ පෙම්වතුන් අභියෝග කිරීමට තැත් කරද්දී, බලය යොදවා ඔවුන්ව යටපත් කරනු ලැබේ. තවත් සමහරු, මේ අවකාශය අරක්ගත් දැඩි රෙගුලාසි, හිතාමතාම හෝ අත්වැරැුද්දකින්, උල්ලංඝනය කරන විට, ඔවුන්ට අවවාද කරනු ලැබේ. දඬුවම් කරනු ලැබේ. යටපත් කරනු ලැබේ.

පවතින තත්වයට අනුගත වීම ප‍්‍රතික්ෂේප කිරීමේ ඛේදනීය ප‍්‍රතිවිපාකවලින් නාට්‍යය අවසානයට පත්වෙයි. අනුගත වීමේ සහ නිහඬව සිටීමේ සංස්කෘතියෙන් පීඩාවට පත්වන එක් පුද්ගලයෙක් රැුල්ලට එරෙහිව පිහිනීමට යත්න දරයි. නිර්නාමික යමක් තහනම් කොට ඇති, එහෙත් කිසිවක් නොලියූ සංඥා පුවරුවක් මේ තැනැත්තා බිම හෙලයි. ඉන් පසු අපේක්ෂා භංගත්වයෙන් යුතුව වැළපෙයි. අනතුරුව, රොබෝවරුන් වැනි ව්‍යායාමකරුවන් පිරිසක්ව පැත්තකට තල්ලූ කරමින් නතර කිරීමට බලයි. එවිට අර තර්ජනාත්මක ‘උද්‍යාන පොලීසිය’ ඔහු ඉදිරියේ ප‍්‍රාදුර්භූත වෙයි. ඔහුට පයින් ගසා බිම හෙලයි. සෙස්සෝ කිසිවක් කිරීමට බයෙන් නිහඬව බලා සිටිති. අර බලාධිකාරී චරිතය අවසානයේ එතැනින් ගිය පසු, සෙස්සෝ වැටුණු සගයාට උපකාර කිරීමට බලති. එසේ කරද්දී තවත් බලාධිකාරී පුද්ගලයෙක්, සුදු බැලූන් වැලක් අතින් ගෙන ඒවායින් එකින් එක පුපුරවමින් එතැනට සේන්දු වෙයි. එවිට, වැටුණු සගයාට උදව් වීමට ඉදිරිපත් වූවෝ, වෙඩි වැදීමෙන් මෙන්, බිම වැටෙති.

නාට්‍යයේ වඩාත් ප‍්‍රබල සහ බියකරු වන්නේ ඒ අවසාන දර්ශනයයි. බැලූන් අතින් ගෙන සිටින තැනැත්තා මේ සංස්කෘතියේ ගොරතර යටිතලය නිරූපණයක් වැන්න. ඔහු මතුපිටින් පෙනෙන්නේ මිත‍්‍රශීලි බැලූම්කාරයෙකු මෙනි. අගේට කැපූ තණකොළ පාත්ති සහ නොකිළිටි බංකු සහිත නාගරික උද්‍යානවල සිටින කුඩා දරුවන්ට විනෝදය ගෙනෙන බැලූම් වෙළෙන්දෙකු වැන්න. එහෙත් මෙහි දී ඔහුගෙන් නියෝජනය වන්නේ, බලය සහ අධිකාරියේ ගොරතර ප‍්‍රක්ෂේපණයකි. තවත් විදිහකින් කිවහොත්, සිත් සනසන සුපුරුදු දසුනක්, තර්ජනාංගුලියක් වී ඇත. මේ නව සංස්කෘතිය තුළ ඔබට සෙල්ලම් කළ හැක. ව්‍යායාම කළ හැක. එහෙත් ඒ, වෙනත් පිරිසක් විසින් ඔබ වෙනුවෙන් ලියා දෙන, සදාචාරමය, සමාජමය සහ දේශපාලනික පිටපතකට අනුව ය. ඒ පිටපතෙන් පිට පැන්නොත්, ඇති විය හැකි ප‍්‍රතිවිපාක බරපතල ය.

සමස්තයක් වශයෙන් ගත් විට, ‘සක්මන් මග’, පර්යේෂණාත්මක වේදිකාවේ සාර්ථක නිෂ්පාදනයකි. සුපුරුදු යමක් නිමිත්ත වශයෙන් ගනිමින්, එය අමුත්තක් සහ නුහුරු දෙයක් බවට පරිවර්තනය කිරීම එම නිර්මාණය තුළින් දැකිය හැකිය. සක්මන් මංතීරු සහ ඒවා නියෝජනය කරන සංස්කෘතිය, පශ්චාත්-යුදකාලීන උපසංස්කෘතිය තුළට සෙමින් රූරා විත් අපේ දෛනික යථාර්ථයේ අංගයක් බවට පත්ව ඇත. චන්ද්‍රගුප්ත තේනුවරගේ ගිය වසරේ පැවති ‘ශෝභනකරණය’ නැමැති චිත‍්‍ර ප‍්‍රදර්ශනය මෙන්, මේ නාට්‍යයත් අපට වෙනස් කියැවීමකට ආරාධනා කරයි. දෛනිකය තුළ ඇති දේශපාලනය දකින ලෙස එය අපෙන් ඉල්ලා සිටී.

කෙසේ වෙතත්, නාට්‍යයෙන් ඉදිරිපත් කිරීමට බලන, ඔපයක් නැති ඒක-රූපතාව, රංගනයේ නීරස ඒකාකාරී බවකට තුඩුදී ඇත් ද යන කුකුස මා තුළ තිබේ. පමණට වඩා එකම දෙයක් දෙස මා බලා සිටිතියි විටෙක මට සිතුණි. එසේ වෙතත්, ‘සක්මන් මග’, බොහෝ කොට, වේදිකාවේ ප‍්‍රශස්ත නිර්මාණයකැ යි මට හැෙඟ්.

*2014 ජුලි 29 වැනි දා ‘ග‍්‍රව්න්ඞ් වීව්ස්’ වෙබ් අඩවියේ පළවූ “Walking Path- A Play Without Words” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය 
‘යහපාලනය ලංකා’ 

Back to Home page